Showing posts with label අතීතකාමය. Show all posts
Showing posts with label අතීතකාමය. Show all posts

Sunday, June 30, 2024

පොල් සම්බෝලයෝ සහ පූස් කතා

අපේ අම්මා දවසට දෙවරක් නොවරදවා කරන වතාවත් තමයි අසල්වාසියේ ඉන්න බලු - පූස් රොත්තට කන්න දෙන එක. අම්මා නොකෑවත් ඒක නොවරදවාම කරන්න ඕන. අම්මට බැරි දවසක වෙන කෙනෙක් කරන්නම ඕන. ඒක දන්න හින්දා කන්න දෙන වෙලාව ළං වෙද්දි හරි උන්ට බඩගිනි ආවම හරි ගේට්ටුව ඉස්සරහ පෙළට වාඩිවෙලා ඉන්නවා. ඊයේ පෙරේදා දවසක මම එද්දි සුපුරුදු අලු කලු සුදු රොත්තෙ මෙන්න පොල්සම්බෝලයෙක් ඉන්නවා! සුදුයි තැඹිලියි චූටියි. ඒ එක්කම මගෙ පරණ මතකයක් උඩ මතුවෙච්ච නිසා එතන බිම ඇණ තියාගෙන වාඩිවෙලා මම මේ පොඩ්ඩා එක්ක සුරතල් කතාවක් දැම්මා. ඔළුව අතගානකල් හිටියට ඉන්නෙ දකුණු අත බාගෙට උස්සන් සොත්ති කරන් ගහන්න බලාගෙන, පොඩිකමට නෙවෙයි ආත්මාරක්ෂක සටන් කලාව! මගෙත් ආදරෙ ඉහවහා ගිහිල්ලා රැවුල් කොටේ ඇල්ලුණා කියලා ඇඟිල්ල හැපුවනෙ මේක අර යන්තම් මතුවෙලා ඒත් ඉඳිකටු උල් වගේ තියෙන දත්වලින්. මම බැනලා නැගිටලා ආවා. 😂

ඔය වගේම එක්කෙනෙක් හිටියා මට අවුරුදු 8දි 9දි විතර. ඒ පොල්සම්බෝලයගෙ නම කිටී, අනික් එක්කෙනා අළුයි හැබැයි එයා කුලෑටියි, සමාජ ආශ්‍රයට ප්‍රිය නෑ. කිටී එහෙම නෙවෙයි මගෙ එක්කම තමයි ඉතින් යාලුකම. උදේට නැගිටින්න පරක්කු වුණාම හොයාගෙන ඇවිත් ඇඳට පැනලා වටේම ඇවිදලා මූණ දිහා බලන් ටික වෙලාවක් බලන් ඉඳලා සුදු මේස් කකුලක් උස්සලා මූණට හිමින් තට්ටු කරනවා ඇහැරවන්න. ඒක හරි නොගියොත් හා කමක් නෑ කියලා තුරුල් කරන් ඉන්න කොට්ටෙටයි මටයි හේත්තුවෙලා වක ගැහිලා එයත් නිදාගන්නවා. මං යන යන තැන වලිගෙ කොඩිය වගේ උස්සන් ඇවිදිනවා. හරිම ලස්සනයිත් එක්ක. ඒ වුණාට මහ ඇට්ටරකමුත් කරනවා. මොකද්ද මංගල්ලෙකට උඩ පැනලා උඩවල්වල දුවලා නටලා අපේ ආත්තම්මා චිරාත් කාලයක් පරිස්සම් කරපු, බලන්න ලැජ්ජා හිතෙන ජාතියේ වීනස් ප්‍රතිමාවක් වට්ටලා වීනස්ගේ ගෙල සිඳුණානෙ! 
අන්න දවස!
ලෝක විනාස ඔක්කොම එක දවසෙ. කොච්චර සත්ව කරුණාව වුණත් එදා නම් කිටියව දුටු තැන ගහන්න එලෙව්වා ආත්තම්මා. කිටියා දුවගෙන ඇවිත් මං ලඟ හැංගුණාම මම මද්දුම බණ්ඩාර වගේ කිටියා වෙනුවෙන් බෙල්ල දුන්නා. මගෙ කැත ඔලු ගෙඩියෙන් සිඳුණු වීනස් හිස රිප්ලේස් කරන්න බැරි හින්දා මාත් හොඳට අහගත්තා. (ඊයා! රිප්ලේස් කරන්න පුලුවන් වුණත් ඒ වගේ ප්‍රතිමාවකට නම් මම මළත් බෙල්ල දෙන්නෙ නෑ 😂).
කොහොමහරි ඉතින් කිටියට ගෙදර තහනම් කලාපයක් වුණා. ඉලන්දාරි වයසත් එක්ක මිනිහා ඊටපස්සෙ රස්තියාදුවට හුරුවෙලා කොහෙද මැරිලා හිටියා.💔

ඔය කිටියගෙ කාලෙ පූස් පරම්පරාවක්ම හිටියා එහෙ. හැබැයි ශෙඩී එනකල් හිටිය ඔක්කොම බව්වො එක්ක සහජීවනයෙන් හිටියා, එක පිඟානෙ කෑම කෑවා. එතකොට හිටිය කලූ කියන බව්වගෙ හැම මුරේකම පැටව් මැරුණා. ඒ දුකෙන්ම එක සැරේක කලූ තව කලු පූස් පැටියෙක්ව දරුකමට හදාගෙනත් හිටියා. ඒකට ශෙඩී! තාප්ප උඩ යන උන්වත් පැනලා ඇදලා අරන් පොළොවෙ ගහලා 13ක් ද කොහෙද මැරුවා. පුදුම භීෂණයක් තිබ්බේ.

මට මතක විදියට පූස් පරම්පරාව පටන් ගත්තෙ මමියගෙන්. මමී කියන්නේ සුදු වැඩිපුර තිබ්බ කළු දුඹුරු තැඹිලි කලවම් වයිරම් තිබ්බ බැලලියෙක්. එයාගෙ ළමයින්ව උපන් හැටියෙම පිටිපස්සේ ගෙදර උදවිය එලියට දාලා. කපුටො උන්ව කෑවා. මමියා පුලුපුලුවන් හැටියට උස තාප්ප දිගේ බැලන්ස් කරන් ඉතුරු වෙච්ච අයව බේරන් අපේ ගෙදරට ආවා උදව් ඉල්ලගෙන. අපි භාරගත්තා. එක්කෙනෙක් හිටියා සුදුම සුදුයි, වලිගෙ නෑ කපුටො කඩන් ගිහින්. එයාගෙ නම 'හාවා'. වැඩත් හාවෙක් වගේ තමයි ඉතින්. කැරට් කන්න රුසියා.

