Showing posts with label මගේ - අපේ කතා. Show all posts
Showing posts with label මගේ - අපේ කතා. Show all posts

Saturday, November 9, 2024

හිත නිවන කතා

මිනිස්සු කියන්නෙ අටෝරාසියක් හැඟීම් දැනීම් සිතුවිලි මනෝභාවයන්ගෙන් පිරිච්ච මහ සංකීර්ණ ජීවීන් කොටසක්නෙ. සමහර වෙලාවට මේ සංකීර්ණතා අමතක කරලා අපි, අපි ආදරේ කරන හරි අදහන හරි විශ්වාස කරන හරි නැත්නම් මොනහරිම හේතුවලින් සමීප වෙලා ඉන්න හරි මිනිස්සුන්ව කියවගන්න උත්සහ කරලා ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. ඈතින් හරි පිටතින් හරි බොහොම මටසිලිටිව පේන ගොඩක් පිළිමවල පොටි ගහලා වහගත්ත පිපිරුම් දෙදරුම් සිය දහස් ගාණක් තියෙන්න පුළුවන් කියන යථාර්තය අමතක කරලා පිටට පේන ප්‍රතිරූප විශ්වාස කරන්න දඟලලා හිත් අමාරු හදාගන්නවා. නරකම දේ ඒක නෙවෙයි. අනුන්ගෙ පිළිමවල පිපිරීම් තියෙන්න පුළුවන් වගේම තමන්ගේ පිළිමවලත් පිපිරීම් තියෙන බව අපි අමතක කරන එකයි. මම පරිපූර්ණ නැත්නම් මට ලෝකේ හැමෝම පරිපූර්ණවෙන්න ඕන කියලා අන්තවාදෙක ඉන්න සදාචාරාත්මක අයිතියක් නෑ. තමන්ට සීයට සීයක් ගැලපෙන හැටියට හිතන පතන ජීවත්වෙන මිනිස්සුන්ව බලාපොරොත්තුවෙන එක ප්‍රායෝගික නෑ. හැබැයි තමන් අකමැති දෙයක් හෝ විරුද්ධ දෙයක් ඉවසා දරාගෙන ඉන්න අවශ්‍යත් නෑ. ආදරයද යුතුකමද වගකීමද කියන මොනාකාරයකින්වත් කිසිමකෙනෙක් අවභාවිතා වියයුතු නැහැ.

මොන විදියක වුණත් මිනිස් සම්බන්ධතා හරිම සංකීර්ණයි. අපි බලාපොරොත්තුවෙන විදියටම හැම සම්බන්ධතාවක්ම පවතින්නෙ නෑ. එහෙම දෙයක් තමන්ට අමාරුම නම් එතන බලෙන් රැඳෙන්න ඕනත් නෑ. 

කිසිම මනුස්සයෙක් පරිපූර්ණ නෑ. ජීවිතෙ වැරදුණු, හිතා හෝ නොහිතා හෝ වැරදි කළ මිනිස්සුන්ව ඒවා මත පිහිටලම විනිශ්චය කරන්න තරම් දේවසභා මනුස්ස ලෝකේ තියෙන්නත් බැහැ. 
වැරදුණු තැන්වලින් ඉගෙනගෙන නැත්නම් ඒ මිනිස්සු කවුද කියන එක අඳුනගන්න සාධකයක් කරගෙන එතනින් ඈත්වෙනවා මිසක් හෝද හෝද මඩේ දාන්න කාගෙවත්ම කාලයක් ශ්‍රමයක් මානසික ඉඩක් වෙන්කරන්න අවශ්‍ය නෑ. ආදරේද නෑදෑහිතමිත්‍රකමද පාක්ෂිකත්වයද සහයෝගීතාවද අරකද මේකද කියන පිදුරුගස්වල එල්ලීගෙන අමාරුවෙන් සම්බන්ධතා නඩත්තු කරන්න ඕනත් නෑ. 

වැදගත්ම දේ තමන් කෙනෙකුට අකමැති වෙච්ච පමණින් ඔවුන්ට වෛර කරන්න හේතු හොයන්න මහන්සි වෙන්නෙ නැතුව අතෑරියම ඉවරයි, නිදහස්. විශ්වය ක්‍රියාත්මකවෙන හැටි අපි කාටවත්ම නිර්ණය කරන්න අමාරුයි. සමහරවිට, නරක කර්මයක් කියලා අපි හිතන සමහර මිනිස්සු, සිදුවීම් ඒ මොහොත තරණය කරන්න තිබ්බ විසඳුම්වලින් හොඳම එක කියලා විශ්වය තීරණය කරන්න ඇති. තියෙන නරක කර්මයත් ගෙවලා එතනින් එහා කතන්දරෙත් බැලන්ස් කරලා දෙන්න තිබ්බ හොඳම විදිහ ඒක වෙන්න ඇති. නැතිවුණ දේවල් වගේම ඒවා ඒ විදියටම සිද්ධවීමෙන් ලැබුණු දේවලුත් ඇති.

සමහරවිට, මේ ඔක්කොම කතා අපිම හදාගන්න හිත නිවන කතා වෙන්නත් ඇති. 

පහුගිය අවුරුදු කීපය ගත්තොත්, මම පුද්ගලයෙක් හැටියට මගේ හිතට එකඟ නැති, ගලපගන්න බැරි ගොඩක් දේවල්, සම්බන්ධතා, මිනිස්සු, සිදුවීම්, ස්ථාන සම්පූර්ණයෙන්ම අතෑරිය මනුස්සයෙක්. දැනටත් අතෑරමින් ඉන්න මනුස්සයෙක්. ඒක දුකක් කණගාටුවක් නැතුව කරන්න පුළුවන්මයි කියලා කියනවට වඩා ගොඩක් ඒවයෙ කළකිරීම් බරට ප්‍රත්‍යස්ථතා මාපාංක පනිනකල් වැඩිවෙන්න මංම ඉඩ දුන්නා කිව්වොත් හරි. ඒ අවස්ථාවල තීරණ ගත්තේ මංම නිසා ආයෙ දවසක හැරිලා බැලුවත් කිසිම හැඟීමක් දැනීමක් නැතුව උපේක්ෂාවෙන්, මගේ හැකි උපරිමයටත් එහා ශක්තියක් මං ඒ වෙනුවෙන් කැපකළා, වැයකළා කියන හෘද සාක්ෂිය මට ඉතුරුයි. ඒකට නිසි වටිනාකමක් ලැබුණද නැද්ද කියන එකත් නරක කර්ම ගෙවීමක් විදිහට අරන් ඒ සංසාර ණය ගනුදෙනු එතනින් ඉවරකිරීම හිතට නිදහස්. ඒ ඇතිනෙ.

~ Aash Weerasinghe | තනියා

#AW #thaniya #medusa #medusasjournal

Friday, November 1, 2024

අංජලීකා

අද මම හිටියෙ හොඳ ඇඩ්‍රිනලීන් රෂ් එකක. හවස් වෙද්දි ටිකක් ඉතුරුත් වගේ නිසා මොකක්ම හෝ අතිපණ්ඩිත සුවිශේෂි වැඩකින් අද දවස ඉවර කළ යුතුයි කියලා යක් තනියයි සුරංගනා තනියයි සම්මුතියකට එළඹෙද්දිම මට අදහසක් පහළ වුණා අද මට නිශ්ශබ්දතාවයක් එපා, බස්මය ඝෝෂාවක් ඕන කියලා. එහෙම හිතලා මම මිකී මවුස් වගේ ක්ෂණිකව පාර හරහා දුවලා පැනලා ට්‍රැෆික් එකේ නවත්තපු බස් එකකට ගොඩ වුණා.

බස්මය ඝෝෂාවක් කිව්වට මෙන්න මේකේ යනවා මිල්ටන්ලගේ, ජෝතිලගේ විරහ ගීත සෙට් එකක්! බස් එකක තමන්ගෙම ලෝකෙකට වෙලා විරහ ගීත අහන් යනවා කියන එක වෙනමම ලල් එකක්නෙ. 
(මම මේ කියන්නෙ හොඳ විරහ ගීත, ඩංකබකං හොටු ගීත නෙවෙයි).

ඉතින්, ඔහොම යන අතර මගේ සිතුවිලි මුහුද කැළඹිලා ප්‍රියා සූරියසේන හරහා අතීතයකට පියඹන්න පටන් ගත්තා. කතාව ටිකක් 'එහෙම' නිසා මම බෑග් එක හාරලා මාස්ක් එකක් හොයාගෙන ඒක ඇස් පිහාටු වෙනකල් උස්ස ගත්තා මොකද අනිවාර්‍යෙන්ම තනියෙන් හිනාවෙන්න ගිහින් සමාජයේ හාස්‍යයට ලක්වෙන්න ඉඩ තියෙන නිසා. මාත් එක්ක චිත්‍රපටි බලන කොට ආදර ජවනිකා හරි ට්‍රයි කරන කාලේ ජවනිකා හරි යද්දි මම ඒවට හිනාවෙන්නෙ හරියට එතන ඉන්නෙ මං වගේනෙ කියලා හිනාවෙවී මගේ මූණ බලන් ඉන්න කෙනෙක් මතක් වෙලා වැඩියත්ම. 😅
එහෙමයි ඉතින් අපි මෙහෙම හිටියට අනුන්ගේ ලව් එකක් හරි දැකලා සතුටුවෙන හෙන රෝමාන්තික මිනිෂ්ෂු හිටං. 😂😎

ඉතින්...
තනියා පොඩි කාලෙ ගිය ස්කූල් වෑන් එකක හිටියා රාජකීය විද්‍යාලෙට ගිය අරවින්ද කෙනෙක්. මම හිතන්නෙ එතකොට අපි හිටියෙ 6-7 වගේ වසරක වෙන්න ඕන. අරවින්දත් ඒ වගේ වයසක වෙන්නැති. හෙනම කටකාර, දඟකාර, ඒ වයසට ඉතින් හැන්ඩ්සම් පොඩි කොල්ලෙක් හින්දද මන්දා මිනිහගේ විකාරයි විහිළුයිවලට ඩ්‍රයිවර් අයියත් හෙන කැමතියි. ස්කූල් වෑන්වල ඩ්‍රයිවින් සීට් එකටම අල්ලලා පිටිපස්සේ නිකන් ලෑල්ලක් වගේ යාන්තම් තට්ටමක් තියාගන්න පුළුවන් සයිස් සීට් එකක් ගහලා තියෙනවා ඔහෙලා දැකලා ඇතිනෙ? ඒ සීට් එකේ වාඩිවෙන ඔක්කොම වෑන් සභාවට මූණ දාලා තමයි වාඩිවෙන්නෙ. ඉතින් අරවින්ද වාඩිවෙන්නෙත් ඔය සීට් එකේ දොර ලඟ. 

මිනිහගේ කටයි වැඩයි වගේම තමයි ඉතින් සිංදු කියවිල්ල. කිසිම ලැජ්ජාවක් නැතුව කට හායි ගාලා ඇරලා පැල්කවි කියන්නැහෙ තමයි උන්දැ සිංදු කිව්වේ. ලස්සනට කිව්වා ඉතින්, ගායනයට කොච්චර හැඟීම් කවනවද කිව්වොත් මම හිතන්නෙ මුළු වෑන් සභාවෙම කෙල්ලො හිතන්න ඇත්තෙ එයා ඒවා කියන්නෙ තමන්ට කියලා වෙන්න ඕන. 😉
අරවින්දගේ ඩේලි හිට් ලිස්ට් එකේ තිබුණා සිංදු කීපයක්, උඩින්ම තිබ්බේ ප්‍රියාගේ 'සුදු පරවි රෑන සේ' ඒක බොක්කෙන්ම කියන ගමන් මියුසික් එකත් මිනිහම දෙනවා. අනික ඒක කියන්නෙත් බාලිකා පාසල්වල ගේට්ටු ලඟදි! හිතාගන්න පුළුවන්නෙ අනාගතේ කොහොම පොරක් වෙන්න ඇතිද කියලා ඉතින්.😂

ඔය ලිස්ට් එකේ හොඳම එක නලීන්ගේ 'අංජලීකා'. අරවින්ද නිකන් 'මල මිලින වෙලා මුත් සුවඳ ගලා' කියන්නෙ හරියට ඇත්තටම කෙල්ල මලා වගේ බොක්කෙන්ම එන විරහවකින් පපුවට අත තියාගෙන, මූණ ඇලකරලා, නිකට උස්සලා, ඇස් පියාගෙන, නලල රැලිකරගෙන.😂 
ප්‍රාසාංගික කලාවේ සුළු පියා වගේ.😂 
ඒ ටික කියලා අංජලිකා කියන්න ගත්තම නම් පොර ඉන්නේ ඇත්තටම මේ දැන් අංජලිකා මැරුණා වගේ.😂 වැඩේ තියෙන්නෙ පොඩි ඇච්චො පැච්චො හැටියට ඉතින් අපි ඔය වචනයක් දෙකක් කතා කළාට අහලා නැතුව වෙන්න ඕන, මේ යකා මගෙ නම හිතන් ඉඳලා තියෙන්නෙත් අංජලීකා කියලා. ඒක ගැන කතාවක් ගිහින් වෑන් එකම අරවින්දව බයිට් කරද්දි තමයි තේරුනේ මම හිතන්නෙ, හැමදාම අපේ ගෙවල් ලංවෙද්දි වෑන් එකේ දොර ඇරලා දෙන ගමන් පපුවට අත තියාගෙන, මූණේ දුක පුරෝගෙන, බොක්කෙන්ම "අංජලීකා.." කියලා කෑගහන්නෙ මොකද කියලා.😂😂

හරි හරි ඉතින්, එහෙම එව්වත් වුණා. 🫣 හොඳ වෙලාවට අපේ කේලම් නගා ඒ කාලෙ වෑන් එකේ ආවේ නෑ නැත්නම් කුඩා කාලයේදීම ආලයේ වේදනාවයි බත්කාඩ් කැන්සල් වීමේ අල වේදනාවයි දෙකම එකසැරේ විඳින්න වෙන්නෙ!

කතාව දැනගත්තට පස්සෙ ඉතින් මාත් පසුබිම් ගායනය සමග වීරයා වීරියෙන් යුතුව විවෘත කරලා දෙන වෑන් දොරෙන් අහිංසක විදියට බිම බලාගෙන බැහැලා, කියඹුලතා කණ පිටිපස්සට හිමින් රඳවනගමන් බිමට හිනාවෙලා, වෑන් දොරේ පිටත අගුල මත මගේ අතැඟිලි මෘදුව රඳවලා, ලතාවට විසාකාව සේ ගේට්ටුව ලඟට ඇවිදන් ගියා. 

එහෙම එව්වත් තියෙන්ට එපාය අනේ, නැද්ද මං අහන්නේ.😜
:
:
:
:
:
:
:
:
:
නෑ නෑ, එයැයිගේ වගතුගක් ඊටපස්සේ දන්නේ නෑ!😜

~ 🖌️ Aash Weerasinghe | තනියා

#AW #thaniya #medusa #medusasjournal

Sunday, July 14, 2024

බෝතල් කටු

කතා පෙට්ටගමේ සමහර කතන්දර නොකී-නොලී ඒවා. සමහර ඒවා කියන්න-ලියන්න කලින් සෑහෙන්න හිතන්න ඕන ඒවා. සමහර ඒවා මං යද්දි අරං යන ඒවා.

මේක ටික කාලෙකට කලින් සිද්ධ වෙච්ච දෙයක්. ඒත් අලුයට ගිනිපුපුරක්. අලු පිහිනවද නැද්ද කියලා හිතමින් ඉඳලා ඔන්නොහෙ කමක් නෑ කියලා ලියනවා.

