Showing posts with label සිනමා කලා. Show all posts
Showing posts with label සිනමා කලා. Show all posts

Thursday, December 26, 2024

Do Patti (Two Cards) - 2024

(2024 දෙසැම්බර් 26 දින සිනමාවේදීන් සහ භාරත සිනමා රසික සංසදය සමූහයන්ට) 

අපිට පේන, ඇහෙන, දැනෙන හැමදේම ඇත්ත නෙවෙයි. ලෝකයට විනිශ්චය කරන්න බැරි සංකීර්ණ කතා ගොඩක් සමහර එළියට පේන එක සිද්ධියක් ඇතුළෙ හැංගිලා තියෙන්න පුළුවන්. මිනිස්සුන්ට පුළුවන් මායාවල් මවන්න, මායාවල් කරන්න, ඒ වගේම මායාවල් මවාගෙන ජීවත්වෙන්න, හොඳට හෝ නරකට.

'දෝ පත්ති' නිවුන් සහෝදරියො දෙන්නෙක්ගෙ කතාවක්. ඉන්දියාව කියන්නෙ විශාල වෛවර්ණ සංස්කෘතියක්. ඒක අස්සේ මනුස්ස ප්‍රශ්න හැටපන් කෝටියක් විතර තියෙනවා. ස්ත්‍රීමූලික සමාජීය ප්‍රශ්න ඒකෙන් එකක් හෝ කීපයක්. විශේෂයෙන්ම ඉන්දියානු සමාජයේ අගතියට පත් කාන්තාව කියන්නෙ අරාබි නිසොල්ලාසය වගේ කතා එකතුවක්. 

සුනිල් ආරියරත්න ලියලා නන්දා මාලිනි ගැයුවට 'ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය' නැති බව මිනිස්සුන්ට තේරෙන්න කාලයක් යන්න පුලුවන්. සමහර මිනිස්සුන්ට වැදගත් ආදරෙ, සමහර මිනිස්සුන්ට වැදගත් රාගය වෙන්න පුළුවන්. එකම හැඩේ නිවුන්නු දෙන්නෙක් අතරෙ වුණත් එහෙම බරපතල හැඟීම් වෙනසක් තියෙන්න පුළුවන්. ඔය දෙක අතර දෝලනය වෙලා ව්‍යාකූලත්වයක ඉන්න පුරුෂයෙක්ට හෝ ගැහැණියකට බැඳෙනවා කියන එකම මහා විශාල රතු කොඩියක්. සමහරවිට ඒක මානසික, වාචික හිංසනයක ඉඳලා ප්‍රචණ්ඩත්වයකින් ඉවරවෙන කතාවක් වෙන්න පුළුවන්. 
සෞම්‍ය සෞම්‍යයාට වෙන්නේ ඒකයි.
සෞම්‍ය වුණත් මුරණ්ඩු වෙන්න පුළුවන් ගෑණුන්ට, ආදරේදි. 
ආදරේ වරදවා කියවගෙන ඒක මත්තෙම නැහීගෙන එල්ලීගෙන සෞම්‍යා කාට මොකක් ඔප්පු කරන්න හදනවද කියලා ප්‍රේක්ෂකයාට හිතෙනවා. 
තමන්ට අනවශ්‍ය තැනක තරඟකාරියෙක් වෙලා ශෛලී මොන බම්බුවක් කරනවද කියලා හිතෙන්නත් පුළුවන්.
ජීවිතේ විඳලා විඳලා නටන්න තියෙන හැම මගුලම නැටුවට විවාහයේදී අධි-සංවර, ඔලුව පාත් කරගත්ත, බයපක්ෂපාතී, සුවච කීකරු දාස භාර්‍යාවක් සෙවීමේ ආසියාතික (මූලිකවම ඉන්දියානු) පුරුෂ මානසිකත්වය දෲව්ගෙන් දකින්න ලැබෙනවා. කමක් නෑ, එහෙම භාර්‍යාවක් එක්ක හරි ආදරෙන් සමගියෙන් ඉන්න පුළුවන් නම් පෙර වැරදි අමතක කරන්න පුළුවන් වෙයි. ඒත් ඒ දාස භාර්‍යාවට සිද්ධ වෙනවා නම් stress ball එකක් හරි punching bag එකක් හරි වෙන්න? කතා කරන්නවත් නිදහසක් නැතුව, තමන්ගේ ආසාවල් හීන හැඟීම් ඔක්කොම පෙට්ටගමක දාලා වහලා ඒ පෙට්ටගම උඩ වාඩිවෙලා දුපට්ටාවෙන් හිස් වහන් දුපට්ටා කොණක් විකමින් කඳුළු හල හල විඳවන්න? මෙතනින් එහා සංකීර්ණ මනුස්ස ගනුදෙනු ගැන කතා කරන්නවත් දෙයක් නෑනෙ. 

චිත්‍රපටය බොහොම සරලයි වගේ පෙනුණට අන්තිමට කියන කාරණා ටික වැදගත්. ලෝකෙම අවුරුදු 15ත් 49ත් අතර ගැහැණුන්ගෙන් තුනෙන් එකක් ආදර හෝ විවාහ සම්බන්ධතාවලදි ශාරීරික හෝ ලිංගික හිංසනයට ලක්වන බව (මානසික හිංසනය මීට වඩා සෑහෙන්න වැඩි ඇති) සහ බහුතර ගෘහස්ථ හිංසනයන් නීතිය හමුවට නොයන බව. ඒ වගේ හිංසාමය සම්බන්ධතාවල ඉඳලා එළියට එන්න තරම් නිර්භීත වෙන්නෙ අතලොස්සයි. දරුවන්, ආර්ථික ගැටළු, සමාජීය ගැටළු, ආරක්ෂාව, ලෝක ලැජ්ජාව වගේ කාරණා ගොඩක් එහෙම ගෑණුන්ව ඒ තැන්වලම හිර කරලා තියන්න හේතුවෙනවා. දික්කසාද ගැහැණු දිහා වපරැහින් බලන්නත් කාම ඇහෙන් බලන්නත් ලෝකයා දක්ෂයි. ඒ වගේම ගිනිපෙනෙලිවලින් බැට කෑමෙන් පස්සෙ කණාමැදිරියොන්ට බයවෙන එක ස්වභාවික බව දන්න ලෝකයාට පුළුවන් මායාවල් මවන්න. හැබැයි කොයිතරම් කාලෙකටද කියලා කියන්න අමාරුයි. සමහරවිට ලෝකය ආයෙමත් ඒ චක්‍රයේම යන්න පුලුවන්. මෙහෙම තැන්වලින්, පරපීඩක සම්බන්ධතා සහ විවාහයන්ගෙන් ගෑණු මුදවන්න දඟලනවට වඩා මනුෂ්‍ය සම්බන්ධතා වඩා විශ්වාසනීය, ආදරණීය සහ සුවපත් කරවන්න පියවර ගන්න එක හොඳයි. මොකද ලෝකෙ සංකීර්ණවෙලා තියෙන තරමට ගලවාගැනීමේ හමුදාවලුත් හති වැටෙන්න පුළුවන්.

චිත්‍රපටය ගැන කතා කලොත්, ඉන්ස්පෙක්ටර් විද්‍යා ජෝති වර්මාගෙ ප්‍රවිශ්ඨයේ ඉඳන්ම අධිරංගන ගතියක් දැනෙනවා. ක්‍රිටිගේ ද්විත්ව රංගනය හොඳටම හොඳයි. කතා සංකල්පය බොහොම හොඳයි. කතාව ගලායාම නම් තරමක් ඕලාරිකයි. දෲව්ගේ චරිතයට තව යමක් කළ හැකිව තිබ්බා කියාත් හිතෙනවා. 
අර කලින් කිව්වා වගේ ඉන්දියානු සමාජයේ අගතියට පත් ස්ත්‍රීය කියන සංකල්පය ඇතිපදම් පට්ට ගහන නිසාමදෝ මන්දා iMDb Score එක 6.5/10. Twist එකක් තියෙන නිසා මේ විෂය ගැන උනන්දු කෙනෙක්ට බැලුවට පාඩුවක් වෙන එකකුත් නෑ. 

ලෝකේ ආදරේ කියන්නෙ සීඝ්‍රයෙන් ක්ෂයවෙමින් යන හැඟීමක්. ඒ හැඟීම ඇතිවෙන තැනක් වෙලාවක් ගැන අනාවැකි කියන්න බෑ. ඉබේ ඇතිවෙලා ඉබේ ලැබෙන දෙයක් නම් බොහොම වාසනාවන්තයි. මුතු හදවනවා වගේ බලෙන් පැලකරලා හදාගන්න බැරි නිසා අගේ වැඩියි. හැබැයි, ඒක වරදවා කියවගෙන ජීවිතේම අපායක් කරගන්න අවශ්‍ය නෑ, ඒක පාර්ශ්වික ආදර වගේම ඒක පාර්ශ්වික විවාහත් වෙනුවෙන් කැපවුණා කියලා ලෝකයා කවදාවත් කාටවත් සම්මාන දෙන්නෙ නෑ, ඕනනම් අවස්ථාවක් බලලා ප්‍රයෝජන ගන්න උත්සහ කළොත් මිසක්. කවදහරි වටිනාකමක් ලැබෙයි කියලා හිතාගෙන එහෙම තැන්වල රැඳිලා විඳවන්න එපා. නිර්මාණය කොහොමවෙතත් ගන්න තියෙන පණිවිඩේ ඒකයි.

~ Aash Weerasinghe

විකල්ප මාධ්‍ය සහ කලාව (alternative media and art)

විකල්ප කලාව අතිශය දේශපාලනිකයි. සාම්ප්‍රදායික සහ ප්‍රධාන ධාරාවේ කලාවට වඩා ඔවුන්ගෙ නිර්මාණවල අදහස් සහ ක්‍රියාකාරකම් තීව්‍රතාව දැඩියි. පර්‍යේෂණාත්මක කලාව සහ ප්‍රකාශනය ගැන ඔවුන්ට සීමා නෑ, සමාජීය සාම්ප්‍රදායික රාමුවලට කොටු නොවී මුරණ්ඩු වෙන්න ඔවුන්ට පුළුවන්. ලෝකෙ බොහෝ තැන්වල, රටවල, ශිෂ්ටාචාරවල විකල්ප කලාව පෝෂණය වෙන්නෙ දේශපාලනයෙන්. (ඇත්තටම) පීඩිතයා තුළ පීඩකයාට එරෙහිව පුපුරා යන වෛරයක් මේ හැම විකල්ප කලා නිර්මාණෙකම දකින්න පුළුවන්. ඒක නිසා සමහරු මේක මාක්ස්වාදයට අනුගත කරනවා.

ලංකාවේ ගත්තොත් යම් කාලයක සුනිල් ආරියරත්න - නන්දා මාලිනී සුසංයෝගයෙන් බිහිවූ නිර්මාණ මේ විකල්ප ධාරාවෙ, එවකට පැවති දේශපාලනයට විරුද්ධ මතධාරී නිර්මාණ. ඊටකලින් එස් මහින්ද හිමි (ශ්‍රී ලාංකිකයෙකු නොවීත්) එකල පැවති අධිරාජ්‍යවාදී පාලනයට විරුද්ධව ලියූ කවි, නිදාසිටි සිංහලයා තුළ ජාතිමාමකත්වයක් ඇති කරන්න කළ නිර්මාණ. හැබැයි, විකල්ප කලාව කැපී පේන්න ප්‍රධානම හේතුවක් තමයි ප්‍රධාන ධාරාවේ සාම්ප්‍රදායික කලාව සහ මාධ්‍ය ඇතුළේ තියෙන ඇල්මැරුණු ගතිය. විශේෂ ලක්ෂණ නෑ, නිර්මාණාත්මක බව නිල්, ඒකාකාරීයි, ප්‍රේක්ෂකයාගෙ හෝ රසිකයාගෙ ඇඟේ ලේ රත්වෙන්නෙ නෑ. නමුත් විකල්ප ධාරාව එහෙම නෑ, ඒ කලාවෙ වේදිකා උඩ, නිර්මාණ තුළ නිරුවත්වීම පවා සාධාරණීකරණය කෙරෙනවා දේශපාලනික කෝණයක් දාලා. අමුතිත්ත කුණුහරුප පවා පීඩිතයාගෙ පීඩනය පුපුරායාමක් හැටියට සාධාරණීකරණය කෙරෙනවා. ලෝකයා හරි කැමති සංසන්දනාත්මකව හිත හදාගන්න. 'අයියො අපිට මෙහෙම තියෙනවා, උන්ට නෑනෙ, අනෙ පව්, ලෝකෙ කොයිතරම් නම් අසාධාරණද' කියලා සහකම්පන අනුකම්පාසහගත හැඟීමකට නිකම්ම තල්ලුවෙනවා තමන් දිහා බලලා අනිකා ඊටවඩා අඩු තත්ත්වයක නම් ඉන්නෙ. අනිකා තමන්ට වඩා වැඩි තත්ත්වයක/ හොඳ තත්ත්වයක ඉන්නවා නම් මේ හැඟීම වෙනස්!

මේකෙ අවුල් පැත්තකුත් තියෙනවා. කාටහරිම අවශ්‍ය නම් ඔබගෙ හැඟීම් සහ දයාව අයුතුලෙස ඔවුන්ට අවශ්‍ය ආකාරයට හසුරුවන්න, විකල්ප මාධ්‍ය සහ කලාව හොඳ ආයුධයක්. ලංකාවේ පහුගිය කාලයක් පුරා නිර්මාණ රැල්ලක් දිහා බැලුවොත්, රණවිරුවා හෙලා දැකීම සහ අපහාසයට ලක් කිරීම ඉඳන්, ජාතිකත්වයට පහර ගැසීම, බෞද්ධයා සහ බුද්ධාගමට පහර ගැසීම, සිංහලයා සහ සම්ප්‍රදායයට පහර ගැසීම වගේ දේවල් මූලික කරගත්ත නිර්මාණ ඕනෑතරම් බිහිවෙලා තියෙනවා, ශ්‍රව්‍ය දෘෂ්‍ය මුද්‍රිත ඩිජිටල් මේ හැම මාධ්‍යකම මේ රටාව තිබ්බා. සංගීත, සිනමා, පුවත්පත්, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සමාජ මාධ්‍ය, මේ හැම එකකම විකල්ප ධාරාව අතිසාර්ථකයි. 

විකල්ප කලාකාරයා පට්ට දේශපාලනිකයි. ඒ වගේම පට්ට කුහකයි. විකල්පයි වෙනස් කියන ලංකාවෙ කලාකාරයො ඔක්කොම ඉන්නෙ එක රැල්ලක කියන එක රහසක් නෙවෙයි. ඔවුන් දේශපාලනිකව එකඟ ජවිපෙ කඳවුර එක්ක. ඔවුන් තුල පවත්නා වෛරය සහ එක්තරා විදියක කෘත්‍රිම හීනමානය නිසා ඔවුන්ගෙ නිර්මාණ බොහොම සද්දයි. සාමාන්‍ය, සාම්ප්‍රදායික කලාවේ ඉඳන් ඔවුන් එක්ක තරඟ කරන්න පුලුවන් කලාකාරයට ඔවුන් කැමති නෑ, එහෙම උන්ට දේශපාලනය අකැපයි. මේ විකල්ප කලාව එක්ක කරට කර සටනක් දෙන්න පුළුවන් කලාකාරයන්ගෙන් කැපී පෙනෙනම චරිතය වුණේ ජැක්සන් ඇන්තනි. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම වගෙ විශිෂ්ටයන්ට මම හිතන්නෙ එතරම් මේ විකල්ප ධාරාව එක්ක හැප්පෙන්න කාලයක් ලැබුණේ නෑ. ජැකාගෙ කියැවීම, විවිධාකාර විෂයන් ඉගෙනීමේ පිපාසය, නිර්මාණවල ප්‍රකාශන හැකියාව, ඔහුගෙ රංගනය ගත්තම ඔහු හිටියෙ සෑහෙන්න ඉදිරියෙන්. නමුත් විකල්ප ධාරාවෙ නොවීමයි ඔහුව දේශපාලනීකරණය කරලා ලේබල් කරන්න ලොකුම හේතුව. ඔක්කොම කලාකාරයො, එකමුතු සමගි සමාදාන කතා ඒ වෙලාවේ විකල්ප ධාරාවෙ 'සුපිරි' කලාකාරයන්ට තිබ්බෙ නෑ, ජැකත් අපේ එකෙක් කියලා හැඟීමක් කොහෙත්ම තිබ්බෙ නෑ. ජැකා අනතුරට පත්වූ වෙලාවෙ සහ ඔහුගෙ මරණය මොහොතෙ පවා ඔය විකල්ප මාධ්‍ය කලාකාරයන්ගෙ හැසිරීම් ලංකාවට මතක ඇති. 
සියළු දේ දේශපාලනිකයි. නමුත්, ඒක එහෙම නෑ වගෙ රඟ පාන්න ගත්තම තමුන්ට තමුන්වත් අවංක නෑ. බොරුවක ජීවත්වෙන්න ලේසියි. හැබැයි බොරු ජීවිතේක ගන්න දෙයක් නෑ.

විකල්ප කලාව නරක නෑ. හැබැයි අවභාවිතා වීමේ සම්භාවිතාව වැඩියි. ෆේස්බුක් එකෙන් ජනාධිපතිලා තැනුවා වගෙ තමයි.

සාම්ප්‍රදායික කලාව වෙනස් වෙන එකක් නෑ. හැබැයි වෙනස් වෙන්න ඕන. නමුත් නිරුවතයි කුණුහරුපයි මේකප්ලස් අමු මූණුයි බැද්දයි මැටිගෙදරයි ආප්පයයි ප්ලේන්ටියයි පෙන්නලා නෙවෙයි. කරනවා නම් කරන්න ඕනෑතරම් වැඩ තියෙනවා. කාලො අයංතෙ  වෙන්නත් පුළුවන් සමහරවිට.

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #art #cinema

Saturday, September 14, 2024

නොම්මර 17 සහ කොළඹ

හේමසිරි සෙල්ලප්පෙරුමගේ අධ්‍යක්ෂණයක් සහ ප්‍රීතිරාජ් වීරරත්නගේ නිෂ්පාදනයක් හැටියට නොම්මර 17 තිරගත වෙලා තියෙන්නෙ 1989දි. Youtube එකේ මේ වීඩියො එක දැක්කම මගේ default නොස්ටැල්ජියාව හෙවත් අතීතකාමය ඇහැරුණා.

විජයත් ෆ්‍රෙඩිත් දැන් ජීවතුන් අතර නෑ. ඒ දෙන්නා නටන රඟපාන පසුබිම් කොළඹත් දැන් එක්තරා විදියකින් මැරිලා ඉපදිච්ච නගරයක්. ඔය වීඩියෝව බැලුවොත් ඒ කාලෙ කොළඹ (සාපේක්ෂව) කොයිතරම් නම් අහිංසකද සරලද කියලා පෙනෙයි. ටොරිංටන් චතුරශ්‍රය, ගංගාරාමය සහ ගෝල්ෆේස් එක දැක්කම මොකද්ද මහා හිස්, පාළු හැඟීමක් දැනෙනවා. ඒ වටපිටාවෙම උස ගොඩනැගිලි කීයද තියෙන්නෙ? දේශීය ආදායම් බදු ගොඩනැගිල්ල, පිට්ටු බම්බුව (ලංකා බැංකුව), ටාජ් සමුද්‍රා, හිල්ටන්, මහ බැංකුව වගේ අතලොස්සක් බිල්ඩින් තියෙන එල්ෆ් වෑන්, ඩෙලිකා, පරණ ටොයොටා කාර් යන සුඛෝපභෝගී අටපට්ටම් වාහනවලින් පිරිලා නැති, මිනිස්සු අඩු, ඒ අහිංසක කොළඹට මං හරි ආදරෙයි. සමහරවිට ඒ කාලෙ හැටියට සංකීර්ණතා තියෙන්න ඇති. 1989 තිරගත කරන්න නම් මේක පටිගත කරන්න ඇත්තේ 86-88 කාලෙදී, ඒ කියන්නෙ භීෂණ කාලෙදි වෙන්න ඕන. තිරගත වෙද්දි විජය ඝාතනය වෙලා (1988 පෙබරවාරි 16). 

