Sunday, February 26, 2023

අක්ෂි

(2023 පෙබරවාරි 26 දින සිනමාවේදීන් සමූහයට) 

ස්වර්ණවාහිනියේ අලුත් නාට්‍යයක් යනවා. අමුතු චිත්‍රපට පාටක් තියෙන නිසා බලන්න ගත්තා. ඇත්තටම දෙමළ චිත්‍රපට රසිකයන්ගෙ කැමැත්ත දිනාගන්න පුළුවන් මට්ටමක වැඩක්. අඩුපාඩු නැත්තේ නෑ හැබැයි වෙනසක්.

මේකේ කැපී පෙනෙනම දේවල් ටික තමයි සංගීතය, කැමරාව සහ සංස්කරණය. 👌 සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන විහඟ මුතුතන්ත්‍රීගේ හොඳ සාධාරණයක් කරලා තියෙනවා කියලායි මගේ අදහස. එක එක චරිතවල themes වගේම සිද්ධිවලට දෙන සංගීත කොටස්වලිනුත් හොඳ සහයක් කතාවට ලැබිලා තියෙනවා. උදාහරණයකට මාන්නප්පෙරුම වගේ චරිතයකට අදාළ jingle එක එහෙම චිත්‍රපටයකට ගැලපෙන මට්ටමට තියෙනවා.

චානක සංජීවගේ කැමරා අධ්‍යක්ෂණය ප්‍රශස්තයි. හොඳ angles ටිකක් වගේම නාට්‍යයක කලාතුරකින් දකින cinematic ගතියක් නිර්මාණය පුරාම පේනවා. වර්ණ සංයෝජනය කළ වජිර පෙරේරා සහ සංස්කරණය කළ ගිෂාන් ප්‍රභාත් තෙන්නකෝන්ගේ මහන්සියත් අනිවාර්යයෙන්ම ඊට ඇතුළත්. 

කුලුඳුල් අධ්‍යක්ෂණයක් හැටියට  ශාන් ජයරත්න හොඳ මට්ටමක වැඩක් කරලා තියෙනවා. 

ඒ වගේම මේකේ තේමා ගීතය ලස්සනයි. ගිරිය යටින් කෑ නොගහා ලස්සනට කියලා ඉවර කරනවා.

මං කැමතියි මේ කතාවේ පළවෙනි කොටසේ චරිත හඳුන්වාදෙන විදිහට. නාට්‍යයක් නෙවෙයි චිත්‍රපටයක් කියලා තමා හිතෙන්නේ. 

අඩුපාඩුත් තියෙනවා. ඉන්දියානු ඌරුවකට තමා පිටපත, රඟපෑම, චරිත, අධ්‍යක්ෂණය ළග. විශේෂයෙන්ම ජනාගෙ චරිතය නම් තනිකරම ධනුෂ්ගේ කොපියක් වගේ. හැබැයි ඉතින් ඔහුව අනුකරණය කරන රසිකයො ලංකාවේ නැත්තේම නැති නිසා සාධාරණීකරණය කරන්න කොටසක් ඉඳීවි.

එක එක චරිතවල විශේෂ ලක්ෂණ ඉස්මතු කරලා තියෙන එකත් ඉන්දීය ආභාෂයක් හැටියට දැනෙනවා. සමහර ඒවා සරලයි, සමහර ඒවා ටිකක් මෝඩ පාටයි. ජනා බ්‍රේස්ලට් එක කරකවන එක, අයි පී කුෂාන් මහපටැඟිල්ලෙන් නළල පිහින එක එහෙම නම් දෙවැනි ගනයට වැටෙන්නේ. ඊට සාපේක්‍ෂව මාන්නප්පෙරුම තරහට ඇස් කණ්ණාඩිය ගලවලා නැවත දාගන්න එක subtle. ලොකු හානියක් කරලා නෑ ඒ චරිතෙට. හැබැයි අනෙක් අතට ජනාගෙ චරිතෙ ගොඩනගලා තියෙන්නෙම ධනුෂ්ට හඳුන්කූරු පත්තු කරන ඒ රටාව අනුකරණය කරන කෙනෙක් හැටියට නිසා අධ්‍යක්ෂකවරයා බලාපොරොත්තු වුණ බොළඳ ගතියක් ඒ චරිතෙට දෙන්න ඒ බ්‍රේස්ලට් කැරකැවීම යොදාගත්තා වෙන්නත් පුළුවන්. 

කතාව ගත්තොත් නම් සාම්ප්‍රදායිකයි. වත්තක මිනිස්සු, බලපුලුවන්කාරයෝ, ඒ අස්සෙ ගලන ආදර කතා, මවාපෑම් වගේ සුපුරුදු මසාලා වට්ටෝරුවම ලස්සනට ගලපනවා වගේ පේනවා. 
දැනට විකාශය වෙලා  තියෙන්නේ කොටස් පහළවයි. ඉස්සරහට බලං ඉමු මොකක් වේවිද කියලා. 

~✍️ Aash Weerasinghe

No comments:

Post a Comment