Sunday, October 2, 2022

දර්ශනයෙන් වියැකි දර්ශන්

2022 ඔක්තෝබර් 2දා සිනමාවේදීන් සහ හෙළ රිදී තිරය සමූහයන්ට. 

මැරිච්ච මිනිසුන්ට තරම් ජීවත්වෙන මිනිස්සුන්ට මල් ලැබෙන්නේ නෑ! මැරුණට පස්සේ ලැබෙන ආදරෙන් කළඳක් ජීවත්වෙද්දි ලැබෙන්නේ නෑ!

දර්ශන් ගිහින්. 
මහා රලු ගොරෝසු කටහඬකින් කැඩි කැඩි සිංහල කතා කරපු දර්ශන් යන්න ගිහින්. ලස්සන සුකොමළ කඩවසම් වීරයො පහුකරගෙන ගමනක් යන්න හිටිය රලු පෙනුමැති දර්ශන් යන්නම ගිහින්.
දැන් හැමෝම දර්ශන්ට ආදරෙයි. හැමෝටම දර්ශන් පොරක්,අතිවිශිෂ්ට රංගධරයෙක්, සුපිරි චරිතයක්. ඒත් ඒ ආදරේ, ප්‍රශංසා, වර්ණනාවලින් දශම ගාණක් වෙන්නැති දර්ශන් ජීවත්වෙද්දි විඳින්න ඇත්තේ! ඇයි ඒක එහෙම වෙන්නේ? ඇයි අපිට ඒක වෙනස් කරන්න බැරිද?
අවුරුදු 41ක් කියන්නේ මැරෙන්න වයසක් නෙවෙයි. එතකොට දර්ශන්ගෙ රලු හඬ පිටිපස්සෙ හැංගිච්ච රහසුත් ඒකට හේතු වෙන්න ඇති. අපරාදේ.

අපි ආස චරිත මැරුණම ඒගොල්ලො සදා අමරණීයයි කියලා අපි බැනර් ගහනවා. එයාලට පේන්නේ නෑ.
පෙට්ටි බදාගෙන, සිහිසුන් වෙනකල් එතෙක් කල් ජීවත් වෙච්චි මනුස්සයට නොකිව්ව ආදරේ කියකියා වැලපෙනවා. මිනියට ඇහෙන්නේ, පේන්නේ, දැනෙන්නේ නෑ.
ඉන්නකල් නින්දා අපහාස කරන මිනිස්සු මැරුණට පස්සේ අවසන් ගෞරව දක්වනවා. මිනියට සතුටක් දැනෙන්නේ නෑ.
ඉන්නකල් කරපු කිසිම හොඳක් නොදැක්ක මිනිස්සු මරණ ගෙදර ගුණකථන කරනවා. ඒ මැරුණේ මිනිහෙක් නෙවෙයි දෙවියෙක් තරමට ගුණ වයනවා. මිනියට ඇහෙන්නේ නෑ.
ටික දවසක් යද්දී අපිට ඒ ඔක්කොම අමතක වෙනවා. පළවෙනි දවසේ වල වටකරන මල්වඩම්, දුක්මූණු ටික ටික වාෂ්පවෙලා අතීතෙට එකතුවෙනවා. ඉඳලා හිටලා දවසක කොහෙහරි කව්රු හරි අහවලා මැරුණනේ, අපරාදේ කියනවා. තව කෙනෙකුට එහෙම දෙයක් වෙච්ච බවක්වත් නිච්චි නැතුව යනවා. 

ආයෙමත් තව කව්රු හරි යන්න යනකල් අපි ජීවත් වෙන්න ආදරේ කරන අයව කැපකරනවා. කාලය නෑ, කාලය නෑ කියලා එහාට මෙහාට දුවනවා. 
ආයෙත් කව්රු හරි ගිය දවසට එයාලට ආදරේ පානවා, වැලපෙනවා, කම්පාවෙනවා. 
ඕක තමයි අපි අපිට දෙන වටිනාකම. 

දවසක අපි හැමෝම ඔය ගමන යනවා. හැබැයි ඒ යන්න ඉස්සර වගේ වයස විතරක්ම බලපාන්නේ නෑ. අපිට අපි මුණගැහුණම ගණන් නොගෙන ඉන්න පුරුදු වෙලා නිසා ඔය වගේ දෙයක් වුණාම කම්පාව වැඩියෙන් දැනෙනවා. 
එහෙම නොවෙන්න අපිට බැරිද අද අපි අනෙකාව දකින අන්තිම මොහොත වෙන්නත් පුළුවන් කියලා ඔලුවේ තියාගෙන ජීවත් වෙන්න. සමහරවිට එතකොට අර අපි අර රාමු කරන්න හදන ලෝකේ ඊටවඩා ලස්සනට ඉබේම හැදෙන්න පුළුවන් නේද? 

දර්ශන්ලා හැමතැනකම ඉන්නවා. යන්න දීලා ගියායින් පස්සෙ මොනව කළත් ආපහු හරවන්න බැරි යාත්‍රාවකට ගොඩවදිනකල් පසුතැවීමට හේතු හදානොගෙන ඉන්න බලමු. 
දුකයි දර්ශන්❤️
ඔයා මෙහෙ ඉන්න ඕන මිනිහෙක්. කමක් නෑ එතෙරවෙන්න. ආයෙමත් මේ චක්‍රයේ කොටසක් නොවී ඉක්මණට එතෙර වෙන්න. 
සුබ ගමන්.💐

~✒️ Aash Weerasinghe

ඉලක්කං වයස!

200 ඔක්තෝබර් 2දා සිනමාවේදීන් සහ භාරත සිනමා රසික සංසදය සමූහයන්ට. 

Sharmaji Namkeen (2022)
IMDb 7.6/10
Genre: Drama

"Today's generation has become very smart and practical. For them every relationship is like a ladder, which they climb to get ahead in life. And when the ladder becomes useless they just throw it awa..."

"Last scene of the film 'Baghban'. They should make it compulsory in schools and colleges. It's a life lesson."

"How do you guys do it all day? I'm losing my mind. How much do I walk around and watch TV? It's been six weeks and the story if the TV show is also stuck at the same point."

"Sharma, you need to throw your watch in the gutter. This is how retired life is. Slow and long. You'll get used to it."

"I don't want to man. Is it a compulsion?"

"Mr. Sharma, What's the issue here? The government must have put some thought in deciding the retirement age, right?"

"Does the brain stop functioning at 58? Amitabh Bachchan is still acting, he's 78. And do the big industrialists sit at home after 58? Nonsense."

අවුරුදු 31ක් එකම ආයතනයක, ආසාවෙන් අවංකව වැඩ කරපු මනුස්සයෙක්ට පුළුවන් ද විශ්‍රාමය ලේසියෙන් දරාගන්න? මුළු දවසම නිකමෙක් වගේ එක තැනකට වෙලා ඉන්න? පොඩි පොඩි අමාරුකම් ඇඟට දැනුණට, බඩ වැඩිහරියක් වේලීමයි බුරුබුරු ගෑමයි කියන අන්ත දෙක බදාගෙන හිටියට, දණිස් පොල්කටු ටිකක් ක්රීං ක්රීං ගෑවට හිතේ හයිය එහෙමම තියෙන මුලු ජීවිත කාලයම ක්‍රියාශීලි වෙච්චි මනුස්සයෙක්ට පුළුවන් ද එහෙම ලේසියෙන් සෙටියක දවසම වාඩිවෙලා නානාප්‍රකාර ටීවී වැඩසටහන් බලමින් කාලෙ කන්න?

ශර්මා මහත්තයත් හිතුවෙ එහෙමයි. ඒත් ශර්මා මහත්තයාට ඕන දේවල්, ආස දේවල් කරන්න බැරිවිදියට පවුලයි සමාජයයි බයිලා අකෘති හදාගෙන ඒවට අනුගත වෙලා ජීවත් වෙන්න උත්සාහ කරමින් හිටියේ. වැන්දඹු තාත්තෙක් හැටියට වෙනදා දරුවන්ට කෑම හදලා කවලා පොවලා ඉස්කෝලෙ යවලා වැඩට ගිහින් ඇවිත් ආයෙත් උයලා කවලා පොවලා work-life balance එක තියාගත්ත ශර්මා මහත්තයාට පුළුවන් ද උදේට උයලා පිහලා දරුවො වැඩට/ඉස්කෝලෙට යවලා ආයේ හවස උන් එනකල් ගෙදරට වෙලා බුකවගෙන ඉන්න?