දැන් නාගර්‍ර්කරණයේ උපරිමයට ගිහින්, හැමදෙයක්ම සංකීර්ණවෙලා, මිනිස්සුන්ට පොළොවෙ පයගහල ඇවිදින්න බැරි තරම් ඔද්දල් වෙච්ච කොළඹ තිබ්බ සරල විදියට තිබ්බා නම් හොඳයි කියන එක සමහරවිට මහ ආත්මාර්ථකාමී හැඟීමක් වෙන්න ඇති. ඒත් මං කැමතියි "අසුරු සැණින් එක මොහොතකදි, කාලය නැවතී යළි ඇරඹී, විශ්වය අළුතින් බිහිවෙලා" ඒ අතීත කොළඹ සංචාරෙක යන්න. සෙනඟ අඩු ගෝල්ෆේස් එකේ සාපේක්ෂව නැවුම් මුහුදු හුළඟක් විඳින ගමන් පැත්තක නවත්තපු බරබර ගාන පරණ තාලේ අයිස්ක්‍රීම් ලොරියකින් රිදීපාට කොළේ ඔතපු රහම රහ අයිස්චොක් එකක් කන්න. හුළං පුරෝපු හාවොයි බෝලයි විකුණන වෙළෙන්ඳෝ කීපදෙනාගෙන් වැඩකට නැතුවත් බෝලයක් ගන්න. මට වඩා ලොකුවට පේන හින්දා ඒ තිබ්බ බිල්ඩින් ටිකේ ලොකුකම දිහා පුදුමෙන් බලන්න. සෙනඟ නොපිරුණු ගෝල්ෆේස් එකේ නිදහසේ හුස්මක් ගන්න. ඒ දවස්වල බලෙන් වගේ ඇවිද්දවපු හින්දත් නොතේරෙන වයස හින්දත් අහගන්න බැරිවුණ කොළඹ කතා ඇවිදිනගමන් තාත්තා අම්මගෙන් අහගන්න. අවුරුදු ගාණක් ඇතුළත විපරීත වෙයි කියලා දැන් දන්න හින්දා ඒ අහිංසක සරල කොළඹ ඇස්වලින් උරාගෙන හිතේ කොටාගන්න, උපරිමයෙන් විඳගන්න. 

මට තිබ්බා නම් කාල ත්වරණ යන්ත්‍රයක් සමහරවිට...

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #colombo #sinhalacinema 

https://youtu.be/zUE9Y4mPYKY?si=K98Xkfald6wCCFy2

Thursday, September 5, 2024

මී මැස්සා - සිරස TV

(2024 අගෝස්තු 24වනදා සිනමාවේදීන් සමූහයට) 

මල් වන ගොමු අහලකවත් නැතිවෙලාවක, තැනක මට මී මැස්සෙක් හම්බවුණා, හැබැයි ඌ:

ගිනි වැදුණු නගරේ
වළාකුළු අළුදුමාරේ අවුස්සා
සොයාදියව් 
ගිනිපුලිඟුවෙන් රොන් උරණ මී මැස්සා

නපුරු මහ භූ තලය සෙමින් සෙලවී
අඟුරු දූවිලි දුමෙන් නැහැවී
කඳු ශිඛරයෙන් උතුරා ගැලූ
උණු ලෝදියෙන් පැණි හදන මී මැස්සා

වියරු මෝරුන් නිදන රහසේ
රුහිරු සයුරද ඉහළ අහසේ
රළු අකුණකින් පුපුරා කෙටූ
ගිනි විදුලියෙන් මී බඳින මී මැස්සා

කවුද මේ මී මැස්සා කියලා නම් තවම දන්නෙ නෑ. හැබැයි බොහොම ආකර්ෂණීය සර්පයෙක් ඉන්නවා. භුපති සිරිවර්ධන හෙවත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අගමැති. 'භූපති අගමැති මීළඟ ජනපති' කියලා හෙඩ්ලයින් ගන්න භූපති සර්පයෙක් වෙන්නෙ කොහොමද කියලයි දැන් මීමැස්සා බලන් ඉන්නවා ඇත්තෙ සමහරවිට. මගේ කියැවීම භූපති හෙවත් සර්පයාගෙ භූමිකාවට චරිත් අබේසිංහ තරම් වෙන ගැලපීමක් නෑ කියලයි. මොකද පළවෙනි දර්ශනයෙ ඉඳන්ම භූපති නම් සර්පයා හෝ සර්පයා නම් භූපති හෝ ඇරෙන්න චරිත්ව පේන්නෙ නැති හින්දා. සමහර කතා, ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් පවා නරඹනවට වඩා අහන (ඒකත් playback speed එක වැඩිකරලා) මං වගෙ මනුස්සයෙක්ට  සේරම වැඩ නවත්තලා ආසනයේ හරිබරි ගැහිලා වාඩිවෙලා හැම මොහොතක්ම උවමනාවෙන් බලන්න හිතුණු තරම් පළවෙනි කොටස් 5-6ම මාර රහයි. කොටින්ම නම්පෙළ/තේමා ගීතය ගැන වුණත් කියන්න දේවල් තියෙනවා. 

නම්පෙළට පසුබිම් වෙන්නෙ ශ්‍රී ලංකාවේ බොහොම ඓතිහාසික අවස්ථා පෙළක ඡායාරූප පෙළක්. නිදහස ලැබීමේ අවස්ථාවල ඉඳන් කොරෝනාව හරහා අරගලය දක්වා අවස්ථා නම්පෙළට පසුබිම් වෙනවා. හැබැයි මේ ඔක්කෝගෙම දේශපාලන නායකත්වයන් පෙන්වද්දි ඩී එස් සේනානායක මහත්තයගෙ ඉඳන් බණ්ඩාරනායක, සිරිමාවො, ජේ ආර්, ප්‍රේමදාස, විජේවීර, ඩී බී විජේතුංග, චන්ද්‍රිකා යන ඔක්කොමලව පෙන්නලා ඊටපස්සේ හිටිය කට්ටිය (මහින්ද, ගෝඨාභය, රනිල්, සජිත්, අනුර) හලා ඇතිබවක් පේනවා.😂 කළු ජූලිය, ප්‍රභාකරන්ගෙ මිනිය, යුද්ධය ජයග්‍රහණය, සරත් ෆොන්සේකාට එල්ලවුණ බෝම්බ ප්‍රහාරය, මහ බැංකු බෝම්බ ප්‍රහාරය වගේ අවස්ථා ගොඩක් මේ ඡායාරූප පෙළට ඇතුලත්. හැබැයි ඒක නිර්මාණයට සෑහෙන්න ගැලපෙනවා. ගීතය වුණත් අමුයි, ඔයයි මමයි කිව්වා වගේ තමයි. වැඩි කැටයම් නෑ.

හැඟීම් නිරූපණය අතින් ගත්තම භූපති තුළ මතුවෙන්න බලා ඉන්න, යටපත් කරගත් සර්පයා බොහොම අපූරුවට පෙන්නන්න චරිත් හොඳ උත්සහයක් කරනවා. ඒ එක්කම උදයන්ති, සුජානි මේනකා, විමල් කැටිපේආරච්චි සහ රමණි සිරිවර්ධන👌. 
ඒ වගේම දෙබස් හරිම රහයි! 

බිම්මට්ටමේ භූපති, රාජ යෝගයක් සහිත රදළ පරම්පරා පුරුකක් විවාහ කරගැනීමේ ඉඳන්ම ලංකා දේශපාලනික සහ සමාජීය කියැවීම බලන්න මං හරිම කැමතියි! මේ හැමෝගෙම කිල්ලෝටවල ඩිංග ඩිංග තියෙන්න පුළුවන් හුණු ටිකෙන් ටික එළිකරමින් මීමැස්සා හොඳ ගමනක් යයි කියලා පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ political thriller එකක් හැටියට මතක හිටින වැඩක් වෙයි එහෙම වුණොත්.

ඉතින්, සර්පයා රජ වෙලා මොනවා කරයිද බලන් ඉමු නේ?

~🖌️ Aash Weerasinghe

Sunday, July 7, 2024

ලලයි ලිලයි ලයි - පසු සටහනක්

මාසෙකට විතර කලින් ලලයි ලිලයි ලයි ගැන සිනමාවේදීන් සමූහයට ලිව්වා.
https://www.facebook.com/share/p/9Yu66hWrPWFBoB4B/?mibextid=K35XfP
ඒ කතාවේ vibe එකට කැමැත්තක් ඇතිවුණ හින්දා. දැන් සීසන් 1 ඉවරවෙලා සීසන් 2ත් පටන් අරන් තියෙන වෙලාවේ එදා ලිව්වෙ නැති වෙනමම පැතිකඩක් ගැන ලියන්න හිතුණා. 

නිර්මාණයට පසුබිම් වෙන්නෙ නොනිල වශයෙන් අපි හැමෝම හිරේ විලංගුවේ වට්ටපු, එක්ටැම් ගෙවල්වලට හිර කෙරුණු කොවිඩ් වසංගත සමයනෙ. ඇත්තටම කොවිඩ් කාලෙ අපිට මොකද වුණේ? සාමාන්‍ය දින චරියාව සම්පූර්ණයෙන්ම කණපිට ගැහුණානෙ අපි හැමෝගෙම. 
ගෙවල් දොරවල් හදාගෙන ඒවයෙ මකුළුදැලක් කඩන්න වෙලාවක් නෑ කිව්ව මිනිස්සුන්ට ගෙවල් දොරවල් එපා වෙන තරමට කාලයක් ගෙදර ඉන්න වුණා. හැමදාම පාන්දර රස්සාවට දුවලා නැහිල නැහිලා රෑ ජාමේ ගෙදර එනවා කියලා හූල්ලපු මිනිස්සුන්ට ගේට්ටුව ලඟට ඇරෙන්න කොහෙටවත්ම නොයා ගෙදර ඉන්න සිද්ද වුණා. දරුපවුල් එක්ක කාලය ගතකරන්න වෙලාවක් ඉසිඹුවක් නෑ කියල වැලපුණු මිනිස්සුන්ට නයි මුගටි වගේ වෙන තරමට පවුල එක්ක ජීවත් වෙන්න කාලය ලැබුණා. හැමදේකම සුපිරිම දේවල් හෙව්ව මිනිස්සුන්ටත් එළවළු, මාලු, පාන් වෑන් එනකල් බලන් ඉඳලා ලැබෙන දෙයක් කාලා තියෙන දෙයක් අරන් ජීවත් වෙන්න සිද්ද වුණා. ජේත්තුවට ඇඳපැළඳගෙන වාහනවලින් එළියට බැහැපු මිනිස්සුන්ට කලිසම් කොටෙයි ටීෂර්ට් එකයි ඇඳගෙන ජේත්තුවට ඇඳපු ඇඳුම් පැලඳුම් අල්මාරි මුල්ලකට කරගෙන නවත්තපු වාහන දවස් කීපෙකට සැරයක් ස්ටාට් කරලා නැගලා බලලා හූල්ල හූල්ල ඉන්න සිද්ද වුණා. අනන්ත වැඩ රාජකාරිවලට ඔළුව වෙහෙසලා මොළෙන් වැඩගත්ත මිනිස්සුන්ට මොළේ අධික්‍රියාකාරීත්වය මන්දගාමී වෙන එක දරාගන්න බැරිවුණා. නිදහස් කුරුල්ලො වගේ හිතුණු වෙලාවක එළියට බැහැලා යාළුවො මුණගැහිලා හිටිය සමාජ ආශ්‍රය සීමිතවීම හැමෝටම දැනෙන්න ගත්තා. විවේකයයි නිස්කලංකෙයි වහකදුරු වෙන්න ගත්තා. සම්බන්ධකම් දුරස් වුණා, ආදරේ ඈත්වුණා. සමහර ආදර කතාවලට වැරදුණා. සමහරුන්ට හරි ගියා (උදාර කුමාරයට, රවීන්ට, ජිම්ට, තනුෂ්කාට, රන්සරණිට, සුකුමාලට, රාධිකාට, මහසෙන්ට වගේම)
දවසේ කුලීවැඩක් කරලා රෝල ගහලා දිව්වොත් විතරක් හරි හම්බ කරගත්ත මිනිස්සුන්ට එක වේලකින් ඊලඟ වේලට මොකද කරන්නෙ කියලා හිතලම මහන්සි දැනුණා. දිවි නසාගන්න තැනට වැටුණා. 
තව නානාප්‍රකාර සමාජීය ගැටලු ගොඩක් ඇතිවුණා. සේරම කියන්න ගියොත් ලැයිස්තුව දිගයි.

එතකොට තිබ්බේ කායිකව විඳවන වසංගතයක් විතරක්ම නෙවෙයි. මේ හෙණ ගැහුවා වගේ වෙච්ච හිරවීම ඇතුළේ මුළු ලෝකෙම වෙලාගත්ත මානසික වසංගතයකුත් තිබ්බා. ඉච්ඡභංගත්වය, ආතතිය, විශාදය වගේ මහ සංකූලතා ගොඩක් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ම බොහෝදෙනෙක් තුළ ඇතිවුණා. ඒ වගේ වෙලාවක ධනුෂ්ක වගේ තරුණ මනසකට ඒ වගෙ බලපෑමක් අනිවාර්‍යෙන්ම වෙන්න පුළුවන්. කතන්දරේ වැදගත්කම මෑතකාලීනව මානසික සෞඛ්‍යය කියන දේ ගැන එක එක කතිකාවත් ඇතිවුණත් මානසික ලෙඩක් හෝ ලෙඩෙක් කියන එක තාම අපේ සමාජයට අවරගණයේ කාරණාවක්, ලැජ්ජාවට හේතුවක්, හංගන්න ඕන දෙයක් මිසක් කොලෙස්ටරෝල්, හයිබ්ලඩ් ප්‍රෙෂර්, ඩයබිටික් වගේ යනයන තැන පම්පෝරි ගහන්න හේතුවෙන පොෂ් ලෙඩක් නොවීම. එහෙව් කාරණාවක් ගැන නිර්මාණයක් තුළින් මෙච්චර සාර්ථකව කතා කිරීම අතින් නම් ලලයි ලිලයි ලයි දිනලා ඉවරයි. 

හැබැයි අද වගේ පරම්පරාවක ධනුෂ්ක දඹගොල්ල වගේ කියවීමක් තියෙන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද කියන එක නම් සැක සහිතයි. ඒකයි මම කලින් ලිපියේ කිව්වේ අද පරම්පරාවෙ එකෙක් වුණාට උදාර කුමරුවගේ කටින් එන්නෙ අපේ පරම්පරාවක එකෙක්ගෙ කතා කියලා. ඒක රචකයගේ දක්ෂකම! අනෙක් අතට මේ චරිතය හින්දා අනේ එහෙම උන් බිහිවෙනවා නම් කියලා ෆැන්ටසිමය බලාපොරොත්තුවක් අපි තුළ ඇතිවෙනවා. අඩුමගානේ මේ චරිතෙට ආසාවක් ඇතිවෙලා හරි ටික්ටොක්වල ලෝකෙට විහිළු සපයන්නෙ නැතුව, කියවන්න (පොත්පත්, සාහිත්‍යය), තමන්ගෙ නිර්මාණශීලිත්වයන් අඳුනගන්න, නිර්මාණශීලිත්වයන් වැඩිදියුණු කරගන්න කාටහරිම හිතුණොත් නිර්මාණය ආයෙත් වතාවක් දිනුම්. අපිට එහෙම උන් දැකීමේ දොළදුකක් තියෙනවා, මේ නිර්මාණයේ රචකයට සහ අධ්‍යක්ෂකටත් එහෙම වෙන්න ඇති සමහරවිට. 

මිනිස්සු මානසික ලෙඩවලට බයයි. ඒක නිසා හැංගෙනවා. අතාරිනවා. හැබැයි රදළ පරම්පරා දෙකක අන්තිම පුරුක වෙච්ච උදාර කුමාරයගේ පවුල සහ යාළු මිත්‍රයො එයාව අතාරින්නෙ නෑ. සාමාන්‍යයෙන් හිත්පිත් නෑ කියන රදළයන්ටත් සංවේදී තැන් තියෙනවා කියලා උදාර කුමාරයම එක තැනක කියනවා. හැබැයි සාමාන්‍ය මිනිස්සු එහෙමද? මිලා පිස්සෙක් හින්දා තමන්ට අනුකම්පා කරනවා කියලා පහුගිය කොටසක ධනුෂ්ක කියනවා. අනුකම්පාවයි ආදරෙයි වෙනස් තේරුම් ගන්න තරම් මොළයක් තියෙන ධනුෂ්ක පිස්සෙක් කියලා හංවඩු ගැහුවා නම්, එච්චර නිර්මාණශීලිව හිතන්න පුළුවන් තලයක ඉන්න ඒ වගෙ මිනිස්සු කීදෙනෙක් අපි පිස්සො කියලා හංවඩු ගහලා ඇතිද? ඇනිකට් එක උඩ මිලාගෙයි ධනුෂ්කගෙයි අන්තිමට විකාශය වෙච්ච සංවාදය අපිට හිතන්න ගොඩක් දේවල් ඉතිරිකරනවා. ධනුෂ්කට තමන්ගේ තරුණ ජවය සහ නිර්මාණශීලිත්වය යොමුකරන්න focal point එකක් හොයාගන්න බැරුව ඉන්නෙ. මිලා ඒක අඳුනගන්නවා. ධනුෂ්කට ඒක ආදරෙන් බැඳෙන්න කාරණාවක්, තමන්ව තේරුම්ගන්න පුළුවන් වෙච්ච එකම මිලාව දේවදූතියක් කරගන්න හේතුවක්. ආදරේ කොයිවෙලේ කොහොම ඇතිවෙනවද කියලා නොදන්න ත්‍රස්තවාදයක්. උදාර කුමාරයත් ඒකෙ ගොදුරක්. මානසික ලෙඩෙක් කිව්වත් ධනුෂ්කට තමුන් ගැන කියවීමක්, අවබෝධයක් (self awareness) තියෙනවා. ඒත් නිරෝගි කියන මිලාට එයාගෙ සිතුවිලි, හැඟීම් ගැන නිශ්චිත අවබෝධයක් නෑ කියලා හිතෙනවා. එතකොට අර වගේ මනුස්සයෙක් තවත් ආගාධයට වැටෙනවා ඒ පැටළුම ලිහන්න උත්සහා කරමින්. මනුස්ස සම්බන්ධතා හරිම සංකීර්ණයි, ලස්සනයි, දුකයි, සැනසීමයි. හරියට තේරුම් ගන්න පුළුවන් වෙච්ච දවසක. 

කතන්දරේ කොහොමවෙයිද කියලා බලන් ඉන්නවා. නිර්මාණයට දායක වුණ/ වෙන හැමෝටම සුභ පැතුම්.
ගුණේ නැති අඩුව නම් ප්‍රේක්ෂක අපටත් දැනෙනවා. යහපත් මනුෂ්‍ය ආත්මයක් ලබා ධර්මය අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට ලැබේවා කියලා ගුණේට ප්‍රාර්ථනා කරනවා.

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal

Saturday, June 22, 2024

Laapataa Ladies (2024)

(2024 ජූනි 16දා සිනමාවේදීන් සමූහයට) 

"This is the way of the world, Deepak. Lies are accepted but no one likes the simple truth".
(මේක තමයි මේ ලෝකේ හැටිය, දීපක්. බොරු පිළිගන්නවා හැබැයි සරල ඇත්තකට කවුරුවත් කැමති නැහැ.)

