Thursday, November 28, 2019

දියකිරීම

මම මගේ විරහව
මධු බඳුනක ගිල්වීමි
පුරුෂ ප්‍රේමයක් මෙන් නොව
කොන්දේසි විරහිතව
එය මා වැළඳ ගති


Tuesday, November 26, 2019

හමුවීම

සංසාරයක් තරම්
දිගු කාලයක්
නොගෙවුණා නම්
අපි හමුවෙන්න


Sunday, November 24, 2019

දුෂ්කර ක්‍රියා

මා තුළ ඔබ නොදන්නා
යමෙකු වෙයි
ඔබ ඈ නොහඳුනයි 
නමුත් ඈ ඉවසිය නොහැකි 
දුෂ්කර ක්‍රියාවක් බව මට නොසිතෙයි


Thursday, November 21, 2019

ඒකපාර්ශ්වික ප්‍රේමය

ඒකපාර්ශ්වික ප්‍රේමය
ඇතැම්විට,
ද්විපාර්ශ්වික ප්‍රේමයට වඩා
සුන්දරය,
පවිත්‍රය,
රිදුම් දෙන මිහිරක්ය!


Sunday, November 17, 2019

කාලය

ඔබ මගෙන් සත් වසක්
උදුරා ගත්තේය
ඉන් මොහොතක ප්‍රේමයක්වත්
උදුරාගන්නට මට නොහැකි විය


Friday, November 15, 2019

අගය

මිනිස්සු 
රකින්නේ
වටින දේවල්,
තමන්ට..!


Thursday, November 14, 2019

ජපන්

සොඳුර, 
උඹ
වසාබි වැඩිවෙච්චි
සුෂියක්
මගේ මොළ ගෙඩිය
පුච්චලා දාපු!


යාන්ත්‍රික

යාන්ත්‍රිකය හදවත
ප්‍රේමයේ අක්මුල් වියළුණු..
අවෝය ගියෝය
නටඹුන් අතර ඉදහිට
වෙර දැරුවෝය
පැරද යන්නෝය
ඉකි බිඳින්නෝය
වියරු වන්නෝය
මළගිය හදට පෙම් බැඳ


Tuesday, November 12, 2019

විසවීම

ඇයට ප්‍රේමය විසවිය
බැඳි නොබැඳි 
තරුණ මහලු 
පෙම්වතුන් ඈට යා නොදේ! 


Sunday, November 10, 2019

ෂාජහන්

ෂාජහන්,
උඹේ ජුලියට් අද මළා..!
උඹ ඒකිට හදවපු
කිරිගරුඬ සොහොනේ
වළලා අමතක කරපන්..!
අඬන්න ඕනෑකමක් නෑ..
දැන් ජුලියට්ට
කඳුළින් පණ දෙන්න බෑ..!
ඒත්..
ජුලියට් මරාගෙන උපන්න
සමනළියෙක් ඉඳිවී
හැබැයි යකඩ..
හිරකරගන්න හදන්න එපා
උඹ ඈව..
ඈ ඉන්නෙ නෑ
ස්ථිරයි මට ඒක..!
ඈට පුළුවනි
උඹ හැදූ ඔය සොහොන
මිසර පිරමීඩයක් කරන් ඉන්නට..
අමතක කරන්න එපා
ඒ බව..!


Saturday, November 9, 2019

සිහිවීම

නැවත කිසි දිනෙක
ප්‍රේමයෙන් නොබැඳෙනුයි
මටම මා හිත
තරවටු කරන මොහොතක,
සබඳ,
මට ඔබේ දෙනෙත
සිහිවෙයි


Thursday, November 7, 2019

පශ්චාත් මරණ පරීක්ෂණය

ඔවුහු ඇගේ සිරුර දෙබෑකොට
මස් වදැල්ලක් එළියට ගත්තෝය
එය හඳුනාගත නොහැකි තරමට
විරූපව දියවගොස් තිබිණි
අවසානයේ නැවත නැවත මැන බලා
උහු ඒ ඇගේ හදවත බව නිර්ණය කළෝය


සු(වි)රූපී

ඔවුහු මගේ වත දැක
උරුවම් බාන්නෝය
එහි සැඟව ඇති හදවත
උහු නොදකිති
මා යනෙන කල
හැරෙමින්ද බැලුවෝය
උහු, මා නොහෙලූ 
කඳුළ නොදකිති


Wednesday, November 6, 2019

(අ)විවාහා

මම ලාබාලයෙකු හා විවාපත්
ගැහැණියක දුටිමි 
ඒ ගැහැණිය හඳුන්වා දුන්නී
මට මෙසේ කීය 
"ඔහු දෙස බැලීම පවා
නොකරමි"
හිතවත, මට බැඳුණු 
පුරුෂයෙකුගෙන් ඇති
පලක් නැත! 


දික්-කසාද

වලංගු නැති විලංගුවල
පශ්චාත් මරණ පරීක්ෂණ!


Tuesday, November 5, 2019

මාගරීටාව


මාගරීටාවක දාරයක
කඳුළ ඝනීභවනය කොට
විරහව ටෙකීලාවේ
දිය කළෙමි
එය නන්පැහැ ගත්තේය



Sunday, November 3, 2019

බාඳුරා


අමුතු බාඳුරාවක්ය ඈ..
පැමිණි බඹරුන් නොනැස
ඈ නැසෙන්නීය
ඒ නිසාවෙන් ඈ
කිසිවකු නොකැඳවන්නීය