Friday, January 27, 2023

සුරතල්

2001 අවුරුද්දේ නියඟයක් ආවා.

කවදාවත් හිඳෙන්නෙ නෑ කියලා කියපු ළිංවලත් වතුර අඩුවුණා කියලා කියැවුණා. සාමාන්‍ය පෙළ කට උඩට එනකල් නාට්ටි කරකර බල්ටි ගගහ ඉඳලා අගෝස්තු අන්තිමේ පාඩං කරන්න ලෑස්ති වෙද්දිම පැය ගණං කරන්ට් කපන්න පටන් ගත්තා! වතුරත් කැපුවද මන්දා මතක නෑ හරියටම ඒක නං.

එහෙම ලයිට් නෑයි කියලා පාඩං නොකර ඉන්න, වර්ජනය කරන්න පුළුවන් තත්ත්වයක් තිබ්බේ නෑ මොකද මාස තුනකින් අවුරුදු දෙකක විෂයන් අටක-දහයක වැඩ කවර් කරන එක ලේසි වැඩක් නෙවෙයි හින්දා!
ඔව්, ගෙදර මිනිස්සු මං ගැන හිතලා emergency light එකක් ගෙනත් දුන්නා. ඒක charge කරන්න බැරිවෙච්ච දවසටත් පට්ට රස්නෙ පවන් ගගහා දාඩිය පෙරාගෙන ලාම්පු එළියෙන් හරි පාඩම් කළා!

 දැනට අවුරුදු විස්සකට කලින්ට වඩා අද ඉගෙනගන්න තියෙන ක්‍රම දියුණුයි. හංදා තුංපනේ හැමදාම ලාම්පු එළියෙන් පාඩම් කරන දුක්විඳින දරුවන්ට වඩා බහුතරයක් අතේ කන්න නැතත් ෆෝන් තියෙනවා! දෙමව්පියෝ බඩට නොකා හරි ඒවට data reloadත් දානවා. කියන කියන පංතියට වියදනුත් කරනවා. තමන්ටවත් ඇඳුමක් කැඩුමක් නොගෙන පංති යන දරුවන්ව ලස්සනට අන්ඳවලා කරලා යවනවා. ඔක්කෝටමත් වැඩිය මේ තියෙන දුෂ්කරම කාලේ තමන්ට පුළුවන් උපරිමෙන්, තමන් නොකා නොබී හරි දරුවන්ට සලකනවා.

එහෙම තියෙද්දි පැය තුනක් ලයිට් නැති හින්දා උන්ට පාඩම් කරන්න බෑ?
තමන්ගෙ දෙමව්පියන්ගෙ කැපකිරීම් වෙනුවෙන් බැරිනම් තමන්ගෙ අනාගතෙ ගැන හිතලා හරි පොඩි කැපකිරීමක් කරන්න බෑ?
සේරම අතට පයට සැපට සනීපෙට තියන්න ඕන?
එතකොට තමයි පාඩම් හිටින්නේ??

අනේ මේ!!

Demand කරන පරම්පරාවල් හදන්නේ නැතුව ජීවිතේ හැමදේකටම මූණ දෙන්න උගන්නපල්ලා විකාර නැතුව! 😏

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow #ලංකාවටමට්රැක් #නරුමකතා

Thursday, January 26, 2023

නිදහස් උත්සවේ පවත්වන්ට ඕනි!

සාධාරණ ප්‍රශ්න ජනාධිපතිතුමාට තියෙන්නේ. මේක ගත්තේ නැත්නම් රට්ටු සහ ලෝකයා නොයෙකුත් කතා කියනවා!

(අනිවාර්යයෙන්ම! මොකද ලෝකයා කෙසේ වෙතත් රට්ටු මගුලක් නොගත්තත් බැණලා, ගත්තත් බැණලා, කාලා බීලා ඇවිල්ලත් බණින ජාතියක්නෙ😂)

ඔය එපා කියන කටවල්වලින්ම 2026 පෙබරවාරියේ දී නෝක්කාඩු කියන බව ලොක්කා දන්නවා (ජනහද හඳුනන රනිල්😉)

'රට්ටු කතා කරන්නේ මං මයිත්‍රී ලව්වා ජයමංගල ගාථා කියවනවා වගේනෙ. ඔයාලගෙම අය තමයි ඉතින් බජට් කරලා තියෙන්නේ! හා දැන් හොඳ ළමයි වගේ ගිහින් මේ ගණන් ටික ආයෙ හරියට හදාගෙන එන්න'😂

ඒ ඔක්කොම හිතේ තියාගෙන හිනාවෙලා..
නිදහස් උත්සවය පවත්වන්ට ඕනි!

ඒකට එකඟයි❤️🇱🇰

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #lka #trendingnow

Saturday, January 21, 2023

දම්පාට අකුණු


පහුගිය දවස්වල කාලගුණ විපර්යාස වෙන අතරේ මහ රෑ සිංදුවක් අහගෙන ඇඳ උඩ එරමිණියා ගොතාගෙන වාඩිවෙලා ඉන්දැද්දි එක දිගට අකුණු වැලක් පුපුරගෙන පුපුරගෙන ගියා ඇස් ඉස්සරහම වගේ. 
දම් පාටට!

අකුණු පුපුරනවා දැකලා නැති නොවන නමුත් එහෙම දම්පාට අකුණු නං දැක්කමයි.

