Sunday, October 2, 2022

දර්ශනයෙන් වියැකි දර්ශන්

2022 ඔක්තෝබර් 2දා සිනමාවේදීන් සහ හෙළ රිදී තිරය සමූහයන්ට. 

මැරිච්ච මිනිසුන්ට තරම් ජීවත්වෙන මිනිස්සුන්ට මල් ලැබෙන්නේ නෑ! මැරුණට පස්සේ ලැබෙන ආදරෙන් කළඳක් ජීවත්වෙද්දි ලැබෙන්නේ නෑ!

දර්ශන් ගිහින්. 
මහා රලු ගොරෝසු කටහඬකින් කැඩි කැඩි සිංහල කතා කරපු දර්ශන් යන්න ගිහින්. ලස්සන සුකොමළ කඩවසම් වීරයො පහුකරගෙන ගමනක් යන්න හිටිය රලු පෙනුමැති දර්ශන් යන්නම ගිහින්.
දැන් හැමෝම දර්ශන්ට ආදරෙයි. හැමෝටම දර්ශන් පොරක්,අතිවිශිෂ්ට රංගධරයෙක්, සුපිරි චරිතයක්. ඒත් ඒ ආදරේ, ප්‍රශංසා, වර්ණනාවලින් දශම ගාණක් වෙන්නැති දර්ශන් ජීවත්වෙද්දි විඳින්න ඇත්තේ! ඇයි ඒක එහෙම වෙන්නේ? ඇයි අපිට ඒක වෙනස් කරන්න බැරිද?
අවුරුදු 41ක් කියන්නේ මැරෙන්න වයසක් නෙවෙයි. එතකොට දර්ශන්ගෙ රලු හඬ පිටිපස්සෙ හැංගිච්ච රහසුත් ඒකට හේතු වෙන්න ඇති. අපරාදේ.

අපි ආස චරිත මැරුණම ඒගොල්ලො සදා අමරණීයයි කියලා අපි බැනර් ගහනවා. එයාලට පේන්නේ නෑ.
පෙට්ටි බදාගෙන, සිහිසුන් වෙනකල් එතෙක් කල් ජීවත් වෙච්චි මනුස්සයට නොකිව්ව ආදරේ කියකියා වැලපෙනවා. මිනියට ඇහෙන්නේ, පේන්නේ, දැනෙන්නේ නෑ.
ඉන්නකල් නින්දා අපහාස කරන මිනිස්සු මැරුණට පස්සේ අවසන් ගෞරව දක්වනවා. මිනියට සතුටක් දැනෙන්නේ නෑ.
ඉන්නකල් කරපු කිසිම හොඳක් නොදැක්ක මිනිස්සු මරණ ගෙදර ගුණකථන කරනවා. ඒ මැරුණේ මිනිහෙක් නෙවෙයි දෙවියෙක් තරමට ගුණ වයනවා. මිනියට ඇහෙන්නේ නෑ.
ටික දවසක් යද්දී අපිට ඒ ඔක්කොම අමතක වෙනවා. පළවෙනි දවසේ වල වටකරන මල්වඩම්, දුක්මූණු ටික ටික වාෂ්පවෙලා අතීතෙට එකතුවෙනවා. ඉඳලා හිටලා දවසක කොහෙහරි කව්රු හරි අහවලා මැරුණනේ, අපරාදේ කියනවා. තව කෙනෙකුට එහෙම දෙයක් වෙච්ච බවක්වත් නිච්චි නැතුව යනවා. 

ආයෙමත් තව කව්රු හරි යන්න යනකල් අපි ජීවත් වෙන්න ආදරේ කරන අයව කැපකරනවා. කාලය නෑ, කාලය නෑ කියලා එහාට මෙහාට දුවනවා. 
ආයෙත් කව්රු හරි ගිය දවසට එයාලට ආදරේ පානවා, වැලපෙනවා, කම්පාවෙනවා. 
ඕක තමයි අපි අපිට දෙන වටිනාකම. 

දවසක අපි හැමෝම ඔය ගමන යනවා. හැබැයි ඒ යන්න ඉස්සර වගේ වයස විතරක්ම බලපාන්නේ නෑ. අපිට අපි මුණගැහුණම ගණන් නොගෙන ඉන්න පුරුදු වෙලා නිසා ඔය වගේ දෙයක් වුණාම කම්පාව වැඩියෙන් දැනෙනවා. 
එහෙම නොවෙන්න අපිට බැරිද අද අපි අනෙකාව දකින අන්තිම මොහොත වෙන්නත් පුළුවන් කියලා ඔලුවේ තියාගෙන ජීවත් වෙන්න. සමහරවිට එතකොට අර අපි අර රාමු කරන්න හදන ලෝකේ ඊටවඩා ලස්සනට ඉබේම හැදෙන්න පුළුවන් නේද? 

දර්ශන්ලා හැමතැනකම ඉන්නවා. යන්න දීලා ගියායින් පස්සෙ මොනව කළත් ආපහු හරවන්න බැරි යාත්‍රාවකට ගොඩවදිනකල් පසුතැවීමට හේතු හදානොගෙන ඉන්න බලමු. 
දුකයි දර්ශන්❤️
ඔයා මෙහෙ ඉන්න ඕන මිනිහෙක්. කමක් නෑ එතෙරවෙන්න. ආයෙමත් මේ චක්‍රයේ කොටසක් නොවී ඉක්මණට එතෙර වෙන්න. 
සුබ ගමන්.💐

~✒️ Aash Weerasinghe

ඉලක්කං වයස!

200 ඔක්තෝබර් 2දා සිනමාවේදීන් සහ භාරත සිනමා රසික සංසදය සමූහයන්ට. 

Sharmaji Namkeen (2022)
IMDb 7.6/10
Genre: Drama

"Today's generation has become very smart and practical. For them every relationship is like a ladder, which they climb to get ahead in life. And when the ladder becomes useless they just throw it awa..."

"Last scene of the film 'Baghban'. They should make it compulsory in schools and colleges. It's a life lesson."

"How do you guys do it all day? I'm losing my mind. How much do I walk around and watch TV? It's been six weeks and the story if the TV show is also stuck at the same point."

"Sharma, you need to throw your watch in the gutter. This is how retired life is. Slow and long. You'll get used to it."

"I don't want to man. Is it a compulsion?"

"Mr. Sharma, What's the issue here? The government must have put some thought in deciding the retirement age, right?"

"Does the brain stop functioning at 58? Amitabh Bachchan is still acting, he's 78. And do the big industrialists sit at home after 58? Nonsense."

අවුරුදු 31ක් එකම ආයතනයක, ආසාවෙන් අවංකව වැඩ කරපු මනුස්සයෙක්ට පුළුවන් ද විශ්‍රාමය ලේසියෙන් දරාගන්න? මුළු දවසම නිකමෙක් වගේ එක තැනකට වෙලා ඉන්න? පොඩි පොඩි අමාරුකම් ඇඟට දැනුණට, බඩ වැඩිහරියක් වේලීමයි බුරුබුරු ගෑමයි කියන අන්ත දෙක බදාගෙන හිටියට, දණිස් පොල්කටු ටිකක් ක්රීං ක්රීං ගෑවට හිතේ හයිය එහෙමම තියෙන මුලු ජීවිත කාලයම ක්‍රියාශීලි වෙච්චි මනුස්සයෙක්ට පුළුවන් ද එහෙම ලේසියෙන් සෙටියක දවසම වාඩිවෙලා නානාප්‍රකාර ටීවී වැඩසටහන් බලමින් කාලෙ කන්න?

ශර්මා මහත්තයත් හිතුවෙ එහෙමයි. ඒත් ශර්මා මහත්තයාට ඕන දේවල්, ආස දේවල් කරන්න බැරිවිදියට පවුලයි සමාජයයි බයිලා අකෘති හදාගෙන ඒවට අනුගත වෙලා ජීවත් වෙන්න උත්සාහ කරමින් හිටියේ. වැන්දඹු තාත්තෙක් හැටියට වෙනදා දරුවන්ට කෑම හදලා කවලා පොවලා ඉස්කෝලෙ යවලා වැඩට ගිහින් ඇවිත් ආයෙත් උයලා කවලා පොවලා work-life balance එක තියාගත්ත ශර්මා මහත්තයාට පුළුවන් ද උදේට උයලා පිහලා දරුවො වැඩට/ඉස්කෝලෙට යවලා ආයේ හවස උන් එනකල් ගෙදරට වෙලා බුකවගෙන ඉන්න?

අපි හැමෝම වැඩ කරද්දි, කාර්යබහුල වෙද්දී හිතනවා අයියෝ මේ කරුමේ ඉවර වෙලා නිදහසේ ඉන්නේ කවද්ද කියලා. ඒ කරුමේ ඉවරවුණාම අයියෝ මේ කම්මැලිකම ඉවසගන්නේ කොහොමද කියලා තැවෙනවා. මම බොහොම ළගින් දැකලා තියෙනවා අපේ සීයාගේ විශ්‍රාම ජීවිතය ගෙවිච්ච හැටි. වැඩි කතාබහක් නැති මහා ආඩම්බරකාරයෙක් වුණ සීයා අන්තිම කාලේ ගෙදරට හැරෙන මහ පාරේ තිබ්බ වින්කලයක පවා නැවතිලා රටතොට ගැන පැය ගණන් කතාවක් දාගෙන ඉඳලා එන්න පටන් ගත්තම අපි ඉතින් හොඳටම හිනාවුණා. සීයට දවස ගෙවාගන්න ඕන වුණේ වැඩ, වැඩ, වැඩ! . විශ්‍රාම ගියත් පරණ පුරුද්දටම පාන්දර ඇහැරගෙන, අපිවත් කෑගහලා ඇහැරවලා, බුදුන් වැඳලා, තේ බීලා, මිදුල් අතුගාලා, දවසෙ පත්තර බලලා (ඒ දවස්වල පත්තර බිල ලයිට් බිල වගේ. සේරම පත්තර එනවා), ලිපි මොනවහරි ලියලා, හවස් වෙද්දි බොරුවට කඩේ යනවා. ඒ ගිහින් එද්දි කැඩිච්ච පාරවල්, බෝක්කු අරක මේක ගැන වෙච්චි කතා අනුව ඒවට ලියුම් ලියන්න, පරණ මිත්‍රයන්ට කතා කරලා වැඩ කරවගන්න වගේ සමාජ සේවා වැඩත් හොයන් එනවා. අපි ඕපයක් කිව්වත් අපිට රැව්ව ගෙරෙව්ව සීයා එහෙම වෙලාවක අහන්න ලැබිච්ච ඕපත් ඉතින් හවස තේ බොනගමන් කියලා අම්මගෙයි ආත්තම්මගෙයි හිනාවට ලක්වෙනවා. ඒ වැඩ මුකුත්ම නැත්නම් දෝණි, ඒ කිව්වේ අපේ අම්මා එක්ක කුමන්ත්‍රණය කරලා රහස් මන්ත්‍රණ කරලා වත්තේ තියෙන ගහක් කප්පවලා, මොකක්හරි වෙනසක් කරවලා ආත්තම්මව අවුස්සගෙන බැණුම් අහනවා. ඊටපස්සේ රෑට ඕගන් එක ගහමින් සිංදුවක් කියලා එහෙම නිදාගන්න යනවා.(සීයාගෙ පුතාලා එහෙම අමද්‍යප නොවුණට සීයා සම්පූර්ණයෙන්ම අමද්‍යප කෙනෙක්, මැරෙනකල්ම ඒ ප්‍රතිපත්තිය කඩ නොකළ) ඒ එක්කම ඉතින් ඕන එකයි එපා එකයි හැම එකම ප්‍රශ්න කරනවා. මට ඉස්සර තරහත් යනවා. දැන් ටිකක් තාත්තාත් ඒ වගේ වේගෙන එනවා දැක්කම මම ගෙදර හිනාවෙනවා  "වීරසිංහ මහත්තයත් දැන් බස්නායක මහත්තයා වගේ වේගෙන එන්නේ" කියලා.❤️

ශර්මා මහත්තයත් ඒ වගේ තමයි. ඒකාකාරී බව නැතිකරගන්න නොකළ දෙයක් නෑ. සූම්බාත් කළා නෙව, හරි ගියේ නෑ ඉතින්. ඒ මදිවට තියෙන තරමක් ෆේස්බුක්, වට්ස්ඇප් ආදී නානාප්‍රකාර මාධ්‍යජාලාවලත් සැරිසරනවා. ඒවයේ ඕපදූපත් බලනවා. බොරුවලටත් ඇත්ත කියලා රැවටෙනවා. මතකනේ අර රැට්ටගෙ තාත්තා ටික්ටොක් කරන්න ගත්තා? අන්න ඒ වගේ. ටික්ටොක් විතරයි මෙයත් නොකළේ! 
පස්සේ තමයි අමුතු වැඩක් සෙට්වෙන්නේ. මොකද ශර්මා මහත්තයාට පුළුවන් පුදුම රහට කෑම හදන්න. ඒ කෑම ඉවිල්ල දැක්කත් රසනහර පිනා යනවා. බොරුනම් බලන්නකො. 

ඇත්තටම ඔය සමාජ මාධ්‍යවල ගැහැණුන්ට වඩා අතවරයට, අපහාස උපහාසයට ලක්වෙන්නේ වැඩිහිටියන්! ඒ ඇයි කියනවා නම් ඔවුන්ට සමාජ මාධ්‍ය සංස්කෘතිය අලුත්. පරණ පරම්පරාවල යාලුමිත්‍රකම්, හිතවත්කම් තිබ්බේ ෆොටෝවලට දාන හාට් රියැක්ට්ස්වල නෙවෙයි. ඒවා දීර්ඝකාලීනව පැවතුණෙත් ඒක හින්දමයි කියලයි මට නම් හිතෙන්නේ. මොකද අනවශ්‍ය ඇලීම්-ගැලීම් නැහැනෙ. අනික ඒ හිතමිත්‍රකම්වල දැන් ඒවයට වඩා අවංකකමක් තිබ්බා කියලා මට හිතෙනවා. දැන් සමාජ මාධ්‍යවල පවතින බහුතර මිනිස් සම්බන්ධතා මැනෙන්නේ පිංතූරවලට පෝස්ට්වලට දාන ලයික්, රියැක්ට්ස්වලින්, කමෙන්ට්ස්වලින්. ඊළගට එතන අනවශ්‍ය තරමට පෞද්ගලිකත්වය ප්‍රකාශවීම නිසා නැති ප්‍රශ්න. මිනිස්සු මිනිසුන්ව මනින්නේ ඒ මනුස්සයගේ ෆෙස්බුක් වෝල් එකෙනුයි ඉන්ස්ටග්‍රම් අකවුන්ට් එකෙනුයි. මං හිතන්නේ සකරෙට වැරදුණේම හාහා සහ හාට් රියැක්ෂන්ස් බුකියට එකතු කිරීම හින්දා කියලා. පවුල් කැඩෙන්න වගේම හාහා නිසා හිතවත්කම් නැත්තට නැතිකරන්න පුළුවන් දැලිපිහියක්නෙ එයා ඔය ආසියාතික වඳුරන්ට දීලා තියෙන්නේ😅
එතකොට පරණ පරම්පරාවේ නොදැනුවත්කම සහ සමාජ මාධ්‍ය පරිශීලනයේ තියෙන අඬුලුහුඬුකම් අලුත් පරම්පරාවල්වලට කුරිරු විනෝදයක්. එතනදි සහකම්පනය කියලා දෙයක් හරිම කණගාටුදායක විදිහට නැත්තටම නැතිවෙනවා. 
හැබැයි ඔය අතර වේගයෙන් අලුත් දේ ඉගෙනගන්නා වැඩිහිටියනුත් ඉන්නවා. 

විශ්‍රාම යෑමේ වයස ගැන කියනවා නම් ලංකාවේත් දැනට ක්‍රියාත්මක 55 සීමාව ගැන මම පෞද්ගලිකවම ලොකු සතුටක් නැහැ. කෙනෙකුට හැකියාව, ශක්තිය තියෙන තරම් කාලයක් වැඩ කරන්නට දීමේ ගැටලුවක් තිබිය යුතු නෑ කියලා මම හිතනවා. මොකද මුලු ජීවිත කාලයම වැඩ කරන්න හුරුවූ කෙනෙකුට ඒ නැවතීම නිසා ලැබෙන මානසික සහනයට වඩා අසහනය වැඩියි. ඒ බහුතර විශ්‍රාමිකයන්ට වෙන්නේ අර්ථසාධකෙන් එහෙම ලැබෙන සොච්චම් මුදල අරගෙන පරාජිතයෙක් වගේ ගෙදර යන්න. ඒ මුදලත් ඊටපස්සේ (බහුතරයක) ඩැහැගන්න බලන් ඉන්න දරුවන්ට බෙදන්න. එහෙම නොකළම උන් එකිනෙකා කුළල් කාගන්නා හැටි බලං සෝ සන්තාපයට පත්වෙන්න. ඊටපස්සේ ලෙඩදුකකට ගන්න තියෙන සල්ලියෙන් දරුවන්ට සලකන්න, ගෙවල් දොරවල්වල අඩුපාඩු පිළියම් කරන්න, ඉගෙන ගන්න දරුවන්ට යුතුකම් කරන්න, දීගතල යන දරුවන්ට දෑවැදි හදන්න. රජයෙ සේවකයන්ට තියෙන විශ්‍රාම වැටුප් සහනයවත් (ඒක මහලොකු දෙයක් නොවුණට) නැති පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයන්ට ඔය ටික කළායින් පස්සෙ වෙන්නෙ හිඟා නොකා හිඟා කන්න. ඒ අස්සෙ දරුවන්ගෙ දරුවො බලාගන්න, ඉස්කෝලේ එක්කන් යන්න, පංති ගෙනියන්න, කඩේ පොලේ යන්න, බිල් ගෙවන්න යන්න ආදි අටෝරාසියක කම්කරු වැඩ මොන ඉහළ පුටුවකින් විශ්‍රාම ගියත් උරුමයි. ඒ අතරට ශර්මා මහත්තයට වගේ දරුවන්ට ලැජ්ජාවක් නොවී ජීවත්වෙන්න, හැසිරෙන්න, තීරණ ගන්න වගේ දණ්ඩ නීති සංග්‍රහයකටත් කොන්දේසි විරහිතව යටත්වීම අනිවාර්යයි. 

මා දන්නා තරමින් බොහෝ බටහිර රටවල් අනිවාර්යයෙන්ම විශ්‍රාමයෑමක් නිර්දේශ කරන්නේ සමහර සාධක මත. නැත්නම් වැඩ කළ හැකි තත්වයේ සෞඛ්‍ය සම්පන්න කෙනෙකුට අවුරුදු 70වනතුරුත් වැඩ කරන්නට ඉඩ තියෙනවා (ඇතැම් ක්ෂේත්‍ර හැර). ඒක ඒ ආයතනමම විය යුතු නැහැ. වැඩිහිටියන් එකම තනතුරුවල රැඳීම නිසා ඊළග පරම්පරාවලට අසාධාරණයක් වීම මාත් පිළිගන්නවා. එතනදී නිසි කාලයෙදි නිසි තීරණ ගැනීමට පරම්පරා දෙකටම වගකීම් සහ යුතුකම් තියෙනවා වගේම එසේ ඉවත්වන වැඩිහිටි පරම්පරාවට නිසි ගෞරවය ලබාදෙන්නත් ගෞරවණීය පුරවැසියන් ලෙස ජීවත්වීමට ඉඩදීමටත් අපි හැමෝටම යුතුකමක් තියෙනවා. අපි හැමදෙනාම ජාති, ජරා, ව්‍යාධි, මරණ අනිවාර්යයෙන්ම දවසක අත්විඳිනවා. සුරක්ෂිත, සුරූපී, ධනවත්ම පුද්ගලයාට පවා ඒ අනිත්‍යයට මුහුණ දෙන්නට සිද්ධවෙනවා. ඒක අවබෝධ කරනොගෙන නොමැරෙන මිනිස්සු හැටියට වැඩිහිටියන් වගේම තරුණ පරම්පරාවත් ජීවත්වෙන්න උත්සහ කිරීම නම් විහිළුවක්. 