මම හිතන්නෙ මමියාගෙ ස්වාමි පුරුෂයා වුණේ 'කොටියා'. කොටියා කිව්වෙ නමේ හැටියටම ලොකුවට හැදුණු හැඩිදැඩි පූස් පුරුෂයෙක්. බොහොම තේජාන්විතයි ගමන බිමන බැල්ම. ලොකු හතරැස් මූණක් තිබ්බ අළු කහ කළු ඔක්කොම මිශ්‍ර අමුතු පාටක් තිබ්බ පූස් රජෙක්. බජාර් එකේම ඇවිදලා ඇවිත් පිටිපස්සේ බැම්මක කොටියෙක් වගේ දිගාවෙලා අව්ව තැප්ප කොටියව දවසක් මම කකුලෙන් අතගාන්න ගිහින් කෑවා. හරිම උපශාන්ත ලීලාවෙන් බඩ අතගානකල් ඉඳලා එක සැරේම මූණෙන්වත් වෙනසක් නොපෙන්නා විශාල අත්වල හංගගත්ත නිය දික් කරලා මගෙ කකුලට ගැහුවනේ මේ කොටියා! කකුලේ මහපටැඟිල්ලේ නියපොත්ත ලඟ මස් දාරෙ පිපිරුවා. සෑහෙන්න කාලයක් ගියා හොඳවෙන්න. 
ඒ දවස්වල කලවැදි කරදරේ තිබ්බා දරුණුවටම. ඒක හින්දා ගොඩක් පූසොන්ව උන් මැරුවා. කොටියා හැමදාම ජයගත්තට එක දවසක් නම් ලොකු යුද්ධයක් ගිහින් කලවැද්දවත් බදාගෙන වහලෙන් බිමට වැටුණා. කොටියා මැරුණේ ඒකෙන්ද කියලා මට මතක නෑ. ඒත් කොටියගෙ මතකේ ඒ දවස්වලින් ඉවර වෙනවා. 

ඔය එලියෙන් වටෙන් පිටෙන් ඇවිත් අපේ බස්නායක වීරසිංහ මැතිණියගේ දන්සැලෙන් කාලා ගියාට ශෙඩීගෙන් පස්සේ ගෙදර සුරතලෙක් විදියට පූසෙක් හදන්න අපිට බැරිවුණා. 

හැබැයි මම ගමේ හිටිය කාලෙ කොහෙන්දෝ පූසෙක් ඇවිත් සෙට් වුණානෙ. කව්ද ඔබ කවුරුන්දෝ කියලා මං ඇහුවට කිව්වෙම නැතුව හෙන පුරුදුකාරියෙක් වගේ වාඩිවෙලා හිටිය මගෙ ඔඩොක්කුවට පැනලා ගුලිවෙලා සැප නින්දකුත් දැම්මා. එයා ඇහැරෙයි කියලා මාත් වාඩිවෙලා ඉන්නවා දැකලා තාත්ත බනින්න ඇරපු කට වහන් 'දැන් ඔය සෙල්ලම් මාත් එක්කත් කරන්න එයිද දන්නෙ නෑ මෙතන' කිව්වට ඊටපස්සෙ ටික දවසකින් මේකා නිදාගත්තේ තාත්තාගෙ පය පාමුල නෙට් එක උඩ! 😂 මං ආවට පස්සේ දරු පරම්පරාවලුත් හදාගෙන බට්ටිටයි කලූටයි සද්දේ දාගෙන ඉන්නවලු. 

සතෙක් වුණත් ආදර කරුණාවකට නේ ඇදෙන්නෙ. සතෙක්ට හරි එහෙම ආදර කරුණාවක් පාන්න තරම් පිනක්, කරුණාවන්තකමක්, සංවේදීකමක් මගෙ පවුලෙ මිනිස්සුන්ටයි මටයි ලැබීම ගැන නම් අනේක වාරයක් මේ විශ්වයට ස්තූතිවන්ත වෙනවා. 🙏


මේ ඉන්නෙ දන්සැල් පෝලිමේ ඉන්න අයගෙන තුන්දෙනෙක් 

මේ කිටියා. මගෙ ඔඩොක්කුවට පැනලා නිදාගත්ත පළවෙනි දවස. 
සැප නින්ද
මෙව්වා මගේ! ඇයි මොකද? 
~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #nostalgia


Saturday, June 22, 2024

බයිසිකල් කතා

මොනවා හිතාගෙනද මන්දා අපේ අම්මයි තාත්තයි තීරණය කරලා තිබ්බා මගේ හත්වෙනි උපන්දිනේට බයිසිකලයක් අරන් දෙන්න, ඔය පහළ පින්තූරෙ තියෙනවා වගේ චොපර් එකක් හැබැයි රතුයි සුදුයි. (ඔව්වා තමා ඉතින් අපට තිබ්බ චොපර්, ඇත්ත එව්වා ගන්ට තරම් ධනවත්තු නෙවෙයි නෙව). ඒකේ ඇත්ත පින්තූරයක් නැති එක ගැන නම් දැන් පොඩි දුකක් දැනුණා. 

පුංචි කාලේ තිබ්බා ට්‍රයිසිකල් හෙවත් රෝද තුනේ සයිකල්. හැමෝටම වගේ තියෙන්න ඇති ජාතියේ සුදු-කහ-රතු, පස්ස තියාගන්නවත් බැරිතරම් පොඩි සීට් එකක් තිබ්බ චූටි යකඩ ට්‍රයිසිකලයක් ඇරුණම මට තිබ්බා තෑගි ලැබිච්ච ලා නිල් පාට ප්ලාස්ටික් බංගසාල ට්‍රයිසිකලයක්. ඒක ට්‍රයිසිකලයක් කිව්වට බිම්මට්ටමට විතර පාත, විසාල රෝද තිබ්බ, රයිඩර්ට අමතරව තව පොඩි එකෙක් දෙකෙක්ට හිටගෙන හරි වාඩිවෙලා හරි යන්න පුළුවන් තරම් ඉඩ තියෙන, තද නිල් පාට පැඩ්ල්ස් දෙකක් ඉස්සරහ රෝදෙට හයි කරපු හරියට 'පියාජියෝ අපේ'😂 (ඒප් - Ape) එකක් වගේ 'බර බර දක බක' ගාලා සද්දෙට යන එකක්. මගේ දෙමව්පියො සහ සෙසු වැඩිහිටියො ඒ සද්දෙ කොහොම දරාගත්තද කියලා මම මේ කල්පනා කරන්නෙ මොකද මං වුණා නම් පදින එකා එක්කම ඒ වාහනේ ගහනවා කැලේ! 😂
ආ තව තිබ්බා කහ-කලු-දුඹුරු මිශ්‍ර පාට, ලස්සන වලිගෙකුයි කේශ කලාපෙකුයි තිබ්බ, කකුල් වෙනුවට රෝද හතරක් තිබ්බ ප්ලාස්ටික් අශ්වයෙකුත්. ඒකේ හැන්ඩ්ල් එකට තිබ්බේ අශ්වයගේ කණ් හරහා ගිය රතු පාට දණ්ඩක්! 