මීට මාස ගාණකට කලින් ගමේ ඉන්න වෙලාවක මහ රෑ නිල්-කහ ගිනිබෝලමය අකුණුවැලක් පුපුරලා ගෙදර ලයිට්, වත්තෙ පොල්ගහක්, ටවුමේ කඩවල ලයිට්, මහජන බැංකුවේ බෝඩ්එක ආදි සෑහෙන කොටසක් පුච්චගෙන ගියා. ලාවට අකුණු කොටකොට ගොරවගොරව එද්දිත් කාටවත් අපරාධයක් නොකිරීම ගැන අධිතක්සේරුවෙන් අධිවිශ්වාසයෙන් යුතුව හෙඩ්ෆෝන් කණේ ඔබාගෙන ජංගමයයි ලැප්ටොප් එකයි බදාගෙන ඉන්න ලොකුදුවත් අකුණුප්‍රාප්තවුණාද කියලා බයවෙච්ච තාත්තා මහ කලුවරේ ෆෝන් එකක ලයිට් එකක්වත් නැතුව පැයට හැතැප්ම එකසිය ගාණක වේගෙන් මාව හොයාගෙන දුවගෙන ආවේ ගමටම ඇහෙන්න කෑගහගෙන😬

ඒ ඇවිත් එහෙම නොවිච්ච සැනසීමෙන් ඔලුව අතගාලා ගියා කියලද හිතන්නේ? 😂 
නෑ! හෙඩ්ෆෝන් නිසා කණ බීරිවෙනවය, අකුණු ගහන අස්සේ ෆෝන් ලැප්ටොප් බදන් ඉන්නවය, වගේ බැණුම් කෝටියක් පිරිනමන්න ඒ අව් අස්සෙත් තාත්තා අමතක කළේ නෑ😂

ඉඳලා හිටලා සොබාදහම පේන අකුණු වගේම නොපෙනෙන අකුණුත් එවන්න පසුබට වෙන්නේ නෑ. එතකොට අර විශ්වාසය, අධිතක්සේරුව, කළ පින්පව් අදාළම නැහැ.

අන්න එහෙම අකුණුවලින් තමයි නරුමයො බිහිවෙන්නෙ!
ඔය පහළ ඉන්න කෙනා වගේ දම්පාට නරුමයෝ!

ආ හා හා!✋කලබලවෙන්න එපා. 
එයාලට එහෙම වුණේ අකුණු ගහලා නෙවෙයි. මං ඒක දන්නවා.😁 
 ඒවුණාට මොකද්ද මන්දා හේතුවකට 'නරුමයා' කියන වචනෙ මට දැනෙන්නේ දම්පාටට! ඒක හින්දා මං හිතන්නේ නරුමයො දම්පාටයි. 

හැබැයි minionsලට වුණා වගේම සමහර නරුමයෝ සදාකාලිකව දම්පාටටම ඉන්නවා. සමහර නරුමයෝ අවස්ථාව අනුව විතරක් පාට මාරු කරනවා. සමහර නරුමයෝ කහයි දමුයි අතර හිතාගන්න බැරි වේගයෙන් මාරුවෙනවා. 💜

නරුමයො පේන කණ්ණාඩිත් තියෙනවා. ඒවා ලස්සනයි😁

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Wednesday, January 18, 2023

විරහ රැල්ල

අපි මේ සතියේ හැප්පෙන්නෙ විරහ රැල්ල එක්ක.

සිදුවීම පිළිකුල්සහගතයි! කණගාටුයි.
මිනීමරුවට මානසික ආබාධයක් පිටින් දාලා නිදහස්වෙන්න මග හදාගන්න පුළුවන් ද? ක්ෂණික නිදහසක් නොවුණත් යම් කාලයකට පස්සෙ නිදහස්වෙයි. හැබැයි හෘද සාක්ෂියේ සදාකාලික හිරකාරයෙක් වෙයි. පසුතැවීම් විලංගු වගේ දැනෙයි.

යම් දවසක කථිකාචාර්යවරු, ආචාර්යවරු, මහාචාර්යවරු වෙන්න පුළුවන් ලක්ෂණ පෙන්නුම් කරගෙන ඇවිල්ලා මගදී එහෙම යූ-ටර්න් ගැහුව ලෝකේ පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. හැබැයි ඔහොම ආකල්ප එක්ක එතනට ගියානම්, ඊටපස්සේ?

මේ ලෝකේ මිනීමරන්න අවි ආයුධම අවශ්‍ය නෑ. වචනවලටත් පුළුවන් මිනිස්සුන්ව මරන්න,නැති භංගස්ථාන කරලා දාන්න.

හරි. දැන් කවදාවත් කාටවත් එහෙම නොකරපු එකෙක් ඇවිල්ලා පළවෙනි ගල අතට ගන්න!

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Tuesday, January 17, 2023

ගල්, මල් කරන කලාව

ලංකාව දැන් තියෙන්නේ බූරුවා විකුණන්න ටවුමට යන්න ගිය තාත්තගෙයි පුතාගෙයි කතන්දරේ. බූරුවා දක්කගෙන පයින් යද්දි ඒකට බණිනවා, පුතා බූරුවගෙ පිටේ නග්ගලා තාත්තා පයින් යද්දි ඒකට බණිනවා, තාත්තා බූරුවගේ පිටේ නග්ගලා පුතා පයින් යද්දී ඒකට බණිනවා. බූරුවා වඩාගෙන ගියාම ඒකටත් බණිනවා! 'මැරෙන්ඩද අයිසේ කියන්නෙ' කියලා ඇහුවම ඒකටත් බණිනවා. 😂