ශර්මා ජීගේ කතාව බලන්න. 
චිත්‍රපටය ගැන සුවිශේෂීම කාරණාව තමයි මේක රිෂී කපූර්ගේ අන්තිම චිත්‍රපටය. රූගත කිරීම් අතරතුර තමයි ඔහු රෝගාතුරව අපෙන් සමුගන්නෙ. ඒක නිසා ශර්මා මහත්තුරු දෙන්නෙක් චිත්‍රපටයේ ඉන්නවා. ඒ පරේශ් රාවල් ඒ අභියෝගය බාරගත්ත හින්දා. ටිකක් අමුතුයි වගේ මුලදි දැනුණට පස්සේ ඒකත් ව්‍යංග්‍යර්ථයක් වගේ දැනෙන්න පටන්ගන්නවා. හිතලා නොකළ දෙයක් වුණත් එකම චිත්‍රපටයේ එකම චරිතය පුද්ගලයන් දෙදෙනෙකු විසින් රඟදැක්වීම බහුතර විශ්‍රාමිකයා නියෝජනයක් හැටියට දැනෙනවා. 

තිරපිටපත Suprathik Sen සහ Hithesh Bhatia. Hitheshගේම අධ්‍යක්‍ෂණයක්. Amazon Prime Video බෙදාහැරීමක්. 

~✒️ Aash Weerasinghe

Sunday, September 25, 2022

සඳරැස් වළල්ල

"මට ඕන ඔයාව අඳුනගන්න"

අහලා පුරුදු කතාවක් වෙනස් කටහඬකින් ඇහුණම ඒකේ ස්වර උච්ඡාවචනයවීමයි අර්ථ විවරණයයි විශ්ලේෂණය කරන්න මගේ මනස එරමිණියා ගොතාගෙන වාඩිවුණේ කොන්දට සැප කොට්ටයක් හේත්තු කරවගෙන ලකලෑස්ති වෙලා.

"ඉතින් ඔයා මාව අඳුනනවනේ" කටට ආපු සරදම් හිනාව බීම වීදුරුවෙන් මුවා කරගෙන පුළුවන් තරම් සාමාන්‍ය විදිහට කිව්වේ අනුන්ගේ පව් තවකෙක් පිටින් යවන්න අවශ්‍ය නෑ කියලා හිතුණ හින්දා.

"ඔව් අඳුනනවා. ඒත් ඊට වඩා ඔයා ගැන දැනගන්න මං කැමතියි"
ඉංග්‍රීසියෙන් ආදරේ කරාම දැනෙන්නේ නෑ කියලා එකඟතාවක හිටිය, අමතක කරලා දැම්ම අතීත කතාවක් නාලාගිරි වේගෙන් ඔලුවට කඩාවැදුණා. ඔව් ඒක ඇත්ත තමයි. සම්බන්ධතාවකදී ඉංග්‍රීසිය භාවිතා කරන්නේ මම පුද්ගලයන්ව අතේ දුරින් තියාගන්නකොට, ඒත් නැත්නම් තරහක් පිටකරනකොට කියලා සමහරු තේරුම් අරගත්ත තැනුත් තිබ්බා. සමහර දේවල් ඉංග්‍රීසියෙන් කිව්වම දැනෙනවා, සමහර දේවල් නෑ. ආදරේ නම් තමන්ගේ භාෂාවෙන් අහන එක තමා සුන්දර. ඒවුණාට මේ කතන්දරේ මව් භාෂාවෙන් නොවෙන එක හොඳයි, ඇලෙන්න තියෙන ඉඩ අඩු කරගන්න එකනේ අරමුණ.

"වචන හැමෝටම දෙන්න පුළුවන්, වඩා වැදගත් ක්‍රියාවනෙ" කියලා කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තරයක් මගෙ කටින් පැන්නා නොහිතාම. ඒ වෙලාවේ මට අනිකව පෙනුණත් මගෙ බැල්ම අරමුණක් නැතිව වෙන කොහෙද මාත් නොදන්නා තැනක තිබ්බේ. ඒත් අනිකා පුදුමයෙන් වගේ මා දිහා බැලුවා මිසක් ඒ කතාව දිගේ නොයා එයාගේ අතීත කතන්දරයක් කියන්න පටන් ගත්තා. අනිවාර්යයෙන්ම අර පළවෙනි කතාව වගේ මගේ අනිච්ඡානුග උත්තරෙත් එයත් ඕනෑතරම් අහලා ඇති.

ඒක ලස්සන අවන්හලක්. මුහුදේ හඬයි අවන්හලේ සංගීතේ හඬයි ද්වන්ධ සටනක ඉන්න අතරේ වුණත් මම නිශ්ශබ්දව ඔහුගේ නොස්ටැල්ජියාව අවදිකිරීම අහන් හිටියා. මිනිස්සු තමන් ආස දේ,තමන්ට වටිනා දේ ගැන කතා කරද්දි ඒ දිහා බලං ඉන්න එක වෙනමම මොකද්දෝ එකක්. සාමාන්‍යයෙන් බැරෑරුම් මුහුණින් ඉන්න මනුස්සයෙක් දිලිසෙන ඇස්වලින් හිනා වපුර වපුර පරණ ප්‍රේම කතාවක් කියද්දි අවුරුදු විස්සක් ආපස්සට ගිහින් අහිංසක සතුටක් ලබන ඒ ජීවියගෙ කණෙන් ඇදලා වර්තමානයට ගන්න තරම් ලොකු ආකර්ෂණයක් තාම ඇතිවෙලා නැති හින්දා සාමාන්‍යයෙන් ආදරේදී එන මගේ ඉරිසියාව ලා හිනාවක් ඇඳගෙන ආඩම්බර ලාලිත්‍යයෙන් පැත්තකට වුණා. මගෙන් කතන්දර බලාපොරොත්තු වෙන්නට ඇති නමුත් ඒකට ඉල්ලීමක්වත්, බලකිරීමක්වත් නොකෙරුණ හින්දා මාත් නිශ්ශබ්දව හිටියා. මගේ වාරේ ආවහම අවුරුදු ගාණක් පුරුදු පුහුණු කළ වඩා ආරක්ෂිත පියවරට කතාව හරවාගන්න හැටිත් මම දන්නවානේ.

පුරුෂ ඇස්වල ආලෝක පුංජයන් දුවන හැටි නටන හැටි නොදැක නැතිවුණත් මේ මනුස්සයා ගැන නම් මට පුදුම නොවී ඉන්න බැරිවුණා. ප්‍රේමයෙන් උණුවෙලා වැගිරෙන මිනිස්සු වගේම ඔය ඇස්වල දුවන නානාප්‍රකාර තොරණ් ගණන් නොගෙන නොදැක්කා නොදැනුණා වගේ ඉඳීමේ "ලාදුරු කලාව" ප්‍රගුණ කරපු කෙනෙක් පුදුමයට පත්වීම කියන පුදුමය ඔඩුදුවන්න කලින් නතර කරගෙන මම කදිමට ලුණු තවරපු නිවිති කොළයක් ගෑරුප්පුවෙ ඔතාගත්තා.

"ඔයා වැඩිය කතා කරන්නේ නෑ නේද?"

"නෑනේ.."

"හ්ම්ම්.. ඒක තමයි."
ඒකත් මේ විශ්වයේ කීවතාවක් නම් ගෑණු මිනිස්සු අතර ඇතිවෙලා ඇති දෙබසක්ද කියලා ආයෙමත් හිනාවක් මතුවේගෙන ආවත් මෙච්චර දුකක් විඳලා ලස්සන හැන්ඳෑවක කතාබහක් කරන්නට කරපු ආරාධනාවට ඒ වගේ අවිනීතකමක් කරන්න තරම්ම මගේ හිත නරක්වෙලා තිබ්බේ නැති බව මම මටම මතක් කරගත්තා.

ටික වෙලාවකින් ඉබේම මම මගේ ආරක්ෂිත පියවරට සංවාදය හරවාගෙන තිබ්බ නිසා ඒ වෙද්දි දෙන්නම හරිහරියට ව්‍යාපාරික සංවාදයක් පටන් අරගෙන ඒ අතරම කෑමත් ඉවර කරලා තිබ්බේ. සෙනගත් තුනීවෙමින් සංගීතයත් ටිකක් තුනීවෙමින් තිබුණු හින්දා පේන මානේ මුහුද විතරක් ජයග්‍රහණය සමරමින් හිටියා.

"මං ආසයි මුහුදට, වෙරළට, බහින ඉරට" අනිකා කිව්වේ සපත්තු දෙක ගලවලා පුටුව යටින් තියන ගමන්.
මාත් කැමතිම වුණත් 'මාත්' කියන උත්තරේ කටින් එළියට නෑවිත් ආඩම්බරකමට මුලුගැන්නිලා හිනාවක් විතරක් එළියට තල්ලු කළා.

කිසිම සංවාදයක් නැතුවම අවන්හලේ ලී වැට හරියෙන්ම මුහුද පැත්තට හිටගත්තමයි ඒ වෙරළ තීරයේ ලස්සන පේන්නේ. නානාප්‍රකාර කහපාට විදුලි සැරසිලි පෙළක් තිබිලත් මුහුද තිබ්බේ අඳුරක. ලාවට සුදු පාට රළ විතරක් පේන තරම් අඳුරක. ඒත් වෙරළේ පිළිම දෙකක් වගේ හිටගෙන හිටිය අපිට උඩින් හඳ මුදුන් වෙලා, වටකුරුවට පායලා තිබ්බ හඳ වටේ විශාල රැස් වළල්ලක් ඇතිවෙලා තිබ්බේ. ඒක ඇත්තටම හරිම ලස්සනයි.
ඒ මොහොතේ හඳ එළියෙන් නෑවෙමින් පිළිම දෙකක් වගේ හිටගෙන මුහුද දිහා බලා ඉන්න ගැහැණියෙකුයි පිරිමියෙකුයි කොච්චර ප්‍රේමාන්විත, රෝමාන්තික දර්ශනයක් මවනවා වෙන්න පුළුවන් ද. එහෙම දෙයක් මම දැක්කා නම් අර අවන්හලේ පොල් අතු හෙවිලි කළ මේසෙකට වෙලා කවි කීයක් නම් ලියන්න තිබ්බද මෙලහකට.. අපරාදේ මං මේ ඉන්නේ ඉන්න ඕන තැන නෙවෙයිනෙ..
සාමාන්‍යයෙන් හැඟීම් දැනීම් තියෙන, වැරදි වැරදි හරි තවම ලබ්-ඩබ් ගාන හෘදය වස්තුවක් තියෙන මනුස්සයෙක් හැටියට මේ තියෙන සුන්දරත්වය නිසා හරි කවි කීයක් ලියවෙන්න තිබ්බද?..ඒත් ඒ ඔක්කොම නිකං ගල් ගැහිලා ගිහින් වගේ. හිතයි හදවතයි වෙන්කරන සන්ධියෙ මොකද්දෝ ලොකු ගුලියක් හිරවෙලා වගේ හිතත් වැඩ නොකරන හදවතත් වැඩ නොකරන මෙලෝ රෝමාන්තික ගතියක් නොදැනෙන ලෝකෙක හඳ එළියෙන් නෑවෙන ගෑණු ප්‍රතිමාව හිටියේ. පිරිමි ප්‍රතිමාව නං හඳ තරමටම ලස්සන ආලෝක කිරණ ඇස්වලින් නිකුත් කරනවා ගෑණු ප්‍රතිමාව නොදැක්කා නොවෙයි, නොදැක්කා වගේ හිටියා.

ඒ ඔක්කොම පැත්තක තියලා මං ආයෙත් සඳරැස් වළල්ල බලන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් තරුවලට පුදුමාකාර ආස මම මේතරම් ලස්සන සඳරැස් වළල්ලක් නම් දැක්කේ එවෙලේ තමයි.
බෙල්ල කැඩෙන්න තරම් නවාගෙන අහස බලන මාව දැක්කම අනිකාට හිනාගියා.

"ලස්සනයි නේද? දැක්කද අර රැස් වළල්ල?"

"හ්ම්ම්..ඔව්, ලස්සනයි"

"ආ.. මම ආසයි පින්තූර ගන්න" මම එකසැරේම බොහොම කලබලයෙන් කියලා දැම්මා. ඒ අර මාව අඳුනගන්න තරම් දෙයක් මම තාම කිව්වේ නෑ නේද කියන කල්පනාව හින්දා වෙන්න ඇති කියලා මං හිතන්නේ අනිකාටත් තේරෙන්න ඇති.
"ඉතින් දැනුත් ගන්න පිංතූර.. "

" නෑ.. කොච්චර පිංතූර ගත්තත් පියවි ඇහැට පේන හඳේවත් තරුවලවත් ලස්සන ඒ විදියටම පිංතූරවලට ගන්න බෑ.." මහ ලොකු කැමරාකරණ පිකාසෝ කෙනෙක් වගේ මම උත්තර දුන්නා.

අනිකා ඉස්ඉස්සෙල්ලාම ගෑණු ළමයෙක්ට කතා කරන්න ආව නවයෞවනයෙක් වගේ ලැජ්ජාවෙන් හිනාවෙවී මුහුදු වැලිවලට පයින් ගගහා මගේ කතාවට හූමිටි තිබ්බා. මාත් දිගටම හඳේ හැඩ බැලුවා. එතකොට තමයි අහන්න ඕනම කතාවක් මතක් වුණේ.
" ඇයි ඔයාට මට කතා කරන්න හිතුණේ?"

"දන්නේ නෑ. මට හිතුණා කතා කරලා බලනවා කියලා අපිට ඉදිරි ගමනක් තියෙනවද කියලා."

"ඇයි ඉතින් මම? මට නං ඒකට හේතුවක් පේන්නේ නෑ" සාමාන්‍යයෙන් ගෑණු එහෙම කතා කියන්නේ තමන්ට ආස උත්තරේ අනිකගෙන් අහන්න වුණත් මම ඒ වෙලාවේ ඒ ප්‍රශ්නේ ඇහුවෙ නම් ඇත්තටම. පරණ කළකිරීමුත් අඳුරු මුහුදු මායිමේ පෙනීනොපෙනී යමින් තිබ්බා වගේ දැනුණ හින්දා. කොහොමටත් මොන උත්තරේ ආවත් මේ ගල් ගැහුණු හෘදය දියකරන්න ආයෙත් ඉතින් පුලුවන් වෙන සමතෙක් ඉන්න බෑ.

"හ්ම්ම්.. ඇයි ඔයා.. ඒක මම තාම දන්නේ නෑ. ඒකනේ ඔයාව අඳුනගන්න හදන්නේ. ඔයාට ආකර්ෂණයක් තියෙනවා. ඔයාගෙ පෞර්ෂයයට මම කැමතියි. ඔයා ලස්සනයි. හැබැයි ඒක හින්දමයි කියලා කියන්න මම කැමති නෑ. ජීවිත කාලෙම ඉන්න කෙනෙක් ගැන එච්චර ලේසියට තීරණය කරන්න බෑ.."
කපටි උත්තරයක් වගේ එකක් ආවා නේද කියලා මම හිතෙන් හිනාවෙන්න පටන්ගත්තා. ඒත් මූණෙන් හිනාවක් පළ නොකර බැරෑරුම් බැල්මෙන්ම හිටියා.

" හදිස්සියක් නෑ. අපි අපේ සංවාදය සාමාන්‍ය විදිහට පවත්වාගෙන ගිහින් බලමු වෙනසක් වේවිද කියලා.. වෙනසක් වුණොත් ඒක මගේ වාසනාවක්.. නැත්නම් ඉතින් සාමාන්‍ය විදිහටම යාලුකමක් තියෙයි.."

"හ්ම්ම්..."
මගේ ඔලුව ඇතුලේ එහෙම අදහසක් නැතිබව නොදන්නා අනිකාගේ සුබවාදී ආකල්පයට අගෞරවයක් නොකර ඉන්න තරම් පරිණතකමක් කාලය ලබාදීලා තිබීම කොච්චර නම් හොඳ ද කියලා ඒවෙලාවෙ නම් මට හිතුණේ ඇත්තටම. කාලය මොනවා කරාවිද කියලා අපි දන්නේ නෑ නේද කියන පුදුමය ඕනෑතරම් අත්විඳලා තියෙන හින්දා මම නිශ්ශබ්ද වුණා.

"අපි ආයෙත් දවසක මුණගැහෙනවනේ?"

"බලමු.."

අනිකා සුන්දර හිනාවක් ඉහලා රේල්පාරෙන් එතෙර වෙන්න අත පෑවා.

~තනියා

✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal





Thursday, September 22, 2022

වයිර නැති මුත්තු

වයිරමුත්තු අන්කල් යාපනෙන් ඇවිත් දකුණේ පදිංචි වෙලා තියෙන්නේ මං ඉපදෙන්නත් කලින්. වයිරමුත්තු අන්කල්ගේ අයියා තමයි ඉස්සර සීයාගේ කොණ්ඩේ කපන්නේ ගෙදරට ඇවිත්. එතකොට ඒ එක්කම තුන්වැනි පරම්පරාවෙ පළවෙනියටත් ඒ සැලකිල්ලම ලැබෙනවා. ඒත් මම පුංචි කාලේ කොණ්ඩේ කපන්න බයයි. ඒකට දැන් කොණ්ඩේ කපන්නේ බාබර්ලත් එපා කියද්දී😅 ඉතින් මාව පුටුවක වාඩි කරවලා ලොකු වයිරමුත්තු අන්කල් කොණ්ඩේ කපනකොට මම ගල් පිළිමයක් වගේ ඉන්නවා කටේ ටොෆියකුත් ඔබාගෙන ඒ කෙළ ටිකවත් ගිලින්න බයෙන් කතුර ඇනෙයි, කණ කැපෙයි වගේ පුංචි එවුන්ට තියෙන ප්‍රශ්න කෙළකෝටියකින් ඔලුව පුරෝගෙන.

පස්සේ කාලෙක ලොකු වයිරමුත්තු අන්කල් නැතිවුණා. පොඩි වයිරමුත්තු අන්කල් කොළඹ ආවා. අපිත් කොළඹ දී වයිරමුත්තු අන්කල්ගෙන් තමයි කොණ්ඩේ කැපුවේ. තාත්තා අනිවාර්යයෙන්ම ගියේ එයා ළගට. ලෝකේ හොඳම බාබර් ළගට ගියත් වයිරමුත්තු අන්කල් තරම් හිතට ඇල්ලුවේ නෑ තාත්තට කාවවත්.