එකම දවසේ එකම විදිහට වේල්වලින් මූණු වහගත්තු මනමාලියො දෙන්නෙක් මාරුවුණහම? බිලියන එකහමාරකට කිට්ටු ජනගහණයක් ඉන්න ඉන්දියාවේ, එකම නමින් ගම්මාන හැට හුටාමාරක් තියෙන ඉන්දියාවේ. ගංගා ගඟ ගලන්න හිතලවත් නැති පැතිවලත් ගංගාපූර් කියලා ගම් තියෙන, වර්ග කිලෝමීටර මිලියන 3.287ක් විශාල ඉන්දියාවේ. එක මනමාලියෙක් ගෙදර දොර වැඩ ඇර තමන් උපන්දා ඉඳන් හිටි ගමේ නමවත් නොදන්නකොට අනිකා දැනගෙනත් තමන්ගේ හීනෙකට යන්න තියෙන ආසාව ඉෂ්ඨ කරගන්න රඟපෑමක් කරද්දි. මුලු චිත්‍රපටය පුරාවටම තාමත් නොදියුණු සමාජයන් ඉන්දියාවේ අහුමුල්වල තියෙන බව හරි ලස්සනට පෙන්නනවා. සමහර සමාජයන්ගේ මුල්බැසගත්ත ආකල්ප සහ සිරිත්විරිත් නිසාම ඒවා අභියෝග වෙන හැටිත් වැරදි කෙනෙක්ට නම් වාසිසහගත වෙන හැටිත් පෙන්වන හැටි නම් මෙහෙම විස්තර කරන්න අමාරුයි.

අවංක අහිංසක ආදරයකින් තමන් විවාහ කරගත් ප්‍රේමවන්තියට පූජනීයව සලකන දීපක් වගේම බිරිඳකගේ අවශ්‍යතාව ශරීරයට සහ මූල්‍යමය වටිනාකමට ලඝු කරන සාම්ප්‍රදායික ක්‍රෑර පුරුෂවාදී ප්‍රදීප් එකම කාසියක දෙපැත්තක් වගේ ඉන්දීය කාන්‍තාව පෙළන එක්තරා පැතිකඩක් පෙන්වනවා. පුරුෂයා රැකියාවකට නගරයට ගියායින් පසු හුදෙකලා වෙන බිරින්ඳෑවරුන්ගේ සිනා නොනැගෙන මුහුණු, ගොලුව යන වචන, අමතක කරවන හැකියාවන් තවත් දුක් පැතිකඩක් පෙන්වනවා. ස්වාමියට නරකක් නපුරක් වෙනවාට බයෙන් තමන්ගේ කටින් ඔහුගේ නමවත් නොකියන ගැහැණු, ඔහුගේ ආරක්ෂාවට චූටි දෙහි කහ සහ හාල් පොට්ටනි සාරි පොටේ කොණ්වල ගැටගහගෙන තමන් කැමති දේ පවා අමතක කරලා පවුල, ස්වාමියා සහ දරුවන් වෙනුවෙන් කැපවෙන ගැහැණු තමන්ගේ වටේ ඉන්න ගැහැණුන්ගෙන් මිත්‍රකම, ආදරය, කරුණාව හොයන හැටි සංවේදියි. මාරුවෙච්ච මනමාලියො දෙන්නා දැනුවත්කම අතින් දෙවිදියක් වුණාම මාරුවීම වෙස්වලාගත්ත ආශිර්වාදක් නොවෙනවාමත්ම නෙවෙයි. සමහර වෙලාවට සමහර දේ වුණහම නොහිතන හොඳකුත් ඒකෙන් සිද්ධ වෙන්නට පුළුවන්.

මං කැමතිම මේ චිත්‍රපටියේ තියෙන 'අමු' ගතියට. මේකප් පවා අඩුවෙන් භාවිතා කරමින් යථාර්ථයට කිට්ටු නළුනිලියෝ යොදාගෙන කළ නිර්මාණයක් හින්දදෝ මන්දා. විශේෂයෙන්ම තමන්ගේ ආදරේ නැතිවීමෙන් පස්සේ දීපක්ගේ චරිතයට සෑහෙන්න සාධාරණයක් කරන්න ස්පර්ශ් ශ්‍රීවාස්තව සමත් වෙලා තියෙනවා. විවාහ වුණ හැටියේ අතිශය සාම්ප්‍රදායික ගමක මනමාලියක් එක්ක ආදරේ කියාගන්න බැරුව අතින්වත් නොඅල්ලා ආදරේ කරද්දී ඒ හැඟීම් ප්‍රකාශනය ඉස්තරම්! ඉංග්‍රීසි බැරිවුණත් දන්නා වචන කීපය කතා කරමින් තමන්ගේ හැකියාව තමන්ගේ පෙම්වතියට පෙන්වන ගමන් වටපිට බලලා බොහොම බයෙන් චකිතයෙන් නොඉවසිල්ලෙන් I love you කිව්ව හැටි සහ එතනදී කිසිත් නොදන්න පූල්ගෙ අහිංසක සිනා ප්‍රතිචාරය තමයි මට හොඳටම දැනුණ අවස්ථාව. ඒ භාව ප්‍රකාශන නම් 👌. 

O sweet love
How do I pass these days and nights?
I long to talk to you.
Can't stop thinking about you.
How do I reach you.

Dark clouds gather
Bringing with them rains of yearning
This flood of feeling in my heart
Tell me how to hold it back
What is life without you

(සුපෙම්වත් ප්‍රේමිය
මං කොහොම මේ දිවා රෑ ගෙවාගන්නද ඔබ නැතිව
ඔබට කතා කරන්නට බලා සිටිනවා
ඔබ ගැන නොනවත්වා සිතමින් සිටිනවා
මං කොහොම කොතැනින් ඔබ හොයාගන්නද

අඳුරු වලා කැටි ගැසෙමින්
බලාපොරොත්තුවේ වැහි අරන් එනවා
මගේ මේ හදවතේ වාන් දමන
හැඟීම් මා නවතාගන්නේ කොහොමද
ඔබ නැතිව ජීවත්වන්නේ කොහොමද)

තමන් එක්ක ගෙදර ආවේ තමන්ගෙ බිරිඳ නෙවෙයි කියලා දැනගන්න මොහොතෙ වගේම sajni ගීතය පුරාවට තමන්ගේ ප්‍රේමය හොයාගන්න බැරිව විඳවන හැටිය සහ කිසිත් කරකියා ගන්න බැරි අසරණකම ස්පර්ශ් හරිම තාත්විකව ඉදිරිපත් කරලා තියෙනවා. 

කිරන් රාඕගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය ස්ත්‍රීවාදියි. නමුත් ඒ ස්ත්‍රීවාදය අතරට පුරුෂවාදය අඩුවැඩිවෙමින් යන හැටිය, දීපක් වාගෙ අහිංසක පුරුෂයන් අතර ප්‍රදීප් වාගේ කෲර පුරුෂයන්, පොලිස් ඉන්ස්පෙක්ටර් වාගේ සාමාන්‍ය පුරුෂයන් වාගෙ විවිධ චරිත පෙන්වන්න උත්සහ කරලා තියෙනවා. ස්ත්‍රීවාදිනියක් නොවුණත් මන්ජූ මායිගේ මේ කතාවේ ඉන්දියාවට (විතරක් නෙවෙයි) හිතන්න හුඟක් තැන් ඉතිරිවෙනවා. 
"A respectable girl can't return to her parents without her husband".
"know the meaning of 'fraud'? Cheating or making a fool of someone is called a 'fraud' in English. For centuries, women in this country have been duped. This con is also known as 'a respectable girl'. 

"ගෞරවණීය/වැදගත් කෙල්ලෙක්ට බෑ තමන්ගේ ස්වාමියා නැතුව තනියම ආපහු දෙමව්පියන් ලඟට යන්න"

"'වංචාව' කියන එකේ තේරුම් දන්නවද? කාවහරි රවට්ටන එක මෝඩ කරන එක තමයි ඉංග්‍රීසියෙන් fraud කියන්නේ. ශතවර්ෂ ගාණක් තිස්සේ මේ රටේ ගෑණුන්ව මෝඩ කරලා රවට්ටලා තියෙන්නෙ. ඒකට කියන තවත් නමක් තමයි ඕක! 'ගෞරවණීය/වැදගත් කෙල්ල' කියන එක!"

කතාවේ ස්ත්‍රීවාදය වගේම සාමාන්‍ය සමාජීය ප්‍රශ්නත් මතුකරලා තියෙනවා. විශේෂයෙන්ම ගොවියාගේ ගැටළු, දේශපාලනය, අයුක්තිය සහ අල්ලස වගේ දේවල්. මට හිතෙන්නේ නම් අඩුත් නෑ වැඩිත් නෑ, පත අට නිසි ලෙස හිඳවලා නිර්මාණය කෙරිලා තියෙනවා කියලා. වැඩිය අරුමෝසම් නැති හින්දා සමහරු එච්චර කැමති නොවෙන්නත් පුළුවන්. හැබැයි නිකංම බලලා ගොඩ වැඩිකරගන්නවට වඩා පොඩ්ඩක් නිස්කලංකව බැලුවා නම් හොඳයි කියලයි මගෙ නම් රෙකමදාරුව. 
ප්‍රධාන නලු නිලියන් කීපදෙනා තවම ලාබාල උදවිය. හැබැයි යම් ගමනක් යාවි කියලා බලාපොරොත්තු තියන්න පුළුවන් හැඩයි. පසුතල ගැන සෑහෙන්නම තෘප්තිමත් වෙන්න පුළුවන්. හොඳ උවමනාවකින් බලන කෙනෙකුට නම් හරිම ග්‍රාමීය දුෂ්කර ඉන්දීය ගමකට ගමනක් ගියා වගේ දැනේවි.

එහෙනම්, මනමාලියො මාරුවෙන්නත් එපා, මාරු කරගන්නත් එපා. ලංකාව කොයිතරම් නම් වාසනාවන්තද කියලා හිතුණා.🇱🇰❤️

~ Aash Weerasinghe

Saturday, June 8, 2024

උදාරෙන්ම ලලයි ලිලයි ලයි!

(2024 මැයි 24දා සිනමාවේදීන් සමූහයට) 

පානම් බොක්කේ රටේ රාළගෙ උදාර මී මුණුපුරු කුමාරයා නිසා මාසයක් තිස්සේ හිනාවෙලා ඉන්නවා.😉

Youtube short එකකින් බලන්න පටන් ගත්තු මේ කතාවේ තාම 49වෙනි කොටසේ තමයි ඉන්නෙ. ඒක නිසා දැන් කතාව කොහොමද කියන තැන ඉඳන් නෙවෙයි මේ ලියන්නෙ.

රදළ පරම්පරාවේ අනාගතයක් භාරගන්න ඉන්න එකම කුමාරයත් උදාරෙන්ම පිස්සු කෙලින්න ගත්තම කොහොමද කියලා රන්දිකට වඩා සාධාරණ විදියට පෙන්නන්න පුළුවන් රංගන ශිල්පියෙක්ව මට හිතාගන්න අමාරුයි. කොඩිගහයට දැක්කට වඩා වෙනස්ම, මෙච්චර සැහැල්ලුවෙන් චරිතයක් කරන එකම ඒ දක්ෂකමට උදාහරණයක්. තව ගොඩක් දුර යන්න බලාපොරොත්තු තියන්න පුළුවන් දක්ෂකමක්. 
රදළයෝ එක්ක මොකක් හරි ඇරියස් එකක් තියෙනවාද මන්දා වගේ වුණත් මේකෙ උදාර කුමාරයාගෙ දෙබස් ටික නම් පංකාදු පහට ලියලා තියෙනවා! 👌 කොටින්ම නූතන පරම්පරාවක පුරුකක් හැටියට ලියවුණාට උදාර කුමාරයගෙ කටින් එන්නේ අපේ පරම්පරාවේ එකෙක්ගේ කතා.❤️ සිංහල වගෙ සුන්දර භාෂාවක් කියවගන්නවත් ලියාගන්නවත් කතාකරගන්නවත් බැරි පරම්පරාවක, ඒක පොශ් කියලා විශ්වාස කරන සමාජෙක ඒ පරම්පරාවේ කොල්ලෙක් (චරිතෙකට හරි), වක්කඩ කැඩුවා වගේ සිංහලෙන් කියන රජ කතා, නාට්‍යමය කතා, සාහිත්‍ය කතා, ප්‍රේම කතා සහ කුප්ප කතා වෙනමම ලල් එකක්!❤️ ෂර්ලොක් හෝම්ස්ගෙ ඉඳන් සුභාෂිතයට එනකල් ඔහොම රහට අනලා කැවීමක් බලාපොරොත්තු වුණේ නෑ.👌 එච්චර කියැවීමක් තියෙන හින්දා කෛරාටිකකමත් ලස්සනට ඔබ්බවලා චරිතෙ ලියපු එකට 🫡 

අනික් කෙනා උමා අසේනි. උමාගේ රඟපෑමක් මම දකින්නෙ පළවෙනි වතාවට වුණාට මේකට රඟපෑමක් කියන්න බැරිතරම් ස්වාභාවිකයි.❤️ විශේෂයෙන්ම අක්කගෙයි මල්ලිගෙයි රණ්ඩු සහ සංවාද නම් පුදුම යථාර්ථවාදීයි, අමුයි, නියමයි 😂 

නිරෝෂන්ට කවුද ලියලා තිබ්බා කොච්චර දක්ෂවුණත් තාම සම්මාන නොලැබුන එක ගැන. මගේ කියැවීමත් අසාධාරණ අඩුතක්සේරුවකට ලක්වෙච්ච, නිසි ඇගයීමක් නොලැබුණු රංගන ශිල්පියෙක් කියන එකයි. ඒක ඉක්මණින් වෙනස්වෙලා නිසි ඇගයීමක් ලැබේවි කියලා ප්‍රාර්ථනා කරනවා.

ෆර්නි, දීපානි සහ ලාල් කුලරත්නගේ චරිතවල ලොකු දෙයක් කරන්න ඉඩක් ලැබිලා නැතත් සාමාන්‍ය පවුලක හැඩවැඩ ටික ඒ විදියටම දෙන්න කරන කැපවීම අගය කරන්න ඕන. විශේෂයෙන්ම ගුණේ. ඒත් දැන් ගුණේව වැඩිය පේන්න නැත්තෙ ඇයි දන්නෙ නෑ.🤔

කතාවේ හාස්‍යය එක්ක ත්‍රාසය මුහුකරන්න උත්සහ කිරීමත් හොඳයි. ඒත් ලංසි පවුල ලංසිම හැටියට එච්චර දැනෙන්නෙ නෑ. හැබැයි අනෙක් චරිත් සමස්තයක් හැටියට හොඳයි. සංජය මුරමුදලිගෙ චරිතය ගොඩ නගලා තියෙන විදියටත් මම කැමතියි. 

කතාව මොන විදියට වෙයිද කියලා බලන් යන ගමන්. 
උදාර කුමාරයගෙ නාටකවලට හිනාවෙලා ඉන්න සතුටට ලියලා යනවා.
~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow 

Sunday, September 10, 2023

Haddi (2023)

(2023 සැප්තැම්බර් 10දා සිනමාවේදීන් සමූහයට) 

Haddi (2023) 
IMDb: 5.7/10
Genre: Crime, Drama

මගේ ඉරිදාවේ පැය දෙකක් හඩ්ඩිට දුන්නා.

හඩ්ඩි කියන්නේ හිජ්රාවෙක් හෙවත් සංක්‍රාන්තික ලිංගිකයෙක් (transgender). 

2018දී ජගත් මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවලට අනුව ඉන්දියාවේ විතරක් ඇස්තමේන්තුගත හිජ්රා ජනගහනය මිලියන 4.9ක්! ඇතැම් වාර්තාවලට අනුව මේ වනවිට එම අගය මිලියන දහයකට ආසන්නයි. කියැවෙන ආකාරයට පකිස්ථානයේ මේ ගණන 250,000ක් පමණත් බංග්ලාදේශයේ 12,000ක් පමණත් නමුත් නිශ්චිත නැහැ. අනෙක් අතට ඉන්දියාවේ තරම් මේ උප සංස්කෘතිය අනෙක් සමාජවල මතුනොවෙනවා වෙන්නත් පුළුවන්. 

හිජ්රාවන් ඉන්දීය සිනමාව හුරු කෙනෙකුට නුහුරු නෑ. කෝවිල් ආශ්‍රිතව උප සංස්කෘතියක් හැටියට හිජ්රාවන් වැඩිවශයෙන් ජීවත්වුණත් විවිධාකාර අඩු ආදායම්ලාභී, අවම සමාජීය තලවල සහ ගණිකා වෘත්තිය සමග අනුබද්ධවත් මේ උප සංස්කෘතිය දැන් දකින්න පුළුවන්. 

සමාජයක් හැටියට හිජ්රාවන් සුවිශේෂී වෙන්නේ වැඩියත්ම දේව ඇදහිල්ල මත ගොඩ නැගුණ ඉන්දියාවේ ඔවුන්ට ලබාදෙන අර්ථයන් මත. මතක නම්, මායා/කාංචනා වගේ හිජ්රාවන් ප්‍රධාන කරගත් ඉන්දීය නිර්මාණ සෑහෙන්න තියෙනවා. ඔවුන්ගේ විශ්වාසයට අනුව සම්පූර්ණ ගැහැණුන්ටත් සම්පූර්ණ පුරුෂයන්ටත් වඩා මේ වර්ග දෙකේම ගතිලක්ෂණ සහිත හිජ්රාවන්ට ඒ වර්ග දෙකේම ශක්තීන් (සහ දුර්වලතා) තියෙනවා. හිජ්රාවන්ගේ ආරම්භය ගැනත් චිත්‍රපටයේ මැදක කියැවෙනවා. ඒක බලලම හොයාගන්න. 
මේකෙදි රංගනයෙන් දායකවන හිජ්රාවන්ට ස්තූතිය පළ කරලා තියෙන්නේ "To God's favourite special humans that contributed towards making this film possible" කියලා. 
විචිත්‍රවත් ඉන්දියාවේ ගැහැණුත් නොවන පිරිමිත් නොවන මේ ජීවීන් කොටසට ඇතැම් අය නින්දා කරන අතර ඇතැම් අය බිය මුසු ගෞරවයක් දක්වනවා ඒ ඔවුන් විශ්වාස කරන නිසා හිජ්රාවන්ගේ සාප දරුණු බව. 
චිත්‍රපටය ආරම්භයේම හඩ්ඩි ඒ ගැන මෙහෙම කියනවා:
"Do you know why people fear us, Hijras? Because our blessings are all-powerful and our curses are annhilating. But do you know what's worse? Our vengeance!". 

උපතින්ම ලබන ස්ත්‍රී පුරුෂ භාවයන් ස්වාභාවිකව වෙනස්වීම ගැන මගේ පෞද්ගලික විවේචන නැහැ. නමුත් ඇතැම් අවස්ථාවල මේ මානසිකත්වය කෘත්‍රිමව ඇතිකරවන්න උත්සාහ කිරීමට නම් මම විරුද්ධයි. ස්වාභාවිකත්වයට වඩා අස්වාභාවිකත්වය උලුප්පා දක්වන්න කරන උත්සාහයන් තුළ පිටතට නොපෙනෙන යටි අරමුණු, දේශපාලනික ව්‍යාපාරික සහ සමාජීය න්‍යාය පත්‍ර තියෙනවා. 
හැබැයි මේ චරිතත් කාලයක් තිස්සේ සමාජය තුළ ජීවත් වෙනවා. අගතියට පත්, අසාධාරණයට ලක්වූ කියන ලේබලයෙන් එන්න කලින් ඉඳන්ම. අනෙක් අතට ස්වාභාවික ගැහැණු තුළත් පුරුෂ පෞර්ෂත්ව තියෙනවා, ස්වාභාවික පිරිමි තුළත් ස්ත්‍රී පෞර්ෂත්ව තියෙනවා. ඒවා තමයි අපි දකින්නේ පුරුෂයා ඉන්දැද්දි පවුල් බර අදින ගැහැණුන්ගෙන්, ගැහැණුන්ට වඩා ලස්සනට ගැහැණු වැඩ කරන පුරුෂයන්ගෙන්. හැබැයි ඒ අයටත් සමාජය හිජ්රාවන්ට වගේම අපහාස උපහාස කරනවා. 