ඉතින් කකුල් බිම ගෑවෙනකල්, මකුළුවෙක් වගේ අඬුපඬු අකුලන් ඔය ට්‍රයිසිකල් කෙරුවාවයි අශ්ව කෙරුවාවයි කරන දරුවා දැක්ක දුකටද මන්දා අප්පා, මාව රෝද තුනෙන් දෙකට upgrade කරන්න කැබිනට් තීරණයක් අරගන්න ඇති. මේක ලියන්න පටන් ගනිද්දි අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම ඇහුවා 'ඇයි මට චොපර් එකක් අරන් දුන්නේ?' කියලා 😂 මගේ ඔහොම random උඩක්බිමක් නැති අහසින් පාත්වෙන ප්‍රශ්න පුරුදු හින්දද කොහෙද දෙන්නම හිනාවුණා, තාත්තා ටිකක් කල්පනා කරල බලලා බොහොම බරපතල කාරණාවක් වගේ කිව්වා මතක නෑනෙ කියලා. අම්මා නම් බයවුණා මම දැන් ඔය චොපර් එකේ නටඹුන් හොයන්න පටන් ගනී කියලා ඒක කෝ ඒකට මොකද කළේ අහපුවම!😂 
අම්මා: (හෙන කල්පනාවෙන් අසරණ හිනාවක් එක්ක) 'ආ ඇයි අපි ඊටපස්සේ ඒක ළමයෙක්ට දුන්නනෙ'
මම: 'කොයි ළමයද' 
අම්මා: ' අර xxගෙ ළමයෙක්ටද කොහෙද මටත් මතක නෑනෙ'

චොපර් එක දකින්න ආසාවක් ආවට කාටවත් දුන්න එක ගැන දුකක් කණගාටුවක් නෑ මිත්‍රවරුනි.

ඉතින්, දැන් මේ රෝද දෙකේ චොපර් එක පදින එක තමා වැඩේ වුණේ! මොකද තනියා ඒ කාලේ ඉඳන්ම රෝද දෙකට කැමති නෑ. බැලන්ස් කරගන්න බෑ 🫣🤭 ඔය චොපර් එකේ පිටිපස්ස රෝදෙට තව පොඩි රෝද දෙකක් තියෙනවා සපෝට් එකට හයි කරන්න පුළුවන්. ඒවා දාගෙන මුල් කාලෙ ගියේ ඒත් දෙන්නෙක් දෙපැත්තෙන් යනවා වැටුණොත් අල්ලගන්න 😂 (පම්පෝරියක් නෙවෙයි මේක විලිලැජ්ජාවක්! 😂) අනෙක මම ඇටිකිත්තෙක් වගේ එතකොට, චොපර් එක ලොකුයි උසයි.
සීට් එක පවා adjust කරලා තිබ්බේ😏 

මේ මොන විකාරයක්ද කියලා තාත්තා උපදෙස් දුන්නා සපෝට් වීල්ස් අයින් කරන්න. මම ඉතින් වැටි වැටි දත කාගෙන සහයට ඩැනීලගෙ අධීක්ෂණය යටතේ දඟල දඟලා ඉඳලා පස්සේ ගෙවල් ලඟ යාලුවො කීපදෙනෙක් එක්කත් සෙට් වෙලා බයිසිකල් කෙරුවාව කළා 9 වසරට විතර වෙනකල්, ඒත් රෝද දෙක මට යාදුන්නේ නෑ පිංවතුනි.😂
එක සැරයක් ලේන් එකේ ඉඳන් හරස් පාරට 'බග්' ගාලා පැනලා ඩෙලිකාවකට දිවිපුදන්න ගියා. තව සැරයක් බෙන්ස් එකක් ඉස්සරහට ඇවිත් කාණුවක් පල්ලේ ලැග්ගා. ඊටපස්සේ යාලුවෙක්ගේ වත්තේ කොස්ගහක් පල්ලේ බව්බෙට්ස් ගොඩක් උඩ වැටෙන්න ගිහින් අනූනමයෙන් බේරිලා එහෙම රෝද දෙකේ චොපර් ජවනිකාව එහෙමම අවසාන වුණා.

ඉතින් කොහොමින් කොහොමහරි, මේ තාක් උපන්දින තෑගි අතර මගේ හොඳම මතකයක් ඔය චොපර් එක.❤️ ඒ කාලේ හැටියට ඕක ඇත්තම චොපර් එකකට වඩා වටිනවා (තාම) ළදරු හිතට 🤭❤️
(දැන් නම් අඩුමගාණේ 50,000-60,000ක්වත් වෙනවා ඇති බයිසිකල්).
ඇතිහැකි පමණින් එවන්වූ සැප සම්පත් ලබාදුන් දෙමව්පියන්ට නිවන් දකිනා ජාති දක්වා නිදුක් නිරෝගි සැප සම්පතින් කිසිදු අඩුවක් නොවේවා!😇

~Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #nostalgia #Nostalgic90s

Saturday, June 8, 2024

යාල්පානම් සහ තල්කිරි

කෝච්චියේ යාල්පානම් යන්න ලොකු උවමනාවකින් පෙලෙමින් ඉන්නකොට කෝච්චිගමන තාවකාලිකව අනුරාධපුරයට විතරක් සීමා කරලා කියලා දැක්කා. කමක් නෑ, කෝච්චියකට බෑ හිතුවක්කාර තනියෙක්ව නවත්තන්න! කටින් ට්‍රිප් යන සංගමය සහ ලාහෙට ගෙම්බො සංසිද්ධිය ඇති වුණ කොයියම්ම මොහොතක හරි බැක්පැක් එකක් දාගෙන යාල්පානම් කෝච්චියට තනියම ගොඩ නොවුණොත් මගේ නම 'තනියා' නෙවෙයි!😉

වැඩ සහ නොයෙකුත් වැඩ හින්දා යටපත් වෙලා තිබ්බ යාල්පානම් පිස්සුව ආයෙ මතුවුණේ පහුගිය දවසක මැරීන් ඩ්‍රයිව් එකේ තල් ගෙඩි ගොඩක් ගොඩ ගහගෙන විකුණනවා දැකලා. ඒක දැක්ක ගමන් නොස්ටැල්ජියාව ඉස්මුරුත්තාවට ඇවිල්ලා, කරවෙන තල්පැණි සුවඳකුයි සීතල තල්කිරි රහකුයි ගැන මතක ඇවිස්සිලා, තනියාගේ බකපණ්ඩිත යාල්පානම් solo travel මේනියාව වැඩිවුණා. 