මෑත කාලයේ ගල් ගැහුවම ඒවා මල් වගේ බාරගත්ත අවස්ථා දෙකක් අද සමාජ මාධ්‍යයේ දැක්කා. පළවෙනි එක පහුගිය දවසක 'ප්‍රසිද්ධ' මඩකට මූණ දුන්න ගෑණු තුන්දෙනෙක්. ඕපාදූප, කයිකතන්දර මොකවුණත් මේ ගෑණු තුන්දෙනා ඒකට දුන්න රිටන් එක මරු! කලාව පාවිච්චි වෙන්නේ විකල්ප ප්‍රතිපත්ති එළිදක්වන්න විතරක් නෙවෙනේ! 😉 නන්දා මාලනී යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න කියනවා නං සුජීවටත් බැරි වෙන්න බෑ මං ප්‍රසිද්ධයි කියලා මඩෙන් මලක් මවන්න.
Anjali Rajkumar K.Sujeewa 

නාමල් කරන්නෙත් ඒක. කව්රු අකමැතිවුණත් වැලලෙන්න හැදුවත් එන බව දැන දැන අපහාසෙට මූණ දෙන්න හැම මිනිහෙකුටම බෑ. නිර්නාමික ප්‍රොෆයිල් විතරක් නෙවෙයි ඇත්ත ප්‍රොෆයිල් අස්සෙ ඉඳගෙනත් වීර කතා ලියන හුගක් මිනිස්සු තමන්ට විරුද්ධ කමෙන්ට් එකක් ආව ගමන් මෙසෙන්ජර්වල Whatsappවල ගිහින් හරි කතා කරගෙන කඩුපොලු අමෝරාගත්ත ගෑණු සෙට් එකක් හරි බස්සවනවා ඒකට මූණදෙන්න. එහෙම වෙලාවක නිවන්සුව පැතුවම ඒකයි පොඩි මයිනා කිව්වම ඒකයි hashtag කරලා තමන්ම යෙදුවම අර උඩපැනපු, වැලලෙපු සෙට් එකේ ශක්තිය අවිවාදයෙන්ම චොරයි😂 තවතවත් වයිරයෙන් ක්‍රෝධයෙන් පැහිලා තමන්ටම වින කරගන්න එක විතරයි වෙන්නේ, මොකද අනිකා ඒක 'ආතල්' එකක් කරගෙන ඉවරයි😂
Namal Rajapaksa

පැය දෙකක් ඇතුළත සුජීවාගෙ සිංදුවට views 41,000යි නාමල්ගෙ පෝස්ට් එකට පැයක් ඇතුලත reactions 5500යි comments 5900යි shares 541යි!😂

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Monday, January 16, 2023

ආගම් දූෂණය

ආගම්වල මූලික අභිමතාර්ථ ලෝකයා විසින් ග්‍රහණය කරගෙන තියෙන්නේ කොයි කොයි තැන්වලින්ද කියන එක උභතෝකෝටිකයක්. ඒක හින්දම ආගම් කියන්නේ අතිශය විවාදාත්මක මාතෘකාවලින් එකක්. ඒ හුඟක් විවාද ජය-පරාජයෙන් තොරයි.

ඒකට එක හේතුවක් කිසිම ආගමක ශාස්තෘවරයාගේ දේශනාවේ සත්‍ය හරය ඒවායේ වර්තමාන නියෝජනය නොදන්නාකම වෙන්නත් පුළුවන්. අනෙක කාලයක් මුළුල්ලේ විවිධාකාර අඩුම කුඩුම එකතුවීම නිසා සිදුවන දූෂණය වෙන්නත් පුළුවන්. (ඔය ආගමික සහජීවනය වගේ අච්චාරු දැමිලිත් අනිවාර්යයෙන්ම දූෂණයක්)

බුද්ධාගම, කතෝලික ආගම, ක්‍රිස්තියානි ආගම එක් එක් නිකායන්වලින් පාලනය වෙනවා. මේවා සමහර පූජකයන් සහ පූජ්‍ය වේශයෙන් සිටින පුද්ගලයන් විසින් ව්‍යාපාර බවට හරවගෙන තියෙනවා. හැබැයි ඒ ආගම් තුනේම වගකිවයුතු නිකාය ප්‍රධානීන් නිශ්ශබ්දයි (පාප් වහන්සේට පවා ආගම අවභාවිත කිරීම වළක්වන්න බෑ)

හින්දු ආගමත් විවිධාකාර අවභාවිතාවන්ට ලක්වෙලා තියෙනවා. තැනින් තැන අටවා ඇති දේවාල පවා අවභාවිතයක්. ඉස්ලාම් ආගම දරුණු අවභාවිතාවකට ලක්වෙනවා අන්තවාදීන් විසින් ත්‍රස්තවාදයක් බවට පත්කිරීම නිසා.

එතකොට මේ කිසිම ආගමක මේ තත්ත්වය වැළැක්වීමට හෝ ඉන් අගතියට පත්වන අනුගාමිකයා වෙනුවෙන් පිහිටවීමට ක්‍රියාපටිපාටියක් නැහැ! එහෙම බලද්දී අනුගාමිකයාටත් වඩා අසාධාරණයකට අගතියකට ලක්වෙලා තියෙන්නේ මිනිස්සුන්ට මග පෙන්නන්න ඉහළ මානසිකත්වයකින් ලෝකය දිහා බලලා ධර්මයක් දේශනා කළ ආගමික ශාස්තෘන්වරු නෙවෙයිද?