සංක්‍රාන්ති ලිංගිකයෙකුට පුළුවන් තමන්ගේ අභිමතය අනුව ශාරීරිකව වෙනස්වීම් කරගන්න. හැබැයි ඒ මාර්ගය කොහොම එකක්ද කියලා බහුතරයකට දැනුමක් නෑ, කුතුහලයක් තියෙනවා. මේ චිත්‍රපටයේ දී හඩ්ඩි ඒ ශල්‍යකර්මයේ අත්දැකීම පෙන්නනවා. බලලත් ඇඟ හිරිවැටෙන ඒ විස්තරය, වෙනස්වෙන්න හිතෙන කෙනෙක් ඉන්නවා නං බලන්න වටිනවා. 

දැන් කවිද මේ හඩ්ඩිව මවනවා ඇත්තේ? 
නවාසුඩීන් සිද්දික්! 
කව්රු? 
ඔව්, නවාසුඩීන්. 
වෙනස් වෙනස් චරිත තෝරාගන්න නවාසුඩීන් මේ වතාවේ ප්‍රේක්ෂකාගාරයට ගහලා තියෙන්නේ එසේ මෙසේ මිටියකින් නෙවෙයි! 

චිත්‍රපටයේ අභව්‍ය, අතාත්ත්වික තැන් තිබ්බත්, රංගනයේ ලුහුඬුකම් තිබුණත් සාමාන්‍ය පණිවිඩයක් සහ කතාවක් (Narration) හැටියට සාර්ථකයි කියලා මට හිතෙනවා. 

හැබැයි චිත්‍රපටය අන්තිමේදී කැරකිලා කැරකිලා එන්නේ දේවත්වයට ආසන්න ස්ත්‍රීවාදිත්වයකට කියලත් මට හිතෙනවා. මොකද අන්තිමට හඩ්ඩි කියනවා "you wouldn't know what it means to be a woman. You got to have guts to be one".

ඒ අවස්ථාවට දේව ඇදහිල්ල එකතු කරලා තියෙන්නවා ලස්සන වචන ටිකකින්. 
🎶My salutations to both Parvathi and Shiva
To Her whose body shines similar to molten gold, 
To Him whose body shines like the burning camphor, 
To Her who has a well made up hair, 
And to Him who has the matted lock. 
Om Namah Shivaya. 
My salutations to both Parvathi and Shiva
To Her whose dance marks the creation of the world, 
To Him whose dance destroys everything, 
To Her who is the mother of universe, 
To Him who ia the father of the universe. 
Om Namah Shivaya🎶

හඩ්ඩිව මුණගැහිලාම බලන්න. 
හැබැයි, හැම කතන්දරේකම හැංගුණු තව කතන්දර ගොඩක් තියෙනවා. 

~✏️ Aash Weerasinghe

"ණ" සම්මාන

මනුවර්ණ සම්මානයකට පාත්‍රවීම ආන්දෝලනාත්මක සිදුවීමක් විය යුතු නැහැ! ඒත් එහෙම වුණා. ඇයි?

මනුවර්ණ පිළිබඳ පිටස්තරයෙක් හැටියට මගේ කියැවීම දෙන්නම්. මං මනුවර්ණව අඳුනගත්තේ 2014දී යහපාලනය බලයට ගේන්න පටන්ගත්ත ෆේස්බුක් රැල්ල කාලයේ ඔහුගේ ලැම්බෝගිනි නාටකය නිසා. එතනදී ඔහු ජවිපෙ හෙවත් ජාජබ කඳවුරේ හිටගෙන (තවමත් එහෙමමයි - ප්‍රතිපත්ති ගරුකයි) කළ ඒ කතාව දේශපාලන පක්‍ෂ විපක්ෂබාවය පැත්තකින් තියලා බැලුවත් මට දැනුණේ ඕවර් ඇක්ටින් දඟලානා එකක් හැටියට. අන්තිමේදි ඔවුන්ගේ ප්‍රකාශවල සත්‍ය අසත්‍ය භාවය ඔප්පු වුණාද නැද්ද කියන එක තීරණය කිරීම ලාංකික සමාජයට භාරයි (තමතමාගේ නැණ සහ ආකල්ප අනුව).

ඉන් අවුරුදු දහයකට පස්සේ ඒ මනුවර්ණම හිටවපු කොඩි ගහ යට මාත් රසිකයෙක් වෙනවා (දෛවයේ සරදමක් නෙවෙයි). සාමාන්‍යයෙන් ජීවිතේ දශකයක් කියන්නේ මිනිස්සු පරිණතවීම සහ පරිණාමය පෙන්නන ලොකු කාලයක්, ඕකේ අවුරුද්දෙන් අවුරුද්ද ගත්තත් එක්කෝ නැග්මක් එක්කෝ බැස්මක් පෙන්නලා ලස්සනට ප්‍රස්තාරගත කරන්න පුළුවන් වෙනස්වීම් (භෞතික, කායික, මානසික, අධ්‍යාත්මික) ඕනෑම කෙනෙකුට තියෙනවා. මට දැනෙන හැටියට මනුවර්ණ තමන්ගේ නමේ නියම අර්ථය, කලාකාරයෙක් හැටියට තේරුම් අරං තියෙන්නේ දැන් කියලා. ඔහු සම්මානයට පාත්‍ර වුණ 'රහස් කියන කඳු' නම් මම තාම දැකලා නැහැ, දැකපු අය ඇති. ඒක නිසා කොඩිගහයට ගැන කෙටියෙන් කිව්වොත් ඒක පට්ට අමු (raw), විශාල වපසරියක විහිදිච්ච ජීවිතවල අංශු මාත්‍ර අල්ලන්න හදන කතාවක්. බහුතර රසිකයන් එක්ක මාත් ඒ හැම අංශුවක්ම දැඩි පෙරේතකමකින් අල්ලගනිමින් ඉන්නවා. තවම ඒ ගැන කතා නොකරන්නේ කොයි වෙලාවෙ හරි මනුවර්ණගේ දක්ෂ කලාකාරයා යටපත් කරන් අර ඕවර් ඇක්ටින් දඟලානා දේශපාලන හෙංචයියා මතුවෙලා, වමට ගහලා මේ නිර්මාණය විනාස කරයිද කියලා මට තියෙන සාධාරණ සැකයක් නිසා. 

කලාකරුවන් දේශපාලනීකරණය වීම තරම් අපරාධයක් තවත් නැහැ කියන එක මම හැමදාමත් කියනවා. මිනිස්සු හැමෝම දේශපාලනික සත්වයන්. කලාකාරයන්ටත් ඒක එසේමයි. හැබැයි ලේබල් වුණ ගමන් ලැබිය යුතු වටිනාකම ඒ කලාකාරයන්ට ලැබෙන්නේ නෑ. (ජැකාට නරකයි මනුවර්ණට හොඳයි වෙන්න සාධාරණ සමාජයකදි නම් බැහැ) 

හරි. දැන් එහෙම දේශපාලනික කියැවීමක් තියෙන මනුවර්ණගේ නාට්‍යය විකාශය කරන්නේ පවතින ඕනෑම රජයකට අනුගතව ක්‍රියාත්මක වෙන ස්වාධීන රූපවාහිනියේ. ITN වෙනුවට 'ස්වාධීන' රූපවාහිනිය කීම මෙතනදි වැදගත් කියලා මම හිතනවා. 
ඔවුන්ගේ නාට්‍ය තෝරාගැනීමේ ක්‍රියාපටිපාටිය නම් ප්‍රශංසනීයයි.👏

මනුවර්ණගේ නිර්මාණයක් පහුගිය දෙරණ ලක්ස් සම්මාන උළෙලේදී සම්මානයකට පාත්‍ර වෙනවා. සුබ පැතුම්! 💐කලාකාරයෙක් හැටියට අගය කිරීමකට ලක්විය යුතු පුද්ගලයෙක් කියලා මම විශ්වාස කරනවා. 
නමුත් හැමදේම දේශපාලනිකයි. විපක්ෂයට පක්ෂග්‍රාහී හැටියට තවමත් ලේබල් වෙලා තියෙන, ජවිපෙ/ජාජබයේ දැඩි දෝෂ දර්ශනයට, විවේචනයට, මඩට ලක් වෙන 'නයි දෙරණ' දරණ ගහගෙන මනුවර්ණට සම්මාන පිරිනමනවා. මනුවර්ණට, කලාකාරයෙක් හැටියට හිත ඇතුලෙන් අප්‍රමාණ සන්තෝෂයක් දැනෙන්නෙ නැතුව ඇති කියලා පෘථග්ජන මනුස්සයො හැටියට අපිට කියන්න බෑ. දෙරණ මේ කළේ දේශපාලනික හෝ ව්‍යාපාරික අරමුණකින්ද කියලා පටු විදිහට මේක නිර්වචනය කරන්න බැරි අමුතුම paradox එකකට හෙවත් 'ණ' paradox එකකට මේ සිද්ධිය නිසා දේශපාලන සහ  කලා ප්‍රේක්ෂකාගාර දෙකම තල්ලු වුණා කියලයි මගේ කියැවීම. 
මොකද දේශපාලනය පැත්තෙන් ගත්තත්  විරුද්ධ-දේශපාලනික-ලේබල්ගත-නාලිකාවකින් සම්මානයක් පිළිගත්තට දේශපාලනික මනුවර්ණට අපහාසයක් වෙනවා. කලාව අතින් ගත්තත් සම්මානය වැඩක් නැහැ කිව්වොත් කලාකාර මනුවර්ණගේ දක්ෂතාවයට අපහාසයක් වෙනවා. 

ඒ මොකවුණත්, මනුවර්ණට තමන්ගේ කලා හැකියාවන් තව පෙන්නන්න තියෙනවා. දේශපාලනික සහ NGO න්‍යාය පත්‍රවලින් තමන් තුළ ජීවත් වෙන ඒ දක්ෂ කලාකාරයා ම|රා|ගන්නේ නැතුව ඉන්න එක ඔහුටම භාරයි. 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Saturday, April 1, 2023

සදාකාලික ඉලන්දාරියා

කලං කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්! කලං ගැන කියන හැම වෙලාවකම, ඔහුව දකින හැම වෙලාවකම මං ඕක කියනවා කියලා මගේ සමීපතමයො දන්නවා. කොටින්ම කලං මගේ ක්‍රෂ් එකක්❤️

කලංව මුලින්ම දැක්කේ කවද්ද මොන චිත්‍රපටයෙද කියලා මට මතක නෑ. හැබැයි සෑහෙන්න පොඩි කාලෙක වෙන්න ඕන. කලංගෙ චරිතයක්, නිර්මාණයක් ගැන ලොකු විචාර ලියන්න තරම් මම ඔහුගේ නිර්මාණ නරඹලා නෑ. 
හැබැයි..ඒ පළමු දැක්මේ ඉඳන් හිතේ කෙටිච්ච චරිතයක්!  චූටි මනුස්සයෙක් වුණාට මට දැනිච්ච ඔහුගේ පෞර්ෂත්වය මහ විශාලයි. ඔහුට තිබ්බේ පුයර බබෙක්ගෙ පෙනුමක් නෙවෙයි. වෙන මොකද්ද මහ ජේත්තුකාර කඩවසම් පෙනුමක්. දැන් වගේ මූණේ රැලි බොටොක්ස් නොකළ කාලෙක කලංගේ මූණේ රැල්ලක පවා මොකද්දෝ වෙනමාකාරයක ආකර්ෂණයක් තිබ්බා කියලා හිතෙනවා. අග්න්‍යාශය විකාගෙන දතකට පූට්ටු කරගෙන දෙන දෙබස් අභින නැතුව  හරිම සාමාන්‍ය තාත්විකබව මම දැකලා තියෙන සීමිත රංගන කීපයේ දැක්ක එක ලක්ෂණයක්. 

අද උදේ කලං ගියා කියලා දැක්කම මං ජංගමයා ඇහැට ළංකරලත් ආයෙ කියෙව්වා. මං හිතුවෙම වැරදීමක් කියලා. අවුරුදු 82ක් වෙලා යන්න ගියත් කලංගෙ මුණුපුරු පරම්පරාවක මටත් කලං මගේ පරම්පරාවේ එකෙක් වගේ. මෙයින් පස්සේ කොහේ ගියත් කලං කියන්නෙ අපේ සිනමාවේ සදාකාලික ඉලන්දාරියා❤️
සමහරවිට කොණ්ඩෙ අවුල් කරගෙන බෙල්බොටම් එකට යට කළ ස්ලිම්ෆිට් කමිසේ අත් නවාගෙන උඩ බොත්තම් දෙක තුනක් ඇරගෙන කලං එහෙත් ජේත්තුවට ඉන්නවා ඇති. 
සුබ ගමන් කලං අන්කල්💔💐

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Monday, March 6, 2023

නන්නත්තාර නන්නත්තාරේද?

(2023 මාර්තු 6දා සිනමාවේදීන් සමූහයට) 

අවුරුදු පහළවකට පස්සේ ජයන්ත චන්ද්‍රසිරි කළ නිර්මාණයක් කොටස් 48කින් ඉවර වුණා. විවේචන ඕනෑතරම් ඇති නිසා මට දැනෙන හොඳ ටික ලියලා ඉන්නම්.

ජයන්ත ලකුණ කොහොමත් අතාත්වික පැත්තට ටිකක් බර අධිතාත්වික එකක්. මිනිස්සු හිත් ඇතුළේ විතරක් කරන නාට්‍යමය, භාවමය සංවාදවලට ඔහුගේ නිර්මාණ ඇතුළේ පණ එනවා. ඒවා එහෙම භෞතික ලෝකේ දැක්කම අපිට හිතෙනවා මොන මඟුලක්ද මේ කියලා.

නන්නත්තාරේ එක දිගට දුවන දේශපාලනමය යටි අරුතට මම කැමතියි. Drug cartle එකකයි දේශපාලනයෙයි සාම්ප්‍රදායික පදනමෙන් ගත්තොත් අහසට පොළව වගේ වෙනසක් තියෙන්න ඕන. නමුත් ප්‍රායෝගිකව ඒ සමූහ දෙකේ ව්‍යුහය සහ ක්‍රියාත්මක වීම සමානයි.

මිනිස්සු බලය ගන්න ගොඩක් දේවල් කරනවා. බලය රඳවාගෙන තියාගන්නත් ගොඩක් දේවල් කරනවා. (පොඩ්ඩක් ඉන්න හදිසි වෙන්න එපා✋) බලය තියෙන හැම මිනිහෙක්ම/ගෑණියෙක්ම වටා ප්‍රශස්ති ගයන පිරිසක් ඉන්නවා. මතකද ඕකේ ඩැඩී ඩේවිඩ්ගේ අගසව් ඩොක්ටර් ගලප්පත්ති, පළවෙනි කොටසෙදි කියනවා 'අපි හුස්ම ගන්නෙ අපේ පෙණහැල්ලෙන් නෙවෙයි, ඩැඩී බොස්ගේ පෙණහැල්ලෙන්'
ඊටපස්සේ මිනිහා අපභ්‍රංශ කවියක් කියනවා මතකද?
ඒක තමයි බලපුලුවන්කාරයෙක් වටේ එක්කහුවෙන වැඩිමනක් මිනිසුන්ගේ විදිය.

නන්නත්තාරේ ඇතුලේ තියෙන ව්‍යාංගාර්ථවලට මං කැමතියි.
බිරිඳ, දරුවො කියලා 'තනතුරු' දීලා පවුලක් හදාගෙන ඉන්න එකම අද කාලේට දුන්න කණේපාරක් වගේ දැනෙන්නේ නැද්ද? පවුලක තියෙන බැඳීම තනතුරුවලට දුන්න JD (job description) එකක් කළාම කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒක කරන්න වෙනවා, ඒ ව්‍යුහය තුළ රැඳෙන්න නං! (මෙතන ඒ ව්‍යුහයේ රැඳෙනවා මිසක් කිසිම කෙනෙකුට ගැලවීමක් නෑ, ගැලවෙනවා නම් ගැලවෙන්න පුළුවන් මරණයෙන් විතරයි. පොඩ්ඩක් සංසාර චක්‍ර සංකල්පයත් වගේ.)

අනෙක් අතට ඇයි ඩැඩී ඩේවිඩ් වගේ මිනිහෙකුට පවුලක් අවශ්‍ය වෙන්නේ? ශ්‍රී ලංකාව විතරක් ගත්තොත් හැබෑව මොකක්වුණත් පවුල කියන සම්ප්‍රදාය ඕනෑම කෙනෙකුට ශක්තිමත් පදනමක් පෙන්නනවා. පිතෘත්වය සහ මාතෘත්වය ඔය කොයි රැඩිකල් රැල්ලකටවත් ගහගෙන නොගිහින් තාම යම්තාක් දුරකට අඩුවැඩි වශයෙන් හැම සමාජ ස්ථරයකම රැකිලා තියෙනවා. හැම බලපුලුවන්කාරයෙක්ටම පවුල වැදගත්. එහෙම නොවුණු තැනක බලය රැඳුණත් පියවිය නොහැකි අඩුපාඩුවලට නිරන්තරයෙන් සමාජය ඇඟිලි දික්කරනවා.

අනිත් එක ඒ යටත් පිරිස ඇතුලේ තියෙන නොනවතින බල අරගලය. හැමෝටම ඕන cartle එකේ බොස්ගේ ඇස්වලයි හිතෙයි හොඳම එකා වෙන්න, පක්ෂපාතීම, කීකරුම එකා වෙන්න. හොඳම ගොට්ට වෙන්න!
මේක වෙනම කල්ට් එකක්. ඒ කල්ට් එක 'අදහන්නේ' බොස්ව. ඒ බොස් පිස්සෙක් වුණත්, උමතු ප්‍රේමවන්තයෙක් වුණත්, ඉක්මණ් කොටෙක් වුණත් යටත් පිරිස ඔහුට කීකරුවෙන්න ඕන.

අර වැරදි වැරදි සංගීතය සපයපු ටෙස්ට් මීයෝ ටික මතකද. ඇයි සංගීතය බෑ කියලා දැනදැනත් සංගීතය වාදනය කරන්න දෙන්නේ? තමන්ගේ යටත්වැසියාගෙන් පක්ෂපාතීත්වය ගන්න ගමන් උන්ටත් පොඩි එන්ටටේන්මන්ට් එකක්, හැකියාව පෙන්නන්න ඉඩක්, තව පොඩි දෙයක් ආපස්සට දෙනවා. හැබැයි විශේෂණ පද වෙනස්වුණාට උන්ගේ භූමිකාව වෙනස්වෙන්නේ නෑ (lab rats, musical rats)

කතා කරන්න ඕන අනෙක් කාරණේ දෙබස්!  අසාර්ථක වෙච්ච තැන් තිබ්බත් සමස්තයක් විදියට සාර්ථකයි කියලා මට හිතෙනවා. මේක බලන්න ඕන කියලා හිතුණේ ITN youtube channel එකේ දාන short එකක් හින්දා. කෑමට එන්න කියලා රම්බා එක්ක මාග්‍රට්ගෙ වෙන සංවාදය! 😂
සමහ වචන සංස්කරණය වුණාට නොකර තිබ්බා නං තමයි නියම නාට්‍යානුසාරය එන්නේ ඒකේ😂

අනිත් හොඳම දෙබස තමයි cartle එක වැටලුව වෙලාවේ ඩොක්ට ගලප්පත්ති කියන ටික "මොකද්ද මේ අසාධාරණේ? This is very inhumane. You all violate human rights. you gatecrashed our peaceful house." ඔක්කොම ජල්තරකාරයෝ, අපරාධකාරයෝ අන්තිමට එල්ලෙන පිදුරුගස් අවස්ථාවාදී ප්‍රකාශයක්නෙ ඔය!