90 දශකයේදී අපේ අම්මගේ අම්මයි තාත්තයි, ඒ කියන්නේ ආත්තම්මයි සීයයි කාලයක් පුත්තලමේ ජීවත් වුණා. සීයා දුම්‍ රිය දෙපාර්තුමේන්තුවෙන් පස්සෙ සිමෙන්ති සංස්ථාවේ (Puttalam cement➡️ දැන් INSEE) වැඩ කළ නිසා දුෂ්කර ඒත් සුන්දර කාලයක් ගෙවන්න දෙන්නා දෙමහල්ලො කොළඹ ජීවිතේ අතෑරලා ගිහින් එහේ නිල නිවාසෙක පදිංචි වුණා. රජයේ සේවකයෙක් හැටියට ස්ථාන මාරු, දුෂ්කර පළාත් අම්මලගෙ පවුලේ සමාජිකයන්ට හුරු නිසා වෙන්න ඇති අත්තම්මාත් සීයත් ඉක්මණින් පුත්තලමේ සිමෙන්ති ජීවිතේට හැඩගැහුණා. ඒ නිල නිවාස කලාප A, B, C, D කියලා දූවිලි පාරවල් එක්ක කාස්ටක කැලේ මැදක අක්කර කාල කාල වගේ වතු මැද තිබ්බ තනි තට්ටුවේ විසාල ගෙවල්. පිහිටි බිමට වඩා ටිකක් උස් කරලා හදාපු. (මේ මෑතකදි අම්මලා ගිහින් තිබුණා බලන්න, දැන් කැලේ වැවිලා ඒ දෙන්නට මතකත් නෑලු. පුනරුත්පත්තිය කියන තනියා ඒ ගමනට නාව අඩුව තදට දැනිලා තිබ්බා ඒ වෙලාවේ. හරි ආඩම්බරයි මට 😋) 
ඒ බොහොමයක් තැන්වල ගෙවල් කීපයක තමා මිනිස්සු හිටියේ.
අනෙක්වා පාලුවට ගිහින්. D කලාපෙට හැරෙන තැන වල් බිහිවෙච්ච මොන්ටිසෝරියක් තිබ්බා. අපි යන්නේ නිවාඩු කාලේ නිසා ඒක කවදාවත් වැඩ කරපු මොන්ටිසෝරියක්ද කියලා නම් දන්නෙ නෑ. හැබැයි හැමදාම අපි ඔංචිලි, සීසෝ පදින්න ගියේ නම් දණක් උස කැලේ පීරාගෙන. 
 
සමහරවිට තරුණ පවුල් ඒ දුෂ්කර ජීවිතේට බයවෙන්නත් ඇති. අනෙක ඒ කාලෙ කොටි එනවා ඒ මායිමටම, වල් අලිත් එමට, ඇයි සර්පයෝ!. වතුර ලැබෙන්නේ දවසට පැය කීපයයි. ඇතුළේ නානකාමර පාවිච්චිවෙනවත් අඩුයි. ගෙදරටම සම්බන්ධ කරලා පිටිපස්සෙ තිබ්බ නානකාමරේ සිමෙන්තියෙන් බැන්ඳ ලොකු වතුර ටැංකියක් තිබ්බා. සීමිතයි වගේම වතුර මාර කිවුල්. සබන් ගාලා වතුර යන්තම් ගෑවුණත් සබන් ටික කොහෙන් ගියාද නෑ! 😂 වැඩේ තියෙන්නේ ඔය එලියේ නානකාමර තිබ්බේ කුස්සිය සහ ගබඩා කාමර පහුකරලා දොරකින් එළියට විවෘත කොරිඩෝවකින් ගිහින් යන්න. ඒ හරියට රෑට අලිත් එනවලු! මායිම කැලේ! කොයිතරම්
දරුණු ජලජ ජීවියෙක්වුණත් මරණාසන්නෙකටවත් රෑ අටෙන් විතර පස්සේ මම ඒ පැත්තට යන්නෙ නෑ!
 ඉතින් නිවාඩුවට එහෙ ගියාම චූටි මම ඉන්නෙ කොයි වෙලාවේ අලියෙක්, ගෑස් මූණු දාගෙන හතර වටේ වෙඩි තියාගෙන කකුල් දෙකේ කොටි රංචුවක්(එහෙම පින්තූර දැකලා තිබ්බා පත්තරෙන්), පියාඹන දිවි මකුලුවෙක් එහෙම කඩාපාත් වෙලා මගෙ සරල සුන්දර දුෂ්කර ජිවිතේ විනාස කරයිද කියලා බයෙන්. රෑ වෙද්දී ගෙදර මායිම් කැලේ නරි හූ කියනවා, බල්ලෝ බුරාහැලෙද්දී වල් අලි වැට මායිම් ලඟ හක්කලං කරනවා. උදේ පටන් රෑ වෙනකල් ඒ කාලේ තරුණ කොල්ලන්ගේ විලාසිතා කොපි කරපු රිලව් මැදින් බෙදපු කොණ්ඩ අත් දෙකෙන් පීර පීරා දුන්නොත් අපිව උනත් උස්සන් යන ගාණට රිලා භීෂණයක් පතුරනවා, අහුවෙච්ච දේ උස්සන් දුවනවා. දඬුලේන්නු (ආත්තම්මට පේන්න බෑ) තැඹිලි ගෙඩියේ ඉඳන් හිල් කරලා බාගෙට කාලා බීලා දුවනවා, අපිටත් නෑ උන්ටත් නෑ. නයි පොළොංගු පිඹුරො..අපෝ හොඳ වෙලාවට මම දැක්කේ නෑ.🫣

ඉතින් ඔය කාලේ අපේ ආත්තම්මා ඇතිකරගෙන තිබූ නානාප්‍රකාර මිත්‍ර සබඳතා සහ දුෂ්කර සේවයේ අත්දැකීම් එක්ක තුන්වෙනි පරම්පරාවේ අපට නානාප්‍රකාර කෑම ජාති හම්බෙන්න පටන් ගත්තා, පලු, මොර, හිඹුටු.. ඒ ඔක්කොම අස්සේ තල්!!
දම් පාට වටකුරු තල්ගෙඩි ගෙනල්ලා ආත්තම්මා හදනවා තල්කිරි! 
කොහොමත් දිවුල්කිරිවලට එහෙම පෙරේත මම ආත්තම්මා දුන්නා නන් වහ වුණත් බොන හරිම හොඳ ආදර මිණිපිරියක්, අම්මලාගේ පැත්තේ අපේ පරම්පරාවෙ පළවෙනි කෙල්ල හැටියට. 
ඉතින් ඔය වටකුරු තල්ගෙඩිය හෝදලා ගෑස් ලිප උඩ තියලා රත් කරනකොට ඒ ගනකම් පොත්ත ටික ටික පුපුරනවා, එතකොට ඒ පිටපොත්ත මුදුනෙ ඉඳන් තීරු තීරු ගලවන්න පුළුවන්. එහෙම ගැලෙව්වම තමයි අර දිලිසෙන රන්වන් කහ පාට, කෙඳි සහිත මදය මතුවෙන්නේ. පිටපොත්ත රත්වෙලා පුපුරන වෙලාව වෙද්දි කර පැණි සුවඳක් එනවා, අම්මේහ්!🤤🤤🤤 මේ දැනුත් දැනෙනවා වගේ. ඊටපස්සේ අර කහපාට මදය පොල්කිරිවල මිරිකලා දිවුල්කිරි හදන විදියටමයි තල්කිරි හදන්නේ. (මීට වඩා වෙනස් ක්‍රම ඇති, ආත්තම්මා හැදුවේ මෙහෙම). උකු කහපාට තල්කිරි කූල් කරලා බිව්වම ආයිත් ඉතින් රහ!! 👌🤤❤️

