Tuesday, July 26, 2022

මාධ්‍යයේ චමුදිතකරණය

උච්ච ස්වරයෙන්/උස් හඬින් සහ නොනවත්වා කියවීමෙන් මාධ්‍යවේදියෙකුගේ "විශිෂ්ඨත්වය" සනාථ වෙන්නේ නැහැ. මම හිතන්නේ චමුදිතට වැරදුණු තැන ඒක. 'සැබෑ' මාධ්‍යවේදියෙකුගේ වගකීම තමන්ගේ මතය ආරාධිතයාගේ "කටින් කියවාගන්නට තැත්කිරීම" නොවෙයි. අවාසනාවකට චමුදිතගෙන් 'සැබෑ' හෝ 'පරිණත' මාධ්‍යවේදියෙකුගෙන් ප්‍රේක්ෂකයා දකින්නට බලාපොරොත්තු වන ආචාරශීලීත්වය, ඇහුම්කන්දිම, සන්සුන්කම වගේ ගුණාංග දකින්න ලැබෙන්නේ නෑ. එක් ආරාධිතයෙකු පමණක් සහභාගි වන 'සලකුණ' වගේ වැඩසටහනක් පවා 'බලු පොරයක්' වාගේ ප්‍රේක්ෂකයාට දැනීමටත් අප්‍රසන්නවීමටත් ප්‍රධානතම හේතුව චමුදිතගේ හැසිරීම! අඩුම තරමින් අගසව් නිවේදකයන් දෙදෙනාටවත් කතා කිරීමට ඉඩක් චමුදිතගෙන් ලැබෙන්නේ නැහැ. අගසව් නිවේදකයන්ගෙන් බොහොම පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන් මූලිකම මාධ්‍යවේදී පාඩමවත් ඉගෙන ගන්නට තරම් අනතිමානයක් පුද්ගලයෙක් වශයෙන් චමුදිත තුළ පැහැදිලිවම නැහැ.

සාමාන්‍යයෙන් චමුදිතගේ වයස, අත්දැකීම් සහ සමකාලීන මාධ්‍ය සගයන් හා සසඳද්දි චමුදිතට ඇත්තේ ඉතාමත් පහත් ආකාරයේ ආකල්ප සහ ප්‍රශ්න 'කිරීමේ' (ඇසීමේ නොවන) ක්‍රමවේදයක්. ඔහුගේ ප්‍රධානතම අරමුණ වැඩසටහන තුළ තමා බැබළීම සහ ආරාධිතයා ප්‍රකෝප කිරීම තුළින් තමන්ට අවශ්‍ය පිළිතුර ඔහු ලවා කියවා ගැනීම. මේ හැසිරීම, ඇතැම්විට, ඔහුට විශිෂ්ඨත්වයක් ලෙස දැනෙන්නට පුළුවන් නමුත් ප්‍රේක්ෂකයාට ඔහුගේ ඇති අධි තක්සේරුව සහ පුහුමානය නිරුවත් කර පෙන්වීමක්. අපි සාමාන්‍ය ව්‍යවහරයේදීත් කියන හැටියට ඔහු, තමන්ගේ සැබෑ ස්වරූපය නොදැනීම ලෝකයාට පෙන්වා සිටිනවා. ඊට ආකල්පය පමණක් නොවෙයි හැදියාවත් අදාළයි. ඔවැනි ආවේගශීලීත්වයක් අපට වයස 18-20 කාලයක කෙනෙකුගෙන් බලාපොරොත්තු විය හැකියි. නමුත්, වයසින් සහ අත්දැකීමෙන් මුහුකුරා ගිය පරිණත මනුෂ්‍යයෙකුගෙන් එවැනි හැසිරීමක් පළවීම මනෝ වෛද්‍ය විද්‍යාවේ නම් වෙනස්ම ආකාරයකට කියවෙනවා ඇති. අපි එතරම් දුර නොයා ඉමු, ඔහුට වඩා සදාචාරාත්මක බවක් අපට ඇති නිසා.

අනෙක් අතට, ඔහු තමාට හුරු 'මඩ මාධ්‍යකරණයේ' දිගින් දිගටම යෙදෙනවා. ඔහුට අවශ්‍ය ආරාධිතයා ලවා පුද්ගල අවලාද/මඩ ප්‍රකාශ ලබාගැනීම! ඒක එක්තරා විදියක රෝගයක්!

ඔහුගේ ප්‍රශ්න හොඳ මට්ටමක තිබෙනවා. නමුත්, ඔහු අසන ප්‍රශ්නයකට ආරාධිතයා දෙන පිළිතුර සම්පූර්ණ කරනතුරුවත් ඉන්නට තරම් චමුදිතට ඉවසීමක්, ආචාරශීලීත්වයක් හෝ සදාචාරයක් නැහැ. අද ආචාර්ය නන්දලාල් වීරසිංහ සහභාගි වූ වැඩසටහන නැරඹූ කෙනෙකු ඇත්නම්, එකම ප්‍රශ්නය ඔහුට අවශ්‍ය පිළිතුර ලැබෙනතෙක් ප්‍රකෝපකාරී අයුරින් නැවත නැවත අසන බව පැහැදිලි වෙන්නට ඇති. ඇතැම් ප්‍රශ්න නැවත නැවත අසන්නේ ඔහුට ආරාධිතයා දුන් පිළිතුර අවබෝධ කරගන්නට තරම්වත් ඉස්පාසුවක් නොතිබූ නිසා. යම් ප්‍රශ්නයක් ඇසූ පළමු මොහොතේ දී ආරාධිතයාට පිළිතුර සම්පූර්ණ කරන්නට ඉඩ දුන්නා නම් නැවත නැවත ඇසීමක් සිදුකරන්නට අවශ්‍ය වන්නේ නැහැ. අනෙක් අතට ඉතාමත් වැදගත් ප්‍රශ්නවලට ආචාර්ය නන්දලාල් වීරසිංහ ලබාදෙන්නට උත්සාහ කළ පිළිතුරු ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි ආකාරයෙන් සරලව සහ පැහැදිලිව කරන්න එතුමා උත්සහ කළ බව පැහැදිලියි. චමුදිතගේ අනවශ්‍ය බාධා කිරීම් නොවුණා නම් ඒ සංවාදය මීට වඩා ඉතාම පැහැදිලිව, සරලව සෑම ශ්‍රී ලාංකිකයෙකුටම පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට ගලා යන්න ඉඩ තිබුණා. ඒ අනුව, චමුදිතගේ මහන්තත්වය විසින් උදුරාගැනෙන්නේ ආරාධිතයාගේ සහ ප්‍රේක්ෂකයාගේ වටිනා කාලය පමණක් නොවෙයි, තොරතුරු පැහැදිලිව දැනගැනීමට ප්‍රේක්ෂකයාට ඇති අයිතියත් ඔහුගේ මහන්තත්වය සහ 'මාධ්‍යකරණය' විසින් නිර්දයව උදුරා ගැනෙනවා.

පසුගිය වතාවක ඩඩ්ලි සිරිසේන සමග කළ වැඩසටහන නරඹන්න. ඔහුගේ උදෑසන පුවත්පත් සිරස්තල කියවීමේ වැඩසටහන නරඹන්න. මේ කියන්නට උත්සහ කරන කාරණා පැහැදිලි වේවි. ඔහුගේ සමකාලීන අනෙකුත් මාධ්‍ය සගයන්ගේ වැඩසටහන් සමග සැසඳීමක් කරන්න. චමුදිතගේ මාධ්‍ය භාවිතාව ඇත්තේ ඔහුගේ ආකල්ප සහ හැසිරීම තිබෙන තැනම බව අපක්ෂපාතීව බලන ඕනෑම කෙනෙකුට අවබෝධ වේවි.

කෙසේ නමුත්, අද වැඩසටහනේදී පරිණත වෘත්තීයවේදියෙකුගේ සහ එසේ නොවන්නකුගේ වෙනස පැහැදිලිව බලා ගත හැකියි. ඒ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහයන්ට ස්තූතිවන්ත විය යුතුයි.

~✒️ Aash Weerasinghe

වැඩසටහනට: හිරු සලකුණ 2022/07/25

Monday, July 25, 2022

Omerta (2017) - වියරු ත්‍රස්තයෙකුගේ සන්සුන්බව

2022 ජූලි 25දා සිනමාවේදීන් සහ භාරත සිනමා රසික සංසදය සමූහයන්ට

Omerta - IMDb 7.1/10

"Who are you?" 
"I am the saviour" 

"A gripping study of evil" - The Hollywood Reports

කාර්යබහුලත්වය නිසා සති එකහමාරකින් විතර චිත්‍රපටයක් නොබැලූ බව මෙනෙහි කරමින් ඉන්නකොට කාලෙකට කලින් බැලුව චිත්‍රපටයක් මතකෙට ආවා.

2017දී තිරගත වුණ Omerta නිර්මාණය වී ඇත්තේ Ahmed Omar Saed Sheikh නම් බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත පකිස්ථානු ත්‍රස්තවාදියාගේ ජීවිත කතාව ඇසුරෙන්. මෙහි ඔමර්ගෙ චරිතය නිරූපණය කරන්නේ රාජ්කුමාර් රාඕ. කතාවට පසුබිම් වන ප්‍රධානම සිදුවීම තමයි 2002 වසරේදී Daniel Pearl නම්  ඇමරිකානු Wall Street Journal මාධ්‍යවේදියා පකිස්ථානයේදී පැහැරගෙන ඝාතනය කිරීම. ඒ හැර 1994දී දිල්ලියේ සිදුවූ විදේශිකයන් පැහැරගැනීම්, 911 ප්‍රහාරය, 2008 මුම්බායි ප්‍රහාරය ආදී අවස්ථා ගණනාවක ඔමර්ගේ භූමිකාව සහ සහභාගීත්වය කතාවේ නිරූපිතයි. 

බ්‍රිතාන්‍යයේ උපත ලබා හැදී වැඩුණු ඔමර් අන්තවාදීන්ට එකතු වීම සහ එතැන් පටන් ඔහුගේ ක්‍රියා කලාපය, අන්තවාදය වෙනුවෙන් කළ කැපකිරීම් චිත්‍රපටයේ නිරූපණය වෙනවා. චිත්‍රපටය ගැන කතා කරද්දී රාජ්කුමාර් රාඕගේ රඟපෑම ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕන. අමුතු චරිත, අමුතු නිර්මාණ තේරීම් කරන, ඔහුටම ආවේණික රටාවකට වාණිජ කලා සමබරතාවයක් පවත්වාගෙන යන රාජ්කුමාර් කළ මතක හිටින රංගනයන්ගෙන් එකක් Omerta. ඒ වෙනුවෙන් ඔහුට බොහෝ අගය කිරීම් ලැබිලා තියෙනවා,විචාරකයන්ගෙන්. බ්‍රිතාන්‍ය ඌරුවට ඉංග්‍රීසි කතා කරන, අතිශය තැන්පත් සහ වැදගත් පෙනුමැති, සන්සුන් නමුත් වියරු/මිනීමරු/ psycho බැල්මක් ඇති, චෙස් ක්‍රීඩා කරන, ජිහාඩ් පැතිරවීමේ විශාල කාර්යභාරයක් ඉටු කළ ත්‍රස්තවාදියාගේ චරිතය රාජ් කොයිතරම් තාත්විකව ඉදිරිපත් කර ඇතිද කියනවා නම් හැබෑ ඔමර් ගැන සොයා බලද්දිත් ඒ විස්තරවලට ගැලපෙන බව දැනෙන්නේ තිරයේ මැවුණ ඔමර් මිසක් හැබෑ පුද්ගලයා නෙවෙයි.