දේශපාලන යටිඅරුත ගැන කිව්ව නිසා මේකත් ලස්සනට කියැවෙන බව නොකියම බෑ. හැමෝටම නායකයො වෙන්න බෑ. ඩොන්ලා හදන්නේ වෙන අය වුණාට, ඩොන්ලා 'වෙන්න' හැමෝටම බෑ. ඒක නායකත්ව විකසනය දිහා බලන ප්‍රේක්ෂකයාට දනවලා තියෙන්නේ ලාවට. ඩැඩී ඩේවිඩ් දිහා බලලා අන්තිම ඉක්මණ් කොටා දිහා බැලුවම අරම තිබ්බ කාට්ල් එක කොච්චර දියාරු වෙලාද කියලා පේනවා. ගමනක් යන්න තිබ්බ මනනන්ද හදවතට වහල්වෙච්ච නිසා මැරිලා යනවා. මානසික රෝගියෙක් වුණත් ඩැඩී ඩේවිඩ් අන්තිම වෙනකල් ගැලවිලා ඉන්නවා. නායකත්වය කියන එකට අර්ථ දෙන්නේ එන මිනිස්සු. සමහරුන්ට ඒක නිකන් තනතුරක්, සමහරු ඒ තනතුරු නැතිවුණත් 'චරිත' වෙනවා.
ඒ වගේම ඕනෑවට වඩා පක්ෂපාතීයි වගේ පෙන්නන සමහර අගසව්වන්ට පුළුවන් ලොකු ගේම් දෙන්න.

කතා සංකල්පය ගත්තම දියාරු වෙච්ච තැන් ඕනෑතරම් තියෙනවා. හැබැයි කතාව දුවන්න ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රඟපෑමෙන් ලැබෙන ශක්තිය ගැන නොකියම බෑ. මෙල්වින් කියන්නෙත් ඩේවිඩ් කියන්නෙත් ශ්‍රියන්තම මිසක් වෙන කවුරුවත් නෙවෙයි කියලා හිතෙන තරමට සාධාරණයක් කරලා තියෙනවා.
ඒ වගේම මේඝ සහ වින්ද්‍යා හොඳ තේරීම් දෙකක්.කතාව සංස්කරණයෙනුත් මේඝ දායක වෙලා තියෙනවා.

කොයිතරම් අඩුපාඩු තිබ්බත් නිර්මාණකරුවෙක් හැටියට යාවත්කාලීන වීම ගැන ජයන්ත චන්ද්‍රසිරිට ප්‍රශංසාවක් ලැබෙන්න ඕන. ට්‍රෙන්ඩ් එක අඳුනගන්න එකත් හැකියාවක්. දිනන්න හරි පරදින්න හරි බලාගෙන ඒකට මූණ දෙන්නත් කෙනෙකුට ශක්තියක් තියෙන්න ඕන.

නමුත් මම විවේචන එක්ක එකඟයි. විශේෂයෙන්ම කතාව දියාරුවීම ගැන. එක අතකට අපි බලාපොරොත්තුවෙන්නේ දඬුබස්නාමානේ ජයන්ත.ඒත් ජයන්තට දැන් ඉන්න වෙලා තියෙන්නේ ඉරටුබස්නාමානේ වෙන්නත් පුළුවන්. ලෝකේ වෙනස්, ප්‍රේක්ෂකයා වෙනස්, තරඟකාරීත්වය වෙනස්, මිනිස්සුන්ගේ ජීවන රටාව හැඟීම් ප්‍රකාශන ආකල්ප වෙනස්.

අන්තිමට කිව්වත් මේකේ තේමා ගීතය ගැන නොකියා ඉවර කළොත් මගේ ලිවිල්ල අසම්පූර්ණයි. ජයන්තගේ පදවලට සංගීතයෙන් නවරත්න ගමගේ වගේම ගායනයෙන් රවී රොයිස්ටර්, කෙනන් ඩී සිල්වා, ට්‍රෙවින් ජෝශප්, රුවිනි අබේසේකර, නිපුනි සිරිවර්ධන සහ සචිනි පෙරේරා දුන්න හඬ දායකත්වය නියමයි.

උපන්නාට ඔහු වැනෙයි
උපන් නිසා ඔහු මැනෙයි
හපන්කමක්යැයි සිතා
වයසින් මෝරා වැඩෙයි
උගෙ හෙවණැල්ලෙම උඩ ඌ හිටගෙන
කළු කලෙ කවුදැයි අසයි...

ඉතින්, අපි ඔක්කොම ඇත්තටම නන්නත්තාරයි තමයි!

~✍️ Aash Weerasinghe

Sunday, February 26, 2023

අක්ෂි

(2023 පෙබරවාරි 26 දින සිනමාවේදීන් සමූහයට) 

ස්වර්ණවාහිනියේ අලුත් නාට්‍යයක් යනවා. අමුතු චිත්‍රපට පාටක් තියෙන නිසා බලන්න ගත්තා. ඇත්තටම දෙමළ චිත්‍රපට රසිකයන්ගෙ කැමැත්ත දිනාගන්න පුළුවන් මට්ටමක වැඩක්. අඩුපාඩු නැත්තේ නෑ හැබැයි වෙනසක්.

මේකේ කැපී පෙනෙනම දේවල් ටික තමයි සංගීතය, කැමරාව සහ සංස්කරණය. 👌 සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන විහඟ මුතුතන්ත්‍රීගේ හොඳ සාධාරණයක් කරලා තියෙනවා කියලායි මගේ අදහස. එක එක චරිතවල themes වගේම සිද්ධිවලට දෙන සංගීත කොටස්වලිනුත් හොඳ සහයක් කතාවට ලැබිලා තියෙනවා. උදාහරණයකට මාන්නප්පෙරුම වගේ චරිතයකට අදාළ jingle එක එහෙම චිත්‍රපටයකට ගැලපෙන මට්ටමට තියෙනවා.

චානක සංජීවගේ කැමරා අධ්‍යක්ෂණය ප්‍රශස්තයි. හොඳ angles ටිකක් වගේම නාට්‍යයක කලාතුරකින් දකින cinematic ගතියක් නිර්මාණය පුරාම පේනවා. වර්ණ සංයෝජනය කළ වජිර පෙරේරා සහ සංස්කරණය කළ ගිෂාන් ප්‍රභාත් තෙන්නකෝන්ගේ මහන්සියත් අනිවාර්යයෙන්ම ඊට ඇතුළත්. 

කුලුඳුල් අධ්‍යක්ෂණයක් හැටියට  ශාන් ජයරත්න හොඳ මට්ටමක වැඩක් කරලා තියෙනවා. 

ඒ වගේම මේකේ තේමා ගීතය ලස්සනයි. ගිරිය යටින් කෑ නොගහා ලස්සනට කියලා ඉවර කරනවා.

මං කැමතියි මේ කතාවේ පළවෙනි කොටසේ චරිත හඳුන්වාදෙන විදිහට. නාට්‍යයක් නෙවෙයි චිත්‍රපටයක් කියලා තමා හිතෙන්නේ. 

අඩුපාඩුත් තියෙනවා. ඉන්දියානු ඌරුවකට තමා පිටපත, රඟපෑම, චරිත, අධ්‍යක්ෂණය ළග. විශේෂයෙන්ම ජනාගෙ චරිතය නම් තනිකරම ධනුෂ්ගේ කොපියක් වගේ. හැබැයි ඉතින් ඔහුව අනුකරණය කරන රසිකයො ලංකාවේ නැත්තේම නැති නිසා සාධාරණීකරණය කරන්න කොටසක් ඉඳීවි.

එක එක චරිතවල විශේෂ ලක්ෂණ ඉස්මතු කරලා තියෙන එකත් ඉන්දීය ආභාෂයක් හැටියට දැනෙනවා. සමහර ඒවා සරලයි, සමහර ඒවා ටිකක් මෝඩ පාටයි. ජනා බ්‍රේස්ලට් එක කරකවන එක, අයි පී කුෂාන් මහපටැඟිල්ලෙන් නළල පිහින එක එහෙම නම් දෙවැනි ගනයට වැටෙන්නේ. ඊට සාපේක්‍ෂව මාන්නප්පෙරුම තරහට ඇස් කණ්ණාඩිය ගලවලා නැවත දාගන්න එක subtle. ලොකු හානියක් කරලා නෑ ඒ චරිතෙට. හැබැයි අනෙක් අතට ජනාගෙ චරිතෙ ගොඩනගලා තියෙන්නෙම ධනුෂ්ට හඳුන්කූරු පත්තු කරන ඒ රටාව අනුකරණය කරන කෙනෙක් හැටියට නිසා අධ්‍යක්ෂකවරයා බලාපොරොත්තු වුණ බොළඳ ගතියක් ඒ චරිතෙට දෙන්න ඒ බ්‍රේස්ලට් කැරකැවීම යොදාගත්තා වෙන්නත් පුළුවන්. 

කතාව ගත්තොත් නම් සාම්ප්‍රදායිකයි. වත්තක මිනිස්සු, බලපුලුවන්කාරයෝ, ඒ අස්සෙ ගලන ආදර කතා, මවාපෑම් වගේ සුපුරුදු මසාලා වට්ටෝරුවම ලස්සනට ගලපනවා වගේ පේනවා. 
දැනට විකාශය වෙලා  තියෙන්නේ කොටස් පහළවයි. ඉස්සරහට බලං ඉමු මොකක් වේවිද කියලා. 

~✍️ Aash Weerasinghe

Tuesday, January 17, 2023

ගල්, මල් කරන කලාව

ලංකාව දැන් තියෙන්නේ බූරුවා විකුණන්න ටවුමට යන්න ගිය තාත්තගෙයි පුතාගෙයි කතන්දරේ. බූරුවා දක්කගෙන පයින් යද්දි ඒකට බණිනවා, පුතා බූරුවගෙ පිටේ නග්ගලා තාත්තා පයින් යද්දි ඒකට බණිනවා, තාත්තා බූරුවගේ පිටේ නග්ගලා පුතා පයින් යද්දී ඒකට බණිනවා. බූරුවා වඩාගෙන ගියාම ඒකටත් බණිනවා! 'මැරෙන්ඩද අයිසේ කියන්නෙ' කියලා ඇහුවම ඒකටත් බණිනවා. 😂

මෑත කාලයේ ගල් ගැහුවම ඒවා මල් වගේ බාරගත්ත අවස්ථා දෙකක් අද සමාජ මාධ්‍යයේ දැක්කා. පළවෙනි එක පහුගිය දවසක 'ප්‍රසිද්ධ' මඩකට මූණ දුන්න ගෑණු තුන්දෙනෙක්. ඕපාදූප, කයිකතන්දර මොකවුණත් මේ ගෑණු තුන්දෙනා ඒකට දුන්න රිටන් එක මරු! කලාව පාවිච්චි වෙන්නේ විකල්ප ප්‍රතිපත්ති එළිදක්වන්න විතරක් නෙවෙනේ! 😉 නන්දා මාලනී යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න කියනවා නං සුජීවටත් බැරි වෙන්න බෑ මං ප්‍රසිද්ධයි කියලා මඩෙන් මලක් මවන්න.
Anjali Rajkumar K.Sujeewa 

නාමල් කරන්නෙත් ඒක. කව්රු අකමැතිවුණත් වැලලෙන්න හැදුවත් එන බව දැන දැන අපහාසෙට මූණ දෙන්න හැම මිනිහෙකුටම බෑ. නිර්නාමික ප්‍රොෆයිල් විතරක් නෙවෙයි ඇත්ත ප්‍රොෆයිල් අස්සෙ ඉඳගෙනත් වීර කතා ලියන හුගක් මිනිස්සු තමන්ට විරුද්ධ කමෙන්ට් එකක් ආව ගමන් මෙසෙන්ජර්වල Whatsappවල ගිහින් හරි කතා කරගෙන කඩුපොලු අමෝරාගත්ත ගෑණු සෙට් එකක් හරි බස්සවනවා ඒකට මූණදෙන්න. එහෙම වෙලාවක නිවන්සුව පැතුවම ඒකයි පොඩි මයිනා කිව්වම ඒකයි hashtag කරලා තමන්ම යෙදුවම අර උඩපැනපු, වැලලෙපු සෙට් එකේ ශක්තිය අවිවාදයෙන්ම චොරයි😂 තවතවත් වයිරයෙන් ක්‍රෝධයෙන් පැහිලා තමන්ටම වින කරගන්න එක විතරයි වෙන්නේ, මොකද අනිකා ඒක 'ආතල්' එකක් කරගෙන ඉවරයි😂
Namal Rajapaksa

පැය දෙකක් ඇතුළත සුජීවාගෙ සිංදුවට views 41,000යි නාමල්ගෙ පෝස්ට් එකට පැයක් ඇතුලත reactions 5500යි comments 5900යි shares 541යි!😂

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Wednesday, November 16, 2022

Tadka (2022)

(2022 නොවැම්බර් 16දින සිනමාවේදීන් සහ භාරත සිනමා රසික සංසදය සමූහයන්ට) 

Tadka (2022)
IMDb 7.1/10
Genre: Rom-com
Language: Hindi

ආකර්ෂණය සහ ප්‍රේමයට අත්පොත් තියන ජීවිතේ දෙවැනි දශකය වෙනම අත්දැකීමක්. ආදරේමද දන්නෙත් නැති, ආදරේ කියලා උපකල්පනය කරගෙන, ආකර්ෂණයයි ආදරයයි අයිතිකරගැනීමේ ආසාවයි අතර දෝලනයවෙමින් ඉන්න ඒ දෙවැනි දශකය අපේ පරම්පරාවට දැනුණු විදිහ අපේ කලින් පරම්පරාවට දැනිච්ච විදිහට වඩා වෙනස්. අපි දෙගොල්ලොන්ටම වඩා අලුත් පරම්පරාවට දැනෙන හැටි වෙනස්.
අපේ කලින් පරම්පරාව ලියුමකින්, ඉඳහිට කලාතුරකින් දැකගන්න හමුවෙන්න ලැබීමෙන් අත්දැකපු සම්බන්ධතා අපේ පරම්පරාවේදී අඩුම තරමේ ඉඳහිටක එන දුරකථන ඇමතුමකින් හරි වැඩිදියුණු වෙලා තිබ්බා. එතනින් එහා පරම්පරාවල සම්බන්ධතාවල ශක්තියත් දුර්වලතාවත් දෙකම තාක්ෂණික පදනම වෙන්නත් පුළුවන්. ඇතිවෙන්න ලේසියි, බිඳෙන්නත් ලේසියි, බිඳීම අමතක කරන්න පෙර පරම්පරාවලට සාපේක්ෂව වඩා ලේසියි.

එහෙම සුන්දර කාල පහුකරලා ජීවිතේ තුන්වැනි දශකයත් ආදරයට දුෂ්කර නොවෙන කාලයක්. ජය පැරදුම දෙකම විඳගෙන, යම්තාක් දුරකට හිත් හදාගෙන, සාමාන්‍යයෙන් සමාජ සම්ප්‍රදායට අනුකූලව විවාහය, දරුවන් කියන සම්මත අරමුණු බහුතරයකගේ තුන්වැනි දශකයේදී ඉෂ්ඨ වෙලා ඉවරවෙනවා.

දුෂ්කර හතරවැනි දශකයේ දී ප්‍රේම කරන එක. ප්‍රේම කරන එකටත් වඩා ඊට කලින් දශක දෙකේ අත්දැකීම්වලට පුළුවන් මනුස්සයෙක්ගේ හතරවැනි දශකය මුස්පේන්තු කරවන්න හරි ආදර සම්බන්ධතා ගැන කළකිරීමක් හෝ බයක් ඇතිකරවන්න හරි. ඇත්තටම හතරවැනි දශකයට පය ගහන්නේ තෙම්පරාදු වෙලා, නැත්නම් Tadka (Seasoning) වෙලා. ඒක නිසා චූටි අඩුලුහුඬුකමක් වුණත් වැඩියෙන් දැනෙනවා. හරියට අවුරුදු ගාණක් කෑව කෑමක ලුණු අඩුවැඩිකමක් ටක්ගාලා දැනෙනවා වගේ.
ටූකාරාමුත් මධුරාත් හිටියේ එතන..

හතරවැනි දශකය හරිම විපිළිසර, සංකීර්ණ දශකයක්. කෙනෙකුට සමීපවෙන්නේ කොහොමද, ඒ කෙනාට අවශ්‍ය මොනවද, ඒක ආසාවක්ද ආකර්ෂණයක්ද ආදරයක්ද කියලා ඇතිවන විචිකිච්ඡාව, තමන් ගැනම ඇතිවන අනාරක්ෂිත හැඟීම්, පරණ නරක අත්දැකීම් වගේ සෑහෙන ප්‍රශ්න කරගහගෙන කෙනෙක් හතරවැනි දශකයට පය තියන්නේ. විශේෂයෙන්ම අවිවාහක ටයිටලය දරාගෙන එද්දි. ඒ කිසිම සම්බන්ධතාවයකදී සම්පූර්ණ විශ්වාසයෙන්, පිරිසිදු නිකළැල් හදවතකින් කළ කුලුඳුල් ප්‍රේමයක හැඟීම ඇතිවෙන්න සාධාරණ පසුබෑමක් මනුස්සයෙක්ගෙ හිතේ ඇතිවෙන්න පුළුවන්. ආයෙත් රැවටෙනවද, හිත රිදවෙනවද, මේක ඇත්තටම ආදරයක්ද නැත්නම් වෙනත් අවශ්‍යතාවයක්ද, තත්පර විනාඩි පැය කටුවල ගමන කොච්චර වේගවත්ද වගේ අතිශය පෞද්ගලික සිතුවිලි වගේම සමාජය, පවුල, ඥාතීන් ඇතුළු හැමදෙනාගේම 'සියඹලා' අනෙක් හැම දශකයකටම වඩා මේ දශකයේදී දරාගන්න වෙනවා.

ජීවිතේ කවදාවත් ආදරේ නොකර විවාහ නොවී ඉන්න හිතපු ටූකාරාම්ට වැරදි නොම්මරයකින් ආව අත්දැකීමත් ඒ වගේ. සමහරවෙලාවට වැරදි "නොම්මරවලට" පුළුවන් අපේ ජීවිත උඩුයටිකුරු කරන්න, හොඳට නරකට දෙකටම!
වාසනාවකට හරි අවාසනාවකට හරි වැරදි ඇමතුම දුන්නෙත් ටූකාරාම්ගේ කුලකයේම කෙනෙක් හැබැයි ටූකාරාම් වගේ බලාපොරොත්තු අත හැරපු කෙනෙක් නොවුණාම..
ඔව් ඉතින් කතාව නම් මසාලා තමයි..

මේක බලන්නද එපාද කියලා මට කියන්න බෑ. ඇයි මං ඒක බැලුවේ කියලත් මම දන්නේ නෑ. චිත්‍රපටයේ රගපෑම්, කතාව, ගලායාම ගැන මට විශේෂ හැඟීමක් ඇතිවුණේ නැතුවට තැන් කීපයක යන දෙබස් තමයි මේක ලියන්න ඕන කියන සිතුවිල්ල ඇතිකෙරෙව්වේ.

"Am I a thing? You'll say anything and it won't hurt me? You'll keep on making fun out of me. I do have a space of my own right? I'm also a human being right? I too have feelings right? Now I am scared of relationships, what can I do now? Not scared whether the girl will give me happiness or not. I'm scared that whether I'll be able to keep her happy or not. I'm in a dilemma for her. I'm like this only, what can I do? For that will you make fun of me? It's not right, Isn't it? I have my fiefdom, please don't enter it. Poke your nose into everything, what is this? You married twice. Why did the first wife run away? Why did your second wife leave you? Did I ever ask why did that happen? I never asked you. You have a space of your own, to endure that pain. There's a corner and I don't have the right to enter that corner. I can understand that. Because you're my friend. I must understand that. Not possible, not possible to develop relationships. What can I do? In my journey thus far, I have done it alone, just a few more steps only. What's in it? There's a voice ringing in my ears. Her name is Madhura. I have given a shape to that voice. Though a little hazy. I'm unable to see her form but she's there. If you gouge out her from me, if you take her out, okay, I have taken her out. Now there's another girl, go and meet her. Go and meet her. How is it possible dude? When you take out something, it will hurt you, right? It'll bleed, right? Can you share that pain? Okay buddy take this 100 grams,you take this 100 grams, you take this 100 grams. Is it possible to happen? It is my pain dude. It'll remain my pain forever. It is not possible, dude. Bloody! How many times it had happened. I wanted to cry in front of you. I wanted to rest my head on your shoulders and cry. But I didn't because I felt you would make fun out of me. Even when I am alone, I don't cry. I don't believe in it. Because I am scared. I fear someone seeing it. I'll not cry. So this is what I am. I am weak. Be my friend, come on"

මේක තමයි මුළු චිත්‍රපටයම එක මිටකට ගන්න ප්‍රබලම, සංවේදීම තැන.. එහෙම තැන් හොඳටම දැනෙන්නේ මව්භාෂාවෙන් නිසා සිංහලට සංක්ෂිප්ත කළොත්..