වයිරමුත්තු අන්කල් එතකොට හිටියේ සොයිසාපුර. සොයිසාපුරේට ඇතුල්වෙන පාරේම හොඳ සැලෝන් එකක් කළේ. ගෝලයොත් සෑහෙන්න හිටියා. පදිංචි වෙලා හිටියෙත් සොයිසාපුර මහල් නිවාසෙකමයි. ඒ කාලේ දුවයි පුතයි පොඩියි. අන්කල් කොච්චර සෙනග පිරිලා හිටියත් කොච්චර වැඩ තිබ්බත් තාත්තා එක්ක ගියත් අපි තනියම ගියත් අපේ වැඩේ තමන්ම බාරගෙන කරනවා. ඒකත් උපරිමයෙන්. සාප්පුවට ඇතුල්වෙන සැණින් බීම ගෙන්නලා දීලා සෙනග වැඩිවෙලාවක වුණත් ළගට ඇවිත් කතාබහ කරලා හිටපු අහිංසක මනුස්සයෙක්. ඒ හින්දම වෙන්න ඇති භීෂණ දෙකකට එකසැරේ මූණ දුන්න දකුණේ පවා ඔහුගේ පවුල ආරක්ෂිතව කාගෙත් ආදර කරුණාවට ලක්වෙමින් තමන්ගේ ව්‍යාපාර කටයුතුවල යෙදුණේ. සොයිසාපුර තත්ත්වයත් ඒකමයි. දන්නා තරමින් හැමෝම සමග සහයෝගයෙන් සාමයෙන් පාඩුවේ ජීවත් වෙච්චි මනුස්සයෙක් වයිරමුත්තු අන්කල්.
ඊටපස්සේ කාලෙක සෑහෙන්න දේවල් ලෝකේ වෙනස්වුණා. අපිටත් වයිරමුත්තු අන්කල් බලන්න යන්න බැරිවුණා. ගරාජ් එකේ තියාගත්ත පුටුවක වාඩිකරලා පරිස්සමින් කොණ්ඩේ කැප්පෙව්ව පොඩි වීරසිංහත් වයසින් වැඩිලා කොණ්ඩෙට එක එක විජ්ජාවල් කරන්න ගත්තම වයිරමුත්තු අන්කල්ගේ පරණ කතුරු නිකම්ම අතෑරුණා.

ඊයේ හවස අම්මලා ගෙට ගොඩවුණේම "අනේ අපිට වයිරමුත්තු හම්බුණානේ" කියාගෙන,ඒකත් හරිම දුක මූණුවලින්.
ඊටපස්සේ මට ඉස්පාසුවක් තිබ්බේ නෑ කොහෙදිද මොකද අරකද මේකද අහගන්න. මොකද අවුරුදු ගානකින්නේ මම වයිරමුත්තු අන්කල් ගැන ඇහුවේ.
ලස්සනට ව්‍යාපාරය කරගෙන හිටිය අහිංසක මනුස්සයා අද හරිම කරදර ගොඩකින් හෙම්බත්වෙලා කියලා ඇහුවම මට කඳුළුත් ආවා. හොඳ වෙලාවට විදුලි කප්පාදුව නිසා කව්රුවත් දැක්කේ නෑ. දෙයියනේ කියලා සරුවට තමන්ගෙම ව්‍යාපාරයක් කරගෙන හිටිය අන්කල් දැන් කොල්ලුපිටියේ පොඩි බාබර් සාප්පුවක වැඩ කරනවලු. තාත්තා හවස මතක්වෙලා කෝල් එකක් දීලා හොයාගෙන ගිහින් බලන්න. වයිරමුත්තු අන්කල්ගේ සුපුරුදු කොණ්ඩ කැපීමෙන් පස්සේ අපි පුංචි කාලේ හිටිය තාත්තා තමයි ගෙදර ආවේ❤️
අන්කල්ගේ එකම දුව කොරෝනා කාලේ නැතිවෙලා. දිවිනසාගැනීමක්. පුතාට අන්කල්ව පේන්න බැරිව ගිහින් ඇතිවුණු ප්‍රශ්න නිසා අන්කල්ට ගෙදර යන්න විදියක් නැතිව වැඩකරන තැනම නැවතිලා. කොහොමත් කෙට්ටු අන්කල් තවත් කෙට්ටු වෙලා ගිහින් කකුල් පවා තුවාලවෙලා වෙලාගෙන ඉන්න පිංතූර දැක්කම හරිම වේදනයි.

සාමාන්‍යයෙන් සිංහල දමිළ ප්‍රජාවන් දෙකටම අණවිණ කොඩිවින හදිහූනියම් ගැන විශ්වාසයන් තියෙනවනෙ. එක එක අයගේ විශ්වාසයන්ගේ මට්ටම් වෙනස්වුණාට. භක්තිමත් හින්දුවෙක් වෙන වයිරමුත්තු අන්කල්ගෙත් එහෙම කතාවක් තියෙනවා. සමහරවිට වෙන්නත් පුළුවන්. කර්ම ශක්තිය බලපානවා වගේම සමහර විනාශයන් තියෙනවා මිනිස්සු කරන. ඒවයේ බොරුව වගේම ඇත්තක් නැත්තේම නැතිබවට නම් අප්‍රසන්න අත්දැකීම් තියෙනවා. සමහරවෙලාවට මේවට ප්‍රසිද්ධියේ හිනාවෙන ඒවා විවේචනය කරන උගත් බුද්ධිමත් කියලා කියන මිනිස්සු පවා කොයිතරම් නම් මිථ්‍යාදෘෂ්ටික දේවල් තව කෙනෙක්ව විනාශ කරවීමේ අරමුණින් කරනවද කියලා (ප්‍රතිඵල කොහොම වුණත්) උදාහරණ දෙන්නත් පුළුවන් මට නම්😅 වචනයේ බලයෙන් විනාශයන් කරවන මිනිස්සුත් ඉන්නවා. ඔය මිථ්‍යාවන්ට එහා ගිය විනාශකාරී දේවල් තමා මිනිසුන්ගේ වචන සහ ක්‍රියාවන්. කෙනෙකුගේ හැම සර්ථකත්වයක්ම සතුටක්ම එක රැයින් විනාශ කරලා දාන්න පුළුවන් විසකුරු වචන සහ ක්‍රියාවන් ඇති මිනිස්සු අපි අතරම ඕනෑ තරම් ඉන්නවා, සමහරවිට අතිශය හෘදයාංගම, මිත්‍රශීලී, ආදරණීය වෙස්මූණු පැළඳගෙන!

මොකක් කොහොමවුණත් මේ ආරංචිය මට හරිම කණගාටුවක්. ඒ පැත්තේ යන වෙලාවක අනිවාර්යයෙන්ම ගිහින් මාත් අන්කල්ව බලලා එනවා. අන්කල්ට දැන්නම් මාව අඳුනගන්න පුළුවන් වේවිද දන්නේ නෑ. මිනිස් වර්ගයා බෙදිච්ච ලෝකේ වයිරමුත්තු අන්කල් වගේ අහිංසකයෙක්ට එහෙම දුකක් වෙච්ච එක මට දරාගන්න අමාරුයි, ඒක මගෙම කෙනෙකුට වුණා වගේ දැනෙනවා.

මනුස්සයෙක් ආදරෙන් සතුටෙන් සැනසීමෙන් දියුණුවෙමින් ඉන්නවා දකිද්දී තමන්ගේ ඇහේ කටු ඇනෙනවා නම් ඒ ලෙඩේ කොහොමහරි හොඳකරගන්න. දුර්ලභ මිනිස් ආත්ම ලබලා ඇවිත් අනුන්ට වින කරලා පව් පුරවගන්න එපා. මේ තියෙන කරදර මිනිස්සුන්ට හොඳටම ඇති, වැඩිත් එක්ක. ඒ අස්සට අහක යන කර්ම මිනීස්සුන්ගේ ඔලුවලටයි ජීවිතවලටයි හරවන්න එපා කොයි අරමුණෙන් කොයි හේතුවකටවත්. ඕවා විඳවනකොට විඳවන්න වෙන්නේ තමන්ටම විතරක් නෙවෙයි! තමන්ගේ වචන හරි ක්‍රියාවක් හරි මිථ්‍යාදෘෂ්ටික දෙයක් හරි හින්දා කෙනෙකුට හිත්වේදනාවක් දුකක් කරදරයක් වෙද්දී 'දැක්කද මම ෂොට් එක දුන්නා' කියලා සතුටු වෙනවා නං ඒ සතුට පිටිපස්සෙන් කරත්ත රෝදේ වගේ එන මහා දුක් ගැලකුත් තියෙන බව දැනගෙන ඉන්න.
කරුණාකරලා අනුන්ට වින කරන වෙලාව, මුදල්, ශ්‍රමය තමන්ට සෙතක් කරගන්න යොදාගන්න. ඒත් බැරිනම් ඒ කරන විනයක් තමන්ටම කරගන්න. තමන්ගේ ඇස්වල කටු ඇනිච්ච පළියට වෙන මිනිස්සුන්ට වල කපන්න නොයා!

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal

Friday, September 16, 2022

පුරුෂ භූමිකා

ටික දවසකට කලින් වෙච්ච සිද්ධියක් ගැන ලියන්න හිතමින් හිටියත් වෙලාවක් නොලැබීම ගැන කල්පනා කරමින් ඉන්න අතර ඒකට ගැලපෙන දෙවැනි සිද්ධියක් අත්දැක්කා. හැමදෙයක්ම සහේතුකයි කියලා සුභවාදීව ඒක බාරගත්ත මට ඇත්තටම හිතුනා පළවෙනි සිද්ධියට ගැලපෙනම ඌණ පූර්ණය ලැබෙන්නේ දෙවැනි සිද්ධිය එක්ක කියලා. 

පළවෙනි සිද්ධිය වුණේ පහුගිය සතියක තද වැස්සක් ඇදහැලිච්ච සතියේ දවසක. මම ගියා රාජ්‍ය බැංකුවකින් වැඩක් කරගන්න. බොහොම ඉඩකඩ සහිත ඒ කාර්යාලයේ සතියේ දවසක උදේ වරුව නිසා තරමක සෙනගකුත් හිටියා. එළියේ වැටෙන වැස්සේ හඬ පරදවාගෙන එක සැරේ පිරිමි කටහඬක් නැගුණා "උඹ ගිහින් වාඩිවෙයං, වාඩිවෙයං" කියලා. මාත් ඇතුළුව බොහෝ දෙනෙක් හැරිලා බැලුවා. වයස අවුරුදු 75ක් විතර වෙන කුදු ගැහුණු පිරිමියෙක්, කොට කලිසමක් ඇඳලා, අවැදගත් 'පෙනුමක්' නැහැ. ඒ ළගින්ම ඔහුගේ බිරිඳ කියන්න පුළුවන් වයස අවුරුදු 70ක විතර ගැහැණුකෙනෙක්. තරුණ කාලයේ බොහොම සුන්දරව ඉන්නට ඇතැයි කියන්නට පුළුවන්, තවමත් ඒ සුන්දරත්වයේ ශේෂයන් පෙනෙන උස, සුදු, කෙට්ටු කෙනෙක්. ඒ මනුස්සයා ගිහින් පුටුවක වාඩිවුණා, අපිත් අපේ වැඩවලට අවධානය යොමු කළා. මිනිත්තු ගාණක් යන්නට කලින් ආයෙමත් අර උස් පිරිමි හඬ ඇහෙන්න ගත්තා "යකෝ කීයක්ද ගන්නේ කියාපං". ආයෙමත් මිනිස්සු හැරිලා බැලුවා. අර වයසක කාන්තාව මාස්ක් එකට උඩින් අතින් කට වහගෙන ලැජ්ජාවෙන් වටපිට බලද්දි කලින්ට වඩා උච්ඡ ස්වරයෙන් ඇහුණේ හයන්නට පාපිල්ලක් එකතුකරලා පටන්ගන්න වචනයක්! අර වගේ ප්‍රසිද්ධ ස්ථානයක! බැංකුවේ ආරක්ෂක නිලධාරියා තුවක්කුවත් උස්සගෙන දුවගෙන ආවා. "මහත්තයා, මහත්තයා මේ මේක ප්‍රසිද්ධ තැනක්. මෙතන කුණුහරුප කියන්න එපා". ඒ තරහත් ගියා අර කාන්තාව පිටින් "උඹ ඕන මගුලක් කරගනිං, මං යනවා" කියලා නැගිට්ට අන්කල් නැවතුණා ටිකක් එහායින් හිටි අම්මෙකුයි දුවෙකුයි ළග "ඕකි මහ වල් පවුලක එකියක්! මගෙ ජීවිතේ විනාස වුණා මේකිව බැඳලා!" කියලා කතන්දරේ දිග අරිද්දිම ඒ දෙන්නා දුවගෙන ඇවිත් මට එහා පුටු දෙකක වාඩිවුණා. අන්කල් තව මොනවාදෝ කියවමින් ගියා වෙන්න ඇති, මම දැක්කේ නෑ ඊටපස්සේ.

දෙවැනි සිද්ධිය වුණේ ටුකුවක එද්දී. කොණ්ඩෙ සුදුම සුදු අන්කල් කෙනෙක්. ගමනේ සෑහෙන්න දුරක් එනතුරු අපි නිශ්ශබ්දයි. සෑහෙන්න මහන්සියෙන් හිටි නිසා නිශ්ශබ්දතාවය අවශ්‍යම වෙලා හිටිය දවසක්, වෙලාවක්. ගමනාන්තයට කිට්ටු වෙද්දි අන්කල් කියනවා "මිස් මට අවුරුදු 72යි. මම මිස්ට පුතේ කිව්වට කමක් නෑනේ? (මං හිනාවෙලා ඔලුව වැනුවා) පුතේ මම අවුරුදු 37ක් රාජ්‍ය සේවයේ හිටියේ. මගේ ජීවිතේ දුක සතුට දෙකම සමව ලස්සනට විඳගෙන තියෙනවා. මම බැන්ඳේ ගෙදරින් විරුද්ධව. මම මාතර, එයා නුවර (හරියටම මතක නෑ, අනික් පැත්ත වෙන්නත් පුළුවන්). ගෙවල්වලින් විරුද්ධව හොරෙන් පැනලා ගිහින් බැන්ඳේ. අපිට නොසෑහෙන්න ගහලත් තියෙනවා ගෙවල්වලින් ඒ කාලේ. අපි දෙන්නවම ගෙවල්වලින් අයින් කළා, සත පහක දෙයක් දුන්නේ නෑ. අපි දෙන්නා දුක් මහන්සියෙන් ගොඩ නැගුණා. අද දරුවො දෙන්නට ගෙවල් දෙකක් හදලා තියෙනවා. මුණුපුරු මිණිපිරියො හතරදෙනෙක් ඉන්නවා. ඒත් මගේ ලොකුම ජයග්‍රහණය තමයි එදා වගේම ආදරෙන් සමගියෙන් තාම මම මගේ නෝනා එක්ක ඉන්න එක. මේ සැප්තැම්බර් 22වෙනිදට අපි බැඳලා අවුරුදු 50ක් වෙනවා. ❤️ මගේ ටාගට් එක රුපියල් 8000 දවසට. ඒක දැන් මම හොයලා ඉවරයි. දවසේ ටාගට් එක හොයපු ගමන් මම ගෙදර යනවා. ඒකෙන් අනිවාර්යයෙන්ම මම වයිෆ්ට දවසට රුපියල් දෙදහක් අතට දෙනවා. එයාට ඒක ලොකු සතුටක්නෙ. ගෙදරට බඩුමුට්ටු මම ගෙනියනවා. තව 3000ක් විතර පෙට්‍රල්වලට තියලා ඉතිරි ටික ඉතිරි කරනවා. පුතේ, මම කියන්නේ කවදාවත් කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් නැතිවුණා කියලා වැටෙන්න එපා. ඒවා එනකල් ලැබෙනකල් බලං ඉන්නත් එපා. තමන්ගෙ මහන්සියෙන් නැගිටින්න. මට ඒ තරුණ කාලේ දෙමව්පියන් ගැන හරිම වයිරයක් ඇතිවුණා. මට මෙහෙම කළානේ, මාව අතෑරලා අසරණ කලානේ කියලා හිතුණා. ඒත් පස්සෙ මම හිතුවා නෑ එදා අම්මලා අපිව බාරගෙන කන්න බොන්න දීලා තියාගත්තා නං අද අපි තාම එතනමයි නේද කියලා. ඒක නිසා අදටත් මම නොවරදවාම එයාලගේ දාන දීලා පින් දෙනවා. (දැන් මගේ ගමනාන්තයට ඇවිත්) පුතේ කවදාවත් වයස ඔලුවට අරං අනේ දැන් මට බෑ කියලා හිතන්න එපා. මානසිකව එහෙම හිතුවම තමයි ශාරීරිකව දුර්වල වෙන්නේ. ශක්තිමත් වෙන්න කවදාවත් වරදින්නේ නෑ" මම ඉතින් අන්කල්ට ළග එන විවාහ සංවත්සරේට සුබ පතලා ටුකුවෙන් බැස්සා.

එකම වගේ වයස්වල වෙන්න පුළුවන් පුරුෂයො දෙන්නෙක්ගේ ආකල්පවල වෙනස බලන්න. අර පළවෙනි සිද්ධිය ගැන ලිවීම ප්‍රමාදවීම ආශිර්වාදයක් කියලා මට හිතුණා. මිනිස්සු වයස එක්ක පරිණත වෙනවා කියලා අපි කතාවට කිව්වට මම හිතන්නේ ඒක සර්වකාලීන, සියලු සත්වයන්ට පොදු සත්‍යයක් නෙවෙයි. මිනිස්සු කාලය සහ අත්දැකීම් එක්ක පරිණත වෙන්නේ තමතමන්ගේ නැණ පමණට සහ තව විවිධ පාරිසරික සාධක මත. අර පළවෙනියා වගේ අය අවුරුදු සීයක් ජීවත්වුණත් ඒ පරිණතවුණ තරම. දෙවැනියා වගේ අය අවුරුදු තිස්පහක් ජීවත්වුණත් සාධනීය පරිණතබවක් පෙන්නුම් කරන කුලකයක්.

දැන් මම මේ කතා දෙක ලිව්වහම කෙලින්ම කියන-නොකියන විවිධාකාර මත  ඇතිවෙන්න පුළුවන්. ඔව් සමහර දේවල් මිනිස්සු කියූ පමණින්ම ඇත්ත හැටියට ගන්නත් බෑ. සමහර දේවල්වල සැගවුණු අතුරු කතන්දරත් කන්දරාවක් තියෙන්න පුළුවන්. එක කතාවකින් හෝ මොහොතකින් මනුස්සයෙක්ව විනිශ්චය කරන එක කොයිතරම් සාධාරණද කියලා තර්ක විතර්ක ඕනෑතරම් අපට ගොඩ නගන්න පුළුවන් වුණත් ඇත්තටම වෙන්නෙ ඒක තමයි. දැන් කිසිම කෙනෙක් විනිශ්චය කරන්න අයිතියක් නැහැ කියලා හිතන්න පුහුණු කරන මම පවා මේ දෙන්නාට විනිශ්චයක් දුන් නිසානේ මේක ලිව්වේ!
එහෙම බැලුවම අපි "මාර" සත්තු!

