Thursday, March 30, 2023

ලොකු මාමා

පුංචිම කාලේ මං ලොකු මාමාට බයයි. එතකොට ඇටිකිත්තෙක් සයිස් මට අඩි හයක් උස, කලු, මූණ පුරා නේවි කට් රැවුල වවාගත්ත ලොකු මාමා පෙනුණෙ යෝධයෙක් වගේ. සාමාන්‍යයෙන් අපි එක්ක වැඩි කතාබහක් නැතිවුණාට ලොකු මාමා සීයා එක්ක කරපු සංවාදවල කව්රු කාව පරද්දනවද කියලා හිතාගන්න බැරිවිදිහෙ සමානකම් තිබ්බා. සීයාගෙ උසයි බුද්ධිමත්කමයි ආත්තම්මගේ හිනාවයි උරුම වෙලා තිබ්බා කියල මට හිතුණට ආත්තම්මා බොහොම ආඩම්බරෙන් කිව්වෙ ලොකු මාමා ආත්තම්මලගෙ ආරෙට ගිහින් කියලා. පහුකලෙක මොන දුරස්වීම් තිබ්බත් සීයටයි ආත්තම්මටයි තමන්ගෙ පළවෙනි දරුවා කියන ආදරේ කවදාවත් නැතිවුණේ නෑ කියලා තමා මේ පැත්තෙ ඉඳන් ඒ දිහා බලන් හිටිය මට දැනුණේ. ඒ ඈත්වීම් ආත්තම්මට වඩා දැනුණේ ඒ ගැන නිහඬව හිටිය සීයාට වෙන්නැති කියලත් හිතිච්ච වෙලාවල් තියෙනවා. 

ලොකු මාමා එක්ක මං එකඟ නොවිච්ච තැන් ඕනෑතරම් තිබුණා. නීතියට වැඩ කරන ගතිය, බුද්ධිමත්කම සහ ඒ පෞර්ෂයය ගත්තම මං අගය කරන පුරුෂ පෞර්ෂයයන් අතලොස්ස අතරින් ලොකු මාමත් ඉහළින්ම හිටියා. හැබැයි සමහර අවස්ථාවල එච්චර බුද්ධිමත් මනුස්සයෙක්ට පවා සමහර දේ දිහා පටු කෝණවලින් බලන්න පුළුවන් කියලත් මං ඉගෙන ගත්තා. රලු යෝධයෙක් වගේ පේන මනුස්සයෙක් ඇතුලෙත් නොහිතන දේවල්වලට රිදවෙන සංවේදී මනුස්සයෙක් ඉන්න බවත් මං දැනගත්තෙ ලොකු මාමගෙන්. ඒත් ඒ ගැන කතා කරන්න අපිට කවදාවත් අවස්ථාවක් ලැබුණේ නෑ. 

අසනීපයෙන් ඉන්න බව ආරංචිවුණත් මහා අහංකාර මනුස්සයෙක් හින්දා කව්රුවත් තමන්ව බලන්න එනවට එයා අකමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. ඒ අකමැත්ත නොතකා එයාව බලන්න ගිය පවුලේ අයට පවා ඇයි ආවේ කියලා අහන්න මොන ලෙඩ ඇඳක හිටියත් ඒ අහංකාර කට ඇරුණා කියලා පස්සෙ ආරංචිවුණාම තරහ ගන්නවා වෙනුවට මට හිනාගියා. ඒ ලොකු මාමා කව්ද කියලා යම්තාක් දුරකට ඈත ඉන්න මට තේරුම් ගන්න පුළුවන් වෙච්ච හින්දා වෙන්න ඇති. ඒ වගේ ස්වාධීනත්වය අගය කරන, අම්මා තාත්තට පවා දෙවැනි වෙන්න අකමැති, කිසිකෙනෙකුට ඔලුව නවන්න අකමැති අහංකාර මිනිහෙක් තමන් ලෙඩකට දුකකට පැරදිලා ඉන්නවා කිසිකෙනෙකුට පෙන්නන්නවත් අනුකම්පාව ලබන්නවත් තියෙන අකමැත්ත මට තේරෙනවා. 

ඒත් ලොකු මාමගෙ මරණයේ ආරංචිය මං දැනගත්තේ දවස් ගාණක් පහුවෙලා. මට දැනෙන්නේ පුංචි කාලේ ඉඳන් දැක්ක මහ විශාල රූස්ස ගහක් එක සැරේම අතුරුදහන් වෙලා වගේ මහ හිස්කමක්. 

ගිහින් එන්න ලොකු මාමේ. මේ ආත්මයේ වගේම බුද්ධිමත්ව, හොඳ පෞර්ෂයයක් ඇතිව යහපත් නිදුක් නිරෝගී මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න. මේ ආත්මයේ මග හැරුණු ඇතැම් දේත් ධර්මයත් අවබෝධ කරගෙන අමා මහ නිවනට මග හදාගන්න. සංසාරේ කොතැන හරි හන්දියක මුණගැහුණොත් යහපත් පිරිවර ලබාගෙන, හොඳින් ඉන්නවා දකින්න ලැබෙන්න ඕන. 

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Saturday, March 25, 2023

නිදහසේ ලන්සුව

මේ දවස්වල දවල් එළියට බැස්සම පුදුම සනීපයක් දැනෙනවා. කට්ට තාර පාරෙන් දුම් නොනගින එකයි පුදුම. නානාප්‍රකාර නානාහැඩයෙ වාහනවල, ගොඩනැඟිලිවල දිලිසෙන හැම පෘෂ්ඨයකම වැදිලා ඉරේ දරුණු රැවිලි ඇස්වලට පනිනවා. ඒකෙන් ඇහැරෙන්න දතකන මිග්‍රේන් දුෂ්ටයාට බයවෙන මං අව් කණ්ණාඩි අස්සෙනුත් තදින් ඇස්පියා ගන්නවා. 

හෙවණකට ඉන්න ගහක් නැති සාංකාවක පාටක්වත් නැතුව මිනිස්සු ගිනිගහන මහපාරවල්වල ඇවිදිනවා. කිලෝමීටර් ගාණකට පස්සෙ හම්බුවෙන එක ගහක් යට චූටි දැල් කූඩුවක වටුකුරුල්ලො ගොඩක් පුරෝගෙන නිල් ඉරි සරමකට සුදු අත්දිග කමිසයක් ඇඳගත්ත මනුස්සයෙක් ඇන තියාගෙන ගිමන් අරිනවා. කූඩුවේ ඉන්න වටුකුරුල්ලො එකා පිට එකා වැටෙමින් නලියනවා, රස්නෙ දරාගන්න බැරිකමට වෙන්න ඇති.

ගහකොළක් පේන තෙක් මානෙක නැති යකඩ තහඩු කඩ කාමර පේලියක සුරතල් සතුන් විකිණීමට කියලා බෝඩ් එකක් ගහගෙන දැල් කූඩු එකපිට එක අඩුක් කරන් ඉන්නවා. ඒවයෙ කුරුල්ලෝ, බලුපැටව් පිරිලා. උන් හරිම අසහනයෙන් දිවවල් ඇදගෙන පීඩාවෙන්, රස්නෙන්, සමහරවිට බඩගින්නෙන් වේදනා විඳිනවා.