කතාව ගලායද්දි ඇතැම් සිදුවීම් තව පැහැදිලි වෙන්න තිබුණා කියා හිතුණත් ඔමර්ගේ රංගනය මුලු චිත්‍රපටයේම අඩුලුහුඬුකම් වහගෙන පැතිරෙන නිසා ඒක අමතක කරන්න පුළුවන්. විශේෂයෙන්ම අතිශය වියරු අවස්ථාවලත් ඒ වියරුව යටපත් කරන ඔමර්ගේ සන්සුන් කතාව අතිශය තාත්විකයි. රාජ් ඒ චරිතයට කොයිතරම් නම් ආවේශ වුණාද කියනවා නම් රූගත කිරීම් අතරතුර 2015දී සිදුවූ පැරිස් ප්‍රහාරය ගැන පවා මහා දුෂ්ට සතුටක් දැනුණ බව ඔහු සඳහන් කර තිබුණා. අනිවාර්යයෙන්ම කළ දුෂ්කරම චරිතය බවත් ඔහුගේ සම්මුඛ සාකච්ඡාවක සඳහන්. 

Mukul Dev සහ Hansal Meheta සුසංයෝගයෙන් බිහි වුණ Omerta පැය 1යි විනාඩි 45ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක්. 

Omerta කියන නම හැදී ඇත්තේ Omar පසුබිම් කරගෙන බව හිතුණත් ඇත්තටම Omerta යනු විශ්ෂයෙන්ම ඉතාලිය මුල් කරගත් මාෆියාවේ දී පාවා නොදී නිහඬවීම/මරණය තෙක් පක්ෂපාතීත්වය යන්න කියවෙන වචනයක් (Code of silence). පොත් කියවන කෙනෙක් නම් Mario Puzoගේ The Godfather series එකේ එන පොත් ත්‍රිත්වයෙන් අවසන් එකත් Omerta යන නමින් තියෙන්නේ. නමුත් පොත සහ මේ චිත්‍රපටය කිසිසේත් සම්බන්ධ නැහැ. 

අවසාන වශයෙන් හැබෑ ඔමර් ගැන කියනවානම් දැනට 49 හැවිරිදි වියේ පසුවන ඔහු තවම ජීවත්වෙනවා. Daniel Pearl ඝාතනයට චූදිතයා වූ නිසා වසර 19කට ආසන්න කාලයක් තිස්සේ තවම සිරබත් කමින් පකිස්ථානයේ ලාහෝර් නුවර සිටින බව තමයි කියැවෙන්නේ. පහළ තියෙන පිංතූර අතර හැබෑ ඔමර්ගේ තරුණ කාලයේ සහ පසු කාලයක පිංතූර ඇතුළත්. 

Mehta stated that his intention behind making Omerta was to explore evil as a "human characteristic". He further said that he wanted to leave the audience with a sense of "awe, disgust, hate, surprise" and to examine the "ramifications of these [terror] events on their lives today." - Wikipedia 

මෙහ්තාගේ ඒ අරමුණ අතිසාර්ථකයි! 

පුලුවන් නම් හොයාගෙන චිත්‍රපටය බලන්න. ඔමර්ගේ වියරුව ඔබටත් දැනෙයි, හැඟෙයි, ඒකෙන් මිදෙන්න ටික දවසක් යයි. ඒ අවධානම අරගෙන බලන්න😊

~✒️ Aash Weerasinghe

Wednesday, July 20, 2022

පොලිටිකල් ගේම් ද? කලටිපොල් ගේම්ද?

එදා වගේම අදත් මම කියන්නේ අරගලය කියන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක්. 

අරගලේ සැලසුම් කරද්දී, පටන් ගනිද්දී මොන විසඳුමත් අවසානයට කැරකිලා එන්නේ ව්‍යවස්ථාවට කියන එක දැනගෙන හිටියේ නැද්ද කියලා අරගලේ කැඳවුම්කාරයන්ගෙන්/දෘශ්‍ය සහ අදෘශ්‍යමාන නායකයන්ගෙන් අහන්න. 
ඒ වෙලාවේ හැමෝම වැඩ කළේ හැඟීම්වලට වහල්වෙලා. ඒ වගේ ඇසිය යුතු ප්‍රශ්නවලදී විචාර බුද්ධිය එතැනින්ම වහලා දැම්මා නේද "ඉස්සෙල්ලා ගෝඨාභය යවන්න ඕන, ඊටපස්සේ වෙන දේ එතකොට බලාගමු, ආ අන්න තැරි දාර බයි ප්‍රශ්නයක් අහනවා කට්ටිය, අන්න බයියෝ" වගේ උත්තරවලින්. ඒ උත්තර පටන්ගන්න ඇත්තේ කොතනින් කියලද ඔහෙලට හිතෙන්නෙ? 

දේශපාලන ඔස්තාද්ලා, සුපතල නීතීවේදියෝ එකතුව දේශපාලනිකව 'අධි-සවිඥානික' ජනතා නායකයන්ගේ මූලිකත්වයෙන් සිදුකෙරුණ අරගලයක අවසාන විසඳුම ව්‍යවස්ථාවට පිටින් ගේන්න බැරිබව දැන නොහිටින්න පුළුවන්ද? 
ලොකුම එකේ සද්දෙන් ඒ ජනාධිපති එලවගත්තට, සද්දෙටයි තගටයි එළියේ ඉඳන් ව්‍යවස්ථාව සහ නීතිය වෙනස් කරන්න බැරිබව දැනගෙන හිටියේම නැතුව ඇතිද? 
කවි ගී ගයපු 'ජනතා පරමාධිපත්‍යය' ඇත්තටම රකින්න තිබ්බා නම් මැතිවරණය තමයි අවිය බව ඒ උදවිය දැනගෙන හිටියේම නැතුව ඇතිද?
ජනතාවට නොලැබෙන මැතිවරණයක් ඊළගට යන්නේ කොතනටද කියලා දැනගෙන නොඉන්නම ඇතිද?

එහෙනම් කව්රු හරි ලස්සනට හැමෝවම ඇන්ඳුවා කියලා ඔහෙලට හිතෙන්නේ නැද්ද? ඇන්ඳීම කෙසේ වෙතත් හැඟීමෙන් විචාර බුද්ධිය වහගෙන රැල්ලෙ ගහගෙන ගිහින් තමන්ම ලස්සනට ඇඳගත්තා කියලා ඔහෙලට හිතෙන්නේ නැද්ද?

ඔහෙලට ගල් පතුරු දෙකක් දීලා ගින්න අවුලගෙන ඒකෙන් සීතල මකාගන්න හදපු පිරිසක්, ඒ ගින්න මදිවුණාම කරකියා ගන්න දෙයක් නැතිව තමන්ම එළියට බැහැලා ගල් පතුරු අතුල්ලන්න ගත්තා ඔහෙලා දැක්කද? 
හැංගිලා බැන්ඳ වෙස්මූණු නටන්නත් කලින්ම ගැලවුණා දැක්කෙ නැද්ද? 
දැන් ඒ වෙස්මූණු ආයෙම බැඳගන්න ඔහෙලවම බිල්ලට දෙන්න හදනවා තවම ඔහෙලට පෙනුණෙ නැද්ද? 
ඔහෙලා පිටින් දාලා, තමන් වෙනුවෙන් කරන දේවල්වල සුජාතභාවය ඔප්පු කරන්න දත කනවා ඔහෙලා තාම දැක්කෙ නැද්ද? 

දේශපාලනේ තෙම්පරාදු වෙච්ච මිනිස්සු හෙවත් මහල්ලෝ එක්ක ගේම් එච්චර සරල නැහැ පුතා. තමන්ගේ ප්‍රසිද්ධිය පාවිච්චි කරලා හරි අද ඊයේ දේශපාලනය හදාරන්න අරං පොතක් දෙකක් කියවලා ජාත්‍යන්තර දේශපාලනය ගැන අබ ඇටයක් දැනගෙන හරි කාගෙහරි සට්ටෑඹිකමක ප්‍රතිඵලයක් හැටියට හරි විකල්ප කඳවුරුවල ලකා ගැහීම නිසා හරි ඇඟේ/කටේ හයියෙන් හරි 'අපි තමයි මචං කෙරුමො' කියලා අධිමානයෙන්, අධිතක්සේරුවෙන් අරගොල්ලෝ එක්ක හැප්පෙන්න බෑ. ඒ මොළ තරුණ නෑ හැබැයි මෝරලා!  ඔහෙලත් එතනට යයි දවසක.. හැබැයි ඊනියා හීනවලින් බිමට බැහැලා සිහියෙන් සහ විවෘත මනසින් ලෝකය දකින්න පුළුවන් වුණොත්. 

අන්තිමට සමහරු හොරෙන් හොරෙන් පටන්ගත්ත ගේම්වල බොක්ක ඇදලා කව්රු කව්ද කියලා නිර්වස්ත්‍රම කරලා දැම්මනේ! 
ඔව්වා මතක තියාගන්න ආයෙත් රැලි දැක්කම අමුඩ ගහන්න කලින් මතක් කරගන්න. 

ජෙහාන්ගෙ ගේම් විතරක් දැකලා ඒ මත ඔක්කොම තීරණය කරගන්නත් එපා ඉතින්😉

පොලිටිකල් ගේම් කියලා හිතං කලටිපොල් ගේම් ගහන්නත් එපා😂

~✍️ Aash Weerasinghe

#AW #lka #අරගලේපසුකතා #නිර්පාක්ෂිකඅරගල #සිරිලංකන්පොලිටික්ස් #PresidentialElections2022

අරගලේ ජනපති

"නිර්පාක්‍ෂිකයෝ" අද දවස හොඳට මතක තියාගන්න.

කව්රු කෑගැහුවත් දැඟලුවත් තර්ජනය කළත් 'අරගල' කළත් සාකච්ඡා කළත් කොන්දේසි දැම්මත් පොරොන්දු ගත්තත් කයිය ගැහුවත් "ජනතා පරමාධිපත්‍යය" 225කට ලඝු කරවගත්තෙ ඔහේලමයි. දැන් ඉතින් පණ්ඩිත කතා කියලා හිත හදාගන්න.

ලක්ෂ 69ක ජනතා පරමාධිපත්‍යයට හිනා වෙලා බැනලා නටලා අන්තිමට 'එපා කිව්ව' 225න් ජනාධිපතිවරයා තෝරගන්න වුණ එකම නිකං කණ හරහා ගැහුවා වගේ දැනුණේ නැත්නං තාම😂😂😂

#නිර්පාක්ෂිකඅරගල #සිරිලංකන්පොලිටික්ස් #AW #8thExecutivePrezinSL #RW #PresidentialElections2022

Sunday, July 17, 2022

Joker (2019) - ආතර්ලා ජෝකර්ලා නොකරමුද

2022 ජූලි 17දා සිනමාවේදීන් සමූහයට 

Joker (2019) - 8.4/10 IMDb

තිරගත වීමෙන් අවුරුදු තුනකට පස්සෙ ඇයි මම ජෝකර් බලන්නේ? අහේතුකයි. ඒ දවස්වල හැම සංවාදයකම තිබ්බට, බාගත කරගෙන හිටියට මට හිතෙන වෙලාව ආවේ පහුවෙලා.😊

"I just hope my death makes more cents (sense) than my life" 

ජෝකර් මාව සෑහෙන කම්පනයට පත් කරපු චිත්‍රපටවලින් එකක්. Joaquin Phoenix ආතර්ව ඇත්තටම ජීවත් කරවනවා. හැම ඉරියව්වකම, බැල්මකම, ශරීරයෙන් පවා ආතර්ව යථාර්ථයක් කිරීමේ පුදුමාකාර කැපකිරීමක් ඒක. අනිවාර්යයෙන්ම ලේසි වැඩක් නෙවෙයි. ඒ වගේ චරිතයක් තුළ ජීවත්වෙලා ආපහු පියවියට එන එක ගැන හිතාගන්නත් අමාරුයි. 

