Wednesday, December 4, 2013

හඬ ප්‍රේමය

බට නලාව, වයලීනය සහ සිතාරය...
ඒ හඬ තරම් මා මුසපත් කිරීමේ හැකියාවක් වෙනත් කිසිවකට නෑ...

සාමාන්‍ය පෙළ තෙක් පෙරදිග සංගීතය හැදෑරු මට ඔය භාණ්ඩ තුන වාදනය කිරීමේ හැකියාවක් නැතිවුනත් (අවාසනාවකට වගේ) ඒ හඬ දවසේ ඕනෑම මොහොතක දෑස් පියා රස විඳීමේ හැකියාවක් තියෙනවා..


බටනලාවට මගේ ප්‍රේමය ඇතිවුනේ මගේ මතකයේ හැටියට තරමක් කුඩා කාලයේදි.ඒ තණමල්විල ප්‍රදේශයේ තිබෙන මගේ ඥාතිවරයෙකුට හිමි අවන්හලකදි ඇසුණු බටනලා හඬක් නිසා.එහි සේවයේ නියුතු මැදිවියේ පුද්ගලයෙකු මහ රැයක බොහොම අපූරුවට බටනලාව වයා පෙන්නුවේ අපව සැබැවින්ම ආනන්දයට පත්කරවමින්..ඒ ශෝකි හඬ රැයේ නිහඬ බව සමග මුසුවී මැවූ ඒ හැඟීම සැබැවින්ම සිතක් සංවේදී කරනා තරම් සුන්දරයි.

එදා සිට බටනලාවක් වාදනය කිරීමේ නොහිම් උන්මාදයකින් මා පෙළුණා..


Saturday, November 30, 2013

බඩගෝස්තරවාදය

කාලයක් තිස්සේ ලියන්නට හිත හිතා උන් දේශපාලන කතාවක් ලියන්නට නිමිත්තක් ඇස ගැටුණේ ඉරිදා පත්තර කියවද්දීය.

"රනිල්, චන්ද්‍රිකා, ෆොන්සේකා, සම්බන්ධන් එක පෙරමුණකට එති"යි තිබූ හෙඩිම දැකීමෙන් මම උඩ ගොස් බිම වැටුණෙමි.එකවණම සිතට නැගුණේ කාරණා දෙකකි; එකක් බල තණ්හාවය, අනික දේශපාලන බංකොලොත්භාවයය.



රනිල් වික්‍රමසිංහ බුද්ධියක් තිබූ උගත් දේශපාලකයෙකි.අද ජෝකර් කෙනෙක් බවට පත්වී රටම හිනැස්සුවාට කෙලින් කටින් හිටි යුගයක් ඔහුට තිබුණි.බටලන්ද වධකාගාරය ක්‍රියාත්මකවන කාලයේ තරුණ කොල්ලන් සහ කෙල්ලන්ට අමානුෂික ලෙස වධ දී මරා දැමූ බව අපි අසා ඇත්තෙමු (එවකට මේ ලියන මම කුඩාවෙක් වුවද ඒ භීෂණයේ අඳුරු මතක මට ඇත).බටලන්ද වධකාගාරය ගැන නැවත ඇවිස්සුනු කාලයකදි කියැවුණේ දස වධ විඳි කොල්ලන්ගේ ඔළුවලට අඟල් 6 පරාල ඇණ ගසනු එවකට රජයේ ප්‍රබලයෙකු වූ රනිල් වික්‍රමසිංහ නැරඹූ බවයි.මා ඇසින් දුටු සාක්ෂියක් නැතිවුව, ඒ සත්‍යයක් විය හැකි සිතෙන්නේ, එවන් බුද්ධියකින් හෙබි පුද්ගලයෙකු අද වැටී ඇති තත්වය දෙස බලද්දීය.එය කර්මය පටිසන්දීමකි සිතිය හැකිය.එසේවුව ඔහුගේ බල තණ්හාවේ නිමක් නොවන බව අද එක්සත් ජාතික පක්ෂය තුළවන ඝට්ටනයෙන් පෙන්නුම් කෙරේ.මේ කියන්නේ සජිත්ට නායකත්ව සුදුසුකමක් ඇතැයි කියා නොවේ.ලංකාවේ ප්‍රබල විපක්ෂයක් වූ, ආණ්ඩු පක්ෂය ලෙස වසර 17ක් වැජඹුණු එක්සත් ජාතික පක්ෂය අද හක්ක පටස් එකකට බිලිවූ හස්ති රාජයෙක් හා සමාන වන්නේය.දුක වන්නේ ඒ තත්වය විහින් ඇතිකරගත් තත්වයක් වන නිසාය.

ඒ කර්මයද විය හැකි ලෙස, රනිල්ට දැනට අවුරුදු 13-14කට පෙර සිටම නැගී එන තරුණ නායකයන් පෙන්නන්නට බැරිවිය.එහෙම එකෙකු දුටුවිට 'රැඩිකල්'යැයි පට්ට පතුරු ගසා දැමීම ඔහුගේ පිළිවෙත බවට මට අත්දැකීමක් ඇත.එසේ හෙයින්, පළවූ හෙඩිම ගැන මට කියන්නට ඇත්තේ තමන්ගේ ගෙතුළ ගින්දර ඇවිලෙද්දි නීරෝ වෙන්නට එපා කියාය.අද තත්වය බලනකල එජාපය රට වටා යන විගඩමක් වී ඇත්තේ රනිල්ගේ අවිදුර දෘෂ්ටිකත්වය නිසාය.එසේ හෙයින් දැන් රනිල්ට එල්ලෙන්නට නම් මොකක් හෝ නැට්ටක් අවශ්‍යය.එය කොටි වලිගයක් හෝ ඇමරිකන් ටේල් කෝට් එකක කොණක් විය හැකිය.

Thursday, November 28, 2013

කල්‍යාණ මිතුරිය

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබීමට පූර්ව කුසල කර්මයක් තිබිය යුතුයැයි කියැවේ.ඒ එසේ නම් එවන් කළණ මිතුරියක ලැබීමට තරම් මම පින් කර ඇත්තෙමි.ඒ රවියාය.රවියා කියා ආදරේට කීවාට ඈ රවි අක්කාය.