අපි හැමෝම වැඩ කරද්දි, කාර්යබහුල වෙද්දී හිතනවා අයියෝ මේ කරුමේ ඉවර වෙලා නිදහසේ ඉන්නේ කවද්ද කියලා. ඒ කරුමේ ඉවරවුණාම අයියෝ මේ කම්මැලිකම ඉවසගන්නේ කොහොමද කියලා තැවෙනවා. මම බොහොම ළගින් දැකලා තියෙනවා අපේ සීයාගේ විශ්‍රාම ජීවිතය ගෙවිච්ච හැටි. වැඩි කතාබහක් නැති මහා ආඩම්බරකාරයෙක් වුණ සීයා අන්තිම කාලේ ගෙදරට හැරෙන මහ පාරේ තිබ්බ වින්කලයක පවා නැවතිලා රටතොට ගැන පැය ගණන් කතාවක් දාගෙන ඉඳලා එන්න පටන් ගත්තම අපි ඉතින් හොඳටම හිනාවුණා. සීයට දවස ගෙවාගන්න ඕන වුණේ වැඩ, වැඩ, වැඩ! . විශ්‍රාම ගියත් පරණ පුරුද්දටම පාන්දර ඇහැරගෙන, අපිවත් කෑගහලා ඇහැරවලා, බුදුන් වැඳලා, තේ බීලා, මිදුල් අතුගාලා, දවසෙ පත්තර බලලා (ඒ දවස්වල පත්තර බිල ලයිට් බිල වගේ. සේරම පත්තර එනවා), ලිපි මොනවහරි ලියලා, හවස් වෙද්දි බොරුවට කඩේ යනවා. ඒ ගිහින් එද්දි කැඩිච්ච පාරවල්, බෝක්කු අරක මේක ගැන වෙච්චි කතා අනුව ඒවට ලියුම් ලියන්න, පරණ මිත්‍රයන්ට කතා කරලා වැඩ කරවගන්න වගේ සමාජ සේවා වැඩත් හොයන් එනවා. අපි ඕපයක් කිව්වත් අපිට රැව්ව ගෙරෙව්ව සීයා එහෙම වෙලාවක අහන්න ලැබිච්ච ඕපත් ඉතින් හවස තේ බොනගමන් කියලා අම්මගෙයි ආත්තම්මගෙයි හිනාවට ලක්වෙනවා. ඒ වැඩ මුකුත්ම නැත්නම් දෝණි, ඒ කිව්වේ අපේ අම්මා එක්ක කුමන්ත්‍රණය කරලා රහස් මන්ත්‍රණ කරලා වත්තේ තියෙන ගහක් කප්පවලා, මොකක්හරි වෙනසක් කරවලා ආත්තම්මව අවුස්සගෙන බැණුම් අහනවා. ඊටපස්සේ රෑට ඕගන් එක ගහමින් සිංදුවක් කියලා එහෙම නිදාගන්න යනවා.(සීයාගෙ පුතාලා එහෙම අමද්‍යප නොවුණට සීයා සම්පූර්ණයෙන්ම අමද්‍යප කෙනෙක්, මැරෙනකල්ම ඒ ප්‍රතිපත්තිය කඩ නොකළ) ඒ එක්කම ඉතින් ඕන එකයි එපා එකයි හැම එකම ප්‍රශ්න කරනවා. මට ඉස්සර තරහත් යනවා. දැන් ටිකක් තාත්තාත් ඒ වගේ වේගෙන එනවා දැක්කම මම ගෙදර හිනාවෙනවා  "වීරසිංහ මහත්තයත් දැන් බස්නායක මහත්තයා වගේ වේගෙන එන්නේ" කියලා.❤️

ශර්මා මහත්තයත් ඒ වගේ තමයි. ඒකාකාරී බව නැතිකරගන්න නොකළ දෙයක් නෑ. සූම්බාත් කළා නෙව, හරි ගියේ නෑ ඉතින්. ඒ මදිවට තියෙන තරමක් ෆේස්බුක්, වට්ස්ඇප් ආදී නානාප්‍රකාර මාධ්‍යජාලාවලත් සැරිසරනවා. ඒවයේ ඕපදූපත් බලනවා. බොරුවලටත් ඇත්ත කියලා රැවටෙනවා. මතකනේ අර රැට්ටගෙ තාත්තා ටික්ටොක් කරන්න ගත්තා? අන්න ඒ වගේ. ටික්ටොක් විතරයි මෙයත් නොකළේ! 
පස්සේ තමයි අමුතු වැඩක් සෙට්වෙන්නේ. මොකද ශර්මා මහත්තයාට පුළුවන් පුදුම රහට කෑම හදන්න. ඒ කෑම ඉවිල්ල දැක්කත් රසනහර පිනා යනවා. බොරුනම් බලන්නකො. 

ඇත්තටම ඔය සමාජ මාධ්‍යවල ගැහැණුන්ට වඩා අතවරයට, අපහාස උපහාසයට ලක්වෙන්නේ වැඩිහිටියන්! ඒ ඇයි කියනවා නම් ඔවුන්ට සමාජ මාධ්‍ය සංස්කෘතිය අලුත්. පරණ පරම්පරාවල යාලුමිත්‍රකම්, හිතවත්කම් තිබ්බේ ෆොටෝවලට දාන හාට් රියැක්ට්ස්වල නෙවෙයි. ඒවා දීර්ඝකාලීනව පැවතුණෙත් ඒක හින්දමයි කියලයි මට නම් හිතෙන්නේ. මොකද අනවශ්‍ය ඇලීම්-ගැලීම් නැහැනෙ. අනික ඒ හිතමිත්‍රකම්වල දැන් ඒවයට වඩා අවංකකමක් තිබ්බා කියලා මට හිතෙනවා. දැන් සමාජ මාධ්‍යවල පවතින බහුතර මිනිස් සම්බන්ධතා මැනෙන්නේ පිංතූරවලට පෝස්ට්වලට දාන ලයික්, රියැක්ට්ස්වලින්, කමෙන්ට්ස්වලින්. ඊළගට එතන අනවශ්‍ය තරමට පෞද්ගලිකත්වය ප්‍රකාශවීම නිසා නැති ප්‍රශ්න. මිනිස්සු මිනිසුන්ව මනින්නේ ඒ මනුස්සයගේ ෆෙස්බුක් වෝල් එකෙනුයි ඉන්ස්ටග්‍රම් අකවුන්ට් එකෙනුයි. මං හිතන්නේ සකරෙට වැරදුණේම හාහා සහ හාට් රියැක්ෂන්ස් බුකියට එකතු කිරීම හින්දා කියලා. පවුල් කැඩෙන්න වගේම හාහා නිසා හිතවත්කම් නැත්තට නැතිකරන්න පුළුවන් දැලිපිහියක්නෙ එයා ඔය ආසියාතික වඳුරන්ට දීලා තියෙන්නේ😅
එතකොට පරණ පරම්පරාවේ නොදැනුවත්කම සහ සමාජ මාධ්‍ය පරිශීලනයේ තියෙන අඬුලුහුඬුකම් අලුත් පරම්පරාවල්වලට කුරිරු විනෝදයක්. එතනදි සහකම්පනය කියලා දෙයක් හරිම කණගාටුදායක විදිහට නැත්තටම නැතිවෙනවා. 
හැබැයි ඔය අතර වේගයෙන් අලුත් දේ ඉගෙනගන්නා වැඩිහිටියනුත් ඉන්නවා. 