ඉන්පස්සේ අවුරුදු ගාණක්ම මතක් කරලා කෙළ ගිල්ලට තල්කිරි බොන්න ලැබිලා නෑ. හැබැයි මට ඕන කවුරුහරි හදා දීපු මගේ කියලා නොදැනෙන කෘත්‍රිම හැඟීමකින් තල්කිරි බොන්න නෙවෙයි. අර සුවඳ රස ඔක්කොම එක්ක නොස්ටැල්ජිමය තල්කිරි එකක් බොන්න. 
දැන් මට ඔය බකපණ්ඩිතකම් දෙක කරනකල් නින්ද යන්නෙ නෑ ඉතින්! 🫢

~ Aash Weerasinghe 

#AW #thaniya #medusa #medusasjournal #lka #nostalgia

Thursday, March 30, 2023

ලොකු මාමා

පුංචිම කාලේ මං ලොකු මාමාට බයයි. එතකොට ඇටිකිත්තෙක් සයිස් මට අඩි හයක් උස, කලු, මූණ පුරා නේවි කට් රැවුල වවාගත්ත ලොකු මාමා පෙනුණෙ යෝධයෙක් වගේ. සාමාන්‍යයෙන් අපි එක්ක වැඩි කතාබහක් නැතිවුණාට ලොකු මාමා සීයා එක්ක කරපු සංවාදවල කව්රු කාව පරද්දනවද කියලා හිතාගන්න බැරිවිදිහෙ සමානකම් තිබ්බා. සීයාගෙ උසයි බුද්ධිමත්කමයි ආත්තම්මගේ හිනාවයි උරුම වෙලා තිබ්බා කියල මට හිතුණට ආත්තම්මා බොහොම ආඩම්බරෙන් කිව්වෙ ලොකු මාමා ආත්තම්මලගෙ ආරෙට ගිහින් කියලා. පහුකලෙක මොන දුරස්වීම් තිබ්බත් සීයටයි ආත්තම්මටයි තමන්ගෙ පළවෙනි දරුවා කියන ආදරේ කවදාවත් නැතිවුණේ නෑ කියලා තමා මේ පැත්තෙ ඉඳන් ඒ දිහා බලන් හිටිය මට දැනුණේ. ඒ ඈත්වීම් ආත්තම්මට වඩා දැනුණේ ඒ ගැන නිහඬව හිටිය සීයාට වෙන්නැති කියලත් හිතිච්ච වෙලාවල් තියෙනවා. 

ලොකු මාමා එක්ක මං එකඟ නොවිච්ච තැන් ඕනෑතරම් තිබුණා. නීතියට වැඩ කරන ගතිය, බුද්ධිමත්කම සහ ඒ පෞර්ෂයය ගත්තම මං අගය කරන පුරුෂ පෞර්ෂයයන් අතලොස්ස අතරින් ලොකු මාමත් ඉහළින්ම හිටියා. හැබැයි සමහර අවස්ථාවල එච්චර බුද්ධිමත් මනුස්සයෙක්ට පවා සමහර දේ දිහා පටු කෝණවලින් බලන්න පුළුවන් කියලත් මං ඉගෙන ගත්තා. රලු යෝධයෙක් වගේ පේන මනුස්සයෙක් ඇතුලෙත් නොහිතන දේවල්වලට රිදවෙන සංවේදී මනුස්සයෙක් ඉන්න බවත් මං දැනගත්තෙ ලොකු මාමගෙන්. ඒත් ඒ ගැන කතා කරන්න අපිට කවදාවත් අවස්ථාවක් ලැබුණේ නෑ. 

අසනීපයෙන් ඉන්න බව ආරංචිවුණත් මහා අහංකාර මනුස්සයෙක් හින්දා කව්රුවත් තමන්ව බලන්න එනවට එයා අකමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. ඒ අකමැත්ත නොතකා එයාව බලන්න ගිය පවුලේ අයට පවා ඇයි ආවේ කියලා අහන්න මොන ලෙඩ ඇඳක හිටියත් ඒ අහංකාර කට ඇරුණා කියලා පස්සෙ ආරංචිවුණාම තරහ ගන්නවා වෙනුවට මට හිනාගියා. ඒ ලොකු මාමා කව්ද කියලා යම්තාක් දුරකට ඈත ඉන්න මට තේරුම් ගන්න පුළුවන් වෙච්ච හින්දා වෙන්න ඇති. ඒ වගේ ස්වාධීනත්වය අගය කරන, අම්මා තාත්තට පවා දෙවැනි වෙන්න අකමැති, කිසිකෙනෙකුට ඔලුව නවන්න අකමැති අහංකාර මිනිහෙක් තමන් ලෙඩකට දුකකට පැරදිලා ඉන්නවා කිසිකෙනෙකුට පෙන්නන්නවත් අනුකම්පාව ලබන්නවත් තියෙන අකමැත්ත මට තේරෙනවා. 

ඒත් ලොකු මාමගෙ මරණයේ ආරංචිය මං දැනගත්තේ දවස් ගාණක් පහුවෙලා. මට දැනෙන්නේ පුංචි කාලේ ඉඳන් දැක්ක මහ විශාල රූස්ස ගහක් එක සැරේම අතුරුදහන් වෙලා වගේ මහ හිස්කමක්. 

ගිහින් එන්න ලොකු මාමේ. මේ ආත්මයේ වගේම බුද්ධිමත්ව, හොඳ පෞර්ෂයයක් ඇතිව යහපත් නිදුක් නිරෝගී මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න. මේ ආත්මයේ මග හැරුණු ඇතැම් දේත් ධර්මයත් අවබෝධ කරගෙන අමා මහ නිවනට මග හදාගන්න. සංසාරේ කොතැන හරි හන්දියක මුණගැහුණොත් යහපත් පිරිවර ලබාගෙන, හොඳින් ඉන්නවා දකින්න ලැබෙන්න ඕන. 

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Saturday, March 4, 2023

නොස්ටැල්ජික් ඉත්තෑකූරූ

ඉස්සර අපේ ආත්තම්මලගෙ ගෙදර අල්මාරි ලාච්චු, කබඩ් අහුමුලු කියන්නේ සම්පත් ආකර. මට හොයන්න දහසක් සුකුරුත්තං තියෙනවා, කරන්න දහසක් දේවල් තියෙනවා. බැරිම වුණොත් මාල අමුණනන්න තරම් එක එක ජාතියේ ලස්සන බොත්තම් හරි තියෙනවා.

එහෙම දවසක සුපුරුදු සම්පත් ගවේෂණය කරද්දී මිත්‍රෝරුනි මට හම්බුණා ඉත්තෑකූරූ! 
එකක් දෙකක් නෙවෙයි, තොගයක්! 
එයින් කූරක් අරං ගිහින් වැඩක හිටි ආත්තම්මගෙන් ඇහුවම ඉත්තෑකූරූ කියලා මිසක් යටගිය දවස බරණැස් නුවර කතන්දරේ එවෙලේ අහන්න ලැබුණේ නෑ.

