ඇඳුම් කඩවල වෙනදා තරමට නැතත් තරමක සෙනගක් ඉන්නවා. මටත් වෙනදා විදිහට වියදම් කරන්න නෙවෙයි නමුත් අවශ්‍යතාවයකට සහ පොඩ්ඩක් මනස නිදහස් කරගන්න කියලා ඇඳුම් කඩේකට ගොඩ වැදුණා. ඒවා පුදුම stress busters වෙන්නැති. ඒත් ඉතින් ගෑණුනේ😉 අනික අපි මානසික සැහැල්ලුව ඇතිකරගන්න හැටිත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්නේ.
එතන අයිනක තියෙන පුටු පේළියක වාඩිවෙලා මගේ වයසෙම විතර කාන්තාවක් ෆෝන් එකෙන් බණක් අහනවා. ලාවට ස්පීකර් දාගෙන. මට හිනා ගියේ නෑ! හිනා යන්නෙත් නෑ!
ජීවිතේ හරි පුදුමයි නේද. මිනිස්සු එක එක විදියට දේවල් පිළිගන්නවා. එක එක විදියට සැහැල්ලු වෙන්න උත්සාහ කරනවා. එක එක විදියට ජීවිතේට මූණ දෙනවා. සමහර වෙලාවට එයාත් අමාරුම අවස්ථාවක් පහුකරමින් ඉන්නවා වෙන්න ඇති. එයා ළග තිබ්බ රාක්කෙ දේවල් කොච්චර ආකර්ෂණීය වුණත් ඒ මනුස්සයාගේ නිදහසට බාධා නොකර මං වෙන පැත්තකට ගියා. සමහරවිට පුරුද්දට අහනවා වෙන්නත් පුළුවන්. නැත්නම් ඒ වෙලාවේ ලොකු ගැටලුවක ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒත් නැත්නම් ඒ මනුස්සයට නිදහසේ හුස්මක් අරං වාඩිවෙලා ඉන්න ලැබුණෙ ඒ සුලු මොහොතක් විතරක් වෙන්නත් පුළුවන්. ඒත් නැත්නම් කකුල් පණ නැතිවෙලා ඉන්ඳවෙන තරමට ආව දුක ආවේගයකින් මිදෙන්න හිතුවා වෙන්නත් පුළුවන්.
සහකම්පනය වැඩිවුණාමත් ඒක මහ සාපයක්. සහකම්පනය හිරිවැටුණමත් ඒක මහ සාපයක්.
සමහරවිට තනියා උත්ථානය වෙන්නත් පුළුවන්.
✒️ Aash Weerasinghe
#AW #thaniya #empathymatters
//සහකම්පනය වැඩිවුණාමත් ඒක මහ සාපයක්.// totally agreed
ReplyDeleteඒ ජාතියේම පුතෙකුට ජීවිතේ දීලා ඒකා සහකම්පනයේ බරින් මිරිකෙනවා දැකීම තවත් සාපයක්!
ඒත් සහකම්පනය නැතිව ගහක් ගලක් වගේ ඉන්න මිනිස්සු නොවීම සතුටු වෙන්න කාරණාවක් කියලා හිත හදා ගනිමින්!
ඒක ඇත්ත මලී. සහකම්පනය සාපයක් වගේ දැනුනට සමහර වෙලාවට වෙස්වලාගත්ත ආශිර්වාදයක් කියලත් හිතෙනවා
Delete