මේතාක් ජීවිතයේ මට හමුවූ නානාවිධ මිනිස් සත්වයන් අතර ඈගේ සුවිශේෂී බවක් වෙයි.ඊට හේතුව, කලාතුරකින් මිනිස් ජීවියෙකු කෙරෙහි පිහිටන ගුණාංග ඈ තුළ තිබීමය.

රවි අක්කා මට පළමුව හමුවන්නේ වැඩිමල් සොයුරියක් නැතහොත් සීනියර් අක්කෙක් ලෙසින්ය.ඈ මට මිතුරියක බවට පත්වන්නේ 2008 වසරේ අග භාගයේය.එදා සිට අද දක්වා ඒ මිත්‍රත්වය නොවෙනස්ය.

Tuesday, November 26, 2013

වලාකුළකට...

ඈත ඇදෙනා හැටි නුඹ
බලා ඉමි දෙපා අවසඟ නිසාවෙන්..
හැපී මොහොතකට, ජීවිතේ
නැවතුමක් නොවී
ඇදී යන නිසාවෙන්..... 
හිඳින්නටයැයි කියා
පලක් නොවෙනා නිසාවෙන්...



Monday, November 25, 2013

වෙනස්වීම

"ලොව වෙනස් නොවනා එකම දෙය වෙනස්වීම"යැයි කියමනක් ලොව ඇත.ඒ කියමන මානසික, ශාරීරික, චේතනික, අචේතනික සියලු දේ සඳහා පොදුය.නමුත් අපි එය නොතකා නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වෙන්නට උත්සහ දරමු.ඒ වෙනස්වීමට බියවීම හෝ මෝහය යැයි මම සිතමි.

උදයේ පටන් බිම් කළුවර වැටෙනාතුරු අපි සසර දිගුකරගනිමින් දුවමු.දිවිල්ලට නැවතුමක් නැත.වැටුණ හති හරිහැටි නිවෙන්නට පෙර ආපසු ඒලෙසම දිවීම ඇරඹේ.මේ කියන්නේ මා නුදුවනා බවක් නොවේ, මා සුදනෙකු බවද, මට සියළු දෙය වැටහෙනා බවද, සෙස්සෝ අඳ ගොළු බිහිරෝසේ මැරතන් දුවනා බවද නොවේ.ඔබ දුවන හැල්මේම දුවමින් මා පසුකරයන අනිකා දෙස නොව, මා පසුකරන මා විසින් පසුකෙරෙන සියළු ජීවින් දෙස මම නොවෙන ඈතක හිඳ බලද්දි සිතට නැගෙනා සිතුවිලිය.

සිතුවිල්ලේ දුවන්නට නොහැකි බව ඔබ කියනු ඇත.පය පැකිල වැටි වැටි දුවන්නට ඔබට පිස්සුවක් නැතැයි ඔබ කියනු ඇත.ඒත් එක මොහොතකට දුර සිට ඔබ දෙසම බැලීමේ එක්තරා සත්‍යය මෙනෙහිකිරීමක් ඇත.හේතුව අද දුවන ඔබ හෙට වෙනස්වීමය.ඇඳුමෙන් පැලඳුමෙන් නොව ඔබ පුද්ගලයෙකු වශයෙන් වෙනස්වීම අත්විඳින්නට ඔබ ඔබ දෙසටම එබිකම් කොට බැලිය යුතුය.

Sunday, November 24, 2013

එකා යකා

කුඩා කාලයේ මම අවුරුදු 7-8ක්ම 'එකා යකා' වී සිටියෙමි.එකා යකාගේ ලෝකයට අවුරුදු 7-8කට පසු උල්කාපාතයක් කඩා වැටිණි.මම අපේ නගාට කියන්නේ එහෙමය.ඒ කිසි තරහවකට නම් නොවේය.ඒත් ඒ කාලයේ නම් අම්මා නිතරම නංගී සමඟ රැඳීම නම් මට මල පනවන කාරණාවක් වී තිබුණි.දැනටද ඉතින් වෙනසක් නැත.උන්දෑ වැනි 'රුක්මනී' කෙනෙකුට එහෙම නොකරත් බැරිය.ඒ නිසාම අම්මාත් තාත්තාත් උන්දෑට විශේෂයක් කොට සලකති.දැන් නම් ඔව්වායේ එහෙමට ගාණක් නැත.

ඉතින් ඔය කාලයේ මට සෙල්ලම් කරන්නට මොකෙක්වත් සිටියේද නැත.පොතක් පත්තරයක් නැත්නම් වස කම්මැලිකමකින් අරහෙට මෙහෙට ඇවිදිමින් සිටින්නේ බල්ලාට ඇති වැඩකුත් නැත, හෙමින් ගමනකුත් නැත කියන්නා වාගේය.
අම්මා කොහොමටත් අහළ පහළ ළමුන් හා සෙල්ලමට යනවාට ඒ තරම් කැමැත්තකුත් නොතිබූ නිසා මට කරන්නට සිදුවූයේ උං ක්‍රිකට් ගසනු,ටින් කඩනු දුකුළෙකු සේ ගේට්ටුවේ එල්ලීගෙන බලා සිටින්නටය.උන්ගේත් තිබූ පරකමට උං හැමදාම සෙල්ලමක් කළේ අපේ ගේට්ටුව ඉස්සරහමය!


Saturday, November 2, 2013

බිඳිණි පියාපත්..

බිඳී හීන පියාපත
වැතිරුනෙමි තව දුරක් යා නොහැක..
නෑවිත් මගේ මලගමට
සොඳුර නුඹ කොයි අත ගියෙද..
එන්න පවරන්න නුඹ නමට
අවසාන මගෙ සෙනෙහෙ පොද...
නෙත් පුරා නුඹ දැක
මගෙ හීනෙට සමුදෙන්න...

හීන යළි ඉපදීම..

නටුවෙන් ගිලිහී වැටෙත්දී.......
නුඹ දෝත් නොපෑ නම්
කොහිද මෙතරම් හැඩක්..
ගිලිහී වැටෙන්නට
උරුම වුණ නිසාවෙන්...
මියෙනතුරු රැකගන්න
ඉතින් නුඹ සෙනෙහසින්..
මේ හීන නුඹ නමින්
යළි උපන් නිසාවෙන්...