සමහරවිට අර මනුස්සයගෙන් මිලදී අරන් අපි අපේ අපලවලට කුරුල්ලෝ නිදහස් කරනවා. බෙල්ලන්විලට නිදහස් කළොත් ආයෙත් ඒ කුරුල්ලොම තව කව්රුහරි අල්ලගෙන කූඩු කරලා ආයෙ විකුණනවා ඇති.

අර කඩෙන් බලු පැටව් මිලදී අරන් ගිහින් කොහෙහරි හිරකරගෙන වර්ගයා බෝ කරවමින් තව කෙනෙක් ව්‍යාපාරයක් කරනවා ඇති. ඒ පැටවුන්ගේ ඊළග පරම්පරාවත් තව කඩේක යකඩ කූඩුවක හිරවෙලා තමන්ට ගැණුම්කාරයෙක් එනකල් දුක් විඳිනවා ඇති. ඒ දුක ඒත් ඉවර නොවෙන බව තේරුම් ගන්න තරම් හැකියාවක් ඒ අසරණයන්ට නැහැනෙ.

මහ තාප්පවලින් වටකරපු තැනක සුදු ජම්පර් ඇඳගත්ත මිනිස්සු මේ අව්කූටකේ නොයෙකුත් වැඩපල කරනවා. එක එක වැරදිවලට එක එක අච්චුවල මිනිස්සු එක පොදියට යකඩ කූඩුවලට ගාල්වෙනවා. වැරැදි කරන එකා යකඩ කූඩු දාහක් අස්සෙත් ඒ වැරැද්දම කරනවා. හැබැයි උන් කතා කරනවා. ඉල්ලීම් කරනවා. තර්ජන ගර්ජන කරනවා. තමන්ට ඕන දේ හොඳින් හරි නරකින් හරි දිනාගන්නවා. උන්ට කූඩුවෙන්නත් නිදහස්වෙන්නත් මිලක් තියෙනවා. 

නිදහස මටත් අර වටුකුරුල්ලටත් බලු පැටියටත් වැලිකඩ ගිය සුදාටත් එක වගේ. ඒත් අපි එක එක හිරකාරයට එක එක විදියට සලකනවා. එක එක හිරකාරයගෙ නිදහසට විවිධාකාර මිලක්, ක්‍රමවේදයක් හදනවා. අපි කව්ද? අපිට ඒ බලතල ලැබුණේ කොහොමද? කාගෙන්ද? 

මේ ආත්මාර්ථකාමී මිනිස්ගුලාවෙන් මිදුණු සැගවුණු නිදහස් දේශයක් ගැන ආරංචියක් ලැබෙන දවසක් ගැන මම ඇඟිලි ගනිමින් බලන් ඉන්නවා. 
එපා, එහෙ එන්න එපා🙏

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #freedomhasaprice

Wednesday, March 22, 2023

කඩ්ඩ කොපුගත කිරීම

ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීමේ අවස්ථාවට පක්ෂ එක මන්ත්‍රීවරයයි!

ලෝකය විශ්ව ගම්මානයක් වෙනවය, ඒකට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම වැදගත් වෙනවය කියන කතන්දර සේරම අමතක කරන්න පෙරමුණ ගන්නේ අනෙක් එව්වයිදී 'දූපත් මානසිකත්වයෙන් මිදෙන්න අනී' කියලා  නටන  ඇත්තොම වෙච්චි එක දෛවයේ සරදමක්ද මන්දා!

ඇත්තටම වෙන්න ඕනෙ සිංහල/දෙමළ දරුවන්ට ඉංග්‍රීසිය නිසියාකාරව, මුලපටන් ඉගැන්වීමට පියවර ගැනීම නෙවෙයිද? අවුරුදු 13ක්ම ඉස්කෝලවල සතියකට අවම කාල පරිච්ඡේද පහක් (මිනිත්තු 40*5= මිනිත්තු 200ක්) ගානේ ඉංග්‍රීසි ඉගෙන ගෙනත් තවම ඉංග්‍රීසි "ඉගෙනගෙන" නැති පිරිස වැඩියි. ඒකට හේතුව මූලිකවම තමන්ගේ උවමනාවක් නැතිකමට අමතරව ඇත්තටම ඉංග්‍රීසි ඉගැන්විය හැකි ගුරුවරුන්ගේ හිඟය! ඉතාම හොඳින් ඉංග්‍රීසිය හසුරුවන ගුරුවරුන්ට පවා මූලික ව්‍යාකරණ සිද්ධාන්තයේ සිට ශිල්පය දෙන්න දන්නේ නෑ! මේ කියන්නේ අත්දැකීමෙන්.

ගෝඨාභය විසින් ගමටම ගිහින් අපහසුතාවයට පත්කරන ලද ඉංග්‍රීසි ගුරුවරිය ගැන සානුකම්පිතව හිතුවත් ඒ අපි දැක්කෙ රටේ බහුතර ඉංග්‍රීසි ගුරුවරුන්ගේ තත්ත්වය තමයි! තමන්ට බැරිනම් කොහොමද දරුවන්ට උගන්වන්නේ? එතකොට පරීක්ෂණවලදි ඔවුන්ගේ නොහැකියාව අහුවෙලා නැත්නම් යාන්ත්‍රණයේ ලොකු අඩුපාඩුවක් තියන්න ඕන නේද? ගුණාත්මක ගුරුවරයෙක් බිහිකරන්න බැරි යාන්ත්‍රණයක ඇති වැදගත්කම මොකද්ද කියලා ගුරු වෘත්තීය සමිතිවලින් තමා අහන්ට ඕනි!😏

වෙන වෙලාවට සිංහල භාෂාව ප්‍රධාන කරද්දී 'ජාතිවාදි' වෙන සමාජයක් අද? 🤷‍♀️ මේ වෙද්දී හදන්න ප්‍රමාද කොටසක් ඉන්නවා, හැබැයි ඒ කොටසට අසාධාරණයක් නොවන ආකාරයට යම් කාලයකට මාධ්‍ය තුනෙන් කැමති මාධ්‍යයක් කරන්න ඉඩ දීම හරි. නමුත් ඉංග්‍රීසිය එපාමයි කියන තැන ඉන්න එක මරි මෝඩකමක්. සිංහල සහ දෙමළ භාෂාවෙන් ඉගෙනගත්තත් නීති වෘත්තීයවේදියෙක් වූ පසු කටයුතු කරන්න සිද්ධ වෙන්නෙ වැඩිමනත් ඉංග්‍රීසි භාෂාව එක්ක. ඉංග්‍රීසිය දුර්වල නීතිවේදීන් උසාවිවල අපහසුතාවට පත්වෙන ආකාර බොහෝ අය දැකලා ඇති. මම නම් දැකලා තියෙනවා. ඇතැම් එවැන්නන් කොතරම් දක්ෂ කථිකයන් වුවත් අපහසුතාවට ලක්වෙනවා!