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #religioustrauma

Thursday, January 12, 2023

විමලේගේ බලවේගේ

කැපවීමද වාසනාවද දක්ෂකමද කපටිකමද කියලා හරියටම කියන්න අමාරු වුණත් විමල් කියන්නේ හොඳ ජොකියෙක්. මේතාක් කාලයක් විමල්ගේ ගමන දිහා බැලුවම දිනන අස්සයා ගාණට අල්ලගන්න විමල්ට පුළුවන්වෙලා තියෙනවා.

හැබැයි හැමදාම නත්තල් නෑ වගේ විමල්ටත් වැරදුණු තැන් තියෙනවා. මෙච්චර කල් දිනන අස්සයා කුරපාරෙන් හරි ඉව කරගත්ත ජොකියා චීන පත්තරේ බලලා තුණ්ඩු දාන්නයි වැඩි තණ්හාවයි වැරදි තේරීමුයි හින්දා තිබ්බ පොඩි පිළිගැනීමත් නැති කරගත්තා.

අඩිතාලම ගත්තොත් විමල්, අනුර, ඩලස් තුන්දෙනාම එක තැනින් බිහිවෙච්ච කට්ටිය. ඊටපස්සේ විමල්-ගම්මන්පිල-වාසු එක්ක අරගලේ පැට්‍රල් මැක්ස් එකට හුළං ගහලා තමන්ගේ හීන එළිකරගන්න ගිය "උගත් බුද්ධිමත්" කණ්ඩායමේ බහුතරයකටත් ඔවුන්ගේ ඉතිහාසය බැලුවොත් අඩුවැඩි වශයෙන් තියෙන්නේ ඒ පදනමම තමයි. උට්ටර කණ්ඩායම අමතක නොකළ යුතු කරණාවක් තමයි ගෝඨාභයටත් වැරදුණේ වියත් සභාවල් කරේ තියන් දුවපු නිසා බව. ගෝඨාභයගේ කරෙන් ගොඩගිය ඇට්ටර වියත්තු සෙට් එක දැන් ඔතනත් ඉන්නවා. 

විමල් තමන්ට ආවේණික රටාවක් තියාගෙනත් යම්තාක් දුරකට ඩලස් හා සමාන ගමනක් ආව කෙනෙක්. හැබැයි ඩලස්ට සාපේක්ෂව විමල් යම් විශ්වාසනීයත්වයක් ගොඩ නගාගෙන තිබ්බා විශේෂයෙන්ම ගස්මාරු නොකිරීම නිසා. ඒ වගේම ඩලස්ට සාපේක්ෂව විමල්ට අවස්ථාවකුත් තිබ්බා. හැබැයි මේ දෙන්නටමත් එතන ජීඑල් ලොක්කා ඇරෙන්න බහුතරයකටත් ජාතික තලේ කෙසේවෙතත් ජාත්‍යන්තරේ ජයගන්න තරම් හැකියාවක පූර්ව ලක්ෂණ නැහැ. ආවේගශීලීත්වය හරි කපටි කයිරාටික බරසාර "මාධ්‍යවේදී" ටෝක් එක හරි ලෝකල් ගැලරියට සෙට් වුණාට ජාත්‍යන්තර මූණුවරකට යන්න තරම් මුවහත් නෑ.

හැබැයි ඕනම මිනිහෙකුට වගේම මේ කණ්ඩායමටත් වෘත්තීය ඉලක්ක තියෙනවා. ඒ ඉලක්කවලට යන්න ගිය ගමන කොට උඩ ගියා කියලා අතාරින සිරිතක් නැහැනේ. එතකොට උත්තර (උට්ටර/ඇට්ටර) ලංකා සභාගය හදන කැඳ හැලිය කොයි රහක් ගනීවිද කියලා අපිත් බලං ඉමු. තනි නායකයෙක් නොව නායකත්ව මණ්ඩලයක් කියලා විමල් කියද්දී මට හිනා ගියා. මණ්ඩල දාගත්ත බහුතර අවස්ථාවල මණ්ඩල කචල්වෙන බව මොකෝ විමල් නොදන්නවැයි? නෑනේ.

දැන් මේ උට්ටර ඇට්ටර සන්ධානය විතරක් නෙවෙයි අලි-පොහොට්ටු පූට්ටුව වුණත් ජාතික ජන බලවේගෙ වුණත් කව්රු පාර්ලිමේන්තු මැතිවරණයකදි දින්නත් (එතෙක් ඔය සන්ධාන පැවතුණොත්) බහුතරේ තහවුරු කරගන්න නං ආයෙත් සන්ධානගත වෙන්න වෙනවා. අන්න එහෙම දවසක විමල්ගෙ ඩලස්ගේ හීන හැබෑවෙයි කියලා උපකල්පනය කළොත් උට්ටර සෙට් එක කා එක්ක එකතුවෙයිද කියන එක බලන්න වටින වැඩක් වෙයි. 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka  #SLPolitics

Monday, January 9, 2023

දෙබිඩ්ඩෝ

(නමට)නිරාගමික, සංස්කෘතික-අජීර්ණ, ඉතිහාස-විරෝධී, වෙන්න-රැඩිකල් ජීවීන් කොට්ඨාශයක් ශ්‍රී ලංකාවේ ඉන්නවනෙ. ඔවුන්ට අනුව, දේශපාලන මතවාදය මොකවුණත් විශේෂයෙන්ම මහ ජාතියක පැවැත්ම විශාල ප්‍රශ්නයක්. මහ ජාතියක් නැත්නම් ලංකාවේ ප්‍රශ්න මොකුත් නෑ!