Thursday, October 31, 2013

හර්ද සූත්‍රය

අපේ නගා අද ගෙනාවා'හර්ද සූත්‍රය'.හවස ඉඳන් එක හුස්මට කියවලා දැන් ඉවරවුණා විතරයි.මුදිතත් පුන්සරාත් අතර දෝලනයවෙමින් පැයකීපයක් තිස්සේ හිතේ කැලඹෙන කම්පනයත් එක්කම මම ඇවිත් වාඩි වුණා බ්ලොග් පෝස්ටුවක් ලියන්න.


මම දිගටම මුදිතගේ කතාවේ පුන්සරාත් පුන්සරාගේ කතාවේ මුදිත ශූන්‍යවීමත් අතර සැරිසරමින් උන්නා.ඈ මේ මවන චරිත අතර මම, මම දන්නා ගැහැණු පිරිමි කොයිතරම් දෙනෙක්ගේ අංශුමාත්‍රයන් සටහන් වෙලාදා කියලා මම කියවමින්ම හිතන්නට ගත්තා. නමුත් මගේ සිතුවිලි යටපත් කරගෙන කතාව බලවත්ව නැගුණා.

මුදිතගේ සැහැල්ලු පාවෙන ජීවිතය තුළ මම පුන්සරා වෙච්චි කාලයක් මගේ මතකයට නැගුණා.වෙනසක් තිබුණා.මා දැන උන් මුදිත කතාවෙ මුදිත වාගේ ළාමක සුන්දර සිතුවිලි තිබූ කෙනෙකු නොවෙයි.පහසුවෙන් ස්ත්‍රීයකට ආකර්ෂණයවන නමුත් පුන්සරාට ගැඹුරු බැඳීමක් තිබුණු මුදිත කෙනෙක් මගේ කතාවේ හිටියේ නෑ.ඒක නිසා වෙනසක් තියෙනවා.ලොකු වෙනසක්..

Saturday, October 26, 2013

ඇගේ ගීතය

මේ දශකයකට විතර ඉහතදි වෙච්චි දෙයක්.මා ඈ දුටුවේ එදාම පමණයි.ආයෙ කොයිතරම් එතැනින් ගමන් ආරම්භ කලත් කවදාකවත් ඈව දකින්න ලැබුනේ නෑ.

බිම්කළුවර වැටි නගරේ කලබලය තුනීවෙමින් යන මොහොතක, බසය ගමන් අරඹන්න කලියෙන් තත්පර විනාඩිවෙමින් ගෙවී ගිය මොහොතක, මිහිරි හඬකින් ගීතයක් ගැයෙන්නට ගත්තා.හිස ඔසවා බලද්දි තමයි දුටුවේ ඒ සුන්දර යුවතියක් බව.ඈගේ හඬ ඒ පෙනුම පරදා නැගුණා.

"ඈත එපිට ගම්මානෙන් නැග එන 
බට ලී හඬ මැද්දේ
ඉතාම දුක්බර කවියක් නැග එයි
ඇය නිදි නොමැති පැලේ.."

සන්සුන්ව හැඟීම්බරව නැගෙන ඒ හඬට හැමදෙනාම වශීකෘත වෙලා බලා ඉන්නවා.ගීතය කීපවරක් අසා තිබුණත් ඇත්තෙන්ම හිතට වැදුනේ නෑ මේතරමට.ඒ හැම වචනයකම දැවටීලා ගැයෙන මොකද්දෝ දුක් ගතියක් තියෙනවා.

Thursday, October 24, 2013

ලොක්කිගේ ආණ්ඩු මට්ටුව

මේ කතන්දරේ කතා නායිකාව හෙවත් ප්‍රධාන චරිතය මගේ බොහොම පැරණි මිතුරියක්.ඒ කාලේ ජංජාලේ වැඩ කළේ අපි කට්ටිය.මෙයාට අපි කියන්නේ කුක්කා කියලා.ආරක්ෂක හේතු මත අපි සැබෑ නම් ගම් හෙළිකරන්නේ නැහැ ඔන්න.ඒත් ඉතින් දන්නෝ දනිති.

මේ කුක්කාට සෑහෙන්න දක්ෂකමක් තියෙනවා අනික් අයගේ කතාව, හැසිරීම, ගමන බිමන, හිනාව අපූරුවට අනුකරණය කරන්න.ඒ කාලේ ඉතින් විනෝද සමය වගේ තමයි.

ඔය ජංජාලේ රාත්‍රි සේවා මුරය කරද්දි අපිව පාලනයට හිටියා හිට්ලර් වගේ බොහොම සැරපරුෂ සීනියර් කෙනෙක්.එයා එක්ක සෙල්ලම් බෑ, නීතියට වැඩ.නීතියේ එක අකුරක් ඉස්පිල්ලක් පාපිල්ලක් ඇලපිල්ලක් එහා මෙහා වෙන්න බෑ.හැබැයි ඉතින් පව් කියලත් හිතෙනවා.අපි ඉතින් පොඩි උන් නේ කියලා ආදරෙන් කතා කරන වෙලාවලුත් තියෙනවා.හැබැයි ඉතින් අපෙත් නාහෙට නාහන තරුණවයසත් එක්ක එයා කොකු නොදාගත්තු උන් මං හිතන්නේ හිටියේ කීපදෙනයි.

ඔය සීනියර් එළිවෙනකම් අත් දෙක පිටිපස්සට බැඳගෙන ඇවිදිනවා සෙක්ෂන් එක පුරාම.අපි පුටුවල ඉන්න ඉරියව්ව පවා ඉතින් නීතියට තියෙන්නෙ ඕන.දැන් ඔය ලේසියට අපි පුටුවල කකුලක් නවල වාඩිවෙලා, එහෙම නැත්නම් එරමිණිය ගොතන් වාඩිවෙලා වගේ හිටියොත් නම් "බඩු පැකට්" තමයි.