ඒ මොනවවුණත් බලන්න සමහර තීරණ ජීවිත වෙනස් කරනවා හොඳට සහ නරකට දෙකටම. හැබැයි හොඳ තීරණයක් නරක් කරන්න පුළුවනුත් නරක තීරණයක් හොඳ කරන්න පුළුවනුත් අපිටමයි. ඒකට පුරුෂයා වගේම ගැහැණියටත් ඇත්තේ සම වගකීමක්. නමුත් තවමත් පුරුෂ මූලික ආසියාතික සමාජයක් වෙන අපේ, පුරුෂයාගේ තීරණවල, ආකල්පවල, හැසිරීම්වල, ක්‍රියා කලාපයේ වැඩිබරක් තියෙනවා. ගැහැණියගේ ඒ සාධකවල දායකත්වය වැඩිහරියක් ඇත්තේ තිරයෙන් පිටුපස. එක හේතුවක් ඒ දායකත්වය තිරයට ආවොත් අධි-ස්ත්‍රීවාදිනියන්,  අධි-ස්ත්‍රීවාදීන් පවා පව්කාරියට ගහන පළවෙනි ගල අතට ගන්නවා. ගල් ගැහීම පටන්ගන්නේ මෙහෙම හේතු පාඨක එක්ක 'අපෝ ඒ මිනිහා ගෑණිට බයයි, අපෝ ඒ ගෑණි යක්සණියක්, මහ හිතුවක්කාර අතිපණ්ඩිත ගෑණියෙක්, ඔහොම ගෑණු එක්ක පුලුවන් ද පවුල් කන්න, මං නං දනී කරන දේ මට ඔහොම ගෑණියෙක් හම්බුණා නං, කණට දෙකක් දීලා හදාගන්නේ එහෙනං... " එතකොට ඒ දායකත්වය තිරයට එන්නේ ඇයි කියන එක නෙවෙයි සමාජයට ඇතිවන ගැටලුව! විවාහය කියන්නේ සාමූහික වගකීමක් (සාමූහික කිව්වම හතරවරිගෙම ඒක අස්සට දාගන්න එපා, එතකොට ඒක විවාහයක් නෙවෙයි කැඳ හැලියක්, අන්තිමට මුට්ටියත් නෑ, කැඳත් නෑ, ලිප්ගලුත් නෑ. ඊළගට ස්පෙයාර්වීල් දාගන්නත් එපා එතකොට ඒක සල්පිලක්). සමහර අවස්ථාවල පුරුෂයා ගතයුතු වගකීම් නොගන්නා තැනකදි ගැහැණිය ඒ වගකීම ගන්නවා. අරං කුජීත කතන්දර අහගන්නවා. පුරුෂයා පුරුෂයෙක් නොවන කුටුම්භයක හෝ සම්බන්ධයක ගැහැණිය ඉබේම පුරුෂ භූමිකාවට තල්ලුවෙනවා! එහෙම නොවන අවස්ථාත් තියෙන්න පුළුවන්. හැබැයි අරම වුණාට පස්සෙ පුරුෂයාගේ පුරුෂත්වය ඌයියා වීමත් වලක්වන්න බැරිවෙනවා. එහෙම සමහර ඌයියාවන් සුවපත් කරන්නත් ආයෙමත් ගැහැණු අත්ගුණයක්ම අවශ්‍යත් වෙනවා. සංසාර චක්‍රය වගේ ඔය කතාව කව්රු කොහොම සම්බන්ධවුණත් නැවතීමක් නැතිවෙනවා. 

පුරුෂයන් පුරුෂයන් ලෙසත් ගැහැණුන් ගැහැණුන් ලෙසත් පවතින්න ස්වභාව ධර්මය ඉඩ සලසලා තියෙන ලෝකයක, තමන්ගේ තීරණ මත ඒ තුලනයට බාධා කරගන්න එපා විහින්! හැම ගැහැණියක්ම ගැහැණියක් ලෙස පවතින්න කැමතියි. අර්ධ-නාරී භූමිකා බලෙන් ඔවුන් මත පටවලා ඒ සුන්දරත්වය විනාශ කරගන්න පුරුෂයො ඒ නැතිවෙච්ච සුන්දරත්ව හොයාගෙන ගිහින් ආයෙත් තව සුන්දර ගැහැණියක්ව එතැනට පත්කරන්නත් එපා. පුරුද්දට ගියොත් ඕක ලෝක ලෙඩක්😂 

අනෙක් විශේෂම දේ ඔන්න ඔය තුලනය දෙයියන්ගේ නාමේට ගෙදරින් පටන් ගන්න. හෙට අනිද්දා පුරුෂයන් ගැහැණුන් විදිහට සමාජයට කළ එළි බහින්න නියමිත දරුවෝ ඉන්න අය විශේෂයෙන්ම, කරුණාකරලා ඔවුන්ට ඔවුන්ගේ භූමිකා සහ ශක්තීන් ගැන අවබෝධයක් ලබා දෙන්න. ඒක කොහොමද කරන්නේ කියලා මම දන්නේ නෑ, හැබැයි කොහොම හරිම කරන්න! 
නැත්නම් ඉතින් දෙවැනි කුලකයේ පුරුෂයෝ අනාගත ගැහැණුන්ට මුණගැහෙන්නේ කටුගෙවල්වලින් විතරයි! 
ඒකත් ඇටසැකිලි හැටියට! 

~✒️ Aash Weerasinghe

Sunday, August 28, 2022

සජීවී පෙරහැර අත්දැකීම

මීට දශක තුනකට කලින්, සීමිත මාධ්‍ය ප්‍රමාණයකින් සතුටින් සැනසීමෙන් තෘප්තියෙන් හිටපු කාලෙක නම් පෙරහැරවල් බලන්න තාත්තා අම්මා එක්ක ගිහින් තිබුණට, මතක ඇති කාලෙකින් මම හිතන්නේ දශක එකහමාරකට කිට්ටු කාලෙකින් පෙරහැරක් සජීවීව බලන්න ලැබුනේ නෑ. හවස බෙල්ලන්විල ගියේ සාමාන්‍ය ආගමික වතාවත් කරන්න. ඒ යද්දී මුලු පළාතම රන්දෝලි පෙරහැරට ලෑස්ති වෙනවා දැකදැක හැරිලා එන්න හිතුණේ නැති නිසා බලධාරීන්ගේ අවසර ඇතිව එහෙම, මාත් ලෑස්ති වුණා පෙරහැර අත්දැකීම ගන්න. විනෝදාස්වාද මාධ්‍ය ඕනෑවටත් වඩා වැඩි මේ වගේ කාලෙක මං උපකල්පනය කළාට වඩා සෙනගක් හිටියා ඉර බහින්න කලින් ඉඳන්ම පෙරහැර බලන්න සූදානමින්! 

පුංචි කාලේ ඉඳන් පෙරහැරවල් දකින්න ගිහින් තිබුණට, පාර අයිනේ සෙනග කන්දරාවක් මැද, සෙරෙප්පු දෙක උඩ වාඩිවෙලා පෙරහැරක් බලන්න ලැබුනේ නම් ජීවිතේ පළවෙනි වතාවට! අත්දැකීම්වලට පෙරේත මම ඒ අවස්ථාව අල්ලගත්තා නෙවෙයි උරාගත්තා! 😂

පුංචි කාලේ තාත්තයි අම්මයි අපිව පෙරහැරවල් බලන්න එක්ක යද්දි මෙලෝ අල බෝලයක්වත් ඕකේ ඇති රහක්වත් මට තිබ්බේ නෑ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටිය වයසක නිසා ඒවාට විරුද්ධ වුණෙත් නෑ (හරිම කීකරු දරුවෙක් මං😇). කන තරමක් කඩචෝරු ටික කාලා, මොකක්හරි සෙල්ලම් බඩු සුකුරුත්තමකුත් අරගෙන, බාගෙට පෙරහැර යද්දි දෙන්නගේ කරේ නිදි. මාව ඇහැරවගෙන ඉන්න ඕන නිසා තාත්තා අලි ගණන් කරන්න භාරදීලා තමයි එක්කං එන්නේ. මොන අලිද අන්තිම වෙන්නත් කලින් මම නිදි! 😂 හැබැයි ඒ පරණ පුරුද්දට අදත් අලි ගණන් කළා!😁 (ඒ අලි ගාණ හෙට උදේ තාත්තට කියලා බැනුම් අලුත් කරගන්න තමයි මගේ අදහස😅) 

ඇත්තටම පෙරහැර හරිම ලස්සනයි😍 
ඒ කාලේ තාත්තා ඕවායේ අගමුල කියාදෙමින්, ලස්සන පෙන්වමින් අපිට රසවින්දනයක් හුරුකරන්න හැදුවා නේද කියලා අද තමයි මට තේරුණේ. සමහරවිට, ඒ වෙද්දි අවුරුදු විසිතිස් ගණන්වල හිටපු අපේ තාත්තාටත් මට වගේම තදබල අත්දැකීම් පෙරේතකමක් තියෙන්න ඇති. ❤️

පෙරහැර නැගෙනහිර වාහල්කඩින් පිටත්වෙන්න තිබුණේ රෑ 8:30ට. ඒ වෙලාවටම වගේ පිටත්වුණා. ඒත් පෙරහැර එද්දිත් ගොඩක් සෙනග හිටියේ පාරේ මැදට කිට්ටුව! පොලීසිය හිටියත් එතන සංවිධානාත්මකබවේ නම් ලොකු අඩුවක් පෙනුණා. පාර අයිනේ සෙනග වාඩිවෙලා ඉන්දැද්දි ඒ ඉස්සරහින් සෙනග හිටගන්න එක පොලීසියට කලින්ම නවත්වන්න තිබ්බා. අනික සීමා ලකුණු කරලා තිබ්බා නම් පෙරහැරේ හොඳම හරිය වෙද්දී ඇතිවෙච්ච නොසන්සුන්කාරී තත්ත්වයත් ප්‍රශ්නත් ඇති නොවෙන්න තිබ්බා. "දූපත් වැසියා" විසින් පොලීසිය අඩපණ කරවීම හින්දාද කොහෙද නිල ඇඳුමට මිනිසුන්ගේ ගෞරවයකුත් දකින්න ලැබුණේ නෑ වගේම,  පොලීසියත් "පාර මැද හිටපියව්, අලි ගැහුවොත් තොටනේ මට මොකද" වාගේ හිටි බවත් පෙනුණා. හැබැයි අර සෙනග කන්දරාව මැද සෑහෙන්න ප්‍රමාණයක් තරුණයන් හිටියේ බීමතින් සහ මතින් බව හොඳටම පැහැදිලි වුණා වෙච්ච සිදුවීම් නිසා. තත්ත්වය එහෙම විය හැකි බවක් නොහිතා ගත්ත තීරණය ගැන පසුතැවීමක් ඇතිනොවුණේම නැති නමුත් ඒ අතරත් තවම තව කෙනෙකුගේ දරුවෙකුගේ ආරක්ෂාව ගැන සිතන දෙමව්පියන් සහ මිනිසුන් සිටිනා බවත් ඒ එක්කම අත්දැක්කා. විවිධ වයස්වල දරු දැරියන් කීපදෙනෙක් එක්ක හිටිය පවුල් එකතුවක් තනියම හිටි මාවත් දරුකමට හදාගෙන කරුණාවෙන් පරිස්සමින් බලාගත්තා.❤️ ලේසියෙන් කෙනෙකු විශ්වාස කරන්න අපහසු අද වගේ කාලෙක එහෙම කරුණාවක් දක්වන එක සහ විඳින එක දෙකම අවධානමක්. ඒත් අන්තිමේදී තමන් ගෙනාව කෑම්බීම් පවා බෙදාහදාගෙන, මාව කැබ් එකකට ඇරලවලා යන්න තරම්ම කාරුණික, මනුස්සකමින් පිරුණු ඒ වැඩිහිටියන් පිරිසට මම අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා.❤️ (ඒ රත්තනපිටියේ ගෙදර හදන ගමේ කෑම ව්‍යාපාරය හිමියන් සහ ඔවුන්ට සම්බන්ධ හිතවතුන් පිරිසක්. අර නම කිව්වේ වෙන්වෙන් වශයෙන් කියන්න අපහසු නිසා. විශේෂයෙන්ම එතැන හිටි ලක්මාලි ආන්ටි සහ ඒ අන්කල්ව ආදරෙන් මතක් කරන්න ඕන🙏) 

හැමදාම කියනවා රට හදන්න නම් ඉස්සෙල්ලම පුද්ගල ආකල්ප සංවර්ධනය වෙන්න ඕන කියලා. හරිම හොඳ මිනිස්සු අතර පට්ට ආත්මාර්ථකාමී, දුෂ්ට මිනිස්සු කොච්චර ඉන්නවද කියලා පැහැදිලි වුණ තව අවස්ථාවක් අද. සෑහෙන්න වෙලාවක් තිස්සේ ලකලෑස්ති වෙලා ඇතිරිලි, පත්තර එලාගෙන පාර අයිනේ ඉඳන් හිටි මිනිස්සු ඉස්සරහ හරිම ආත්මාර්ථකාමී විදිහට මිනිස්සු හිටගත්තා පෙරහැර පටන්ගත්තට පස්සේ! කොච්චර වාඩිවෙන්න කිව්වත් නෑසුකන්ව, ජංගම දුරකථන දිග ඇරගෙන පින්තූර ගන්න, වීඩීයෝ කරන්න, තමන්ට විතරක් පෙරහැරේ ලස්සන බලන්න හිතපු ඒ වගේ ආත්මාර්ථකාමීන් අන්තිමට කරුණාවෙන් කළ ඉල්ලීම් නොසලකා බීරි අලින් සේ සිටීම නිසාම අන්තිමේදී කුණුහරුපත් අහගත්තා මිනිස්සුන්ගෙන්. වාඩිවෙලා හිටිය පොඩි දරුවොන්ටවත් පේන ඉඩක් හදලා දෙන්න අකමැති වුණ තුච්ඡ ගෑණු මිනිස්සු සෑහෙන්න හිටියා. 

ඒ අතර, මේ බෙර හඬවල් මැද, එක එක ප්‍රශ්න මැද, අනෙකා කියන දෙය ඇහෙන්නේ නැතිවත් අපේ දෙමව්පියන් දෙන්නා මට හරියට පෙරහැර බලන්න නොදීමේ ඇමතුම් තරගයක් කරන්න බාරයක් වෙලාද කොහෙද හිටියේ! ඒ ඇමතුම් අතර ජාතිය ඇමතීම් අනිවාර්යයෙන්ම තියෙන්න ඇති නමුත් වාසනාවකට වගේ ඒ කිසිම දෙයක් මට ඇහුණේ නෑ😅 ඒක නිසා ගත්ත හැම ඇමතුමකටම මම කිව්වේ ඇහෙන්නේ නෑ ඇහෙන්නේ නෑ කියලා විතරයි😬 (ලැබිලා තියෙන මොළේ ටිකක් පාවිච්චි කරන්නත් එපැයි) බැනලා එපාම වෙලාද කොහෙද රෑ එකොලහමාරට විතර තාත්තා ඇහුවේ කීයටද පුතේ එන්නේ කියලා විතරයි.😬 හෙට පාන්දරම නැවත ජාතිය ඇමතීමක් බලාපොරොත්තුවෙන් ඉන්නේ දැන්😅

 පෙරහැර අත්දැකීම ගන්න පුළුවන් නම් ගන්න. ඒක වෙනස් අත්දැකීමක්. ඒකේදි කෙරෙන සංස්කෘතික අංග, සාම්ප්‍රදායික අංග හරිම ලස්සනයි. උදාහරණයකට කප් සිටුවීම, දේවාභරණ වැඩම්මවීම වගේ සිද්ධි කීපයක්ම ළංළංව දැක බලාගන්න මට අවස්ථාව ලැබුණා. ඒවා ජීවිතේ එක සැරයක් හරි දකින්න ඕන දේවල් කියන ලැයිස්තුවේ තිබිය යුතුයි කියන එක තමයි මගේ පෞද්ගලික අදහස.  (හැබැයි මීට අවුරුදු කීපයකට කලින් ඇහුවා නම් මං මෙහෙම කියන එකකුත් නෑ.) අනෙක් අතට මේ සිරිත් විරිත්, චාරිත්‍රවල මුල්තැන ගන්නේ දැනට ඉන්නා වැඩිහිටිම පරම්පරාව. ඒ අය දැන් හරිම වයසයි. ඒ දැනුම ඔවුන් එක්කම නැතිවෙලා නොයන්න ආරක්ෂා කරන්න ඕන කියලා මම නම් විශ්වාස කරනවා. රැල්ලට රැඩිකල්වීමෙන් තමන්ගේ ඉතිහාසයෙයි සංස්කෘතියෙයි ආරක්ෂා කළයුතු දේවල් වලපල්ලට යැවිය යුතු නෑ! 

අනිත් විශේෂම කාරණය, අත්දැකීම්වලට තියෙන පෙරේතකම නිසා ලොකු අවධානම් ගන්න එපා. ඇඩ්‍රිනලින් කික් එකට අවධානම් ගත්තට ඒක හැමතිස්සෙම නුවණැති වැඩක් නෙවෙයි, විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට. මට රැකවරණය දුන්න හිතවතුන් පිරිස ඔවුන්ගේ දරුවන්ට මාව ආදර්ශයට ගන්න කියද්දිත් මම කිව්වා කීයටවත් ඒ වගේ අවධානම් වැඩ කරන්න එපා කියලා. ගත්ත අවධානමේ තරම පැහැදිලි වුණේ එතැන හිටි බහුතර තරුණ පිරිස දිහා බැලුවම. ගැටුම් ඇතිවුණෙත් ඔවුන් නිසා. ඒ ගැටුම්වලදි වැඩිහිටියන් හැමදෙනාම වධවුණේ ගැහැණු දරුවන්ගේ, තරුණියන්ගෙ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන. මත් ගතියෙන් ඔවුන් කළ සහ කරන්නට උත්සහ කළ දේවල් බොහොමයි. ඉන් කීපදෙනෙක් කුදලාගෙන යන්නට පවා පොලීසියට සිදුවුණා! 
හැබැයි මගේ ඔලුව ඇතුලේ බැකප් ප්ලෑන් එකක් තිබ්බා. ඒක හින්දා අවධානම ගත්තා. 