හැබැයි මේ "උගත්-බුද්ධිමත්" ජීවී කොට්ඨාසයට මග හැරිච්ච දෙයක් සාමාන්‍ය පාරිසරික තුලනය නැත්නම් equilibrium එක. හැම පරිසරයකම ජීවීන් කොට්ඨාස ගණනාවක් ඉන්නවා. උන්ගේ ප්‍රතිශතය අනුව තමයි තුලනය තීරණය වෙන්නෙ. එතකොට එක ජාතියක් වැඩිපුර ඉන්නවා කියලා උන්ව නැතිභංගස්ථාන කළාට අනෙක් ජාතීන් අතරින් කව්රුවත් ඊළග මහජාතිය බවට පත් නොවී තියෙන්නේ නෑ!

එතකොට සුලු ජාතීන් - මහ ජාතීන් කියලා ආයෙ අලුතින් ඝට්ටනයක් මතුවෙන එක වළක්වන්න සක්කරයටවත් දෙයියන්වහන්සේටවත් බෑ.

සිංහල බෞද්ධයා කාලාන්තරයක් තිස්සේ ප්‍රතිශාතානුකූලව මහ ජාතිය බවට පත්වීම හින්දා බඩේ අමාරුව හදාගන්න විකල්ප බලවේගවලට ඇත්තටම තියෙන්නෙ මහ ජාතියක් පවතින්න බැහැ කියන කාරණයට වඩා වෙනස් වෛරී සිතුවිල්ලක් ද මන්දා කියලා මේ නලුනිලියො දිහා බලන් ඉන්න මධ්‍යස්ථ ප්‍රේක්ෂකයාට කුකුසක් ඇතිවෙනවා.

අනෙක සිංහල බෞද්ධ උරුමයක් නැතිය, පවතින්න බැරිය, ඒක විහිළුවක්ය, ඉතිහාසය ටොම් පචයක්ය, දන්න ධාතුව අහවල් සරීර අංගයය, මහ ජාතිය සුලු ජාතියට කෝචෝක් කරනවය වාගේ "රැඩිකල්වාදී" අදහස් දරන අයම ගෝල්ෆේස් අරගලේදී:
📌(ඇතැම්) ආගම් සහ සංස්කෘතීන් උඩ දමමින්,
📌'කෘත්‍රිම' ආගමික - සංස්කෘතික අච්චාරුවල ප්‍රධාන මූලද්‍රව්‍ය ඔවුන්ගේම දැඩි වෛරයට සහ පිළිකුලට පාත්‍රවන "සිංහල බෞද්ධ සංස්කෘතිය" කරගනිමින්,
📌ඉතිහාසය 'ටොම් පචයක්' වන නමුත් අරගලය 'ඉතිහාසගත' කරවන්න දත කමින්
📌ජාතීන් අතර සංහිඳියාව සහ සහජීවනය නැතැයි කියනා කටින්ම ජාතීන්ගේ සහජීවනය වනමින්
📌"ශ්‍රී ලාංකීය සංස්කෘතිය" විවේචනය කරන නමුත් ඔවුන්ගේ අරගලය තුළ විවිධ සංස්කෘතීන් බිහිකරමින් ('ආදර්ශ'මත්)
📌'උරුමය' යන සංකල්පයට දැඩිව විරුද්ධ නමුත්' අරගලයේ උරුමය' ගැන සංවාද සටහන් තබමින්
📌"ඓතිහාසික" ස්මාරක හෙළා දකින නමුත් අරගලයේ ස්මාරක ඉදිකරමින්
නොනැවතී...
එවකට" සුලුතරය" බවට පත්ව හිටි අරගල-විරෝධී ජන කොට්ඨාශයට "අරගලවාදී මහජාතිය" කෝචෝක් කළේම නැද්ද මිත්‍රවරුනි? 😂

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #hypocrisy #ලංකාලොජික් #කබරයතලයාවීම #doublestandards

Friday, January 6, 2023

කවි වගේ පින්තූර..

නැගී සිටගත්විට
මගේ ඡායාව ඔබ තුළ පැතිරෙනු දකිමි. 
කිසිවෙකු ගල්කැටකින් දමා ගසා
අප අතර නිහඬ බව බිඳිනතුරු
ඔබ මා නොදැක මා වෙතද
මා ඔබ නොදැක ඔබ වෙතද
සියුම් හුයකින් බැඳී ඇතැයි මට සිතේ..
ඔබගෙ ගැඹුර මටද
මගේ පැතිරීම ඔබටද
දරාගත නොහැකි තැනකදී 
අපි අප වෙත කඩා වැටී බැඳී ගිලී
සැනසෙමුද?
~තනියා 

තුන්වැනි ඇහෙන් දක්ෂකම් පාන මිත්‍රයෙක්ගෙ  ඉන්ස්ටග්‍රෑමෙ පිංතූරයක් දැක්කා. ඒ පිංතූරේ කොච්චර බරපතල විදියට මගෙ හිතට වැදුණද කියනව නං
"කොහොම පටන්ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ" කියන එකේ අන්තිම අර්ථයෙන්ම අසරණවෙලා මං ඒ පිංතූරේ හැම ලකුණක්ම ඇහේ හිතේ කොටා ගත්තා! 