විශ්‍රාම යෑමේ වයස ගැන කියනවා නම් ලංකාවේත් දැනට ක්‍රියාත්මක 55 සීමාව ගැන මම පෞද්ගලිකවම ලොකු සතුටක් නැහැ. කෙනෙකුට හැකියාව, ශක්තිය තියෙන තරම් කාලයක් වැඩ කරන්නට දීමේ ගැටලුවක් තිබිය යුතු නෑ කියලා මම හිතනවා. මොකද මුලු ජීවිත කාලයම වැඩ කරන්න හුරුවූ කෙනෙකුට ඒ නැවතීම නිසා ලැබෙන මානසික සහනයට වඩා අසහනය වැඩියි. ඒ බහුතර විශ්‍රාමිකයන්ට වෙන්නේ අර්ථසාධකෙන් එහෙම ලැබෙන සොච්චම් මුදල අරගෙන පරාජිතයෙක් වගේ ගෙදර යන්න. ඒ මුදලත් ඊටපස්සේ (බහුතරයක) ඩැහැගන්න බලන් ඉන්න දරුවන්ට බෙදන්න. එහෙම නොකළම උන් එකිනෙකා කුළල් කාගන්නා හැටි බලං සෝ සන්තාපයට පත්වෙන්න. ඊටපස්සේ ලෙඩදුකකට ගන්න තියෙන සල්ලියෙන් දරුවන්ට සලකන්න, ගෙවල් දොරවල්වල අඩුපාඩු පිළියම් කරන්න, ඉගෙන ගන්න දරුවන්ට යුතුකම් කරන්න, දීගතල යන දරුවන්ට දෑවැදි හදන්න. රජයෙ සේවකයන්ට තියෙන විශ්‍රාම වැටුප් සහනයවත් (ඒක මහලොකු දෙයක් නොවුණට) නැති පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයන්ට ඔය ටික කළායින් පස්සෙ වෙන්නෙ හිඟා නොකා හිඟා කන්න. ඒ අස්සෙ දරුවන්ගෙ දරුවො බලාගන්න, ඉස්කෝලේ එක්කන් යන්න, පංති ගෙනියන්න, කඩේ පොලේ යන්න, බිල් ගෙවන්න යන්න ආදි අටෝරාසියක කම්කරු වැඩ මොන ඉහළ පුටුවකින් විශ්‍රාම ගියත් උරුමයි. ඒ අතරට ශර්මා මහත්තයට වගේ දරුවන්ට ලැජ්ජාවක් නොවී ජීවත්වෙන්න, හැසිරෙන්න, තීරණ ගන්න වගේ දණ්ඩ නීති සංග්‍රහයකටත් කොන්දේසි විරහිතව යටත්වීම අනිවාර්යයි. 

මා දන්නා තරමින් බොහෝ බටහිර රටවල් අනිවාර්යයෙන්ම විශ්‍රාමයෑමක් නිර්දේශ කරන්නේ සමහර සාධක මත. නැත්නම් වැඩ කළ හැකි තත්වයේ සෞඛ්‍ය සම්පන්න කෙනෙකුට අවුරුදු 70වනතුරුත් වැඩ කරන්නට ඉඩ තියෙනවා (ඇතැම් ක්ෂේත්‍ර හැර). ඒක ඒ ආයතනමම විය යුතු නැහැ. වැඩිහිටියන් එකම තනතුරුවල රැඳීම නිසා ඊළග පරම්පරාවලට අසාධාරණයක් වීම මාත් පිළිගන්නවා. එතනදී නිසි කාලයෙදි නිසි තීරණ ගැනීමට පරම්පරා දෙකටම වගකීම් සහ යුතුකම් තියෙනවා වගේම එසේ ඉවත්වන වැඩිහිටි පරම්පරාවට නිසි ගෞරවය ලබාදෙන්නත් ගෞරවණීය පුරවැසියන් ලෙස ජීවත්වීමට ඉඩදීමටත් අපි හැමෝටම යුතුකමක් තියෙනවා. අපි හැමදෙනාම ජාති, ජරා, ව්‍යාධි, මරණ අනිවාර්යයෙන්ම දවසක අත්විඳිනවා. සුරක්ෂිත, සුරූපී, ධනවත්ම පුද්ගලයාට පවා ඒ අනිත්‍යයට මුහුණ දෙන්නට සිද්ධවෙනවා. ඒක අවබෝධ කරනොගෙන නොමැරෙන මිනිස්සු හැටියට වැඩිහිටියන් වගේම තරුණ පරම්පරාවත් ජීවත්වෙන්න උත්සහ කිරීම නම් විහිළුවක්. 

ශර්මා ජීගේ කතාව බලන්න. 
චිත්‍රපටය ගැන සුවිශේෂීම කාරණාව තමයි මේක රිෂී කපූර්ගේ අන්තිම චිත්‍රපටය. රූගත කිරීම් අතරතුර තමයි ඔහු රෝගාතුරව අපෙන් සමුගන්නෙ. ඒක නිසා ශර්මා මහත්තුරු දෙන්නෙක් චිත්‍රපටයේ ඉන්නවා. ඒ පරේශ් රාවල් ඒ අභියෝගය බාරගත්ත හින්දා. ටිකක් අමුතුයි වගේ මුලදි දැනුණට පස්සේ ඒකත් ව්‍යංග්‍යර්ථයක් වගේ දැනෙන්න පටන්ගන්නවා. හිතලා නොකළ දෙයක් වුණත් එකම චිත්‍රපටයේ එකම චරිතය පුද්ගලයන් දෙදෙනෙකු විසින් රඟදැක්වීම බහුතර විශ්‍රාමිකයා නියෝජනයක් හැටියට දැනෙනවා. 

තිරපිටපත Suprathik Sen සහ Hithesh Bhatia. Hitheshගේම අධ්‍යක්‍ෂණයක්. Amazon Prime Video බෙදාහැරීමක්. 

~✒️ Aash Weerasinghe

Sunday, September 25, 2022

සඳරැස් වළල්ල

"මට ඕන ඔයාව අඳුනගන්න"

අහලා පුරුදු කතාවක් වෙනස් කටහඬකින් ඇහුණම ඒකේ ස්වර උච්ඡාවචනයවීමයි අර්ථ විවරණයයි විශ්ලේෂණය කරන්න මගේ මනස එරමිණියා ගොතාගෙන වාඩිවුණේ කොන්දට සැප කොට්ටයක් හේත්තු කරවගෙන ලකලෑස්ති වෙලා.

"ඉතින් ඔයා මාව අඳුනනවනේ" කටට ආපු සරදම් හිනාව බීම වීදුරුවෙන් මුවා කරගෙන පුළුවන් තරම් සාමාන්‍ය විදිහට කිව්වේ අනුන්ගේ පව් තවකෙක් පිටින් යවන්න අවශ්‍ය නෑ කියලා හිතුණ හින්දා.

"ඔව් අඳුනනවා. ඒත් ඊට වඩා ඔයා ගැන දැනගන්න මං කැමතියි"
ඉංග්‍රීසියෙන් ආදරේ කරාම දැනෙන්නේ නෑ කියලා එකඟතාවක හිටිය, අමතක කරලා දැම්ම අතීත කතාවක් නාලාගිරි වේගෙන් ඔලුවට කඩාවැදුණා. ඔව් ඒක ඇත්ත තමයි. සම්බන්ධතාවකදී ඉංග්‍රීසිය භාවිතා කරන්නේ මම පුද්ගලයන්ව අතේ දුරින් තියාගන්නකොට, ඒත් නැත්නම් තරහක් පිටකරනකොට කියලා සමහරු තේරුම් අරගත්ත තැනුත් තිබ්බා. සමහර දේවල් ඉංග්‍රීසියෙන් කිව්වම දැනෙනවා, සමහර දේවල් නෑ. ආදරේ නම් තමන්ගේ භාෂාවෙන් අහන එක තමා සුන්දර. ඒවුණාට මේ කතන්දරේ මව් භාෂාවෙන් නොවෙන එක හොඳයි, ඇලෙන්න තියෙන ඉඩ අඩු කරගන්න එකනේ අරමුණ.