ආතර්ගේ නොනවතින හිනාව හරිම කම්පනාත්මකයි. හිනා හඬ ආවට ඒ මුහුණේ ඉරියව් දැක්කම පපුව පැලෙන්න වගේ එනවා. ඒත් එක්කම මක්සිම් ගෝර්කිගෙ ප්‍රසිද්ධ කතාවක් මතක් වෙනවා 'වැඩියෙන් හිනාවෙන්නෙ වැඩියෙන් අඬන මිනිස්සු'. කෑගහලා අඬන්න බැරිකමට මිනිස්සු කෑගහලා හිනාවෙනකොට ඒ මිනිස්සුන්ගේ හිතේ කොහොම තත්ත්වයක් තියෙන්න පුළුවන් ද? එහෙම මනුස්සයෙක්ට හැපී කියලා සුරතල් නාමයක් තිබීමම දෛවයේ කොයිතරම් නම් ලොකු සරදමක්ද? 

ආතර්ගේ standup comedian කෙනකුවීමේ ආශාවට ඔහුගේම අම්මාගේ ප්‍රතිචාරය මතකද. 
"But, Happy what makes you think you could do that?" 
"What do you mean?" 
"I mean, don't you have to be funny to be a comedian?" 
තමන්ගේ සමීපතමයන්ට තරම් කෙනෙකුව රිද්දන්න කාටවත් බෑ. විශේෂයෙන්ම, කෙනෙකුගේ අරමුණක් ගැන, හැකියාවක් ගැන ඔහුට සමීපතම අය සැකසංකාවෙන් කතා කිරීම හෝ බාල්දු කර කතා කිරීම ඒ මනුස්සයාගේ පෞර්ෂයයට දෙන දැඩි අතුල් පහරක්. ඒ තරම් අසරණ කිරීමක්, වේදනාවක් දරාගන්න එක ලේසි නැහැ. 

සමහරවෙලාවට, තවත් කෙනෙකුට තේරුම් ගන්නට බැරි දෙයක් පැහැදිලි නොකර නිශ්ශබ්දවීම පහසුයි. සාමාන්‍ය මනුස්සයෙක්ට වගේම ඒක ආතර්ලාටත් එහෙමයි. 

ආතතිය/විශාදය ලෝකෙටම පොදු මාතෘකාවක් වෙලා ඉවරයි. නමුත් එක සමාජයක්වත් තාම හණමිටි අදහස්වලින් බැහැර වෙලා නෑ. එවැන්නෙකුට සුවපත්වෙන්න උදව් කිරීම වෙනුවට තවතවත් අසරණ කිරීම තමයි හැම සමාජයකම පාහේ වෙන්නේ. ආතර්ට අවශ්‍ය වුණේ පිළිගැනීමක්, ආදරයක්, සමාජයේ තමනුත් ගෞරවනීය මනුස්සයෙක් කියලා හැඳින්වීමක්/ඉඩක්. ඔව්, ආතර්ගේ අතීතයෙන් ලොකු බලපෑමක් ඔහුගේ පෞර්ෂයයට වෙලා තියෙනවා. සම්පූර්ණයෙන්ම පිළිසකර කරන්න බැරිවුණත් යම්දුරකට කරන්න ඉඩක් තියෙන්නත් ඇති. ඒත් ලෝකේ එච්චරටම කාරුණික වෙන්නේ නෑ.

මතකද මුලින්ම ආතර් බස් එකකදි පොඩි ළමයෙක්ව හිනස්සවන දර්ශනය. ඒකෙදි දරුවගෙ අම්මා කියන්නේ මගේ දරුවට ඉන්න දෙන්න කියලා. එක අතකට ඒකත් වැරදි නෑ. සමාජයෙ වෙන දේවල්වල හැටියට එහෙම වුණත් ඒ එක්කම අවශ්‍ය තැනදි නැති ආරක්ෂාවක් අනවශ්‍ය තැනකදි අනවශ්‍ය තරම් යෙදෙනවා නේද කියන එකත් නොකියා කියනවා. මොකද ඒ මොහොතේ ඉන්න ආතර් අහිංසකයෙක්. නමුත් සමාජය නිරායාසයෙන්ම ඔහුව කියවගන්නේ පිස්සෙක් හෝ විකෘතියක් හැටියට. මොහොතකට හිතන්න මෙහෙම ලියැවුණු කාඩ්පතක් ඔබට හෝ මට බස් රථයකදි කෙනෙක් දුන්නා නම්? මම නම් අනිවාර්යයෙන්ම කාඩ්පත අතට ගැනීම පවා ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව ලංකාවේ නම් ඔවැනි කාඩ්පත්/ පත්‍රිකා බෙදමින් යන්නේ හිඟමන ව්‍යාපාරයක් කරගත්තවුන් වීම සහ ඒවයේ තිබෙන අපිරිසිදුබව නිසා. 

"Forgive my laughter: I have a condition. 
It's a medical condition causing sudden, frequent and uncontrollable laughter that doesn't match how you feel. It can happen in people with a brain injury or certain neurological conditions" 
 ආතර්ගේ මේ වචන ටික කියවද්දි ලොකු කණගාටුවක් දැනෙනවා. බසයේ සිටින කාන්තාව ඒ ගැන තැකීමක් නෑ. ඒකත් අර ඇතැම් මිනිසුන්ගේ ව්‍යාපාර නිසා සිද්ධවෙන, සත්‍යය තවදුරටත් සත්‍යයක්මද යන්න නොදන්නා විචිකිච්ඡාව වෙන්න පුළුවන්.

ආතර්ගේ උපදේශන සායනය වසා දමන්න යන බව කියද්දි ඒ කාන්තාව කියන්නේ "they don't give a shit about people like you" කියලා. තත්පර ගාණක නිහැඬියාවකින් පස්සෙ ඈ කියනවා "they don't give a shit about people like us either" කියලා. ඒක විවිධාකාර විදිහට කියවගන්න පුළුවන් කතාවක්. මේ සමාජයේ මානසික රෝගීන්ට පිහිටක් නැහැ කියන එක සහ සමාජය රෝගී නිරෝගී හැමෝටම බෙදන්නේ එකම හැන්දෙන් කියන එක. සමාජය දුවන්නේ උපකල්පන මත. මතක ඇතිනම් ආතර්ගේ දිනපොතේ ඔහු ලියන විහිලුවක් "The worst part of having a mental illness is, people expect you to behave as if you DON'T" ඒක හරිම තිත්ත ඇත්තක්. ආතර් වගේ මිනිස්සුන්ට ඒක විහිළුවක්, සාමාන්‍ය මිනිසුන්ට ඒක නිකංම නිකං කතාවක්.

රෝගී නිරෝගී හැමදෙනාටම ආදරය බෙහෙතක්. ආදරේ කරන්න විඳින්න ආතර්ලටත් හීන තියෙනවා. ඒත් සාමාන්‍ය මිනිස්සු ආතර්ලට බයයි. ඒ බයත් සාධාරණයි. ආතර් තමන්ගේ ප්‍රේමය මවාගෙන ජීවත්වෙන එක දකින්න දුකයි. එක තැනකට එනතුරුම අපිට හිතන්න ඉඩ ඇරලා තියෙන්නේ ආතර් එයාගෙම විදිහට හිතන පතන කෙනෙක් එක්ක ආදරෙන් බැඳිලා කියලා. ඒකනෙ හැමෝටම ආදරේදි පොදු බලාපොරොත්තුව. තමන් වගේම තමන්ට ආදරේ කරන, තමන්ට සහ තමන්ගේ ආකල්පයට බයෙන් පැනලා යන හෝ තමන්ව අසාධාරණව ප්‍රතික්ෂේප නොකරන, ජීවිතේ මහන්සි දැනෙන දුක දැනෙන කළකිරෙන තැනකදි ලොකු දෙයක් කරන්න බැරිවුණත් තමන් ළග ඉන්න, වචනයකින් හරි තමන්ට ශක්තියක් වෙන කෙනෙක් බලාපොරොත්තු වෙන එක අපරාධයක් නෙවෙයිනේ. හැබැයි ඒක මායාවක් කියලා ආතර්ට තේරෙන්නේ පස්සේ,සාමාන්‍ය මිනිස්සුන්ට වෙලාවකට වෙනවා වගේම ඒක පොදු අත්දැකීමක්. නමුත්, ආතර්ලට ඒක දැනෙනවා ඇත්තේ තවත් පියවරකින් එයාලව 'let down කළා' වගේ වෙන්නැති. 

සංවේදී මිනිස්සු තමන් උපරිම ආදරය කරන අයව දේවත්වයෙන් සලකනවා. ආතර් තමන්ගේ අම්මව මේ ලෝකේ තමන්ට තියෙන එකම වස්තුව හැටියට සලකලා ආදරය කරනවා, විශ්වාස කරනවා, රැකබලා ගන්නවා. ඒ වගේ දේවත්වයෙන් අදහන අයගෙන් රැවටීමකට ලක්වෙන එක සාමාන්‍ය මනුස්සයෙක්ටවත් දරාගන්න බැරිකොට ආතර්ලා කොහොම දරාගන්නද? එතනදී ආතර්ගෙ ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම අසාධාරණ සහ භයංකාර එකක්. ඒකට දාර්ශනික උත්තර දීලා වැඩක් වේවිද කියලා මම දන්නේ නැහැ. 

තමන්ට පිස්තෝලයක් ළග තියාගන්න බැහැ කියද්දිත් පිස්තෝලයක් ලබාදුන්න මිත්‍රයා මතකද. සමහරවිට සද්භාවයෙන් කරන දේවල්වුණත් බූමරංගවෙලා තමන්ටම වන්දි ගෙවන්න වෙන්නත් පුළුවන්. Randallව මරා දැම්මත් ආතර් තමන් ගැන පොලීසියට දැනුම් දෙන්න පුළුවන් කියලා දැනදැනත් අර මිටි මනුස්සයට (Gary) යන්න ඉඩ දෙනවා. ඒ යද්දී කියන කතාව මෙතෙක් මට කාරුණික වුණේ ඔයා විතරයි කියන එක. 

"Is it just me, or is it getting crazier out there?" 
"It is certainly tense" 
"Hmm" 
"People are upset. They're struggling. Looking for work. These are tough times."
(Arthur smiles) 

ආතර්ට දේශපාලන කියැවීමක් නෑ. දේශපාලනය ගැන උනන්දුවකුත් නෑ. ඒත්,ආතර් නොදැනීම දේශපාලනයේ අතකොළුවක් බවට පත්වෙනවා. ආතර්ගේ පීඩනය වෙනස් එකක්. ආතර් ඉන්න සමාජයේ පීඩනය ඊටත් වෙනස් එකක්. නමුත්, ඒ පීඩනයන් දෙකම පුපුරායන්නේ එකම විදියට. ආතර් සමාජයේ පීඩනයට හේතුව ගණනකට ගන්නෙ නැහැ, ඔහුට තමන්ගේ පීඩනය ඊටවඩා බරයි. සමාජය ආතර්ගෙ පීඩනයක් ගැන දන්නෙවත් නැහැ. නමුත්, ආතර් පීඩනය පිටකළාම ඒක මානසික රෝගියෙක්ගේ පීඩනය පිටකිරීමක් හැටියට සමාජය තෝරමින් බේරමින් ඉන්නෙත් නැහැ. සමාජය ඒක පිළිගන්නේ වීරත්වයක් හැටියට. ඔවුනුත් ඒ මගම යමින් ආතර්ව අනුකරණය/ අනුගමනය කරනවා. ඒක නිකංම රැල්ලක්, කැරැල්ලක් බවට පත්වෙනවා. ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් මේ දිහා බලං ඉන්නකොට ඒක කොයිතරම් නම් භයානකද කියලා අපිට දැනෙනවා. 