ඉත්තෑකූරක් හරි නිකං තියෙනවා බලන්න බැරි ඉත්තෑවෙක් හිටියා ඒ දවස්වල මට😂
ඉතින් මං මේ ඉත්තෑකූරූවලින් කරන්න ව්‍යාපෘතියක් ගැන හිතමින් චොක්ලට් එකකටමත් වග කිව්වා. ආයෙත් වටයක් ගහලා බලනකොට මෙන්න ඊට එහා ලාච්චුවක තියෙනවා ලස්සන පාට ලොකු ඉටිපන්දම් වගයක්. හරි, ඒ මහ දවාලේ කැටයම් ශිල්පයේ කෙල පැමිණි අපේ මුතුන් මිත්තන් ආවේශවීම නිසා මම තීරණය කළා ඊළග ව්‍යාපෘතිය ඉත්තෑ කූරුවලින් ඉටිපන්දම් කැටයම් කිරීම කියලා. 

දැන් හොඳට බරසාර මූණකින් සාලේ මැද්දේ වාඩිවෙලා මම කැටයම් වැඩේ පටන් ගත්තා. ඒත් වැඩිවෙලාවක් යන්න කලින් එදා ටොරින්ටන් චතුරස්‍රයේ තැඹිලි කරත්තකාරයෙක් විදිහට ආපු මරාගෙන මැරෙන කොටියෙක් බෝම්බයක් පුපුරුවගෙන කියලා ඔන්න ටීවි එකේ ඒ මගුල පෙන්නන්න ගත්තා කියන්නකො. ලංකාදීපේ මුල්පිටුවේ බාබුගේ ඔලු කෑල්ල දැක්ක දවසේ ඉඳන් මගෙ මිනී ඔලු භීතිකාව වැඩිවෙලා තිබ්බේ. භීතිකාව පටන් ගත්තේ නං භීෂණ කාලේ. ඉතින් අච්චර වැදගත් ව්‍යාපෘතියක හිටිය මං දඩස් ගාලා ඇස් වහගත්තත් ඒ වෙද්දීත් තැඹිලි කරත්ත කාරයාගේ කකුල් කෑල්ලක් දැකලා ඉවරයි! අතේ තිබ්බ ඉත්තෑකූර ඉටිපන්දම අස්සෙන් ලිස්සලා ගියා, ඇඟිල්ලක ඇනුණා, ලේ පැන්නා..
නෑ නෑ.. නින්දට වැටුණේ නෑ..
ඒ සැණින් චොක්ලට් පාටට වමනෙ ගියා.!
මං දන්නෑ ඒක ඉත්තෑකූරුවල විසක්ද නැත්නම් කොටියගෙ මස්කෑලි දැක්ක අපුලද කියලා.. ඉතින් එතැනින් ව්‍යාපෘතිය ඉවර වුණා..

ඉත්තෑවා කියන්නෙ අහිංසක සතෙක් වෙන්නැති. හැබැයි උන් කොළඹත් ඉන්නවා! කටු ගොඩ විහිදං  මහ පාන්දරවල අවතාර වගේ ඇවිද ඇවිද වලවල් හාරනවා, පොල් තැඹිලි එහෙම බිමක තිබ්බොත් ඒවත් හිල් කරනවා.

ඉත්තෑ කතන්දරේ මතක් වුණේ මේ දවස්වල මාකයියට මොකෙද්දෝ ඉත්තෑවෙක් වැහිලා දිගට හරහට ඉත්තෑ වීඩියෝ, පොස්ට් ෆේස්බුක් ෆීඩ් එකට එන නිසා.
කාටහරි පුළුවන් නං එයාව ඒ ඉත්තෑවගෙන් ගලවගන්න, ප්ලීස්🙏🤪

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Wednesday, December 14, 2022

සන්ග්ලාස් අන්කල්

දැන් ඔය හයිලෙවල් පාරේ ඉඳන් රේමන්ඩ් පාරට හැරෙන තැන තුන්හුලස් ඉඩම ඉස්සර බන්දු අයියගෙ (අපිට බන්දු අන්කල්ගෙ) ගරාජ් එක. මේ ගැන බන්දු අන්කල්ගෙ මරණය කාලෙ මම ලියලා ඇති බ්ලොග් එකේ.

( https://tharuwehi.blogspot.com/2014/10/blog-post.html?m=0 )

බන්දු අයියගෙ ගරාජ් එක ඒ කාලේ කලා තිප්පොලක්. සෑහෙන්න කලාකාරයො ආගිය, විශේෂ වැඩකට නොවුණත් යමින් එමින් ගොඩවැදිලා ගිය තැනක්. අපේ තාත්තත් කලාකාරයෙක් නොවුණට ඒ හිතවත් පිරිසෙ කෙනෙක් වෙච්චි නිසා පැය ගණන් (වැඩකට නැතුවත්) ඔතන කට්ට කන්න සිද්ධවෙච්ච අවස්ථා අපිට තියෙනවා.

ඕක ඉස්සරහම තිබ්බේ ඇල්බට් අන්කල්ගෙ කඩේ. පෞද්ගලික ප්‍රවාහනයේ ඉස්කෝලෙ ගිහින් එද්දී සමහර වෙලාවට දවල් ඉස්කෝලෙ ඇරිලා රෑ වෙනකල් කන්න කටු සෙට්වෙන අවස්ථාත් තිබ්බා, අපේ පියාණන්ගේ වැඩ රාජකාරි අනුව. එහෙම දවසක පාන් කියාගන්න බැරිව හෙම්බත්වෙලා හිටිය මට ගරාජ් එක පැත්තට වාහනෙ හරවද්දි සංසාරයෙ දුක්ඛිතබව පැහැදිලි වේගෙන වගේ ආවා. ඒ බව නොදත් තාත්තා මොකද්දෝ ලොරි දුනු කතාවක් බලවන්න පටන් ගනිද්දී මට ඕනෑ වුණා තනියම ඇල්බට් අන්කල්ගෙ කඩේට පාර මාරුවෙලා මොනවහරි ගන්න. සාමාන්‍යයෙන් එහෙම තනියම යවන්නෙම නැතිවුණත් එවෙලේ සන්ග්ලාස් අන්කල් එක්ක කතාවකට සෙට්වෙලා හිටි තාත්තා අවසර දුන්නා එතුමාගේ අධීක්ෂණය යටතේ පාර පැනලා ගන්න දෙයක් අරං ඉක්මණට එන්න. අන්කල් එක්ක කතාකරමින් කඩේ පැත්තට මූණලාගෙන තාත්තා බලං ඉන්නවා මගේ ගමන මොනිටර් කරමින්. අවුරුදු 9ක් හෝ උපරිම 10ක් වෙන්න ඇති මට ඒ වෙද්දී. අර පටුපාර තනියම තරණය කිරීමත් නිදහසක් හැටියට ගත්තු මම මිටින් හැරි කුරුල්ලෙක් වගේ පියාඹලා ගිහින් චොක්ලට් එකක් ගත්තා, ඒ තටුවලින්ම හැරෙන තැපෑලෙන් ආපස්සට ගරාජ් එකට දුවන්න හැරුණා.