ඉතින් තමන් අපහසුතාවට පත්වෙන්න එච්චර කැමැති නම් අපිට මොකෝ නේ?🤷‍♀️
මොකෝ මෙතෙක් කල් ජාත්‍යන්තරේ ජයගත්තේ සේපාල්ගේ කඩ්ඩෙන්යැ! 😎

අවිදුර දෘෂ්ටිකත්වය තියෙන්නේ පාලකයට විතරක් නෙවෙයි, පාලිතයටත් ඒක එසේමයි. ඕවා බලන් ඉන්න මට හිතෙන්නේ අර අපි නොදන්න ලයිව් එකේ දෙයියා කිව්වා වගේ.. 
"දැන් ඔය කඩු කොපුවලට දමලා
දෙන්නාට දෙන්නා වැඳලා ඉඹලා
පලයව්!" වගේ කතාවක් තමයි.😂

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Sunday, March 19, 2023

ටුරී ජුලියානෝ (Turi Giuliano/ Salvatore Giuliano)

ටුරී රෝමාන්තිකරණය කරන ලද මැරයෙක්! ඒත් ඒ මැරයා Mario Puzo ගෙ වචනවල දැවටෙමින් ඇවිත් මගේ හදවත නතර කළා. 

කව්ද ටුරී? ඇයි ටුරීට එහෙම වුණේ? එච්චර කඩවසම්, බුද්ධිමත් මිනිහෙක්ට එහෙම වුණේ එයත් පවත්නා ක්‍රමයේ ගොදුරක් වෙච්ච නිසා නෙවෙයි ද (නෑ මෙහෙ නෙවෙයි, සිසිලියේ).

Mario Puzo ඒ කියන්නේ සුප්‍රකට Godfather රචකයා The Sicilian එළිදක්වලා තියෙන්නෙ 1984 නොවැම්බර් මාසෙදි. ටුරී හෙවත් සැල්වටෝර් ජුලියානෝව පාදක කරගෙන ලියලා තියෙන මේ නවකතාවට Godfatherහි චරිතත් ඈඳලා තියෙනවා. ඇත්ත ටුරී 1922 නොවැම්බර් 16 ඉපදිලා 1950 ජූලි 5දා මරණයට පත්වෙලා තියෙන්නේ අවුරුදු තිහක්වත් ආයුෂ නොවිඳ! රෝමාන්තිකරණය කරන ලද කලු (මට අනුව නං අලු) චරිතයක් වුණත් ටුරී තුළ ඉන්න මොකද්දෝ ඡායාවකට මගෙ හිත ඇදෙනවා. 
(මේ වාක්‍යය ලියද්දිම මට මගෙ හොඳම මිත්‍රයෙක්ගේ සුපුරුදු වචන ටික ඒ හඬෙන්ම ඇහෙනවා වගේ.😂 අපේ බහුතර සංවාදවල ඉතාලි සහ ආසියානු මාෆියා විකසනය ගැන කතන්දර වෙනකොට ඒ මිත්‍රයා ඔලුවෙ අත ගහගෙන මගේ මේ මාෆියා ආකර්ෂණය සහ නැඹුරුව ගැන වධවෙන්න ගන්නවා. ඊටපස්සේ පොහෝදා ධර්ම දේශනයක ස්වරූපයෙන් අපි දෙන්නාටම ඇති විවිධ ඉතිහාස කතා සහ අත්දැකීම් ගෙනහැර පාමින් ඒකෙ ආදීනව කියාපෑමෙන් තමයි මේ සංවාද අහවර වෙන්නේ 😁)
(වරදවා වටහාගන්න එපා. මේ කතා කරන්නේ කාඩ්බෝඩ් වීරයන් හෝ සිඟිති පාතාලයන් ගැන නෙවෙයි. මාෆියාවක් වුණත් ප්‍රතිපත්තිගරුක, යම් විනයක් සහිතව:Omerta, ක්‍රියාත්මක වෙච්ච සංවිධානයකට නිග්‍රහ කරමින් දකින දකින හැම මජර ජරාවකට මාෆියා කියන වචනය යෙදීම අපරාධයක් කියලා මං හිතනවා!) 

ජනතාවගේ වීරයෙක් හැටියට අවුරුදු විසි අටක් වගේ කෙටි කාලයකදී සිසිලියේ මාෆියාවට මාෆියාවක් වීමෙන් නොනැවතී, ෆැසිස්ට්වාදී මුසොලීනි බලයෙන් පහකිරීමේ කුමන්ත්‍රණයේ ඉත්තෙක් වෙන්න සිද්ධ වෙද්දි ටුරී දැනගෙන ඉන්නවා කවදාවත් එතැනින් ගැලවීමක් නැති බව. ඒත් අවාසනාවකට ටුරී මැරුම් කන්නෙ පෙනුණු සතුරන් අතින් නෙවෙයි. වැලි කෙලියෙ ඉඳන් හැම දේකදිම කිසිම විරුද්ධත්වයක් නැතුව ළගින්ම හිටිය මිත්‍රයා, Aspanu Pisciotta ගෙ වෙඩිල්ලෙන්. නවකතාව සහ ඇත්ත කතාවේ සිදුවීම් අතර යම් යම් වෙනස්‌කම් තිබෙනවා. නවකතාවේදී ටුරී අවසානය වෙද්දී තනිවුණත් තමන්ගෙ විශ්වාසවන්තම, ප්‍රාණසම මිත්‍රයා ගැන අවිශ්වාසයක් හිතන්නේ නෑ. නමුත්, වාර්තාවලට අනුව පිසියෝටාගේ (විවිධාකාරයෙන් උච්ඡාරණය වෙනවා) පාවාදීම ගැන ටුරී දැනුවත් වෙලා ඉන්දැද්දි සැකයෙ වාසිය දිනාගන්න මිත්‍රයාමයි නින්දෙ ඉන්න ටුරීව මරා දමන්නේ! 

නොවැම්බරයෙක් හැටියට මේ නොවැම්බරයා ගැන මට මහා කණගාටුවක් දැනෙනවා. 

ඉතාලි භාෂාවෙන් කැඩී ආව වචනයක්වුණත් අරාබි භාෂාවෙන් මාෆියා යන්නෙ තේරුම බලවතාට විරුද්ධව දුබලයා වෙනුවෙන් පෙනීසිටින ආරක්ෂකයා නැත්නම් ශුද්ධවූ ස්ථානයක් වගේ එකක්. එහෙම බැලුවොත් ටුරී මාෆියාවෙන් මාෆියාවට යන්නට ඇති කියලා විශ්වාස කරන්න මං කැමතියි! 😇

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #bookreview #SicilianMafia

Friday, March 17, 2023

වටවන්දනා සර්විස්

මේක සෑහෙන්න පරණ කතාවක්.
ඒ දවස්වල මං ගියා කාර්යාල ප්‍රවාහන සේවාවක. හිමිකරු/රියැදුරු සාන්ත. සාන්තගේ වෑන් එකේ හිටියේ කාන්තා පාර්ශවය විතරයි. වෙලාවටම ආවට ගියාට සාන්ත ගියේ මහ දුර පාරවල්වලින්. කොටින්ම එක වාහනයක් විතරක් යන්න පුළුවන් විදිහේ දහ අට වංගු, පටු පාරවල්වල යන්න තමයි සාන්ත ආසම. ඒ වෑන් එකේ අන්තිම සීට් එකේ වාඩිවෙලා ඔලුව කෙලින් තියාගෙන ඉස්සරහ බලං ගියොත් අනිවාර්යයෙන්ම කැරකැවිල්ල හැදෙනවා! (ආ මේ ආසන වෙන් කිරීම කරන්නෙත් එයාම තමයි). මාව ගෙදර ළගින් ගන්න හරි දාන්න හරි කොයිතරම් පුළුවන් වුණත් සාන්ත නෙවෙයි ඒකට කැමති. හැබැයි ඉඳලා හිටලා ආ මිස්ව මං ගෙදර ළගින් දාන්නංකො කියලා ඒ පාරේ යන දවසුත් තියෙනවා මොකද මං තමයි අන්තිමටම වෑන් එකෙන් බහින්නේ සමහර දවසට.