"වචන හැමෝටම දෙන්න පුළුවන්, වඩා වැදගත් ක්‍රියාවනෙ" කියලා කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තරයක් මගෙ කටින් පැන්නා නොහිතාම. ඒ වෙලාවේ මට අනිකව පෙනුණත් මගෙ බැල්ම අරමුණක් නැතිව වෙන කොහෙද මාත් නොදන්නා තැනක තිබ්බේ. ඒත් අනිකා පුදුමයෙන් වගේ මා දිහා බැලුවා මිසක් ඒ කතාව දිගේ නොයා එයාගේ අතීත කතන්දරයක් කියන්න පටන් ගත්තා. අනිවාර්යයෙන්ම අර පළවෙනි කතාව වගේ මගේ අනිච්ඡානුග උත්තරෙත් එයත් ඕනෑතරම් අහලා ඇති.

ඒක ලස්සන අවන්හලක්. මුහුදේ හඬයි අවන්හලේ සංගීතේ හඬයි ද්වන්ධ සටනක ඉන්න අතරේ වුණත් මම නිශ්ශබ්දව ඔහුගේ නොස්ටැල්ජියාව අවදිකිරීම අහන් හිටියා. මිනිස්සු තමන් ආස දේ,තමන්ට වටිනා දේ ගැන කතා කරද්දි ඒ දිහා බලං ඉන්න එක වෙනමම මොකද්දෝ එකක්. සාමාන්‍යයෙන් බැරෑරුම් මුහුණින් ඉන්න මනුස්සයෙක් දිලිසෙන ඇස්වලින් හිනා වපුර වපුර පරණ ප්‍රේම කතාවක් කියද්දි අවුරුදු විස්සක් ආපස්සට ගිහින් අහිංසක සතුටක් ලබන ඒ ජීවියගෙ කණෙන් ඇදලා වර්තමානයට ගන්න තරම් ලොකු ආකර්ෂණයක් තාම ඇතිවෙලා නැති හින්දා සාමාන්‍යයෙන් ආදරේදී එන මගේ ඉරිසියාව ලා හිනාවක් ඇඳගෙන ආඩම්බර ලාලිත්‍යයෙන් පැත්තකට වුණා. මගෙන් කතන්දර බලාපොරොත්තු වෙන්නට ඇති නමුත් ඒකට ඉල්ලීමක්වත්, බලකිරීමක්වත් නොකෙරුණ හින්දා මාත් නිශ්ශබ්දව හිටියා. මගේ වාරේ ආවහම අවුරුදු ගාණක් පුරුදු පුහුණු කළ වඩා ආරක්ෂිත පියවරට කතාව හරවාගන්න හැටිත් මම දන්නවානේ.

පුරුෂ ඇස්වල ආලෝක පුංජයන් දුවන හැටි නටන හැටි නොදැක නැතිවුණත් මේ මනුස්සයා ගැන නම් මට පුදුම නොවී ඉන්න බැරිවුණා. ප්‍රේමයෙන් උණුවෙලා වැගිරෙන මිනිස්සු වගේම ඔය ඇස්වල දුවන නානාප්‍රකාර තොරණ් ගණන් නොගෙන නොදැක්කා නොදැනුණා වගේ ඉඳීමේ "ලාදුරු කලාව" ප්‍රගුණ කරපු කෙනෙක් පුදුමයට පත්වීම කියන පුදුමය ඔඩුදුවන්න කලින් නතර කරගෙන මම කදිමට ලුණු තවරපු නිවිති කොළයක් ගෑරුප්පුවෙ ඔතාගත්තා.

"ඔයා වැඩිය කතා කරන්නේ නෑ නේද?"

"නෑනේ.."

"හ්ම්ම්.. ඒක තමයි."
ඒකත් මේ විශ්වයේ කීවතාවක් නම් ගෑණු මිනිස්සු අතර ඇතිවෙලා ඇති දෙබසක්ද කියලා ආයෙමත් හිනාවක් මතුවේගෙන ආවත් මෙච්චර දුකක් විඳලා ලස්සන හැන්ඳෑවක කතාබහක් කරන්නට කරපු ආරාධනාවට ඒ වගේ අවිනීතකමක් කරන්න තරම්ම මගේ හිත නරක්වෙලා තිබ්බේ නැති බව මම මටම මතක් කරගත්තා.

ටික වෙලාවකින් ඉබේම මම මගේ ආරක්ෂිත පියවරට සංවාදය හරවාගෙන තිබ්බ නිසා ඒ වෙද්දි දෙන්නම හරිහරියට ව්‍යාපාරික සංවාදයක් පටන් අරගෙන ඒ අතරම කෑමත් ඉවර කරලා තිබ්බේ. සෙනගත් තුනීවෙමින් සංගීතයත් ටිකක් තුනීවෙමින් තිබුණු හින්දා පේන මානේ මුහුද විතරක් ජයග්‍රහණය සමරමින් හිටියා.

"මං ආසයි මුහුදට, වෙරළට, බහින ඉරට" අනිකා කිව්වේ සපත්තු දෙක ගලවලා පුටුව යටින් තියන ගමන්.
මාත් කැමතිම වුණත් 'මාත්' කියන උත්තරේ කටින් එළියට නෑවිත් ආඩම්බරකමට මුලුගැන්නිලා හිනාවක් විතරක් එළියට තල්ලු කළා.

කිසිම සංවාදයක් නැතුවම අවන්හලේ ලී වැට හරියෙන්ම මුහුද පැත්තට හිටගත්තමයි ඒ වෙරළ තීරයේ ලස්සන පේන්නේ. නානාප්‍රකාර කහපාට විදුලි සැරසිලි පෙළක් තිබිලත් මුහුද තිබ්බේ අඳුරක. ලාවට සුදු පාට රළ විතරක් පේන තරම් අඳුරක. ඒත් වෙරළේ පිළිම දෙකක් වගේ හිටගෙන හිටිය අපිට උඩින් හඳ මුදුන් වෙලා, වටකුරුවට පායලා තිබ්බ හඳ වටේ විශාල රැස් වළල්ලක් ඇතිවෙලා තිබ්බේ. ඒක ඇත්තටම හරිම ලස්සනයි.
ඒ මොහොතේ හඳ එළියෙන් නෑවෙමින් පිළිම දෙකක් වගේ හිටගෙන මුහුද දිහා බලා ඉන්න ගැහැණියෙකුයි පිරිමියෙකුයි කොච්චර ප්‍රේමාන්විත, රෝමාන්තික දර්ශනයක් මවනවා වෙන්න පුළුවන් ද. එහෙම දෙයක් මම දැක්කා නම් අර අවන්හලේ පොල් අතු හෙවිලි කළ මේසෙකට වෙලා කවි කීයක් නම් ලියන්න තිබ්බද මෙලහකට.. අපරාදේ මං මේ ඉන්නේ ඉන්න ඕන තැන නෙවෙයිනෙ..
සාමාන්‍යයෙන් හැඟීම් දැනීම් තියෙන, වැරදි වැරදි හරි තවම ලබ්-ඩබ් ගාන හෘදය වස්තුවක් තියෙන මනුස්සයෙක් හැටියට මේ තියෙන සුන්දරත්වය නිසා හරි කවි කීයක් ලියවෙන්න තිබ්බද?..ඒත් ඒ ඔක්කොම නිකං ගල් ගැහිලා ගිහින් වගේ. හිතයි හදවතයි වෙන්කරන සන්ධියෙ මොකද්දෝ ලොකු ගුලියක් හිරවෙලා වගේ හිතත් වැඩ නොකරන හදවතත් වැඩ නොකරන මෙලෝ රෝමාන්තික ගතියක් නොදැනෙන ලෝකෙක හඳ එළියෙන් නෑවෙන ගෑණු ප්‍රතිමාව හිටියේ. පිරිමි ප්‍රතිමාව නං හඳ තරමටම ලස්සන ආලෝක කිරණ ඇස්වලින් නිකුත් කරනවා ගෑණු ප්‍රතිමාව නොදැක්කා නොවෙයි, නොදැක්කා වගේ හිටියා.