ඒ හිතුවිල්ල බර හින්දම කමෙන්ටුවකුත් කෙටුවා මේ පිංතූරෙම කවියක් වගේ දැනෙන්නේ කියලා. ඒක ඇත්තටම කියාගන්නත් බැරි දරාගන්නත් බැරි ලියාගන්නත් බැරි කවියක්! 
ඒක හින්දා මේ පද ටික ලිව්වේ. ඒත් ඒ පිංතූරේ ගැඹුරට සාධාරණයක් කරන්න තරම් මගෙ වචන සුහුරු නෑ වගේ දැනෙනවා. 

අර අතුපතර විහිදගෙන පැතිරිලා ඉන්න ගහයි අරම  වැතිරිලා ඉන්න ගහේ ඡායාවයි  එකක් ද දෙකක්ද කියලා හිතාගන්න බැරි ඒ නිශ්චලතාව කොයි මොහොතක හරි බිඳෙයි කියලා බයකුත් දැනෙනවා. ඒ නිශ්චලතාව වෙන බාධාවකින් දිය රැළි නැගිලා නොබිඳී, දවසක ගහටයි ඡායාවටයිම දරාගන්න බැරි තැනකදි එකිනෙකා වෙත ඇදවැටිලා බිඳෙනවට මං කැමතියි. 

මෙහෙම පිංතූර හිතට හරි බරයි, මිත්‍රයා! 

~✏️ Aash Weerasinghe

Photo credit: Lakmal Madhuranga 
සටහන: මේ පිංතූරෙට ඇතිවෙච්ච ලෝබකම හින්දම ලිව්ව සටහනට සාධාරණයක් කරන්න පිංතූරේ පළ කරන්න අවසර දුන්නට බොහොම ස්තූතියි🙏
කරුණාකරලා කව්රුවත් පිංතූරේ මෙතැනින් උස්සන්න නම් එපා. ඡායාරූපයේ මුල් අයිතිය ආරක්ෂා කරන්න🙏 එච්චරයි.

#AW #thaniya #medusa #medusasjournal

Thursday, January 5, 2023

දියසේනලා සෙවීම හෙවත් දියසේන හන්ටිං

පල්ලෙහා පිංතූරේ දැක්කම මට හිනා ගියා!😂

2005 ජනාධිපතිවරණයට චන්ද්‍රිකා හාමු ඇද ඇද කැමැත්ත දීපු රුහුණේ 'බයි' මහින්ද රාජපක්ෂ කතන්දර අහගන්න උපන්ගෙයි සමතෙක් කියලා ඉතිහාසය දිහා බැලුවම පේනවා. ඒවයෙන් කොයිවා ඇත්තද කොයිවා බොරු ද කියලා ටක්කෙටම කියන්න පුළුවන් මහින්ද මහත්තයටයි දෙයියන්ටයි විතරයි! (ඔබේ විශ්වාසය අනුව අදහන ඕනෑම බලවේගයක් ඊට ආදේශ කරගන්න පුළුවන්)
හැබැයි මහින්ද කියන්නේ පොරක්!
හැමදාම කියනවා වගේ මහින්දගේ පෞර්ෂයයටවත්, අත්දැකීමටවත්, charisma එකටවත් එතනින් එහා පරම්පරාවලට ළංවෙන්න හිතන්නවත් බෑ. ඒ අත්දැකීම්, පෞර්ෂයය සහ charisma එක ඒ පරම්පරාවෙන් ඉවරයි. ඊළග ඒවයේ තියෙන්නේ මවාගන්න හදන, අතිශය කෘත්‍රිම පෞර්ෂයය 'පෙළහරක්'! (කැමති නම් සන්ධි විසන්ධි කරන්න පුළුවන් වචනෙ). ඒක හින්දා තමයි අද පාතාලේ ඉඳන් සමාජ මාධ්‍යයට එනකල්ම අපි සිඟිති චණ්ඩි/ සිඟිති පාතාල/සිඟිති වීරයො/සිඟිති ආතල්/කාඩ්බෝඩ් වීරයො/හීනමානකාරයො රඟනවා දකින්නේ!
(රිදුණොත් අතගාගන්න)

පොරක් වුණත්, මම විශ්වාස කරනවා මහින්ද රාජපක්‍ෂත් දෙවියෙක් නොවන පෘථග්ජනයෙක් හැටියට වැරදීම් ඕනෑතරම් තිබීම ප්‍රායෝගික බව! මොකද 'මම' පරිපූර්ණ නැති නිසා තවකෙක් පරිපූර්ණ විය යුතු බව මට අනුව ප්‍රායෝගික නැහැ! 
නමුත් තමන් ලෝකය සහ තමන්ව දකින හැටිය අනුව විශ්වාසයන් වෙනස්වෙන්න පුළුවන්! 

මහින්ද රාජපක්‍ෂ ඔහුටම ආවේණික විදිහකින් පොරක් කියලා මං කිව්වා. ඒක ඔහුම ඇතිකරගන්නවා හා සමානවම විරුද්ධවාදීන් විසින් ඔහුව පොරක් කරනවා! ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ තමන්ගෙ සන්නාමය පිත්තල පුවරුවක කෙරෙව්වා නං ඒක උදේ හවා බ්‍රාසෝ දාලා මැද මැද බබළවන්නෙ ඔහුගේ විරුද්ධවාදීන්! මාර මාකටින්නේ? 