මිනිහ පොඩ්ඩක් අහිංසක වගේ පෙනුණට සමහරවෙලාවට හෙන භයානකයි! අපි ඔය එන අතුරු පාරවල් අස්සෙදි තියෙනවා රේල්පාරක් හරහා එන්න. ඒක කොහොමත් පාරට වඩා තරමක් උස කණ්ඩියක්. එතන රේල් ගේට්ටුවක්වත් සිග්නල් ලයිට් එකක්වත් නෑ. ඒ හරියේ තියෙන පොඩි ගෙවල් පේලිවල මිනිස්සු තමයි අත්දැකීම් මත කෝච්චි යන එන වෙලාව බලලා සිග්නල් එක දෙන්නේ, ඒකත් ඉතින් හැමෝමම නෙවෙයි. මොකෝ ඉතින් ඒ මිනිස්සුන්ටත් වෙන වැඩ නැතුවයැ!

සාන්ත කොච්චර ට්‍රැක්ද කියනවා නං හැමදාම අර ජරබර ගාන වෑන් එක හිමීට රේල්පාර තියෙන කණ්ඩිය උඩට නග්ගලා කිසීඊඊඊම කලබලයක් නැතිව හිමීඊඊට වටපිට බලලා හරීඊඊම හිමීඊඊඊට තමයි රේල්පාර හරහා එන්නේ. පළවෙනි දවස් කීපයේ මාත් බලං හිටියා ඉතින් මේ මරාගෙන මැරෙන මෙහෙයුම් සැලසුම දිහා. මළාට කමක් නෑ ඒත් කෝච්චියට වැදිලා ඇද්දිලා ගිහින් දහදුක් විඳලා මැරෙන්නේ මොකටද? අනික නොමැරී ඉතුරු උනොත් එහෙම!

සාන්ත ටික දවසක් යද්දී මාත් එක්ක පොඩ්ඩක් ෂේප් වෙලා හිටියේ. කොටින්ම ඉන්දියානු තාලෙට නැන්දම්මා දුං අල්ලලා තිලක තියලා ලේලිව ගෙට වඩම්මනවා වගේ තමා සාන්තත්. හෝ ගාලා කියෙව්වට මට එහෙම කියවන්න ආසාවක් නැති නිසා සමහර වෙලාවට අන්තිම සීට් එකේ කොණට වෙලා මං බොරුවට නිදි. මොන! මේ මනුස්සයා සෙනග ටිකක් අඩුවෙච්ච වෙලේ ඉඳන් අර ඉස්සරහ කොණේ ඉඳගෙන "මීඊඊඊඊඊස්ස්... මීඊඊඊඊඊඊඊස්ස්ස්..."කියලා කෑගගහ මොකක් හරි කතාවක් කියනවා. මට ඉතින් පුදුම දයාවක් ඇතිවෙනවා මේ පාන් කියාගන්න බැරි මහන්සියෙන් ගෙදර යන සිහියෙන් ඉන්දැද්දි ඔය බයිලා අහන්න වුණාම.

ඉතින් අර රේල්පාරේ මැද ඉඳන් කරන මරාගෙන මැරෙන සැලසුම ගැන මං ඔහොම කෑගහන සාන්තට කිව්වා මෙහෙම!
" (අහිංසක, බැරෑරුම් මූණකින්) සාන්ත, ඇයි ඔයා අර රේල්පාරේ නවත්තගෙන කල්පනා කරන්නේ? අපිව මරන හැටිද?"
"අනේඒඒ මීඊඊඊස්ස් මං කාට එහෙම කළත් මිස්ට එහෙම අනතුරක් වෙන්න දෙනවද? ඉතින් එහෙම තමා වාහනේ එලවන්නෙ කලබලයක් නෑනේ"
"හැබැයි කොයි වෙලාවක හරි කෝච්චියක් ඇවිල්ලා හැපිලා අපි මැරුණොත් සාන්තට තමයි අපේ දරුපවුල් බලාගන්න වෙන්නෙ ඔන්න. ඒක හරිම භයානකයි නේද" (මං මේ බොහොම කරුණාවෙන් යාප්පුවෙන් අහන්නේ මොකද මිනිහට ටිකක් ට්‍රැක් නිසා ආයෙ වාහනෙ හරවං ගිහින් මාත් එක්කම රේල්පාරේ නවත්තලා ආවොත් එහෙම!)
" දැන් මිස් වෑන් එකෙන් අයින් වෙනවද ඉතින්? අනේ මිස් එහෙම වුණොත් මං මිස්ට පේන්නම බේරේ වැවට පනිනවා! (හෑඈඈ! මොන මගුලක්ද මේ!!😳) 
"පිස්සුද! ඒ මොකටද ඒ!! අනේ සාන්ත පොඩ්ඩක් කල්පනාවෙන් ඔය රේල්පාර හරහා යන්න, අපිව මරන්නේ නැතුව. අන්න එච්චරයි ඕන" කියාගෙන මම දඩිබිඩියේ වාහනෙන් බැහැගත්තා.

ඊටපස්සේ දවසක උදෙයි හවසයි දෙකේම මෙන්න මේ මනුස්සයා මාව පෙනි පෙනි දාලා ගියානේ! මං කෝල් කළාම ආන්සර් කරන්නෙත් නැහැ. පස්සෙ යාලුවෙක්ගේ ෆෝන් එක දීලා ඇයි ඇහුවම කියනවා 'මිස් පහුගිය දවස් ටිකේම මාත් එක්ක වචනයක්වත් කතා කළේ නෑනෙ. ඒක නිසා මගෙ හිත රිදුණා, මං දාලා ගියා!"ලු.🤦‍♀️🤷‍♀️

එතනින්ම ඒ වටවන්දනා ගමන නිමවුණා මිත්‍රවරුනි.
හැබැයි මං මාරක දෙකකින් බේරුණා මං හිතන්නේ😂

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Monday, March 13, 2023

භූකම්පා

එක්තරා කාලෙක මං එයාට කවි ලිව්වා. මං කවි ලිව්ව පළවෙනි මිනිහා එයා නෙවෙයි තමයි. හැබැයි කවි කියලා මං මාවම ලිව්වේ එයාට විතරයි!

