Tuesday, June 28, 2022

කැබ් මාෆියාව

අපි මහ පුදුම ජාතියක්!

අර්බුදයක වුණත් ආතල් ගන්න වගේම කලදුටු කල වල ඉහගන්න දක්ෂ අපි තරං දසයෝ ලෝකේ වෙන ඉන්න බෑ. හරි ආඩම්බරයි.🇱🇰

ඉන්ධන නෑ. තිබ්බත් නැතත් පෝලිම් වැඩිවෙනවා මිසක් අඩුවක් නෑ. තියෙන එකාට තියෙනවා නැති එකාට ඇත්තේම නෑ. තියෙන එකා නැති එකාට ගිණි ගානට විකුණනවා. නැති එකා නැති කමට ගන්නවා. තියෙන එකා/අර්බුදය බිස්නස් එක කරගත්ත එකා කූඹින්ට වඩා කඩිසරව සෙට් පිටින් එක එක තැන්වල පෝලිමේ තියලා හරි තමන්ගේ තෙල් සංචිත තර කරගන්නවා. ලක්ෂ ගණංවල වාහනත් කෝටි ගණංවල වාහනත් එකම ඉරණමට මූණ දීලා ගරාජ්වල, මිදුල්වල අබාධිතවෙලා බලං ඉන්නවා.

එකම හොඳකට තියෙන්නේ අන්තිම දුප්පතාගේ ඉඳන් දාඩිය දාන්න තෙරපෙන්න අකමැති කෙරුමා වෙනකල් බහුතරයට පොදු ප්‍රවාහනයේ පිහිට පතන්න වෙලා තියෙන එක. 
 
ඉස්සර අපිට තිබුණේ ත්‍රීවීල් මාෆියාවක්. දැං ඒ මාෆියාව දරුණු අන්තයකට යනගමන්ම සමස්‌ත කැබ් රථ ව්‍යාපාරයම දරුණු මාෆියාවක් බවට පත්වෙලා ඉවරයි. කොටින්ම Pickme සහ Uber ප්‍රමුඛ කැබ් ව්‍යාපාර ඉන්නේ ෂයිලොක්ගෙනුත් එහා තැනක! 
ඊයේ රෑ මම කිලෝමීටර් 20ක විතර දුරක් යන්න, පැය තුනක් තිස්සේ, ජංගම දුරකථන දෙකක ඇප් තුනක් ට්‍රයි කළා. එක්කෝ ටුක් එකක්, එක්කෝ කාර් එකක් ගන්න. ඒ පැය තුන ඇතුළත මිල නැගීම සාමාන්‍ය මිලේ සිට රුපියල් 1000-1500ක වෙනසක්! ටුක් සහ කාර් අතර මිල වෙනස රුපියල් 50ක් 100ක් තරම්! ඊළගට ඇප් ඕන් කරන් ඉන්න කැබ් (ටුක්/කාර්) එක request එකක්වත් ගන්නෙ නෑ. සමහරු ගන්නවා, අරං කෝල් කරනවා. කොහෙටද යන්නේ, කීදෙනෙක් යනවද, පෙන්නන ගාණ කීයද, රෑට කාලද බීලද නෑවද යනාදී නානාවිධ ප්‍රශ්න කෝටියක් කෙළවර 'ආ දැං එන්න බෑ. පෙට්‍රල් නෑනෙ ළග තියෙන එකක් ගන්න' කියනවා. ළග තියෙන්නේ මන්නයක් ඒක ගත්තට කමක් නැද්ද කියලා අහන්න හිතිලා ඒත් කට වහං ආයිත් මුල ඉඳන් ට්‍රයි කරනවා.