මහ සද්දෙන් බ්‍රේක් පාරක් වැදුණා!
පාරට පැනපු විදිහටම වටපිට නොබලා මම සිටි තැනටම දිව්වා!
ඒ සැණින් විශාල බැණුම් සද්දයක් සමග මගේ කණක් තදින් ආපස්සට කැරකැවුණා!

ගත්තු චොක්ලට් එකත් අතේ මිටි කරං කඳුළු පුරෝගෙන මම දඬුවම් දුන් පියාණෝ පිටිපස්සෙම හැංගුණා!

ලැජ්ජාවනෙ! සන්ග්ලාස් අන්කල් විතරක්යැ දෙනෝදාහක් ඉස්සරහ මොන ලැජ්ජාවක් ද ඒ මට වුණේ. පොඩිහිටියන්ටත් ගෞරවනීය පුරවැසියන් විදිහට ජීවත්වීමට අයිතියක් ඇත, දඬුවම මානව හිමිකම් උල්ලංඝනයකි වගේ බෝඩ් උස්සන ඇත්තෝ ඒ කාලෙ නොහිටි නිසා මම පත්වූ අපහසුතාවය දැක්ක සන්ග්ලාස් අන්කල් හරිම කාරුණිකව ඔලුව අතගාලා මගෙ අතින් අල්ලන් හැංගිලා හිටිය පිය සෙවණැල්ලෙන් මෑත් කරලා කිව්වා "තාත්තා කලබලවුණානේ පුතේ ඔයා අර වාහනෙට අහුවෙනවනෙ තව ඩිංගෙන්. ඒකනේ එයා බනින්නෙ. හා දැන් එන්නකො අපි ඕක අමතක කරමු"

ඒ සන්ග්ලාස් අන්කල් තමයි නිහාල් නෙල්සන්!
නිහාල් අන්කල් හරිම නිරහංකාර මනුස්සයෙක් කියලා පුංචි එකෙක් හැටියට මට තේරුම් ගිය අවස්ථාව තමයි ඒක.

මම ඒ දවස්වල රූකාන්ත ෆෑන් කෙනෙක්. රූකගේ ඇක්ෂන් දාලා සිංදු කිව්වට නිහාල් අන්කල්ගෙ ඇක්ෂන් දාලා එයාගෙ සිංදු නොකිව්ව ගැන අද මට කණගාටුවක් දැනෙනවා.

අන්කල් ගිය තැනක ලස්සනට පිපුණු වනමල්ගල් අතර සුන්දර කාලයක් ගෙවාවි.  එහෙ ඉඳන් ගයන සිංදුවක රහ බිංදුවක් මේ ලෝකේ පැත්තටත් එවන්න.
සුබගමන් සන්ග්ලාස් අන්කල්💔💐

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #medusa #lka

Tuesday, December 13, 2022

හීතල ගිනිකඳු

ඉස්සර අපේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට ගේට්ටුවෙන් එලියේ, බයිසිකලේක පිටිපස්සෙ බැඳගත්ත ලී පෙට්ටියක් ඇතුලේ චූටි චූටි සිලි බෑග්වල දාගත්තු අමු දිවුල් සම්බෝල, දං, ඇඹරල්ලා අච්චාරු, වෙරළු අච්චාරු, අඹ අච්චාරු, අන්නාසි අච්චාරු (කියවගෙන යද්දිත් කෙළ උනනවනෙ?) තියං විකුණන වයසක අන්කල් කෙනෙක් හිටියා. මාව පෞද්ගලික ප්‍රවාහනයෙන් පාසැල් ප්‍රවාහනයට අතෑරිය කතාව කලින් කියලා තියෙනවනෙ. මොන ප්‍රවාහනේ ගියත් කඩචෝරු නැති දවසක් නෑ. එතකොට හතර වසරෙ හිටපු මායි මගෙ යාලුවයිත් ඔය අච්චාරු රැල්ලට නිතරඟයෙන්ම සෙට්වෙලා හිටියෙ. අමු දිවුල් එහෙම කඩාගන්න බැරි නිසා ඉස්කෝලෙ සෙකියුරිටි අන්කල් කෙනෙකුට හරි ඩ්‍රයිවර් අන්කල් කෙනෙකුට හරි තමයි උදව් කරන්න වුණේ. මට මතක විදියට රුපියලක් දෙකක් වගෙ ඔය කොයිකත් එතකොට.

ඉතින් ඔතන පෝලිමේ ඉඳලා ළමයි අස්සෙ පොරකාලා ගන්න කෑම අරන් වෑන් එකට දුවද්දී සාක්කුවල ඔබාගන්න නිසා ඒ දවස්වල යුනිෆෝම් එහෙම පුදුම ලස්සනයි, එක එක පාට කහට රටා එක්ක.

ඉස්කෝලෙ ඇතුලේ ඉන්න වෙලාවක නං ඉතින් කැන්ටිම තමයි එකම පිහිට. මොකෝ ඒ කාලේ මෝටර් බයිසිකල්වල කෑම ඇද්දෙ නැහැනෙ කොහෙටවත්. ඒත් ඉතින් එක එක කාලෙට එක එක රැලි ආවා. එක කාලෙකට හැලප රැල්ල. වැඩේ outsource කළත් කැන්ටිමේ අක්කා දන්නවා හැලප වැඩිපුරම කෑවෙ කව්ද කියලා😅 ඊළගට කාලයක් තිබ්බා එක පැත්තක් විතරක් කහ හරි රෝස හරි පාට කරපු චොක්ලට් එකක්. ඒ රැල්ලෙන් ගැලවෙන්න නං කාලයක් ගියා. පොරි රැල්ලට නං මං එච්චර සෙට්වුණේ නෑ මොකද එව්වා දැන් තියෙන සිනිඳු සුකොමල මැෂින් පොරි නෙවෙයි, තාච්චිවල (වෙන්නැති) බැදපු ගල්පොරි. රුපියලෙ පොඩි පොරි පැකට් එකක මල්වලට වඩා තිබ්බේ ගල් ගැහිච්ච ඇට! එව්වා හපලා දත් ටිකට අවැඩක් කරගන්න බෑ මොකද මම ඩෙන්ටල්-විරෝධී ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු! 😎

මේ අච්චාරු කතන්දරේ කොහෙටද කැරකෙන්නෙ කියලා නේද හිතන්නෙ?
:
:
:
ඔබ හරි!