Tuesday, October 22, 2013

සමනළ සංධ්වනිය සහ ගල් බංකුව

සමනළ සංධ්වනිය එන්නත් කලින් ඉඳන් බැලීමේ විශාල පෙරේතකමකින් පෙළුණේ.තියෙන වැඩ රාජකාරි එක්ක අළුතෙන් බ්ලොග් පෝස්ටුවක් ලියන්නවත් ඉඩක් නොතිබ්බ එකේ ප්ලෑන් ගහන් කාල සටහන් හදන් ඕක බලන්න පුළුවන්කමක් තිවුණේ නෑ.යමින් එමින් ඉඩක් ලැබිච්ච වෙලාවක නුගේගොඩ පැත්තේ මණ්ඩලේකට ගොඩවෙලා ඕං ඒකත් බැලුවා කියමුකෝ. :)

ඒත් මොකද්දෝ හේතුවකට වාගේ සංවේදි තේමාවක් වුණත් ඒක මට එච්චර සංවේදි වුණේ නෑ.(සංවේදනයේ ප්‍රශ්නයක්දෝ මංදා කියලා සමහර විචාර දැක්කම හිතෙනවා)

චන්ද්‍රසිරි මහත්මයගේ තේමාව නම් මල් හතයි. පෙළ ගැස්ම නම් අසාර්ථකයි.ඔයිට වඩා ප්‍රේක්ෂකයාට දැනෙන්න තිබ්බා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ.මොකද ඔය ඒක පාර්ශ්වික ප්‍රේමය, වසර ගණනක් හිත් රිදවමින් පාරමින් පෙළමින් ජීවිතේ වෙනස් කරන ප්‍රේමය වගේ මාතෘකාවක් එහෙම රිදුම් තියෙන හැමෝගෙම රිදුම් යම්තරමකට හෝ මතුපිටට ගේන්න සමත් සංවේදී දේවල්.එහෙව් එකේ, ඒකේ මුල කොමඩියකින් වහගත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා.ඒක එහෙම වුණේ වස්තු බීජය පතරංග සයිස් කරගන්න විදියක් නැති නිසාද නැත්නම් කොමඩි ගතියක් නැතුව චිත්‍රපටිය දුවන එකක් නැහැයි කියලා පූර්ව නිගමනේකට ආව නිසාද මංදා.

Wednesday, September 25, 2013

සැලෝන් කතා

අපේ ස්ත්‍රී වර්ගයා හා ගසට පොත්ත මෙන් බැඳුණු දෙයක් නේ මෙයා ඔය රූප ලාවන්‍යය.සමහරු ඕකටම බියුටි කල්චර් කියනවා, වැඩක් දෙල් වුණාම බියුටි කචල් කියලත් කියනවා.ඉතින්, ඔය අපි වන්ඳනාමාන කරන ඔය කචල් කඩ සහතිකෙන්ම ටිකක් විතර කචල් තමයි.ඕවට ගියාම ආයේ ඉතින් සමාජ විද්‍යා,පශු විද්‍යා, අර විජ්ජා මේ විජ්ජා කරන්ට ඕනි වෙන්නේ නෑ, ඒ තරමට දැනුම..සමාජ දැනුම.ඒ තරමට පරිණත බවලත්තු තමයි ඔය ක්ෂේත්‍රයේ කෙළ පැමිණියෝ.

ගැහැණු උදවිය විතරයැ සැලෝන් යන්නේ දැන්.පිරිමිත් යනවා නෙව.හොඳවෙලාවට අපේ සීයා, තාත්තා, කුෂී එහෙම සැලෝන් ගියේත් යන්නෙත් තමන්ගේ රැවුල් කොණ්ඩ කපාගන්න විතරයි ඕන්.

ඔන්න ඉතින්, පැන්නා පාරට.සැලෝන් කතානේ මාතෘකාව.


ඉස්සර මට තිබ්බේ කැරළි කොණ්ඩයක්.ඒකනම් ඇත්තටම කැරැල්ලක් වගේ තමයි, මොකද මැඩ පවත්ගැනීම හරිම අමාරුයි.:) ඉතින් අපේ ගෙදර මොනවා කළත් කොණ්ඩේ අති පූජනීය වස්තුවක් ලෙස සලකන වටපිටාවක් තමයි තිබුණේ.මොන කෙහෙම්මලක්ද මංදා මගේ කොණ්ඩෙට ගෙදර උදවියගේ පුදුමාකාර බැඳීමක් ආදරයක් තිබ්බේ.පුංචි කාලේ ආත්තම්මා එක්ක හොරෙන් ප්ලෑනක් ගහලා කොණ්ඩේ කපලා අපිට අපේ තාත්තණ්ඩි දුන්නෙ නැතෑ මාර ධර්ම දේශනාවක්.අනේ ඉතින් අත්තම්මයි මායි හොඳහැටි අහගත්තා එදා.

ඥාන දත

මේ කාලේ හුඟක් අයට තියෙන ප්‍රශ්නයක්නෙ ඔය ඥාන දත.ඒ ප්‍රශ්නේ නැති උදවිය කලබල වෙන්න කාරි නෑ ඕන්.ඒක නැතිතරමට හොඳා.ඒත් ඉතින් ඔය බ්ලඩ් ප්‍රෙෂර්,ඩයබිටිස්,ආතරයිටිස් වාගේ හොෂ්-පොෂ් ලෙඩ මේනියාවක් තියෙන උදවිය නම් කලබලවෙලා ඔය ඥාන ප්‍රශ්නේ ඇතිකරගත්තට මගේ කිසිම අමනාපයක් නෑ. :)

දැන් නැවත මගේ දත දෙසට හැරෙමු.:)

ඔය ඥාන සීන් එක කරළියට ආවේ ඇත්තටම කියනවානම් දැනට අවුරුදු 4කට වගේ කලින් දත් මාමා (ඒ කිව්වෙ අපේ ඩෙන්ටිස්ට් මාමා) හම්බෙන්න ගියවෙලේ.
 ඒ කාලේ වැඩිය ඥානේ පෑදිලා තිබ්බෙත් නැතුවට මොකෝ මාමා කියපි, "ඔක්කොම හොඳයි මේ ඥානේ තමයි පරහ" කියලා.මම හිතන්නේ ඒ වෙලාවේ මගේ ඇස් දෙක මිකී මවුස්ටත් වඩා හෙණ සයිස් වෙන්න ඇති. ඒ ගමන දත් මාමා ලෝ සතට අනුකම්පාවෙන් වගේ සැර බාලකරල කිව්වා විස්තරේ.