අපිට ඕන නැහැ ආතර්ලා තව බිහිකරන්න. අපිට ඕන නැහැ අපි අතර ඉන්න ආතර්ලා ජෝකර්ලා ලෙස බෞතීස්ම කරලා කවදාවත් ආපසු හැරවිය නොහැකි තරමේ විනාශයන්ට පාර කපන්න. මනස රෝගීවීම කය රෝගීවීමට වඩා දහස් ගුණයක් භයංකාරයි. පැනඩෝල් පෙත්තකින් මනස සුවපත් කරන්න බැහැ. ඒකට ආදරය, කරුණාව, කාලය වගේම සමාජයේ සහකම්පනය සහ සහයෝගයත් තියෙන්න ඕන. අපි හැමෝම ඒ ටික තේරුම් ගත්ත දවසක ආතර්ලා තිඹිරිගෙයිම මරාදාන්න අපිට පුළුවන් වෙයි. 💐😇❤️

~✒️ Aash Weerasinghe

Thursday, July 14, 2022

පුල්ලි පුල්ලි අල්ලි රටා

Go home, go home කියල ඒ යකාට මෙහෙ ගෙදරක ඉන්ඩත් නෑ, තියෙනවයි කියන රට ගෙදරට යන්ඩත් නෑ. මොකද්ද අයිසේ මේකෙ තේරුම? මැරෙන්ඩ කියලද කියන්නේ?🙄

ඔහෙලැයි ප්‍රජාචංච්‍රවාදේ කොච්චරද කියනවා නං රටේ හිටපු ජනාධිපතිට 'මරණ බයට' රටෙන් යන්ඩ වුණා කියලා දැන් කියන්න පුළුවන් කිසිම ගේමක් නැතුව. ඊටපස්සේ ජූලි 9 ඉඳන් ඔහෙලැයි හැසිරීම ජාත්‍යන්තරයටම දුන්නා ප්‍රතිරූපයක් ලස්සනට ඉතින් ආයේ තලේබාන් එවුන් නාඩගංකාරයෝ බලන් එක අතෑරලා දැන් ඒ වීඩීයෝලු බලන්නේ😂 රූපවාහිනියෙ සැලළිහිණියා උස්සන්න ගිය එක, මන්දිර 'අල්ලගෙන' 'ජනසතුකරලා' කරපු විනාශවල ඉඳන් ඊයේ මාලිමාවේ ලණුව කාලා නැටුව නැටිල්ල වෙනකල් සේරම අර තියෙනවැයි කිව්ව ප්‍රචාචංච්‍රවාදේ බේරුවා රෙද්ද පල්ලෙන්! 😅😅

ඒ එක්කම මන්දිර අල්ලගත්ත තැන්වල නිබඳ සෙවණැලි සේ රැඳිච්ච දේශපාලන රූප, හෙංචයියලා (ඒ හෙංචයියලා අස්සෙ ඉන්න නිළිබට්ටිලා, ටියුබ් තාරකා, සමාජ ක්‍රියාකාරීන් කියන කට්ටිය) විතරක් නෙවෙයි පාදිලියොයි චීවරයොයි ටික' නිර්පාක්‍ෂික' යවලා ඉවරයි දෙපැත්තෙන්! 😅

ආං ඒ අල්ලපනල්ලේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතාවෙනවා 'දමිළ සංහාරය' සහ යුධ අපරාධ චෝදනා යටතේ ගෝඨාභය රාජපක්‍ෂට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරලා අත්අඩංගුවට ගන්න! ඒ අස්සේ මෙහෙ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය නෝංජලයන් තත්ත්වයට පත්කරමින් මාස ගාණක් තිස්සෙ  අපහාසයට උපහාසයට ලක් කරනවා 'අරගල කරන මහජනයා'. තාම පුල්ලි පෙනුනේ නැති උංට පෙනෙයි, කල් යයි! 
එතකොට ආයෙ දියසෙන්ලා, දුටුගැමුණුලා, විහාරමහාදේවිලා, නිදිගත් රාවණාලා බැරිමවුණොත් සාප කරපු කුවේණිලා හරි හොයාපල්ලා! ගොං රැළ! 😂😂😂

~✒️ Aash Weerasinghe

#SriLanka #SriLankaCrisis #SriLankaProtests #නිර්පාක්ෂිකඅරගල #අරගලේපසුකතා #සාමකාමීඅරගල

රැල්ල වෙරළට!

ඊයෙ වෙනකල් රඟපු ඕමල්පෙට අද මොකද වුණේ කියලා දන්න කෙනෙක් කියනවද ප්ලීස්?
අන්න ඒකට ජීවන්ත! තාම ගේම් එක අතෑරලා නෑ.
කාඩිනල්? ආ එයත් එච්චරයි. මං හිතන්නේ තාම රහ කරලා කියන්න ප්‍රකාශය ලියවනවා වෙන්ඩැති.😂
නිකාස්ලා? ආ ඒගොල්ලො දැන් ප්‍රචණ්ඩත්වයට කැමති නෑලු. 

අන්තිමට චීවරයි ලෝගුයි නෝණ්ඩි වෙලා මවුලානලයි පූන නූලුයි හොඳ මුණියෝ වෙන්නත් පුළුවන් ඈ😂

තියෙන දහමක් දෙසාගෙන ඉන්නෙ නැතුව එක එකාගේ දේශපාලන ගුණ්ඩුවලට උල්පන්දම් දෙන්න ගිහින් තමන් නැහෙන එක වෙනයි, මිනිස්සුන්ව කුලප්පු කරලා විනාසෙට මග පෙන්නලා පස්සෙ උපාසක ටෝක් දෙන එක වෙනයි. හැබැයි ඉතින් කාගෙ කාගෙත් වෙස්මූණු ගැලවිච්ච එක වඩා හොඳයි! තාමත් ඒක පිළිගන්න අකමැති ඈයෝ තවත් හොඳාආආයි!

~✒️ Aash Weerasinghe

ආ මේ status උස්සනකොට ඔය ඔක්කොම copy කරගන්ඩ. අපරාදේ නේ😅

#AW #අරගලේපසුකතා #නිර්පාක්ෂිකඅරගල #SriLankaProtests

නිර්පාක්‍ෂිකයි ඈවරයි දෑවරයි!

දැන් අර 'නිර්පාක්‍ෂික අරගලය' ඉවරද ඈ?🙄
තිරෙන් පිටිපස රඟපු සමහරු දැන් 'නෝ චාන්ස්' වේගෙන එද්දි හිමින් බැහැලා යනවා. පළාතක නොහිටි අය තිරයේ රඟනවා. තාම දෙපැත්ත බැලන්ස් කරන අය දෙපා දෙපැත්තට තියං බලං ඉන්නවා. තාම එළි නොබැහැපු මූණුවල ඡායාවලුත් පාවෙනවා පේනවා.

ඔයා කොයි පැත්තෙද මිත්‍රයා?😎

#AW #SriLankaProtests #අරගලේපසුකතා
#නිර්පාක්ෂිකඅරගල #සාමකාමීඅරගල #PeacefulProtesters

Sunday, July 10, 2022

ලංකා සභ්‍යත්වයේ මගේ විඳීම (විඳවීම)

ජූලි 9 උදේ කලුකඩ ගාණට ගිය කිලෝමීටර් 19 ආපහු එන්න වුණේ පයින්! මගේ ආත්තම්මලා බකල ඇරලා අතගාලා හදලා දුන්න කකුල් දෙකට සහ ආත්තම්මලා දෙන්නට පින් දිදී පැය 6ක් තිස්සේ කළ ගමනක්!

ගමන පටන් ගනිද්දිත් ඩීසල්, පෙට්‍රල් නැති රටේ වාහන, ලොරි, කන්ටේනර් බාගවල නැගලා සිංහ කොඩි වනමින් ගිය උදවියගේ ආරාධනා ආවා 'අරගලේට යනවා නං එන්න'! ඒ අතර ලොරි ඇතුලේ 'ආතල්' ගන්න 'නංගි' කෙනෙක් හොයන 'අයියලත්' හිටියා! 

පාලු පාරවල වාහන ගියේ කිහිපයක්, ඉඳලා හිටලා. මගේ ගමන පටන් ගත්තේ කිරිබත්ගොඩින්. ආවේ කැළණිය පන්සල පැත්තෙන් අංගොඩ හරහා. කැළණි පන්සල පහුකළායින් පස්සේ අංගොඩට එනකල් කොටස කොයිවගේද කියලා අමුතුවෙන් කියන්න ඕන නැතුව ඇතිනෙ දන්න කෙනෙකුට. ඉඳලා හිටලා අතුරු පාරක දෙමව්පිය ඒකාධිකාරයෙන් මිදුණු ළමයි ක්‍රිකට් ගහනවා, බයිසිකල් පදිනවා, වෙල්දෙණි බඩවැටිවල ඇවිදිනවා, මේ අව්අස්සේ පොඩි උං ඇත්තටම ළමා දිනය විඳිනවා. ඒ ගැන සතුටුවෙමින් පයින් එනකොට තනියම කෙල්ලෙක් පයින් යද්දි ඒක වැඩිහිටියන්ට පමණයි දිනය කරගන්න උත්සහ කරපු මහඋං  විවිධාකාර ක්‍රියාකාරකම් යෝජනා කළා මග දිගට. ඒ අතර වාහන ඇඟට කැපීම් වගේ සුළු දේවල්වල ඉඳන් රමණය කළ හැකි ක්‍රම සහ අත්හදා බැලීමට කළ ආරාධනා, ස්ත්‍රී නිමිත්ත සන්තර්පණය කළ හැකි ආකාර සහ හැකියාව ගැන කයිවාරු, මැඳැඟිලි උරා පෙන්වීම් ඇතුළු අසභ්‍ය හස්ත මුද්‍රා/හැසිරීම්, ලුහුබැඳීම්, සැකකටයුතු ලෙස වාහන/බයිසිකල් නැවැත්වීම්, කුණුහරුප කීම් නොඅඩුව තිබුණා. මෝටර් සයිකල්වල ඩබල් දමාගෙන සිංහ කොඩි වනමින් ගිය සමහර අයියලා මේ නංගි අරගලයට යනවා නං අසවල් එක මත නග්ගාගෙන හෝ ගෙනියන බවටත් පොරොන්දු වීසී කරමින් ගියා! 

බත්තරමුල්ලට එනකල් ඒ පහුකරන් ආ කොටස මට එතරම් හුරු නැති නිසා නොනවත්වාම ගමන් කළත් ඒ අතර වැඩි අවධානයක් දෙන්න සිද්ධ වුණේ ආරක්ෂාව ගැන. බත්තරමුල්ලෙන් පස්සෙ ප්‍රශ්නයක් නැතැයි කියලා හිතාගෙන ජපන් මිත්‍රත්ව පාරට හැරෙන තැන උද්‍යානයේ සිමෙන්ති බංකුවක වාඩිවුණා ගිමන් නිවන්න. (ඔව්, අර මාදුළුවාවේ සෝභිත හිමියො කව්ද සෙට් එකක් එක්ක ප්‍රතිමා බවට පත්වෙලා ඉන්න තැන). ගඟ ගලනවා වේගෙන්, වෙනදා තරම් වාහන නලා ඝෝෂා නැතිව නිස්කලංකව හුස්මක් ගන්න කියාපු තැන.  අරගල ඉවර කරලා යන දෙන්නෙක් ඇවිත් එහා මේසෙක වාඩිවෙලා කෑම කෑවා, ඉතිරි බත් පාර්සලයක් එහෙමම බිම අතෑරලා දාලා ගියා. තව කොටසක් උද්‍යානයට බහින තැන පාර අයිනේ බයිසිකල් නවත්වාගෙන කෑගහන්න පටන් ගත්තා. ඔව්, එතැන එවෙලෙ හිටියේ මහපාරට පිටුපාලා ගඟ දිහා බලං සිමෙන්ති බංකුවක වාඩිවෙලා මහන්සි නිවාගත්ත මං විතරයි. ඒ ආව 'අයියලා' (හැරී බලන්න නොගිහින්, මගේ ආරක්ෂාව ගැන අවධානයෙන් ඉන්න නමුත් නොඇසුණා නොදැනුණා සේ ඉඳීමේ කලාව ප්‍රගුණ කර ඇති නිසා) පුදුමාකාර දයාවන්ත මිනිස්සු! 'කොල්ලා' ඇවිත් නැතිවීම නිසා 'වේලෙන' මේ නන්නාඳුනන තරුණියට 'උදව්' කළහැකි ක්‍රම මහ හඬින් ශුද්ධ සිංහලයෙන් කියාදීමට තරම් ඒ මිනිස්සු 'අනිකාට ප්‍රේමය පතුරු ගහන' උදවිය! සෑහෙන්න වෙලාවක් කළ ඒ දේශනාවලින් පස්සේ පිරිස විසිර ගියාට පස්සෙ තමයි ආයිත් පරිසරයේ තිබ්බ සිලිසිලිය ඇහෙන්න ගත්තේ. 