ඒ ඔක්කොම පැත්තක තියලා මං ආයෙත් සඳරැස් වළල්ල බලන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් තරුවලට පුදුමාකාර ආස මම මේතරම් ලස්සන සඳරැස් වළල්ලක් නම් දැක්කේ එවෙලේ තමයි.
බෙල්ල කැඩෙන්න තරම් නවාගෙන අහස බලන මාව දැක්කම අනිකාට හිනාගියා.

"ලස්සනයි නේද? දැක්කද අර රැස් වළල්ල?"

"හ්ම්ම්..ඔව්, ලස්සනයි"

"ආ.. මම ආසයි පින්තූර ගන්න" මම එකසැරේම බොහොම කලබලයෙන් කියලා දැම්මා. ඒ අර මාව අඳුනගන්න තරම් දෙයක් මම තාම කිව්වේ නෑ නේද කියන කල්පනාව හින්දා වෙන්න ඇති කියලා මං හිතන්නේ අනිකාටත් තේරෙන්න ඇති.
"ඉතින් දැනුත් ගන්න පිංතූර.. "

" නෑ.. කොච්චර පිංතූර ගත්තත් පියවි ඇහැට පේන හඳේවත් තරුවලවත් ලස්සන ඒ විදියටම පිංතූරවලට ගන්න බෑ.." මහ ලොකු කැමරාකරණ පිකාසෝ කෙනෙක් වගේ මම උත්තර දුන්නා.

අනිකා ඉස්ඉස්සෙල්ලාම ගෑණු ළමයෙක්ට කතා කරන්න ආව නවයෞවනයෙක් වගේ ලැජ්ජාවෙන් හිනාවෙවී මුහුදු වැලිවලට පයින් ගගහා මගේ කතාවට හූමිටි තිබ්බා. මාත් දිගටම හඳේ හැඩ බැලුවා. එතකොට තමයි අහන්න ඕනම කතාවක් මතක් වුණේ.
" ඇයි ඔයාට මට කතා කරන්න හිතුණේ?"

"දන්නේ නෑ. මට හිතුණා කතා කරලා බලනවා කියලා අපිට ඉදිරි ගමනක් තියෙනවද කියලා."

"ඇයි ඉතින් මම? මට නං ඒකට හේතුවක් පේන්නේ නෑ" සාමාන්‍යයෙන් ගෑණු එහෙම කතා කියන්නේ තමන්ට ආස උත්තරේ අනිකගෙන් අහන්න වුණත් මම ඒ වෙලාවේ ඒ ප්‍රශ්නේ ඇහුවෙ නම් ඇත්තටම. පරණ කළකිරීමුත් අඳුරු මුහුදු මායිමේ පෙනීනොපෙනී යමින් තිබ්බා වගේ දැනුණ හින්දා. කොහොමටත් මොන උත්තරේ ආවත් මේ ගල් ගැහුණු හෘදය දියකරන්න ආයෙත් ඉතින් පුලුවන් වෙන සමතෙක් ඉන්න බෑ.

"හ්ම්ම්.. ඇයි ඔයා.. ඒක මම තාම දන්නේ නෑ. ඒකනේ ඔයාව අඳුනගන්න හදන්නේ. ඔයාට ආකර්ෂණයක් තියෙනවා. ඔයාගෙ පෞර්ෂයයට මම කැමතියි. ඔයා ලස්සනයි. හැබැයි ඒක හින්දමයි කියලා කියන්න මම කැමති නෑ. ජීවිත කාලෙම ඉන්න කෙනෙක් ගැන එච්චර ලේසියට තීරණය කරන්න බෑ.."
කපටි උත්තරයක් වගේ එකක් ආවා නේද කියලා මම හිතෙන් හිනාවෙන්න පටන්ගත්තා. ඒත් මූණෙන් හිනාවක් පළ නොකර බැරෑරුම් බැල්මෙන්ම හිටියා.

" හදිස්සියක් නෑ. අපි අපේ සංවාදය සාමාන්‍ය විදිහට පවත්වාගෙන ගිහින් බලමු වෙනසක් වේවිද කියලා.. වෙනසක් වුණොත් ඒක මගේ වාසනාවක්.. නැත්නම් ඉතින් සාමාන්‍ය විදිහටම යාලුකමක් තියෙයි.."

"හ්ම්ම්..."
මගේ ඔලුව ඇතුලේ එහෙම අදහසක් නැතිබව නොදන්නා අනිකාගේ සුබවාදී ආකල්පයට අගෞරවයක් නොකර ඉන්න තරම් පරිණතකමක් කාලය ලබාදීලා තිබීම කොච්චර නම් හොඳ ද කියලා ඒවෙලාවෙ නම් මට හිතුණේ ඇත්තටම. කාලය මොනවා කරාවිද කියලා අපි දන්නේ නෑ නේද කියන පුදුමය ඕනෑතරම් අත්විඳලා තියෙන හින්දා මම නිශ්ශබ්ද වුණා.

"අපි ආයෙත් දවසක මුණගැහෙනවනේ?"

"බලමු.."

අනිකා සුන්දර හිනාවක් ඉහලා රේල්පාරෙන් එතෙර වෙන්න අත පෑවා.

~තනියා

✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal





Thursday, September 22, 2022

වයිර නැති මුත්තු

වයිරමුත්තු අන්කල් යාපනෙන් ඇවිත් දකුණේ පදිංචි වෙලා තියෙන්නේ මං ඉපදෙන්නත් කලින්. වයිරමුත්තු අන්කල්ගේ අයියා තමයි ඉස්සර සීයාගේ කොණ්ඩේ කපන්නේ ගෙදරට ඇවිත්. එතකොට ඒ එක්කම තුන්වැනි පරම්පරාවෙ පළවෙනියටත් ඒ සැලකිල්ලම ලැබෙනවා. ඒත් මම පුංචි කාලේ කොණ්ඩේ කපන්න බයයි. ඒකට දැන් කොණ්ඩේ කපන්නේ බාබර්ලත් එපා කියද්දී😅 ඉතින් මාව පුටුවක වාඩි කරවලා ලොකු වයිරමුත්තු අන්කල් කොණ්ඩේ කපනකොට මම ගල් පිළිමයක් වගේ ඉන්නවා කටේ ටොෆියකුත් ඔබාගෙන ඒ කෙළ ටිකවත් ගිලින්න බයෙන් කතුර ඇනෙයි, කණ කැපෙයි වගේ පුංචි එවුන්ට තියෙන ප්‍රශ්න කෙළකෝටියකින් ඔලුව පුරෝගෙන.

පස්සේ කාලෙක ලොකු වයිරමුත්තු අන්කල් නැතිවුණා. පොඩි වයිරමුත්තු අන්කල් කොළඹ ආවා. අපිත් කොළඹ දී වයිරමුත්තු අන්කල්ගෙන් තමයි කොණ්ඩේ කැපුවේ. තාත්තා අනිවාර්යයෙන්ම ගියේ එයා ළගට. ලෝකේ හොඳම බාබර් ළගට ගියත් වයිරමුත්තු අන්කල් තරම් හිතට ඇල්ලුවේ නෑ තාත්තට කාවවත්.