ඊළගට Uber කාර් එකක් තව hire එකක ඉන්න ගමන් මගෙ request එක ගත්තා. ඒ ගමන ඉවර කරලා මං හිටි තැනට එන්න ඇප් එකේ පෙන්නුව වෙලාව විනාඩි 22ක්. මිල 2105ක්. මම වාහනයක් හම්බවීමේ සැනසීම විඳිමින් බලං ඉන්නකොට විනාඩි 15කට විතර පස්සේ ආවා කෝල් එකක්.
"කොහෙටද යන්න ඕන" (ඇප් එක පැහැදිලිව යන ප්‍රදේශය දක්වනවා මගෙ දැනුමේ හැටියට)
"(උත්තරේ)"
"කීයක් පෙන්නනවද"
"(නුරුස්නාව ඉවසා දරාගෙන) 2105යි."
"ආ වැඩිපුර පන්සීයක් දෙන්නකො"
"දැනට මේ පෙන්නන ගාණත් සාමාන්‍ය මිලට වඩා වැඩියි, ඉතින් ඇයි වැඩිපුර ගෙවන්න ඕන"
"නෑ මේ පෙට්‍රල් ප්‍රශ්නනෙ"
" (ඇයි දැන් මම 500ක් වැඩිපුර දුන්නම ලංකාවට ජෙට්වලින් පෙට්‍රල් අදීද නැත්නම් මම ක්‍රිස්තුස් වහන්සේ රොටි මැව්වා වගේ පෙට්‍රල් මවයිද කියලා හිතෙන් බණින ගමන්) නෑ තව වැඩිපුර නං දෙන්න බෑ මිස්ටර්. ඕන නං hire එක කැන්සල් කරලා ඒ ගාන ඔයාට කෙලින්ම දෙන්නං එතකොට commission කැපෙන ප්‍රශ්නයක් නෑනේ.
(ඔය cancel කිරිලි, commission කැපෙන අඳෝනා ඒවත් කැබ් මාෆියාවෙන්ම ඉගෙනගත්තුවා තමයි)
"නෑ නෑ දැං කොහොමත් commission කැපෙන්නෙ නං නෑ. ඒක නවත්තලා තියෙන්නේ. හැබැයි එහෙම කැන්සල් කරලා ගියාම මට ඒ යන පැත්තෙන් අලුත් hire එකක් වදින්නේ නෑ"
"ආ ඒකත් එහෙමද. නෑ එහෙනම් කමක් නෑ මම වෙන කැබ් එකක් ගන්නං"
"නෑ නෑ 500ක් දෙන්න බැයිද කියන්නකො ඔයාට"
(මගේ උත්තරය සිටි ස්ථානයට නොගැලපෙන නිසා ගිලගෙන, ඇමතුම විසන්ධි කළා)

Uber එකේ 2105ක් පෙන්නද්දි pickme ඒ වර්ගයේම කාර් එකක් 2800ක් ටුක් එකක් 2400ක්! ඔය ඇප් දෙකේ මිල උච්චාවචනය වෙනමම තරඟයක්!

ඊටපස්සේ pickme tuk එකක් අමාරුවෙන් වගේ දිනාගෙන ගෙදර එන්නේ රුපියල් 1800කට 2000ක් ගෙවලා!

මම හිත හදාගත්තා ඒ රෑ කියලා.
නෑ උදේ දවලුත් එහෙමම තමයි!
එකම request එකක්වත් ගන්නෙ නෑ. ගත්තත් ආයිත් අර සංවාදයම තමයි සිද්ධවෙන්නේ.

⚠️ඔතන තියෙන වැදගත්ම ප්‍රශ්නය, පෙට්‍රල් ප්‍රශ්න නං අහවල් කාරණයක් උදෙසා ද ඇප් ඕන් කරං එන එන request එක accept කරන්නේ කියන එක! 
අනික hire එක කැන්සල්කරලා සම්පූර්ණ මුදල ගන්න හරි වැඩිපුර මුදල් ලබා ගන්න හරි මේ අදාළ ආයතන ඉඩදෙන්නේ ඇයි කියන එක! මේවා පැමිණිලි වෙන්නේ නැද්ද? ට්‍රැක් වෙන්නේ නැද්ද? කොහේද පාරිභෝගික අයිතීන්, පාරිභෝගික ආරක්ෂාව? 

බුකිය කළඹවමින් පහුගිය දවස්වල පැතිරුණු විහිළුවනෙ ත්‍රීවීල් සංගම් ඉන්ධන ප්‍රතිඅපනයට සූදානම් කියන එක😂 මේ සිද්ධවෙන දේවල් දිහා බැලුවම නම් ඒකත් නොවෙන්නත් බැරි නෑ වගේ හැඟීමක් එනවා. ලීටරයකට ත්‍රීවීල්, පොඩි කාර් කරන කිලෝමීටර් ගාණ බැලුවම මේක ගිණිකෑමක් නෙවෙයි නං මොකද්ද කියලා තමයි අහන්න වෙන්නේ! ඔව් දවසකට ඒ වගේ හයර් හතරක් පහක් ගිහින් අර වගේ කැන්සල් කරවගෙන සම්පූර්ණ මුදලම තමන් අතට අරං හරි හෙට්ටු කරලා වැඩිපුර මුදලක් කඩාගෙන හරි බැලුවම හොඳටම කරලා තියෙන්නේ ඒගොල්ලො තමයි! එතකොට පෙට්‍රල් පෝලිමේ දවස් තුනක් නෙවෙයි සතියක් බූරු ගගහා හිටියත් ලොකු අවුලක් නෑනේ.