පින්තූර සහ වීඩියෝ ටිකක් මේ තියෙන්නේ. බලාපොරොත්තුවුණ ඉස්තරම් තත්ත්වයේ නැතත් සජීවීව දැකගත්ත සතුටෙන් හිත පුරවගෙන ඉන්නේ😇

~✒️ Aash Weerasinghe

#bellanwilaesalaperahera2022 #experiencepool #adrenalinejunkie #peraheraexperienceinsrilanka #lka #srilanka #religiousfestival

පින්තූර සහ වීඩියෝ ඔක්කොම මේ ලින්ක් එකට ගිහින් බලන්න පුලුවන්: https://m.facebook.com/story.php?story_fbid=pfbid02PccmvMsrh1TM1ruagz8rq43UuSWzSUvxdDcMUCwbzarKpymWC8ArhrDDwthmAz7jl&id=717230762

Sunday, August 21, 2022

බුදුන්ගේ අමා ධර්මේ

රෑ අටට බස් එකකට නැග්ගම සාමාන්‍යයෙන් දකින්න පුළුවන් මොනවද? හැම මනුස්සයෙක්ම වගේ විඩාපත් වෙලා ගෙදර යාගන්නෙ කොයි වෙලේද කියලා ඉන්න හැටි, තවත් සමහරු දහසක් දුක්ඛ දෝමනස්ස මෙනෙහි කරකර බලාගත් අත බලං යන හැටි, සමහරු නොනවත්වා ජංගමයා එක්ක ඔට්ටු වෙන හැටි, සමහරු නිදි කිරන හැටි. මේ බස් එකේ ඊට අමතරව සුමිහිරි ගායනයක් ඇහෙනවා, හැබැයි කව්රුවත් හිටගෙනත් නැහැ. "මේ නොනිමෙන දිවි ගමනේ" ගයනවා පුදුම මිහිරට. බලද්දි වාඩිවෙලා යන මගියෙක්. ටිකක් වයසයි. ගෙදර යනගමන් අනුමත වෙච්චි ගතියකුත් ලාවට පේනවා. හැබැයි ගායනාව සුපිරි!😍👌

කව්රුවත් දිහා බලන්නෙවත් නැතිව ඉස්සරහා බලං තනියම සිංදු කියකියා යනවා මේ මනුස්සයා. මොකද්ද ලොකු පාර්සලයකුත් අතේ තියාගෙන. හැබැයි තව සගයො කීපදෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අන්කල් හිටිය ආසනේට සමාන්තර ආසනේ වාසනාවට වගේ මට වාඩිවෙන්න ලැබුණා. එතකොට 'මේ නොනිමෙන දිවි ගමනේ' අවසන් කරලා 'බුදුන්ගේ අමා ධර්මේ'ට ඇවිත් තිබුණේ. පුදුම මිහිරියි කියන්නේ බෙග් මාස්ටර්ට ළංවෙන්න පුළුවන් මට්ටමටම මිහිරට කියනවා. ඕක වැඩිපුරම ඇහෙන්නේ වෙසක් කාලේට, දන්සැල් කාලේට වුණාට මං බෙග් මාස්ටර්ගේ ගීතවලින් ආසම එකක් ඒ. ඒක හොඳට, කලබල නැති තැනක ඉඳන් ඇහුවොත් මොකද්දෝ මහ අමුතු හැඟීමක් එනවා.
කපුගේ "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ" කියනකොට වඩා, බෙග් මාස්ටර්:

බුදුන්ගේ අමා ධර්මේ
නොතේරී දනා මේ
වෙලිලා බැඳී ප්‍රේමේ විනාසේ වුණාවේ.. //
බුදුන්ගේ අමා ධර්මේ..

මලේහි වසා බඹරා උරා රොන් ගනීවී
එයින් ඌ පලා ගියදා මැරී මල් හැලේවී
මෙසේ ලෝක න්‍යායේ... //
ලෙසින් වේය පාපේ
වෙලිලා බැඳී ප්‍රේමේ විනාසේ වුණාවේ..

අස්ථිර වේ ජීවේ තණ අගේ පිණි සේ
ස්ථිර නෑ ලෝකේ ළඟාවේ විනාසේ
සොයාලා බැලූවෝතින්.. //
පෙනේ මේ මනාසේ
වෙලිලා බැඳී ප්‍රේමේ විනාසේ වුණාවේ..

කියද්දි ඒක මාර විදිහට දැනෙනවා. මෙලඩි එක ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ අලුතින්. අර අන්කල් ඕකේ 'මෙසේ ලෝක න්‍යායේ..'  කියලා හැඩ කරන තැන එහෙම ඒ විදියටම කිව්වා😍👌 මාරම ලස්සනයි. ඒත් සිංදුව ඉවර කරන්න කලින් මේ මනුස්සයා කලබලෙන් බැහැලා ගියානේ. අපරාදේ!

සමහර නොහිතන පුංචි සිද්ධිවලට පුළුවන් තව කෙනෙකුට ලොකු සතුටක් දනවන්න. ඒවා අණබෙර ගහමින් කළ යුතු නෑ. සවන සැනසීමත් හිත සැනසීමේම කොටසක්. එහෙම බැලුවම ඒ අන්කල් නොහිතා කරලා තියෙන්නෙත් පිනක්! ❤️
අන්කල් ආයෙත් දවසක ඔහොම මිහිරට ගයමින් යන බස් එකකට ගොඩ වෙන්න මට වාසනාවක් තියේවි කියලා හිතනවා😇
ඒ නන්නාඳුනන අන්කල්ට තවතවත් මිහිරට ගයන්න හැකියාව, ශක්තිය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. 💐

~✒️Aash Weerasinghe

#AW #thaniya #medusa #thanitharuwa #medusasjournal

https://youtu.be/HilHUE6hZbM



සත්ව හිංසාවට එරෙහිව..

දෙයියන්ගේ නාමෙට දරුවන්ට පුංචිම කාලේ ඉඳන් පුරුදු කරවනවද සත්තුන්ට හිංසා නොකර ඉන්න? සැලකුවේ නැතත් කමක් නෑ, අඩුගානේ කරදර හිංසා නොකර ඉන්න! පන්සලකට ඇවිත්වත් සතෙකුට හිංසා නොකර ඉන්න බැරි මිනිස්සු ලංකාවේ ඉන්නවා! 

බෙල්ලන්විල පෙරහැරක්. පන්සලේ සෙනග පිරිලා. කාලයක් තිස්සේ පන්සලේ හැමතැනම ඉන්න බල්ලො ටිකෙන් කාටවත් කිසිම කරදරයක් පීඩාවක් වෙලා නැහැ මම දන්න තරමින් නම්. අඩුම තරමින් ගොරවලා බුරලා වගේ පැමිණිල්ලක්වත් මට නං අහන්න දකින්න ලැබිලා නැහැ.
අද ගමක්ම විතර පවුලක් ඇවිත් හිටියා පොඩි ළමයි දෙන්නෙක් එක්ක. බෝ මලුවේ වලක් හාරගෙන පාඩුවේ නිදාගෙන හිටිය බල්ලෙක්ට පයින් ඇන ඇන වැලි විසි කරනවා ඒ ළමයි දෙන්නා! අර ගමක් විතර පවුල, ළමයින්ගේ සත්ව හිංසාවේ දක්ෂකම බලන් ඉන්නවා. ඉවසලා ඉවසලා බැරිම තැන බල්ලා බිරුවා, අසරණයා වටේ හිටි අනිත් මිනිස්සු දිහාත් බලබල උදව් ඉල්ලුවා මේ හිංසාව නවත්තගන්න. එච්චර වැඩිහිටියො හිටපු පවුලේ එකෙක් කට ඇරියේ නැහැ එපා පුතේ කියලා ළමයින්ව නවත්තන්න!! බැරිම තැන මගේ ඉවසීම පැත්තක තියලා එකෙක්ට අඬගහලා කිව්වා එපා කියලා. අනේ ඒත් අර ගමක් විතර පවුල ලාදුරු රෝගීන් වගේ හිටියනේ🙄
පස්සේ සමාජය වෙනස් කරන්නයි සිස්ටම් චේන්ජ් කරන්නයි දත කන්න එපා. අඩුම ගානේ පවුලෙන් පටන් ගන්න! ඔය වගේ යක්ස පැටව් හදලා සමාජෙට මුදා හැරලා ඊටපස්සේ කනෝ කනෝ කියලා නහින්න එපා ප්ලීස්! ඒ වගේ දයානුකම්පාව නොදන්න උං තමා පස්සෙ මොළේ පණ නැතිකරලා කාටහරි පිහියකින් තුවක්කුවකින් ඇදලා දාන්නෙත්!

සත්තුන්ට ආදරේ හිතෙන්නේ නැත්නම් ආදරේ නොකළට කමක් නෑ. කෑම ටිකක් දෙන්න කරුණාවක් දැනෙන්නේ නැත්නම් කෑම නුදුන්නත් කමක් නෑ. හැබැයි තමන්ගේ පාඩුවේ ඉන්න අහිංසක අසරණයන්ට වධ හිංසා කරන්න එපා! මොන ලොක්කෙක් උගතෙක් ජගතෙක් සමතෙක් වුණත් එච්චරටවත් දයානුකම්පාවක් නැති මළකඳන් වගේ මිනිස්සු එක්ක සිස්ටම් චේන්ජ් නෙවෙයි ජීවත්වෙන එකම සමාජයට කරුමයක්!

~ Aash Weerasinghe

#AW #animalrights #StopAnimalCruelty #stopanimalabuse #SystemChangeSL

Tuesday, August 2, 2022

නියම වෙදා

රනිල් ජනාධිපති වෙන්න කලින්, අරගලං වීරයෝ වන්දනා කරපු උදවියට 88/89 ගැන මතක් කළාම කිව්ව දේවල් මතකද?

"88/89ත් සාධාරණයි අපේ අරගලේ වගේම"
"ඒ කාලේ ස්මාට් ෆෝන්, සෝෂල් මීඩියා නොතිබ්බ නිසා කව්ද දන්නේ ඇත්තටම මොනාවුණාද කියලා"
"ෂුවර් එකට ඒ කාලෙත් මෙහෙම සත්‍ය විකෘති කරලා තමයි පෙන්නන්න ඇත්තේ"
"අනේ මේ හලෝ 88/89 ගගා වැලලෙන්න එන්න එපා හැමදාම"
"එයාලා දැන් එහෙම නෑ"
"88/89 අපි දැකලා නෑ" (1990න් පසු කිරි දරුවෝ සමච්චලයට)
තව නානාවිධ කතන්දර ගොඩක් කිව්වා!

එහෙම කිව්ව උදවියම දැන්
"88/89 භීෂකයා මතකද?"
"බටලන්දේ වධකයා මතකද?"
"ආයෙමත් බටලන්ද සංස්කෘතියක් එපා"
"වධකයා වැඩ පටන් අරං"

දැන් ඉතින් මේවාට හිනායන අපි අහන්න ඕන
"ඒ කාලේ ස්මාට් ෆෝන්, සෝෂල් මීඩියා නොතිබ්බ නිසා බටලන්ද ඇත්තක් කියලා කොහොමද අනේ දන්නේ?" කියලා!

ලංකාවට ඕන හිට්ලර් කෙනෙක් මිසක් කියන කියන පදේට නටන නැට්ටුවෙක් නෙවෙයි! හිට්ලර් කෙනෙක් කියලා විශ්වාස කරපු මිනිහා විධායක බලතල කොට්ටේ යට තියං හිටියා කියලා ඕං දැං මහනායකලාම කියන්නේ! ඔව් එයාලට ලැජ්ජා නෑ තමයි. එතකොට එහෙමයි දැන් මෙහෙමයි!

හරීන් ඊයේ සලකුණේ කිව්ව එක දෙයකට 100%ක් එකඟයි සහ ඒක නියම උත්තරයක්! රනිල් socially disconnected. ඒ කියන්නේ social mediaවල මොනවද එයාට කියන්නෙ, චමුදිත උදේ පත්තරේ කියවද්දි මොනවද එයාට කියන්නේ එයා තඹ සතේකට ගණං ගන්නෙ නෑ. (ඊට වඩා හොඳයි චමුදිතගෙ කණ කෑවා නං හරීන්😂) එයා එයාගෙ වැඩ ටික කරගෙන යනවා. ඒකෙ cons තිබ්බට මේ වගේ වෙලාවකට ගැලපෙනවා!

ආ හා පොඩ්ඩක් ඉන්න. මම රනිල් පාක්ෂිකයෙක්වත් රනිල්ට කඩේ යන්න අරංවත් නෙවෙයි. හැබැයි ඔය කිසි පිලකට කඩේ නොයා අන්ධයොයි මුග්ධයොයි ගොබ්බයොයි හෝල්සේල් ගිය රැළිවල ගහගෙන නොයා ඈත ඉඳන් මේ විපරීත දිහා බලං ඉන්න මනුස්සයෙක් හැටියට ලෙඩේට නියම වෙදා ඔයාලම තමයි ඉල්ලං පත්කරගෙන තියෙන්නේ ඈ! ඒ ගැන අප්‍රමාණ සන්තෝෂයි! 😂

~ Aash Weerasinghe

#AW #සිරිලංකන්ලොජික් #නිර්පාක්ෂිකඅරගල #අරගලේපසුකතා #සිරිලංකන්පොලිටික්ස්

Tuesday, July 26, 2022

මාධ්‍යයේ චමුදිතකරණය

උච්ච ස්වරයෙන්/උස් හඬින් සහ නොනවත්වා කියවීමෙන් මාධ්‍යවේදියෙකුගේ "විශිෂ්ඨත්වය" සනාථ වෙන්නේ නැහැ. මම හිතන්නේ චමුදිතට වැරදුණු තැන ඒක. 'සැබෑ' මාධ්‍යවේදියෙකුගේ වගකීම තමන්ගේ මතය ආරාධිතයාගේ "කටින් කියවාගන්නට තැත්කිරීම" නොවෙයි. අවාසනාවකට චමුදිතගෙන් 'සැබෑ' හෝ 'පරිණත' මාධ්‍යවේදියෙකුගෙන් ප්‍රේක්ෂකයා දකින්නට බලාපොරොත්තු වන ආචාරශීලීත්වය, ඇහුම්කන්දිම, සන්සුන්කම වගේ ගුණාංග දකින්න ලැබෙන්නේ නෑ. එක් ආරාධිතයෙකු පමණක් සහභාගි වන 'සලකුණ' වගේ වැඩසටහනක් පවා 'බලු පොරයක්' වාගේ ප්‍රේක්ෂකයාට දැනීමටත් අප්‍රසන්නවීමටත් ප්‍රධානතම හේතුව චමුදිතගේ හැසිරීම! අඩුම තරමින් අගසව් නිවේදකයන් දෙදෙනාටවත් කතා කිරීමට ඉඩක් චමුදිතගෙන් ලැබෙන්නේ නැහැ. අගසව් නිවේදකයන්ගෙන් බොහොම පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන් මූලිකම මාධ්‍යවේදී පාඩමවත් ඉගෙන ගන්නට තරම් අනතිමානයක් පුද්ගලයෙක් වශයෙන් චමුදිත තුළ පැහැදිලිවම නැහැ.

සාමාන්‍යයෙන් චමුදිතගේ වයස, අත්දැකීම් සහ සමකාලීන මාධ්‍ය සගයන් හා සසඳද්දි චමුදිතට ඇත්තේ ඉතාමත් පහත් ආකාරයේ ආකල්ප සහ ප්‍රශ්න 'කිරීමේ' (ඇසීමේ නොවන) ක්‍රමවේදයක්. ඔහුගේ ප්‍රධානතම අරමුණ වැඩසටහන තුළ තමා බැබළීම සහ ආරාධිතයා ප්‍රකෝප කිරීම තුළින් තමන්ට අවශ්‍ය පිළිතුර ඔහු ලවා කියවා ගැනීම. මේ හැසිරීම, ඇතැම්විට, ඔහුට විශිෂ්ඨත්වයක් ලෙස දැනෙන්නට පුළුවන් නමුත් ප්‍රේක්ෂකයාට ඔහුගේ ඇති අධි තක්සේරුව සහ පුහුමානය නිරුවත් කර පෙන්වීමක්. අපි සාමාන්‍ය ව්‍යවහරයේදීත් කියන හැටියට ඔහු, තමන්ගේ සැබෑ ස්වරූපය නොදැනීම ලෝකයාට පෙන්වා සිටිනවා. ඊට ආකල්පය පමණක් නොවෙයි හැදියාවත් අදාළයි. ඔවැනි ආවේගශීලීත්වයක් අපට වයස 18-20 කාලයක කෙනෙකුගෙන් බලාපොරොත්තු විය හැකියි. නමුත්, වයසින් සහ අත්දැකීමෙන් මුහුකුරා ගිය පරිණත මනුෂ්‍යයෙකුගෙන් එවැනි හැසිරීමක් පළවීම මනෝ වෛද්‍ය විද්‍යාවේ නම් වෙනස්ම ආකාරයකට කියවෙනවා ඇති. අපි එතරම් දුර නොයා ඉමු, ඔහුට වඩා සදාචාරාත්මක බවක් අපට ඇති නිසා.

අනෙක් අතට, ඔහු තමාට හුරු 'මඩ මාධ්‍යකරණයේ' දිගින් දිගටම යෙදෙනවා. ඔහුට අවශ්‍ය ආරාධිතයා ලවා පුද්ගල අවලාද/මඩ ප්‍රකාශ ලබාගැනීම! ඒක එක්තරා විදියක රෝගයක්!

ඔහුගේ ප්‍රශ්න හොඳ මට්ටමක තිබෙනවා. නමුත්, ඔහු අසන ප්‍රශ්නයකට ආරාධිතයා දෙන පිළිතුර සම්පූර්ණ කරනතුරුවත් ඉන්නට තරම් චමුදිතට ඉවසීමක්, ආචාරශීලීත්වයක් හෝ සදාචාරයක් නැහැ. අද ආචාර්ය නන්දලාල් වීරසිංහ සහභාගි වූ වැඩසටහන නැරඹූ කෙනෙකු ඇත්නම්, එකම ප්‍රශ්නය ඔහුට අවශ්‍ය පිළිතුර ලැබෙනතෙක් ප්‍රකෝපකාරී අයුරින් නැවත නැවත අසන බව පැහැදිලි වෙන්නට ඇති. ඇතැම් ප්‍රශ්න නැවත නැවත අසන්නේ ඔහුට ආරාධිතයා දුන් පිළිතුර අවබෝධ කරගන්නට තරම්වත් ඉස්පාසුවක් නොතිබූ නිසා. යම් ප්‍රශ්නයක් ඇසූ පළමු මොහොතේ දී ආරාධිතයාට පිළිතුර සම්පූර්ණ කරන්නට ඉඩ දුන්නා නම් නැවත නැවත ඇසීමක් සිදුකරන්නට අවශ්‍ය වන්නේ නැහැ. අනෙක් අතට ඉතාමත් වැදගත් ප්‍රශ්නවලට ආචාර්ය නන්දලාල් වීරසිංහ ලබාදෙන්නට උත්සාහ කළ පිළිතුරු ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි ආකාරයෙන් සරලව සහ පැහැදිලිව කරන්න එතුමා උත්සහ කළ බව පැහැදිලියි. චමුදිතගේ අනවශ්‍ය බාධා කිරීම් නොවුණා නම් ඒ සංවාදය මීට වඩා ඉතාම පැහැදිලිව, සරලව සෑම ශ්‍රී ලාංකිකයෙකුටම පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට ගලා යන්න ඉඩ තිබුණා. ඒ අනුව, චමුදිතගේ මහන්තත්වය විසින් උදුරාගැනෙන්නේ ආරාධිතයාගේ සහ ප්‍රේක්ෂකයාගේ වටිනා කාලය පමණක් නොවෙයි, තොරතුරු පැහැදිලිව දැනගැනීමට ප්‍රේක්ෂකයාට ඇති අයිතියත් ඔහුගේ මහන්තත්වය සහ 'මාධ්‍යකරණය' විසින් නිර්දයව උදුරා ගැනෙනවා.

පසුගිය වතාවක ඩඩ්ලි සිරිසේන සමග කළ වැඩසටහන නරඹන්න. ඔහුගේ උදෑසන පුවත්පත් සිරස්තල කියවීමේ වැඩසටහන නරඹන්න. මේ කියන්නට උත්සහ කරන කාරණා පැහැදිලි වේවි. ඔහුගේ සමකාලීන අනෙකුත් මාධ්‍ය සගයන්ගේ වැඩසටහන් සමග සැසඳීමක් කරන්න. චමුදිතගේ මාධ්‍ය භාවිතාව ඇත්තේ ඔහුගේ ආකල්ප සහ හැසිරීම තිබෙන තැනම බව අපක්ෂපාතීව බලන ඕනෑම කෙනෙකුට අවබෝධ වේවි.

කෙසේ නමුත්, අද වැඩසටහනේදී පරිණත වෘත්තීයවේදියෙකුගේ සහ එසේ නොවන්නකුගේ වෙනස පැහැදිලිව බලා ගත හැකියි. ඒ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහයන්ට ස්තූතිවන්ත විය යුතුයි.