"මාත් මනුස්සයෙක් නේද? උඹ මොනවා කිව්වත් මට දැනෙන්නේ රිදෙන්නේ නැද්ද? ඔව් මම ආදරේ කරන්න බයයි. මං බය කෙල්ල මට සතුටක් ගේනවද නැද්ද කියන එක ගැන නෙවෙයි. මට බය එයාව සතුටෙන් තියන්න මට පුළුවන් වෙයිද කියලා. මම එයා වෙනුවෙන් විඳවන්නේ මේ. මට මගේ කියලා ඉඩක් තියෙනවා. උඹටත් තියෙනවා.. හැබැයි මම උඹේ ඒ පෞද්ගලිකත්වයට අතදාන්නේ නෑ. එහෙම කරන්න මට කිසිම අයිතියක් නෑ. මම උඹේ විදිහට විහිළු කරන්නේ නෑ. ඒක උඹේ විදිය. මේ මගේ විදිය, මං ඒකට මොකද්ද කරන්නේ? මෙච්චර දුරක් මං ආවෙ තනියම. තව ටිකයි මට තියෙන්නේ යන්න. ඔව් මට සම්බන්ධයක් ඇතිකරගන්න බෑ, මං මොනව කරන්නද? මගේ කණ්වල දෝංකාර දෙන එක කටහඬක් තියෙනවා. ඒ මධුරාගෙ. ඒකට මම හැඩයක් දීලා තියෙනවා. හරියටම පැහැදිලි නැතත් එයා එතන ඉන්නවා. උඹට ඕන එයාව මගෙ හිතෙන් උගුල්ලා අයින් කරන්න , ඉරලා දාන්න. හරි එහෙම මම අයින් කළා කියමු. මගෙ හිතේ කොටසක් එහෙම උදුරලා දැම්මම මට වේදනාවක් නැද්ද? ඒක ලේ ගලන තුවාලයක් නෙවෙයි ද? ඒ ලේ ගලන තුවාලේ පිටින් ඉන්න මට උඹ කියනවා අර කෙල්ලව උඹට ගැලපෙනවා ගිහින් බලපං, මේ කෙල්ලව හම්බවෙයං කියලා. මම කොහොමද එහෙම කරන්නේ? ඒක මගේ වේදනාව, ඒක උඹලට ග්‍රෑම් සීය ගානේ බෙදලා මට සැහැල්ලු වෙන්න බෑ. මේ වේදනාව මුළු ජීවිත කාලෙම මට තියෙයි. මට කොච්චර හිතිලා තියෙනවද උඹට මේ ටික කියලා අඬන්න. ඒත් මට ඒක කරන්න බෑ. උඹ මට හිනාවෙයි කියලා මට බයයි. මට තනියම අඬන්න හිතිලා තියෙනවා, ඒක කරන්නත් මට බයයි කව්රු හරි දැකලා හිනාවෙයි කියලා. එහෙම කරන්න එපා මචං, ඇත්තටම මට යාලුවෙක් වෙයං"

අඬාගන්න බැරිකමට හිනාවේවි නානා පටේකර් ඔය ටික කියන විදිය බලන්නම ඕන ඒක දැනෙන්න නං.

නානාගෙන් තව වැඩක් ගන්න තිබ්බා කියලා හිතුණට චිත්‍රපටයම තියෙන්නේ නානාගේ රඟපෑම මත කියලා මට නම් දැනුණේ. ශ්‍රියා සරන් සාමාන්‍ය රඟපෑමක්. තප්සිගේ අනිත් රඟපෑම් එක්ක බැලුවම මේක හරිම ප්‍රාථමික මට්ටමක තියෙනවා වගේ දැනෙනවා.
මේක romantic comedyයක් නිසා අවුලක් නෑ, ඒත් මේ මාතෘකාව හරියටම අල්ලන්න පුළුවන් නිර්මාණයක් ආවොත් අනිවාර්යයෙන්ම ඒක සෑහෙන්න දෙනෙක්ව මතක හිටින රිද්දන එකක් වේවි.

~✒️ Aash Weerasinghe



Monday, November 14, 2022

ලාංකීය වීදිනාට්‍ය කලාවේ නැවුම් බලාපොරොත්තුව!

නාට්‍ය සහ රංග කලාව
මුල සිට සරලව
හිරුණිකා එරාංජලි ප්‍රේමචන්ද්‍ර යට්ටෝවිට

ශ්‍රී ලාංකික වීදි නාට්‍ය කලාවේ පියා කලාකීර්ති ගාමිණී හත්තොටුවේගම සූරීන්ටවත් එතුමාගේ ගෝලයන්ටවත් බැරිවුණා ලංකාවේ වීදි නාට්‍ය කලාව මෙච්චර දුරක් ගෙනියන්න. ඒකම ඇති හිරුණිකාට, ඔයා පාර්ලිමේන්තු ඉන්නම ඕන කෙනෙක් කියලා අහගන්න❤️

මේවා දකිද්දි එහා ලෝකේ ඉඳන් භාරත:
"දුක් මහන්සියෙන් හම්බකරලා, හැම සැපසම්පතක්ම දීලා, විශාඛාවෙන් උගන්නලා, විදේශ අධ්‍යාපනය දීලා, ඊළග පරම්පරාවලටත් ඇතිවෙන්න ව්‍යාපාර හදලා දීලා ඔයාව හැදුවේ මේවා කරන්නද මයෙ පුතේ.. 😔💔"

මං හිටගන්නෙ හිරු එක්ක. කාන්තාවන් හැටියට අපි මේ වෙලාවේ ඉන්න ඕන එයා එක්ක! 
Wild card round එකක් දීලා හිරුණිකාව පාර්ලිමේන්තුවට ගන්න අපි රජයට බල කරමු!
මෙන්න සිනමා කලාව බාරදෙන්න සුදුසුම ආමාත්‍යවරිය! ❤️

#හිරුණිකාටජයවේවා #අපේහිරුඅපටහොඳා #ලාංකීයසිනමාවේනවබලාපොරොත්තුව

~✒️ Aash Weerasinghe


Saturday, November 12, 2022

කහ, කහ වීම

සංගීතයට, කලාවට ප්‍රිය මනුස්සයෙක් හැටියට ලංකාවේ රියැලිටි වැඩසටහන් සමහරක ප්‍රේක්ෂකයෙක් මාත්. කාලයක ඉඳන්. පහුගිය අවුරුද්දෙ ඉඳන් බැලුවෙ නම් Voice Sri Lanka විතරයි. Season 1 සහ Teens ගුණාත්මක භාවය අනුව මේ වතාවෙත් සෑහෙන බලාපොරොත්තු සහගතවයි වැඩසටහන බලන්න ගත්තේ.

පළවෙනි දවස බැලුවා. 
දෙවැනි දවසත් බැලුවා. 
තුන්වැනි, හතරවෙනි දවස බලද්දී තමා මා තුළ ජීවත්වන ක්‍රිෂ්ණා වස්දණ්ඩ පොළවේ ගහලා "මේ මොන මයන්නක්ද අයිසේ මේ!" කියලා අහලා චැනල් එක මාරු කළේ.

අන්තර්ජාතික සන්නාම බහුතරයක් තමන්ගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන කලාපයට අනුව සුළු සුළු වෙනස්කම් කරනවා. මෙහෙ මැක්ඩොනල්ඩ්ස්වල රයිස් ඇන්ඩ් කරි තියන එක තමයි ඕකට දෙන්න පුළුවන් සරලම උදාහරණය.

 මට ඇත්තටම විශ්වාස නැහැ ස්වර්ණවාහිනියේ ලයිව් ඇට් එයිට් පිටපතට මරණගෙවල්වල ශෝකාලාප එකතුකරපු පිටපත් රචකයා දැන් සිරසට ගිහින් ද කියලා.
මේක දක්ෂකම් පෙන්නන තැනක්ද නැත්නම් කුලියට අඬන වේදිකාවක්ද? කොයිතරම් නම් විපිළිසර වුණාද කියනවා නම් ආයෙත් බැලුවා හිරු ස්ටාර්ද මේ කියලා!

හැම ගායකයෙක්ම ගායිකාවක්ම පිටිපස්සෙ මොකක් හරිම දුක කතාවක් තියෙනවා! ඒ මොකවත්ම නැත්නම් යාලුවා තරහාවුණා, අක්කා බැඳලා ගියා කියලා හරි වේදිකාවේ කඳුළක් නොහෙලපු කෙනෙක් හොයන එකට වඩා ලේසියෙන් කිසාකෝතමී නොමළ ගේකින් අබ හොයාගන්නවා, ෂුවර්!
මොකක්ද මේ විහිළුව???

තරගකාරයොත් අඬනවා, විනිශ්චයකාරයොත් අඬනවා, කියන්නේ නැති දේවල් විනිශ්චයකාරයෝ හාරහාර අහනවා, ඇහුවේ නැත්නම් තරගකාරයො කියනවා. ගම සමග පිළිසඳර හොඳා! 😅

හරි ඉතින් කලාකාරයෝ සංවේදී මිනිස්සු තමයි. හැබැයි ඕනෑම දෙයක් ඕනෑවට වඩා කරන්න ගියාම අවුල්. මීට වඩා මාකටිං ගේම් ගහන සිරසට හැම තරගකාරයටම දුක මාකට් කරන්න කියන්න වෙන තත්වයක් ඇතිවීම හොයලා බලන්න ඕන වැඩක්! එච්චරටම ඉච්ඡාභංගත්වයකට යන්න තරම් තරගයක් දෙන වෙන චැනල් එකක රියැලිටි තරගයක්වත් තියෙනවද? නැත්නම් ඕනෑවට වඩා කැටයම් දාන්න ගිහින් තොරණ බලියක් කරගන්න දත කනවද? 

ඔය බොරුව සහ දුක මාකට් කිරීමේ කලාව හෙවත් yellow journalism පටන්ගත්තේ 1800 ගණන්වලදී ඇමරිකානු මුද්‍රිත මාධ්‍ය කියලා තමයි කියවෙන්නෙ. (හඳ ගමන වගේ වෙන්නත් පුළුවන්) හැබැයි සමහරවිට ඊට කලින් ඉඳන්ම තියෙන්න ඇති. ඒකනේ ඔය අපි අහලා තියෙන කවිකොළ, රජ කාලේ ප්‍රශස්ති ගායනා එහෙම ඔය ආරේට ගිහින් තියෙන්නේ. රාමායණය, මහ භාරතය (මහාවංශය, චූලවංශය අපේ අයට කොහොමත් වහකඳුරු නිසා ඒ උදාහරණ ඕනෑ නෑ) පවා හරියට බැලුවොත් yellow journalism ඡායාවල්! 
මොකද්ද මේ yellow journalism කියනවා නං ඒකේ ලක්ෂණ ටිකක් කිව්වම වඩා පැහැදිලි වෙයි. 

    ●කැපී පෙනෙන සිරස්තල, පිංතූර, ප්‍රස්ථාර අරවාමේවා. බොහෝ විට අන්තර්ගතයට හාත්පසින්ම වෙනස්, අවධානය ඉල්ලන සිරස්තල (ලංකාවේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය සහ Youtube යන්නෙත් මේ ආරේට) 

    ●ලස්සනට කැටයම් දාලා, තලු මරලා, කෙන්ද කන්ද කරලා, ජනතාව කම්පනයට පත් කරලා, කුපිත කරවලා, කතාව රබර් කරලා කියන්න පුළුවන් පුද්ගලයන් යොදාගැනීම (චමුදිත, රංගන වගේ අපේ දේශීය නිෂ්පාදන ඇරුණම මෙහෙම කට්ටිය සමාජ මාධ්‍යවලත් අපමණයි!) 

    ●ඕනෑම කුණු කතාවක් පළවෙනියෙන්ම ඉදිරිපත් කිරීමට ඇති තරගකාරීත්වය (සියලුම විද්‍යුත් මාධ්‍යවල අරගලයේ හැසිරීම එක උදාහරණයක්) 

    ●Jingoism (දැඩි දේශානුරාගය සහ ජාත්‍යාලය (අපේ වීරවංශ ලොක්කා වගේ විදේශ ප්‍රතිපත්ති ගේම කෝල් කිරීමට භාවිතා කිරීම එක උදාහරණයක්) හෝ සංවේදී විෂයයන් සහ ඊට අනුබද්ධ දේ (දේශීය, සංස්කෘතික, ආගමික, පාරම්පරික ආදි) දැඩි ලෙස ගැරහීමට ලක් කිරීම (ලංකාවේ ජනප්‍රිය වෙන්න මේක කොයිතරම් නම් ලේසි ක්‍රමයක් ද කියලා සමාජ මාධ්‍ය භාවිතය දිහා බැලුවම පැහැදිලි වෙනවා) 

    ●ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය චරිතවල 'කුණු කතා' හාරැවිස්සීම සහ ලුණු ඇඹුල් එක්කර ලිවීම/කීම/නිෂ්පාදනය (ලංකාවේ බහුතර youtube නාලිකා) 

    ●බහුතර මතය, ජනප්‍රිය මතයට පෝර දැමීම සහ ඒ වෙනුවෙන් අවස්ථානුකූලව පෙනී සිටීම (අරගලය කාලවකවානුව තුළ සියලු විද්‍යුත් මාධ්‍යවල හැසිරීම) 

    ● නොවටිනා සිදුවීම් හෝ චරිත ප්‍රසිද්ධ කරවීම සඳහා කටයුතු කිරීම (ලංකාවේ අපට තේරෙන භාෂාවෙන් නම් කබ්බෝ ෆෝම් කිරීම) 

ඔය කාරණා ටික අරන් බැලුවම මම හිතන්නේ සුද්දටත් yellow journalism උගන්නන්න පුළුවන් මට්ටමක අපි ඉන්නවා දැන්. සමහරවිට ඒගොල්ලොන්ටවුණත් සාධාරණ ඊර්ෂ්‍යාවක් වුණත් ඇතිවෙන්න බැරි නෑ අපේ වැඩ දැක්කම. අන්න එදාට තමයි සුද්දා වුණත් අලුතෙන් දෙයක් අඳුන්වල දෙන්න කලින් දෙසැරයක් හිතන්න පෙළඹෙන්නේ😂

සිරසේ මේ වතාවේ න්‍යාය පත්‍රය මොකක්ද කියලා මම දන්නේ නෑ. ඔය රටාවට Voice Global අනුමැතියක් තියෙනවා ද දන්නෙත් නෑ. 
(සමහරවිට high context index එකේ උඩම ඉන්න පුළුවන් ඉන්දියාවේ තත්ත්වයත් මෙහෙම වෙන්න පුළුවන්. Voice India බලලා නෑ. නමුත් ඉන්දියාවේ වුණා කියලා ලංකාවේත් ඒක එහෙම වුණාට කමක් නෑ කියලා සාධාරණීකරණ තර්කයක් ගේන්න තරම් අපි ඉන්දියාවේ දූපතක් නෙවෙයිනේ) 

 මේ ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක් හැටියට සිංදුවක් අහලා දක්ෂකමක් බලලා සතුටු වෙන්න තියෙන අවස්ථාවක් මළ අඳෝනාවක්, අඬෝවැඩියාවක් කරලා, කොහොමත් ආතතියෙන් ඉන්න මිනිස්සු තව ආතතියට පත් කරවන්න එපා ඉතින්! මොකද ප්‍රශ්න ඕන නම් මිනිස්සුන්ට තමතමන්ගේ එව්වයි තමන්ගේ වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගේ එව්වයි හොඳටම ඇති අඬ අඬා රසවිඳින්න. ඒත් නැත්නම් කඩේ ගිහින් ආවත් ඇඬෙන තත්ත්වයකනේ අපි ඉන්නේ. 

සිරස උත්සහ කරන්නේ හැමෝටම ප්‍රශ්න තියෙනවා බ්‍රෝ කියලා මිනිස්සුන්ගේ හිත සනසවන්න හෝ දුක සාමාන්‍යකරණය කරන්න වගේ සද් අරමුණක් ක්‍රියාත්මක කරවීම වෙන්න බෑ කියලා පෙරවැරදි නිසා හිතෙනවා. හැබැයි මේක මෙහෙම මාර ප්‍රශ්න ගොඩක් තියෙන රටක් කියලා මිනිස්සුන්ගේ ඔලු තව කුරුවල් කරන්න වක්‍රාකාරව උත්සහකිරීමක් වෙන්න නම් සෑහෙන ඉඩක් තියෙනවා. 

මේ යන විදියට අන්තිමේදී ලංකාවේ මාධ්‍ය කලාව කහ-කහ මාධ්‍ය කරයිද කියලත් සාධාරණ සැකයක් ඇතිවේගෙන එනවා! 

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #lka #realityshow #YellowJournalism

Tuesday, October 18, 2022

හිතුවක්කාරී (2022) - ITN

2022 ඔක්තෝබර් 18දා සිනමාවේදීන් සමූහයට

මාස කීපයකට කලින් youtube සරනකොට ITN නාලිකාවේ යන කතාවක කොටසක් හම්බුණා. විචිත්‍රවත් වර්ණ හින්දයි පොඩි තරුණ vibe එකකුයි ආව හින්දා බැලුවම මුල් කොටසේ ඉඳන්ම බලන්න ආසාවක් ඇතිවුණා. කතාවේ නම 'හිතුවක්කාරී' 😬

සාමාන්‍යයෙන් හැම නාට්‍යයක්ම බැලෙන්නේ නැතිවුණාට ෆිට් එකක් හම්බුණොත් නිදි කිරමින් හරි බලන කැත පුරුද්දක් මට තියෙනවා. ඒක Fringe season පිටින් එක දිගට බැලීමෙන් ඇතිවෙච්ච කැත පුරුද්දක් 😁

ITN එක මම හිතන්නෙ සාපේක්ෂව ගුණාත්මක භාවය බලනවා තාම නාට්‍ය තෝරද්දි. අනිත් නාලිකාවලට සාපේක්ෂව. මට එහෙම නාට්‍ය කීපයක් හම්බවෙලා watch later දාං ඉන්නවා දැං සෑහෙන්න කාලයක් කාලවෙලාව හොයාගන්නකල්.

'හිතුවක්කාරී' මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ තිර රචනයක්. කමෙන්ට්ස්වලින් දැනගත්ත හැටියට විජය සේතුපති රඟපාන Kadhalum Kadanthu Pogum කියන දමිළ චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙන බවයි පේන්නේ. හැබැයි ඒ චිත්‍රපටය තැනින් තැනින් බැලුවම මට හිතෙන්නේ මේ නාට්‍යය චිත්‍රපටයට වඩා හොඳ තැනක තියෙනවා කියලා. 

එමාෂා සහ සාරාංග ප්‍රධාන චරිත රඟපාන මේ කතාවේ කතා නොකරම බැරි චරිතය ජයන්තදාස් නැත්නම් ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා රඟපාන චරිතය. සැරපරුෂ, නීතියට වැඩකරන තාත්තෙක් වුණාට හැම තාත්තෙක්ම නියෝජනය කරන ඒ චරිතයට උපරිමම සාධාරණයක් ඉටුවෙලා තියෙනවා. ඒ චරිතය දැක්කම එතන ඉන්නේ ජයන්තදාස්වත් ශ්‍රියන්ත මෙන්ඩිස්වත් නෙවෙයි තමන්ගේ තාත්තා කියලා ඕනම කෙනෙකුට දැනෙන්න රඟපානවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. නිතරම මම දකිනවා ගොඩක් අය කමෙන්ට්ස්වල තමන්ගේ තාත්තා මතක්වෙලා සංවේදී වූ බව ලියලා තියෙනවා❤️ පළිඟු මැණිකේ නාට්‍යයේ හිටිය නාහෙට නාහන තරුණයා කොච්චර නං වෙනස්වෙලා ද කියලා පුදුමයක් දැනෙනවා.  කාලය ගතවන ඉක්මණ.

