නැගී සිටගත්විට
මගේ ඡායාව ඔබ තුළ පැතිරෙනු දකිමි.
කිසිවෙකු ගල්කැටකින් දමා ගසා
අප අතර නිහඬ බව බිඳිනතුරු
ඔබ මා නොදැක මා වෙතද
මා ඔබ නොදැක ඔබ වෙතද
සියුම් හුයකින් බැඳී ඇතැයි මට සිතේ..
ඔබගෙ ගැඹුර මටද
මගේ පැතිරීම ඔබටද
දරාගත නොහැකි තැනකදී
අපි අප වෙත කඩා වැටී බැඳී ගිලී
සැනසෙමුද?
~තනියා
තුන්වැනි ඇහෙන් දක්ෂකම් පාන මිත්‍රයෙක්ගෙ ඉන්ස්ටග්‍රෑමෙ පිංතූරයක් දැක්කා. ඒ පිංතූරේ කොච්චර බරපතල විදියට මගෙ හිතට වැදුණද කියනව නං
"කොහොම පටන්ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ" කියන එකේ අන්තිම අර්ථයෙන්ම අසරණවෙලා මං ඒ පිංතූරේ හැම ලකුණක්ම ඇහේ හිතේ කොටා ගත්තා!
ඒ හිතුවිල්ල බර හින්දම කමෙන්ටුවකුත් කෙටුවා මේ පිංතූරෙම කවියක් වගේ දැනෙන්නේ කියලා. ඒක ඇත්තටම කියාගන්නත් බැරි දරාගන්නත් බැරි ලියාගන්නත් බැරි කවියක්!
ඒක හින්දා මේ පද ටික ලිව්වේ. ඒත් ඒ පිංතූරේ ගැඹුරට සාධාරණයක් කරන්න තරම් මගෙ වචන සුහුරු නෑ වගේ දැනෙනවා.
අර අතුපතර විහිදගෙන පැතිරිලා ඉන්න ගහයි අරම වැතිරිලා ඉන්න ගහේ ඡායාවයි එකක් ද දෙකක්ද කියලා හිතාගන්න බැරි ඒ නිශ්චලතාව කොයි මොහොතක හරි බිඳෙයි කියලා බයකුත් දැනෙනවා. ඒ නිශ්චලතාව වෙන බාධාවකින් දිය රැළි නැගිලා නොබිඳී, දවසක ගහටයි ඡායාවටයිම දරාගන්න බැරි තැනකදි එකිනෙකා වෙත ඇදවැටිලා බිඳෙනවට මං කැමතියි.
මෙහෙම පිංතූර හිතට හරි බරයි, මිත්‍රයා!
~✏️ Aash Weerasinghe
Photo credit: Lakmal Madhuranga
සටහන: මේ පිංතූරෙට ඇතිවෙච්ච ලෝබකම හින්දම ලිව්ව සටහනට සාධාරණයක් කරන්න පිංතූරේ පළ කරන්න අවසර දුන්නට බොහොම ස්තූතියි🙏
කරුණාකරලා කව්රුවත් පිංතූරේ මෙතැනින් උස්සන්න නම් එපා. ඡායාරූපයේ මුල් අයිතිය ආරක්ෂා කරන්න🙏 එච්චරයි.
#AW #thaniya #medusa #medusasjournal
No comments:
Post a Comment