මොන තරාතිරමක හිටියත්, ළමයි හෙන වාතයිනේ, උං කෑගහනවා අඬනවා, කක්කා දානවා කියන ගෑණුන්ට පවා එක්තරා මොහොතක දරුවෙක් හැදීමේ ස්වාභාවික හීනය පේන්න පටන් ගන්නවා. ඕන චණ්ඩියෙකුට, 'අනේ දෙවියනේ මං පරක්කු වැඩියිද' කියලා එතෙක් කල් පේන පැත්ත පළාතක නොතිබ්බ බයක් ලෝකේ පෙරළගෙන හිතට එනවා. මේ කියන මොහොතේ මාත් හිටියේ ඒ බය දැනිලා.

අපි හවසක කයියක් ගහගෙන කන්න තැනකට යමින් හිටියේ. සාමාන්‍යයෙන් මට වඩා (වයසින්) පරිණත මිතුරියන් කීපදෙනෙක් එක්ක. ඔහොම වාහනේ ඇතුළේ පිස්සු කරමින් හිනාවෙමින් ඉන්න වෙලාවක මගෙ මේ බොහොම බෑරෑරුම් ප්‍රශ්නෙ එළියට පැන්නා. 
"මං eggs freeze කරන්න ඕන. කවදහරි දවසක මට හිතුණොත් අපරාදේ දරුවෙක් හැදුවෙ නැත්තේ කියලා" ඌණපූරණයක් එක්කම මං මගේ ප්‍රශ්නේ වාහනේ බිමට අතෑරියා. 
"පිස්සුද උඹ වගේ තව එකෙක් මේ ලෝකෙට ගේන්න!" කියලා එක කටකින් පනින පරක්කුවට මං තිගැස්සුණා. ඒක මහ බෝතල් කටු කතාවක්. වෙන වෙලාවක නං" අනේ මේ, හිට්ලර්ලා තමයි මේ ලෝකෙට ඕන" කියලා අනිත් අතට පොළොං පැනිල්ලක් පනින්න ඉඩ තිබ්බත් ඒ වෙලාවේ මං නිශ්ශබ්දව මගේ මෝඩකම ගැන තැවෙමින් ප්‍රශ්නෙ අහුලලා මල්ලෙ ඔබාගත්තා. 

අපි ආයෙත් සාමාන්‍ය විහිළු කතාවට හැරුණා. මගෙ ප්‍රශ්නෙට ප්‍රශ්නෙකින් උත්තර දීපූ යාලුවා එක්ක මූණට මූණ බලාගෙන වාඩිවෙලා අපි කෑවා, බිව්වා, හිනාවුණා, වෙනදා වගේම පිංතූර ගත්තා. මූණේ ඉරියව්වකින්වත් වෙනසක් නොපෙන්නා කොයිතරම් සාමාන්‍ය විදිහට හිටියත් ඒ මුලු වෙලාවෙම ඒ බෝතල් කට්ට මගෙ හිත කපකපා ඇමිණිලා තිබ්බා. නෑ, කොහොමත් ටිකක් කට පාලනයක් නැති හින්දා කියන්න ඇත්තේ කියලා කිසි පැකිලීමක් නැතුවම මං සැකයේ වාසිය පිතිකරුට දුන්නා. 
හැබැයි ඒ කැපිච්ච තුවාලෙ තාම තියෙනවා. එහෙමයි කියලා තරහක් වෙනස්වීමක් නෑ. සමහරවිට ඒක දැනෙන්න හේතුව සමාජ පීඩනය වෙන්නත් පුළුවන්. සමාජය හදං ඉන්න ස්ටීරියෝටයිප් අතික්‍රමණය කරලා උඩුගං යද්දි ජීව-ඔරලෝසුවල කටු කැරකෙන එක නතරවෙන්නෙ නෑනේ. උඩුගං යන යටිගං යන හැමෝටම එකම වේගෙන් ඒ කටු කැරකෙනවා. 

අනෙක් අතට කොහේ ගියත් නිරන්තරයෙන් ළමයි ආසක්තවෙන ජීවියෙක් හැටියට මේ බෝතල් කට්ට මට ටිකක් වැඩිපුර දැනෙනවා ඇති. ඕනෑම තරාතිරමක ඕනෑම දරුවෙකුට ආදරය දෙන්න පුළුවන් තරම්, සතෙක් වුණත් දරුවෙක් වගේ ආදරෙන් හදන මව්ගුණයක් එක්ක ඉපදිලා ඒකම ලොකුම අහිමිවීමක් වෙන එක තරම් පාපයක් තවත් තියෙන්න පුළුවන් ද. 

ඕවා ඉතින් කිව්වට කරන්න හොයන්න බලන්න වුණේ නෑ ඊට ටික කාලෙකට පස්සෙ තව හිතවතෙක් ඔය ගැන කියනකල්. තාමත් එහෙමයි, ඒත් කව්රු හරි ඒ ගැන අදහසක් තියෙනවා නම් ඒ ගැන බලන්න පොඩි තල්ලුවක් හැටියට ලැජ්ජාව පැත්තක තියලා මං මේ කතාව ලිව්වේ. තාක්ෂණය දවසින් දවස දියුණු වෙනවා තමයි. ඒත් අද කළ යුතු දේ අද කළාට කමක් නෑ. ලොකු වියදමක් නම් තමයි. ඒත් පසුතැවිල්ලකට වඩා දැන් ඒක දරා ගන්න එක හොඳ වෙන්නත් පුළුවන්. 

 සමහරවෙලාවට ගෑණුන්ට බෝතල් කටුවලින් අනින්න පුළුවන් ගෑණුන්ටමයි. එහෙම බෝතල් කටු ගෑණු නොවී හිටියොත් අඩුම ගානේ තව ගෑණියෙක්ට බයක් සැකක් තැවිල්ලක් නැතුව තමන්ගේ ගෝත්‍රයේ එකියකට විවෘත වෙන්න පුළුවන් වෙයි. ඒකම කොච්චර ලොකු සැනසීමක් ද කියලා තමන්ගෙ හිතින්ම අහලා බලන්නකො☺️ ඒ ඇති🙏

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Sunday, June 30, 2024

පොල් සම්බෝලයෝ සහ පූස් කතා

අපේ අම්මා දවසට දෙවරක් නොවරදවා කරන වතාවත් තමයි අසල්වාසියේ ඉන්න බලු - පූස් රොත්තට කන්න දෙන එක. අම්මා නොකෑවත් ඒක නොවරදවාම කරන්න ඕන. අම්මට බැරි දවසක වෙන කෙනෙක් කරන්නම ඕන. ඒක දන්න හින්දා කන්න දෙන වෙලාව ළං වෙද්දි හරි උන්ට බඩගිනි ආවම හරි ගේට්ටුව ඉස්සරහ පෙළට වාඩිවෙලා ඉන්නවා. ඊයේ පෙරේදා දවසක මම එද්දි සුපුරුදු අලු කලු සුදු රොත්තෙ මෙන්න පොල්සම්බෝලයෙක් ඉන්නවා! සුදුයි තැඹිලියි චූටියි. ඒ එක්කම මගෙ පරණ මතකයක් උඩ මතුවෙච්ච නිසා එතන බිම ඇණ තියාගෙන වාඩිවෙලා මම මේ පොඩ්ඩා එක්ක සුරතල් කතාවක් දැම්මා. ඔළුව අතගානකල් හිටියට ඉන්නෙ දකුණු අත බාගෙට උස්සන් සොත්ති කරන් ගහන්න බලාගෙන, පොඩිකමට නෙවෙයි ආත්මාරක්ෂක සටන් කලාව! මගෙත් ආදරෙ ඉහවහා ගිහිල්ලා රැවුල් කොටේ ඇල්ලුණා කියලා ඇඟිල්ල හැපුවනෙ මේක අර යන්තම් මතුවෙලා ඒත් ඉඳිකටු උල් වගේ තියෙන දත්වලින්. මම බැනලා නැගිටලා ආවා. 😂

ඔය වගේම එක්කෙනෙක් හිටියා මට අවුරුදු 8දි 9දි විතර. ඒ පොල්සම්බෝලයගෙ නම කිටී, අනික් එක්කෙනා අළුයි හැබැයි එයා කුලෑටියි, සමාජ ආශ්‍රයට ප්‍රිය නෑ. කිටී එහෙම නෙවෙයි මගෙ එක්කම තමයි ඉතින් යාලුකම. උදේට නැගිටින්න පරක්කු වුණාම හොයාගෙන ඇවිත් ඇඳට පැනලා වටේම ඇවිදලා මූණ දිහා බලන් ටික වෙලාවක් බලන් ඉඳලා සුදු මේස් කකුලක් උස්සලා මූණට හිමින් තට්ටු කරනවා ඇහැරවන්න. ඒක හරි නොගියොත් හා කමක් නෑ කියලා තුරුල් කරන් ඉන්න කොට්ටෙටයි මටයි හේත්තුවෙලා වක ගැහිලා එයත් නිදාගන්නවා. මං යන යන තැන වලිගෙ කොඩිය වගේ උස්සන් ඇවිදිනවා. හරිම ලස්සනයිත් එක්ක. ඒ වුණාට මහ ඇට්ටරකමුත් කරනවා. මොකද්ද මංගල්ලෙකට උඩ පැනලා උඩවල්වල දුවලා නටලා අපේ ආත්තම්මා චිරාත් කාලයක් පරිස්සම් කරපු, බලන්න ලැජ්ජා හිතෙන ජාතියේ වීනස් ප්‍රතිමාවක් වට්ටලා වීනස්ගේ ගෙල සිඳුණානෙ! 
අන්න දවස!
ලෝක විනාස ඔක්කොම එක දවසෙ. කොච්චර සත්ව කරුණාව වුණත් එදා නම් කිටියව දුටු තැන ගහන්න එලෙව්වා ආත්තම්මා. කිටියා දුවගෙන ඇවිත් මං ලඟ හැංගුණාම මම මද්දුම බණ්ඩාර වගේ කිටියා වෙනුවෙන් බෙල්ල දුන්නා. මගෙ කැත ඔලු ගෙඩියෙන් සිඳුණු වීනස් හිස රිප්ලේස් කරන්න බැරි හින්දා මාත් හොඳට අහගත්තා. (ඊයා! රිප්ලේස් කරන්න පුලුවන් වුණත් ඒ වගේ ප්‍රතිමාවකට නම් මම මළත් බෙල්ල දෙන්නෙ නෑ 😂).
කොහොමහරි ඉතින් කිටියට ගෙදර තහනම් කලාපයක් වුණා. ඉලන්දාරි වයසත් එක්ක මිනිහා ඊටපස්සෙ රස්තියාදුවට හුරුවෙලා කොහෙද මැරිලා හිටියා.💔

ඔය කිටියගෙ කාලෙ පූස් පරම්පරාවක්ම හිටියා එහෙ. හැබැයි ශෙඩී එනකල් හිටිය ඔක්කොම බව්වො එක්ක සහජීවනයෙන් හිටියා, එක පිඟානෙ කෑම කෑවා. එතකොට හිටිය කලූ කියන බව්වගෙ හැම මුරේකම පැටව් මැරුණා. ඒ දුකෙන්ම එක සැරේක කලූ තව කලු පූස් පැටියෙක්ව දරුකමට හදාගෙනත් හිටියා. ඒකට ශෙඩී! තාප්ප උඩ යන උන්වත් පැනලා ඇදලා අරන් පොළොවෙ ගහලා 13ක් ද කොහෙද මැරුවා. පුදුම භීෂණයක් තිබ්බේ.

මට මතක විදියට පූස් පරම්පරාව පටන් ගත්තෙ මමියගෙන්. මමී කියන්නේ සුදු වැඩිපුර තිබ්බ කළු දුඹුරු තැඹිලි කලවම් වයිරම් තිබ්බ බැලලියෙක්. එයාගෙ ළමයින්ව උපන් හැටියෙම පිටිපස්සේ ගෙදර උදවිය එලියට දාලා. කපුටො උන්ව කෑවා. මමියා පුලුපුලුවන් හැටියට උස තාප්ප දිගේ බැලන්ස් කරන් ඉතුරු වෙච්ච අයව බේරන් අපේ ගෙදරට ආවා උදව් ඉල්ලගෙන. අපි භාරගත්තා. එක්කෙනෙක් හිටියා සුදුම සුදුයි, වලිගෙ නෑ කපුටො කඩන් ගිහින්. එයාගෙ නම 'හාවා'. වැඩත් හාවෙක් වගේ තමයි ඉතින්. කැරට් කන්න රුසියා.

මම හිතන්නෙ මමියාගෙ ස්වාමි පුරුෂයා වුණේ 'කොටියා'. කොටියා කිව්වෙ නමේ හැටියටම ලොකුවට හැදුණු හැඩිදැඩි පූස් පුරුෂයෙක්. බොහොම තේජාන්විතයි ගමන බිමන බැල්ම. ලොකු හතරැස් මූණක් තිබ්බ අළු කහ කළු ඔක්කොම මිශ්‍ර අමුතු පාටක් තිබ්බ පූස් රජෙක්. බජාර් එකේම ඇවිදලා ඇවිත් පිටිපස්සේ බැම්මක කොටියෙක් වගේ දිගාවෙලා අව්ව තැප්ප කොටියව දවසක් මම කකුලෙන් අතගාන්න ගිහින් කෑවා. හරිම උපශාන්ත ලීලාවෙන් බඩ අතගානකල් ඉඳලා එක සැරේම මූණෙන්වත් වෙනසක් නොපෙන්නා විශාල අත්වල හංගගත්ත නිය දික් කරලා මගෙ කකුලට ගැහුවනේ මේ කොටියා! කකුලේ මහපටැඟිල්ලේ නියපොත්ත ලඟ මස් දාරෙ පිපිරුවා. සෑහෙන්න කාලයක් ගියා හොඳවෙන්න. 
ඒ දවස්වල කලවැදි කරදරේ තිබ්බා දරුණුවටම. ඒක හින්දා ගොඩක් පූසොන්ව උන් මැරුවා. කොටියා හැමදාම ජයගත්තට එක දවසක් නම් ලොකු යුද්ධයක් ගිහින් කලවැද්දවත් බදාගෙන වහලෙන් බිමට වැටුණා. කොටියා මැරුණේ ඒකෙන්ද කියලා මට මතක නෑ. ඒත් කොටියගෙ මතකේ ඒ දවස්වලින් ඉවර වෙනවා. 

ඔය එලියෙන් වටෙන් පිටෙන් ඇවිත් අපේ බස්නායක වීරසිංහ මැතිණියගේ දන්සැලෙන් කාලා ගියාට ශෙඩීගෙන් පස්සේ ගෙදර සුරතලෙක් විදියට පූසෙක් හදන්න අපිට බැරිවුණා. 

හැබැයි මම ගමේ හිටිය කාලෙ කොහෙන්දෝ පූසෙක් ඇවිත් සෙට් වුණානෙ. කව්ද ඔබ කවුරුන්දෝ කියලා මං ඇහුවට කිව්වෙම නැතුව හෙන පුරුදුකාරියෙක් වගේ වාඩිවෙලා හිටිය මගෙ ඔඩොක්කුවට පැනලා ගුලිවෙලා සැප නින්දකුත් දැම්මා. එයා ඇහැරෙයි කියලා මාත් වාඩිවෙලා ඉන්නවා දැකලා තාත්ත බනින්න ඇරපු කට වහන් 'දැන් ඔය සෙල්ලම් මාත් එක්කත් කරන්න එයිද දන්නෙ නෑ මෙතන' කිව්වට ඊටපස්සෙ ටික දවසකින් මේකා නිදාගත්තේ තාත්තාගෙ පය පාමුල නෙට් එක උඩ! 😂 මං ආවට පස්සේ දරු පරම්පරාවලුත් හදාගෙන බට්ටිටයි කලූටයි සද්දේ දාගෙන ඉන්නවලු. 