මහින්දටත් වඩා මහින්දගේ හැකියාව විශ්වාස කරන්නේ මහින්දව මරාගෙන කන්න ප්‍රාර්ථනා කරන ඔහුගේ විරුද්ධවාදී කඳවුර. ඒක හින්දා නිරායාසයෙන්ම සිද්ධවෙන හැමදේකම කොණක මහින්ද ඉන්නවා කියන ෆෝබියාවෙන් ගැලවෙන්න වෙනසක් ඉල්ලන 'සිවිල් සමාජෙට' අද වෙනකලුත් බැරිවීමම දෛවයේ දරුණු සරදමක් නෙවෙයිද? 
එයාලගේ ප්‍රචාරක කටයුතුවලට අනුවම අත්වාරුවෙන් යන මහලු රෝගී දුර්වල මිනිහෙක්ට මේ සේරම කරවන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔහු ගෝඩ්ෆාදර් කෙනෙක් වෙන්න ඕන! මම විශ්වාස කරනවා ගෝඩ්ෆාදර් තත්ත්වයට ළංවෙන්න හැදුව මිසක් ළංවෙච්ච පුද්ගලයන් ලංකාවේ මෙතෙක් හමුවෙලා නෑ කියලා. 

අනෙක් විහිළුව උදේ හවා දියසේනලා පට්ට ගහන අපේ සමාජෙම තාම දියසේනලා හොයන එක නතර කරලා නෑ! 
අරගලේ වුණෙත් එක දියසේනෙක් වෙනුවට තමතමන්ගේ හිතේ ඉන්න දියසේනලා ගේන්න කඩේ ගිය එක. දැන් අනුරව උඩදාන අය කරන්නෙත් අනුරගෙන් දියසේනෙක් දකින්න හදන එක! 

කොච්චර දියුණුයි කිව්වත් තාම තේරුම් අරං නෑ තමන්ගේ ඇතුළේ ඉන්න දියසේනලව අවදි කරන්නෙ කොහොමද කියලා (වෙන අයව අවදි කරගන්න තමයි උදේ හවා හිතලා ජාත්‍යන්තරේ ජයගන්නේ😂) 

තමන්ගෙ ඉරණම අනුන් මත තියලා කාට කාට හරිම කඩේ යද්දි මාරයි අප්පා👌 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #දියසේනහන්ටින් #මහින්දෆෝබියාව #ලංකාවටමට්‍රැක්

Wednesday, January 4, 2023

ක්‍රීම් කතා

දැන් ඉතින් හැමදෙයක්ම ගණන් නිසා ආලේපනවලට විකල්ප හොයන්න කල්පනාකරමින් ඉන්දැද්දි සකර්බර්ග් අයියා අංජනම් දේවි සමග කුමන්ත්‍රණය කරලා මට නානාප්‍රකාර ආලේපන ජාති යෝජනා කරන්න පටන් අරන් තිබ්බේ. එහෙම යෝජනා අතර අනාදිමත් කාලයකදී  පාවිච්චි කරපු body lotion එකක් ආයෙමත් මෙහෙ තියෙන බව දැක්කනේ!🤩

ඔය ඉස්කෝලවල මොනමොන නීති දාලා තිබ්බත් අපිත් ඒ කාලේ ඒ නීතී දැලේ හිල් මග නොහැරපු මිනිස්සු නිසා ඇහිබැම් ගැලවීම, පෙම්රැලි දැමීම, ඩොංකි කැපීම වගේ ඕනෑම අන්ධයෙකුට පේන වැරදි මගහැර (ෂේප් එකේ) ආලේපන - විලවුන් භාවිතය, විශේෂ අමතර පංතියක් දවසට විතරක් යුනිෆෝම් අතරින් හොඳම හැඩම කොටම ගවුම ඇඳීම වගේ අහිංසක නීති උල්ලංඝනය කිරීම් කළා ඉතින්.
ඉස්කෝලෙ නීති සංග්‍රහය නං මොනවද ගෙදර දණ්ඩ නීති සංග්‍රහය එක්ක බැලුවහම. ඒත් ඉතින් කුලුඳුල් දුවට සමහර නීති රීති එච්චර තදටම ක්‍රියාත්මක කරන්නත් තාත්තට ඕන වුණේ නෑ. ඒක නිසා ඉස්කෝලේ ගේට්ටුවෙදී මාව ඉඹලා බලලා ආයෙ හරවලා ගෙදර එවන්න අවධානමක් තිබ්බා කිව්වත් (එහෙම වුණේ නෑ ඉතින් කවදාවත්) නාන-ගාන ආලේපන-විලවුන් අරව මේවා ටික අඩුපාඩුවක්, විරෝධතාවක් නැතුව සපයන්න තාත්තා කටයුතු කළා❤️

ඕක හින්දම ඒ දවස්වල විපක්ෂයෙන් සෑහෙන්න විරෝධතා අපේ ගෙදර. 'මං කිව්වම තමයි මොනහරි අමතක වෙන්නෙ ගේන්න, දූට ගේන දේවල් හරියට ගාණට වෙලාවට ගෙනත් දෙනවා' වාගේ අවලාද ඒ දවස්වල අපේ ගෙදර තැටිගත කරලා තිබුණේ.😂

මං හිතන්නේ පළවෙනි දරුවා හැටියට මං පර්යේෂණ ව්‍යාපෘතියක් වුණාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන සාධාරණම විදිය තාත්තා දැනගෙන හිටියා කියලා. පිරිමි යහලුවන් ආශ්‍රය වගේ දේවල්වලදී අන්තවාදීව පරිස්සම් සහගතවුණත්😬 ඒ වයසට කරන්න ඕන හැමදේම වැළැක්වීම වැරදියි කියන ආකල්පයෙන් වෙන්න ඇති තාත්තා ඉන්න ඇත්තෙ, සමහරවිට. 
මේ වැඩිහිටි වයසෙදි වුණත් තාත්තා දන්නවා තාත්තා කතා කළ යුතු කොතැනද නිහඬ විය යුතු කොතැනද කියලා. ඒක හරිම කලාතුරකින් වැඩිහිටියෙකුට ඇතිවෙන පරිණතකමක්. මොකද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සමාජය ඔය කියන තරම් ප්‍රජාතන්ත්‍රවාදී නැති නිසා ඕනෑදේ එපාදේ හැමදේටම දාන්න භාර වෙච්ච හොටවල් අපි අතර සුලබයි! 

අනෙක් කාරණය තාත්තා ඒ තරම් ආලේපන, විලවුන්, හැඩවැඩ පස්සෙ පැන්නුවෙ නැතිවුණත් සීයා සහ ලොකු තාත්තා සුවඳට හැඩට හිටිය/ඉන්න අත්දැකීම් වෙන්නත් පුළුවන්. 

අතුරු කතාවකට ගියානෙ 😂

ඉතින් ඔය පහළ තියෙන body lotion එක  ඒ දවස්වල තද නිල්පාට මූඩියක් තිබ්බ හොඳ පැහැදිලි හතරැස් හැඩතල සහිත බෝතලයක්. දැන් නං ටිකක් අරහෙන් මෙහෙන් රවුම් කරලා අර සමහරක් අලුත් වාහනවලට කරලා තියෙන අපරාදේ වගේ😅 

Personal Care brand එක යටතේ මේකේ වර්ග කීපයක් තියෙනවා, Shea butter, Cocoa butter සහ Vitamin E කියලා. ඒ කාලේ ඇබ්බැහි වෙලා හිටියේ නං Cocoa butter එකට. ඒත් ඒක out of stock නිසා Shea butter තමයි හම්බවුණේ. 

රෙකමදාරුව කරන්න හිතුවෙ පරණ මතකයකට ගරු කරලා. මේක ඉස්සර mid-range product එකක් හැබැයි දැන් ඊට වඩා mid to high range products තියෙනවා. ඒක නිසා වෙන වෙන ඒවා එක්ක compare කරන්න යන්න එපා. 
එහෙම දරුණුවට brand-conscious නැත්නම් මේක සාමාන්‍ය සමකට, දිනපතා භාවිතයට හොඳයි. Ultra-dry එකකට නම් වෙන විකල්පෙකට යන්න මට දොස් නොකියා🙏 ඉස්සර මේක කැනඩාවේ නිෂ්පාදනය කරලා තිබුණේ. කොම්පැනිය තාම කැනඩාවේ වුණාට දැන් නිෂ්පාදනය සඳහන්වෙන්නෙ තුර්කියෙ කියලා. 

ගත්තේ essentials.lk එකෙන්. හරිම සුහද, කාර්යක්ෂම සේවාවක්. දවස් දෙකෙන් deliverත් කළා💐
නිෂ්පාදනයේ ගුණාත්මකභාවය අතින් නං කියන්න සතුටුයි ඉතින්.. තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ.. 🎶🌼

සැ.යු: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් නොවේ!

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal

Monday, January 2, 2023

මාරියක් නොවන්නට නම්..

New year resolutions, new year new me වගේ ආරුක්කු බූරුක්කු නැතුව 2023 පටන්ගත්තා මිත්‍රවරුනි.
සුබ අලුත් අවුරුද්දක් වේවා!🙏

හහ්! New year resolutions නැතුව කොහොමද කියලා හවස්වෙද්දි ලෝකයා කෝපවෙලා. අවුරුදු ගාණක පළපුරුද්ද සහිතව ටිකිරි මාරි තේ එකේ පොඟවලා කන මට ජීවිතේ පළවෙනි වතාවට ටිකිරි මාරියක් තේකේ ගිලුණා කියන්නකෝ ඉතින්🙄

Memesවල තියෙනවා වගේම ගිලුණු මාරිය ගොඩගන්න තව මාරි කීපෙකින්ම උත්සහ කළත් වැඩේ ගොඩදාගන්න බැරිවෙලා මුල් මාරිය තේ පත්ලේ වැදී සැඟවී ගියා!
පොඟවලා කන එක දියකරන් කන්න එපා කියලා පැරැණ්ණෝ.....
ආ.. කියලා නැද්ද? 🧐
හරි.. කමක් නෑ දැන් මං කිව්වනෙ! 😏 ඒකෙන් වුණේ හිත සතුටින් ගත්තු මාරි ටික කන්නත් නෑ, රහට බොන්න හිටිය තේකත් අප්සෙට් රහක් වුණ එක විතරයි..! 

ඒ හින්දා මං තීරණය කළා මේ අවුරුද්දේ..
✅පොඟවලා කන්න තියෙන දේ දියකරගැනීමෙන් වළකින්න.
✅කොයිතරම් පණ්ඩිතයෙකුට වුණත් වරදින වෙලාවක් එන බව මතක තියාගන්න. 
✅තමන්ගෙ හැකියාව හරි සූරකම හරි ගැන අධිතක්සේරුවකට එද්දිම ඒක එහෙම නොවන තැනට වගබලා ගන්න.

ඒ ඇතිනේ ඉතින් මේ අවුරුද්දට😉

ආ.. තව තියෙනවා..
✅විවේචකයන්ට බම්බු ගහගන්න කියලා මට හිතුණොත් හෙට හවසත් තේ එක්ක මාරි කන්න!
(බිව්වත් මොකෝ ඒක මගේ වැඩක්නේ!😉) 

පොඩි දේවල් යන දුර! 😀

~✏️Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #year2023