පැයක් විතර එතැන රැඳිලා, තව දුර යන්න තියෙන නිසා නැගිටලා, පාර්ලිමේන්තුව පේන ඇවිදින මං තීරුව දිගේ දියවන්නාවෙ සීතල හුළඟ විඳගෙන හිමින් ආයෙත් ගමන පටන් ගත්තා. දියවන්නාවයි මං තීරුවයි අතර විශාල පඳුරු ගාල් අස්සේ ප්‍රසිද්ධියේ ගංජා ඉරීම්, මත්ද්‍රව්‍ය/මත්පැන් භාවිතා කරන මිනිස්සු! මගෙ ගමනේ සාමය කඩාබිඳගෙන ආයෙත් ආත්මාරක්ෂාව මතුවුණා හරිම වේගයෙන්. ඒ මංතීරුව තියෙන්නේ ජපන් මිත්‍රත්ව පාරට වඩා පහතින්. හදිසියකදී එක් සැණෙන් ඒ කණ්ඩිය නැගලා මහපාරට යන්න අමාරුයි. මගෙ ඉස්සරහින් දෙන්නෙක් නැවතිලා ටී-ෂර්ට් උස්සාගෙන බඩවල් එළියට දමාගෙන, වැනෙමින්, විකාර හිනා පාන්න පටන් ගත්තා. එතකොටයි මට දැනුණේ තව කව්දෝ මට පිටිපස්සෙන් ගමන් කරන බව! වහාම ජංගමයා අතට අරන් දියවන්නාවේ පිංතූර ගන්න පමාවුණා ඔවුන්ට ඉස්සර වෙන්නට ඉඩදීලා. නිශ්ශබ්දව මාව පහුකරන් ගිය නිසා ටික වේලාවක් පමාවෙලා මම ආයෙත් ගමන පටන් ගත්තා. අර පහුකරන් ගිය මිනිස්සුම ඉස්සරහ මංතීරුව දෙපැත්තේ වාඩිවෙලා බලා ඉන්නවා! මොළය රතු එළි දල්වාගෙන එන්නත් කලින් කණ්ඩියෙන් මහපාරට ගොඩවුණා වාහන කීපයක් (වෙනදා තරම් නැතත්) ගමන් කරන ප්‍රධාන පාරක ආරක්ෂාව විශ්වාසයෙන්. පහළ මංතීරුවේ මා හා සමාන්තරව වැටීගෙන අර පිරිසම නොයෙකුත් අසභ්‍ය කතන්දර කියවන්න පටන්ගත්තා. ඒ සිදුවීම මගහරින්න ගමන වේගවත් කරද්දී තව බයිසිකලයක් හෙමිහෙමින් මොනවාදෝ කියමින් සමාන්තරව පාරේ මං යන දිශාවටම ගමන් කරන්න පටන් ගත්තා. ඒකට නං සේරම තරහවල් එකතු කරවලා බැල්මෙන් ගිනිතිබ්බම ටික ටික බයිසිකලේ වේගය වැඩිවෙලා යන්න ගියා! 

හිතන්නවත් බැරි වැදගත් පාට පිරිමින්ටත් තනියම පාරක යන ගැහැණු පුලුටක් දකිනවිට සුන්දර කුණුහරුප මතක්වන බව ඊයේ මම දැනගත්තා! අතීතයේ තනි ගෑණියෙක්ට රන් අබරණ පැළඳගෙන දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරුතුඩුවට යන්න පුළුවන්කම තිබ්බ කතාවත් ඉතිහාසයේ විකෘතියක්ද කියලා පුදුම වෙමින් මම ගමනේ අන්තිම කොටසට ළංවෙද්දි රෑ හතයි!
ශාරීරික වෙහෙසට වඩා වැඩියෙන් දැනෙන්නේ මානසික වෙහෙස!  

 රට හදන්න ගිය ඉතිහාසගතයි කියන දවසකත් ලංකාවේ පාරක දැරිවියෙක්ට/තරුණියකට/ගැහැණියකට/මැහැල්ලකට පාරක තනිව යන්න බැරිනම් ඒ බිහිකරන්න විලිරුදා ගන්න කේතුමතියේ පදනමක් කොහෙද තියෙන්නේ? 
කේතුමතියට දුං අල්ලන්න ගිය/යන ඊනියා වනිතාවාදියොයි අම්බ ධර්ම ටෝක් දෙන මහිලාවොයි ඒ අත්දැකීම වින්ඳා නං තේරුම් ගනී මොකද ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් එයාලා දාර්ශනික නිසා! 

හැමදාම කියනවා වගේ දේශපාලනිකව ප්‍රශ්න විසඳන්න කලින් මුලු සමාජයේම හැදෙන්න ඕන 'ආකල්ප'. ආකල්ප හැදුණොත් 'හැසිරීම්' හැදෙයි. ඒ මූලික පදනම නැතුව 'මනුස්සකම' ත් නැතුව කේතුමතී එකට දහයක් හැදුවත් අපි ඉන්නේ එකම තැන!
මේ එක උදාහරණයක් විතරයි! 

~✒️ Aash Weerasinghe

#සුන්දරලංකා #lka #AW #9thJuly2022 #ලෝකයේරෙද්දවෙනස්කරමු #FeministS #SafetyOfWomen #womenrightsarehumanrights

Thursday, July 7, 2022

බසයෙන් බව තරණයට

ලංකා මාතාවගේ වර්තමානයට පින් සිද්ද වෙන්න බස් එකේ යන්න ගත්තා අවුරුදු ගාණකට පස්සේ!
අද තමයි තේරුණේ තුන්තිස් පැයේ බණ කියන බණ අහන අපේ රටේ ඇත්තටම අනිත්‍යය මෙනෙහි කරවන්නේ කොන්දොස්තරලා කියලා. බලන්න අතහැරීම ගැනම නොනවත්වාම කියන ලස්සන. 'අතෑරලා යන්න, මැද පේළිය ඔය පොල්ල අතෑරලා ඉස්සරහට යන්න, මල්ලී ඔය දොර අතෑරලා ඇතුළට එන්න, අතෑරලා එන්න මේ මෙහෙ ඉඩ තියෙනවා, ඔය බලන්නකො අනේ නංගි ඔය සීට් එක අතෑරලා මෙහාට වෙන්න, ඔය බෑග් එක ගලවලා දාන්න, සීට් අල්ලං ඉන්න එපා අයියේ' යනාදී වශයෙන් ඒ මනුස්සයාගේ මුලු රාජකාරි වේලාවම වෙන් වෙන්නේ ඒ මනුස්සයා පතාගෙන ආව පවුලේ උදවිය සේරෝම අතෑරීමට යොමු කරවලා සංසාරෙන් එතෙර කරන්න! පුදුම පිංවන්ත ආත්ම ඔව්වා😇🌼

ඇයි මිලමුදල් ගැන තියෙන බැඳීම්, තණ්හාවල් අතෑරවන ලස්සන බලන්න.' ආ ඇයි ඉතිරි? කාගෙද? අපෝ මේ රුපියලද ඉල්ලන්නේ? අයියෝ ඕක අරං මං මොනා කරන්නද අනේ, හපෝ ගන්න ගන්න ආ.. කෝ අර ඔයා රුපියල් දෙකක් දෙන්න තිබ්බනේ.. අනේ දෙන්න මහත්තයෝ රුපියල් දෙකක් නැද්ද ආ එහෙනම් දහයක් දෙන්න.. ආ ඉතිරි බහිනකොට ඉල්ලගන්න' වගේ මහා කරුණාවෙන් තණ්හාව දුරු කරවාලීමටම තමයි උත්සහ කරන්නේ. සමහරවෙලාවට වැඩි තණ්හාකාරයන්ට නං ඉතිරි දෙන්න ළංවෙද්දී ළංවෙන්න බැරි තරං දුරකට ගිහින් පවා ඒ කෙලෙස් අතාරින්න පුරුදු කරවන්න එතුමන්ලා පැකිලෙන්නේ නෑ.

ඒ මදිවට බලන්න ඕන සංසාර බර බෙදාහදා ගන්න අපූරුව, මගියෝ. බොහෝ වෙලාවට කොන්දොස්තර උතුමාණනුත් එතුමන්ගේ බර මගීන්ගේ කරමත තියලා සංසාරේ දුෂ්කරබව දන්වන්න අරිනවා. ඒ ඇරෙන්න විශාල මලු අරං නගින උදවිය ඒ මලු, ඇතැම් පුරුෂයෝ තමන්ගේ ප්‍රජනන ඉන්ද්‍රීයන් පවා කරමත තියලා මේ අසුන්දර සංසාරෙන් ඉක්මණින් මිදියල්ලා කියන පණිවිඩය දෙනවා හරිම හෘදයාංගම විදිහට.

ඒ අස්සේ කතන්දර පප්පල මම්මලා එහෙම ළගින් වාඩිවෙලා අතිර සසර සාගරේ ගැන කණ පුරවන්න ගන්නවා. අද එහෙම මගේ එහා පැත්තෙ හිටියේ තරුණ උපාසක මහත්තයෙක්. අපරාදේ කියන්න බෑ මට කරදර වෙන විදියට නං නලියන්න, හෙලවෙන්න, නිදිකිරන්න උත්සහ නොකර වැදගත් විදියට වාඩිවෙලා මුලු ගමනම ගියා. හැබැයි ටෙලිකොම් ආයතනයක පාරිභෝගික සේවාව වගේ. එකක් ඉවර වෙන්න එකක් දුරකතන ඇමතුම්. ඒ හැම එකකින්ම තේරුණ විදිහට ඒ තරුණ උපාසක මහත්මයට අපේ අගමැතිතුමාට වඩා ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන්න ඕන. හැම රටකම වගේ නියෝජිතයන් සමග රටේ පවත්නා අර්බුදකාරි තත්ත්වය, නවතම බස්ගාස්තු සංශෝධනය, ශ්‍රී ලංකාවේ නවතම තෙල් සංචිත ප්‍රමාණය, වෙනත් රටවල පෙට්‍රල්/ඩීසල් ලීටරයක මිල සංසන්දනාත්මකව විශ්ලේෂණය, කිරිබත් කෑමට වඩා සුදුසු ව්‍යාංජන, ශ්‍රී ලංකාවට අනාගතයක් තිබේද, අප මේ අර්බුදයට මුහුණ දියයුත්තේ කෙසේද, ගැහැණු ළමයින් සෙනග වැඩි බස්රථවලට නැගීම නවත්වාගත හැති මාර්ග, එම බස්රථය ගමන් ගන්න මාර්ගයේ සිදුවන දේ එසැණින් උණුසුම් පුවත් තුළින් යනාදී වශයෙන් අතිශය සංකීර්ණ මාතෘකා මේ මහත්මයා මුලු ගමන පුරාවටම නොමිලේ මට අසන්නට සැලැස්සුවා. රියැදුරු මහත්මයා සිංදු රේඩියෝ අහන මානසිකත්වයක නොහිටි නිසා සංසාර බර කර තබාගෙන අර දැනුම් ගඟුලේ පීනමිනුයි මම අවශ්‍ය ස්ථානයට ළඟාවුණේ.

ඒ අව් අස්සේ සංසාර බැඳීම් හොයා හොයා පීනන උදවියත් ඉන්නවා. මේ තරම් සංසාරයෙන් මුදවන්න උත්සහ කරවන අවස්ථාවක මාරයා විසින් එවූ ඒජන්තවරු තමයි ඉතින් ඒ. මේ අතිර සසර සාගරේ ගිලෙන ඔය වගේ මොහොතවල්වල තව මොන සංසාර බැඳීම්ද අප්පා!