සතෙක් වුණත් ආදර කරුණාවකට නේ ඇදෙන්නෙ. සතෙක්ට හරි එහෙම ආදර කරුණාවක් පාන්න තරම් පිනක්, කරුණාවන්තකමක්, සංවේදීකමක් මගෙ පවුලෙ මිනිස්සුන්ටයි මටයි ලැබීම ගැන නම් අනේක වාරයක් මේ විශ්වයට ස්තූතිවන්ත වෙනවා. 🙏


මේ ඉන්නෙ දන්සැල් පෝලිමේ ඉන්න අයගෙන තුන්දෙනෙක් 

මේ කිටියා. මගෙ ඔඩොක්කුවට පැනලා නිදාගත්ත පළවෙනි දවස. 
සැප නින්ද
මෙව්වා මගේ! ඇයි මොකද? 
~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #nostalgia


Saturday, June 22, 2024

බයිසිකල් කතා

මොනවා හිතාගෙනද මන්දා අපේ අම්මයි තාත්තයි තීරණය කරලා තිබ්බා මගේ හත්වෙනි උපන්දිනේට බයිසිකලයක් අරන් දෙන්න, ඔය පහළ පින්තූරෙ තියෙනවා වගේ චොපර් එකක් හැබැයි රතුයි සුදුයි. (ඔව්වා තමා ඉතින් අපට තිබ්බ චොපර්, ඇත්ත එව්වා ගන්ට තරම් ධනවත්තු නෙවෙයි නෙව). ඒකේ ඇත්ත පින්තූරයක් නැති එක ගැන නම් දැන් පොඩි දුකක් දැනුණා. 

පුංචි කාලේ තිබ්බා ට්‍රයිසිකල් හෙවත් රෝද තුනේ සයිකල්. හැමෝටම වගේ තියෙන්න ඇති ජාතියේ සුදු-කහ-රතු, පස්ස තියාගන්නවත් බැරිතරම් පොඩි සීට් එකක් තිබ්බ චූටි යකඩ ට්‍රයිසිකලයක් ඇරුණම මට තිබ්බා තෑගි ලැබිච්ච ලා නිල් පාට ප්ලාස්ටික් බංගසාල ට්‍රයිසිකලයක්. ඒක ට්‍රයිසිකලයක් කිව්වට බිම්මට්ටමට විතර පාත, විසාල රෝද තිබ්බ, රයිඩර්ට අමතරව තව පොඩි එකෙක් දෙකෙක්ට හිටගෙන හරි වාඩිවෙලා හරි යන්න පුළුවන් තරම් ඉඩ තියෙන, තද නිල් පාට පැඩ්ල්ස් දෙකක් ඉස්සරහ රෝදෙට හයි කරපු හරියට 'පියාජියෝ අපේ'😂 (ඒප් - Ape) එකක් වගේ 'බර බර දක බක' ගාලා සද්දෙට යන එකක්. මගේ දෙමව්පියො සහ සෙසු වැඩිහිටියො ඒ සද්දෙ කොහොම දරාගත්තද කියලා මම මේ කල්පනා කරන්නෙ මොකද මං වුණා නම් පදින එකා එක්කම ඒ වාහනේ ගහනවා කැලේ! 😂
ආ තව තිබ්බා කහ-කලු-දුඹුරු මිශ්‍ර පාට, ලස්සන වලිගෙකුයි කේශ කලාපෙකුයි තිබ්බ, කකුල් වෙනුවට රෝද හතරක් තිබ්බ ප්ලාස්ටික් අශ්වයෙකුත්. ඒකේ හැන්ඩ්ල් එකට තිබ්බේ අශ්වයගේ කණ් හරහා ගිය රතු පාට දණ්ඩක්! 

ඉතින් කකුල් බිම ගෑවෙනකල්, මකුළුවෙක් වගේ අඬුපඬු අකුලන් ඔය ට්‍රයිසිකල් කෙරුවාවයි අශ්ව කෙරුවාවයි කරන දරුවා දැක්ක දුකටද මන්දා අප්පා, මාව රෝද තුනෙන් දෙකට upgrade කරන්න කැබිනට් තීරණයක් අරගන්න ඇති. මේක ලියන්න පටන් ගනිද්දි අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම ඇහුවා 'ඇයි මට චොපර් එකක් අරන් දුන්නේ?' කියලා 😂 මගේ ඔහොම random උඩක්බිමක් නැති අහසින් පාත්වෙන ප්‍රශ්න පුරුදු හින්දද කොහෙද දෙන්නම හිනාවුණා, තාත්තා ටිකක් කල්පනා කරල බලලා බොහොම බරපතල කාරණාවක් වගේ කිව්වා මතක නෑනෙ කියලා. අම්මා නම් බයවුණා මම දැන් ඔය චොපර් එකේ නටඹුන් හොයන්න පටන් ගනී කියලා ඒක කෝ ඒකට මොකද කළේ අහපුවම!😂 
අම්මා: (හෙන කල්පනාවෙන් අසරණ හිනාවක් එක්ක) 'ආ ඇයි අපි ඊටපස්සේ ඒක ළමයෙක්ට දුන්නනෙ'
මම: 'කොයි ළමයද' 
අම්මා: ' අර xxගෙ ළමයෙක්ටද කොහෙද මටත් මතක නෑනෙ'

චොපර් එක දකින්න ආසාවක් ආවට කාටවත් දුන්න එක ගැන දුකක් කණගාටුවක් නෑ මිත්‍රවරුනි.

ඉතින්, දැන් මේ රෝද දෙකේ චොපර් එක පදින එක තමා වැඩේ වුණේ! මොකද තනියා ඒ කාලේ ඉඳන්ම රෝද දෙකට කැමති නෑ. බැලන්ස් කරගන්න බෑ 🫣🤭 ඔය චොපර් එකේ පිටිපස්ස රෝදෙට තව පොඩි රෝද දෙකක් තියෙනවා සපෝට් එකට හයි කරන්න පුළුවන්. ඒවා දාගෙන මුල් කාලෙ ගියේ ඒත් දෙන්නෙක් දෙපැත්තෙන් යනවා වැටුණොත් අල්ලගන්න 😂 (පම්පෝරියක් නෙවෙයි මේක විලිලැජ්ජාවක්! 😂) අනෙක මම ඇටිකිත්තෙක් වගේ එතකොට, චොපර් එක ලොකුයි උසයි.
සීට් එක පවා adjust කරලා තිබ්බේ😏 

මේ මොන විකාරයක්ද කියලා තාත්තා උපදෙස් දුන්නා සපෝට් වීල්ස් අයින් කරන්න. මම ඉතින් වැටි වැටි දත කාගෙන සහයට ඩැනීලගෙ අධීක්ෂණය යටතේ දඟල දඟලා ඉඳලා පස්සේ ගෙවල් ලඟ යාලුවො කීපදෙනෙක් එක්කත් සෙට් වෙලා බයිසිකල් කෙරුවාව කළා 9 වසරට විතර වෙනකල්, ඒත් රෝද දෙක මට යාදුන්නේ නෑ පිංවතුනි.😂
එක සැරයක් ලේන් එකේ ඉඳන් හරස් පාරට 'බග්' ගාලා පැනලා ඩෙලිකාවකට දිවිපුදන්න ගියා. තව සැරයක් බෙන්ස් එකක් ඉස්සරහට ඇවිත් කාණුවක් පල්ලේ ලැග්ගා. ඊටපස්සේ යාලුවෙක්ගේ වත්තේ කොස්ගහක් පල්ලේ බව්බෙට්ස් ගොඩක් උඩ වැටෙන්න ගිහින් අනූනමයෙන් බේරිලා එහෙම රෝද දෙකේ චොපර් ජවනිකාව එහෙමම අවසාන වුණා.

ඉතින් කොහොමින් කොහොමහරි, මේ තාක් උපන්දින තෑගි අතර මගේ හොඳම මතකයක් ඔය චොපර් එක.❤️ ඒ කාලේ හැටියට ඕක ඇත්තම චොපර් එකකට වඩා වටිනවා (තාම) ළදරු හිතට 🤭❤️
(දැන් නම් අඩුමගාණේ 50,000-60,000ක්වත් වෙනවා ඇති බයිසිකල්).
ඇතිහැකි පමණින් එවන්වූ සැප සම්පත් ලබාදුන් දෙමව්පියන්ට නිවන් දකිනා ජාති දක්වා නිදුක් නිරෝගි සැප සම්පතින් කිසිදු අඩුවක් නොවේවා!😇

~Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #nostalgia #Nostalgic90s

Monday, April 15, 2024

කළු සුදු

මං හරිම කැමතියි කළු සුදු පින්තූරවලට. අළුපාට මිනිස්සු පාට පාටින් දකිනවට වඩා කළුවෙන් සහ සුදුවෙන් විතරක් දකිනකොට ඒකේ මොකද්ද මහ අමුතු සුන්දරත්වයක් මට දැනෙනවා. ඒවුණාට මං මෙතෙක් වැඩිපුරම අරං ඇත්තේ පාට පින්‍තූර. පින්තූරුකරණයට ආස වුණාට නිසි අධ්‍යයනයක් නැතුව ඇහේ හිතේ හුරුවට ජංගමයගෙන් ගන්න පින්තූරවුණත් මහ දෙයක් වගේ රස විඳින්න මට පුළුවන්. ඒවා අස්සට නානාප්‍රකාර ෆිල්ටර් දාලා තියෙන එව්වත් තියෙනවා, අත්දැකීම්වලින්නෙ අපි ඉගෙනගන්නේ. අනික සුන්දර සහ කලාත්මක වෙන්නෙ අමුවෙන්ම විතරයි කියලා නියමයක් නැහැනෙ. තමන්ට රිසි හැටියට සුන්දරත්වය දකින්න පුළුවන්, පෙන්නන්නත් පුළුවන්. අනුන්ට දුකක් කරදරයක් නොදී විඳින්නත් පුළුවන්. 

කළු සුදුවලට කොච්චර ආස වුණත් සමහර දේවල් ඒ හැටියෙන්ම විඳගන්න පාට ඕන. අහස් නිල, මුහුදු නිල, කෝපි පාට, දේදුන්න, බහින ඉර, හැන්දෑ අහස, කෙහෙල් දළුවල කොළපාට, රොබොරෝසියාවල රෝස පාට, කඳුවල තද කොළ පාට වගේ දේවල් විඳගන්න කළු සුදුවට අමාරුයි. පියවි ඇහැට පේන දැනෙන සුන්දරකම පින්තූරවලට කොටු කරගන්න එක මහ අපූර්වයකින් අහුරක් මිටකට ගන්නවා වගේ සුළුයි තමයි. ඒත් ඒ මිට ඇතුළේ පවා මෝහනය වෙන්න පුළුවන් ලස්සනක් කැටිකරගන්න ඇහැකටනේ පින්තූරුකරණය තියෙන්නේ. කළු-සුදුවට, වර්ණවට, පරණ තාලේ වගේ දුඹුරට කියන ඔය කොයිකත් නිසි තැන නිසි හැටියට යොදාගෙන ජීවිතේ පින්තූරවලට අල්ලගන්න එකත් දක්ෂකමක්. හරියට ජීවත්වෙනවා වගේම තමයි.

සමහර වෙලාවට අපි එහෙම සුන්දර දේවල් අල්ලගන්නෙ, පින්තූරෙකට කැටිකරගන්නෙ අනුන් වෙනුවෙන්. මං හිතන්නෙ මනුස්සයෙක්ට ආදරේ දැනෙන චූටි දේවල් ඒ වගේ කියලා. තමන් සාමාන්‍යයෙන් එතරම් තැකීමක් නොකරන දෙයක් වුණත් අනිකා ආසාවෙන් රස විඳිනවා කියලා දන්නා හින්දා මොන පින්තූරුකරණ න්‍යායක්වත් නොදැන, ගන්න සමහර පින්තූර මාර රහයි ඇහැට, හිතට දෙකටම. පහළ තියෙන්නේ පින්තූරයක් ගන්නවත් නැගිටින්න උදාසීනවුණ, ඒත් ඇහෙන් හිතෙන් අහස උරාබොමින් හිටි මගේ සිතුවිලි කියවපු කෙනා මං වෙනුවෙන් ගත්ත එහෙම පින්තූරයක්. ඒ රෝස පාට වළාකුල තියෙන්නෙ දැන් මගේ හිතේ.😇💓

තාත්තත් ඒ වගේ. මං පින්තූර ගන්න ආසවෙයි කියලා හිතන සමහර දේවල් දැක්කම "අක්කී, ෆෝන් එක අරන් එන්න මෙන්න මේක ගන්න" කියලා මහ හදිස්සියක් වගේ උන්හිටිගමන් එහා කෙළවරේ ඉඳන් කෑගහන්නෙත්, මහ පාරවල් අයිනෙත් වාහනෙ නවත්තගෙන ඉවසීමෙන් ඉන්නෙත් ඒකයි කියලා මං දන්නවා.😇

ඇයි හදිස්සියෙම මෙහෙම කළු සුදු ගැන ලියන්න හිතුණේ කිව්වොත් ඒ නම් ඔය අනික් පින්තූරේ තියෙන කතාව දැකලා. කළු සුදුවලින් මිනිස්සුන්ගෙ ආත්ම අල්ලන්න පුළුවන්ද කියලා ලොකු තර්කවිතර්කවලට යන්න පුළුවන් ඇති. ඒත් මට හිතෙනවා අළු පාට මිනිස්සුන්ගේ ආත්ම කළු සුදු අස්සට ලඝු කරන්න හදන එක අපරාදේ කියලා. අපිට ඕන අළු පාට මිනිස්සුන්ට ඒ අයගේ අළු තීව්‍රතාව අපේ අළු තීව්‍රතාවලට ගලපගන්න ගමන් අපි ආස පාටින් ඒගොල්ලොන්ව දකින එක, අපිට ඒගොල්ලොන්ව පේන ලස්සන පාට එයාලටත් පෙන්නනන එක, සමහරවිට අපි එකිනෙකාට දැනෙන හැටිය පාට ගලපමින් පාට කරගන්නා එක. ආදරේ කියන්නේ ඒකට.❤️

~තනියා
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal

Saturday, January 13, 2024

මාගේ මේ ව්‍යායාමය!

අවුරුදු දෙකකට විතර පස්සේ මං ආයෙමත් මගේ ව්‍යායාම කෙරුවාව පටන් ගත්තා අද. මේක කලින් සැරේ පටන්ගත්තේ නං කොරෝනා කාලේ, එක හේතුවක් මහත්වීම. අනෙක කරන්න වෙන වැඩ නැතිවීම.