එච්චර තදබල ප්‍රේමයක් ඇතිවෙන්න තරම් මොකක්ද වුණේ කියලා මං අදටත් දන්නෙ නෑ. හැබැයි ඒ අධිසංඛ්‍යාත ප්‍රේමය මට මහ දරුණුවටම දැනුණා. ලෝකේ ලොකුම භූකම්පනයවත් සුනාමියවත් එක්ක සසඳලා ලඝු කරන්න බෑ වගේ ඒ ප්‍රේමයත් මට දැනුණේ. මං අනේක වාරයක් ඒකෙන් පැනලා දිව්වා. හිතෙන් විතරක්. ඉන්පස්සෙ හැබෑවටමත්. ඒත් දුවාගන්න බැරිව පොලා පනින යෝයෝ එකක් වගේ ආයෙත් කැරකිලා එයා ඉස්සරහ හිටගත්තා. ඒ හැම වතාවකම එක එක විදියට කවි ලියැවුණා. ඊටපස්සේ දවසක මම කවි ලියන එක නතර කළා. මට තවදුරටත් මාවම ලියන්න බැරි තැනක ඒ අධිසංඛ්‍යාත ප්‍රේමය මාව වලදැම්මා.

සාමාන්‍යයෙන් එහෙම වුණාම වගේ සුන්බුන් අස්සෙන් එළියට එන්න, උදව් ඉල්ලලා කෑගහන්න, අඩුම තරමේ කෙඳිරියක් නගන්නවත් උවමනාවක් නොකර මං සුන්බුන්වලට යටවෙන්න තීරණය කළා. ගොඩ ඇවිත් ආයෙත් කවි ලියන්න බලාපොරොත්තුවක් මට නැති හින්දා.. ආයෙත් කවදාවත් එහෙම අධිසංඛ්‍යාත ප්‍රේමයක් කෙසේ වෙතත් අල්පමාත්‍ර ප්‍රේමයක්වත් නොදැනෙන බව මම දැනගත්ත හින්දා..
ඒ ප්‍රේම භූකම්පනයට යටවීමෙන් මගෙ හෘදය කුඩුපට්ටම් වෙලා ගිහින් කියලා දැනගත්තේ (අවාසනාවකට) මාව කව්රුහරිම හොයාගත්ත හින්දා. ඒත් මට හම්බවෙන්න උවමනාවක් තිබ්බෙ නෑ. 'පණ තියෙනවා. ඒත් හෘද ස්පන්දනයක් නෑ' මහ කලබල ගොඩක් අස්සෙ කව්ද කියනවා මට ඇහුණා. 'තමුන් වෛද්‍යවරයෙක් නේද. මොන හතරබීරී බහුත කතාවක්ද අයිසේ ඒක' කියලා තව කව්ද මහ සද්දෙන් කියන්න ඇති, ඒත් මට ඇහුණේ ලාවට. ඉස්සර මං සීතල දරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. හැබැයි දැන් ඉන්න තැන සීතලයි වගේ පෙනුණා.

"හෘද ස්පන්දනයක් නැතුව පණ තියෙන්නෙ කොහොමද අනේ" නිල්පාට මුකවාඩම් මූණක් උඩින් ලස්සනට කාජල් තවරපු ඇස් දෙකක් විමසිල්ලෙන්ද බයෙන්ද කියලා හිතාගන්න බැරි බැල්මක් එක්ක මූණට එබුණා. 
'පුළුවන් ඇති. මේ ඉන්නෙ ඉතින්' මං කිව්වා. එයා ඇහුණේ නෑ වගේ යන්න ගියා.
~තනියා
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Thursday, March 9, 2023

පෞද්ගලිකත්වයේ මරණය

කව්රු කොහොම හිතන් හිටියත් අපි කව්රුවත් අමරණීය නෑ. කාලයත් එක්ක ඕක තේරුම් අරගෙන ඉන්න මටත් කොයිවෙලේක හරි මොකක් හරි විදිහකට 'බග්!' ගාලා මළොත් මෙච්චර කල් කරපු කියපු දේවල්වලට මොකක් වේවිද කියලා හිතුණා.

එහෙම බග්! ගාලා ගිය දවසක ගල්ගැහිච්ච ඇඟිලි සලකුණු තියලා අන්ලොක් කරගන්න අමතක (වේවා!) වෙන්න පුළුවන් කතන්දර මා එක්කම වැලලිලා ගියොත් නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ වෙයිද? එක්කෝ එහෙම වෙන එක (වේවා!) වෙස්වලාගත් ආශිර්වාදයක් වේවිද?

භෞතික ලෝකෙට අඬබෙර නොගහා එකසැරේ වාෂ්ප වෙලා වගේ චුතවෙන්න පුළුවන් බලයක් මිනිස්සුන්ට තිබ්බා නම්...

නිකමට හිතුවොත් කෙනෙක් එහෙම චුත වෙද්දී එයාට සම්බන්ධ හැම සලකුණක්ම සටහනක්ම ඒ එක්කම මැකිලා අතුරුදහන්වෙලා යනවා නම් ලෝකේ කොච්චර සැහැල්ලු වෙයිද. මිනිස්සු මතකවලට වැඩි වටිනාකමක් සහ ගෞරවයක් දෙන්න ගනීවී, සමහරවිට.

පහුගිය කාලේ පුරාම දිවිනසාගත්ත විතරක් නෙවෙයි වෙන වෙන හේතුවලින් මැරුණු මිනිස්සුන්ව පවා මාධ්‍ය ප්‍රධානව හැමෝම ආයෙ ආයෙ මරමරා දානකොට ඒ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය අමුඅමුවේ කෙළෙසෙනකොට අපි හරි ඉහළින් කතාකරන සදාචාරේ කොහෙට චුතවෙලා ඉන්න ඇද්ද?

කව්ද අපේ චුත වීමේ අයිතිය අහුරගෙන ඉන්නේ? චුතවෙච්ච හැටියේ ඒ මිනිස්සුන්ගේ ජීවිත අවුස්සන්න අයිතියක් ලෝකයාට දෙන්නේ ඒ අහුරගෙන ඉන්න අයමද?

දවසක මේ ප්‍රොෆයිල් සේරම එක්ක චුතවෙන්න මට බැරිවුණොත් එහෙම කුණු හොයන්න ලෑස්ති නැති මිනිස්සු ඉඳීද?
පරණ ලිවිලිවලට මරණ පරීක්ෂකවරු කීදාහක් ඉදිරිපත් වෙයිද?
පරණ පිංතූර කිසිම අවසරයක් නැතුවම කීතැනක සංසරණය වෙන්න ගනීද?
මාත් නොදන්නා කතා කීදාහක් අලුතින් උපදීවිද?
අලු පාට මාව ඊටපස්සේ ඇස් නිලංකාර වෙන තරම් සුදු චරිතයක් කෙරෙයිද? නැත්නම් ජීවිතේට නොහිතන තරම් කට්ට-කලු චරිතයක් කෙරෙයිද?
ජීවත්වෙද්දි වෛර කරපු, වල කපපු, අංචි ඇදපු මිනිස්සු පවා කොහෙදෝ මන්දා හංගන් හිටි ආදර කරුණාවල් එළියට ඇදගෙන වැලපෙයිද?
කොටින්ම චුතවුණේ මංමද කියලා ඒ නාටක බලාගෙන හිටියොත් මටම හිතෙන තරමට අධිනාටක තත්ත්වයක් ඇතිවේවිද?