තව ඔය වගේම ත්‍රීවීල් "කාරයෙක්" ඉන්න ලොකේෂන් එකට මීටර් සීයක් ඉස්සරහට එන්නේ නැතුව නවත්තගෙන ලොකු කයිවාරු ගහන්න ගත්තා ඊට දවස් කීපයකට කලින්. ඒ වෙලාවෙත් මහන්සිය වැඩිකමට ඉවසීමෙන් කතා කළා. ඒ උත්සහ කළෙත් වැඩිපුර ගාණක් කපාගන්න! අන්තිමට මිනිහම හයර් එක කැන්සල් කරලා මට විරුද්ධව පැමිණිල්ලකුත් දාලා ආවට පස්සේ මං ප්‍රතික්ෂේප කළා කියලා! පුදුම නාටක මේ මාෆියාවේ වෙන්නේ! විශේෂයෙන්ම මේ දවස්වල. 

පොදු ප්‍රවාහනය ගැන ආයෙත් කතා කරන කාලෙක රුපියල් 30ට 40ට ඔය දුරම ගෙනියන දුම්රිය සේවය බලන්න. සුද්දගේ කාලේ ඉඳන් ක්‍රියාත්මක වෙලත් තවම කිසිම රජයක් කිසිම කළමණාකාරීත්වයක් යටතේ දියුණු කරලා නැහැ. යන්තම් අටවාගෙන යාමක්නෙ තියන්නේ (සාමාන්‍ය සේවය). ඒ වගේම ඉතින් අපේ මිනිස්සුන්ටත් නිකං දෙයක් ලැබුණම ඒත විනාශ කරනකල් නින්දක් නැති නිසා අලුත්ම දුම්රිය මැදිරිවලට පවා කරලා තියෙන විනාශ නිමක් නැහැ. මේක මගෙ රටේ දෙයක් මම පහසුවෙන් යන්නේ මේක නිසා කියලා හැඟීමක් ඇත්තේම නැහැ! ඒවා තමයි එක අතකට දැන් මේ ලංකාවටම සාපයක් වෙලා විඳවන්නේ! 

බස් ගැන කතා නොකර ඉමු. ඔක්කොම ඉවසන්න පුලුවන් අර උදේම කහඹිලියා කැඳ බීලා බස් එකට නගින රියදුරු මහත්මයගේ නොනවතින තිරිංගගායයි කොන්දොස්තර මහත්මයගෙ කරින් කරට පැන නටන වන්නම්ගායයි නැත්නම් මීට වඩා ටිකක් සුවපහසුවෙන්න තිබ්බා. 

මං මේ ටික අර්බුදය පටන්ගන්නකොටත් කිව්වා. අනුන් හදන්න කලින් තමන් හැදෙන්න ඕන කියලා. ඒ කිව්වම ගොඩක් සුද්ධෝදන පරම්පරාවේ අයට ඌයියා වුණා. 
අද දේශපාලනය මාෆියාවක් තමයි! හැබැයි ඒ මාෆියාවට ඇඟිල්ල උරුක් කරන මහජනතාව අතර ක්‍රියාත්මක මාෆියාව ඊට වෙනස් නැහැ! හැබැයි අන්තිමේදී උනුත් එකයි මුනුත් එකයි කියලා හැමෝම බැටේ දීලා තියෙන්නේ අපි අපිටම තමයි. කලුකඩ මාෆියාවේ ඉඳන් හැම කලදුටු කල වල ඉහගැනීමකම ගොදුරු වෙලා ඉන්නේ අපි අපිම තමයි. 
තේරෙයි, කල් යයි!!

✒️ Aash Weerasinghe

Uber PickMe Consumer Affairs Authority 

#අපේඅර්බුද #ලංකාමාතාකොයිබටද #අපේමාෆියා #uber #pickme #ceylonrailways #publictransortSL #lka

Wednesday, June 8, 2022

සහකම්පනය

ඇඳුම් කඩවල වෙනදා තරමට නැතත් තරමක සෙනගක් ඉන්නවා. මටත් වෙනදා විදිහට වියදම් කරන්න නෙවෙයි නමුත් අවශ්‍යතාවයකට සහ පොඩ්ඩක් මනස නිදහස් කරගන්න කියලා ඇඳුම් කඩේකට ගොඩ වැදුණා. ඒවා පුදුම stress busters වෙන්නැති. ඒත් ඉතින් ගෑණුනේ😉 අනික අපි මානසික සැහැල්ලුව ඇතිකරගන්න හැටිත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්නේ.