මම පෞද්ගලිකවම නම් එතරම් ප්‍රියතාවයක් හෝ විශේෂත්වයක් නොදැරුවත් සාරංග දිසාසේකර ධනාගේ චරිතයට උපරිම කැපවීම දෙනවා. ඒකේත් හොඳම ටික ඒක නෙවෙයි. නාරද දිසාසේකරගේ ගීත බොහොමයක් සාරංග මේ චරිතය තුළ ගායනා කරනවා. ඒ ටික ඉතින් ආයෙ පංකාදු පහයි! 👌❤️

සුන්දර එමාෂා නවක නිළියක් වුණත් මේ රන්මිණි හැටියට කරන රඟපෑම හොඳටම හොඳයි, ස්වභාවිකයි. හැඟීම් නිරූපණයත් ඉතාම හොඳ මට්ටමක තියෙනවා. මේ නාට්‍යයට ගිවිසුම් අත්සන් කළ එකම නුවණැති තීරණයක් කියලා තමා මට හිතෙන්නේ. 
සාරංග එමාෂා දෙන්නගේ තිරයේ ගැලපීමත් ඉතාමත්ම හොඳයි කියලා හිතෙනවා. 

නැන්දගේ (චාන්දනී) චරිතයත් ආයෙ ඉතින් නැන්දම තමයි😂 චරිතයක් කියල නොදැනෙන තරම් හොඳට ඒ රංගන ශිල්පිනිය රඟපානවා. පොඩි දැරිවිට නං සෑහෙන්න විවේචන එල්ලවෙනවා වයසට නොගැලපෙන හැසිරීමක්, කතා විලාසයක් සහ අප්‍රසන්න චරිතයක් කියලා. මං හිතන්නේ අද දකින්න ලැබෙන සමහර ළමයින්ගේ හැසිරීම තමයි ඉතින් ඒ පෙන්නුම් කරන්නේ කියන එක. ඒක කොයිතරම් අප්‍රසන්න ද කියලා ඔහොම දකිද්දී තේරුම් ගියාට ඇත්තටම සිද්ධ වෙද්දී ඇස් කණ් නාසා පියාගෙන ඉන්න දෙමව්පියන්ට දුන්න අවවාදයක් වගේ දැනෙන්නේ. දරුවෙක් හැටියට ඒ චරිතයට ඈ වෙනුවෙන් එකඟවෙන්න ඇත්තේ වැඩිහිටියො වෙන්න ඇති, ඒ අරගෙන තියෙන්නේ ලොකු අවධානමක්. සම්පූර්ණ ප්‍රේක්ෂක ප්‍රතික්ෂේපවීමකට දශම ගාණක වෙනසක් තියෙන තරමට හොඳ රඟපෑමක් ඒක. 

කාන්ති අක්කාගේ චරිතයත් කතා නොකරම බැරි තරම් හොඳ, තාත්වික රඟපෑමක්. ඒ රංගන ශිල්පිනියගේ නමත් දන්නේ නැහැ, මීට කලින් නම් දැකලා නැහැ. සමහරවිට වෙනත් නිර්මාණවල හිටියද දන්නේ නැහැ. කොහොම වෙතත් තව නිර්මාණවල දකින්න වටිනා කෙනෙක්. 

සමස්‌තයක් විදිහට ගත්තම ප්‍රධාන චරිතවල ඉඳන් සුළු චරිත වෙනකල්ම අධ්‍යක්‍ෂවරයා විසින් හොඳට හසුරුවා තියෙනවා. කෘත්‍රිම ගතියක් නොදැනෙන තරම්. ඒ චරිත රඟපාන හැමෝමත් සමස්තයක් විදිහට තාත්වික රඟපෑමක් කරලා තියෙනවා💐 

කතාවේ දෙබස් ගැන නං නොකියා බෑ. අධි- බොළඳ වෙන්නෙත් නැතුව අධි-බැරෑරුම් වෙන්නෙත් නැතුව හරි ගාණට සමබරව දෙබස් ලියැවිලා තියෙන්නේ. හිනාවෙන්න තියෙනකොට හිනාවෙන්න වගේම අඬන්න තියෙනකොට ඇඬෙන්න දෙබස් ලියලා තියෙනවා.

ඒ ඇරෙන්න පසුබිම් සංගීතය😂 මුලදි නම් මොන විකාරයක් ද කියලා හිතුණට කතාවේ ගලායාම එක්ක ඒකත් ගැලපිලා යන හින්දා ඒක වෙනම රසේකුත් එකතු කරනවා. 

දැන් නම් කතාව අවසන් වෙලා. ඒත් youtube එකේ සේරම කොටස් තියෙන නිසා නිවීසැනසිල්ලේ බලන්න පුළුවන් වෙයි කැමති කෙනෙකුට.💐
ආ මේ ළගදි මම දැක්කා කෝච්චියේ මගෙ එහා පැත්තෙ වාඩිවෙලා හිටිය තරුණයෙකුත් කතාව ජංගමයාගෙන් බලනවා😇

~✒️ Aash Weerasinghe

Sunday, October 2, 2022

දර්ශනයෙන් වියැකි දර්ශන්

2022 ඔක්තෝබර් 2දා සිනමාවේදීන් සහ හෙළ රිදී තිරය සමූහයන්ට. 

මැරිච්ච මිනිසුන්ට තරම් ජීවත්වෙන මිනිස්සුන්ට මල් ලැබෙන්නේ නෑ! මැරුණට පස්සේ ලැබෙන ආදරෙන් කළඳක් ජීවත්වෙද්දි ලැබෙන්නේ නෑ!

දර්ශන් ගිහින්. 
මහා රලු ගොරෝසු කටහඬකින් කැඩි කැඩි සිංහල කතා කරපු දර්ශන් යන්න ගිහින්. ලස්සන සුකොමළ කඩවසම් වීරයො පහුකරගෙන ගමනක් යන්න හිටිය රලු පෙනුමැති දර්ශන් යන්නම ගිහින්.
දැන් හැමෝම දර්ශන්ට ආදරෙයි. හැමෝටම දර්ශන් පොරක්,අතිවිශිෂ්ට රංගධරයෙක්, සුපිරි චරිතයක්. ඒත් ඒ ආදරේ, ප්‍රශංසා, වර්ණනාවලින් දශම ගාණක් වෙන්නැති දර්ශන් ජීවත්වෙද්දි විඳින්න ඇත්තේ! ඇයි ඒක එහෙම වෙන්නේ? ඇයි අපිට ඒක වෙනස් කරන්න බැරිද?
අවුරුදු 41ක් කියන්නේ මැරෙන්න වයසක් නෙවෙයි. එතකොට දර්ශන්ගෙ රලු හඬ පිටිපස්සෙ හැංගිච්ච රහසුත් ඒකට හේතු වෙන්න ඇති. අපරාදේ.

අපි ආස චරිත මැරුණම ඒගොල්ලො සදා අමරණීයයි කියලා අපි බැනර් ගහනවා. එයාලට පේන්නේ නෑ.
පෙට්ටි බදාගෙන, සිහිසුන් වෙනකල් එතෙක් කල් ජීවත් වෙච්චි මනුස්සයට නොකිව්ව ආදරේ කියකියා වැලපෙනවා. මිනියට ඇහෙන්නේ, පේන්නේ, දැනෙන්නේ නෑ.
ඉන්නකල් නින්දා අපහාස කරන මිනිස්සු මැරුණට පස්සේ අවසන් ගෞරව දක්වනවා. මිනියට සතුටක් දැනෙන්නේ නෑ.
ඉන්නකල් කරපු කිසිම හොඳක් නොදැක්ක මිනිස්සු මරණ ගෙදර ගුණකථන කරනවා. ඒ මැරුණේ මිනිහෙක් නෙවෙයි දෙවියෙක් තරමට ගුණ වයනවා. මිනියට ඇහෙන්නේ නෑ.
ටික දවසක් යද්දී අපිට ඒ ඔක්කොම අමතක වෙනවා. පළවෙනි දවසේ වල වටකරන මල්වඩම්, දුක්මූණු ටික ටික වාෂ්පවෙලා අතීතෙට එකතුවෙනවා. ඉඳලා හිටලා දවසක කොහෙහරි කව්රු හරි අහවලා මැරුණනේ, අපරාදේ කියනවා. තව කෙනෙකුට එහෙම දෙයක් වෙච්ච බවක්වත් නිච්චි නැතුව යනවා. 

ආයෙමත් තව කව්රු හරි යන්න යනකල් අපි ජීවත් වෙන්න ආදරේ කරන අයව කැපකරනවා. කාලය නෑ, කාලය නෑ කියලා එහාට මෙහාට දුවනවා. 
ආයෙත් කව්රු හරි ගිය දවසට එයාලට ආදරේ පානවා, වැලපෙනවා, කම්පාවෙනවා. 
ඕක තමයි අපි අපිට දෙන වටිනාකම. 

දවසක අපි හැමෝම ඔය ගමන යනවා. හැබැයි ඒ යන්න ඉස්සර වගේ වයස විතරක්ම බලපාන්නේ නෑ. අපිට අපි මුණගැහුණම ගණන් නොගෙන ඉන්න පුරුදු වෙලා නිසා ඔය වගේ දෙයක් වුණාම කම්පාව වැඩියෙන් දැනෙනවා. 
එහෙම නොවෙන්න අපිට බැරිද අද අපි අනෙකාව දකින අන්තිම මොහොත වෙන්නත් පුළුවන් කියලා ඔලුවේ තියාගෙන ජීවත් වෙන්න. සමහරවිට එතකොට අර අපි අර රාමු කරන්න හදන ලෝකේ ඊටවඩා ලස්සනට ඉබේම හැදෙන්න පුළුවන් නේද? 

දර්ශන්ලා හැමතැනකම ඉන්නවා. යන්න දීලා ගියායින් පස්සෙ මොනව කළත් ආපහු හරවන්න බැරි යාත්‍රාවකට ගොඩවදිනකල් පසුතැවීමට හේතු හදානොගෙන ඉන්න බලමු. 
දුකයි දර්ශන්❤️
ඔයා මෙහෙ ඉන්න ඕන මිනිහෙක්. කමක් නෑ එතෙරවෙන්න. ආයෙමත් මේ චක්‍රයේ කොටසක් නොවී ඉක්මණට එතෙර වෙන්න. 
සුබ ගමන්.💐

~✒️ Aash Weerasinghe

ඉලක්කං වයස!

200 ඔක්තෝබර් 2දා සිනමාවේදීන් සහ භාරත සිනමා රසික සංසදය සමූහයන්ට. 

Sharmaji Namkeen (2022)
IMDb 7.6/10
Genre: Drama

"Today's generation has become very smart and practical. For them every relationship is like a ladder, which they climb to get ahead in life. And when the ladder becomes useless they just throw it awa..."

"Last scene of the film 'Baghban'. They should make it compulsory in schools and colleges. It's a life lesson."

"How do you guys do it all day? I'm losing my mind. How much do I walk around and watch TV? It's been six weeks and the story if the TV show is also stuck at the same point."

"Sharma, you need to throw your watch in the gutter. This is how retired life is. Slow and long. You'll get used to it."

"I don't want to man. Is it a compulsion?"

"Mr. Sharma, What's the issue here? The government must have put some thought in deciding the retirement age, right?"

"Does the brain stop functioning at 58? Amitabh Bachchan is still acting, he's 78. And do the big industrialists sit at home after 58? Nonsense."

අවුරුදු 31ක් එකම ආයතනයක, ආසාවෙන් අවංකව වැඩ කරපු මනුස්සයෙක්ට පුළුවන් ද විශ්‍රාමය ලේසියෙන් දරාගන්න? මුළු දවසම නිකමෙක් වගේ එක තැනකට වෙලා ඉන්න? පොඩි පොඩි අමාරුකම් ඇඟට දැනුණට, බඩ වැඩිහරියක් වේලීමයි බුරුබුරු ගෑමයි කියන අන්ත දෙක බදාගෙන හිටියට, දණිස් පොල්කටු ටිකක් ක්රීං ක්රීං ගෑවට හිතේ හයිය එහෙමම තියෙන මුලු ජීවිත කාලයම ක්‍රියාශීලි වෙච්චි මනුස්සයෙක්ට පුළුවන් ද එහෙම ලේසියෙන් සෙටියක දවසම වාඩිවෙලා නානාප්‍රකාර ටීවී වැඩසටහන් බලමින් කාලෙ කන්න?

ශර්මා මහත්තයත් හිතුවෙ එහෙමයි. ඒත් ශර්මා මහත්තයාට ඕන දේවල්, ආස දේවල් කරන්න බැරිවිදියට පවුලයි සමාජයයි බයිලා අකෘති හදාගෙන ඒවට අනුගත වෙලා ජීවත් වෙන්න උත්සාහ කරමින් හිටියේ. වැන්දඹු තාත්තෙක් හැටියට වෙනදා දරුවන්ට කෑම හදලා කවලා පොවලා ඉස්කෝලෙ යවලා වැඩට ගිහින් ඇවිත් ආයෙත් උයලා කවලා පොවලා work-life balance එක තියාගත්ත ශර්මා මහත්තයාට පුළුවන් ද උදේට උයලා පිහලා දරුවො වැඩට/ඉස්කෝලෙට යවලා ආයේ හවස උන් එනකල් ගෙදරට වෙලා බුකවගෙන ඉන්න?

අපි හැමෝම වැඩ කරද්දි, කාර්යබහුල වෙද්දී හිතනවා අයියෝ මේ කරුමේ ඉවර වෙලා නිදහසේ ඉන්නේ කවද්ද කියලා. ඒ කරුමේ ඉවරවුණාම අයියෝ මේ කම්මැලිකම ඉවසගන්නේ කොහොමද කියලා තැවෙනවා. මම බොහොම ළගින් දැකලා තියෙනවා අපේ සීයාගේ විශ්‍රාම ජීවිතය ගෙවිච්ච හැටි. වැඩි කතාබහක් නැති මහා ආඩම්බරකාරයෙක් වුණ සීයා අන්තිම කාලේ ගෙදරට හැරෙන මහ පාරේ තිබ්බ වින්කලයක පවා නැවතිලා රටතොට ගැන පැය ගණන් කතාවක් දාගෙන ඉඳලා එන්න පටන් ගත්තම අපි ඉතින් හොඳටම හිනාවුණා. සීයට දවස ගෙවාගන්න ඕන වුණේ වැඩ, වැඩ, වැඩ! . විශ්‍රාම ගියත් පරණ පුරුද්දටම පාන්දර ඇහැරගෙන, අපිවත් කෑගහලා ඇහැරවලා, බුදුන් වැඳලා, තේ බීලා, මිදුල් අතුගාලා, දවසෙ පත්තර බලලා (ඒ දවස්වල පත්තර බිල ලයිට් බිල වගේ. සේරම පත්තර එනවා), ලිපි මොනවහරි ලියලා, හවස් වෙද්දි බොරුවට කඩේ යනවා. ඒ ගිහින් එද්දි කැඩිච්ච පාරවල්, බෝක්කු අරක මේක ගැන වෙච්චි කතා අනුව ඒවට ලියුම් ලියන්න, පරණ මිත්‍රයන්ට කතා කරලා වැඩ කරවගන්න වගේ සමාජ සේවා වැඩත් හොයන් එනවා. අපි ඕපයක් කිව්වත් අපිට රැව්ව ගෙරෙව්ව සීයා එහෙම වෙලාවක අහන්න ලැබිච්ච ඕපත් ඉතින් හවස තේ බොනගමන් කියලා අම්මගෙයි ආත්තම්මගෙයි හිනාවට ලක්වෙනවා. ඒ වැඩ මුකුත්ම නැත්නම් දෝණි, ඒ කිව්වේ අපේ අම්මා එක්ක කුමන්ත්‍රණය කරලා රහස් මන්ත්‍රණ කරලා වත්තේ තියෙන ගහක් කප්පවලා, මොකක්හරි වෙනසක් කරවලා ආත්තම්මව අවුස්සගෙන බැණුම් අහනවා. ඊටපස්සේ රෑට ඕගන් එක ගහමින් සිංදුවක් කියලා එහෙම නිදාගන්න යනවා.(සීයාගෙ පුතාලා එහෙම අමද්‍යප නොවුණට සීයා සම්පූර්ණයෙන්ම අමද්‍යප කෙනෙක්, මැරෙනකල්ම ඒ ප්‍රතිපත්තිය කඩ නොකළ) ඒ එක්කම ඉතින් ඕන එකයි එපා එකයි හැම එකම ප්‍රශ්න කරනවා. මට ඉස්සර තරහත් යනවා. දැන් ටිකක් තාත්තාත් ඒ වගේ වේගෙන එනවා දැක්කම මම ගෙදර හිනාවෙනවා  "වීරසිංහ මහත්තයත් දැන් බස්නායක මහත්තයා වගේ වේගෙන එන්නේ" කියලා.❤️

ශර්මා මහත්තයත් ඒ වගේ තමයි. ඒකාකාරී බව නැතිකරගන්න නොකළ දෙයක් නෑ. සූම්බාත් කළා නෙව, හරි ගියේ නෑ ඉතින්. ඒ මදිවට තියෙන තරමක් ෆේස්බුක්, වට්ස්ඇප් ආදී නානාප්‍රකාර මාධ්‍යජාලාවලත් සැරිසරනවා. ඒවයේ ඕපදූපත් බලනවා. බොරුවලටත් ඇත්ත කියලා රැවටෙනවා. මතකනේ අර රැට්ටගෙ තාත්තා ටික්ටොක් කරන්න ගත්තා? අන්න ඒ වගේ. ටික්ටොක් විතරයි මෙයත් නොකළේ! 
පස්සේ තමයි අමුතු වැඩක් සෙට්වෙන්නේ. මොකද ශර්මා මහත්තයාට පුළුවන් පුදුම රහට කෑම හදන්න. ඒ කෑම ඉවිල්ල දැක්කත් රසනහර පිනා යනවා. බොරුනම් බලන්නකො. 

ඇත්තටම ඔය සමාජ මාධ්‍යවල ගැහැණුන්ට වඩා අතවරයට, අපහාස උපහාසයට ලක්වෙන්නේ වැඩිහිටියන්! ඒ ඇයි කියනවා නම් ඔවුන්ට සමාජ මාධ්‍ය සංස්කෘතිය අලුත්. පරණ පරම්පරාවල යාලුමිත්‍රකම්, හිතවත්කම් තිබ්බේ ෆොටෝවලට දාන හාට් රියැක්ට්ස්වල නෙවෙයි. ඒවා දීර්ඝකාලීනව පැවතුණෙත් ඒක හින්දමයි කියලයි මට නම් හිතෙන්නේ. මොකද අනවශ්‍ය ඇලීම්-ගැලීම් නැහැනෙ. අනික ඒ හිතමිත්‍රකම්වල දැන් ඒවයට වඩා අවංකකමක් තිබ්බා කියලා මට හිතෙනවා. දැන් සමාජ මාධ්‍යවල පවතින බහුතර මිනිස් සම්බන්ධතා මැනෙන්නේ පිංතූරවලට පෝස්ට්වලට දාන ලයික්, රියැක්ට්ස්වලින්, කමෙන්ට්ස්වලින්. ඊළගට එතන අනවශ්‍ය තරමට පෞද්ගලිකත්වය ප්‍රකාශවීම නිසා නැති ප්‍රශ්න. මිනිස්සු මිනිසුන්ව මනින්නේ ඒ මනුස්සයගේ ෆෙස්බුක් වෝල් එකෙනුයි ඉන්ස්ටග්‍රම් අකවුන්ට් එකෙනුයි. මං හිතන්නේ සකරෙට වැරදුණේම හාහා සහ හාට් රියැක්ෂන්ස් බුකියට එකතු කිරීම හින්දා කියලා. පවුල් කැඩෙන්න වගේම හාහා නිසා හිතවත්කම් නැත්තට නැතිකරන්න පුළුවන් දැලිපිහියක්නෙ එයා ඔය ආසියාතික වඳුරන්ට දීලා තියෙන්නේ😅
එතකොට පරණ පරම්පරාවේ නොදැනුවත්කම සහ සමාජ මාධ්‍ය පරිශීලනයේ තියෙන අඬුලුහුඬුකම් අලුත් පරම්පරාවල්වලට කුරිරු විනෝදයක්. එතනදි සහකම්පනය කියලා දෙයක් හරිම කණගාටුදායක විදිහට නැත්තටම නැතිවෙනවා. 
හැබැයි ඔය අතර වේගයෙන් අලුත් දේ ඉගෙනගන්නා වැඩිහිටියනුත් ඉන්නවා. 