ජීවත් වෙන මිනිස්සුන්ට විතරක් නෙවෙයි පෞද්ගලිකත්වයක් තියෙන්නේ. ඒ අයිතිය මැරෙන/මැරිච්ච මිනිසුන්ටත් තියෙනවා කියලා අමතක කරන ලෝකෙක අපි ජීවත් වෙන්නේ. අසාධාරණ විදිහට විනිශ්චය වෙන්නේ ජීවත්වෙන මිනිස්සුන්වයි කියලා අපි හැමදාම තර්ක විතර්ක කළාට ඇත්තටම ඊට වඩා දහස්ගුණයක අමානුෂික, අසාධාරණ විනිශ්චයකට ලක්වෙන්නේ මියගිය මිනිස්සු. 'ඇත්ත ඕක නෙවෙයි යකුනේ' කියලවත් 'මට මැරිලවත් මගෙ පාඩුවෙ ඉන්න දීපල්ලා' කියලවත් 'උඹලට වෙන වැඩ නැද්ද යකුනේ' කියලවත් කියාගන්න බැරිතරම් ඈතකට ගිය මිනිස්සු. ආයෙ පණ ආවොත් දහස්වතාවක් පණ අතාරින්න හිතෙනවා ඇති මේ විකාර දැක්කොත් මැරිච්ච මිනිස්සුන්ට!

ජීවත් වෙන උන්ව මැනලා විනිශ්චය කරලම මහන්සි නැද්ද අප්පා උඹලට,
මැරිච්ච මිනිසුන්ටවත් සැනසීමේ ඉන්න නොදෙන්නේ?

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #PrivacyMatters #PrivacyProtection #HumanRightsViolations #humanrights #humanity

Wednesday, March 8, 2023

කාන්තා දින

කාන්තා දිනය බාගයක් ගෙවිලා යනකල් හිතමින් ඉඳලා ලියන කතා..!

සයිබර් අවකාශයේ නානාප්‍රකාර කාන්තා සැමරුම්, සුභාශිංසන, පින්තූර, උත්සව මහ ගොඩක් පහුකරගෙන යන අතර එක්තරා නිළියක්ව දැඩි අපහාසයට උපහාසයට ලක්වෙනවා යම් සමූහයක. කාන්තාව කියන රාමුවෙන් ගලවලා බැලුවොත් මගේ පෞද්ගලික කියවීම ඈ විශාදයෙන් පෙළෙනවාදෝ කියන එක. අවාසනාවකට සමහර අදහස් පළකිරීම් සාමාන්‍ය මිනිස් සංවේදීතා අබිබවා ගිහින්.

කාන්තා දිනයට සෑහෙන්න කතන්දර ලියවෙද්දි අමතක කරන්න එපා ඉතිරි දවස් 364දිම එක කාන්තාවකට වල කපන්නෙත් ගහන්න පළවෙනි ගල අතට ගන්නෙත් තවත් කාන්තාවක්ම බව. සමාජයේ කුඩාම ඒකකයෙන් පටන් ගත්තත් නැන්දම්මලා, ලේලිලා, නෑනලාගේ ඉඳන්ම මිතුරියන්ගේ ඉඳන්ම අනිකා කාන්තාවක් වීම කියන සහකම්පනය සහ අන්‍යෝන්‍ය ගෞරවය තියෙනවා ද කියන එකයි අපි කල්පනා කරන්න ඕන කාරණය. අසම්මත සම්බන්ධතාවක වින්දිතයත් කාන්තාවක්, චූදිතයත් කාන්තාවක්. කාන්තාවක් අපහසුතාවයට ලක්වන සිදුවීමක මුල ඉන්නෙත් බොහෝ විට තවත් කාන්තාවක්. කේලමක, චරිත ඝාතනයක, පවුල් විනාශයක මුල ඉන්නෙත් තවත් කාන්තාවක්. පිරිමියෙක්ට කාන්තාවක් ගැන ගතු කියන්නෙත් තවත් කාන්තාවක්මයි. 

කාන්තාවක් අවංකවම තවත් කාන්තාවකට හිතවත් නොවන තාක්, ශක්තියක් නොවන තාක්, ගෞරව නොකරන තාක් කාන්තා දින කාන්තා මාස, කාන්තා වර්ෂ බවට පත් කරලවත් ඒ අරමුණට යන්න අපහසුවෙයි. 

#womensday2021

අවුරුදු දෙකකට කලින් ලිව්වට තවම වලංගු කතන්දර!

~Aash Weerasinghe 

Monday, March 6, 2023

නන්නත්තාර නන්නත්තාරේද?

(2023 මාර්තු 6දා සිනමාවේදීන් සමූහයට) 

අවුරුදු පහළවකට පස්සේ ජයන්ත චන්ද්‍රසිරි කළ නිර්මාණයක් කොටස් 48කින් ඉවර වුණා. විවේචන ඕනෑතරම් ඇති නිසා මට දැනෙන හොඳ ටික ලියලා ඉන්නම්.

ජයන්ත ලකුණ කොහොමත් අතාත්වික පැත්තට ටිකක් බර අධිතාත්වික එකක්. මිනිස්සු හිත් ඇතුළේ විතරක් කරන නාට්‍යමය, භාවමය සංවාදවලට ඔහුගේ නිර්මාණ ඇතුළේ පණ එනවා. ඒවා එහෙම භෞතික ලෝකේ දැක්කම අපිට හිතෙනවා මොන මඟුලක්ද මේ කියලා.

නන්නත්තාරේ එක දිගට දුවන දේශපාලනමය යටි අරුතට මම කැමතියි. Drug cartle එකකයි දේශපාලනයෙයි සාම්ප්‍රදායික පදනමෙන් ගත්තොත් අහසට පොළව වගේ වෙනසක් තියෙන්න ඕන. නමුත් ප්‍රායෝගිකව ඒ සමූහ දෙකේ ව්‍යුහය සහ ක්‍රියාත්මක වීම සමානයි.

මිනිස්සු බලය ගන්න ගොඩක් දේවල් කරනවා. බලය රඳවාගෙන තියාගන්නත් ගොඩක් දේවල් කරනවා. (පොඩ්ඩක් ඉන්න හදිසි වෙන්න එපා✋) බලය තියෙන හැම මිනිහෙක්ම/ගෑණියෙක්ම වටා ප්‍රශස්ති ගයන පිරිසක් ඉන්නවා. මතකද ඕකේ ඩැඩී ඩේවිඩ්ගේ අගසව් ඩොක්ටර් ගලප්පත්ති, පළවෙනි කොටසෙදි කියනවා 'අපි හුස්ම ගන්නෙ අපේ පෙණහැල්ලෙන් නෙවෙයි, ඩැඩී බොස්ගේ පෙණහැල්ලෙන්'
ඊටපස්සේ මිනිහා අපභ්‍රංශ කවියක් කියනවා මතකද?
ඒක තමයි බලපුලුවන්කාරයෙක් වටේ එක්කහුවෙන වැඩිමනක් මිනිසුන්ගේ විදිය.