එතන අයිනක තියෙන පුටු පේළියක වාඩිවෙලා මගේ වයසෙම විතර කාන්තාවක් ෆෝන් එකෙන් බණක් අහනවා. ලාවට ස්පීකර් දාගෙන. මට හිනා ගියේ නෑ! හිනා යන්නෙත් නෑ!
ජීවිතේ හරි පුදුමයි නේද. මිනිස්සු එක එක විදියට දේවල් පිළිගන්නවා. එක එක විදියට සැහැල්ලු වෙන්න උත්සාහ කරනවා. එක එක විදියට ජීවිතේට මූණ දෙනවා. සමහර වෙලාවට එයාත් අමාරුම අවස්ථාවක් පහුකරමින් ඉන්නවා වෙන්න ඇති. එයා ළග තිබ්බ රාක්කෙ දේවල් කොච්චර ආකර්ෂණීය වුණත් ඒ මනුස්සයාගේ නිදහසට බාධා නොකර මං වෙන පැත්තකට ගියා. සමහරවිට පුරුද්දට අහනවා වෙන්නත් පුළුවන්. නැත්නම් ඒ වෙලාවේ ලොකු ගැටලුවක ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒත් නැත්නම් ඒ මනුස්සයට නිදහසේ හුස්මක් අරං වාඩිවෙලා ඉන්න ලැබුණෙ ඒ සුලු මොහොතක් විතරක් වෙන්නත් පුළුවන්. ඒත් නැත්නම් කකුල් පණ නැතිවෙලා ඉන්ඳවෙන තරමට ආව දුක ආවේගයකින් මිදෙන්න හිතුවා වෙන්නත් පුළුවන්.

සහකම්පනය වැඩිවුණාමත් ඒක මහ සාපයක්. සහකම්පනය හිරිවැටුණමත් ඒක මහ සාපයක්.

සමහරවිට තනියා උත්ථානය වෙන්නත් පුළුවන්. 

✒️ Aash Weerasinghe

#AW #thaniya #empathymatters

Wednesday, June 1, 2022

අතරමං වූ කිරිල්ලී

කාලෙකට පස්සේ ඇහුණ සිංදුවක්. 

මේ සිංදුව අහද්දී පටාචාරාගේ ඉඳන් අටලුගම ආයීෂා වෙනකල් විවිධාකාර වේදනා වින්ඳ හැම ගෑණියෙක්ම මගෙ ඔලුවට එනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න මොන කාරණාවක් මුල් කරගෙන මේක ලිව්වද කියලා මම දන්නේ නෑ. ඒත් ඒ වචන, බහුතරයක් ගෑණුන්ට පොදුයි කියලා හිතේ ගැඹුරක ඉඳන් කිණිසිතුඩකින් කපාගෙන යනවා වගේ දැනෙනවා.

නොදැක නිකළැල් චේතනා ලබා අපමණ වේදනා //
දොරින් දොර සෙනෙහස සිඟා ගිය ඈ
තනි වුණා ගම් දනව් මැද මහ රෑ

බහුතරයක් ගෑණුන්ට ඕන නිකැළල් චේතනා. ඇත්තටම බැලුවම ගෑණුන්ගේ ජීවිතවල වැඩි කාලයක් ගත කරන්නෙත් නිකළැල් පාරිශුද්ධ චේතනා හොයන්න, හොයාගන්න, හම්බවුණ චේතනාවල නිකළැල්භාවය වලංගු ද කියලා සාක්ෂාත් කරගන්න. ඒත් එහෙම ඒවා හම්බවෙලා ඇත්තේ කීයෙන් කීදෙනෙකුට මේ ලෝකේ! ඔය කොටස අහද්දී මට මැවෙන්නේ නොමළ ගේකින් අබ මිටක් හිඟමින් ගිය කිසා ගෝතමීම ආදරය හොයමින් ගෙයින් ගෙට යනවා වගේ. ඒ කිසා ගෝතමීගෙම වෙනස් හැඩ මේ ලියන මොහොතේත් එහෙම කරනවා ඇති ලෝකේ ගොඩක් තැන්වල. ආදරේ වෙනුවෙන් හැමදේම කැපකරලා රිදවීමට ලක්වුණු දහස් ගාණක් ගෑණු පාලු ගමක ගෙයින් ගෙට ආදරේ හිඟමින් යන හැටි එක මොහොතකට හිතන්න, ඒ මවා ගැනීමම කොයිතරම් හිත රිද්දනවද කියලා. ඒ එක ගෙදරකවත් ආදරේ හොයාගන්න නැතිව මහා අන්ධකාරෙක පාලු ගමක් මැද්දේ තනිවුණාම දැනෙන හැඟීම හිතාගන්න පුළුවන් ද? 
ඒ හැඟීම ජීවිතේ එක සැරයක්වත් අත්නොවිඳපු ගෑණු මේ ලෝකේ ඇත්තේ අතලොස්සක්. අපි ප්‍රසිද්ධියේ කතා කළත් නොකළත් ඒ වගේ අත්දැකීම් බහුතරයකට තියෙනවා. 