කොහොමවුනත් දැන් මම නං පෝලිමේ මුල ඉන්නේ. තව දවස් කීපයක් මෙහෙම ගියාම බව දුක නිමා කරලා තමයි ඉතින් ගමන නිමා කරන්නේ. 
අන්න එතකොට තාම පෝලිමට ආවේ නැති ඔයාලට හුගක් රිදෙයි ඈ😜

~✒️ Aash Weerasinghe

#AW #publictransortSL #lka #සුන්දරලංකා

Monday, July 4, 2022

Once upon a time in Colombo

2022 ජූලි 4දා සිනමාවේදීන් සමූහයට

ඉස්සෙල්ලම Once upon a time in Maligawatte විදිහට intro එක ගිය කතාව පස්සෙ Once upon a time in Colombo වෙලා තමයි විකාශය වෙන්න පටන් ගත්තේ. කාලෙකට පස්සෙ බලන්න හම්බෙච්ච හොඳම කතාවලින් එකක්.

මේකේ තියෙන ලොකුම හොඳ තමයි කතාව නිස්කාරණේ රබර් කරන්නේ නැතුව හොඳ ගලායාමක් තියාගෙන ඉන්න එක. සමහරවෙලාවට සමහර චරිත හරි ඉක්මණින් ඉක්මණින් කතාවෙන් අයින් වෙන තරමට කතාවේ ගලායන වේගය හොඳයි. කතාව පටන් ගන්නෙම වැදගත් චරිතයක (සෝමේ) මරණයෙන්. ඊළග කොටස් කීපය ඇතුළත තවත් ප්‍රධාන චරිත කීපයක් මරණයට පත්වෙනවා. පාතාලයට අදාළ ඇත්ත තත්ත්වය හරියට පෙන්නන්නේ කාටවත් වැඩි කලක් වැජඹෙන්න ඉඩ නොදීමෙන්. ඒක හින්දම කතාවේ ප්‍රායෝගික සහ යථාර්ථවාදීගතිය ආරක්ෂා කරගන්න සමත්වෙලා තියෙනවා.

කැමරාව ගැන කතා කරනවා නම් නිතරම වගේ සාමාන්‍ය ඇහැට හුරු කෝණ පාවිච්චි කරන්න උත්සහ කිරීම විශේෂත්වයක් කියලා හිතනවා. සමහර අවස්ථාවලදී නම් ඒක ඇහැට, ඔලුවට ටිකක් අමාරුයි බලං ඉන්න, විශේෂයෙන්ම වේගයෙන් සිද්ධවෙන දේවල්, වේගවත් චලන වගේ දේවල්වලදි. නමුත් සමස්තයක් විදිහට ගත්තහම නදීකා ගුණසේකරගේ කතා සංකල්පය චමිල් පතිරණ විසින් හොඳින් අධ්‍යක්ෂණය කෙරිලා තියෙනවා.

සුලු චරිතවල ඉඳන් ප්‍රධාන චරිත වෙනකල් රංගන ශිල්පීන් හැම කෙනෙක්ම වගේ තමන්ගේ චරිතවලට හොඳ සාධාරණයක් ඉෂ්ඨ කරලත් තියෙනවා.
සහන් හේවාදේව සුහුඹුල් බවක් පල කළත් තව ටිකක් රංගනය දියුණු කරගන්න ඕන වුණත් ලොකු ගැටලුවක් මට නම් පේන්නේ නෑ. සමහර දෙබස්වලදි ඉංග්‍රීසි ඌරුවක් එන එක නිසා ද මන්දා සමහර අවස්ථාවල මුස්ලිම් උච්චාරණයක් වගේ දැනෙන වෙලාවල් තියෙනවා.
ශේෂාද්‍රි ප්‍රියසාද් චරිතයේ ගත කළ කාලය කෙටිවුණත් මතක හිටින රඟපෑමක් සහ මම හිතන්නේ හොඳ තෝරාගැනිමක් ඈගේ මෙතෙක් රඟපෑ චරිත දිහා බැලුවම.

කතා නොකරම බැරි දිල්හානි අශෝකමාලාගේ රඟපෑම! 👌 90 දශකයේ වාණිජ සිනමාවේ හිටි දිල්හානි කාලයත් එක්ක පරිණත වෙලා තියෙන හැටි දැක්කම පුදුම හිතෙනවා. මැදිවියේ අම්මෙක්ගේ චරිතේ සුපිරියටම කරනවා මෙතනදි දිල්හානි. ඒ හැඟීම් ප්‍රකාශනය, දෙබස් මාරම ස්වාභාවිකයි. 

ඊළග කෙනා පූජන දන්දෙණිය. පළවෙනි වතාවට මම පූජනගෙ රඟපෑමක් දකින්නේ. හැබැයි ජූඩ්ගේ චරිතයට පට්ට සාධාරණයක් කෙරෙනවා ඔහුගෙන්. චණ්ඩිකම අධිතාත්විකව ඇඟට අරං ඉන්න තරුණ ජූඩ්ගේ ඉඳන් නායකත්වයට ආවම ටිකක් පරිණතවෙන ජූඩ් දක්වා ඒ චරිත විකසනයේ පූජන නෙවෙයි ජූඩ්ම තමයි ජීවත් කෙරෙන්නේ.

ගඩාෆි ගැන කියන්න දෙයක් නෑ. දර්ශන් ධර්මරාජ් දැනට තිරයේ ඉන්න හොඳම දුෂ්ඨයා. තව සෑහෙන්න වැඩ ගන්න පුළුවන්, වැඩ ගන්න ඕන චරිතයක්. මේකෙ කරන්න තියෙන පොඩි කොටස උපරිමේටම කරලා තියෙනවා. 

විල්සන්ගේ චරිතය රඟපාන වසන්ත විට්ටච්චි විල්සන් කෙරෙහි ප්‍රේක්ෂකයා තුළ ඇති කරවන අප්‍රසාදය උපරිමයට අරගන්නවා. ඒක කොයිතරම් ද කියනවා නම් හැමෝම බලං ඉන්නවා විල්සාට බුලට් එක දෙන්නේ කව්ද කවද්ද කියලා. 

අනික් චරිතය රොජර්. කාලයක ප්‍රේමවන්තයාගෙ චරිතය රඟපෑ රොජර් තනතුර වෙනුවෙන් තමන්ගෙම අයියව මරා දම්මවන කට්ට කයිරාටික දේශපාලනඥයාගේ චරිතය ලෙසටම කරනවා. සමහරු අධිතාත්විකයි කියලා කිව්වත් මට හිතෙන්නේ ඒ චරිතය තුළ තියෙන්න ඕන අධිතාත්වික රංගනය, මවාපෑම රොජර් හරියටම අවබෝධ කරගෙන රඟපානවා කියලා. කණගාටුවක් දැනෙනවා සුන්දරව හිටි ඔහුගේ වෙනස්වීම ගැන. ඒත් වෙනස්වීම අපි හැමෝටම පොදු කාරණයක්නෙ. 

විමලෙගේ සහ පැට්ටාගේ චරිත රඟපාන රංගන ශිල්පීන් මම මීට කලින් දැකලා නැහැ. නමුත් ඔවුන්ගේ රඟපෑම් සෑහෙන්න තාත්විකයි. පැට්ටාගේ චරිතය කලින් රඟපෑ ශිල්පියාට වඩා දැන් ඉන්න පැට්ටාගේ රඟපෑමට මම කැමතියි. ඒ ඇරෙන්න මුලින් කතා නොකරන ගාණට තිබූ ඒ චරිතයට දෙබස් ටිකක් ලිවීම ගැන නම් තිර රචකයාට අනිවාර්යයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. අඩුපාඩුවකට මට පේන්නේ ඒ චරිතයට තව යමක් කරන්න ඉඩ තිබුණු අවස්ථා හරියට භාවිතා නොකිරීම තමයි. උදාහරණයකට සාරාගේ මරණය පැට්ටා හිතපිත් නැති ගලක් වගේ ගණන් නොගෙන සිටීම අතාත්විකයි කියලා හිතෙනවා. ඒ ගැන ඊට වඩා දෙයක් කරන්න තිබුණා. අනික අම්මා (දිල්හානි) සිරගතවීම, විහාන් රිමාන්ඩ් වීම ගැන කිසිම සඳහනක්, තැකීමක් නැතිව පැට්ටාගේ චරිතය ගලායාම ටිකක් අභව්‍යයි කියලා දැනෙනවා. 

කතාවේ වෙනමම ආරේක චරිතය ටිරෝන් (චතුර රාජපක්ෂ). ඒ රංගන ශිල්පියාත් මම දකින්නේ පළවෙනි වතාවට. වෙනත් නිර්මාණවල ඉඳලා ඇති සමහරවිට. තිර රචනයේදි ආතල්ම චරිත ගොඩ නැගීම මම හිතන්නේ ටිරෝන්. ධම්මපදය කිය කිය ගහගන්න, කටු අනෝදයි ටිකිරි මාරියි කන, සෑහෙන්න ක්‍රැක් ඒ වගේ චරිත ඉන්නවද නැද්ද කියලා වාදවිවාද මම කමෙන්ට්ස් අතර දැකලා තියෙනවා. හැබැයි එහෙම චරිතත් මේ සමාජයේ ඉන්නවා. ඒ චරිතයට කරන උපරිමය ඒ රංගන ශිල්පියා දුන්නා කියලත් මම විශ්වාස කරනවා. 'ඒක වෙනමම ආතල් එකක්'. බලලම තමයි තීරණය කරන්න ඕන. 

එතකොට උමයංගනා වික්‍රමසිංහ. කතා නොකරම බැරි තව චරිතයක්. නිර්මාණ නොකළ නිළියකගෙ චරිතය, සූසැට මායමින් නියම ප්‍රයෝජන ගන්නා හැටි මං හිතන්නේ උමයංගනාට වඩා හොඳ තේරීමක් ඒ චරිතයට නෑ. හැමෝම කෙටි කාලයක් වැජඹෙනකොට උමයංගනා තවම ගේම් එකේ රැඳිලා ඉන්නේ කොහොමද කියලා බලන්නම ඕන. ඒ චරිතයට අදාළ බැල්මේ ඉඳන් මවාගත් අහංකාරකම වෙනකල් හැම අඩුම කුඩුමක්ම නියම ගාණට උමයංගනා පියුමිගේ චරිතයට යොදනවා. 

ඊයේ අලුතෙන්ම පසන් රණවීර එනවා චරිතයකට. සිරිල් නිතරමසෆරිං ඔහුගේ මතක හිටින චරිතයක්. මේ චරිතයේ ප්‍රවිෂ්ඨය බලාපොරොත්තු සහගතයි. කොහොම වෙයිද ඉදිරියෙදි කියලා බලං ඉමු. 

නාට්‍යයේ සාර්ථකත්වයට තිර රචනය, අධ්‍යක්ෂණය වගේම රංගන ශිල්පීන් ශිල්පිනියන් තෝරාගැනීම ලොකුම හේතුවක්. ඒ ඒ චරිතවලට හරියටම හරි කෙනා තෝරා ගැනීම කරලා තියෙනවා වගේම සුලු කාලයකට සීමාවෙන චරිත භාරගැනීම ගැනත් ඒ ප්‍රවීණ සහ නවක සියලු දක්ෂයන්ට අනිවාර්යයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. 

තවම විකාශය වෙලා තියෙන්නේ කොටස් 75යි. Youtube එකේ සියලු කොටස් තියෙනවා බලන්න කැමති කෙනෙකුට. නැත්නම් සෙනසුරාදා සහ ඉරිදා රෑ 8:30ට ස්වර්ණවාහිනියේ විකාශය වෙනවා. 

~✒️ Aash Weerasinghe

Sunday, July 3, 2022

සුන්දර ලංකා සමාජය

ආයෙත් ආයෙමත් එකම අමනුස්සකම සයිබරය පුරා ගලාගෙන යනවා!
සතෙකුට වුණත් මරණාසන්න අවස්ථාවක වතුර පොදක් දෙන තරමට 'මිනිස්සු' හිටිය රටක් වෙන්න බෑ මේක. ඒකත් අර සමහරු කියනවා වගේ විකෘති කරලා ලියන ලද ඉතිහාසයකම විකෘති අසත්‍ය තොරතුරක් වෙන්න ඕන. 