නන්නත්තාරේ ඇතුලේ තියෙන ව්‍යාංගාර්ථවලට මං කැමතියි.
බිරිඳ, දරුවො කියලා 'තනතුරු' දීලා පවුලක් හදාගෙන ඉන්න එකම අද කාලේට දුන්න කණේපාරක් වගේ දැනෙන්නේ නැද්ද? පවුලක තියෙන බැඳීම තනතුරුවලට දුන්න JD (job description) එකක් කළාම කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒක කරන්න වෙනවා, ඒ ව්‍යුහය තුළ රැඳෙන්න නං! (මෙතන ඒ ව්‍යුහයේ රැඳෙනවා මිසක් කිසිම කෙනෙකුට ගැලවීමක් නෑ, ගැලවෙනවා නම් ගැලවෙන්න පුළුවන් මරණයෙන් විතරයි. පොඩ්ඩක් සංසාර චක්‍ර සංකල්පයත් වගේ.)

අනෙක් අතට ඇයි ඩැඩී ඩේවිඩ් වගේ මිනිහෙකුට පවුලක් අවශ්‍ය වෙන්නේ? ශ්‍රී ලංකාව විතරක් ගත්තොත් හැබෑව මොකක්වුණත් පවුල කියන සම්ප්‍රදාය ඕනෑම කෙනෙකුට ශක්තිමත් පදනමක් පෙන්නනවා. පිතෘත්වය සහ මාතෘත්වය ඔය කොයි රැඩිකල් රැල්ලකටවත් ගහගෙන නොගිහින් තාම යම්තාක් දුරකට අඩුවැඩි වශයෙන් හැම සමාජ ස්ථරයකම රැකිලා තියෙනවා. හැම බලපුලුවන්කාරයෙක්ටම පවුල වැදගත්. එහෙම නොවුණු තැනක බලය රැඳුණත් පියවිය නොහැකි අඩුපාඩුවලට නිරන්තරයෙන් සමාජය ඇඟිලි දික්කරනවා.

අනිත් එක ඒ යටත් පිරිස ඇතුලේ තියෙන නොනවතින බල අරගලය. හැමෝටම ඕන cartle එකේ බොස්ගේ ඇස්වලයි හිතෙයි හොඳම එකා වෙන්න, පක්ෂපාතීම, කීකරුම එකා වෙන්න. හොඳම ගොට්ට වෙන්න!
මේක වෙනම කල්ට් එකක්. ඒ කල්ට් එක 'අදහන්නේ' බොස්ව. ඒ බොස් පිස්සෙක් වුණත්, උමතු ප්‍රේමවන්තයෙක් වුණත්, ඉක්මණ් කොටෙක් වුණත් යටත් පිරිස ඔහුට කීකරුවෙන්න ඕන.

අර වැරදි වැරදි සංගීතය සපයපු ටෙස්ට් මීයෝ ටික මතකද. ඇයි සංගීතය බෑ කියලා දැනදැනත් සංගීතය වාදනය කරන්න දෙන්නේ? තමන්ගේ යටත්වැසියාගෙන් පක්ෂපාතීත්වය ගන්න ගමන් උන්ටත් පොඩි එන්ටටේන්මන්ට් එකක්, හැකියාව පෙන්නන්න ඉඩක්, තව පොඩි දෙයක් ආපස්සට දෙනවා. හැබැයි විශේෂණ පද වෙනස්වුණාට උන්ගේ භූමිකාව වෙනස්වෙන්නේ නෑ (lab rats, musical rats)

කතා කරන්න ඕන අනෙක් කාරණේ දෙබස්!  අසාර්ථක වෙච්ච තැන් තිබ්බත් සමස්තයක් විදියට සාර්ථකයි කියලා මට හිතෙනවා. මේක බලන්න ඕන කියලා හිතුණේ ITN youtube channel එකේ දාන short එකක් හින්දා. කෑමට එන්න කියලා රම්බා එක්ක මාග්‍රට්ගෙ වෙන සංවාදය! 😂
සමහ වචන සංස්කරණය වුණාට නොකර තිබ්බා නං තමයි නියම නාට්‍යානුසාරය එන්නේ ඒකේ😂

අනිත් හොඳම දෙබස තමයි cartle එක වැටලුව වෙලාවේ ඩොක්ට ගලප්පත්ති කියන ටික "මොකද්ද මේ අසාධාරණේ? This is very inhumane. You all violate human rights. you gatecrashed our peaceful house." ඔක්කොම ජල්තරකාරයෝ, අපරාධකාරයෝ අන්තිමට එල්ලෙන පිදුරුගස් අවස්ථාවාදී ප්‍රකාශයක්නෙ ඔය!

දේශපාලන යටිඅරුත ගැන කිව්ව නිසා මේකත් ලස්සනට කියැවෙන බව නොකියම බෑ. හැමෝටම නායකයො වෙන්න බෑ. ඩොන්ලා හදන්නේ වෙන අය වුණාට, ඩොන්ලා 'වෙන්න' හැමෝටම බෑ. ඒක නායකත්ව විකසනය දිහා බලන ප්‍රේක්ෂකයාට දනවලා තියෙන්නේ ලාවට. ඩැඩී ඩේවිඩ් දිහා බලලා අන්තිම ඉක්මණ් කොටා දිහා බැලුවම අරම තිබ්බ කාට්ල් එක කොච්චර දියාරු වෙලාද කියලා පේනවා. ගමනක් යන්න තිබ්බ මනනන්ද හදවතට වහල්වෙච්ච නිසා මැරිලා යනවා. මානසික රෝගියෙක් වුණත් ඩැඩී ඩේවිඩ් අන්තිම වෙනකල් ගැලවිලා ඉන්නවා. නායකත්වය කියන එකට අර්ථ දෙන්නේ එන මිනිස්සු. සමහරුන්ට ඒක නිකන් තනතුරක්, සමහරු ඒ තනතුරු නැතිවුණත් 'චරිත' වෙනවා.
ඒ වගේම ඕනෑවට වඩා පක්ෂපාතීයි වගේ පෙන්නන සමහර අගසව්වන්ට පුළුවන් ලොකු ගේම් දෙන්න.

කතා සංකල්පය ගත්තම දියාරු වෙච්ච තැන් ඕනෑතරම් තියෙනවා. හැබැයි කතාව දුවන්න ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රඟපෑමෙන් ලැබෙන ශක්තිය ගැන නොකියම බෑ. මෙල්වින් කියන්නෙත් ඩේවිඩ් කියන්නෙත් ශ්‍රියන්තම මිසක් වෙන කවුරුවත් නෙවෙයි කියලා හිතෙන තරමට සාධාරණයක් කරලා තියෙනවා.
ඒ වගේම මේඝ සහ වින්ද්‍යා හොඳ තේරීම් දෙකක්.කතාව සංස්කරණයෙනුත් මේඝ දායක වෙලා තියෙනවා.