බිඳී හද රැඳි භාවනා හඬා කළ ආයාචනා //
කැදැල්ලේ රඳවා පලා ගිය ඈ
වැළපුනා යලි ඝන වනේ ගිනි ලෑ

ජීවිතේ සමහර දේවල් වේදනාවක් කියලා දැනදැන, විනාශයක් කියලා දැනදැන ආදරේ නාමෙන් අල්ලං හිටිය ගෑණු එක කඳුළක් නොහෙලා ඔය වචන පේළි දිගේ වාඩිවෙලා ඉන්නවා මට මැවෙනවා. ලෝක ලැජ්ජාවට, ආදරේට, දරුවෝ වෙනුවෙන්, සමාජයට බයෙන්, බලහත්කාරකම්වලට අතවරයන්ට බයෙන් යන්න හදන මිනිස්සු ආයාචනා කරමින් නවත්තගත්ත ගෑණු උපේක්ෂාවෙන් ඒ වචන අස්සේ බලං ඉන්නවා. ඉවසන්නම බැරි තැන්වල ඉවසලා, ඒ ඉවසීම පරමාණු බෝම්බ වගේ පුපුරා ගියාට පස්සෙ ජීවිත කාලයම ඒ ඵලවිපාක ශේෂ වෙච්ච ජීවිත තියෙන ගෑණු ඒ වචන පේළි අස්සේ තාම නොනිවෙන ගිනි ලෝකෙන් හංගන්න උත්සහ කරනවා. තමන්ගෙම තීරණ තමන්ටම සඳුන් ලීයෙන් නැතිව ඇල්බීසියාවලින් චිතක හදලා දුන්නහම පණපිටින් ගින්නට පැන්න ගෑණුන්ගේ සිරුරු දැවෙන අපුල ගඳ ඔය පේළි අස්සේ කැකෑරෙනවා. 

දුක ඒකට වඩා.. 
එහෙව් ගෑණු තව ගෑණියෙක්ට ගහන්න පළවෙනි ගල අතට ගන්න එක. කතාවක් හදන්න, හිනාවෙන්න, හිත රිද්දවන්න මුල්වන එක. ඇත්තටම අර වචනවල දෝරේ යන වේදනාව දන්න ගෑණුන්ට පුළුවන් ද එච්චරටම හිතපිත් නැතිව හැසිරෙන්න? තමන්ටම වෙනකල් තේරුම් ගන්න බැරිතරම් සහකම්පනය හිරිවැටී තිබීමම කොයිතරම් නං පවක්ද. ගෑණියෙක් තව ගෑණියෙක්ට දුකක් නොදෙන්න තීරණය කරනතාක්කල් මේ හැම සංවාදයක්ම, හැම වචනයක්ම නිකම් හිස් වචන විතරයි. 
ඒ හිස් වචනවලට පණ දෙන්න පුළුවන් ආදරණීය හෙටක් අනෙක් ගෑණුන්ට ගේන්න පුළුවනුත් ගෑණුන්ටම විතරයි. 
එහෙම දවසක, අතරමං වූ කිරිල්ලියෝ හුඟදෙනෙක් අනාථ වෙන එකක් නෑ. තනිවෙන එකකුත් නෑ. අත්තටු දාස් ගාණක් වියනක් වගේ එකට එතිලා එහෙම අයව රකී. 
ඒක ප්‍රාර්ථනාවකට වඩා හීනයක්!🤍

✒️ Aash Weerasinghe

https://youtu.be/U-NFusQ1NMA