මිනිස්සු හොඳට නරකට දෙකටම ප්‍රසිද්ධ වෙනවා. ඒත් ඒවා විවේචනය කරන්න, තීන්දු දෙන්න තරම් අපි ඒ මිනිස්සුන්ට වඩා ඉන්න ඉහළ තත්ත්වය මොකද්ද? ඇයි මේ විචාර දෙන, නඩු අහන, හෙණ ඉල්ලන 'දෙවිවරු', 'සාන්තුවරයෝ' රහසින්වත් පව් නොකළවුන්ද?

මනුස්සයෙක්ට විපතක් වුණාම ඒ මනුස්සයාගේ කුටුම්භය ගැන කුණු කතා ලියන තරමට පහළට වැටිච්ච, ඒ කතා රහ කරකර විඳින ඉහඳ පණුවෝ වගේ මිනිස්සු ඉන්න සමාජයකද අර බහුතරය ගිරි කඩාගෙන සිස්ටම් චේන්ජ් කරන්න යන්නේ? මේ කුණු කතා ලියන කියන උඩදාන බහුතරය දියණිවරු ඉන්න දෙමව්පියෝ! මානව සම්පත් කළමනාකරණයේ ඉඳන් නීතිය වෙනකල් සමාජය ගොඩනගන ක්ෂේත්‍රවල ඉන්න මිනිස්සු! කතා කළොත් ධර්ම ටෝක් දෙන මානුෂික ගල්කණු! කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉන්න ඊනියා වනිතාවාදීන්! උන්දැලත් එහෙම නං සෙස්සන් ගැන කවර කතාද!!

ජැක්සන්ගේ දේශපාලන භාවිතයට මම එකඟ නෑ. ඒත් අපි හැමෝටම වගේ ඒ මිනිහටත් දේශපාලන මතයක් දැරීමේ නිදහස සහ අයිතිය තියෙනවා. ඒක ඔහුම ඔහුට අවශ්‍ය විදියට ගිහින් ඔහුම තීරණය කරපු ගමනක්. හැබැයි උනන්දුව, දැනුම සහ දක්ෂකම අතින්, නිර්මාණකරුවෙක් විදිහට ජැක්සන් 'පොරක්'. පටන් ගත්ත තැන ඉඳන් කාලයත් එක්ක පරිණතවෙමින් කැපී පෙනෙන ගමනක් ආව මිනිහෙක්. තමන් කෙනෙකුගේ දේශපාලනයට අකමැති වූ පළියට 'පණ ඇදපං, මැරියං, හෙණ ගහපං' යනාදී අතිශය නූගත් ක්‍රෝධාත්මක අදහස් සයිබරයේ වපුරන මේ බහුතරයක් මිනිසුන්ට ඇත්තටම ජැක්සන් මුණගැහිලත් නැතුව ඇති! උන්දැ ඔවුන්ට පෞද්ගලිකවම කළ වරදකුත් නැතුව ඇති අහලා බැලුවොත්! ඒත් බනිනවා, අපහාස කරනවා, හෙණ ඉල්ලනවා, සාප කරනවා, මැරෙනකල් සතුටින් ඉපිලෙමින් බලං ඉන්නවා,කිරිබත් හදන්න රතිඤ්ඤා දාන්න බලං ඉන්නවා! 
ඔව් අර ප්‍රේමදාස මැරුණමත් ඒ මිනිහා දුන්න ජනසවියෙන්ම කිරිබත් කාපු උං ඉන්න රටක්නෙ මේක! 
මිනිස්සු ද හලෝ උඹලා?
කෝ උඹලා හදන්න හදන අර ලස්සන ලෝකේ? 
කෝ උඹලා හදන සුන්දර සමාජේ පදනම? 
මනුස්සකම නැතුවද උඹලා ඔය ඔක්කොම හදන්න යන්නේ? 
එහෙනං හදලා පෙන්නපල්ලා, මනුස්සකම නැතුව උඹලා හදන ලෝකේ ඔය කියන තරම්ම සුන්දර වෙයිද කියලා!

~✒️ Aash Weerasinghe 

#සුන්දරලංකා

Friday, July 1, 2022

ජන සිට ජඩට - මාධ්‍යයේ ගමන

මාධ්‍ය ආයතන විනාශවලට උල්පන්දම් දෙන එක තමයි ට්‍රෙන්ඩ් එක! හිතවත් මාධ්‍යවේදී මිත්‍රයන් තරහවෙන්න එපා. මට නං දැනෙන ඇත්ත ඕකයි. 

මං TV එකෙන් මිදුණේ 2001. ඊටපස්සේ බැලුවත් බැලුවේ ඉඳහිටලා, කරන්න දෙයක් ඇත්තේම නැත්නම්. ඒත් ඔතනින් එහා මෙහා යද්දී ඒකෙ යන විකට ජවනිකා මට පේනවා. බොහොම මෑතකදී තමයි දෙමව්පියන් එක්ක වාඩිවෙලා ප්‍රවෘත්ති TV එකෙන් බලන්න ගත්තේ. ඒකත් එතෙක් බැලුවේ YouTube එකෙන්. ඒ වෙලාවේ දෙමව්පියන් එක්ක වාඩිවෙලා Tv එකෙන් ප්‍රවෘත්ති බලන්න හිතුවෙත් මගේ පවුල සහ එයාලා වෙනුවෙන් වෙන් කරන කාලය ගැන හිතලා මිසක් රූපවාහිනියට නැත්නම් TV එකට ඇති ආකර්ෂණයක් හින්දා නෙවෙයි.

මාධ්‍ය සියල්ල පිළිබඳ පොදුවේ මට පැහැදීමක් නැහැ.
හේතු කීපයක්ම මත.
ඉන්දියානු මෙගා නාට්‍ය සිරසෙන් පටන් ගත්තම ඒක වසංගතයක් වගේ පැතිරිලා මං හිතන්නේ දශක දෙකක් විතර වෙලත් තාම ගැලවීමක් නෑ! මං ඉන්දීය සිනමා නිර්මාණ නොබලන කෙනෙක් නෙවෙයි. හොඳ ඒවා රසවත් ඒවා බලනවා,විඳිනවා. හැබැයි මෙලෝ රහක් නැති ඉන්දීය මෙගා නාටක මට අප්‍රසන්නයි. එකම මූණ කැමරා කෝණ දහයකින් විතර ළං කර කර ඈත් කරකර පෙන්නමින්, කතක් කතකලී නටන්නා වගේ ආලේපන තට්ටු ඇලවූ මුහුණුවල ඇසේ සිට නිකටේ මස්පිඬුව දක්වා චලනය මන්දගාමීව පෙන්නමින්, හෙට්ටිවීදියටම නැතිතරං අබරණ පළන්ඳගෙන ඉන්දියාවේම සාරි කඩ වැහෙන තරමට සාරි පෙරවාගෙන එකම ගෙයක් ඇතුළත පවුල් පිටින් ගේම් දෙන්නම ලෑස්ති වුණ ඒ බහුභූතයන් බලනවාට වඩා ප්‍රසන්න දේවල් මේ ලෝකේ තව තියෙනවා කරනවා නම් කරන්න! 
ඊටපස්සේ ගෙනාවා කොරියානු රැල්ල. ඒකත් ඒ වගේනෙ, වෙනසක් නෑ. ඔක්කොටම වඩා මට ඒ කතාවල ගැහැණු පිරිමි අතර වෙනසක් හොයාගන්න බෑ, සේරම එකම විදියට සුකොමළයි පියකරුයි. 
ලංකාවේ මෙගා ගහන්න ගත්තම ඒකයි අරවයි අතරත් වැඩි වෙනසක් නෑ. 
දෙරණ මම බලලම නෑ, ප්‍රවෘත්තිවත්. අවුරුද්දකින් විතර. එච්චරට ඒකේ යන නාට්‍ය මට අප්‍රසන්නයි! 
ITN තවම යම් තරමක standard එකක් තියාගෙන නාට්‍ය තෝරාගන්න බව පේනවා. ජාතික රූපවාහිනිය, සිරස බලන්නෙම නැති තරම්. 

ඊට පස්සේ පටන් ගන්නවා පත්තරේ කියවන්න. ස්වර්ණවාහිනියෙන් වෙන්න ඇති පටන්ගත්තේ හැබැයි ඔක්කොටම ඕන වෙනවා පාන්දර පත්තරේ කියවලා ඔස්තාද්ලා වගේ ඔපීනියන් දෙන්න. රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔක්කොම ඒක පටන් ගන්නවා. දෙරණේ චතුර ටිකක් හොඳට පටන් අරන් පස්සේ පස්සේ චොර කරගන්නකොට ස්වර්ණවාහිනියේ චමුදිත පටන්ගන්නවා. චමුදිත TNL එකෙන් බිහිවෙච්ච දක්ෂයෙක් බව ඇත්ත. ජනහඬෙන් චමුදිත කරළියට එද්දී තේරුණත් නොතේරුණත් තාත්තා එක්ක වාඩිවෙලා ජනහඬ ඇහුව නැරඹුව ඇටිකිත්තෙක් මම. හැබැයි දැන් උදේට චමුදිතගේ වැඩසටහන ඇහුවම (මට නං ඇහුණම) දවසම මුස්පේන්තුයි! ප්‍රශ්න තියෙනවා. රටට සහ පුද්ගලයන්ට විවිධාකාර ප්‍රශ්න තියෙනවා. හැබැයි චමුදිත ඇතුලු මේ බොහෝ දෙනා කරන්නේ පත්තර කියවන මුවාවෙන් ඒගොල්ලොන්ගේ පෞද්ගලික මත සහ ඒ ඒ මාධ්‍ය ආයතනවල න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන එක. පොඩි දේ ලොකු කරන්න, බරපතල දේ ලඝු කරන්න, ඇත්ත බොරු කරන්න, බොරු ඇත්ත කරන්න මේ අය පැකිලෙන්නේ නෑ! එහෙම කළොත් නේ අපි හම්බ කළොත් අපි කනවා වෙන්නේ. හැබැයි උදේ පාන්දර ඉඳන් මිනිසුන්ගේ ඔලු කුරුවල් කරන එක තමයි වැඩියත්ම වෙන්නේ! මොන ප්‍රශ්න තිබ්බත් බොහොම සුබවාදී ආකල්පයෙන් ප්‍රසන්නව දවස පටන් ගන්න මං නං කැමතියි, ඔබ කොහොමද දන්නේ නෑ. එහෙම මනුස්සයෙක්ට අර වගේ අඳෝනා, ක්‍රෝධයෙන් අසුබවාදී ආකල්පයෙන් පිරිච්ච දේවල් අහන්න වෙන එක තරම් මූසලකමක් තවත් නෑ! 

ඊළගට සාම්ප්‍රදායික ප්‍රවෘත්ති කියවීමේ කලාව වෙනස්වීම. ජාතික නාලිකාව පවා මේසේ යටින් ප්‍රවෘත්ති නිවේදිකාවගේ කකුල් පෙන්වීමෙන් තරගයට අවතීර්ණ වුණා මහාචාර්ය ගංගානාත් දිසානායකගේ ධූර කාලයේදී. ඔය නාට්‍යානුසාරයෙන් ප්‍රවෘත්ති කියවීම පටන්ගත්තේ පෞද්ගලික මාධ්‍ය නාලිකානේ. ඊටපස්සේ ඒ කතන්දරේ ආටක නාටක තත්ත්වයට පත්වුණා බොහොම වේගයෙන්. කෙනෙක් අනතුරකින් හරි දිවිනසාගෙන හරි මළා නං අපේ මාධ්‍ය ඒක පොඩි පහේ වෙසක් නාට්‍යයක් කරගන්නවා ප්‍රවෘත්තිවලට ඔබන්න. ඒක වුණු තැන ඉඳන් මැරුණු මිනිහා ජීවිතේටවත් නොහිතන්නත් ඇති සිතුවිලි උපකල්පනය කරලා පසුබිම් කථන හදනවා මිනිහා වලෙන් නැගිටලා "මට එහෙම හිතුණේ නෑ ඕයි" කියන තරමට! ගෙදර වැලපෙන දෙමව්පියන්, දරුවන්, භාර්යාවන්, ස්වාමි පුරුෂයන් තව අඬවමින් ප්‍රශ්න කරනවා, ඔවුන්ගේ දුක අමුඅමුවේ ඒ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරමින් කිසිම හිරිකිතයක් නැතුව ලෝකේටම පෙන්නනවා! ආයෙමත් දවසක ඒ අවස්ථා දැක්කම ඒ මිනිස්සුන්ට දුකකට වඩා දැනෙනවා ඇත්තේ අමුම අමු ලැජ්ජාවක්!! 