හෙඩිමක් දැක්කා මත්ද්‍රව්‍ය සොයා පොලීසිය පාසැල් පීරයි! කියලා. ඒ දවස්වල පාසැලක් පීරුවා නං වැඩිපුරම හම්බෙන්න පුළුවන් සෙනෙහෙකොළ, නලුනිලියන්ගෙ පිංතූර, ඉඳලාහිටලා "තමන්ට විතරක් නලුවෙක්/නිලියෙක් වගේ පේන පින්තූර", ජංගම දුරකථන, පස්වෙනි මණ්ඩලේ පත්තර, මණ්ඩලෙන් ප්‍රතික්ෂේප වුණ චිත්‍රපට, සිගරට්, වැඩිමවුණොත් ජොයින්ට් එකක් වගේ සාපේක්ෂව අහිංසක දේවල්. ඒත් ඉතින් විනය මණ්ඩලවලින් හායි හූයි ගාලා උඩ පැනලා නටපු, අහුවුණෙත් මුලු පාසැල් ජීවිතේටම හණ ගහන විත්ති භාණ්‌ඩ ඔව්වා.

විහිලු පැත්තක තියලා දැන් තියෙන තත්ත්වය දිහා බැලුවොත් මතුපිටින් සාමාන්‍යයි වගේ පෙනුණට මේක හරිම භයානක තත්ත්වයක්. අර අච්චාරු කරත්තෙට පුරුදු වෙච්ච අවුරුදු නමයෙ මායි යාලුවයි වගේ පුංචි උන් ඔය දෙන මත් ටොපියකට පුරුදුවුණොත් කව්ද මොකද්ද ඒකට කරන්න පුළුවන්? මොනා කරන්නත් දැනගන්නෙ කොහොමද?
ජීවිතේම රස්සාවලට කැප කරපු දෙමව්පියෝ ඉන්න තැන්වල පැය 13කට වඩා අවධානයෙන් ගිලිහෙන ළමයි මොනවා කරනවා ඇතිද? කව්ද දන්නෙ?

අනෙක් අතට ඉස්සර නාඳුනන මිනිස්සු දෙන දේවල් කන්න බොන්න එපා, නාඳුනන මිනිස්සු කතා කළාට කොහෙවත් යන්න එපා කියලා අපේ පරම්පරාවලට කරපු දැනුවත්කම අදට වලංගුද?
නාඳුනන කෙනෙක් හරි දෙන්නෙ සල්ලිවලට. ඒක සාමාන්‍ය ගනුදෙනුවක් හැටියට ගන්නෙ නැතිවෙන්න පුළුවන් ද දියුණු පරම්පරාවක ළමයි?
නාඳුනන අය එක්ක යන්න එපා කිව්වම GPS tracking ගැන විශ්වාසය නොතියා ඉඳීවිද තාක්ෂණිකව දියුණු ළමයි (ජංගම දුරකථන තියෙන ළමයි, බාටා දෙක දාගෙන ඉස්කෝලෙ යන ළමයි නෙවෙයි)?
තාක්ෂණික දියුණුව වල්බූරු නිදහසක් කරගත්ත පරම්පරාවක එක්ටැම්ගෙවල්වල හිරකරලා තියන්න පුළුවන් උන්මාද චිත්‍රලා ඉඳීවිද?

ලංකාව අරාජික වෙච්ච පහුගිය කාලයක අත්‍යාවශ්‍ය දේ පවා නිසියාකාරව නොලැබුණ කාලයක මත්ද්‍රව්‍ය විතරක් නිසියාකාරව සැපයුණේ කොහොමද?
පෙට්‍රල්, ගෑස්, කිරිපිටි, බෙහෙත් නැව් පහුකරගෙන මත්කුඩු නැව් නොපෙනීම ආවේ කොහොමද?
අන්න සැපයුම්කරුවො ආදර්ශයට ගන්න වටින!

දේශපාලනික අවුල්ජාලා අස්සෙ අවධානය වෙන අතක තියෙද්දි පිළිකාවක් ඔඩුදුවලා කියලා පැහැදිලියි. එතකොට ඒ අවුලුයි මේ පිළිකාවයි අතර අවස්ථා සම්බන්ධයක් තියෙන්න බැරිද?
අරගලවලට පිදුරුවුණේ දේශපාලනය විතරක්ම වෙන්නත් බෑ නේද?

නීතිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීම එක අරමුණක් බව ඊටපස්සේ සිවිල් සමාජයේ හැසිරීම එක්ක පැහැදිලි වෙන්න ඕන, මධ්‍යස්ථව 2022 අවුරුද්ද විශ්ලේෂණය කරන කෙනෙකුට. නීතිය සහ සාමය අවභාවිතවීම ගැන කතා කළ කොටසක්ම නීතිය සහ සාමයට කළ සැලකීම ගිය සතියෙත් අපි දැක්කා පාන්දරක. සම්මත නීතිය අවභාවිතයට එරෙහිව වෙන්න ඕන කැලෑ නීතිය වැළඳගැනීමෙන් නෙවෙයි. කැලෑ නීතිය අවශ්‍ය නම් අපිට පුළුවන් ආයෙත් දශක ගාණක් ආපස්සට ගිහින් ඉන්න!

හැබැයි මෙන්න මේකත් කල්පනා කරලා බලන්න. (අකුදි කියන විදියට)
සිවිල් සමාජය කියන කරත්තයෙ හරකාට පෙට්‍රල් ගහන්න දේශපාලනික බළල් (සහ කොටි) අත්වලට අමතරව එකතුවෙන ව්‍යාපාරික බළල් (සහ කොටි) අත් කැලෑ නීතිය අතට ගන්න ඔබව පෙළඹුවාට ඔරිජිනල් න්‍යාය පත්‍රය ක්‍රියාත්මකවෙන්නෙ නිහඬව. දේශපාලනික බලය ඒකෙ එක කොටසක් විතරයි.
එතකොට ඒ න්‍යාය පත්‍රයේ තව හුගාක් දේවල් තවම මතුනොවී තියෙන්න පුළුවන්. බැරි නැහැ. පාසැල්වලින් මතුවෙන්නේ එක කොටසයි, අයිස් කන්දේ මුදුනේ තියෙන කොඩිය තාම අපි දකින්නේ.

කමක් නෑ. සමහර ඔස්තාද්ලා කියනවනෙ "ලංකාවට එහෙම පට්ට ගේම් දෙන්න මොකද ලංකාව මහ එකක්ද" වගේ කතා.
නෑ මහත්මයා, ලංකාව 'මහ එකක්' නෙවේ තමා, ඒත් ඒකෙ 'මහ ඔයාලා වගේ අය' ඉන්නවනෙ. ඒකයි!

ඉතින් ඔයාලා දිගටම ඔය ගේම ගහං යන්න. පේන අපි බලං ඉන්නං.
නොපෙනෙන අය.. අනේ මන්දා..!


ප. ලි.

මතක තියාගන්න තමන්ගෙ දරුවෙක් හරි සමීපතමයෙක් හරි මතට හුරුවුණාම ඔය පෙනී ඉන්න සර්ව සාධාරණත්වය, දේශපාලන මත, අර කඳවුර මේ කඳවුර, එයා එහෙම නෑ, ආගමික මත, අරක මේක සේරම හිස් බයිලා විතරක් වෙන බව!

අන්න එතකොට තමයි සිසිල ගිනිගන්න පටන්ගන්නෙ. 

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #drugaddiction #lka