විශ්‍රාම යෑමේ වයස ගැන කියනවා නම් ලංකාවේත් දැනට ක්‍රියාත්මක 55 සීමාව ගැන මම පෞද්ගලිකවම ලොකු සතුටක් නැහැ. කෙනෙකුට හැකියාව, ශක්තිය තියෙන තරම් කාලයක් වැඩ කරන්නට දීමේ ගැටලුවක් තිබිය යුතු නෑ කියලා මම හිතනවා. මොකද මුලු ජීවිත කාලයම වැඩ කරන්න හුරුවූ කෙනෙකුට ඒ නැවතීම නිසා ලැබෙන මානසික සහනයට වඩා අසහනය වැඩියි. ඒ බහුතර විශ්‍රාමිකයන්ට වෙන්නේ අර්ථසාධකෙන් එහෙම ලැබෙන සොච්චම් මුදල අරගෙන පරාජිතයෙක් වගේ ගෙදර යන්න. ඒ මුදලත් ඊටපස්සේ (බහුතරයක) ඩැහැගන්න බලන් ඉන්න දරුවන්ට බෙදන්න. එහෙම නොකළම උන් එකිනෙකා කුළල් කාගන්නා හැටි බලං සෝ සන්තාපයට පත්වෙන්න. ඊටපස්සේ ලෙඩදුකකට ගන්න තියෙන සල්ලියෙන් දරුවන්ට සලකන්න, ගෙවල් දොරවල්වල අඩුපාඩු පිළියම් කරන්න, ඉගෙන ගන්න දරුවන්ට යුතුකම් කරන්න, දීගතල යන දරුවන්ට දෑවැදි හදන්න. රජයෙ සේවකයන්ට තියෙන විශ්‍රාම වැටුප් සහනයවත් (ඒක මහලොකු දෙයක් නොවුණට) නැති පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයන්ට ඔය ටික කළායින් පස්සෙ වෙන්නෙ හිඟා නොකා හිඟා කන්න. ඒ අස්සෙ දරුවන්ගෙ දරුවො බලාගන්න, ඉස්කෝලේ එක්කන් යන්න, පංති ගෙනියන්න, කඩේ පොලේ යන්න, බිල් ගෙවන්න යන්න ආදි අටෝරාසියක කම්කරු වැඩ මොන ඉහළ පුටුවකින් විශ්‍රාම ගියත් උරුමයි. ඒ අතරට ශර්මා මහත්තයට වගේ දරුවන්ට ලැජ්ජාවක් නොවී ජීවත්වෙන්න, හැසිරෙන්න, තීරණ ගන්න වගේ දණ්ඩ නීති සංග්‍රහයකටත් කොන්දේසි විරහිතව යටත්වීම අනිවාර්යයි. 

මා දන්නා තරමින් බොහෝ බටහිර රටවල් අනිවාර්යයෙන්ම විශ්‍රාමයෑමක් නිර්දේශ කරන්නේ සමහර සාධක මත. නැත්නම් වැඩ කළ හැකි තත්වයේ සෞඛ්‍ය සම්පන්න කෙනෙකුට අවුරුදු 70වනතුරුත් වැඩ කරන්නට ඉඩ තියෙනවා (ඇතැම් ක්ෂේත්‍ර හැර). ඒක ඒ ආයතනමම විය යුතු නැහැ. වැඩිහිටියන් එකම තනතුරුවල රැඳීම නිසා ඊළග පරම්පරාවලට අසාධාරණයක් වීම මාත් පිළිගන්නවා. එතනදී නිසි කාලයෙදි නිසි තීරණ ගැනීමට පරම්පරා දෙකටම වගකීම් සහ යුතුකම් තියෙනවා වගේම එසේ ඉවත්වන වැඩිහිටි පරම්පරාවට නිසි ගෞරවය ලබාදෙන්නත් ගෞරවණීය පුරවැසියන් ලෙස ජීවත්වීමට ඉඩදීමටත් අපි හැමෝටම යුතුකමක් තියෙනවා. අපි හැමදෙනාම ජාති, ජරා, ව්‍යාධි, මරණ අනිවාර්යයෙන්ම දවසක අත්විඳිනවා. සුරක්ෂිත, සුරූපී, ධනවත්ම පුද්ගලයාට පවා ඒ අනිත්‍යයට මුහුණ දෙන්නට සිද්ධවෙනවා. ඒක අවබෝධ කරනොගෙන නොමැරෙන මිනිස්සු හැටියට වැඩිහිටියන් වගේම තරුණ පරම්පරාවත් ජීවත්වෙන්න උත්සහ කිරීම නම් විහිළුවක්. 

ශර්මා ජීගේ කතාව බලන්න. 
චිත්‍රපටය ගැන සුවිශේෂීම කාරණාව තමයි මේක රිෂී කපූර්ගේ අන්තිම චිත්‍රපටය. රූගත කිරීම් අතරතුර තමයි ඔහු රෝගාතුරව අපෙන් සමුගන්නෙ. ඒක නිසා ශර්මා මහත්තුරු දෙන්නෙක් චිත්‍රපටයේ ඉන්නවා. ඒ පරේශ් රාවල් ඒ අභියෝගය බාරගත්ත හින්දා. ටිකක් අමුතුයි වගේ මුලදි දැනුණට පස්සේ ඒකත් ව්‍යංග්‍යර්ථයක් වගේ දැනෙන්න පටන්ගන්නවා. හිතලා නොකළ දෙයක් වුණත් එකම චිත්‍රපටයේ එකම චරිතය පුද්ගලයන් දෙදෙනෙකු විසින් රඟදැක්වීම බහුතර විශ්‍රාමිකයා නියෝජනයක් හැටියට දැනෙනවා. 

තිරපිටපත Suprathik Sen සහ Hithesh Bhatia. Hitheshගේම අධ්‍යක්‍ෂණයක්. Amazon Prime Video බෙදාහැරීමක්. 

~✒️ Aash Weerasinghe

Sunday, August 28, 2022

සජීවී පෙරහැර අත්දැකීම

මීට දශක තුනකට කලින්, සීමිත මාධ්‍ය ප්‍රමාණයකින් සතුටින් සැනසීමෙන් තෘප්තියෙන් හිටපු කාලෙක නම් පෙරහැරවල් බලන්න තාත්තා අම්මා එක්ක ගිහින් තිබුණට, මතක ඇති කාලෙකින් මම හිතන්නේ දශක එකහමාරකට කිට්ටු කාලෙකින් පෙරහැරක් සජීවීව බලන්න ලැබුනේ නෑ. හවස බෙල්ලන්විල ගියේ සාමාන්‍ය ආගමික වතාවත් කරන්න. ඒ යද්දී මුලු පළාතම රන්දෝලි පෙරහැරට ලෑස්ති වෙනවා දැකදැක හැරිලා එන්න හිතුණේ නැති නිසා බලධාරීන්ගේ අවසර ඇතිව එහෙම, මාත් ලෑස්ති වුණා පෙරහැර අත්දැකීම ගන්න. විනෝදාස්වාද මාධ්‍ය ඕනෑවටත් වඩා වැඩි මේ වගේ කාලෙක මං උපකල්පනය කළාට වඩා සෙනගක් හිටියා ඉර බහින්න කලින් ඉඳන්ම පෙරහැර බලන්න සූදානමින්! 

පුංචි කාලේ ඉඳන් පෙරහැරවල් දකින්න ගිහින් තිබුණට, පාර අයිනේ සෙනග කන්දරාවක් මැද, සෙරෙප්පු දෙක උඩ වාඩිවෙලා පෙරහැරක් බලන්න ලැබුනේ නම් ජීවිතේ පළවෙනි වතාවට! අත්දැකීම්වලට පෙරේත මම ඒ අවස්ථාව අල්ලගත්තා නෙවෙයි උරාගත්තා! 😂

පුංචි කාලේ තාත්තයි අම්මයි අපිව පෙරහැරවල් බලන්න එක්ක යද්දි මෙලෝ අල බෝලයක්වත් ඕකේ ඇති රහක්වත් මට තිබ්බේ නෑ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටිය වයසක නිසා ඒවාට විරුද්ධ වුණෙත් නෑ (හරිම කීකරු දරුවෙක් මං😇). කන තරමක් කඩචෝරු ටික කාලා, මොකක්හරි සෙල්ලම් බඩු සුකුරුත්තමකුත් අරගෙන, බාගෙට පෙරහැර යද්දි දෙන්නගේ කරේ නිදි. මාව ඇහැරවගෙන ඉන්න ඕන නිසා තාත්තා අලි ගණන් කරන්න භාරදීලා තමයි එක්කං එන්නේ. මොන අලිද අන්තිම වෙන්නත් කලින් මම නිදි! 😂 හැබැයි ඒ පරණ පුරුද්දට අදත් අලි ගණන් කළා!😁 (ඒ අලි ගාණ හෙට උදේ තාත්තට කියලා බැනුම් අලුත් කරගන්න තමයි මගේ අදහස😅) 

ඇත්තටම පෙරහැර හරිම ලස්සනයි😍 
ඒ කාලේ තාත්තා ඕවායේ අගමුල කියාදෙමින්, ලස්සන පෙන්වමින් අපිට රසවින්දනයක් හුරුකරන්න හැදුවා නේද කියලා අද තමයි මට තේරුණේ. සමහරවිට, ඒ වෙද්දි අවුරුදු විසිතිස් ගණන්වල හිටපු අපේ තාත්තාටත් මට වගේම තදබල අත්දැකීම් පෙරේතකමක් තියෙන්න ඇති. ❤️

පෙරහැර නැගෙනහිර වාහල්කඩින් පිටත්වෙන්න තිබුණේ රෑ 8:30ට. ඒ වෙලාවටම වගේ පිටත්වුණා. ඒත් පෙරහැර එද්දිත් ගොඩක් සෙනග හිටියේ පාරේ මැදට කිට්ටුව! පොලීසිය හිටියත් එතන සංවිධානාත්මකබවේ නම් ලොකු අඩුවක් පෙනුණා. පාර අයිනේ සෙනග වාඩිවෙලා ඉන්දැද්දි ඒ ඉස්සරහින් සෙනග හිටගන්න එක පොලීසියට කලින්ම නවත්වන්න තිබ්බා. අනික සීමා ලකුණු කරලා තිබ්බා නම් පෙරහැරේ හොඳම හරිය වෙද්දී ඇතිවෙච්ච නොසන්සුන්කාරී තත්ත්වයත් ප්‍රශ්නත් ඇති නොවෙන්න තිබ්බා. "දූපත් වැසියා" විසින් පොලීසිය අඩපණ කරවීම හින්දාද කොහෙද නිල ඇඳුමට මිනිසුන්ගේ ගෞරවයකුත් දකින්න ලැබුණේ නෑ වගේම,  පොලීසියත් "පාර මැද හිටපියව්, අලි ගැහුවොත් තොටනේ මට මොකද" වාගේ හිටි බවත් පෙනුණා. හැබැයි අර සෙනග කන්දරාව මැද සෑහෙන්න ප්‍රමාණයක් තරුණයන් හිටියේ බීමතින් සහ මතින් බව හොඳටම පැහැදිලි වුණා වෙච්ච සිදුවීම් නිසා. තත්ත්වය එහෙම විය හැකි බවක් නොහිතා ගත්ත තීරණය ගැන පසුතැවීමක් ඇතිනොවුණේම නැති නමුත් ඒ අතරත් තවම තව කෙනෙකුගේ දරුවෙකුගේ ආරක්ෂාව ගැන සිතන දෙමව්පියන් සහ මිනිසුන් සිටිනා බවත් ඒ එක්කම අත්දැක්කා. විවිධ වයස්වල දරු දැරියන් කීපදෙනෙක් එක්ක හිටිය පවුල් එකතුවක් තනියම හිටි මාවත් දරුකමට හදාගෙන කරුණාවෙන් පරිස්සමින් බලාගත්තා.❤️ ලේසියෙන් කෙනෙකු විශ්වාස කරන්න අපහසු අද වගේ කාලෙක එහෙම කරුණාවක් දක්වන එක සහ විඳින එක දෙකම අවධානමක්. ඒත් අන්තිමේදී තමන් ගෙනාව කෑම්බීම් පවා බෙදාහදාගෙන, මාව කැබ් එකකට ඇරලවලා යන්න තරම්ම කාරුණික, මනුස්සකමින් පිරුණු ඒ වැඩිහිටියන් පිරිසට මම අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා.❤️ (ඒ රත්තනපිටියේ ගෙදර හදන ගමේ කෑම ව්‍යාපාරය හිමියන් සහ ඔවුන්ට සම්බන්ධ හිතවතුන් පිරිසක්. අර නම කිව්වේ වෙන්වෙන් වශයෙන් කියන්න අපහසු නිසා. විශේෂයෙන්ම එතැන හිටි ලක්මාලි ආන්ටි සහ ඒ අන්කල්ව ආදරෙන් මතක් කරන්න ඕන🙏) 

හැමදාම කියනවා රට හදන්න නම් ඉස්සෙල්ලම පුද්ගල ආකල්ප සංවර්ධනය වෙන්න ඕන කියලා. හරිම හොඳ මිනිස්සු අතර පට්ට ආත්මාර්ථකාමී, දුෂ්ට මිනිස්සු කොච්චර ඉන්නවද කියලා පැහැදිලි වුණ තව අවස්ථාවක් අද. සෑහෙන්න වෙලාවක් තිස්සේ ලකලෑස්ති වෙලා ඇතිරිලි, පත්තර එලාගෙන පාර අයිනේ ඉඳන් හිටි මිනිස්සු ඉස්සරහ හරිම ආත්මාර්ථකාමී විදිහට මිනිස්සු හිටගත්තා පෙරහැර පටන්ගත්තට පස්සේ! කොච්චර වාඩිවෙන්න කිව්වත් නෑසුකන්ව, ජංගම දුරකථන දිග ඇරගෙන පින්තූර ගන්න, වීඩීයෝ කරන්න, තමන්ට විතරක් පෙරහැරේ ලස්සන බලන්න හිතපු ඒ වගේ ආත්මාර්ථකාමීන් අන්තිමට කරුණාවෙන් කළ ඉල්ලීම් නොසලකා බීරි අලින් සේ සිටීම නිසාම අන්තිමේදී කුණුහරුපත් අහගත්තා මිනිස්සුන්ගෙන්. වාඩිවෙලා හිටිය පොඩි දරුවොන්ටවත් පේන ඉඩක් හදලා දෙන්න අකමැති වුණ තුච්ඡ ගෑණු මිනිස්සු සෑහෙන්න හිටියා. 

ඒ අතර, මේ බෙර හඬවල් මැද, එක එක ප්‍රශ්න මැද, අනෙකා කියන දෙය ඇහෙන්නේ නැතිවත් අපේ දෙමව්පියන් දෙන්නා මට හරියට පෙරහැර බලන්න නොදීමේ ඇමතුම් තරගයක් කරන්න බාරයක් වෙලාද කොහෙද හිටියේ! ඒ ඇමතුම් අතර ජාතිය ඇමතීම් අනිවාර්යයෙන්ම තියෙන්න ඇති නමුත් වාසනාවකට වගේ ඒ කිසිම දෙයක් මට ඇහුණේ නෑ😅 ඒක නිසා ගත්ත හැම ඇමතුමකටම මම කිව්වේ ඇහෙන්නේ නෑ ඇහෙන්නේ නෑ කියලා විතරයි😬 (ලැබිලා තියෙන මොළේ ටිකක් පාවිච්චි කරන්නත් එපැයි) බැනලා එපාම වෙලාද කොහෙද රෑ එකොලහමාරට විතර තාත්තා ඇහුවේ කීයටද පුතේ එන්නේ කියලා විතරයි.😬 හෙට පාන්දරම නැවත ජාතිය ඇමතීමක් බලාපොරොත්තුවෙන් ඉන්නේ දැන්😅

 පෙරහැර අත්දැකීම ගන්න පුළුවන් නම් ගන්න. ඒක වෙනස් අත්දැකීමක්. ඒකේදි කෙරෙන සංස්කෘතික අංග, සාම්ප්‍රදායික අංග හරිම ලස්සනයි. උදාහරණයකට කප් සිටුවීම, දේවාභරණ වැඩම්මවීම වගේ සිද්ධි කීපයක්ම ළංළංව දැක බලාගන්න මට අවස්ථාව ලැබුණා. ඒවා ජීවිතේ එක සැරයක් හරි දකින්න ඕන දේවල් කියන ලැයිස්තුවේ තිබිය යුතුයි කියන එක තමයි මගේ පෞද්ගලික අදහස.  (හැබැයි මීට අවුරුදු කීපයකට කලින් ඇහුවා නම් මං මෙහෙම කියන එකකුත් නෑ.) අනෙක් අතට මේ සිරිත් විරිත්, චාරිත්‍රවල මුල්තැන ගන්නේ දැනට ඉන්නා වැඩිහිටිම පරම්පරාව. ඒ අය දැන් හරිම වයසයි. ඒ දැනුම ඔවුන් එක්කම නැතිවෙලා නොයන්න ආරක්ෂා කරන්න ඕන කියලා මම නම් විශ්වාස කරනවා. රැල්ලට රැඩිකල්වීමෙන් තමන්ගේ ඉතිහාසයෙයි සංස්කෘතියෙයි ආරක්ෂා කළයුතු දේවල් වලපල්ලට යැවිය යුතු නෑ! 

අනිත් විශේෂම කාරණය, අත්දැකීම්වලට තියෙන පෙරේතකම නිසා ලොකු අවධානම් ගන්න එපා. ඇඩ්‍රිනලින් කික් එකට අවධානම් ගත්තට ඒක හැමතිස්සෙම නුවණැති වැඩක් නෙවෙයි, විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට. මට රැකවරණය දුන්න හිතවතුන් පිරිස ඔවුන්ගේ දරුවන්ට මාව ආදර්ශයට ගන්න කියද්දිත් මම කිව්වා කීයටවත් ඒ වගේ අවධානම් වැඩ කරන්න එපා කියලා. ගත්ත අවධානමේ තරම පැහැදිලි වුණේ එතැන හිටි බහුතර තරුණ පිරිස දිහා බැලුවම. ගැටුම් ඇතිවුණෙත් ඔවුන් නිසා. ඒ ගැටුම්වලදි වැඩිහිටියන් හැමදෙනාම වධවුණේ ගැහැණු දරුවන්ගේ, තරුණියන්ගෙ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන. මත් ගතියෙන් ඔවුන් කළ සහ කරන්නට උත්සහ කළ දේවල් බොහොමයි. ඉන් කීපදෙනෙක් කුදලාගෙන යන්නට පවා පොලීසියට සිදුවුණා! 
හැබැයි මගේ ඔලුව ඇතුලේ බැකප් ප්ලෑන් එකක් තිබ්බා. ඒක හින්දා අවධානම ගත්තා. 

පින්තූර සහ වීඩියෝ ටිකක් මේ තියෙන්නේ. බලාපොරොත්තුවුණ ඉස්තරම් තත්ත්වයේ නැතත් සජීවීව දැකගත්ත සතුටෙන් හිත පුරවගෙන ඉන්නේ😇

~✒️ Aash Weerasinghe

#bellanwilaesalaperahera2022 #experiencepool #adrenalinejunkie #peraheraexperienceinsrilanka #lka #srilanka #religiousfestival

පින්තූර සහ වීඩියෝ ඔක්කොම මේ ලින්ක් එකට ගිහින් බලන්න පුලුවන්: https://m.facebook.com/story.php?story_fbid=pfbid02PccmvMsrh1TM1ruagz8rq43UuSWzSUvxdDcMUCwbzarKpymWC8ArhrDDwthmAz7jl&id=717230762