ඇඟ කොච්චර නම් හොරගෙඩියෙක් වෙලාද කියලා අවබෝධ කරගනිමින් අන්තිම butterfly stretch එකෙන්ම මැට් එක උඩ වැටිලා ඉන්න ගමන් කාලෙ කන්න ආසාවට මේක ලියන්නේ. ඇප් එකක මංම හදාගත්ත ප්ලෑන් දෙකකට workout කරමින් හිටි මම ඇයි අද මේ හදිස්සියේම මේක පටන්ගත්තේ කියලා ඇහුවොත්.. මාස ගාණක් තිස්සෙ බාලගිරි වෙමින් තිබ්බ තීරණයක් මේක. වෙලාවට කරගන්න දෙයක් නැතිවුණ කොරෝනා කාලේ ඉඳලා වෙලාව මදිවෙන සාමාන්‍ය ජීවිතේට ඇවිත් ඒක අස්සට අනවශ්‍ය වැඩත් ඔබාගෙන සංකීර්ණ කරගෙනනේ ඉන්නේ. 😁
ඔහොම හිත හිත ඉන්නකොට ඊයේ පෙරේදා දවසක හීනයක් දැක්කනේ මහ විකාර. කාර්යාලේ මොකක්ද මහ රැස්වීමක් මැද්දේ plank එකක් කරන්න වෙලා මගේ කම්මැලි ශරීරේ අඬ අඬා අමාරුවෙන් දත්මිටි කාගෙන plank එකේ ඉන්නවා! 😂
ඔය හීනේ අරුත් පසිඳලීම පැත්තක තියලා මං බැලුවා අද පුළුවන් ද කියලා.
මොන!
තප්පර 30ක් ඉන්න බෑ මිත්‍රවරුනි! 😔 දණ නැමෙනවා!😑

ලොකුකමට ව්‍යායාම ජාති 40ක ප්ලෑන් එක කරන්න ගියේ. පළවෙනි දෙක කරද්දී අඟුරු කෝච්චිය වගේ හති! සමහර ඒවා බාගෙට, skip කරපු දෙක තුනකුත් නැතුවාම නෙවෙයි.
සරීර හොරෙක් වීමේ දුක දරාගෙන ඒ දුකට හිනාවෙන්න මේක ලිව්වේ. අවුරුදු දෙකක් කියන්නේ ස්වල්ප කාලයක්ද. 
කමක් නෑ, බිංදුවෙන් පටන් ගන්නවා, බිංදුවෙන්! 💪

~තනියා
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Sunday, September 3, 2023

මකුළුවා

 මකුළුවා කියන්නේ මොන වගේ සතෙක්ද කියලා කව්රු හරි මගෙන් අහල නෑ, ඇහුවොත්...
ඌ භයානක එකෙක්. හීනි දිග අට පය විහිදං සිටි සිටි ගාලා ඇවිදලා විතරක් මගේ කොඳු නාරටිය හිරි වට්ටවන්න විතරක් නෙවෙයි, ඌට පුළුවන් මගේ හීන දකින හැම රැයක්ම තත්පරයට කුඩුපට්ටං කරලා දාන්න! හරියට.. ඔව් ඒ වගේ..

මගේ බංගලාවේ දොර අරිද්දිම ඒ වගේ එකෙක් සිටිසිටි ගාලා දුවං ඇවිත් දොර උලුවස්ස දිගේ බිත්තියට නැග්ගා එදා හවස! ඊටපස්සේ ටික වෙලාවකින් ඌ ඇඳට උඩින් සීලීමේ එල්ලුණා උඩුයටිකුරු අතට.. ඌ එහෙම දකින්න උත්සාහ කළ ලෝකය මොනවගේ එකක්ද කියලා මම දන්නේ නෑ, හැබැයි ඌ දැක්ක ඒ ලෝකේ නොකඩවා ඌ දිහාම බලා හිටි නේත්‍රා යුග්මයක් තිබ්බ බව නං මට සහතිකයි. උන්ට නේත්‍රා යුග්මම හතරක්, සමහරුන්ට අඩුම හයක් තියෙනවලු. අපි දෙන්නට දෙන්නා එකට හතරේ අනුපාතේට උඩුයටිකුරු:යටිඋඩුකුරු අනුපානෙට අපි දිහා බලං හිටියා පැය ගාණක්. එතකොට තමයි අපේ ලයිට් අපිටම අරින්න තීරණය කරලා තිබ්බේ. කලුවරේ අතට අහුවුණ ෆෝන් එක තකහනියක් ඔබලා ෆ්ලෑෂ් ලයිට් ගහන් බලන් ඉන්න තරම් අපි අපිටම ආසක්ත වෙලා හිටියා පැය ගාණක්. හෙවණැල්ලත් එක්ක ඌ ඌට වඩා විශාල, මවාගත්ත පෞර්ෂයයක කිමිදිලා මෝහනය වෙලා වගේ හිටිපියෙන්ම හිටියා. 

මට ඇතිවුණා. 
කොහෙවත් ඉන්න ** මකුළුවෙක්ගේ ඊගෝවට ලයිට් ගහනවට වඩා වැඩ තියෙන බව මතක් වෙලා ජනේල් තිර අස්සෙන් අරහෙට මෙහෙට විපරම් කළාම දැක්කේ අහල පහල එළිය බව. වහාම ඉහළ ගිය ට්‍රිප් ස්විච් රාජය පහළට දාලා ආයෙත් එද්දිත් ඌ එතන එහෙමමයි! 

මගේ ඉවසීම පැන්නා. ඒක ඕනෑවට වඩා කෙනිත්තිලා පනින කොණේ තමයි තිබ්බෙ. ඌ දිහා බලාගෙනම නානකාමරේට රිංගලා නානකාමරේ බ්‍රෂ් තඩිය උරුක් කළා සීලිමට. 
ඌ මං බලාපොරොත්තු වුණ පාරේ යනවා වගේ හැරිලා මාව රැවැට්ටුවා.. ඔව් ඒ වගේ තමයි..
මාත් උද්‍යෝගයෙන් තව තට්ටුවක් දැම්මා සීලිමට. 
ඌ හිතන්න තප්පරයක්වත් නොගෙන සේද නූල් සූත්තර දියත් කරන් බිමට පැන්නා! මම පස්සට පැන්නා ඊට තප්පරයක ප්‍රමාදයෙන්.
ඔව්, මං පැරදුණා. ඌ පැනලා ගියා. කොහෙටද කොහොමද කියලා හිතන්නවත් වෙලාවක් වුණේ නෑ.

අමාරුවෙන් නැවිලා දණිපණි ගාගෙන මං ඌව හොයන්න පටන් ගත්තා. ආයෙමත් ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් එක ගහගෙන. ඇඳ අස්සට ගිය බවට සැකය මගේ උදර කුහරය දෙදරවගෙන මොළේට නැග්ගා. 

මං හිතුවා හරි. ඌ හිටියා.
අඩුපඬු ටිකෙන් ගුලි කරන් බිත්තරයක්!
ඇඳ පහළ විට්ටමේ ඇතුල්පැත්තේ අස්සෙ හැංගිලා.
ටෝච් එළියට ඌගේ ඇස් කොණක ක්‍රෝධයක් දිලිසෙනවා. මට බය හිතුනා තමයි. බිත්තරයක් එක්ක ඌ මේ ඉන්න ගේම, මරාගෙන මැරෙන එකකට අන්තයි. ඌට පුළුවන් බිත්තරේ වෙනුවෙන් මේක ඌගේ එකම සහ අවසාන යුද්ධය කරගන්න. මම පසුබැස්සා.

ඇඳේ තට්ටු කරන්න ගසන්න පුළුවන් හැමතැනටම තට්ටු දාලාත් මට බැරිවුණා ඌව එළියට ගන්න. මහන්සිය අමාරුව මාව වෙලාගෙන හිටියේ පිඹුරෙක් වගේ. මකුළුවෙක් මදිවට පිඹුරෙක්!
එන දේකට මූණ දෙන්න බලාගෙන මම නිදාගත්තා. පුළුවන් තරම් වෙලාවක් ඇස් ඇරගෙන සිහිය අල්ලං හිටියේ. එතනින් පස්සෙ මොකක්වුණාද කියලා මං දන්නෑ. ඌ තාම බිත්තරේ අල්ලං ඉන්නවද නැද්ද කියලා මං දන්නෙත් නෑ.
බිත්තරේ බිඳුනොත් ඌට මොකද්ද වෙන්නේ කියලා මං දන්නෙත් නෑ. 
ඌ අද හෙට එළියට ඒවිද කියලා මං දන්නෙත් නෑ.
කොටින්ම ඌ ගැන මොකද කරන්නේ කියලත් මං දන්නෑ! 

~තනියා
✏️: Aash Weerasinghe 

#AW #thaniya #medusa #medusasjournal #lka

Thursday, March 30, 2023

ලොකු මාමා

පුංචිම කාලේ මං ලොකු මාමාට බයයි. එතකොට ඇටිකිත්තෙක් සයිස් මට අඩි හයක් උස, කලු, මූණ පුරා නේවි කට් රැවුල වවාගත්ත ලොකු මාමා පෙනුණෙ යෝධයෙක් වගේ. සාමාන්‍යයෙන් අපි එක්ක වැඩි කතාබහක් නැතිවුණාට ලොකු මාමා සීයා එක්ක කරපු සංවාදවල කව්රු කාව පරද්දනවද කියලා හිතාගන්න බැරිවිදිහෙ සමානකම් තිබ්බා. සීයාගෙ උසයි බුද්ධිමත්කමයි ආත්තම්මගේ හිනාවයි උරුම වෙලා තිබ්බා කියල මට හිතුණට ආත්තම්මා බොහොම ආඩම්බරෙන් කිව්වෙ ලොකු මාමා ආත්තම්මලගෙ ආරෙට ගිහින් කියලා. පහුකලෙක මොන දුරස්වීම් තිබ්බත් සීයටයි ආත්තම්මටයි තමන්ගෙ පළවෙනි දරුවා කියන ආදරේ කවදාවත් නැතිවුණේ නෑ කියලා තමා මේ පැත්තෙ ඉඳන් ඒ දිහා බලන් හිටිය මට දැනුණේ. ඒ ඈත්වීම් ආත්තම්මට වඩා දැනුණේ ඒ ගැන නිහඬව හිටිය සීයාට වෙන්නැති කියලත් හිතිච්ච වෙලාවල් තියෙනවා. 

ලොකු මාමා එක්ක මං එකඟ නොවිච්ච තැන් ඕනෑතරම් තිබුණා. නීතියට වැඩ කරන ගතිය, බුද්ධිමත්කම සහ ඒ පෞර්ෂයය ගත්තම මං අගය කරන පුරුෂ පෞර්ෂයයන් අතලොස්ස අතරින් ලොකු මාමත් ඉහළින්ම හිටියා. හැබැයි සමහර අවස්ථාවල එච්චර බුද්ධිමත් මනුස්සයෙක්ට පවා සමහර දේ දිහා පටු කෝණවලින් බලන්න පුළුවන් කියලත් මං ඉගෙන ගත්තා. රලු යෝධයෙක් වගේ පේන මනුස්සයෙක් ඇතුලෙත් නොහිතන දේවල්වලට රිදවෙන සංවේදී මනුස්සයෙක් ඉන්න බවත් මං දැනගත්තෙ ලොකු මාමගෙන්. ඒත් ඒ ගැන කතා කරන්න අපිට කවදාවත් අවස්ථාවක් ලැබුණේ නෑ. 

අසනීපයෙන් ඉන්න බව ආරංචිවුණත් මහා අහංකාර මනුස්සයෙක් හින්දා කව්රුවත් තමන්ව බලන්න එනවට එයා අකමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. ඒ අකමැත්ත නොතකා එයාව බලන්න ගිය පවුලේ අයට පවා ඇයි ආවේ කියලා අහන්න මොන ලෙඩ ඇඳක හිටියත් ඒ අහංකාර කට ඇරුණා කියලා පස්සෙ ආරංචිවුණාම තරහ ගන්නවා වෙනුවට මට හිනාගියා. ඒ ලොකු මාමා කව්ද කියලා යම්තාක් දුරකට ඈත ඉන්න මට තේරුම් ගන්න පුළුවන් වෙච්ච හින්දා වෙන්න ඇති. ඒ වගේ ස්වාධීනත්වය අගය කරන, අම්මා තාත්තට පවා දෙවැනි වෙන්න අකමැති, කිසිකෙනෙකුට ඔලුව නවන්න අකමැති අහංකාර මිනිහෙක් තමන් ලෙඩකට දුකකට පැරදිලා ඉන්නවා කිසිකෙනෙකුට පෙන්නන්නවත් අනුකම්පාව ලබන්නවත් තියෙන අකමැත්ත මට තේරෙනවා. 

ඒත් ලොකු මාමගෙ මරණයේ ආරංචිය මං දැනගත්තේ දවස් ගාණක් පහුවෙලා. මට දැනෙන්නේ පුංචි කාලේ ඉඳන් දැක්ක මහ විශාල රූස්ස ගහක් එක සැරේම අතුරුදහන් වෙලා වගේ මහ හිස්කමක්. 

ගිහින් එන්න ලොකු මාමේ. මේ ආත්මයේ වගේම බුද්ධිමත්ව, හොඳ පෞර්ෂයයක් ඇතිව යහපත් නිදුක් නිරෝගී මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න. මේ ආත්මයේ මග හැරුණු ඇතැම් දේත් ධර්මයත් අවබෝධ කරගෙන අමා මහ නිවනට මග හදාගන්න. සංසාරේ කොතැන හරි හන්දියක මුණගැහුණොත් යහපත් පිරිවර ලබාගෙන, හොඳින් ඉන්නවා දකින්න ලැබෙන්න ඕන. 

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Friday, March 17, 2023

වටවන්දනා සර්විස්

මේක සෑහෙන්න පරණ කතාවක්.
ඒ දවස්වල මං ගියා කාර්යාල ප්‍රවාහන සේවාවක. හිමිකරු/රියැදුරු සාන්ත. සාන්තගේ වෑන් එකේ හිටියේ කාන්තා පාර්ශවය විතරයි. වෙලාවටම ආවට ගියාට සාන්ත ගියේ මහ දුර පාරවල්වලින්. කොටින්ම එක වාහනයක් විතරක් යන්න පුළුවන් විදිහේ දහ අට වංගු, පටු පාරවල්වල යන්න තමයි සාන්ත ආසම. ඒ වෑන් එකේ අන්තිම සීට් එකේ වාඩිවෙලා ඔලුව කෙලින් තියාගෙන ඉස්සරහ බලං ගියොත් අනිවාර්යයෙන්ම කැරකැවිල්ල හැදෙනවා! (ආ මේ ආසන වෙන් කිරීම කරන්නෙත් එයාම තමයි). මාව ගෙදර ළගින් ගන්න හරි දාන්න හරි කොයිතරම් පුළුවන් වුණත් සාන්ත නෙවෙයි ඒකට කැමති. හැබැයි ඉඳලා හිටලා ආ මිස්ව මං ගෙදර ළගින් දාන්නංකො කියලා ඒ පාරේ යන දවසුත් තියෙනවා මොකද මං තමයි අන්තිමටම වෑන් එකෙන් බහින්නේ සමහර දවසට.

මිනිහ පොඩ්ඩක් අහිංසක වගේ පෙනුණට සමහරවෙලාවට හෙන භයානකයි! අපි ඔය එන අතුරු පාරවල් අස්සෙදි තියෙනවා රේල්පාරක් හරහා එන්න. ඒක කොහොමත් පාරට වඩා තරමක් උස කණ්ඩියක්. එතන රේල් ගේට්ටුවක්වත් සිග්නල් ලයිට් එකක්වත් නෑ. ඒ හරියේ තියෙන පොඩි ගෙවල් පේලිවල මිනිස්සු තමයි අත්දැකීම් මත කෝච්චි යන එන වෙලාව බලලා සිග්නල් එක දෙන්නේ, ඒකත් ඉතින් හැමෝමම නෙවෙයි. මොකෝ ඉතින් ඒ මිනිස්සුන්ටත් වෙන වැඩ නැතුවයැ!