~✒️ Aash Weerasinghe

වැඩසටහනට: හිරු සලකුණ 2022/07/25

Monday, July 25, 2022

Omerta (2017) - වියරු ත්‍රස්තයෙකුගේ සන්සුන්බව

2022 ජූලි 25දා සිනමාවේදීන් සහ භාරත සිනමා රසික සංසදය සමූහයන්ට

Omerta - IMDb 7.1/10

"Who are you?" 
"I am the saviour" 

"A gripping study of evil" - The Hollywood Reports

කාර්යබහුලත්වය නිසා සති එකහමාරකින් විතර චිත්‍රපටයක් නොබැලූ බව මෙනෙහි කරමින් ඉන්නකොට කාලෙකට කලින් බැලුව චිත්‍රපටයක් මතකෙට ආවා.

2017දී තිරගත වුණ Omerta නිර්මාණය වී ඇත්තේ Ahmed Omar Saed Sheikh නම් බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත පකිස්ථානු ත්‍රස්තවාදියාගේ ජීවිත කතාව ඇසුරෙන්. මෙහි ඔමර්ගෙ චරිතය නිරූපණය කරන්නේ රාජ්කුමාර් රාඕ. කතාවට පසුබිම් වන ප්‍රධානම සිදුවීම තමයි 2002 වසරේදී Daniel Pearl නම්  ඇමරිකානු Wall Street Journal මාධ්‍යවේදියා පකිස්ථානයේදී පැහැරගෙන ඝාතනය කිරීම. ඒ හැර 1994දී දිල්ලියේ සිදුවූ විදේශිකයන් පැහැරගැනීම්, 911 ප්‍රහාරය, 2008 මුම්බායි ප්‍රහාරය ආදී අවස්ථා ගණනාවක ඔමර්ගේ භූමිකාව සහ සහභාගීත්වය කතාවේ නිරූපිතයි. 

බ්‍රිතාන්‍යයේ උපත ලබා හැදී වැඩුණු ඔමර් අන්තවාදීන්ට එකතු වීම සහ එතැන් පටන් ඔහුගේ ක්‍රියා කලාපය, අන්තවාදය වෙනුවෙන් කළ කැපකිරීම් චිත්‍රපටයේ නිරූපණය වෙනවා. චිත්‍රපටය ගැන කතා කරද්දී රාජ්කුමාර් රාඕගේ රඟපෑම ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕන. අමුතු චරිත, අමුතු නිර්මාණ තේරීම් කරන, ඔහුටම ආවේණික රටාවකට වාණිජ කලා සමබරතාවයක් පවත්වාගෙන යන රාජ්කුමාර් කළ මතක හිටින රංගනයන්ගෙන් එකක් Omerta. ඒ වෙනුවෙන් ඔහුට බොහෝ අගය කිරීම් ලැබිලා තියෙනවා,විචාරකයන්ගෙන්. බ්‍රිතාන්‍ය ඌරුවට ඉංග්‍රීසි කතා කරන, අතිශය තැන්පත් සහ වැදගත් පෙනුමැති, සන්සුන් නමුත් වියරු/මිනීමරු/ psycho බැල්මක් ඇති, චෙස් ක්‍රීඩා කරන, ජිහාඩ් පැතිරවීමේ විශාල කාර්යභාරයක් ඉටු කළ ත්‍රස්තවාදියාගේ චරිතය රාජ් කොයිතරම් තාත්විකව ඉදිරිපත් කර ඇතිද කියනවා නම් හැබෑ ඔමර් ගැන සොයා බලද්දිත් ඒ විස්තරවලට ගැලපෙන බව දැනෙන්නේ තිරයේ මැවුණ ඔමර් මිසක් හැබෑ පුද්ගලයා නෙවෙයි.

කතාව ගලායද්දි ඇතැම් සිදුවීම් තව පැහැදිලි වෙන්න තිබුණා කියා හිතුණත් ඔමර්ගේ රංගනය මුලු චිත්‍රපටයේම අඩුලුහුඬුකම් වහගෙන පැතිරෙන නිසා ඒක අමතක කරන්න පුළුවන්. විශේෂයෙන්ම අතිශය වියරු අවස්ථාවලත් ඒ වියරුව යටපත් කරන ඔමර්ගේ සන්සුන් කතාව අතිශය තාත්විකයි. රාජ් ඒ චරිතයට කොයිතරම් නම් ආවේශ වුණාද කියනවා නම් රූගත කිරීම් අතරතුර 2015දී සිදුවූ පැරිස් ප්‍රහාරය ගැන පවා මහා දුෂ්ට සතුටක් දැනුණ බව ඔහු සඳහන් කර තිබුණා. අනිවාර්යයෙන්ම කළ දුෂ්කරම චරිතය බවත් ඔහුගේ සම්මුඛ සාකච්ඡාවක සඳහන්. 

Mukul Dev සහ Hansal Meheta සුසංයෝගයෙන් බිහි වුණ Omerta පැය 1යි විනාඩි 45ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක්. 

Omerta කියන නම හැදී ඇත්තේ Omar පසුබිම් කරගෙන බව හිතුණත් ඇත්තටම Omerta යනු විශ්ෂයෙන්ම ඉතාලිය මුල් කරගත් මාෆියාවේ දී පාවා නොදී නිහඬවීම/මරණය තෙක් පක්ෂපාතීත්වය යන්න කියවෙන වචනයක් (Code of silence). පොත් කියවන කෙනෙක් නම් Mario Puzoගේ The Godfather series එකේ එන පොත් ත්‍රිත්වයෙන් අවසන් එකත් Omerta යන නමින් තියෙන්නේ. නමුත් පොත සහ මේ චිත්‍රපටය කිසිසේත් සම්බන්ධ නැහැ. 

අවසාන වශයෙන් හැබෑ ඔමර් ගැන කියනවානම් දැනට 49 හැවිරිදි වියේ පසුවන ඔහු තවම ජීවත්වෙනවා. Daniel Pearl ඝාතනයට චූදිතයා වූ නිසා වසර 19කට ආසන්න කාලයක් තිස්සේ තවම සිරබත් කමින් පකිස්ථානයේ ලාහෝර් නුවර සිටින බව තමයි කියැවෙන්නේ. පහළ තියෙන පිංතූර අතර හැබෑ ඔමර්ගේ තරුණ කාලයේ සහ පසු කාලයක පිංතූර ඇතුළත්. 

Mehta stated that his intention behind making Omerta was to explore evil as a "human characteristic". He further said that he wanted to leave the audience with a sense of "awe, disgust, hate, surprise" and to examine the "ramifications of these [terror] events on their lives today." - Wikipedia 

මෙහ්තාගේ ඒ අරමුණ අතිසාර්ථකයි! 

පුලුවන් නම් හොයාගෙන චිත්‍රපටය බලන්න. ඔමර්ගේ වියරුව ඔබටත් දැනෙයි, හැඟෙයි, ඒකෙන් මිදෙන්න ටික දවසක් යයි. ඒ අවධානම අරගෙන බලන්න😊

~✒️ Aash Weerasinghe

Wednesday, July 20, 2022

පොලිටිකල් ගේම් ද? කලටිපොල් ගේම්ද?

එදා වගේම අදත් මම කියන්නේ අරගලය කියන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක්. 

අරගලේ සැලසුම් කරද්දී, පටන් ගනිද්දී මොන විසඳුමත් අවසානයට කැරකිලා එන්නේ ව්‍යවස්ථාවට කියන එක දැනගෙන හිටියේ නැද්ද කියලා අරගලේ කැඳවුම්කාරයන්ගෙන්/දෘශ්‍ය සහ අදෘශ්‍යමාන නායකයන්ගෙන් අහන්න. 
ඒ වෙලාවේ හැමෝම වැඩ කළේ හැඟීම්වලට වහල්වෙලා. ඒ වගේ ඇසිය යුතු ප්‍රශ්නවලදී විචාර බුද්ධිය එතැනින්ම වහලා දැම්මා නේද "ඉස්සෙල්ලා ගෝඨාභය යවන්න ඕන, ඊටපස්සේ වෙන දේ එතකොට බලාගමු, ආ අන්න තැරි දාර බයි ප්‍රශ්නයක් අහනවා කට්ටිය, අන්න බයියෝ" වගේ උත්තරවලින්. ඒ උත්තර පටන්ගන්න ඇත්තේ කොතනින් කියලද ඔහෙලට හිතෙන්නෙ? 

දේශපාලන ඔස්තාද්ලා, සුපතල නීතීවේදියෝ එකතුව දේශපාලනිකව 'අධි-සවිඥානික' ජනතා නායකයන්ගේ මූලිකත්වයෙන් සිදුකෙරුණ අරගලයක අවසාන විසඳුම ව්‍යවස්ථාවට පිටින් ගේන්න බැරිබව දැන නොහිටින්න පුළුවන්ද? 
ලොකුම එකේ සද්දෙන් ඒ ජනාධිපති එලවගත්තට, සද්දෙටයි තගටයි එළියේ ඉඳන් ව්‍යවස්ථාව සහ නීතිය වෙනස් කරන්න බැරිබව දැනගෙන හිටියේම නැතුව ඇතිද? 
කවි ගී ගයපු 'ජනතා පරමාධිපත්‍යය' ඇත්තටම රකින්න තිබ්බා නම් මැතිවරණය තමයි අවිය බව ඒ උදවිය දැනගෙන හිටියේම නැතුව ඇතිද?
ජනතාවට නොලැබෙන මැතිවරණයක් ඊළගට යන්නේ කොතනටද කියලා දැනගෙන නොඉන්නම ඇතිද?

එහෙනම් කව්රු හරි ලස්සනට හැමෝවම ඇන්ඳුවා කියලා ඔහෙලට හිතෙන්නේ නැද්ද? ඇන්ඳීම කෙසේ වෙතත් හැඟීමෙන් විචාර බුද්ධිය වහගෙන රැල්ලෙ ගහගෙන ගිහින් තමන්ම ලස්සනට ඇඳගත්තා කියලා ඔහෙලට හිතෙන්නේ නැද්ද?

ඔහෙලට ගල් පතුරු දෙකක් දීලා ගින්න අවුලගෙන ඒකෙන් සීතල මකාගන්න හදපු පිරිසක්, ඒ ගින්න මදිවුණාම කරකියා ගන්න දෙයක් නැතිව තමන්ම එළියට බැහැලා ගල් පතුරු අතුල්ලන්න ගත්තා ඔහෙලා දැක්කද? 
හැංගිලා බැන්ඳ වෙස්මූණු නටන්නත් කලින්ම ගැලවුණා දැක්කෙ නැද්ද? 
දැන් ඒ වෙස්මූණු ආයෙම බැඳගන්න ඔහෙලවම බිල්ලට දෙන්න හදනවා තවම ඔහෙලට පෙනුණෙ නැද්ද? 
ඔහෙලා පිටින් දාලා, තමන් වෙනුවෙන් කරන දේවල්වල සුජාතභාවය ඔප්පු කරන්න දත කනවා ඔහෙලා තාම දැක්කෙ නැද්ද? 

දේශපාලනේ තෙම්පරාදු වෙච්ච මිනිස්සු හෙවත් මහල්ලෝ එක්ක ගේම් එච්චර සරල නැහැ පුතා. තමන්ගේ ප්‍රසිද්ධිය පාවිච්චි කරලා හරි අද ඊයේ දේශපාලනය හදාරන්න අරං පොතක් දෙකක් කියවලා ජාත්‍යන්තර දේශපාලනය ගැන අබ ඇටයක් දැනගෙන හරි කාගෙහරි සට්ටෑඹිකමක ප්‍රතිඵලයක් හැටියට හරි විකල්ප කඳවුරුවල ලකා ගැහීම නිසා හරි ඇඟේ/කටේ හයියෙන් හරි 'අපි තමයි මචං කෙරුමො' කියලා අධිමානයෙන්, අධිතක්සේරුවෙන් අරගොල්ලෝ එක්ක හැප්පෙන්න බෑ. ඒ මොළ තරුණ නෑ හැබැයි මෝරලා!  ඔහෙලත් එතනට යයි දවසක.. හැබැයි ඊනියා හීනවලින් බිමට බැහැලා සිහියෙන් සහ විවෘත මනසින් ලෝකය දකින්න පුළුවන් වුණොත්. 

අන්තිමට සමහරු හොරෙන් හොරෙන් පටන්ගත්ත ගේම්වල බොක්ක ඇදලා කව්රු කව්ද කියලා නිර්වස්ත්‍රම කරලා දැම්මනේ! 
ඔව්වා මතක තියාගන්න ආයෙත් රැලි දැක්කම අමුඩ ගහන්න කලින් මතක් කරගන්න. 

ජෙහාන්ගෙ ගේම් විතරක් දැකලා ඒ මත ඔක්කොම තීරණය කරගන්නත් එපා ඉතින්😉

පොලිටිකල් ගේම් කියලා හිතං කලටිපොල් ගේම් ගහන්නත් එපා😂

~✍️ Aash Weerasinghe

#AW #lka #අරගලේපසුකතා #නිර්පාක්ෂිකඅරගල #සිරිලංකන්පොලිටික්ස් #PresidentialElections2022

අරගලේ ජනපති

"නිර්පාක්‍ෂිකයෝ" අද දවස හොඳට මතක තියාගන්න.

කව්රු කෑගැහුවත් දැඟලුවත් තර්ජනය කළත් 'අරගල' කළත් සාකච්ඡා කළත් කොන්දේසි දැම්මත් පොරොන්දු ගත්තත් කයිය ගැහුවත් "ජනතා පරමාධිපත්‍යය" 225කට ලඝු කරවගත්තෙ ඔහේලමයි. දැන් ඉතින් පණ්ඩිත කතා කියලා හිත හදාගන්න.

ලක්ෂ 69ක ජනතා පරමාධිපත්‍යයට හිනා වෙලා බැනලා නටලා අන්තිමට 'එපා කිව්ව' 225න් ජනාධිපතිවරයා තෝරගන්න වුණ එකම නිකං කණ හරහා ගැහුවා වගේ දැනුණේ නැත්නං තාම😂😂😂

#නිර්පාක්ෂිකඅරගල #සිරිලංකන්පොලිටික්ස් #AW #8thExecutivePrezinSL #RW #PresidentialElections2022

Sunday, July 17, 2022

Joker (2019) - ආතර්ලා ජෝකර්ලා නොකරමුද

2022 ජූලි 17දා සිනමාවේදීන් සමූහයට 

Joker (2019) - 8.4/10 IMDb

තිරගත වීමෙන් අවුරුදු තුනකට පස්සෙ ඇයි මම ජෝකර් බලන්නේ? අහේතුකයි. ඒ දවස්වල හැම සංවාදයකම තිබ්බට, බාගත කරගෙන හිටියට මට හිතෙන වෙලාව ආවේ පහුවෙලා.😊

"I just hope my death makes more cents (sense) than my life" 

ජෝකර් මාව සෑහෙන කම්පනයට පත් කරපු චිත්‍රපටවලින් එකක්. Joaquin Phoenix ආතර්ව ඇත්තටම ජීවත් කරවනවා. හැම ඉරියව්වකම, බැල්මකම, ශරීරයෙන් පවා ආතර්ව යථාර්ථයක් කිරීමේ පුදුමාකාර කැපකිරීමක් ඒක. අනිවාර්යයෙන්ම ලේසි වැඩක් නෙවෙයි. ඒ වගේ චරිතයක් තුළ ජීවත්වෙලා ආපහු පියවියට එන එක ගැන හිතාගන්නත් අමාරුයි. 

ආතර්ගේ නොනවතින හිනාව හරිම කම්පනාත්මකයි. හිනා හඬ ආවට ඒ මුහුණේ ඉරියව් දැක්කම පපුව පැලෙන්න වගේ එනවා. ඒත් එක්කම මක්සිම් ගෝර්කිගෙ ප්‍රසිද්ධ කතාවක් මතක් වෙනවා 'වැඩියෙන් හිනාවෙන්නෙ වැඩියෙන් අඬන මිනිස්සු'. කෑගහලා අඬන්න බැරිකමට මිනිස්සු කෑගහලා හිනාවෙනකොට ඒ මිනිස්සුන්ගේ හිතේ කොහොම තත්ත්වයක් තියෙන්න පුළුවන් ද? එහෙම මනුස්සයෙක්ට හැපී කියලා සුරතල් නාමයක් තිබීමම දෛවයේ කොයිතරම් නම් ලොකු සරදමක්ද? 

ආතර්ගේ standup comedian කෙනකුවීමේ ආශාවට ඔහුගේම අම්මාගේ ප්‍රතිචාරය මතකද. 
"But, Happy what makes you think you could do that?" 
"What do you mean?" 
"I mean, don't you have to be funny to be a comedian?" 
තමන්ගේ සමීපතමයන්ට තරම් කෙනෙකුව රිද්දන්න කාටවත් බෑ. විශේෂයෙන්ම, කෙනෙකුගේ අරමුණක් ගැන, හැකියාවක් ගැන ඔහුට සමීපතම අය සැකසංකාවෙන් කතා කිරීම හෝ බාල්දු කර කතා කිරීම ඒ මනුස්සයාගේ පෞර්ෂයයට දෙන දැඩි අතුල් පහරක්. ඒ තරම් අසරණ කිරීමක්, වේදනාවක් දරාගන්න එක ලේසි නැහැ. 

සමහරවෙලාවට, තවත් කෙනෙකුට තේරුම් ගන්නට බැරි දෙයක් පැහැදිලි නොකර නිශ්ශබ්දවීම පහසුයි. සාමාන්‍ය මනුස්සයෙක්ට වගේම ඒක ආතර්ලාටත් එහෙමයි. 

ආතතිය/විශාදය ලෝකෙටම පොදු මාතෘකාවක් වෙලා ඉවරයි. නමුත් එක සමාජයක්වත් තාම හණමිටි අදහස්වලින් බැහැර වෙලා නෑ. එවැන්නෙකුට සුවපත්වෙන්න උදව් කිරීම වෙනුවට තවතවත් අසරණ කිරීම තමයි හැම සමාජයකම පාහේ වෙන්නේ. ආතර්ට අවශ්‍ය වුණේ පිළිගැනීමක්, ආදරයක්, සමාජයේ තමනුත් ගෞරවනීය මනුස්සයෙක් කියලා හැඳින්වීමක්/ඉඩක්. ඔව්, ආතර්ගේ අතීතයෙන් ලොකු බලපෑමක් ඔහුගේ පෞර්ෂයයට වෙලා තියෙනවා. සම්පූර්ණයෙන්ම පිළිසකර කරන්න බැරිවුණත් යම්දුරකට කරන්න ඉඩක් තියෙන්නත් ඇති. ඒත් ලෝකේ එච්චරටම කාරුණික වෙන්නේ නෑ.