වයිරමුත්තු අන්කල් එතකොට හිටියේ සොයිසාපුර. සොයිසාපුරේට ඇතුල්වෙන පාරේම හොඳ සැලෝන් එකක් කළේ. ගෝලයොත් සෑහෙන්න හිටියා. පදිංචි වෙලා හිටියෙත් සොයිසාපුර මහල් නිවාසෙකමයි. ඒ කාලේ දුවයි පුතයි පොඩියි. අන්කල් කොච්චර සෙනග පිරිලා හිටියත් කොච්චර වැඩ තිබ්බත් තාත්තා එක්ක ගියත් අපි තනියම ගියත් අපේ වැඩේ තමන්ම බාරගෙන කරනවා. ඒකත් උපරිමයෙන්. සාප්පුවට ඇතුල්වෙන සැණින් බීම ගෙන්නලා දීලා සෙනග වැඩිවෙලාවක වුණත් ළගට ඇවිත් කතාබහ කරලා හිටපු අහිංසක මනුස්සයෙක්. ඒ හින්දම වෙන්න ඇති භීෂණ දෙකකට එකසැරේ මූණ දුන්න දකුණේ පවා ඔහුගේ පවුල ආරක්ෂිතව කාගෙත් ආදර කරුණාවට ලක්වෙමින් තමන්ගේ ව්‍යාපාර කටයුතුවල යෙදුණේ. සොයිසාපුර තත්ත්වයත් ඒකමයි. දන්නා තරමින් හැමෝම සමග සහයෝගයෙන් සාමයෙන් පාඩුවේ ජීවත් වෙච්චි මනුස්සයෙක් වයිරමුත්තු අන්කල්.
ඊටපස්සේ කාලෙක සෑහෙන්න දේවල් ලෝකේ වෙනස්වුණා. අපිටත් වයිරමුත්තු අන්කල් බලන්න යන්න බැරිවුණා. ගරාජ් එකේ තියාගත්ත පුටුවක වාඩිකරලා පරිස්සමින් කොණ්ඩේ කැප්පෙව්ව පොඩි වීරසිංහත් වයසින් වැඩිලා කොණ්ඩෙට එක එක විජ්ජාවල් කරන්න ගත්තම වයිරමුත්තු අන්කල්ගේ පරණ කතුරු නිකම්ම අතෑරුණා.

ඊයේ හවස අම්මලා ගෙට ගොඩවුණේම "අනේ අපිට වයිරමුත්තු හම්බුණානේ" කියාගෙන,ඒකත් හරිම දුක මූණුවලින්.
ඊටපස්සේ මට ඉස්පාසුවක් තිබ්බේ නෑ කොහෙදිද මොකද අරකද මේකද අහගන්න. මොකද අවුරුදු ගානකින්නේ මම වයිරමුත්තු අන්කල් ගැන ඇහුවේ.
ලස්සනට ව්‍යාපාරය කරගෙන හිටිය අහිංසක මනුස්සයා අද හරිම කරදර ගොඩකින් හෙම්බත්වෙලා කියලා ඇහුවම මට කඳුළුත් ආවා. හොඳ වෙලාවට විදුලි කප්පාදුව නිසා කව්රුවත් දැක්කේ නෑ. දෙයියනේ කියලා සරුවට තමන්ගෙම ව්‍යාපාරයක් කරගෙන හිටිය අන්කල් දැන් කොල්ලුපිටියේ පොඩි බාබර් සාප්පුවක වැඩ කරනවලු. තාත්තා හවස මතක්වෙලා කෝල් එකක් දීලා හොයාගෙන ගිහින් බලන්න. වයිරමුත්තු අන්කල්ගේ සුපුරුදු කොණ්ඩ කැපීමෙන් පස්සේ අපි පුංචි කාලේ හිටිය තාත්තා තමයි ගෙදර ආවේ❤️
අන්කල්ගේ එකම දුව කොරෝනා කාලේ නැතිවෙලා. දිවිනසාගැනීමක්. පුතාට අන්කල්ව පේන්න බැරිව ගිහින් ඇතිවුණු ප්‍රශ්න නිසා අන්කල්ට ගෙදර යන්න විදියක් නැතිව වැඩකරන තැනම නැවතිලා. කොහොමත් කෙට්ටු අන්කල් තවත් කෙට්ටු වෙලා ගිහින් කකුල් පවා තුවාලවෙලා වෙලාගෙන ඉන්න පිංතූර දැක්කම හරිම වේදනයි.

සාමාන්‍යයෙන් සිංහල දමිළ ප්‍රජාවන් දෙකටම අණවිණ කොඩිවින හදිහූනියම් ගැන විශ්වාසයන් තියෙනවනෙ. එක එක අයගේ විශ්වාසයන්ගේ මට්ටම් වෙනස්වුණාට. භක්තිමත් හින්දුවෙක් වෙන වයිරමුත්තු අන්කල්ගෙත් එහෙම කතාවක් තියෙනවා. සමහරවිට වෙන්නත් පුළුවන්. කර්ම ශක්තිය බලපානවා වගේම සමහර විනාශයන් තියෙනවා මිනිස්සු කරන. ඒවයේ බොරුව වගේම ඇත්තක් නැත්තේම නැතිබවට නම් අප්‍රසන්න අත්දැකීම් තියෙනවා. සමහරවෙලාවට මේවට ප්‍රසිද්ධියේ හිනාවෙන ඒවා විවේචනය කරන උගත් බුද්ධිමත් කියලා කියන මිනිස්සු පවා කොයිතරම් නම් මිථ්‍යාදෘෂ්ටික දේවල් තව කෙනෙක්ව විනාශ කරවීමේ අරමුණින් කරනවද කියලා (ප්‍රතිඵල කොහොම වුණත්) උදාහරණ දෙන්නත් පුළුවන් මට නම්😅 වචනයේ බලයෙන් විනාශයන් කරවන මිනිස්සුත් ඉන්නවා. ඔය මිථ්‍යාවන්ට එහා ගිය විනාශකාරී දේවල් තමා මිනිසුන්ගේ වචන සහ ක්‍රියාවන්. කෙනෙකුගේ හැම සර්ථකත්වයක්ම සතුටක්ම එක රැයින් විනාශ කරලා දාන්න පුළුවන් විසකුරු වචන සහ ක්‍රියාවන් ඇති මිනිස්සු අපි අතරම ඕනෑ තරම් ඉන්නවා, සමහරවිට අතිශය හෘදයාංගම, මිත්‍රශීලී, ආදරණීය වෙස්මූණු පැළඳගෙන!

මොකක් කොහොමවුණත් මේ ආරංචිය මට හරිම කණගාටුවක්. ඒ පැත්තේ යන වෙලාවක අනිවාර්යයෙන්ම ගිහින් මාත් අන්කල්ව බලලා එනවා. අන්කල්ට දැන්නම් මාව අඳුනගන්න පුළුවන් වේවිද දන්නේ නෑ. මිනිස් වර්ගයා බෙදිච්ච ලෝකේ වයිරමුත්තු අන්කල් වගේ අහිංසකයෙක්ට එහෙම දුකක් වෙච්ච එක මට දරාගන්න අමාරුයි, ඒක මගෙම කෙනෙකුට වුණා වගේ දැනෙනවා.

මනුස්සයෙක් ආදරෙන් සතුටෙන් සැනසීමෙන් දියුණුවෙමින් ඉන්නවා දකිද්දී තමන්ගේ ඇහේ කටු ඇනෙනවා නම් ඒ ලෙඩේ කොහොමහරි හොඳකරගන්න. දුර්ලභ මිනිස් ආත්ම ලබලා ඇවිත් අනුන්ට වින කරලා පව් පුරවගන්න එපා. මේ තියෙන කරදර මිනිස්සුන්ට හොඳටම ඇති, වැඩිත් එක්ක. ඒ අස්සට අහක යන කර්ම මිනීස්සුන්ගේ ඔලුවලටයි ජීවිතවලටයි හරවන්න එපා කොයි අරමුණෙන් කොයි හේතුවකටවත්. ඕවා විඳවනකොට විඳවන්න වෙන්නේ තමන්ටම විතරක් නෙවෙයි! තමන්ගේ වචන හරි ක්‍රියාවක් හරි මිථ්‍යාදෘෂ්ටික දෙයක් හරි හින්දා කෙනෙකුට හිත්වේදනාවක් දුකක් කරදරයක් වෙද්දී 'දැක්කද මම ෂොට් එක දුන්නා' කියලා සතුටු වෙනවා නං ඒ සතුට පිටිපස්සෙන් කරත්ත රෝදේ වගේ එන මහා දුක් ගැලකුත් තියෙන බව දැනගෙන ඉන්න.
කරුණාකරලා අනුන්ට වින කරන වෙලාව, මුදල්, ශ්‍රමය තමන්ට සෙතක් කරගන්න යොදාගන්න. ඒත් බැරිනම් ඒ කරන විනයක් තමන්ටම කරගන්න. තමන්ගේ ඇස්වල කටු ඇනිච්ච පළියට වෙන මිනිස්සුන්ට වල කපන්න නොයා!