සාන්ත කොච්චර ට්‍රැක්ද කියනවා නං හැමදාම අර ජරබර ගාන වෑන් එක හිමීට රේල්පාර තියෙන කණ්ඩිය උඩට නග්ගලා කිසීඊඊඊම කලබලයක් නැතිව හිමීඊඊට වටපිට බලලා හරීඊඊම හිමීඊඊඊට තමයි රේල්පාර හරහා එන්නේ. පළවෙනි දවස් කීපයේ මාත් බලං හිටියා ඉතින් මේ මරාගෙන මැරෙන මෙහෙයුම් සැලසුම දිහා. මළාට කමක් නෑ ඒත් කෝච්චියට වැදිලා ඇද්දිලා ගිහින් දහදුක් විඳලා මැරෙන්නේ මොකටද? අනික නොමැරී ඉතුරු උනොත් එහෙම!

සාන්ත ටික දවසක් යද්දී මාත් එක්ක පොඩ්ඩක් ෂේප් වෙලා හිටියේ. කොටින්ම ඉන්දියානු තාලෙට නැන්දම්මා දුං අල්ලලා තිලක තියලා ලේලිව ගෙට වඩම්මනවා වගේ තමා සාන්තත්. හෝ ගාලා කියෙව්වට මට එහෙම කියවන්න ආසාවක් නැති නිසා සමහර වෙලාවට අන්තිම සීට් එකේ කොණට වෙලා මං බොරුවට නිදි. මොන! මේ මනුස්සයා සෙනග ටිකක් අඩුවෙච්ච වෙලේ ඉඳන් අර ඉස්සරහ කොණේ ඉඳගෙන "මීඊඊඊඊඊස්ස්... මීඊඊඊඊඊඊඊස්ස්ස්..."කියලා කෑගගහ මොකක් හරි කතාවක් කියනවා. මට ඉතින් පුදුම දයාවක් ඇතිවෙනවා මේ පාන් කියාගන්න බැරි මහන්සියෙන් ගෙදර යන සිහියෙන් ඉන්දැද්දි ඔය බයිලා අහන්න වුණාම.

ඉතින් අර රේල්පාරේ මැද ඉඳන් කරන මරාගෙන මැරෙන සැලසුම ගැන මං ඔහොම කෑගහන සාන්තට කිව්වා මෙහෙම!
" (අහිංසක, බැරෑරුම් මූණකින්) සාන්ත, ඇයි ඔයා අර රේල්පාරේ නවත්තගෙන කල්පනා කරන්නේ? අපිව මරන හැටිද?"
"අනේඒඒ මීඊඊඊස්ස් මං කාට එහෙම කළත් මිස්ට එහෙම අනතුරක් වෙන්න දෙනවද? ඉතින් එහෙම තමා වාහනේ එලවන්නෙ කලබලයක් නෑනේ"
"හැබැයි කොයි වෙලාවක හරි කෝච්චියක් ඇවිල්ලා හැපිලා අපි මැරුණොත් සාන්තට තමයි අපේ දරුපවුල් බලාගන්න වෙන්නෙ ඔන්න. ඒක හරිම භයානකයි නේද" (මං මේ බොහොම කරුණාවෙන් යාප්පුවෙන් අහන්නේ මොකද මිනිහට ටිකක් ට්‍රැක් නිසා ආයෙ වාහනෙ හරවං ගිහින් මාත් එක්කම රේල්පාරේ නවත්තලා ආවොත් එහෙම!)
" දැන් මිස් වෑන් එකෙන් අයින් වෙනවද ඉතින්? අනේ මිස් එහෙම වුණොත් මං මිස්ට පේන්නම බේරේ වැවට පනිනවා! (හෑඈඈ! මොන මගුලක්ද මේ!!😳) 
"පිස්සුද! ඒ මොකටද ඒ!! අනේ සාන්ත පොඩ්ඩක් කල්පනාවෙන් ඔය රේල්පාර හරහා යන්න, අපිව මරන්නේ නැතුව. අන්න එච්චරයි ඕන" කියාගෙන මම දඩිබිඩියේ වාහනෙන් බැහැගත්තා.

ඊටපස්සේ දවසක උදෙයි හවසයි දෙකේම මෙන්න මේ මනුස්සයා මාව පෙනි පෙනි දාලා ගියානේ! මං කෝල් කළාම ආන්සර් කරන්නෙත් නැහැ. පස්සෙ යාලුවෙක්ගේ ෆෝන් එක දීලා ඇයි ඇහුවම කියනවා 'මිස් පහුගිය දවස් ටිකේම මාත් එක්ක වචනයක්වත් කතා කළේ නෑනෙ. ඒක නිසා මගෙ හිත රිදුණා, මං දාලා ගියා!"ලු.🤦‍♀️🤷‍♀️

එතනින්ම ඒ වටවන්දනා ගමන නිමවුණා මිත්‍රවරුනි.
හැබැයි මං මාරක දෙකකින් බේරුණා මං හිතන්නේ😂

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Saturday, March 4, 2023

නොස්ටැල්ජික් ඉත්තෑකූරූ

ඉස්සර අපේ ආත්තම්මලගෙ ගෙදර අල්මාරි ලාච්චු, කබඩ් අහුමුලු කියන්නේ සම්පත් ආකර. මට හොයන්න දහසක් සුකුරුත්තං තියෙනවා, කරන්න දහසක් දේවල් තියෙනවා. බැරිම වුණොත් මාල අමුණනන්න තරම් එක එක ජාතියේ ලස්සන බොත්තම් හරි තියෙනවා.

එහෙම දවසක සුපුරුදු සම්පත් ගවේෂණය කරද්දී මිත්‍රෝරුනි මට හම්බුණා ඉත්තෑකූරූ! 
එකක් දෙකක් නෙවෙයි, තොගයක්! 
එයින් කූරක් අරං ගිහින් වැඩක හිටි ආත්තම්මගෙන් ඇහුවම ඉත්තෑකූරූ කියලා මිසක් යටගිය දවස බරණැස් නුවර කතන්දරේ එවෙලේ අහන්න ලැබුණේ නෑ.

ඉත්තෑකූරක් හරි නිකං තියෙනවා බලන්න බැරි ඉත්තෑවෙක් හිටියා ඒ දවස්වල මට😂
ඉතින් මං මේ ඉත්තෑකූරූවලින් කරන්න ව්‍යාපෘතියක් ගැන හිතමින් චොක්ලට් එකකටමත් වග කිව්වා. ආයෙත් වටයක් ගහලා බලනකොට මෙන්න ඊට එහා ලාච්චුවක තියෙනවා ලස්සන පාට ලොකු ඉටිපන්දම් වගයක්. හරි, ඒ මහ දවාලේ කැටයම් ශිල්පයේ කෙල පැමිණි අපේ මුතුන් මිත්තන් ආවේශවීම නිසා මම තීරණය කළා ඊළග ව්‍යාපෘතිය ඉත්තෑ කූරුවලින් ඉටිපන්දම් කැටයම් කිරීම කියලා. 

දැන් හොඳට බරසාර මූණකින් සාලේ මැද්දේ වාඩිවෙලා මම කැටයම් වැඩේ පටන් ගත්තා. ඒත් වැඩිවෙලාවක් යන්න කලින් එදා ටොරින්ටන් චතුරස්‍රයේ තැඹිලි කරත්තකාරයෙක් විදිහට ආපු මරාගෙන මැරෙන කොටියෙක් බෝම්බයක් පුපුරුවගෙන කියලා ඔන්න ටීවි එකේ ඒ මගුල පෙන්නන්න ගත්තා කියන්නකො. ලංකාදීපේ මුල්පිටුවේ බාබුගේ ඔලු කෑල්ල දැක්ක දවසේ ඉඳන් මගෙ මිනී ඔලු භීතිකාව වැඩිවෙලා තිබ්බේ. භීතිකාව පටන් ගත්තේ නං භීෂණ කාලේ. ඉතින් අච්චර වැදගත් ව්‍යාපෘතියක හිටිය මං දඩස් ගාලා ඇස් වහගත්තත් ඒ වෙද්දීත් තැඹිලි කරත්ත කාරයාගේ කකුල් කෑල්ලක් දැකලා ඉවරයි! අතේ තිබ්බ ඉත්තෑකූර ඉටිපන්දම අස්සෙන් ලිස්සලා ගියා, ඇඟිල්ලක ඇනුණා, ලේ පැන්නා..
නෑ නෑ.. නින්දට වැටුණේ නෑ..
ඒ සැණින් චොක්ලට් පාටට වමනෙ ගියා.!
මං දන්නෑ ඒක ඉත්තෑකූරුවල විසක්ද නැත්නම් කොටියගෙ මස්කෑලි දැක්ක අපුලද කියලා.. ඉතින් එතැනින් ව්‍යාපෘතිය ඉවර වුණා..

ඉත්තෑවා කියන්නෙ අහිංසක සතෙක් වෙන්නැති. හැබැයි උන් කොළඹත් ඉන්නවා! කටු ගොඩ විහිදං  මහ පාන්දරවල අවතාර වගේ ඇවිද ඇවිද වලවල් හාරනවා, පොල් තැඹිලි එහෙම බිමක තිබ්බොත් ඒවත් හිල් කරනවා.

ඉත්තෑ කතන්දරේ මතක් වුණේ මේ දවස්වල මාකයියට මොකෙද්දෝ ඉත්තෑවෙක් වැහිලා දිගට හරහට ඉත්තෑ වීඩියෝ, පොස්ට් ෆේස්බුක් ෆීඩ් එකට එන නිසා.
කාටහරි පුළුවන් නං එයාව ඒ ඉත්තෑවගෙන් ගලවගන්න, ප්ලීස්🙏🤪

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Wednesday, January 4, 2023

ක්‍රීම් කතා

දැන් ඉතින් හැමදෙයක්ම ගණන් නිසා ආලේපනවලට විකල්ප හොයන්න කල්පනාකරමින් ඉන්දැද්දි සකර්බර්ග් අයියා අංජනම් දේවි සමග කුමන්ත්‍රණය කරලා මට නානාප්‍රකාර ආලේපන ජාති යෝජනා කරන්න පටන් අරන් තිබ්බේ. එහෙම යෝජනා අතර අනාදිමත් කාලයකදී  පාවිච්චි කරපු body lotion එකක් ආයෙමත් මෙහෙ තියෙන බව දැක්කනේ!🤩

ඔය ඉස්කෝලවල මොනමොන නීති දාලා තිබ්බත් අපිත් ඒ කාලේ ඒ නීතී දැලේ හිල් මග නොහැරපු මිනිස්සු නිසා ඇහිබැම් ගැලවීම, පෙම්රැලි දැමීම, ඩොංකි කැපීම වගේ ඕනෑම අන්ධයෙකුට පේන වැරදි මගහැර (ෂේප් එකේ) ආලේපන - විලවුන් භාවිතය, විශේෂ අමතර පංතියක් දවසට විතරක් යුනිෆෝම් අතරින් හොඳම හැඩම කොටම ගවුම ඇඳීම වගේ අහිංසක නීති උල්ලංඝනය කිරීම් කළා ඉතින්.
ඉස්කෝලෙ නීති සංග්‍රහය නං මොනවද ගෙදර දණ්ඩ නීති සංග්‍රහය එක්ක බැලුවහම. ඒත් ඉතින් කුලුඳුල් දුවට සමහර නීති රීති එච්චර තදටම ක්‍රියාත්මක කරන්නත් තාත්තට ඕන වුණේ නෑ. ඒක නිසා ඉස්කෝලේ ගේට්ටුවෙදී මාව ඉඹලා බලලා ආයෙ හරවලා ගෙදර එවන්න අවධානමක් තිබ්බා කිව්වත් (එහෙම වුණේ නෑ ඉතින් කවදාවත්) නාන-ගාන ආලේපන-විලවුන් අරව මේවා ටික අඩුපාඩුවක්, විරෝධතාවක් නැතුව සපයන්න තාත්තා කටයුතු කළා❤️

ඕක හින්දම ඒ දවස්වල විපක්ෂයෙන් සෑහෙන්න විරෝධතා අපේ ගෙදර. 'මං කිව්වම තමයි මොනහරි අමතක වෙන්නෙ ගේන්න, දූට ගේන දේවල් හරියට ගාණට වෙලාවට ගෙනත් දෙනවා' වාගේ අවලාද ඒ දවස්වල අපේ ගෙදර තැටිගත කරලා තිබුණේ.😂

මං හිතන්නේ පළවෙනි දරුවා හැටියට මං පර්යේෂණ ව්‍යාපෘතියක් වුණාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන සාධාරණම විදිය තාත්තා දැනගෙන හිටියා කියලා. පිරිමි යහලුවන් ආශ්‍රය වගේ දේවල්වලදී අන්තවාදීව පරිස්සම් සහගතවුණත්😬 ඒ වයසට කරන්න ඕන හැමදේම වැළැක්වීම වැරදියි කියන ආකල්පයෙන් වෙන්න ඇති තාත්තා ඉන්න ඇත්තෙ, සමහරවිට. 
මේ වැඩිහිටි වයසෙදි වුණත් තාත්තා දන්නවා තාත්තා කතා කළ යුතු කොතැනද නිහඬ විය යුතු කොතැනද කියලා. ඒක හරිම කලාතුරකින් වැඩිහිටියෙකුට ඇතිවෙන පරිණතකමක්. මොකද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සමාජය ඔය කියන තරම් ප්‍රජාතන්ත්‍රවාදී නැති නිසා ඕනෑදේ එපාදේ හැමදේටම දාන්න භාර වෙච්ච හොටවල් අපි අතර සුලබයි! 

අනෙක් කාරණය තාත්තා ඒ තරම් ආලේපන, විලවුන්, හැඩවැඩ පස්සෙ පැන්නුවෙ නැතිවුණත් සීයා සහ ලොකු තාත්තා සුවඳට හැඩට හිටිය/ඉන්න අත්දැකීම් වෙන්නත් පුළුවන්. 

අතුරු කතාවකට ගියානෙ 😂

ඉතින් ඔය පහළ තියෙන body lotion එක  ඒ දවස්වල තද නිල්පාට මූඩියක් තිබ්බ හොඳ පැහැදිලි හතරැස් හැඩතල සහිත බෝතලයක්. දැන් නං ටිකක් අරහෙන් මෙහෙන් රවුම් කරලා අර සමහරක් අලුත් වාහනවලට කරලා තියෙන අපරාදේ වගේ😅 

Personal Care brand එක යටතේ මේකේ වර්ග කීපයක් තියෙනවා, Shea butter, Cocoa butter සහ Vitamin E කියලා. ඒ කාලේ ඇබ්බැහි වෙලා හිටියේ නං Cocoa butter එකට. ඒත් ඒක out of stock නිසා Shea butter තමයි හම්බවුණේ. 

රෙකමදාරුව කරන්න හිතුවෙ පරණ මතකයකට ගරු කරලා. මේක ඉස්සර mid-range product එකක් හැබැයි දැන් ඊට වඩා mid to high range products තියෙනවා. ඒක නිසා වෙන වෙන ඒවා එක්ක compare කරන්න යන්න එපා. 
එහෙම දරුණුවට brand-conscious නැත්නම් මේක සාමාන්‍ය සමකට, දිනපතා භාවිතයට හොඳයි. Ultra-dry එකකට නම් වෙන විකල්පෙකට යන්න මට දොස් නොකියා🙏 ඉස්සර මේක කැනඩාවේ නිෂ්පාදනය කරලා තිබුණේ. කොම්පැනිය තාම කැනඩාවේ වුණාට දැන් නිෂ්පාදනය සඳහන්වෙන්නෙ තුර්කියෙ කියලා. 

ගත්තේ essentials.lk එකෙන්. හරිම සුහද, කාර්යක්ෂම සේවාවක්. දවස් දෙකෙන් deliverත් කළා💐
නිෂ්පාදනයේ ගුණාත්මකභාවය අතින් නං කියන්න සතුටුයි ඉතින්.. තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ.. 🎶🌼

සැ.යු: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් නොවේ!

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal

Monday, January 2, 2023

මාරියක් නොවන්නට නම්..