Sunday, September 15, 2013

අතැඟිලි

මිදෙන්නට දුන් නිසා
බැඳුනු අතැඟිලි තුඩ..
රැඳෙන්නට කියන්නට කොහිද
ඉතින් අවසර නුඹට..
බැඳෙනුයේ කොතැන වුව
ඉඩ නොදෙන් ගිලිහෙන්ට
පෙරදාක වාගේ
ආයෙමත් කිසි දාක....


සටහන : මේ කාලෙකට කලින් ලිව්ව කවියක්.නිමිත්ත ඉතින් පැහැදිලි නොවැ.මිනිස්සු වෙනස්වෙන්නේ අධිවේගයෙන්.වෙනස් නොවන එකම දේ වෙනස්වීම නිසා එකේ ඉතින් පුදුමයකුත් නැහැ.නමුත් ඒ වෙනස්වීම අනිකා තුළ ඇතිකරවන වෙනස ගැඹුරට හාරාගෙන ගිය තුවාලයක් වාගේ.ඒ වගේ තුවාල අපි කවුරුත් තුළ ඇති බවයි මගේ විශ්වාසය.කොහොමනමුත් ඒ වේදනාවට සාර්ථකව මූණදුන්න හැමෝම සෑහෙන්න දහිරියවන්තයෝ.

Friday, September 13, 2013

පණු පැටියෝ ඔයයි මමයි

දැන් ඔය අපේ නගා ඉන්නවා නෙව.උන්දැ ඉතින් අකලට වාගේ උස ගිය එකියක් වෙච්චි, අඩි 6කට වාගේ කිට්ටු උසක් තියෙන්නෙ.ඒවුනාට මොකෝ, පණු වංශෙට මාර බයයි.එයැයිට තියෙනවා අමාරුවෙන් තෙල් ,ජෙල් අරව මෙව්වා ගාලා හේ කරගත්තු, දිග හැරියම කාපිරි කොණ්ඩයක් වාගේ වෙන විසාල කේශ කලාපයක්.පීරද්දි එහෙම සද්දේ නිකන් රේක්කයකින් පොළොව පහුරු ගාන්නා වාගේ.(හිකිස්!) 
හිතාගත හැකිනේ කවුරු වගේද කියලා? අන්න හරි, 'දිගමේස්දානලාගේ පිපී' (Pippi Longstocking)වගේ තමයි. :D





Tuesday, September 10, 2013

මගේ උණ

අප සියළු දෙනාටම කාලයෙන් කාලයට විවිධාකාරවූ උණ රෝග ඇතිවේ.මේ කියන්න යන්නේ දොස්තරලාටත් හොඳ කරන්නට නොහැකි අපේ ඇත්ත 'උණ' ගැනය.මේ උණ තේරේන සිංහලෙන් කියනකල යමක් කිරීමට අප තුළ ඇතිවන දැඩි කැමැත්ත වන්නේය.සමහරුන්ගේ මේ උණ සමාජයට උණ ගන්වන අතර සමහරුන් යා හැකි ඉහළම තලය වෙත ඔසවාතබන්නටද සමත් වන්නේය.තවත් සමහරුන් මැලේරියාවෙන් මෙන් මේ උණෙන් ගැහෙමින් හිඳ කිසිදු හැලහොල්මනක් නැතිවම අවසන් ගමන් යන අවස්ථාද ඇත.මේ කියන්නට යන්නේ මගේ උණ ගැනය.

මගේ මතක ඇති අතීතයක මා පෙළු මුල්ම උණ, 'ගීත ගැයීමේ උණ' හෙවත් 'ගායිකා උණ'කි.අවුරුදු 4-5ක කාලයේදී ඇතිවූ මේ උණ කෙතරම්ද යත්, එවකට මගේ ආදර්ශය වූ රූකාන්ත ගුණතිලකයන්ගේ සිංදු මට ලියාදෙන්නට අපේ අම්මාට සිදුවිය.එවකට අපට මැජික් වැනිවූ ඔහුගේ උඩ පැන කෑගසා ගීත ගැයීමේ අතිශය ප්‍රාසාංගික කලාවෙන් මා වශීවී සිටි තරම කොතරම්දැයි කිවහොත් ඔහු මෙන් අදෘශ්‍යමාන ගිටාරයක් වයමින් දන්නා සියළු වැඩ කිඩ දමමින් ගී ගැයීම එකල මගේ 'උණ' විය.එවකට මට සබකෝලය වැළඳී තිබුණේ නැත.එසේම මට ගීත ගයන්නට හැකියාවක්ද තිබූ නිසා දන්නා හඳුනන සියළුදෙනාම මා කවදාහෝ ගායිකාවක් වනු ඇති බව කීහ, ඉතින් මගේ උණ වැඩිවිය.

Tuesday, August 20, 2013

මගේ ලියුම

-පොඩි එකීගේ ලියුමේ මගේ version එක-
මහින්ද මාමේ,
අවුරුදු ගාණකට කලින් එළියට ආව ඔබතුමාගේ චින්තන ප්‍රතිපත්තිය ආයෙත් ඔය මොකක් හරි වාහිනියක පෙන්නුවොත් නරකද?මොකද ඒකේ සෑහෙන amend කරන්න වෙලා ඇතිය කියා මට හිතෙනවා.මේ අහන්නේ නොදන්නාකමටයි.ඇත්තටම තව ටික දවසකින් අපේ ආගම, ජාතිය සහ භාෂාව වාගේ අප්සෙට් නම් තියෙන එව්වා ඉවත්වෙයි නේද මාමේ?

හොඳට හොඳ කියන්නත් නරකට නරක කියන්නත් අවුරුදු ගාණකට කලින් තිබ්බ කොඳු අපිට තවම තියෙන නිසා දැන් වෙන වැඩනම් ටිකක් අප්සෙට් වාගේ මාමේ.මම නම් කියන්නේ මාමා ඔය හිනාවෙවි කර වටේට එලාගෙන හරි එල්ලගෙන හරි ඉන්න සාටකෙන් පොඩ්ඩක් මූණ ඇස් පිහලා වටපිට බැලුවොතින් හොඳා කියලා.(හැබැයි මාමේ හිනානොවී බලන්න, මොකද මාමා හිනාවෙද්දී ඉරි කෑලිවගේ වෙන චීන ඇස්වලට වැඩිය පෙන්නේ නැතුව ඇති කියලා මට හිතෙනවා)


Monday, July 29, 2013

මගේ නොවන මගේම ආදරය...


