කාලෙකට පස්සේ ඇහුණ සිංදුවක්.
මේ සිංදුව අහද්දී පටාචාරාගේ ඉඳන් අටලුගම ආයීෂා වෙනකල් විවිධාකාර වේදනා වින්ඳ හැම ගෑණියෙක්ම මගෙ ඔලුවට එනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න මොන කාරණාවක් මුල් කරගෙන මේක ලිව්වද කියලා මම දන්නේ නෑ. ඒත් ඒ වචන, බහුතරයක් ගෑණුන්ට පොදුයි කියලා හිතේ ගැඹුරක ඉඳන් කිණිසිතුඩකින් කපාගෙන යනවා වගේ දැනෙනවා.
නොදැක නිකළැල් චේතනා ලබා අපමණ වේදනා //
දොරින් දොර සෙනෙහස සිඟා ගිය ඈ
තනි වුණා ගම් දනව් මැද මහ රෑ
බහුතරයක් ගෑණුන්ට ඕන නිකැළල් චේතනා. ඇත්තටම බැලුවම ගෑණුන්ගේ ජීවිතවල වැඩි කාලයක් ගත කරන්නෙත් නිකළැල් පාරිශුද්ධ චේතනා හොයන්න, හොයාගන්න, හම්බවුණ චේතනාවල නිකළැල්භාවය වලංගු ද කියලා සාක්ෂාත් කරගන්න. ඒත් එහෙම ඒවා හම්බවෙලා ඇත්තේ කීයෙන් කීදෙනෙකුට මේ ලෝකේ! ඔය කොටස අහද්දී මට මැවෙන්නේ නොමළ ගේකින් අබ මිටක් හිඟමින් ගිය කිසා ගෝතමීම ආදරය හොයමින් ගෙයින් ගෙට යනවා වගේ. ඒ කිසා ගෝතමීගෙම වෙනස් හැඩ මේ ලියන මොහොතේත් එහෙම කරනවා ඇති ලෝකේ ගොඩක් තැන්වල. ආදරේ වෙනුවෙන් හැමදේම කැපකරලා රිදවීමට ලක්වුණු දහස් ගාණක් ගෑණු පාලු ගමක ගෙයින් ගෙට ආදරේ හිඟමින් යන හැටි එක මොහොතකට හිතන්න, ඒ මවා ගැනීමම කොයිතරම් හිත රිද්දනවද කියලා. ඒ එක ගෙදරකවත් ආදරේ හොයාගන්න නැතිව මහා අන්ධකාරෙක පාලු ගමක් මැද්දේ තනිවුණාම දැනෙන හැඟීම හිතාගන්න පුළුවන් ද?
ඒ හැඟීම ජීවිතේ එක සැරයක්වත් අත්නොවිඳපු ගෑණු මේ ලෝකේ ඇත්තේ අතලොස්සක්. අපි ප්‍රසිද්ධියේ කතා කළත් නොකළත් ඒ වගේ අත්දැකීම් බහුතරයකට තියෙනවා.
බිඳී හද රැඳි භාවනා හඬා කළ ආයාචනා //
කැදැල්ලේ රඳවා පලා ගිය ඈ
වැළපුනා යලි ඝන වනේ ගිනි ලෑ
ජීවිතේ සමහර දේවල් වේදනාවක් කියලා දැනදැන, විනාශයක් කියලා දැනදැන ආදරේ නාමෙන් අල්ලං හිටිය ගෑණු එක කඳුළක් නොහෙලා ඔය වචන පේළි දිගේ වාඩිවෙලා ඉන්නවා මට මැවෙනවා. ලෝක ලැජ්ජාවට, ආදරේට, දරුවෝ වෙනුවෙන්, සමාජයට බයෙන්, බලහත්කාරකම්වලට අතවරයන්ට බයෙන් යන්න හදන මිනිස්සු ආයාචනා කරමින් නවත්තගත්ත ගෑණු උපේක්ෂාවෙන් ඒ වචන අස්සේ බලං ඉන්නවා. ඉවසන්නම බැරි තැන්වල ඉවසලා, ඒ ඉවසීම පරමාණු බෝම්බ වගේ පුපුරා ගියාට පස්සෙ ජීවිත කාලයම ඒ ඵලවිපාක ශේෂ වෙච්ච ජීවිත තියෙන ගෑණු ඒ වචන පේළි අස්සේ තාම නොනිවෙන ගිනි ලෝකෙන් හංගන්න උත්සහ කරනවා. තමන්ගෙම තීරණ තමන්ටම සඳුන් ලීයෙන් නැතිව ඇල්බීසියාවලින් චිතක හදලා දුන්නහම පණපිටින් ගින්නට පැන්න ගෑණුන්ගේ සිරුරු දැවෙන අපුල ගඳ ඔය පේළි අස්සේ කැකෑරෙනවා.
දුක ඒකට වඩා..
එහෙව් ගෑණු තව ගෑණියෙක්ට ගහන්න පළවෙනි ගල අතට ගන්න එක. කතාවක් හදන්න, හිනාවෙන්න, හිත රිද්දවන්න මුල්වන එක. ඇත්තටම අර වචනවල දෝරේ යන වේදනාව දන්න ගෑණුන්ට පුළුවන් ද එච්චරටම හිතපිත් නැතිව හැසිරෙන්න? තමන්ටම වෙනකල් තේරුම් ගන්න බැරිතරම් සහකම්පනය හිරිවැටී තිබීමම කොයිතරම් නං පවක්ද. ගෑණියෙක් තව ගෑණියෙක්ට දුකක් නොදෙන්න තීරණය කරනතාක්කල් මේ හැම සංවාදයක්ම, හැම වචනයක්ම නිකම් හිස් වචන විතරයි.
ඒ හිස් වචනවලට පණ දෙන්න පුළුවන් ආදරණීය හෙටක් අනෙක් ගෑණුන්ට ගේන්න පුළුවනුත් ගෑණුන්ටම විතරයි.
එහෙම දවසක, අතරමං වූ කිරිල්ලියෝ හුඟදෙනෙක් අනාථ වෙන එකක් නෑ. තනිවෙන එකකුත් නෑ. අත්තටු දාස් ගාණක් වියනක් වගේ එකට එතිලා එහෙම අයව රකී.
ඒක ප්‍රාර්ථනාවකට වඩා හීනයක්!🤍
✒️ Aash Weerasinghe
https://youtu.be/U-NFusQ1NMA
No comments:
Post a Comment