New year resolutions, new year new me වගේ ආරුක්කු බූරුක්කු නැතුව 2023 පටන්ගත්තා මිත්‍රවරුනි.
සුබ අලුත් අවුරුද්දක් වේවා!🙏

හහ්! New year resolutions නැතුව කොහොමද කියලා හවස්වෙද්දි ලෝකයා කෝපවෙලා. අවුරුදු ගාණක පළපුරුද්ද සහිතව ටිකිරි මාරි තේ එකේ පොඟවලා කන මට ජීවිතේ පළවෙනි වතාවට ටිකිරි මාරියක් තේකේ ගිලුණා කියන්නකෝ ඉතින්🙄

Memesවල තියෙනවා වගේම ගිලුණු මාරිය ගොඩගන්න තව මාරි කීපෙකින්ම උත්සහ කළත් වැඩේ ගොඩදාගන්න බැරිවෙලා මුල් මාරිය තේ පත්ලේ වැදී සැඟවී ගියා!
පොඟවලා කන එක දියකරන් කන්න එපා කියලා පැරැණ්ණෝ.....
ආ.. කියලා නැද්ද? 🧐
හරි.. කමක් නෑ දැන් මං කිව්වනෙ! 😏 ඒකෙන් වුණේ හිත සතුටින් ගත්තු මාරි ටික කන්නත් නෑ, රහට බොන්න හිටිය තේකත් අප්සෙට් රහක් වුණ එක විතරයි..! 

ඒ හින්දා මං තීරණය කළා මේ අවුරුද්දේ..
✅පොඟවලා කන්න තියෙන දේ දියකරගැනීමෙන් වළකින්න.
✅කොයිතරම් පණ්ඩිතයෙකුට වුණත් වරදින වෙලාවක් එන බව මතක තියාගන්න. 
✅තමන්ගෙ හැකියාව හරි සූරකම හරි ගැන අධිතක්සේරුවකට එද්දිම ඒක එහෙම නොවන තැනට වගබලා ගන්න.

ඒ ඇතිනේ ඉතින් මේ අවුරුද්දට😉

ආ.. තව තියෙනවා..
✅විවේචකයන්ට බම්බු ගහගන්න කියලා මට හිතුණොත් හෙට හවසත් තේ එක්ක මාරි කන්න!
(බිව්වත් මොකෝ ඒක මගේ වැඩක්නේ!😉) 

පොඩි දේවල් යන දුර! 😀

~✏️Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #year2023

Wednesday, November 9, 2022

ගුණේ අන්කල්

 හුනස්නෙන් නැගිට්ටවෙන තරම් කම්පනයක් ගෙනාව ඒ ආරංචිය ආවේ සඳුදා උදේ. ගුණේ අංකල්ගේ මරණය ගැන. 

ගුණදාස රාළහාමි මුලු ජීවිත කාලයම අචල හිතවත්කමින් සහ පක්ෂපාතීත්වයෙන් අපේ තාත්තා ඇතුළු පවුලේ අය එක්ක රැඳිච්ච, අලුත් ලෝකයට අරුමයක් වෙන 'අවංක හිතවත්කම' කියන එකට හොඳම උදාහරණයක් වෙච්ච, ඒ වඳවී යන ජීවී කුලකයේ සුන්දර මනුස්සයෙක්. කෙටිකාලීන හිතවත්කම්, වාසි ලාබ ප්‍රයෝජන ගැන අරමුණු, පරාජයේදී පසුබෑමේදී දාලා යන මිනිස්සු අතර ගුණේ අංකල් වගේ මිනිස්සු අතලොස්සයි අලුත් ලෝකේ ඉතුරුවෙලා ඉන්නේ. එහෙම එකේ ඒ වගේ කෙනෙක් ගියා කියන එක වෙනමම කණගාටුවක් ගේන කාරණාවක්.

ගුණේ අංකල් දැඩි එජාප පාක්ෂිකයෙක්. සීයාගේ කාලයේ ඉඳන්ම නොවෙනස්ව තාත්තලා එක්ක රැඳිච්ච හොඳම හිතවතෙක්. ඥාතීත්වයකුත් තියෙනවා අපේ තාත්තගේ මව් පාර්ශවයෙන්. පක්ෂ මතිමතාන්තර වෙනස්වුණාට පස්සේ වුණත්, මතවාද විරෝධතා අතර වුණත් කවදාවත් හිතවත්කම් අත්නොහැර කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් පෙනී හිටිය දුර්ලභ ගණයේ ජීවියෙක්. 

ෂොට් එකක් දාලා, විහිළුවක් කරගෙන හිටිය අහිංසක මනුස්සයා මාස දෙකකට විතර කලින් මුණගැහුණු වෙලාවෙත් සාමාන්‍ය හොඳ ශරීර සෞඛ්‍යයෙන් හිටියා. ගුණේ අංකල් නැතිවෙලා තියෙන්නේ හදිසියේ ඇතිවුණු හෘදයාබාධයකින්, තනියම හිටිය වෙලාවක. ඒ මොහොතේ අංකල්ට මොනවා හිතුණද මොනවා දැනුණද කියලා හිතද්දිත් ඒක හරිම සංවේදීව දැනෙනවා. ගෙදර එන්න ප්‍රමාද නිසා හොයද්දි තමයි පවුලේ අය දැනගෙන තියෙන්නේ. ඒ කතාව අහද්දිත් දැනෙන කම්පනය වචන කරන්න අමාරුයි. 

ගුණේ අංකල් අන්තිමට හම්බවෙච්ච වෙලාවෙත් නංගිට විහිළු කරමින් කිව්වම රුසියාවෙන් වොඩ්කා බෝතලයක් ඕන කියලා එයා ඒක දෙන්න යන්න බලං හිටියා අංකල්ව හම්බවෙලා. ඒත් අංකල් ඔක්කොටම කලින් හරි ඉක්මණ් ගමනක් ගිහින්, ඇවිත් යන්න කියන්න බැරි. 

හරි දුකයි ගුණේ අංකල්. තාත්තා මේ ආරංචිය කියද්දිත් කිව්වේ 'ඉන්නම ඕන මිනිහෙක්' කියලා. ඇත්තටම ඉන්නම ඕන මිනිහෙක් අංකල්. හරිම දුකෙන් වුණත් ප්‍රාර්ථනා කරන්නේ පුළුවන් නම් මේ සංසාර ගමනේ කොහෙදි හරි ආයෙ මුණ ගැහෙමු. ඒත් පුලුවන් ඉක්මණින් මේ ඝෝර කඨෝර සංසාරයෙන් මිදෙන්න, එතෙර වෙන්න ලැබේවා, නිවනට ශාන්තියට පත්වේවා. එතෙක් එළඹෙන සෑම ආත්මයකම යහපත් නිදුක් නිරෝගී මනුස්සභාවයන් ලබා සුගතිගාමී වේවා! 
එතෙක් සුබ ගමන්! 🌼

~ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #lka

Monday, October 31, 2022

අනී හමුවීම

ඒ හිතවතුනි, කොරෝනා කියා මාරයෙක් අප දෙස බලමින් තලු මරමින් ඉන්නා බවක  සලකුණක්වත් නැති BC (Before Corona) යුගය. සකලසිරින් පිරි සිරි ලංකාවේ අප ඒ වෙද්දී මාස්ලෝගේ පිරමීඩයේ උඩට කිට්ටු කරමින් හිටි නිසා සුපර්මාර්කට්වල එහෙම නිබඳ ජනගඟක් ඒ කාලේ ගැවසුණා. නිකංම නෙවෙයි, තල්ලු කරගන්නට අමාරු තරම් ගැල පටවාගත් කරත්ත එකිනෙකා හා තරග කරමින්.

මමත් එහෙම ගැල් තරගයකට මූණදීමේ අවධානම අරගෙන හන්දියේ කීල්ස් කඩේට ගොඩවුණේ ගොම්මංවෙලාවේ ගෙදර යනගමන්. කොහොමත් එදා ටිකක් වැඩිපුර කෝපිත් බීලා, හොඳ වැඩකොටසක් ගැන පෙරනිමිති දැකලා, බොහොම තෘප්තිමත් සතුටු මානසිකත්වයක හිටියේ. ඉතින්  අර ගැල තල්ලු කරාගෙන රාක්ක අතර සක්මන් කරද්දී මිත්‍රවරුනි මම දැක්කා මගේ පරණ මිතුරියක් ඉන්නවා. හරිම හැඩ ගෑණු ළමයෙක් මගේ ඒ මිතුරිය. අහල පහළම හිටියත් අපි බොහොම කාලෙකින් මුණගැහිලා තිබුණෙත් නෑ, සමාජ ජංජාලේ ඇරුණම. ඉතින්, මාත් අතක් ඔසවා 'හායිඊඊඊ' කියා ආචාර කළාම ඒ දැරිවිගෙත් අත එසවී මුහුණ කළඑළි වුණා. ඒ එක්කම එයාගේ ගැල ළග හිටි කාන්තාවක් මගේ හිසේ හිට දෙපතුල වෙනතුරු බලමින් 'කව්ද ඒ?' කියා කුටුකුටුවෙන් අහනවාත් මගේ තීක්ෂණ ඇසට අසුවුණා. මේ දැරිවිත් ඒ ගැල පසෙක දමා මා සිටි දෙසට නාරිගමනින් ඇදුණා එක ඇඟිල්ලක් කටේ ගසාගෙන. දැන් අපේ මේ ජවනිකාව දිග හැරෙන්නේ කීල්ස් ෆාමසිය පසුබිම් කරගෙන. ඒ දවස්වල කීල්ස් වන්දනා නොකර ගෙදර යන්නේම නැතිතරම් වත්කම් තිබූ නිසා කීල්ස් සේවක මණ්ඩලය මාව හොඳින්ම දන්නවා. ෆාමසියේ අන්කලුත් කණ්ණාඩි දෙක හදමින් කටත් බාගෙට ඇරගෙන මේ සිදුවීම බලා ඉන්නවා මට හොරැහින් පේනවා මිත්‍රවරුනි.

හැබැයි අර නාරිලතා ගමනින් එන ළමයා මගේ මිතුරිය වෙන්න බෑ කියලා අකුණක් කෙටුවා වගේ මට දැනීනොදැනී ගිහින් ලැජ්ජාවක සේයාවක් මගේ සුෂුම්නාව දිගේ ඩී එස් ගුණසේකර ගමනක් යනවා මට දැනුණා. මාත් ඉතින් දැන් මක්කොරන්ටද කියලා 'හායි, මම අර ඉස්සර වෑන් එකේ ගියේ' කියලා වැලීරියන් කඩුව එළියට ගත්තා. (ශ්‍රී ලංකාවේ මධ්‍යම පංතිය ලැජ්ජාවක් වෙච්චි ගමන් කඩුව අතට ගන්නවනේ, ඒක කෙමක්)
(අර වෑන් කතාව වෙනම ලියන්න ඕන එකක්)
එතකොට මේ දැරිවි මෙතුවක් කටේ ගසාගෙන හිටි ඇඟිල්ලෙන් තමන්ටම තට්ටු කරන් "mmm... me, xxxx" කියලා තමන්ගේ නම කිව්වා. ඔව්, අර පොඩි ළමයි තමන්ව අඳුන්නලා දෙන්නේ. අන්න එහෙම.
දවස පුරා බිව් කෝපි මගේ දෑසින් වැගිරෙන්නට වගේ ආවා මිත්‍රවරුනි, මේ පණ්ඩිත මට වැරදුණා කියලා දැනිච්ච හැඟීමට!
කමක් නෑ ඉතින් වැරදීම දේව ගතියක්නේ. මම වහාම මනුස්සයෙක් හැටියට මගේ වරද නිවැරදි කරගත්තා බස බස ගාලා එළියට ගත්ත කඩුවෙන්ම 'සමාවෙන්න මම හිතුවේ මගේ යාලුවෙක් කියලා. ඔයා ඒ වගේමයි. ආයෙමත් සමාවෙන්න' කියලා. මිල්ටන් මහත්තයා පවා එහෙම කියලා තියෙනවනේ,
'තරහා වනු එපා අයදිමි මා සමා
ඔබ හා මා කතා කළේ
මාගේ යෙහෙළියකැයි සිතා
ඔබ ඈ වාගේමයි' කියලා!

ඉතින් මේ දැරිවි බොහොම සුන්දරව හිනාවෙලා 'ආ ඒකට කමක් නෑ' කියලා පිළිගත්තට මට බැල්මක් දීගෙන ටික වෙලාවක් බලා හිටියා ' ඇත්තටම ඔයා මාව දන්නේ නැද්ද ගෑණියේ' වගේ. ඒක නම් කමක් නෑ. ගැල පිටිපස්සේ හිටපු එයාගේ වැඩිහිටියා මා දිහා රවාගෙන හිටි හැටියට එතනින් ඉක්මනින් මාරුවීම හොඳ බව දැනිලා මම ගැල තල්ලු කරගෙන වෙනත් රාක්ක පේළියක් අස්සට වැදී සැඟවී ගියා.

ඒ අතර කීප සැරයක්ම මට ඒ දැරිවිව මුණ ගැහුණා. කොයිතරම් නම් සුරතල්ද කියනවා නම් තේකොළ රාක්කෙ උඩ තියෙන එකක් ගන්න උස මදිකමට මාලු කපමින් උන් කීල්ස් කාර්යමණ්ඩලය එක්කං එන්න තරම්. ඒකත් අර ඇඟිල්ල කටේ ගසාගෙන 'අනීඊඊ මේ අන්න අරක අරන් දෙන්නකෝඕඕ' කියලා. එහෙම කියද්දී කාටද මොන හිතකින් ද බෑ කියන්න පුළුවන් නේද?
ටික වෙලාවක් එහෙම ජවනිකා දිගැරෙද්දි මට ආයෙත් අකුණක් කෙටුවා වගේ මතක ඡායාවක් ආවා මේ දැරිවි ප්‍රසිද්ධ මාධ්‍යයේ දැක්කදෝ මන්දා කියලා!!

මම ගෙදර එනකොටත් ඒ දෙපළ කීල්ස් දොරටුව ළග හිටන් හිටියා, වැඩිහිටියා ඒ වනතුරුත් අචල රැවීමෙන්!

ගෙදර ඇවිත් ලයිව් ඇට් 55 දුන්නම මිත්‍රවරුනි හරියටම සාක්ෂාත් කරගත්තේ අනී මම වැරදිලා කතා කරලා තියෙන්නේ නිළියකට කියලා! 🤦‍♀️🤦‍♀️🤦‍♀️ කව්දෑ ඉතින් දන්නේ නේද. 🤷‍♀️🤷‍♀️🤷‍♀️
:
:
:
:
:
:
:
:
ප. ලි. ඈ කව්දැයි කියා විමසීමෙන් වළකින්න. කියන්නේ නෑ නෑ නෑ නෑමයි😜

~✒️ තනියා

#AW #thaniya #medusasjournal #බයිට්කතා

Thursday, September 22, 2022

වයිර නැති මුත්තු

වයිරමුත්තු අන්කල් යාපනෙන් ඇවිත් දකුණේ පදිංචි වෙලා තියෙන්නේ මං ඉපදෙන්නත් කලින්. වයිරමුත්තු අන්කල්ගේ අයියා තමයි ඉස්සර සීයාගේ කොණ්ඩේ කපන්නේ ගෙදරට ඇවිත්. එතකොට ඒ එක්කම තුන්වැනි පරම්පරාවෙ පළවෙනියටත් ඒ සැලකිල්ලම ලැබෙනවා. ඒත් මම පුංචි කාලේ කොණ්ඩේ කපන්න බයයි. ඒකට දැන් කොණ්ඩේ කපන්නේ බාබර්ලත් එපා කියද්දී😅 ඉතින් මාව පුටුවක වාඩි කරවලා ලොකු වයිරමුත්තු අන්කල් කොණ්ඩේ කපනකොට මම ගල් පිළිමයක් වගේ ඉන්නවා කටේ ටොෆියකුත් ඔබාගෙන ඒ කෙළ ටිකවත් ගිලින්න බයෙන් කතුර ඇනෙයි, කණ කැපෙයි වගේ පුංචි එවුන්ට තියෙන ප්‍රශ්න කෙළකෝටියකින් ඔලුව පුරෝගෙන.