මතකද මුලින්ම ආතර් බස් එකකදි පොඩි ළමයෙක්ව හිනස්සවන දර්ශනය. ඒකෙදි දරුවගෙ අම්මා කියන්නේ මගේ දරුවට ඉන්න දෙන්න කියලා. එක අතකට ඒකත් වැරදි නෑ. සමාජයෙ වෙන දේවල්වල හැටියට එහෙම වුණත් ඒ එක්කම අවශ්‍ය තැනදි නැති ආරක්ෂාවක් අනවශ්‍ය තැනකදි අනවශ්‍ය තරම් යෙදෙනවා නේද කියන එකත් නොකියා කියනවා. මොකද ඒ මොහොතේ ඉන්න ආතර් අහිංසකයෙක්. නමුත් සමාජය නිරායාසයෙන්ම ඔහුව කියවගන්නේ පිස්සෙක් හෝ විකෘතියක් හැටියට. මොහොතකට හිතන්න මෙහෙම ලියැවුණු කාඩ්පතක් ඔබට හෝ මට බස් රථයකදි කෙනෙක් දුන්නා නම්? මම නම් අනිවාර්යයෙන්ම කාඩ්පත අතට ගැනීම පවා ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව ලංකාවේ නම් ඔවැනි කාඩ්පත්/ පත්‍රිකා බෙදමින් යන්නේ හිඟමන ව්‍යාපාරයක් කරගත්තවුන් වීම සහ ඒවයේ තිබෙන අපිරිසිදුබව නිසා. 

"Forgive my laughter: I have a condition. 
It's a medical condition causing sudden, frequent and uncontrollable laughter that doesn't match how you feel. It can happen in people with a brain injury or certain neurological conditions" 
 ආතර්ගේ මේ වචන ටික කියවද්දි ලොකු කණගාටුවක් දැනෙනවා. බසයේ සිටින කාන්තාව ඒ ගැන තැකීමක් නෑ. ඒකත් අර ඇතැම් මිනිසුන්ගේ ව්‍යාපාර නිසා සිද්ධවෙන, සත්‍යය තවදුරටත් සත්‍යයක්මද යන්න නොදන්නා විචිකිච්ඡාව වෙන්න පුළුවන්.

ආතර්ගේ උපදේශන සායනය වසා දමන්න යන බව කියද්දි ඒ කාන්තාව කියන්නේ "they don't give a shit about people like you" කියලා. තත්පර ගාණක නිහැඬියාවකින් පස්සෙ ඈ කියනවා "they don't give a shit about people like us either" කියලා. ඒක විවිධාකාර විදිහට කියවගන්න පුළුවන් කතාවක්. මේ සමාජයේ මානසික රෝගීන්ට පිහිටක් නැහැ කියන එක සහ සමාජය රෝගී නිරෝගී හැමෝටම බෙදන්නේ එකම හැන්දෙන් කියන එක. සමාජය දුවන්නේ උපකල්පන මත. මතක ඇතිනම් ආතර්ගේ දිනපොතේ ඔහු ලියන විහිලුවක් "The worst part of having a mental illness is, people expect you to behave as if you DON'T" ඒක හරිම තිත්ත ඇත්තක්. ආතර් වගේ මිනිස්සුන්ට ඒක විහිළුවක්, සාමාන්‍ය මිනිසුන්ට ඒක නිකංම නිකං කතාවක්.

රෝගී නිරෝගී හැමදෙනාටම ආදරය බෙහෙතක්. ආදරේ කරන්න විඳින්න ආතර්ලටත් හීන තියෙනවා. ඒත් සාමාන්‍ය මිනිස්සු ආතර්ලට බයයි. ඒ බයත් සාධාරණයි. ආතර් තමන්ගේ ප්‍රේමය මවාගෙන ජීවත්වෙන එක දකින්න දුකයි. එක තැනකට එනතුරුම අපිට හිතන්න ඉඩ ඇරලා තියෙන්නේ ආතර් එයාගෙම විදිහට හිතන පතන කෙනෙක් එක්ක ආදරෙන් බැඳිලා කියලා. ඒකනෙ හැමෝටම ආදරේදි පොදු බලාපොරොත්තුව. තමන් වගේම තමන්ට ආදරේ කරන, තමන්ට සහ තමන්ගේ ආකල්පයට බයෙන් පැනලා යන හෝ තමන්ව අසාධාරණව ප්‍රතික්ෂේප නොකරන, ජීවිතේ මහන්සි දැනෙන දුක දැනෙන කළකිරෙන තැනකදි ලොකු දෙයක් කරන්න බැරිවුණත් තමන් ළග ඉන්න, වචනයකින් හරි තමන්ට ශක්තියක් වෙන කෙනෙක් බලාපොරොත්තු වෙන එක අපරාධයක් නෙවෙයිනේ. හැබැයි ඒක මායාවක් කියලා ආතර්ට තේරෙන්නේ පස්සේ,සාමාන්‍ය මිනිස්සුන්ට වෙලාවකට වෙනවා වගේම ඒක පොදු අත්දැකීමක්. නමුත්, ආතර්ලට ඒක දැනෙනවා ඇත්තේ තවත් පියවරකින් එයාලව 'let down කළා' වගේ වෙන්නැති. 

සංවේදී මිනිස්සු තමන් උපරිම ආදරය කරන අයව දේවත්වයෙන් සලකනවා. ආතර් තමන්ගේ අම්මව මේ ලෝකේ තමන්ට තියෙන එකම වස්තුව හැටියට සලකලා ආදරය කරනවා, විශ්වාස කරනවා, රැකබලා ගන්නවා. ඒ වගේ දේවත්වයෙන් අදහන අයගෙන් රැවටීමකට ලක්වෙන එක සාමාන්‍ය මනුස්සයෙක්ටවත් දරාගන්න බැරිකොට ආතර්ලා කොහොම දරාගන්නද? එතනදී ආතර්ගෙ ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම අසාධාරණ සහ භයංකාර එකක්. ඒකට දාර්ශනික උත්තර දීලා වැඩක් වේවිද කියලා මම දන්නේ නැහැ. 

තමන්ට පිස්තෝලයක් ළග තියාගන්න බැහැ කියද්දිත් පිස්තෝලයක් ලබාදුන්න මිත්‍රයා මතකද. සමහරවිට සද්භාවයෙන් කරන දේවල්වුණත් බූමරංගවෙලා තමන්ටම වන්දි ගෙවන්න වෙන්නත් පුළුවන්. Randallව මරා දැම්මත් ආතර් තමන් ගැන පොලීසියට දැනුම් දෙන්න පුළුවන් කියලා දැනදැනත් අර මිටි මනුස්සයට (Gary) යන්න ඉඩ දෙනවා. ඒ යද්දී කියන කතාව මෙතෙක් මට කාරුණික වුණේ ඔයා විතරයි කියන එක. 

"Is it just me, or is it getting crazier out there?" 
"It is certainly tense" 
"Hmm" 
"People are upset. They're struggling. Looking for work. These are tough times."
(Arthur smiles) 

ආතර්ට දේශපාලන කියැවීමක් නෑ. දේශපාලනය ගැන උනන්දුවකුත් නෑ. ඒත්,ආතර් නොදැනීම දේශපාලනයේ අතකොළුවක් බවට පත්වෙනවා. ආතර්ගේ පීඩනය වෙනස් එකක්. ආතර් ඉන්න සමාජයේ පීඩනය ඊටත් වෙනස් එකක්. නමුත්, ඒ පීඩනයන් දෙකම පුපුරායන්නේ එකම විදියට. ආතර් සමාජයේ පීඩනයට හේතුව ගණනකට ගන්නෙ නැහැ, ඔහුට තමන්ගේ පීඩනය ඊටවඩා බරයි. සමාජය ආතර්ගෙ පීඩනයක් ගැන දන්නෙවත් නැහැ. නමුත්, ආතර් පීඩනය පිටකළාම ඒක මානසික රෝගියෙක්ගේ පීඩනය පිටකිරීමක් හැටියට සමාජය තෝරමින් බේරමින් ඉන්නෙත් නැහැ. සමාජය ඒක පිළිගන්නේ වීරත්වයක් හැටියට. ඔවුනුත් ඒ මගම යමින් ආතර්ව අනුකරණය/ අනුගමනය කරනවා. ඒක නිකංම රැල්ලක්, කැරැල්ලක් බවට පත්වෙනවා. ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් මේ දිහා බලං ඉන්නකොට ඒක කොයිතරම් නම් භයානකද කියලා අපිට දැනෙනවා. 

අපිට ඕන නැහැ ආතර්ලා තව බිහිකරන්න. අපිට ඕන නැහැ අපි අතර ඉන්න ආතර්ලා ජෝකර්ලා ලෙස බෞතීස්ම කරලා කවදාවත් ආපසු හැරවිය නොහැකි තරමේ විනාශයන්ට පාර කපන්න. මනස රෝගීවීම කය රෝගීවීමට වඩා දහස් ගුණයක් භයංකාරයි. පැනඩෝල් පෙත්තකින් මනස සුවපත් කරන්න බැහැ. ඒකට ආදරය, කරුණාව, කාලය වගේම සමාජයේ සහකම්පනය සහ සහයෝගයත් තියෙන්න ඕන. අපි හැමෝම ඒ ටික තේරුම් ගත්ත දවසක ආතර්ලා තිඹිරිගෙයිම මරාදාන්න අපිට පුළුවන් වෙයි. 💐😇❤️

~✒️ Aash Weerasinghe

Thursday, July 14, 2022

පුල්ලි පුල්ලි අල්ලි රටා

Go home, go home කියල ඒ යකාට මෙහෙ ගෙදරක ඉන්ඩත් නෑ, තියෙනවයි කියන රට ගෙදරට යන්ඩත් නෑ. මොකද්ද අයිසේ මේකෙ තේරුම? මැරෙන්ඩ කියලද කියන්නේ?🙄

ඔහෙලැයි ප්‍රජාචංච්‍රවාදේ කොච්චරද කියනවා නං රටේ හිටපු ජනාධිපතිට 'මරණ බයට' රටෙන් යන්ඩ වුණා කියලා දැන් කියන්න පුළුවන් කිසිම ගේමක් නැතුව. ඊටපස්සේ ජූලි 9 ඉඳන් ඔහෙලැයි හැසිරීම ජාත්‍යන්තරයටම දුන්නා ප්‍රතිරූපයක් ලස්සනට ඉතින් ආයේ තලේබාන් එවුන් නාඩගංකාරයෝ බලන් එක අතෑරලා දැන් ඒ වීඩීයෝලු බලන්නේ😂 රූපවාහිනියෙ සැලළිහිණියා උස්සන්න ගිය එක, මන්දිර 'අල්ලගෙන' 'ජනසතුකරලා' කරපු විනාශවල ඉඳන් ඊයේ මාලිමාවේ ලණුව කාලා නැටුව නැටිල්ල වෙනකල් සේරම අර තියෙනවැයි කිව්ව ප්‍රචාචංච්‍රවාදේ බේරුවා රෙද්ද පල්ලෙන්! 😅😅

ඒ එක්කම මන්දිර අල්ලගත්ත තැන්වල නිබඳ සෙවණැලි සේ රැඳිච්ච දේශපාලන රූප, හෙංචයියලා (ඒ හෙංචයියලා අස්සෙ ඉන්න නිළිබට්ටිලා, ටියුබ් තාරකා, සමාජ ක්‍රියාකාරීන් කියන කට්ටිය) විතරක් නෙවෙයි පාදිලියොයි චීවරයොයි ටික' නිර්පාක්‍ෂික' යවලා ඉවරයි දෙපැත්තෙන්! 😅

ආං ඒ අල්ලපනල්ලේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතාවෙනවා 'දමිළ සංහාරය' සහ යුධ අපරාධ චෝදනා යටතේ ගෝඨාභය රාජපක්‍ෂට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරලා අත්අඩංගුවට ගන්න! ඒ අස්සේ මෙහෙ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය නෝංජලයන් තත්ත්වයට පත්කරමින් මාස ගාණක් තිස්සෙ  අපහාසයට උපහාසයට ලක් කරනවා 'අරගල කරන මහජනයා'. තාම පුල්ලි පෙනුනේ නැති උංට පෙනෙයි, කල් යයි! 
එතකොට ආයෙ දියසෙන්ලා, දුටුගැමුණුලා, විහාරමහාදේවිලා, නිදිගත් රාවණාලා බැරිමවුණොත් සාප කරපු කුවේණිලා හරි හොයාපල්ලා! ගොං රැළ! 😂😂😂

~✒️ Aash Weerasinghe

#SriLanka #SriLankaCrisis #SriLankaProtests #නිර්පාක්ෂිකඅරගල #අරගලේපසුකතා #සාමකාමීඅරගල

රැල්ල වෙරළට!

ඊයෙ වෙනකල් රඟපු ඕමල්පෙට අද මොකද වුණේ කියලා දන්න කෙනෙක් කියනවද ප්ලීස්?
අන්න ඒකට ජීවන්ත! තාම ගේම් එක අතෑරලා නෑ.
කාඩිනල්? ආ එයත් එච්චරයි. මං හිතන්නේ තාම රහ කරලා කියන්න ප්‍රකාශය ලියවනවා වෙන්ඩැති.😂
නිකාස්ලා? ආ ඒගොල්ලො දැන් ප්‍රචණ්ඩත්වයට කැමති නෑලු. 

අන්තිමට චීවරයි ලෝගුයි නෝණ්ඩි වෙලා මවුලානලයි පූන නූලුයි හොඳ මුණියෝ වෙන්නත් පුළුවන් ඈ😂

තියෙන දහමක් දෙසාගෙන ඉන්නෙ නැතුව එක එකාගේ දේශපාලන ගුණ්ඩුවලට උල්පන්දම් දෙන්න ගිහින් තමන් නැහෙන එක වෙනයි, මිනිස්සුන්ව කුලප්පු කරලා විනාසෙට මග පෙන්නලා පස්සෙ උපාසක ටෝක් දෙන එක වෙනයි. හැබැයි ඉතින් කාගෙ කාගෙත් වෙස්මූණු ගැලවිච්ච එක වඩා හොඳයි! තාමත් ඒක පිළිගන්න අකමැති ඈයෝ තවත් හොඳාආආයි!

~✒️ Aash Weerasinghe

ආ මේ status උස්සනකොට ඔය ඔක්කොම copy කරගන්ඩ. අපරාදේ නේ😅

#AW #අරගලේපසුකතා #නිර්පාක්ෂිකඅරගල #SriLankaProtests

නිර්පාක්‍ෂිකයි ඈවරයි දෑවරයි!

දැන් අර 'නිර්පාක්‍ෂික අරගලය' ඉවරද ඈ?🙄
තිරෙන් පිටිපස රඟපු සමහරු දැන් 'නෝ චාන්ස්' වේගෙන එද්දි හිමින් බැහැලා යනවා. පළාතක නොහිටි අය තිරයේ රඟනවා. තාම දෙපැත්ත බැලන්ස් කරන අය දෙපා දෙපැත්තට තියං බලං ඉන්නවා. තාම එළි නොබැහැපු මූණුවල ඡායාවලුත් පාවෙනවා පේනවා.

ඔයා කොයි පැත්තෙද මිත්‍රයා?😎

#AW #SriLankaProtests #අරගලේපසුකතා
#නිර්පාක්ෂිකඅරගල #සාමකාමීඅරගල #PeacefulProtesters

Sunday, July 10, 2022

ලංකා සභ්‍යත්වයේ මගේ විඳීම (විඳවීම)

ජූලි 9 උදේ කලුකඩ ගාණට ගිය කිලෝමීටර් 19 ආපහු එන්න වුණේ පයින්! මගේ ආත්තම්මලා බකල ඇරලා අතගාලා හදලා දුන්න කකුල් දෙකට සහ ආත්තම්මලා දෙන්නට පින් දිදී පැය 6ක් තිස්සේ කළ ගමනක්!

ගමන පටන් ගනිද්දිත් ඩීසල්, පෙට්‍රල් නැති රටේ වාහන, ලොරි, කන්ටේනර් බාගවල නැගලා සිංහ කොඩි වනමින් ගිය උදවියගේ ආරාධනා ආවා 'අරගලේට යනවා නං එන්න'! ඒ අතර ලොරි ඇතුලේ 'ආතල්' ගන්න 'නංගි' කෙනෙක් හොයන 'අයියලත්' හිටියා! 

පාලු පාරවල වාහන ගියේ කිහිපයක්, ඉඳලා හිටලා. මගේ ගමන පටන් ගත්තේ කිරිබත්ගොඩින්. ආවේ කැළණිය පන්සල පැත්තෙන් අංගොඩ හරහා. කැළණි පන්සල පහුකළායින් පස්සේ අංගොඩට එනකල් කොටස කොයිවගේද කියලා අමුතුවෙන් කියන්න ඕන නැතුව ඇතිනෙ දන්න කෙනෙකුට. ඉඳලා හිටලා අතුරු පාරක දෙමව්පිය ඒකාධිකාරයෙන් මිදුණු ළමයි ක්‍රිකට් ගහනවා, බයිසිකල් පදිනවා, වෙල්දෙණි බඩවැටිවල ඇවිදිනවා, මේ අව්අස්සේ පොඩි උං ඇත්තටම ළමා දිනය විඳිනවා. ඒ ගැන සතුටුවෙමින් පයින් එනකොට තනියම කෙල්ලෙක් පයින් යද්දි ඒක වැඩිහිටියන්ට පමණයි දිනය කරගන්න උත්සහ කරපු මහඋං  විවිධාකාර ක්‍රියාකාරකම් යෝජනා කළා මග දිගට. ඒ අතර වාහන ඇඟට කැපීම් වගේ සුළු දේවල්වල ඉඳන් රමණය කළ හැකි ක්‍රම සහ අත්හදා බැලීමට කළ ආරාධනා, ස්ත්‍රී නිමිත්ත සන්තර්පණය කළ හැකි ආකාර සහ හැකියාව ගැන කයිවාරු, මැඳැඟිලි උරා පෙන්වීම් ඇතුළු අසභ්‍ය හස්ත මුද්‍රා/හැසිරීම්, ලුහුබැඳීම්, සැකකටයුතු ලෙස වාහන/බයිසිකල් නැවැත්වීම්, කුණුහරුප කීම් නොඅඩුව තිබුණා. මෝටර් සයිකල්වල ඩබල් දමාගෙන සිංහ කොඩි වනමින් ගිය සමහර අයියලා මේ නංගි අරගලයට යනවා නං අසවල් එක මත නග්ගාගෙන හෝ ගෙනියන බවටත් පොරොන්දු වීසී කරමින් ගියා! 

බත්තරමුල්ලට එනකල් ඒ පහුකරන් ආ කොටස මට එතරම් හුරු නැති නිසා නොනවත්වාම ගමන් කළත් ඒ අතර වැඩි අවධානයක් දෙන්න සිද්ධ වුණේ ආරක්ෂාව ගැන. බත්තරමුල්ලෙන් පස්සෙ ප්‍රශ්නයක් නැතැයි කියලා හිතාගෙන ජපන් මිත්‍රත්ව පාරට හැරෙන තැන උද්‍යානයේ සිමෙන්ති බංකුවක වාඩිවුණා ගිමන් නිවන්න. (ඔව්, අර මාදුළුවාවේ සෝභිත හිමියො කව්ද සෙට් එකක් එක්ක ප්‍රතිමා බවට පත්වෙලා ඉන්න තැන). ගඟ ගලනවා වේගෙන්, වෙනදා තරම් වාහන නලා ඝෝෂා නැතිව නිස්කලංකව හුස්මක් ගන්න කියාපු තැන.  අරගල ඉවර කරලා යන දෙන්නෙක් ඇවිත් එහා මේසෙක වාඩිවෙලා කෑම කෑවා, ඉතිරි බත් පාර්සලයක් එහෙමම බිම අතෑරලා දාලා ගියා. තව කොටසක් උද්‍යානයට බහින තැන පාර අයිනේ බයිසිකල් නවත්වාගෙන කෑගහන්න පටන් ගත්තා. ඔව්, එතැන එවෙලෙ හිටියේ මහපාරට පිටුපාලා ගඟ දිහා බලං සිමෙන්ති බංකුවක වාඩිවෙලා මහන්සි නිවාගත්ත මං විතරයි. ඒ ආව 'අයියලා' (හැරී බලන්න නොගිහින්, මගේ ආරක්ෂාව ගැන අවධානයෙන් ඉන්න නමුත් නොඇසුණා නොදැනුණා සේ ඉඳීමේ කලාව ප්‍රගුණ කර ඇති නිසා) පුදුමාකාර දයාවන්ත මිනිස්සු! 'කොල්ලා' ඇවිත් නැතිවීම නිසා 'වේලෙන' මේ නන්නාඳුනන තරුණියට 'උදව්' කළහැකි ක්‍රම මහ හඬින් ශුද්ධ සිංහලයෙන් කියාදීමට තරම් ඒ මිනිස්සු 'අනිකාට ප්‍රේමය පතුරු ගහන' උදවිය! සෑහෙන්න වෙලාවක් කළ ඒ දේශනාවලින් පස්සේ පිරිස විසිර ගියාට පස්සෙ තමයි ආයිත් පරිසරයේ තිබ්බ සිලිසිලිය ඇහෙන්න ගත්තේ. 