ඉකිගසා හඬන අතීතයක..
කඳුළු එක්ක ගනුදෙනු කරනා..
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..


සමනළ සංධ්වනියේ ගීතයක්. අමරසිරි පීරිස් මහත්මයගේ හඬ එක්ක වචනවල බර අපූරුවට ගැලපිලා අපි හැමෝටම පොදු සත්‍යයක්වෙන විරහී වේදනාව හිත පතුලටම දනවනවා."මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා" කියද්දි උගුර හිරවෙන ගතියක් දැනෙන්නේ ඒ විරහවට හිත බැඳුන නිසා නෙවෙයි, හිත සූරා තුවාල කල විරහව ඒ වචන ටික තුළ ජීවමාන නිසා.

විරහවක් තියා ප්‍රේමයක්වත් අත්නොදැකපු කාලෙක විරහව සුන්දරයි කියලා හිතාගෙන, මවාගෙන මං කවි ලිව්වා.ඒත් ඇත්තටම විරහවෙන් අන්තෙකටම බැටකාල ඔත්පලවුණාම ඒ කවි හිත බිම වැටුණු කැඩපතක්වගේ සීසීකඩ විසිරිලා විරහව පෙරෙන මගේ ඇස්වල පිලිබිඹුව හතර අත මැව්වා.සිතනා තරම් සියළු දෙය නොවේ එතරම් මනරම් කියලා තමයි අද ඒ තුවාල පිරිමදිමින් අතීතයට එබෙද්දි හිතෙන්නේ.

Wednesday, July 17, 2013

වර්ණ



වර්ණ පුද්ගලයන් සහ මතක සමග බව බැඳෙන බව සැබෑවක් නම් සිත්තරෙකුවීමට නොහැකිවීම ගැන මම පසු නොතැවෙමි.
සියුම් සිතුවිලි සිතුවමකින් කියන්නට ඇත්නම්යැයි හැඟෙන තැනකදී නම් සිත්තරෙකුවීමට හැකිවූවානම් කියා පසුතැවෙමි.

ප්‍රේමය සුන්දර කරවන වර්ණ, විරහව පාරවන බව දුටුවිට මගේ ප්‍රේමයට වර්ණයක් නොවීම ගැන සැනසුම් සුසුමක් හෙලමි.
නමුත් වර්ණ සංකලනයවූ කල සොඳුරු ප්‍රේමය මනස්කාන්තයැයි සිතමි.


Sunday, July 14, 2013

රුවන් තාරකා

ඉරිදා පත්තර ගොඩේ පෙරළෙද්දි දැක්කා කාලයක් තිස්සේ අසන්නට හිටි ප්‍රවෘත්තියක්.ඒ බණ්ඩාර ආතාවුද මහත්මයගේ ප්‍රසංගයක් තියෙන බව මේ මාසේ 20වෙනිදා.රැල්ලට ගසාගෙන ගිහින් ඇඩ්‍රස් නැතිවෙන කලාවක ඒ මිනිස්සු හෙමින් නමුත් මතක හිටින ගමනක් ගිය නිසා අදටත් ඒ ගීත සුන්දරයි.

ඔය තනි තරුව නම ඉපදෙන කාලේ මගේ ජීවිතේ එක්තරා ආකාරයක සංක්‍රාන්ති සමයක්.මුල් සටහනේ කිව්වා වාගේ අරමුණක් වන-නොවන, මිහිමතට අයිති නොවෙනවා වාගේ පාවෙන ගතියකින් ගෙවුණු ඒ කාලයේ සමහරදාට මහා පාන්දරක් වෙනතුරු සිංදු අහන දවස් තිබුණා.එවැනි කාල මට පමණක් නොව බහුතර ජීවින්ට පොදු නිසා පාන්දරක ඇහෙද්දි ගීතයක තියෙන මිහිර බොහොම වැඩි බව හුඟ දෙනෙක් අත්දැකලා ඇති. අන්න ඒ වගේ මොහොතක ඇහැව්ව ඔහුගේ ගැඹුරු නමුත් ප්‍රේමණීය හඬ මට මතකයට එනවා.


ඉවුම් පිහුම්

මගේ සමකාලීන ගෑණු දරුවෝ බොහෝ දෙනෙක්ට වගේම මටත් ඉතින් කටට රසට උයතහැකි.හැබැයි ඉතින් ඉරිසියාකාරයෝ නොයෙකුත් කතන්දර කියනවා බඩ පැලෙන්න කාලා ඉවරවෙලා.

මං සාමාන්‍යයෙන් බොහොම අකමැතියි, රැලි රැලි කෑමවලට ඔය ඉඳිආප්ප, නූඩ්ල්ස් වගේ.නූඩ්ල්ස් කන්න හිත හදාගන්න පුළුවන් ඒක රස පාටට, කහ මිරිස් පාටකට තියෙනවානම්.ඒත් ඉතින් මම නූඩ්ල්ස් හැදුවම ඒක කන මිනිස්සු (වෙන කවුද ඉතින් අපේ ගෙදර කට්ටිය) කියන්නේ ඒව කාලා 'කහ උණ' (Jaundice) හැදෙයි කියලා මොකද ඒ තරමට කැරට් 18 රත්තරන් වගේ කහ පාටයි.ඒත් මම සැලුනේ නෑ.හැමදාම ඒ පාටටම තමයි නූඩ්ල්ස් හැදුවෙ. :) 



Friday, July 5, 2013

360

යමෙකුට විවිධාකාරයේ පෞද්ගලික සම්බන්ධතා මාධ්‍ය සමග පැවතිය හැකිය.එහෙත් ඒ පුද්ගලයා 'පොරක්'වීමට මාධ්‍ය භාවිතාකරන්නේනම් එය පාණ්ඩිත්වය නොව මුග්ධබවක් සහ පෞර්ෂ බුන්වත්වීමක් පළකරන්නකි.