කාන්තා වැඩසටහන් කියලා උදේ ඉඳන් එක එක හැඩැති ලලනාවො, දොස්තරලා, රූපලාවන්‍ය ශිල්පියෝ, කෝකියෝ ආදී එකී මෙකී නොකී හැමෝම ගෙන්නලා හැම නාලිකාවකම කාලේ කනවා. ඕවා බලන මිනිස්සු ඉන්නවා ඇති. හැබැයි බලාපොරොත්තු වන තරම් ප්‍රතිඵල තියෙනවද? 
ඒ කාලය විශේෂයෙන්ම, පාසැල් අධ්‍යාපනය අඩපණ වෙච්චි අවුරුදු දෙකක් තුනක් ඇති අපේ දරුවෝ වෙනුවෙන් වෙන් කළා නම් මොකද?? 

ඊටපස්සේ යනවා තරු එක්ක පිළිසඳරවල්. තරහවෙන්න එපා මෙහෙම කියනවට, ලංකාවේ 'තරු' නැහැ! හිටියා, දැං නැහැ. 
කව්රුහරි ඉතින් එකම සෙට් එක ගෙන්නනවා. ඒ යක්කු ඇවිත් රටම ඉස්සරහ කරන ඒවාට දකින අපිට ලැජ්ජ හිතෙනවා උන්දැලට නැතිවුණාට. පෙරේදා හවස කාපු එකේ ඉඳන් අන්තිමට රමණය කළ එක වෙනකල් ඕපාදූපයි මෝඩකමයි ලැජ්ජානැතිකමයි දෝරේ යවනවා! ඉස්සර ලංකාවට හිටියා ඇත්තටම හොඳ නිර්මාණ කරලා මතක හිටින රඟපෑම් කරලා තවම ප්‍රශංසාවට ලක්වන කලා ශිල්පීන් ශිල්පිනියන්. තරුත් හිටියා. හැබැයි තව අවුරුදු දහ පහළවකින් 'ප්‍රවීණ' ලේබලය නමට ඉස්සරහින් අලවගන්නෙ මේ නාලිකාවල චැට් වැඩසටහන්වලට ඇවිල්ලා බට්ටා පනින, ගුඩු පනින, ගොබ්බ කතා කියන, වැරදි වැරදි සිංදු කියන්න තටමන නලුනිලියෝ නේද කියලා මතක් වුණාම ලංකාවේ කලාව වලපල්ලට යෑම ගැන එච්චර පුදුමයක් දැනෙන්නෙත් නෑ. 

පරණ කලා ශිල්පීන් ශිල්පිනියන් බහුතරයක් අපි නොදැනම අවසන් ගමන් යනවා. සමහරු මැරුණද දන්නෙත් නෑ. අසරණවෙලා ඉන්නවා. අසනීපවෙලා ඉන්නවා. ඒවා ගැන කතාවක්වත් නෑ! මෙච්චර මාධ්‍ය දියුණු යුගයකත් මාධ්‍ය නාලිකාම හැටහුටාමාරක් තියෙන රටකත් ඒ වගේ මිනිස්සුන්ට නිසි ඇගයීමක්, අවධානයක් නෑ! දවස ගානේ අර තුට්ටු දෙකේ තොරොම්බල් කෑලි උඩදදා ඉන්නවා! 

දේශපාලන වැඩසටහන්. 
හැම නාලිකාවකම දිනපතා තියෙනවා. මේ කතා කරන කතා කිරිල්ලේ හැටියට ලංකාව තියෙන්න ඕන මෙලහකට ලෝකයේ බලවත්ම රාජ්‍යය වෙලා. බලවත් කෙසේ වෙතත් දැන් එදා වේල ට්‍රැවල්ස්වත් නැති ගානට ගිහින් තියෙන්නේ. ඉස්සර දේශපාලන වැඩසටහනක් බලන්න ආසයි. පොඩ්ඩක් හරි වැදගත් දෙයක් කියැවෙනවා. සමහර වැඩසටහන්වලට දැන් ආරාධිතයා එනවා, අන්තිමට ආරාධිතයට වඩා කතා කරන්නේ නිවේදකයා/යෝ. අර එන මිනිහා බුකවං බලං ඉන්නවා. ඉඩක් හම්බුණොත් වචන කීපයක් කියනවා. ඒකත් වාක්‍යය ඉවර කරන්න කලින් නිවේදකයා හෝ නිවේදක රැළ බුරාගෙන පනිනවා! අන්තිමට ගෙන්නපු මිනිහගේ කාලයත් අපරාදේ, ප්‍රේක්ෂකයාගේ කාලයත් අපරාදේ. නාලිකාව නං දැන්වීම් ටික ගාණට මිම්මට දුවවලා ආදායම තිර කරගන්නවා. 

රියැලිටි වැඩසටහන්. රියැලිටි ආව කාලේ පට්ට. දැන් ඒකේ කාලේ ඉවරයි. ඒක තමයි මගේ මතය. දැන් අර වංශේ කබල් ගාන්න ඕන නිසා අදියර නවය දහය කිය කියා ඇදගෙන යනවා. මාත් රියැලිටි බලන්න පුරුදු වෙලා හිටියා. හැබැයි පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත මට මතක හිටින දක්ෂයෙක් දැකලා නෑ. ඒ වෙලාවට හොඳයි.
ඒ ඇරුණම ඉතින් ප්‍රාසාංගිකත්වය මිසක් ගායන දක්ෂතාවය දැන් රියැලිටිවල මැනෙනවාද කියන සාධාරණ සැකය මට තියෙනවා. 

මාධ්‍යවලින් මවන ප්‍රහසන එන්න එන්නම කෘත්‍රිම වීගෙන එනවා. පිරිමි ගැහැණුන්ට අඳිනවා, ගැහැණු පිරිමින්ට අඳිනවා. හිනා නොයන මෙලෝ රහක් නැති විහිළු දිහා ප්‍රේක්ෂකයෝ ඔහේ බලං ඉන්නවා. ඔච්චර නටන්නේ දඟලන්නේ නැතුව අපේ ගෙදර මිනිස්සුන්ව හරි හිනැස්සවීමට මට ඇති හැකියාව ගැන ඒ වගේ අවස්ථාවල මම නිහතමානීව ආඩම්බර වෙනවා 😂

තව අලුත් සෙල්ලමක් යනවා මොකද්ද මන්දා නාලිකාවක. පුංචි එවුන් දෙමව්පියන්ව ඉස්සරහ ඉන්ඳගෙන කතා කරවනවා. උං කියන එව්වද නැත්නං පිටපත ද මන්දා දෙපැත්ත කැපෙන කතාත් කියවෙනවා! අමු මෝඩ ගොබ්බ තකතීරු කතන්දර පොඩි උං ලව්වා ගිරව් වගේ කියවනවා. දෙමව්පියෝ හරි වීරකමක් වගේ හිකි හිකි ගගා හිනාවෙමින් ඒ දිහා බලං ඉන්නවා. මිනිස්සු ප්‍රසිද්ධිය වෙනුවෙන් කොයි තරම් විකාර අන්තවලට යනවද කියලා ලැජ්ජාවක් දැනිලා මාව ඇකිලිලා යනවා! 

ඒ ඇරෙන්න ප්‍රධාන වශයෙන් මාධ්‍ය නාලිකා බෙදාහරින තොරතුරුවල නිරවද්‍යතාව සහ සත්‍ය අසත්‍යතාව ගැන මට විවාදාත්මක මත තියෙනවා. කිසිම මාධ්‍ය නාලිකාවක් (රූපවාහිනී සහ ගුවන් විදුලි) සමබර නෑ. ඒ හැමෝම ව්‍යාපාර විදිහට තමන්ගේ මතය, දේශපාලනය අනුව තමයි මාධ්‍ය හසුරුවන්නේ. ඒක දිලිත් ජයවීරට විතරක් අදාළ නෑ. මහාරාජා, රෙනෝ, ශාන් පවා එහෙම තමයි. දැන් ඒක බරපතලයි. 
මම අප්‍රේල් 17 ලිව්ව කොටසක් මේ: "හීන සහ යථාර්ථය දෙකක්. ඔය දෙක අතර දෝලනය වෙමින් තමයි අපි පවතින්නේ.
සමහර රැළි ප්‍රායෝගික නෑ, හීනෙට බරයි යථාර්ථයට ටිකක් දුරයි. එහෙම රැළි උස්සලා දෙන අයම රැල්ල තමන්ට අවාසි වේගෙන එද්දි අනික් පැත්ත ගහනවා. ඒක ඒකාන්තයි." 
(https://tharuwehi.blogspot.com/2022/05/blog-post_83.html?m=0) 
මාධ්‍ය කාලෙන් කාලෙට එක එක රැළි උස්සලා දෙනවා. හැබැයි එයාලගේ ව්‍යාපාරයට, පැවැත්මට හෝ පසුබිම් දේශපාලනයට අනතුරක් වෙන තත්වයකට එද්දිම අනික් පැත්ත ගහනවා. නැත්නම් රැල්ල උස්සලා උස්සලා දීලා නොහිතුව විදිහට උස්සලා පොළොවේ ගහන්නත් පුළුවන්. 

ඔය සේරම කරලා පව් සමාකරගන්න CSR (Corporate Social Responsibility) වැඩසටහන් කරනවා. (බලන්න මාධ්‍ය හැසිරීම එක්ක බැලුවම ඒ වචන තුනම කොයිතරම් නම් විහිළුවක් ද කියලා!). පෝයදාට පන්සල් ඒකාලෝක කරනවා. දාන බෙදනවා. ගංවතුරක් නියගයක් ආවම දාන මාන, පරිත්‍යාග කරනවා. 
ඒ එක මොහොතකට. 
හැබැයි ඒ මොහොතට බෑ අර ඉතිරි දවස් 364දී පැය 24පුරා කරන හානිය පියවන්න! 
ලංකාව අද පත්වෙලා ඉන්න තත්වයට දේශපාලකයෝ තරමටම සියලු මාධ්‍ය වගකියන්න ඕන. හැම ප්‍රශ්නයක්ම නිර්මාණය කිරීමේ සිට පෝෂණය කිරීම දක්වා මාධ්‍යවල භූමිකාව සුලුපටු නැහැ. ඊටපසුත් මාධ්‍ය සදාචාරය, මාධ්‍ය වගකීම, වගේ වැල්බයිලා ගයා ගෙන එද්දි ප්‍රේක්ෂකයා අතුල් පහර නොදීමේ ආනිශංස තමයි මේ රටක් හැටියට ලෝකයක් ඉදිරියේ පීචං වෙමින් අපි අද විඳවන්නේ! ජනප්‍රිය වෙන්න, නාලිකාවේ දර්ශක ඉහළ යවාගන්න ඕනෑම කුණු මල්ලක් දිග හැරීමේ මාධ්‍ය භාවිතය නවත්ත ගන්න තිබ්බා ප්‍රේක්ෂක කකුලුවොත් කෙළින් ගියා නං! 

එහෙම දවසක්... හීනයක්! 

~✒️ Aash Weerasinghe

#SLmedia #JournalismIsDead #mediaincrisis #responsiblemediaconsumption #lka #damagebymedia