Saturday, January 20, 2018

නැතිවීම, නැතිවී ඇති බව දැනගැනීම සහ සෙවීම

සාංසාර කාලයකට පස්සේ වගෙ දැනිච්ච දිග කාලයකට පස්සේ ලෙන්ගතු හැන්දෑවක් ගෙවන්නට ලැබීමේ හීනි සතුටක් එක්ක මට ආයෙමත් බ්ලොග් එක මතක් වුණා. ඒ 'සෙව්වා' නිසා. සමහර කාලවල අන්තරස්ත්දාන වෙලා හිටියත් ආයෙමත් පුරුදු  හිනා කටහඬින්ම මට කතා කරලා මහ බැංකුව(ක්) කඩන්න තරමට හම්බෙන්න සැලසුම් ගහලා ඒත් හම්බෙන්න බැරිවෙච්ච අවුරුද්දකට විතර පස්සේ ආයිමත් 'සෙව්වා' මට හම්බුණා, තවත් ඒ වගෙම සුන්දර මිතුරියෙක් එක්ක.

මම බ්ලොග් එකක් කරන බව දැනගත්ත දා ඉඳන් ඒකේ පරණ පෝස්ටු පවා ඇද ඇද, මහා හයියෙන් හිනාවෙවි ඒවා උපරිමයට රස විඳපු (සමහරුන්ට හිනා නොයන ඒවාට පවා), හිනාව ඉවසගන්න බැරි වෙලාවට මට කෝල් කරලා "මම කැමතිම උඹ උඹටම හිනාවෙන එකට. හැමෝටම ඒක කරන්න බෑ"  කියකියා හිනාවෙන, සමහර පෝස්ටුවල අතීත කතා, නිධාන කතා හාරාවුස්සන්නෙ නැතුවම ඒවා රස විඳින්න පුළුවන් සෙව්වා, අදත් ඒ ගැන අනෙක් යාළුවට කියද්දි එහෙම රසවතෙක් ඉතුරුවීම ගැන මට නිහතමානී සතුටක් ඇතිවුණා. මම හිතන්නෙ ඒ සතුටයි සෙව්වාටම පින් සිද්ධවෙන්න ගෙව්ව රසබර පොතක් එළිදක්වීමේ හැන්දෑවයි හින්දා මට ආයෙමත් ලියන්න ආස හිතුණා. ඉතින් සෙව්වාට පින්!

ලියන්න දහසකුත් දේවල් හිතට ආවත්, අකුරක් නොලිව්ව තනියාට මම මග දිගට නෝක්කාඩු කියකියා ගෙදර ආවා. තනියාගේ හිතට බොහොම දක්ෂ නීතිඥයෙක් ලැබිලා තිබ්බා. උන්දෑ තනියාගෙන් ඇහුවා "හැමදාම පොඩි දේටත් කඳුළු පෙරන් හිනාවෙන උඹ අන්තිමටම එහෙම හිනාවෙච්ච දවස මතක් කරපන් බලන්න" කියලා. තනියා තට්ටමට හෙණ්ඩු පාරක් වැදිච්ච අලියෙක් වගේ බීරාන්තවෙලා හයිලෙවල් පාරේ නැවතුණා.
නෑ, අලියෙක් වගේ මතක ශක්තියක් තියෙන තනියට ඒක මතක නෑ. ඒ තනියා නැතිවෙලා බව මට තේරුණේ එතකොටයි.