අද මාධ්‍ය පරම්පරාවේ වඩාත්ම රැඩිකල්යැයි,උගත්යැයි අධිතක්සේරුවක් දිල්කා තුළින් පළවනවිට තමාගේ ඒ හැසිරීමම සැඟවුණ මුග්ධබවක් ප්‍රකට කරවන බව තේරුම් ගැනීමට තරම් සරල සාමාන්‍ය දැනීමක් ඇය තුළ නොවන බව මාගේ අදහසයි.දේශපාලනය යනු ඝට්ටන, තර්ක විතර්ක, මඩ, වංචාදූෂණ, සොරමැරකම් ආදී එකීමෙකීනොකී සියළුදෙයින් පරිපූර්ණවූ ක්ෂේත්‍රයක් වන නිසාම ඒ තුළ කතාකරන්නටද බොහෝ දේ ඇත.ප්‍රශ්නය ඇත්තේ කතාකරනාදෙයටත් වඩා අනික් පාර්ශවය කුප්පවනසුළු ආකල්පයයි.ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම සහ විශිෂ්ඨතම දේශපාලන වැඩසටහන දිල්කාගේ 360 නොවේ.නමුත්, එවැනි ආකල්පයක් ඉරියව්වකින් හෝ පළ කෙරේනම් ඒ පුද්ගලයා, සහ 'මේ මගේ බජාර් එක'යැයි වචනයෙන් පාරම්බාන චණ්ඩියෙකු (හෝ කාඩ්බෝඩ් වීරයෙකු ) අතර වැඩිමනත් වෙනසක් නැත.වෙනසක් ඇත්නම් ඇත්තේ ඇගේ ආකල්පය මුළු රටටමත් චණ්ඩියාගේ ආකල්පය ඔහුගේ බජාර් එකටත් පමණක් පෙනීමය.


Wednesday, July 3, 2013

ඕපාදූප


අපි එක්කහු වුණාම එක එක ඕපාදූප කතාවෙනවා ඉතින්.රූප පෙට්ටිය නොබලන නිසා මා නොදත් කතන්දර අප්ඩේට් කරන්නෙත් එයාලා තමයි.තාත්තා ඉතින් ඔය කතන්දර අහන්න සෙට් වෙච්ච වෙලාවකනම් ටිකක් පරිස්සමින් තමයි කතා කරන්න ඕන.මොකද ජොලි කතා හිනාවෙවී අහන් උන්නට, තවත් මොනාහරි හිනා කතා එහෙම කිව්වට සමහර කතාවලට තරහ අරන් පුපුරන්නත් ඉඩ තියෙනවා.අනික ඉතින් තාත්තා ඕපයක් කියන එකක්යැ, මොනහරි කිව්වොත් වගන්ති දෙකයි කතාවම කියලත් ඉවරයි.බෑණා පොඩ්ඩත් ඉතින් ඒකටම ගැලපිච්චි!හැබැයි ඉතින් ඔය මාමලා බෑණල ජොලි කතාත් කියනවා වෙලාවකට හිතාගන්න බැරි.

(දැන් බ්ලොග් එක කියවන කට්ටිය හිතාවිද දන්නේ මුං මහ ඕපමලුනෙ කියලා.ඒත් ඉතින් සමහර පිරිමි ඕපාදූප කියන්න ගියාම ගෑනු අපි පරාදයි කියලත් අපි දන්නවා හොඳේ. :P )

ඉතින් අපේ ගෙදර කට්ටිය කැමති මගේ කතන්දර අහන්න.මොකද එව්වා රඟපාලත් කියන නිසා හිනාවෙතහැකිනේ.හැබැයි ඉතින් ඔය ඔෆීසියේ, මගතොට අහන දකින රස කතා මිසක් කාවවත් අපහසුතාවයට ලජ්ජාවට පත්කරන එව්ව, චරිත ඝාතන එහෙම නෙවේ මං මේ ඕපාදූප කියලා කිව්වේ.දැන් කාලේ 7ට, 8ට ,9ට, 10ටත් නිව්ස්ය කියලත් ඕප කියන රටක මේව බොහොම අහිංසක රසවින්දනයක් සඳහා කියන අපි අතර පමණක්වෙන පිස්සු කතා.:)

බ්ලොග් සංචාරේ

අද නිවාඩු දවසකුත් වෙච්චි එකේ මම ගියා බ්ලොග් සංචාරෙක.ලංකාවේ සියළු මාධ්‍යන්ට වඩා දියුණ බ්ලොග් නෙව.ඉස්සර මම බ්ලොග් කියවන්න කම්මැලි.අනික කාලවේලාවෙ ප්‍රශ්නෙකුත් තිබ්බා සෑහෙන්න.ඒක නිසා කලාතුරකින් තමයි බ්ලොග් බැලුවේ.අපේ නගානම් බ්ලොග් බලනවා.අන්න කවදහරි දවසක බ්ලොග් දියුණුවෙන් දියුණුවට පත්වෙලා මා(ර්)කටිං පාරක අවශ්‍යතාව දැනුණ දවසක අමතන්න නියමම කෙනා අපේ නගා.මොකද එයැයි කියවන, හොයාගන්න, හිකි හිකි ගගා රස විඳින සියළු බ්ලොග් අපිටත් කියවන්න බලපෑම් කරන නිසා.ඒ බ්ලොග් එක අපි කියවනතුරු ඒ ඇඩ් එක එක දිගට ධාවනය වෙනවා අර 'බුදු තාත්තේ බොන්න..බොන්න.බොන්න" කියල තාත්තා 'මට තව බොන්න බෑ යකොව්" කියපු කතන්දරේ වගේ.

ලංවිම

පහුගියදාක පත්තරේ තිබ්බ සිදුවීමක් කියවලා හරියට දුක හිතුණා.අද කාලේ ඉතින් පත්තර ප්‍රවෘත්ති දැක්කම වැඩියෙන්ම වෙන්නේ දුක හිතෙන එකම තමයි.සමහරවිට ඇත්තටම ඒ ප්‍රවෘත්තිය ගැන, සමහරවිට ඒ වගේ ප්‍රවෘත්තිවලින් බඩවියත හොයාගන්න උත්සහකරන්න තරම් පහළ තත්වෙකට අපේ මාධ්‍ය පත්වීම ගැන.



ඉතින් සිදුවීම ලයිට් බිල ගෙවන්න ගිය අවුරුදු හැටගණනක් වයස තාත්තාකෙනෙක් බිලේ විස්තර අහලා හර්දයාබාධයකින් මියගිහින්.ඇත්තටම ලයිට් බිල දැක්කම තරුණ අපටත් හර්දයාබාධ හැදෙයි කියලා හිතෙනවානෙ.අද අපේ ලයිට් බිල දැක්කමත් ගෙදර බව් නගාලා දෙන්නා ඇරුණුකොට අනෙක්සේරටම එළොව ලයිට් පේනවා.