කොයිතරම් අඩුපාඩු තිබ්බත් නිර්මාණකරුවෙක් හැටියට යාවත්කාලීන වීම ගැන ජයන්ත චන්ද්‍රසිරිට ප්‍රශංසාවක් ලැබෙන්න ඕන. ට්‍රෙන්ඩ් එක අඳුනගන්න එකත් හැකියාවක්. දිනන්න හරි පරදින්න හරි බලාගෙන ඒකට මූණ දෙන්නත් කෙනෙකුට ශක්තියක් තියෙන්න ඕන.

නමුත් මම විවේචන එක්ක එකඟයි. විශේෂයෙන්ම කතාව දියාරුවීම ගැන. එක අතකට අපි බලාපොරොත්තුවෙන්නේ දඬුබස්නාමානේ ජයන්ත.ඒත් ජයන්තට දැන් ඉන්න වෙලා තියෙන්නේ ඉරටුබස්නාමානේ වෙන්නත් පුළුවන්. ලෝකේ වෙනස්, ප්‍රේක්ෂකයා වෙනස්, තරඟකාරීත්වය වෙනස්, මිනිස්සුන්ගේ ජීවන රටාව හැඟීම් ප්‍රකාශන ආකල්ප වෙනස්.

අන්තිමට කිව්වත් මේකේ තේමා ගීතය ගැන නොකියා ඉවර කළොත් මගේ ලිවිල්ල අසම්පූර්ණයි. ජයන්තගේ පදවලට සංගීතයෙන් නවරත්න ගමගේ වගේම ගායනයෙන් රවී රොයිස්ටර්, කෙනන් ඩී සිල්වා, ට්‍රෙවින් ජෝශප්, රුවිනි අබේසේකර, නිපුනි සිරිවර්ධන සහ සචිනි පෙරේරා දුන්න හඬ දායකත්වය නියමයි.

උපන්නාට ඔහු වැනෙයි
උපන් නිසා ඔහු මැනෙයි
හපන්කමක්යැයි සිතා
වයසින් මෝරා වැඩෙයි
උගෙ හෙවණැල්ලෙම උඩ ඌ හිටගෙන
කළු කලෙ කවුදැයි අසයි...

ඉතින්, අපි ඔක්කොම ඇත්තටම නන්නත්තාරයි තමයි!

~✍️ Aash Weerasinghe

Saturday, March 4, 2023

නොස්ටැල්ජික් ඉත්තෑකූරූ

ඉස්සර අපේ ආත්තම්මලගෙ ගෙදර අල්මාරි ලාච්චු, කබඩ් අහුමුලු කියන්නේ සම්පත් ආකර. මට හොයන්න දහසක් සුකුරුත්තං තියෙනවා, කරන්න දහසක් දේවල් තියෙනවා. බැරිම වුණොත් මාල අමුණනන්න තරම් එක එක ජාතියේ ලස්සන බොත්තම් හරි තියෙනවා.

එහෙම දවසක සුපුරුදු සම්පත් ගවේෂණය කරද්දී මිත්‍රෝරුනි මට හම්බුණා ඉත්තෑකූරූ! 
එකක් දෙකක් නෙවෙයි, තොගයක්! 
එයින් කූරක් අරං ගිහින් වැඩක හිටි ආත්තම්මගෙන් ඇහුවම ඉත්තෑකූරූ කියලා මිසක් යටගිය දවස බරණැස් නුවර කතන්දරේ එවෙලේ අහන්න ලැබුණේ නෑ.

ඉත්තෑකූරක් හරි නිකං තියෙනවා බලන්න බැරි ඉත්තෑවෙක් හිටියා ඒ දවස්වල මට😂
ඉතින් මං මේ ඉත්තෑකූරූවලින් කරන්න ව්‍යාපෘතියක් ගැන හිතමින් චොක්ලට් එකකටමත් වග කිව්වා. ආයෙත් වටයක් ගහලා බලනකොට මෙන්න ඊට එහා ලාච්චුවක තියෙනවා ලස්සන පාට ලොකු ඉටිපන්දම් වගයක්. හරි, ඒ මහ දවාලේ කැටයම් ශිල්පයේ කෙල පැමිණි අපේ මුතුන් මිත්තන් ආවේශවීම නිසා මම තීරණය කළා ඊළග ව්‍යාපෘතිය ඉත්තෑ කූරුවලින් ඉටිපන්දම් කැටයම් කිරීම කියලා. 

දැන් හොඳට බරසාර මූණකින් සාලේ මැද්දේ වාඩිවෙලා මම කැටයම් වැඩේ පටන් ගත්තා. ඒත් වැඩිවෙලාවක් යන්න කලින් එදා ටොරින්ටන් චතුරස්‍රයේ තැඹිලි කරත්තකාරයෙක් විදිහට ආපු මරාගෙන මැරෙන කොටියෙක් බෝම්බයක් පුපුරුවගෙන කියලා ඔන්න ටීවි එකේ ඒ මගුල පෙන්නන්න ගත්තා කියන්නකො. ලංකාදීපේ මුල්පිටුවේ බාබුගේ ඔලු කෑල්ල දැක්ක දවසේ ඉඳන් මගෙ මිනී ඔලු භීතිකාව වැඩිවෙලා තිබ්බේ. භීතිකාව පටන් ගත්තේ නං භීෂණ කාලේ. ඉතින් අච්චර වැදගත් ව්‍යාපෘතියක හිටිය මං දඩස් ගාලා ඇස් වහගත්තත් ඒ වෙද්දීත් තැඹිලි කරත්ත කාරයාගේ කකුල් කෑල්ලක් දැකලා ඉවරයි! අතේ තිබ්බ ඉත්තෑකූර ඉටිපන්දම අස්සෙන් ලිස්සලා ගියා, ඇඟිල්ලක ඇනුණා, ලේ පැන්නා..
නෑ නෑ.. නින්දට වැටුණේ නෑ..
ඒ සැණින් චොක්ලට් පාටට වමනෙ ගියා.!
මං දන්නෑ ඒක ඉත්තෑකූරුවල විසක්ද නැත්නම් කොටියගෙ මස්කෑලි දැක්ක අපුලද කියලා.. ඉතින් එතැනින් ව්‍යාපෘතිය ඉවර වුණා..

ඉත්තෑවා කියන්නෙ අහිංසක සතෙක් වෙන්නැති. හැබැයි උන් කොළඹත් ඉන්නවා! කටු ගොඩ විහිදං  මහ පාන්දරවල අවතාර වගේ ඇවිද ඇවිද වලවල් හාරනවා, පොල් තැඹිලි එහෙම බිමක තිබ්බොත් ඒවත් හිල් කරනවා.

ඉත්තෑ කතන්දරේ මතක් වුණේ මේ දවස්වල මාකයියට මොකෙද්දෝ ඉත්තෑවෙක් වැහිලා දිගට හරහට ඉත්තෑ වීඩියෝ, පොස්ට් ෆේස්බුක් ෆීඩ් එකට එන නිසා.
කාටහරි පුළුවන් නං එයාව ඒ ඉත්තෑවගෙන් ගලවගන්න, ප්ලීස්🙏🤪

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka