Thursday, January 12, 2023

විමලේගේ බලවේගේ

කැපවීමද වාසනාවද දක්ෂකමද කපටිකමද කියලා හරියටම කියන්න අමාරු වුණත් විමල් කියන්නේ හොඳ ජොකියෙක්. මේතාක් කාලයක් විමල්ගේ ගමන දිහා බැලුවම දිනන අස්සයා ගාණට අල්ලගන්න විමල්ට පුළුවන්වෙලා තියෙනවා.

හැබැයි හැමදාම නත්තල් නෑ වගේ විමල්ටත් වැරදුණු තැන් තියෙනවා. මෙච්චර කල් දිනන අස්සයා කුරපාරෙන් හරි ඉව කරගත්ත ජොකියා චීන පත්තරේ බලලා තුණ්ඩු දාන්නයි වැඩි තණ්හාවයි වැරදි තේරීමුයි හින්දා තිබ්බ පොඩි පිළිගැනීමත් නැති කරගත්තා.

අඩිතාලම ගත්තොත් විමල්, අනුර, ඩලස් තුන්දෙනාම එක තැනින් බිහිවෙච්ච කට්ටිය. ඊටපස්සේ විමල්-ගම්මන්පිල-වාසු එක්ක අරගලේ පැට්‍රල් මැක්ස් එකට හුළං ගහලා තමන්ගේ හීන එළිකරගන්න ගිය "උගත් බුද්ධිමත්" කණ්ඩායමේ බහුතරයකටත් ඔවුන්ගේ ඉතිහාසය බැලුවොත් අඩුවැඩි වශයෙන් තියෙන්නේ ඒ පදනමම තමයි. උට්ටර කණ්ඩායම අමතක නොකළ යුතු කරණාවක් තමයි ගෝඨාභයටත් වැරදුණේ වියත් සභාවල් කරේ තියන් දුවපු නිසා බව. ගෝඨාභයගේ කරෙන් ගොඩගිය ඇට්ටර වියත්තු සෙට් එක දැන් ඔතනත් ඉන්නවා. 

විමල් තමන්ට ආවේණික රටාවක් තියාගෙනත් යම්තාක් දුරකට ඩලස් හා සමාන ගමනක් ආව කෙනෙක්. හැබැයි ඩලස්ට සාපේක්ෂව විමල් යම් විශ්වාසනීයත්වයක් ගොඩ නගාගෙන තිබ්බා විශේෂයෙන්ම ගස්මාරු නොකිරීම නිසා. ඒ වගේම ඩලස්ට සාපේක්ෂව විමල්ට අවස්ථාවකුත් තිබ්බා. හැබැයි මේ දෙන්නටමත් එතන ජීඑල් ලොක්කා ඇරෙන්න බහුතරයකටත් ජාතික තලේ කෙසේවෙතත් ජාත්‍යන්තරේ ජයගන්න තරම් හැකියාවක පූර්ව ලක්ෂණ නැහැ. ආවේගශීලීත්වය හරි කපටි කයිරාටික බරසාර "මාධ්‍යවේදී" ටෝක් එක හරි ලෝකල් ගැලරියට සෙට් වුණාට ජාත්‍යන්තර මූණුවරකට යන්න තරම් මුවහත් නෑ.

හැබැයි ඕනම මිනිහෙකුට වගේම මේ කණ්ඩායමටත් වෘත්තීය ඉලක්ක තියෙනවා. ඒ ඉලක්කවලට යන්න ගිය ගමන කොට උඩ ගියා කියලා අතාරින සිරිතක් නැහැනේ. එතකොට උත්තර (උට්ටර/ඇට්ටර) ලංකා සභාගය හදන කැඳ හැලිය කොයි රහක් ගනීවිද කියලා අපිත් බලං ඉමු. තනි නායකයෙක් නොව නායකත්ව මණ්ඩලයක් කියලා විමල් කියද්දී මට හිනා ගියා. මණ්ඩල දාගත්ත බහුතර අවස්ථාවල මණ්ඩල කචල්වෙන බව මොකෝ විමල් නොදන්නවැයි? නෑනේ.

දැන් මේ උට්ටර ඇට්ටර සන්ධානය විතරක් නෙවෙයි අලි-පොහොට්ටු පූට්ටුව වුණත් ජාතික ජන බලවේගෙ වුණත් කව්රු පාර්ලිමේන්තු මැතිවරණයකදි දින්නත් (එතෙක් ඔය සන්ධාන පැවතුණොත්) බහුතරේ තහවුරු කරගන්න නං ආයෙත් සන්ධානගත වෙන්න වෙනවා. අන්න එහෙම දවසක විමල්ගෙ ඩලස්ගේ හීන හැබෑවෙයි කියලා උපකල්පනය කළොත් උට්ටර සෙට් එක කා එක්ක එකතුවෙයිද කියන එක බලන්න වටින වැඩක් වෙයි. 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka  #SLPolitics

No comments:

Post a Comment