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal

Friday, September 16, 2022

පුරුෂ භූමිකා

ටික දවසකට කලින් වෙච්ච සිද්ධියක් ගැන ලියන්න හිතමින් හිටියත් වෙලාවක් නොලැබීම ගැන කල්පනා කරමින් ඉන්න අතර ඒකට ගැලපෙන දෙවැනි සිද්ධියක් අත්දැක්කා. හැමදෙයක්ම සහේතුකයි කියලා සුභවාදීව ඒක බාරගත්ත මට ඇත්තටම හිතුනා පළවෙනි සිද්ධියට ගැලපෙනම ඌණ පූර්ණය ලැබෙන්නේ දෙවැනි සිද්ධිය එක්ක කියලා. 

පළවෙනි සිද්ධිය වුණේ පහුගිය සතියක තද වැස්සක් ඇදහැලිච්ච සතියේ දවසක. මම ගියා රාජ්‍ය බැංකුවකින් වැඩක් කරගන්න. බොහොම ඉඩකඩ සහිත ඒ කාර්යාලයේ සතියේ දවසක උදේ වරුව නිසා තරමක සෙනගකුත් හිටියා. එළියේ වැටෙන වැස්සේ හඬ පරදවාගෙන එක සැරේ පිරිමි කටහඬක් නැගුණා "උඹ ගිහින් වාඩිවෙයං, වාඩිවෙයං" කියලා. මාත් ඇතුළුව බොහෝ දෙනෙක් හැරිලා බැලුවා. වයස අවුරුදු 75ක් විතර වෙන කුදු ගැහුණු පිරිමියෙක්, කොට කලිසමක් ඇඳලා, අවැදගත් 'පෙනුමක්' නැහැ. ඒ ළගින්ම ඔහුගේ බිරිඳ කියන්න පුළුවන් වයස අවුරුදු 70ක විතර ගැහැණුකෙනෙක්. තරුණ කාලයේ බොහොම සුන්දරව ඉන්නට ඇතැයි කියන්නට පුළුවන්, තවමත් ඒ සුන්දරත්වයේ ශේෂයන් පෙනෙන උස, සුදු, කෙට්ටු කෙනෙක්. ඒ මනුස්සයා ගිහින් පුටුවක වාඩිවුණා, අපිත් අපේ වැඩවලට අවධානය යොමු කළා. මිනිත්තු ගාණක් යන්නට කලින් ආයෙමත් අර උස් පිරිමි හඬ ඇහෙන්න ගත්තා "යකෝ කීයක්ද ගන්නේ කියාපං". ආයෙමත් මිනිස්සු හැරිලා බැලුවා. අර වයසක කාන්තාව මාස්ක් එකට උඩින් අතින් කට වහගෙන ලැජ්ජාවෙන් වටපිට බලද්දි කලින්ට වඩා උච්ඡ ස්වරයෙන් ඇහුණේ හයන්නට පාපිල්ලක් එකතුකරලා පටන්ගන්න වචනයක්! අර වගේ ප්‍රසිද්ධ ස්ථානයක! බැංකුවේ ආරක්ෂක නිලධාරියා තුවක්කුවත් උස්සගෙන දුවගෙන ආවා. "මහත්තයා, මහත්තයා මේ මේක ප්‍රසිද්ධ තැනක්. මෙතන කුණුහරුප කියන්න එපා". ඒ තරහත් ගියා අර කාන්තාව පිටින් "උඹ ඕන මගුලක් කරගනිං, මං යනවා" කියලා නැගිට්ට අන්කල් නැවතුණා ටිකක් එහායින් හිටි අම්මෙකුයි දුවෙකුයි ළග "ඕකි මහ වල් පවුලක එකියක්! මගෙ ජීවිතේ විනාස වුණා මේකිව බැඳලා!" කියලා කතන්දරේ දිග අරිද්දිම ඒ දෙන්නා දුවගෙන ඇවිත් මට එහා පුටු දෙකක වාඩිවුණා. අන්කල් තව මොනවාදෝ කියවමින් ගියා වෙන්න ඇති, මම දැක්කේ නෑ ඊටපස්සේ.

දෙවැනි සිද්ධිය වුණේ ටුකුවක එද්දී. කොණ්ඩෙ සුදුම සුදු අන්කල් කෙනෙක්. ගමනේ සෑහෙන්න දුරක් එනතුරු අපි නිශ්ශබ්දයි. සෑහෙන්න මහන්සියෙන් හිටි නිසා නිශ්ශබ්දතාවය අවශ්‍යම වෙලා හිටිය දවසක්, වෙලාවක්. ගමනාන්තයට කිට්ටු වෙද්දි අන්කල් කියනවා "මිස් මට අවුරුදු 72යි. මම මිස්ට පුතේ කිව්වට කමක් නෑනේ? (මං හිනාවෙලා ඔලුව වැනුවා) පුතේ මම අවුරුදු 37ක් රාජ්‍ය සේවයේ හිටියේ. මගේ ජීවිතේ දුක සතුට දෙකම සමව ලස්සනට විඳගෙන තියෙනවා. මම බැන්ඳේ ගෙදරින් විරුද්ධව. මම මාතර, එයා නුවර (හරියටම මතක නෑ, අනික් පැත්ත වෙන්නත් පුළුවන්). ගෙවල්වලින් විරුද්ධව හොරෙන් පැනලා ගිහින් බැන්ඳේ. අපිට නොසෑහෙන්න ගහලත් තියෙනවා ගෙවල්වලින් ඒ කාලේ. අපි දෙන්නවම ගෙවල්වලින් අයින් කළා, සත පහක දෙයක් දුන්නේ නෑ. අපි දෙන්නා දුක් මහන්සියෙන් ගොඩ නැගුණා. අද දරුවො දෙන්නට ගෙවල් දෙකක් හදලා තියෙනවා. මුණුපුරු මිණිපිරියො හතරදෙනෙක් ඉන්නවා. ඒත් මගේ ලොකුම ජයග්‍රහණය තමයි එදා වගේම ආදරෙන් සමගියෙන් තාම මම මගේ නෝනා එක්ක ඉන්න එක. මේ සැප්තැම්බර් 22වෙනිදට අපි බැඳලා අවුරුදු 50ක් වෙනවා. ❤️ මගේ ටාගට් එක රුපියල් 8000 දවසට. ඒක දැන් මම හොයලා ඉවරයි. දවසේ ටාගට් එක හොයපු ගමන් මම ගෙදර යනවා. ඒකෙන් අනිවාර්යයෙන්ම මම වයිෆ්ට දවසට රුපියල් දෙදහක් අතට දෙනවා. එයාට ඒක ලොකු සතුටක්නෙ. ගෙදරට බඩුමුට්ටු මම ගෙනියනවා. තව 3000ක් විතර පෙට්‍රල්වලට තියලා ඉතිරි ටික ඉතිරි කරනවා. පුතේ, මම කියන්නේ කවදාවත් කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් නැතිවුණා කියලා වැටෙන්න එපා. ඒවා එනකල් ලැබෙනකල් බලං ඉන්නත් එපා. තමන්ගෙ මහන්සියෙන් නැගිටින්න. මට ඒ තරුණ කාලේ දෙමව්පියන් ගැන හරිම වයිරයක් ඇතිවුණා. මට මෙහෙම කළානේ, මාව අතෑරලා අසරණ කලානේ කියලා හිතුණා. ඒත් පස්සෙ මම හිතුවා නෑ එදා අම්මලා අපිව බාරගෙන කන්න බොන්න දීලා තියාගත්තා නං අද අපි තාම එතනමයි නේද කියලා. ඒක නිසා අදටත් මම නොවරදවාම එයාලගේ දාන දීලා පින් දෙනවා. (දැන් මගේ ගමනාන්තයට ඇවිත්) පුතේ කවදාවත් වයස ඔලුවට අරං අනේ දැන් මට බෑ කියලා හිතන්න එපා. මානසිකව එහෙම හිතුවම තමයි ශාරීරිකව දුර්වල වෙන්නේ. ශක්තිමත් වෙන්න කවදාවත් වරදින්නේ නෑ" මම ඉතින් අන්කල්ට ළග එන විවාහ සංවත්සරේට සුබ පතලා ටුකුවෙන් බැස්සා.