පස්සේ කාලෙක ලොකු වයිරමුත්තු අන්කල් නැතිවුණා. පොඩි වයිරමුත්තු අන්කල් කොළඹ ආවා. අපිත් කොළඹ දී වයිරමුත්තු අන්කල්ගෙන් තමයි කොණ්ඩේ කැපුවේ. තාත්තා අනිවාර්යයෙන්ම ගියේ එයා ළගට. ලෝකේ හොඳම බාබර් ළගට ගියත් වයිරමුත්තු අන්කල් තරම් හිතට ඇල්ලුවේ නෑ තාත්තට කාවවත්.

වයිරමුත්තු අන්කල් එතකොට හිටියේ සොයිසාපුර. සොයිසාපුරේට ඇතුල්වෙන පාරේම හොඳ සැලෝන් එකක් කළේ. ගෝලයොත් සෑහෙන්න හිටියා. පදිංචි වෙලා හිටියෙත් සොයිසාපුර මහල් නිවාසෙකමයි. ඒ කාලේ දුවයි පුතයි පොඩියි. අන්කල් කොච්චර සෙනග පිරිලා හිටියත් කොච්චර වැඩ තිබ්බත් තාත්තා එක්ක ගියත් අපි තනියම ගියත් අපේ වැඩේ තමන්ම බාරගෙන කරනවා. ඒකත් උපරිමයෙන්. සාප්පුවට ඇතුල්වෙන සැණින් බීම ගෙන්නලා දීලා සෙනග වැඩිවෙලාවක වුණත් ළගට ඇවිත් කතාබහ කරලා හිටපු අහිංසක මනුස්සයෙක්. ඒ හින්දම වෙන්න ඇති භීෂණ දෙකකට එකසැරේ මූණ දුන්න දකුණේ පවා ඔහුගේ පවුල ආරක්ෂිතව කාගෙත් ආදර කරුණාවට ලක්වෙමින් තමන්ගේ ව්‍යාපාර කටයුතුවල යෙදුණේ. සොයිසාපුර තත්ත්වයත් ඒකමයි. දන්නා තරමින් හැමෝම සමග සහයෝගයෙන් සාමයෙන් පාඩුවේ ජීවත් වෙච්චි මනුස්සයෙක් වයිරමුත්තු අන්කල්.
ඊටපස්සේ කාලෙක සෑහෙන්න දේවල් ලෝකේ වෙනස්වුණා. අපිටත් වයිරමුත්තු අන්කල් බලන්න යන්න බැරිවුණා. ගරාජ් එකේ තියාගත්ත පුටුවක වාඩිකරලා පරිස්සමින් කොණ්ඩේ කැප්පෙව්ව පොඩි වීරසිංහත් වයසින් වැඩිලා කොණ්ඩෙට එක එක විජ්ජාවල් කරන්න ගත්තම වයිරමුත්තු අන්කල්ගේ පරණ කතුරු නිකම්ම අතෑරුණා.

ඊයේ හවස අම්මලා ගෙට ගොඩවුණේම "අනේ අපිට වයිරමුත්තු හම්බුණානේ" කියාගෙන,ඒකත් හරිම දුක මූණුවලින්.
ඊටපස්සේ මට ඉස්පාසුවක් තිබ්බේ නෑ කොහෙදිද මොකද අරකද මේකද අහගන්න. මොකද අවුරුදු ගානකින්නේ මම වයිරමුත්තු අන්කල් ගැන ඇහුවේ.
ලස්සනට ව්‍යාපාරය කරගෙන හිටිය අහිංසක මනුස්සයා අද හරිම කරදර ගොඩකින් හෙම්බත්වෙලා කියලා ඇහුවම මට කඳුළුත් ආවා. හොඳ වෙලාවට විදුලි කප්පාදුව නිසා කව්රුවත් දැක්කේ නෑ. දෙයියනේ කියලා සරුවට තමන්ගෙම ව්‍යාපාරයක් කරගෙන හිටිය අන්කල් දැන් කොල්ලුපිටියේ පොඩි බාබර් සාප්පුවක වැඩ කරනවලු. තාත්තා හවස මතක්වෙලා කෝල් එකක් දීලා හොයාගෙන ගිහින් බලන්න. වයිරමුත්තු අන්කල්ගේ සුපුරුදු කොණ්ඩ කැපීමෙන් පස්සේ අපි පුංචි කාලේ හිටිය තාත්තා තමයි ගෙදර ආවේ❤️
අන්කල්ගේ එකම දුව කොරෝනා කාලේ නැතිවෙලා. දිවිනසාගැනීමක්. පුතාට අන්කල්ව පේන්න බැරිව ගිහින් ඇතිවුණු ප්‍රශ්න නිසා අන්කල්ට ගෙදර යන්න විදියක් නැතිව වැඩකරන තැනම නැවතිලා. කොහොමත් කෙට්ටු අන්කල් තවත් කෙට්ටු වෙලා ගිහින් කකුල් පවා තුවාලවෙලා වෙලාගෙන ඉන්න පිංතූර දැක්කම හරිම වේදනයි.

සාමාන්‍යයෙන් සිංහල දමිළ ප්‍රජාවන් දෙකටම අණවිණ කොඩිවින හදිහූනියම් ගැන විශ්වාසයන් තියෙනවනෙ. එක එක අයගේ විශ්වාසයන්ගේ මට්ටම් වෙනස්වුණාට. භක්තිමත් හින්දුවෙක් වෙන වයිරමුත්තු අන්කල්ගෙත් එහෙම කතාවක් තියෙනවා. සමහරවිට වෙන්නත් පුළුවන්. කර්ම ශක්තිය බලපානවා වගේම සමහර විනාශයන් තියෙනවා මිනිස්සු කරන. ඒවයේ බොරුව වගේම ඇත්තක් නැත්තේම නැතිබවට නම් අප්‍රසන්න අත්දැකීම් තියෙනවා. සමහරවෙලාවට මේවට ප්‍රසිද්ධියේ හිනාවෙන ඒවා විවේචනය කරන උගත් බුද්ධිමත් කියලා කියන මිනිස්සු පවා කොයිතරම් නම් මිථ්‍යාදෘෂ්ටික දේවල් තව කෙනෙක්ව විනාශ කරවීමේ අරමුණින් කරනවද කියලා (ප්‍රතිඵල කොහොම වුණත්) උදාහරණ දෙන්නත් පුළුවන් මට නම්😅 වචනයේ බලයෙන් විනාශයන් කරවන මිනිස්සුත් ඉන්නවා. ඔය මිථ්‍යාවන්ට එහා ගිය විනාශකාරී දේවල් තමා මිනිසුන්ගේ වචන සහ ක්‍රියාවන්. කෙනෙකුගේ හැම සර්ථකත්වයක්ම සතුටක්ම එක රැයින් විනාශ කරලා දාන්න පුළුවන් විසකුරු වචන සහ ක්‍රියාවන් ඇති මිනිස්සු අපි අතරම ඕනෑ තරම් ඉන්නවා, සමහරවිට අතිශය හෘදයාංගම, මිත්‍රශීලී, ආදරණීය වෙස්මූණු පැළඳගෙන!

මොකක් කොහොමවුණත් මේ ආරංචිය මට හරිම කණගාටුවක්. ඒ පැත්තේ යන වෙලාවක අනිවාර්යයෙන්ම ගිහින් මාත් අන්කල්ව බලලා එනවා. අන්කල්ට දැන්නම් මාව අඳුනගන්න පුළුවන් වේවිද දන්නේ නෑ. මිනිස් වර්ගයා බෙදිච්ච ලෝකේ වයිරමුත්තු අන්කල් වගේ අහිංසකයෙක්ට එහෙම දුකක් වෙච්ච එක මට දරාගන්න අමාරුයි, ඒක මගෙම කෙනෙකුට වුණා වගේ දැනෙනවා.

මනුස්සයෙක් ආදරෙන් සතුටෙන් සැනසීමෙන් දියුණුවෙමින් ඉන්නවා දකිද්දී තමන්ගේ ඇහේ කටු ඇනෙනවා නම් ඒ ලෙඩේ කොහොමහරි හොඳකරගන්න. දුර්ලභ මිනිස් ආත්ම ලබලා ඇවිත් අනුන්ට වින කරලා පව් පුරවගන්න එපා. මේ තියෙන කරදර මිනිස්සුන්ට හොඳටම ඇති, වැඩිත් එක්ක. ඒ අස්සට අහක යන කර්ම මිනීස්සුන්ගේ ඔලුවලටයි ජීවිතවලටයි හරවන්න එපා කොයි අරමුණෙන් කොයි හේතුවකටවත්. ඕවා විඳවනකොට විඳවන්න වෙන්නේ තමන්ටම විතරක් නෙවෙයි! තමන්ගේ වචන හරි ක්‍රියාවක් හරි මිථ්‍යාදෘෂ්ටික දෙයක් හරි හින්දා කෙනෙකුට හිත්වේදනාවක් දුකක් කරදරයක් වෙද්දී 'දැක්කද මම ෂොට් එක දුන්නා' කියලා සතුටු වෙනවා නං ඒ සතුට පිටිපස්සෙන් කරත්ත රෝදේ වගේ එන මහා දුක් ගැලකුත් තියෙන බව දැනගෙන ඉන්න.
කරුණාකරලා අනුන්ට වින කරන වෙලාව, මුදල්, ශ්‍රමය තමන්ට සෙතක් කරගන්න යොදාගන්න. ඒත් බැරිනම් ඒ කරන විනයක් තමන්ටම කරගන්න. තමන්ගේ ඇස්වල කටු ඇනිච්ච පළියට වෙන මිනිස්සුන්ට වල කපන්න නොයා!

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal

Thursday, July 7, 2022

බසයෙන් බව තරණයට

ලංකා මාතාවගේ වර්තමානයට පින් සිද්ද වෙන්න බස් එකේ යන්න ගත්තා අවුරුදු ගාණකට පස්සේ!
අද තමයි තේරුණේ තුන්තිස් පැයේ බණ කියන බණ අහන අපේ රටේ ඇත්තටම අනිත්‍යය මෙනෙහි කරවන්නේ කොන්දොස්තරලා කියලා. බලන්න අතහැරීම ගැනම නොනවත්වාම කියන ලස්සන. 'අතෑරලා යන්න, මැද පේළිය ඔය පොල්ල අතෑරලා ඉස්සරහට යන්න, මල්ලී ඔය දොර අතෑරලා ඇතුළට එන්න, අතෑරලා එන්න මේ මෙහෙ ඉඩ තියෙනවා, ඔය බලන්නකො අනේ නංගි ඔය සීට් එක අතෑරලා මෙහාට වෙන්න, ඔය බෑග් එක ගලවලා දාන්න, සීට් අල්ලං ඉන්න එපා අයියේ' යනාදී වශයෙන් ඒ මනුස්සයාගේ මුලු රාජකාරි වේලාවම වෙන් වෙන්නේ ඒ මනුස්සයා පතාගෙන ආව පවුලේ උදවිය සේරෝම අතෑරීමට යොමු කරවලා සංසාරෙන් එතෙර කරන්න! පුදුම පිංවන්ත ආත්ම ඔව්වා😇🌼

ඇයි මිලමුදල් ගැන තියෙන බැඳීම්, තණ්හාවල් අතෑරවන ලස්සන බලන්න.' ආ ඇයි ඉතිරි? කාගෙද? අපෝ මේ රුපියලද ඉල්ලන්නේ? අයියෝ ඕක අරං මං මොනා කරන්නද අනේ, හපෝ ගන්න ගන්න ආ.. කෝ අර ඔයා රුපියල් දෙකක් දෙන්න තිබ්බනේ.. අනේ දෙන්න මහත්තයෝ රුපියල් දෙකක් නැද්ද ආ එහෙනම් දහයක් දෙන්න.. ආ ඉතිරි බහිනකොට ඉල්ලගන්න' වගේ මහා කරුණාවෙන් තණ්හාව දුරු කරවාලීමටම තමයි උත්සහ කරන්නේ. සමහරවෙලාවට වැඩි තණ්හාකාරයන්ට නං ඉතිරි දෙන්න ළංවෙද්දී ළංවෙන්න බැරි තරං දුරකට ගිහින් පවා ඒ කෙලෙස් අතාරින්න පුරුදු කරවන්න එතුමන්ලා පැකිලෙන්නේ නෑ.

ඒ මදිවට බලන්න ඕන සංසාර බර බෙදාහදා ගන්න අපූරුව, මගියෝ. බොහෝ වෙලාවට කොන්දොස්තර උතුමාණනුත් එතුමන්ගේ බර මගීන්ගේ කරමත තියලා සංසාරේ දුෂ්කරබව දන්වන්න අරිනවා. ඒ ඇරෙන්න විශාල මලු අරං නගින උදවිය ඒ මලු, ඇතැම් පුරුෂයෝ තමන්ගේ ප්‍රජනන ඉන්ද්‍රීයන් පවා කරමත තියලා මේ අසුන්දර සංසාරෙන් ඉක්මණින් මිදියල්ලා කියන පණිවිඩය දෙනවා හරිම හෘදයාංගම විදිහට.

ඒ අස්සේ කතන්දර පප්පල මම්මලා එහෙම ළගින් වාඩිවෙලා අතිර සසර සාගරේ ගැන කණ පුරවන්න ගන්නවා. අද එහෙම මගේ එහා පැත්තෙ හිටියේ තරුණ උපාසක මහත්තයෙක්. අපරාදේ කියන්න බෑ මට කරදර වෙන විදියට නං නලියන්න, හෙලවෙන්න, නිදිකිරන්න උත්සහ නොකර වැදගත් විදියට වාඩිවෙලා මුලු ගමනම ගියා. හැබැයි ටෙලිකොම් ආයතනයක පාරිභෝගික සේවාව වගේ. එකක් ඉවර වෙන්න එකක් දුරකතන ඇමතුම්. ඒ හැම එකකින්ම තේරුණ විදිහට ඒ තරුණ උපාසක මහත්මයට අපේ අගමැතිතුමාට වඩා ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන්න ඕන. හැම රටකම වගේ නියෝජිතයන් සමග රටේ පවත්නා අර්බුදකාරි තත්ත්වය, නවතම බස්ගාස්තු සංශෝධනය, ශ්‍රී ලංකාවේ නවතම තෙල් සංචිත ප්‍රමාණය, වෙනත් රටවල පෙට්‍රල්/ඩීසල් ලීටරයක මිල සංසන්දනාත්මකව විශ්ලේෂණය, කිරිබත් කෑමට වඩා සුදුසු ව්‍යාංජන, ශ්‍රී ලංකාවට අනාගතයක් තිබේද, අප මේ අර්බුදයට මුහුණ දියයුත්තේ කෙසේද, ගැහැණු ළමයින් සෙනග වැඩි බස්රථවලට නැගීම නවත්වාගත හැති මාර්ග, එම බස්රථය ගමන් ගන්න මාර්ගයේ සිදුවන දේ එසැණින් උණුසුම් පුවත් තුළින් යනාදී වශයෙන් අතිශය සංකීර්ණ මාතෘකා මේ මහත්මයා මුලු ගමන පුරාවටම නොමිලේ මට අසන්නට සැලැස්සුවා. රියැදුරු මහත්මයා සිංදු රේඩියෝ අහන මානසිකත්වයක නොහිටි නිසා සංසාර බර කර තබාගෙන අර දැනුම් ගඟුලේ පීනමිනුයි මම අවශ්‍ය ස්ථානයට ළඟාවුණේ.