Tuesday, July 2, 2013

සබකෝලය

බ්ලොග් අඩවියට මා බලපොරොත්තුවූවාටත් වඩා ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙන හැඩයි.බ්ලොග් සංස්කෘතියට අළුත් වුණත් අනික් බ්ලොග් යාළුවන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා.ඉස්සෙල්ලාම වෙබ් අඩවියට ඇවිත් සුභ පැතුව සමනළී අනික් අයටත් ආරංචිය දුන්න නිසා තමයි වැඩියත්ම.ඒක නිසා ඒ හැමෝටම බොහොමත්ම ස්තූතියි.ඒ ඇරුණුකොට මේ ආරංචිය මූණුපොතෙන් දැකල සුභ පැතුව යාළුවෝ හැමෝටමත් බොහොම ස්තූතියි.දමිත් සහෝදරයා කියලා තිබුණා සෑහෙන කලක පටන් බලන් උන්න ආරංචියක් කියලා.අහන්නත් සන්තෝෂයි ඉතින්. :)

දැන් ඔය සේරමත් හරි, අපේ නගාගෙන් තමයි ගැලවුමක් නැත්තේ.බ්ලොග් එක පටන් ගත්තයි කීවට ඒකේ නමක් ගමක් උන්දැට කිව්වේ නෑ.හේතුව 'සබකෝලය'.මට ඔය සංවේදී අවස්ථා එහෙම බෙදාහදාගැනීමෙදි පොඩි 'බැරිබැරියාවක්' තියෙනවා.

ඔය 'සබකෝලය' නිසාම මා විඳ ඇති දුක් ගැහැට නම් අපමණයි ;)විශේෂයෙන්ම වර්ථමාන රැකියා ස්ථානයේ.(මේවා කියලා වැඩට යන්න පුළුවන් වෙයිදත් මංදා ඉතින්) ඒවුණත් ඇත්තම කියන්න එපායෑ.මොකද කවුරුවත් මගේ අසරණ සබකෝලය තේරුම් ගන්නේ නැහැනෙ.:( කට්ටිය ඉතින් ඒකට විවිධාකාර අර්ථකථන සපයනවා, මගෙ 'ඔලුව ලොකුය' වගේ කයිකතන්දර. ඒත් ඉතින් ටික කලක් ගිහින් ඔය සබකෝලය අඩුවුණාම නම් ඩිංගිත්තක් විතර, ඉවරයක් නැති වෑර්ලස් එකක් හා සමානවෙනවා. හිකිස්!

Sunday, June 30, 2013

හැඟුම්












අතීතේ දවසක 
හෙමිහෙමින් පා නැඟුව
මල් තුහිනයක මතක
ගෙන ඇවිත් දොරකඩට,
අනෝරා වැස්සක් 
නොවෙනාබව කියයි..
සීතල මඳනලක 
දැවටෙන්ට අවැසිමුත්
මාරුතයකට බියෙන්
සිතුම්වැල් සසලවෙයි..



පටන් ගැන්ම..

බොහොම කාලයකට කලින් ලිව්ව නිසඳැස් කවි ටික නැතිවෙලා තදබල දුකකින් පෙළෙමින් ඉන්දෙද්දි තමා බ්ලොග් එකක් පටන් ගැනීමේ අදහස ආවේ.මුළු ගෙදරම පෙරළමින් හෙව්වත් හොයාගන්න බැරිවුණා තාමත් ඒ පොත් ටික. මමත් ඉතින් කපුටා හංගන්නා වාගේ මගේ අචේතනික දේපල හංඟන නිසා හොයාගන්න එකත් පුදුම ලේසි වැඩක්!

ප්‍රේමය හමුවීම

උසම උස තැනක්...ලී වේදිකාවක් උඩ මං මොනව කරනවද? පහළින් මිනිස් ගුලාවක් පේනවා..මොනවද මේ වෙන්නේ, කොතැනද ඉන්නෙ කියල හිතන්න මං උත්සහ ගත්තා. ඉන්න උසත් එක්ක බලද්දි මේ ලංකාව වෙන්න බැහැ වගේ..ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාවේ අර ගිනි සිළුව වගේ කොටසෙද මංදා..ඕවා ඉතින් පැහැදිලි කරන්න මං ඔය දේශ දීපංකරවල ඇවිදලා තියෙන එකක්යැ ඉතිං..

ඔන්න එතකොටමයි මං හිටගෙන හිටි තැනම ලෑල්ලක් කඩා වැටුණේ. දැන් අඩිය තියන තියන හැමතැනම පොළොව කඩා වැටෙනවා..පහළ ඉන්න මිනිස්සු ඔල්වරසන් දෙනවා..ඇයි දෙවියනේ, මං මෙතනින් වැටෙන එකද මේ දහස් ගණනකගේ බලපොරොත්තුව? ලී කෑලි අතරින් මට පේනවා සෙනඟ පොදිකමින් බලා ඉන්නවා.. මට උඩින් එකම එක තරු තිතක්වත් නැති කලුවර අහසක්..

තව එහාට මෙහාට වෙන්න ඉඩක් නැතිවේගෙන ගිහිං අසරණව වටපිට බලද්දි එක සැරේටම මට පේනවා මගේ මිත්‍රයා..එයා මොනවද මේ කඩාවැටෙන වේදිකාවෙ කරන්නේ? මම කියන්න උත්සහ කරනවා මෙතනින් යන්න කියලා..ඒත් ඔහු අර සුපුරුදු හිනාවෙන් බලා ඉන්නවා..මුරණ්ඩුකම! අත දුන්නට වැඩක් නෑ, මම ආවොත් ඔයා ඉන්න තැනත් කඩාවැටෙනවා.ප්‍රතික්ෂේපකරන්න ඉඩක් නොලබාම මම එතැන..පුදුමෙකට වගේ ඒ ඉඩ කඩා වැටුණේ නැහැ..ඒත් මගේ හිත එළියට ඇහෙන තරම් තදින් ගැහෙනවා..