එකම වගේ වයස්වල වෙන්න පුළුවන් පුරුෂයො දෙන්නෙක්ගේ ආකල්පවල වෙනස බලන්න. අර පළවෙනි සිද්ධිය ගැන ලිවීම ප්‍රමාදවීම ආශිර්වාදයක් කියලා මට හිතුණා. මිනිස්සු වයස එක්ක පරිණත වෙනවා කියලා අපි කතාවට කිව්වට මම හිතන්නේ ඒක සර්වකාලීන, සියලු සත්වයන්ට පොදු සත්‍යයක් නෙවෙයි. මිනිස්සු කාලය සහ අත්දැකීම් එක්ක පරිණත වෙන්නේ තමතමන්ගේ නැණ පමණට සහ තව විවිධ පාරිසරික සාධක මත. අර පළවෙනියා වගේ අය අවුරුදු සීයක් ජීවත්වුණත් ඒ පරිණතවුණ තරම. දෙවැනියා වගේ අය අවුරුදු තිස්පහක් ජීවත්වුණත් සාධනීය පරිණතබවක් පෙන්නුම් කරන කුලකයක්.

දැන් මම මේ කතා දෙක ලිව්වහම කෙලින්ම කියන-නොකියන විවිධාකාර මත  ඇතිවෙන්න පුළුවන්. ඔව් සමහර දේවල් මිනිස්සු කියූ පමණින්ම ඇත්ත හැටියට ගන්නත් බෑ. සමහර දේවල්වල සැගවුණු අතුරු කතන්දරත් කන්දරාවක් තියෙන්න පුළුවන්. එක කතාවකින් හෝ මොහොතකින් මනුස්සයෙක්ව විනිශ්චය කරන එක කොයිතරම් සාධාරණද කියලා තර්ක විතර්ක ඕනෑතරම් අපට ගොඩ නගන්න පුළුවන් වුණත් ඇත්තටම වෙන්නෙ ඒක තමයි. දැන් කිසිම කෙනෙක් විනිශ්චය කරන්න අයිතියක් නැහැ කියලා හිතන්න පුහුණු කරන මම පවා මේ දෙන්නාට විනිශ්චයක් දුන් නිසානේ මේක ලිව්වේ!
එහෙම බැලුවම අපි "මාර" සත්තු!

ඒ මොනවවුණත් බලන්න සමහර තීරණ ජීවිත වෙනස් කරනවා හොඳට සහ නරකට දෙකටම. හැබැයි හොඳ තීරණයක් නරක් කරන්න පුළුවනුත් නරක තීරණයක් හොඳ කරන්න පුළුවනුත් අපිටමයි. ඒකට පුරුෂයා වගේම ගැහැණියටත් ඇත්තේ සම වගකීමක්. නමුත් තවමත් පුරුෂ මූලික ආසියාතික සමාජයක් වෙන අපේ, පුරුෂයාගේ තීරණවල, ආකල්පවල, හැසිරීම්වල, ක්‍රියා කලාපයේ වැඩිබරක් තියෙනවා. ගැහැණියගේ ඒ සාධකවල දායකත්වය වැඩිහරියක් ඇත්තේ තිරයෙන් පිටුපස. එක හේතුවක් ඒ දායකත්වය තිරයට ආවොත් අධි-ස්ත්‍රීවාදිනියන්,  අධි-ස්ත්‍රීවාදීන් පවා පව්කාරියට ගහන පළවෙනි ගල අතට ගන්නවා. ගල් ගැහීම පටන්ගන්නේ මෙහෙම හේතු පාඨක එක්ක 'අපෝ ඒ මිනිහා ගෑණිට බයයි, අපෝ ඒ ගෑණි යක්සණියක්, මහ හිතුවක්කාර අතිපණ්ඩිත ගෑණියෙක්, ඔහොම ගෑණු එක්ක පුලුවන් ද පවුල් කන්න, මං නං දනී කරන දේ මට ඔහොම ගෑණියෙක් හම්බුණා නං, කණට දෙකක් දීලා හදාගන්නේ එහෙනං... " එතකොට ඒ දායකත්වය තිරයට එන්නේ ඇයි කියන එක නෙවෙයි සමාජයට ඇතිවන ගැටලුව! විවාහය කියන්නේ සාමූහික වගකීමක් (සාමූහික කිව්වම හතරවරිගෙම ඒක අස්සට දාගන්න එපා, එතකොට ඒක විවාහයක් නෙවෙයි කැඳ හැලියක්, අන්තිමට මුට්ටියත් නෑ, කැඳත් නෑ, ලිප්ගලුත් නෑ. ඊළගට ස්පෙයාර්වීල් දාගන්නත් එපා එතකොට ඒක සල්පිලක්). සමහර අවස්ථාවල පුරුෂයා ගතයුතු වගකීම් නොගන්නා තැනකදි ගැහැණිය ඒ වගකීම ගන්නවා. අරං කුජීත කතන්දර අහගන්නවා. පුරුෂයා පුරුෂයෙක් නොවන කුටුම්භයක හෝ සම්බන්ධයක ගැහැණිය ඉබේම පුරුෂ භූමිකාවට තල්ලුවෙනවා! එහෙම නොවන අවස්ථාත් තියෙන්න පුළුවන්. හැබැයි අරම වුණාට පස්සෙ පුරුෂයාගේ පුරුෂත්වය ඌයියා වීමත් වලක්වන්න බැරිවෙනවා. එහෙම සමහර ඌයියාවන් සුවපත් කරන්නත් ආයෙමත් ගැහැණු අත්ගුණයක්ම අවශ්‍යත් වෙනවා. සංසාර චක්‍රය වගේ ඔය කතාව කව්රු කොහොම සම්බන්ධවුණත් නැවතීමක් නැතිවෙනවා. 

පුරුෂයන් පුරුෂයන් ලෙසත් ගැහැණුන් ගැහැණුන් ලෙසත් පවතින්න ස්වභාව ධර්මය ඉඩ සලසලා තියෙන ලෝකයක, තමන්ගේ තීරණ මත ඒ තුලනයට බාධා කරගන්න එපා විහින්! හැම ගැහැණියක්ම ගැහැණියක් ලෙස පවතින්න කැමතියි. අර්ධ-නාරී භූමිකා බලෙන් ඔවුන් මත පටවලා ඒ සුන්දරත්වය විනාශ කරගන්න පුරුෂයො ඒ නැතිවෙච්ච සුන්දරත්ව හොයාගෙන ගිහින් ආයෙත් තව සුන්දර ගැහැණියක්ව එතැනට පත්කරන්නත් එපා. පුරුද්දට ගියොත් ඕක ලෝක ලෙඩක්😂 

අනෙක් විශේෂම දේ ඔන්න ඔය තුලනය දෙයියන්ගේ නාමේට ගෙදරින් පටන් ගන්න. හෙට අනිද්දා පුරුෂයන් ගැහැණුන් විදිහට සමාජයට කළ එළි බහින්න නියමිත දරුවෝ ඉන්න අය විශේෂයෙන්ම, කරුණාකරලා ඔවුන්ට ඔවුන්ගේ භූමිකා සහ ශක්තීන් ගැන අවබෝධයක් ලබා දෙන්න. ඒක කොහොමද කරන්නේ කියලා මම දන්නේ නෑ, හැබැයි කොහොම හරිම කරන්න! 
නැත්නම් ඉතින් දෙවැනි කුලකයේ පුරුෂයෝ අනාගත ගැහැණුන්ට මුණගැහෙන්නේ කටුගෙවල්වලින් විතරයි! 
ඒකත් ඇටසැකිලි හැටියට! 

~✒️ Aash Weerasinghe