ඒ අව් අස්සේ සංසාර බැඳීම් හොයා හොයා පීනන උදවියත් ඉන්නවා. මේ තරම් සංසාරයෙන් මුදවන්න උත්සහ කරවන අවස්ථාවක මාරයා විසින් එවූ ඒජන්තවරු තමයි ඉතින් ඒ. මේ අතිර සසර සාගරේ ගිලෙන ඔය වගේ මොහොතවල්වල තව මොන සංසාර බැඳීම්ද අප්පා!

කොහොමවුනත් දැන් මම නං පෝලිමේ මුල ඉන්නේ. තව දවස් කීපයක් මෙහෙම ගියාම බව දුක නිමා කරලා තමයි ඉතින් ගමන නිමා කරන්නේ. 
අන්න එතකොට තාම පෝලිමට ආවේ නැති ඔයාලට හුගක් රිදෙයි ඈ😜

~✒️ Aash Weerasinghe

#AW #publictransortSL #lka #සුන්දරලංකා

Wednesday, May 18, 2022

මාමණ්ඩිලා සහ බෑණලා

මේ youtube short ad එක දැක්කම සෑහෙන්න පරණ කතාවක් මතක් වුණා.

අපේ තාත්තා හරිම සැරයි. ඒකෙත් පවුලේ වැඩිමලා විදිහට ඉපදිලා සුහුඹුල් තරුණ යුවලක් දෙමව්පියන් විදිහට පදවිප්‍රාප්ත කරපු හින්දා අම්මයි තාත්තයි දෙමව්පියන් වීම හදාරන්න, අවබෝධ කරගන්න අත්පොත් තිබ්බේ මගෙන් නේ! ඒ නිසා මම එක්තරා විදියක ලැබ් රැට් කෙනෙක්!😂
(හැබැයි ඉතින් මං අවුලක් නොකළ හින්දා තමයි ඔය අනිකට සෑහෙන්න නිදහසක් ලැබුණේ! හරි නම් හිටියොත් හොඳට හැදී කියලා මල් තියලා වඳින්න ඕන මට😜) 

පාසැල් ප්‍රේමයකින් විවාහ වෙච්ච දෙන්නෙක් හින්දා අවුරුදු 14-15 ඉඳන් මාව රැකපු රැකිල්ල ඉතින් ආයේ කතා කරලා වැඩක් නෑ!🙄 නිධන් රකින බහිරවයොවත් එහෙම රැකිල්ලක් කරලා නැතුව ඇති අපෙ හාමුදුරුවනේ😂 ඔය ගැන ඉස්සර යාලුවෝ එහෙම හොඳටම දන්නවා. වෙන ගෑණු ළමයින්ට සහෝදර පාසැලේ පවා මිත්‍රයෝ හිටියට මට එහෙම ඉඳලත් නෑ හිතවතුනි! ප්‍රේමවන්තයෝ ගැන ඉතින් කුමන කතාද!

ඕලෙවල් කාලේ එච්චරටම ලොකු අවුලක් තිබ්බේ නෑ ආණ්ඩු පක්ෂෙන්. විපක්ෂෙ (අම්මා) තමයි ඉතින් ඒ කාලේ අවුල්. 🙄
ඕලෙවල් කාලේ පොඩි පහේ crush එකක් තිබිච්ච පිරිමි ළමයෙක් මොකද්ද මන්දා බයිසිකලේකින් ව්‍යායාම බයිසිකලයක් හදලද මොකද්ද එකක් සඟරාවක දැකලා මං ඉතිං හරි උද්යෝගයෙන් තාත්තට ඕක කිව්වා. තාත්තාට එහෙම ඉතින් සැකක් තිබුණේ නෑ ඒ වුණාට "ආ ඔහොම එකට මං දහයක් හදන්නංකෝ' කියලා හිනාවුණා විතරයි❤️ ඒකත් එහෙම බරපතල ක්‍රෂ් එකක් වුණේ නෑ. මට මතකයි අම්මගේ බලවත් විරෝධතාව මැදත් අමතර පංතියෙන් සිංහරාජෙට ගිය වන්ඩේ ට්‍රිප් එකකටත් තාත්තා මට අවසර දුන්නා. මොකද ලොක්කා දන්නවා එතකොට ඒ පංතියේ සර්ලා මොනහරි අසාමාන්‍ය තත්ත්වයක් දැක්කොත් මූලස්ථානයට වාර්තා කරන බව. බුද්ධි අංශ සීරුවෙන් හින්දා තමයි ඒ ඉතින්🤭😬

ආණ්ඩුව මර්ධනශීලි ප්‍රතිපත්ති, හදිසි නීති සහ හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න ගත්තේ නං ලොකු දුව උසස් පෙළ කරන්න ගත්තම තමයි. ඒකත් එහෙමම වෙන්නෙ නෑ ඉතින් මේ නිකං ඉන්න බැරි කොලු රංචුවක් තාත්තාගේ හැටි නොදැන තාත්තා ඉස්සරහදී දූගේ ගමන් බිමන් දිහා ඇහැ ගහගෙන ඉන්න නොගත්තා නං! ඒ මදිවට ලොක්කා රවද්දී චණ්ඩිකමට ලොක්කට  අනිමිස ලෝචනය පුදන්නත් ගිහින්!🤦‍♀️වෙන යාලුවෙක්ට ට්‍රයි කියලා දුව හිතුවට ලොක්කා ගාණට අඳුනගෙන තියෙනවා ගොනා හැරෙන්නේ තමන් ඇස්දෙක වගේ රකින පොල්පැලේට වග! ඒ දවස්වල ඉතින් තාත්තා පංතිය ළගින් බහින්න කලින් මටත් පොඩි පොඩි අනතුරු ඇඟවීම් කරනවා. තාලේට නලව නලව ගියාට වැඩක් නෑ ඉගෙන ගන්නවා හරිද මෙතන කියලා උදේ පාන්දර ජාතිය ඇමතීම් එහෙමත් ඒ දවස්වල නිරන්තරයෙන් සිද්ධ වුණා😂 අහිංසක මං ඉතිං තාත්තා බැන්නම හෙන දුක් සෝකයෙන් තමයි එදා දවස ගෙව්වේ!💔

උසස් පෙළ කියලා මට කිසිම නිදහසක් නම් අනුමත වුණේම නෑ. ඒ වෙලාවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකමතිකව හිටියේ නිදහස අනවශ්‍යයි කියන මතයේ. ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා එකක් ගෑවිලාවත් තිබ්බේ නෑ🙄 පංති ඇරලවන්න ආපහු එක්කං එන්න විධිවිධාන යොදලා තිබ්බ නිසා අන්තිම අවුරුද්දේ පටන්ගත්ත සම්බන්ධේ සීමාවුණෙත් බැල්මට, හිනාවට ඉඳහිට කරන වචන කීපයක කතාවකට විතරයි. එකම එක දවසක් පංති කලින් ඉවරවෙලා ඉස්සරහ පෙරේරා ඇන්ඩ් සන්ස් එකට ගිහින් බොන්න ගත්ත අයිස් කෝපි උගුර ගිලින්නත් කලින් තාත්තා ආවා විදුලි වේගෙන්! බයවෙච්ච පාර බංකු පුටු පෙරළං දුවලා ගිහින් වාහනේට නැග්ගම කෙළින්ම ගිහින් තිබ්බේ හතරවැනි තට්ටුවට. මොකද මම එද්දි තාත්තා බලං හිටියේ පංතිය පැත්ත, මං දුවගෙන ඇවිත් නැග්ගේ පාර පැත්තෙන්! එදා මගෙන් ප්‍රශ්න කරන අතර තාත්තා තරම් මංවත් හැරිහැරී බැලුවේ නෑ ඒ පෙරේරා ඇන්ඩ් සන්ස් එක දිහා එච්චරම😂😂 හොඳ වෙලාවට සැකකාරයා එළියට එන්න ඇත්තෙ අපි ගෙදරත් ගියාට පස්සේ වෙන්න ඕන😂😂

ඉතින් මෙහෙම අවුරුදු ගාණකට පස්සේ ඒ පුද්ගලයා නිල වශයෙන් මුණ ගැහුණා තාත්තාව. පිරිවර එක්ක සතුටු සාමීචියේ හිටපු තාත්තා ළගට ගිහින් ඔන්න ඔහොම නැවිලා වැඳලා කට වහං ඉන්නේ නැතුව 'තාත්තට මාව මතකයිනෙ?' කියලත් ඇහුවා කිසිම ලැජ්ජාවක් නැතිව😂😂 තාත්තත් මහ හයියෙන් හිනා වෙලා පිටට පාරක් ගහලා 'ඔව් ඔව් මොකද නැතුව' කියලා භීතියට පත්වුණ මගේ ස්නායු යථා තත්ත්වයට පත් කළා❤️

මොනවා වුණත් අම්මලා ලේලිලා ගැන හිතනවා වගේ මාමණ්ඩිලාගෙත් බෑණලා ගැන තියෙන ආකල්ප තියෙනවා. ඒකෙත් වැදගත්ම එක මේ යකා මගේ දුවට දුකක් වේදනාවක් නොදී බලාගනීද නැද්ද කියන දෙගිඩියාව. ඒකට එක එක විදියේ පරීක්ෂණ තියලා තියලා තමයි ඉතින් අනුමැතිය දෙනවා නං දෙන්නේ. හැබැයි බෑණා හිතට හරි නම්, අනුමැතිය දෙන්නේ පෙරහැරේ ඇවිත්!❤️

https://youtu.be/Xnbs4B5GSJU

#AW
#nostalgicmemories


Friday, May 13, 2022

තවත් unfriend වීමක්!

2022 අප්‍රේල් 2දා 

ඒ අව් අස්සේ කණගාටුදායක විනෝදජනක සිදුවීමුත් වෙනවා. පැරණි හිතවතියක් මාව unfriend කරලා🤷‍♀️ අවුරුදු විස්සක විතර හිතවත්කමක්. ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුරක් නියෝජනය කරන එතුමියගෙ ආවේගශීලී වයිරී පෝස්ටු නිතරම දකින නිසා ඊයේ හෝ පෙරේදා දුටු පෝස්ටුවලත් විශේෂයක් දැනුණේ නැහැ. ඊයේ බොහොම ආවේගයෙන් යුතුව බැණ අඬගසා අන්ෆ්‍රෙන්ඩ් වෙන්නට ආරාධනා කර තිබුණේ රාජපක්‍ෂලාගෙ වැසිකිළි සෝදන කෙනෙකුට නිසා කවුරුත් අදාළ කරගෙනත් නැතිව ඇති. 

අවුරුදු විස්සක හිතවතෙක් දන්නවා මම බොහොම සාමාන්‍ය මනුස්සයෙක් බව. විනෝදය තමයි මට වඩා ක්‍රියාකාරී මගේ සහෝදරියව ඉවත්කරලා නෑ.😂 එතුමියගේ උදහසට ලක්වන්නට තරම් මා කළ දේකුත් නෑ දන්නා තරමින්. අනෙක් අතට කේළම්, අපහාස උපහාස, මඩ නුහුරු දේවලුත් නෙවෙයි. 

මේ වගේ අවස්ථාවලදී තමයි මිනිසුන්ගේ යථා ස්වරූපයන් එළිවෙන්නේ. තවත් කෙනෙකුගේ මතයක් ඉවසන්න බැරි මිනිස්සු තමයි එකමුතුව රට හදන්නට කතා කරන්නේ!😅 අන්න ඒකයි කණගාටුව. 

ආසියාතික අපි බොහොම හැඟීම්බර high context මිනිස් කොට්ඨාශ. හැඟීම්වලට දෙන ඉඩ වැඩි නිසා තමයි හරිම ලේසියෙන් දේශපාලන ඉත්තෝ බවට පත්වෙන්නේ. හැම තලයකදිම, හැම දේකදිම හැඟීම් තමයි manipulate වෙන්නේ. මාධ්‍ය තමයි ඒකෙන් උපරිමම ප්‍රයෝජන අරං තියෙන්නේ (Yellow journalism). මොකද අවංක මෝඩයොත් ඉන්නවා, වංක මෝඩයොත් ඉන්නවා. ඒක තමතමන්ගෙ නැණ පමණින් අවබෝධ කරගතයුතු දෙයක්. 

සාමාන්‍යයෙන් මේ වයසේදී අපි මානසිකව පරිණතවේගෙන එනවා. අවුරුදු දහ අට විස්සට වඩා ආවේග පාලනය කරගන්න හැකියාව ලැබෙමින් පවතිනවා. එහෙම නොවන සුවිශේෂී ජීවීනුත් ඉන්නවා, නැත්තෙ නෑ. 
හැබැයි දේශපාලනයක් හින්දා තමන්ගේ හිතවතුන්, සමීපතමයන් නැති කරගන්න එපා. දේශපාලන මතිමතාන්තරවල පීඩනය වෙනත් මාර්ගවලින් පිටකරන්නත් එපා. මේක පුංචි ලෝකයක්. ආයේ දවසක මුණගැහුණොත් සුහදව කතාබහ කරලා විසිරයන්න පුළුවන් තරමට මයිත්‍රිය වඩන්න පුරුදු වෙලාම රට හදන්න පටන් ගමු. ඒකනේ වෙන්න ඕන?


Friday, October 5, 2018

තනියාගේ ජංගම දුරකථන ඉතිහාසය

ඉතින් පින්වත් බ්ලොග් රසික රසිකාවියනි, තනියාගේ බයිට්වීම් ඕනෑතරම් මේ වෙද්දි ඔහේලා කියවලා ඇති. එහෙමයි කියලා නොලියා ඉන්නවා නෙවෙයි. ලියන්න ලියන්න මුවහත් වෙනවයි කියලා කතාවක් තියෙනවා නෙව. ✍

ඉතින් පින්වත් රසික රසිකාවියනි, තනියා නමේ හැටියටම තමයි ඉතින් වැඩ. ඔය විසාකාවක් සේ හෙමිහිට ඇවිදින්න, ඇසෙන නෑසෙන ගණනට කතා කරන්න,  අහිංසක ලාලිත්‍ය මවා පාන්න වගේ "වනිතා වැඩ" මේ ඇත්තිගේ බොහොම අඩුයි. ඉතින් මේ කසිලි බිසිලි ගමන එහෙම නිසාත් කිව යුතු දේ සක්කර දෙයින්නාන්සෙට උණත් කියලා දාන හින්දත් තනියට වෙන විපත්තිවලින් නම් අඩුවක් නැහැ. ඒ වගේ සමහර දේවල් විපත්වලට වඩා පෙරණයක් ලෙස ක්‍රියාත්මක වෙලා තනියාට නොදිරන (මේ කියන්නේ කසල ගැන නෙවෙයි ඒත් කසල වගේ දේවල් ගැනයි ) මිනිස්සු සහ දේවල් අයින් කරලා මාර්ගය පිරිසිදු කරලා දෙන අවස්ථාත් නැතුවා නෙවෙයි. 

ඉතින් මේ වගේ අද පාන්දරින් සිද්ධ වුණ විපැත්තියක් නිසා තනියා අද දවසම ඉතා මළ මුස්පේන්තුකමිනුත්, අනාගතය පිළිබඳ විශාල විචිකිඡ්ඡාවකිනුත් තමයි ගත කරන්න යෙදුණේ.