පැයක් විතර එතැන රැඳිලා, තව දුර යන්න තියෙන නිසා නැගිටලා, පාර්ලිමේන්තුව පේන ඇවිදින මං තීරුව දිගේ දියවන්නාවෙ සීතල හුළඟ විඳගෙන හිමින් ආයෙත් ගමන පටන් ගත්තා. දියවන්නාවයි මං තීරුවයි අතර විශාල පඳුරු ගාල් අස්සේ ප්‍රසිද්ධියේ ගංජා ඉරීම්, මත්ද්‍රව්‍ය/මත්පැන් භාවිතා කරන මිනිස්සු! මගෙ ගමනේ සාමය කඩාබිඳගෙන ආයෙත් ආත්මාරක්ෂාව මතුවුණා හරිම වේගයෙන්. ඒ මංතීරුව තියෙන්නේ ජපන් මිත්‍රත්ව පාරට වඩා පහතින්. හදිසියකදී එක් සැණෙන් ඒ කණ්ඩිය නැගලා මහපාරට යන්න අමාරුයි. මගෙ ඉස්සරහින් දෙන්නෙක් නැවතිලා ටී-ෂර්ට් උස්සාගෙන බඩවල් එළියට දමාගෙන, වැනෙමින්, විකාර හිනා පාන්න පටන් ගත්තා. එතකොටයි මට දැනුණේ තව කව්දෝ මට පිටිපස්සෙන් ගමන් කරන බව! වහාම ජංගමයා අතට අරන් දියවන්නාවේ පිංතූර ගන්න පමාවුණා ඔවුන්ට ඉස්සර වෙන්නට ඉඩදීලා. නිශ්ශබ්දව මාව පහුකරන් ගිය නිසා ටික වේලාවක් පමාවෙලා මම ආයෙත් ගමන පටන් ගත්තා. අර පහුකරන් ගිය මිනිස්සුම ඉස්සරහ මංතීරුව දෙපැත්තේ වාඩිවෙලා බලා ඉන්නවා! මොළය රතු එළි දල්වාගෙන එන්නත් කලින් කණ්ඩියෙන් මහපාරට ගොඩවුණා වාහන කීපයක් (වෙනදා තරම් නැතත්) ගමන් කරන ප්‍රධාන පාරක ආරක්ෂාව විශ්වාසයෙන්. පහළ මංතීරුවේ මා හා සමාන්තරව වැටීගෙන අර පිරිසම නොයෙකුත් අසභ්‍ය කතන්දර කියවන්න පටන්ගත්තා. ඒ සිදුවීම මගහරින්න ගමන වේගවත් කරද්දී තව බයිසිකලයක් හෙමිහෙමින් මොනවාදෝ කියමින් සමාන්තරව පාරේ මං යන දිශාවටම ගමන් කරන්න පටන් ගත්තා. ඒකට නං සේරම තරහවල් එකතු කරවලා බැල්මෙන් ගිනිතිබ්බම ටික ටික බයිසිකලේ වේගය වැඩිවෙලා යන්න ගියා! 

හිතන්නවත් බැරි වැදගත් පාට පිරිමින්ටත් තනියම පාරක යන ගැහැණු පුලුටක් දකිනවිට සුන්දර කුණුහරුප මතක්වන බව ඊයේ මම දැනගත්තා! අතීතයේ තනි ගෑණියෙක්ට රන් අබරණ පැළඳගෙන දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරුතුඩුවට යන්න පුළුවන්කම තිබ්බ කතාවත් ඉතිහාසයේ විකෘතියක්ද කියලා පුදුම වෙමින් මම ගමනේ අන්තිම කොටසට ළංවෙද්දි රෑ හතයි!
ශාරීරික වෙහෙසට වඩා වැඩියෙන් දැනෙන්නේ මානසික වෙහෙස!  

 රට හදන්න ගිය ඉතිහාසගතයි කියන දවසකත් ලංකාවේ පාරක දැරිවියෙක්ට/තරුණියකට/ගැහැණියකට/මැහැල්ලකට පාරක තනිව යන්න බැරිනම් ඒ බිහිකරන්න විලිරුදා ගන්න කේතුමතියේ පදනමක් කොහෙද තියෙන්නේ? 
කේතුමතියට දුං අල්ලන්න ගිය/යන ඊනියා වනිතාවාදියොයි අම්බ ධර්ම ටෝක් දෙන මහිලාවොයි ඒ අත්දැකීම වින්ඳා නං තේරුම් ගනී මොකද ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් එයාලා දාර්ශනික නිසා! 

හැමදාම කියනවා වගේ දේශපාලනිකව ප්‍රශ්න විසඳන්න කලින් මුලු සමාජයේම හැදෙන්න ඕන 'ආකල්ප'. ආකල්ප හැදුණොත් 'හැසිරීම්' හැදෙයි. ඒ මූලික පදනම නැතුව 'මනුස්සකම' ත් නැතුව කේතුමතී එකට දහයක් හැදුවත් අපි ඉන්නේ එකම තැන!
මේ එක උදාහරණයක් විතරයි! 

~✒️ Aash Weerasinghe

#සුන්දරලංකා #lka #AW #9thJuly2022 #ලෝකයේරෙද්දවෙනස්කරමු #FeministS #SafetyOfWomen #womenrightsarehumanrights

Thursday, July 7, 2022

බසයෙන් බව තරණයට

ලංකා මාතාවගේ වර්තමානයට පින් සිද්ද වෙන්න බස් එකේ යන්න ගත්තා අවුරුදු ගාණකට පස්සේ!
අද තමයි තේරුණේ තුන්තිස් පැයේ බණ කියන බණ අහන අපේ රටේ ඇත්තටම අනිත්‍යය මෙනෙහි කරවන්නේ කොන්දොස්තරලා කියලා. බලන්න අතහැරීම ගැනම නොනවත්වාම කියන ලස්සන. 'අතෑරලා යන්න, මැද පේළිය ඔය පොල්ල අතෑරලා ඉස්සරහට යන්න, මල්ලී ඔය දොර අතෑරලා ඇතුළට එන්න, අතෑරලා එන්න මේ මෙහෙ ඉඩ තියෙනවා, ඔය බලන්නකො අනේ නංගි ඔය සීට් එක අතෑරලා මෙහාට වෙන්න, ඔය බෑග් එක ගලවලා දාන්න, සීට් අල්ලං ඉන්න එපා අයියේ' යනාදී වශයෙන් ඒ මනුස්සයාගේ මුලු රාජකාරි වේලාවම වෙන් වෙන්නේ ඒ මනුස්සයා පතාගෙන ආව පවුලේ උදවිය සේරෝම අතෑරීමට යොමු කරවලා සංසාරෙන් එතෙර කරන්න! පුදුම පිංවන්ත ආත්ම ඔව්වා😇🌼

ඇයි මිලමුදල් ගැන තියෙන බැඳීම්, තණ්හාවල් අතෑරවන ලස්සන බලන්න.' ආ ඇයි ඉතිරි? කාගෙද? අපෝ මේ රුපියලද ඉල්ලන්නේ? අයියෝ ඕක අරං මං මොනා කරන්නද අනේ, හපෝ ගන්න ගන්න ආ.. කෝ අර ඔයා රුපියල් දෙකක් දෙන්න තිබ්බනේ.. අනේ දෙන්න මහත්තයෝ රුපියල් දෙකක් නැද්ද ආ එහෙනම් දහයක් දෙන්න.. ආ ඉතිරි බහිනකොට ඉල්ලගන්න' වගේ මහා කරුණාවෙන් තණ්හාව දුරු කරවාලීමටම තමයි උත්සහ කරන්නේ. සමහරවෙලාවට වැඩි තණ්හාකාරයන්ට නං ඉතිරි දෙන්න ළංවෙද්දී ළංවෙන්න බැරි තරං දුරකට ගිහින් පවා ඒ කෙලෙස් අතාරින්න පුරුදු කරවන්න එතුමන්ලා පැකිලෙන්නේ නෑ.

ඒ මදිවට බලන්න ඕන සංසාර බර බෙදාහදා ගන්න අපූරුව, මගියෝ. බොහෝ වෙලාවට කොන්දොස්තර උතුමාණනුත් එතුමන්ගේ බර මගීන්ගේ කරමත තියලා සංසාරේ දුෂ්කරබව දන්වන්න අරිනවා. ඒ ඇරෙන්න විශාල මලු අරං නගින උදවිය ඒ මලු, ඇතැම් පුරුෂයෝ තමන්ගේ ප්‍රජනන ඉන්ද්‍රීයන් පවා කරමත තියලා මේ අසුන්දර සංසාරෙන් ඉක්මණින් මිදියල්ලා කියන පණිවිඩය දෙනවා හරිම හෘදයාංගම විදිහට.

ඒ අස්සේ කතන්දර පප්පල මම්මලා එහෙම ළගින් වාඩිවෙලා අතිර සසර සාගරේ ගැන කණ පුරවන්න ගන්නවා. අද එහෙම මගේ එහා පැත්තෙ හිටියේ තරුණ උපාසක මහත්තයෙක්. අපරාදේ කියන්න බෑ මට කරදර වෙන විදියට නං නලියන්න, හෙලවෙන්න, නිදිකිරන්න උත්සහ නොකර වැදගත් විදියට වාඩිවෙලා මුලු ගමනම ගියා. හැබැයි ටෙලිකොම් ආයතනයක පාරිභෝගික සේවාව වගේ. එකක් ඉවර වෙන්න එකක් දුරකතන ඇමතුම්. ඒ හැම එකකින්ම තේරුණ විදිහට ඒ තරුණ උපාසක මහත්මයට අපේ අගමැතිතුමාට වඩා ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන්න ඕන. හැම රටකම වගේ නියෝජිතයන් සමග රටේ පවත්නා අර්බුදකාරි තත්ත්වය, නවතම බස්ගාස්තු සංශෝධනය, ශ්‍රී ලංකාවේ නවතම තෙල් සංචිත ප්‍රමාණය, වෙනත් රටවල පෙට්‍රල්/ඩීසල් ලීටරයක මිල සංසන්දනාත්මකව විශ්ලේෂණය, කිරිබත් කෑමට වඩා සුදුසු ව්‍යාංජන, ශ්‍රී ලංකාවට අනාගතයක් තිබේද, අප මේ අර්බුදයට මුහුණ දියයුත්තේ කෙසේද, ගැහැණු ළමයින් සෙනග වැඩි බස්රථවලට නැගීම නවත්වාගත හැති මාර්ග, එම බස්රථය ගමන් ගන්න මාර්ගයේ සිදුවන දේ එසැණින් උණුසුම් පුවත් තුළින් යනාදී වශයෙන් අතිශය සංකීර්ණ මාතෘකා මේ මහත්මයා මුලු ගමන පුරාවටම නොමිලේ මට අසන්නට සැලැස්සුවා. රියැදුරු මහත්මයා සිංදු රේඩියෝ අහන මානසිකත්වයක නොහිටි නිසා සංසාර බර කර තබාගෙන අර දැනුම් ගඟුලේ පීනමිනුයි මම අවශ්‍ය ස්ථානයට ළඟාවුණේ.

ඒ අව් අස්සේ සංසාර බැඳීම් හොයා හොයා පීනන උදවියත් ඉන්නවා. මේ තරම් සංසාරයෙන් මුදවන්න උත්සහ කරවන අවස්ථාවක මාරයා විසින් එවූ ඒජන්තවරු තමයි ඉතින් ඒ. මේ අතිර සසර සාගරේ ගිලෙන ඔය වගේ මොහොතවල්වල තව මොන සංසාර බැඳීම්ද අප්පා!

කොහොමවුනත් දැන් මම නං පෝලිමේ මුල ඉන්නේ. තව දවස් කීපයක් මෙහෙම ගියාම බව දුක නිමා කරලා තමයි ඉතින් ගමන නිමා කරන්නේ. 
අන්න එතකොට තාම පෝලිමට ආවේ නැති ඔයාලට හුගක් රිදෙයි ඈ😜

~✒️ Aash Weerasinghe

#AW #publictransortSL #lka #සුන්දරලංකා

Monday, July 4, 2022

Once upon a time in Colombo

2022 ජූලි 4දා සිනමාවේදීන් සමූහයට

ඉස්සෙල්ලම Once upon a time in Maligawatte විදිහට intro එක ගිය කතාව පස්සෙ Once upon a time in Colombo වෙලා තමයි විකාශය වෙන්න පටන් ගත්තේ. කාලෙකට පස්සෙ බලන්න හම්බෙච්ච හොඳම කතාවලින් එකක්.

මේකේ තියෙන ලොකුම හොඳ තමයි කතාව නිස්කාරණේ රබර් කරන්නේ නැතුව හොඳ ගලායාමක් තියාගෙන ඉන්න එක. සමහරවෙලාවට සමහර චරිත හරි ඉක්මණින් ඉක්මණින් කතාවෙන් අයින් වෙන තරමට කතාවේ ගලායන වේගය හොඳයි. කතාව පටන් ගන්නෙම වැදගත් චරිතයක (සෝමේ) මරණයෙන්. ඊළග කොටස් කීපය ඇතුළත තවත් ප්‍රධාන චරිත කීපයක් මරණයට පත්වෙනවා. පාතාලයට අදාළ ඇත්ත තත්ත්වය හරියට පෙන්නන්නේ කාටවත් වැඩි කලක් වැජඹෙන්න ඉඩ නොදීමෙන්. ඒක හින්දම කතාවේ ප්‍රායෝගික සහ යථාර්ථවාදීගතිය ආරක්ෂා කරගන්න සමත්වෙලා තියෙනවා.

කැමරාව ගැන කතා කරනවා නම් නිතරම වගේ සාමාන්‍ය ඇහැට හුරු කෝණ පාවිච්චි කරන්න උත්සහ කිරීම විශේෂත්වයක් කියලා හිතනවා. සමහර අවස්ථාවලදී නම් ඒක ඇහැට, ඔලුවට ටිකක් අමාරුයි බලං ඉන්න, විශේෂයෙන්ම වේගයෙන් සිද්ධවෙන දේවල්, වේගවත් චලන වගේ දේවල්වලදි. නමුත් සමස්තයක් විදිහට ගත්තහම නදීකා ගුණසේකරගේ කතා සංකල්පය චමිල් පතිරණ විසින් හොඳින් අධ්‍යක්ෂණය කෙරිලා තියෙනවා.

සුලු චරිතවල ඉඳන් ප්‍රධාන චරිත වෙනකල් රංගන ශිල්පීන් හැම කෙනෙක්ම වගේ තමන්ගේ චරිතවලට හොඳ සාධාරණයක් ඉෂ්ඨ කරලත් තියෙනවා.
සහන් හේවාදේව සුහුඹුල් බවක් පල කළත් තව ටිකක් රංගනය දියුණු කරගන්න ඕන වුණත් ලොකු ගැටලුවක් මට නම් පේන්නේ නෑ. සමහර දෙබස්වලදි ඉංග්‍රීසි ඌරුවක් එන එක නිසා ද මන්දා සමහර අවස්ථාවල මුස්ලිම් උච්චාරණයක් වගේ දැනෙන වෙලාවල් තියෙනවා.
ශේෂාද්‍රි ප්‍රියසාද් චරිතයේ ගත කළ කාලය කෙටිවුණත් මතක හිටින රඟපෑමක් සහ මම හිතන්නේ හොඳ තෝරාගැනිමක් ඈගේ මෙතෙක් රඟපෑ චරිත දිහා බැලුවම.

කතා නොකරම බැරි දිල්හානි අශෝකමාලාගේ රඟපෑම! 👌 90 දශකයේ වාණිජ සිනමාවේ හිටි දිල්හානි කාලයත් එක්ක පරිණත වෙලා තියෙන හැටි දැක්කම පුදුම හිතෙනවා. මැදිවියේ අම්මෙක්ගේ චරිතේ සුපිරියටම කරනවා මෙතනදි දිල්හානි. ඒ හැඟීම් ප්‍රකාශනය, දෙබස් මාරම ස්වාභාවිකයි. 

ඊළග කෙනා පූජන දන්දෙණිය. පළවෙනි වතාවට මම පූජනගෙ රඟපෑමක් දකින්නේ. හැබැයි ජූඩ්ගේ චරිතයට පට්ට සාධාරණයක් කෙරෙනවා ඔහුගෙන්. චණ්ඩිකම අධිතාත්විකව ඇඟට අරං ඉන්න තරුණ ජූඩ්ගේ ඉඳන් නායකත්වයට ආවම ටිකක් පරිණතවෙන ජූඩ් දක්වා ඒ චරිත විකසනයේ පූජන නෙවෙයි ජූඩ්ම තමයි ජීවත් කෙරෙන්නේ.

ගඩාෆි ගැන කියන්න දෙයක් නෑ. දර්ශන් ධර්මරාජ් දැනට තිරයේ ඉන්න හොඳම දුෂ්ඨයා. තව සෑහෙන්න වැඩ ගන්න පුළුවන්, වැඩ ගන්න ඕන චරිතයක්. මේකෙ කරන්න තියෙන පොඩි කොටස උපරිමේටම කරලා තියෙනවා. 

විල්සන්ගේ චරිතය රඟපාන වසන්ත විට්ටච්චි විල්සන් කෙරෙහි ප්‍රේක්ෂකයා තුළ ඇති කරවන අප්‍රසාදය උපරිමයට අරගන්නවා. ඒක කොයිතරම් ද කියනවා නම් හැමෝම බලං ඉන්නවා විල්සාට බුලට් එක දෙන්නේ කව්ද කවද්ද කියලා. 

අනික් චරිතය රොජර්. කාලයක ප්‍රේමවන්තයාගෙ චරිතය රඟපෑ රොජර් තනතුර වෙනුවෙන් තමන්ගෙම අයියව මරා දම්මවන කට්ට කයිරාටික දේශපාලනඥයාගේ චරිතය ලෙසටම කරනවා. සමහරු අධිතාත්විකයි කියලා කිව්වත් මට හිතෙන්නේ ඒ චරිතය තුළ තියෙන්න ඕන අධිතාත්වික රංගනය, මවාපෑම රොජර් හරියටම අවබෝධ කරගෙන රඟපානවා කියලා. කණගාටුවක් දැනෙනවා සුන්දරව හිටි ඔහුගේ වෙනස්වීම ගැන. ඒත් වෙනස්වීම අපි හැමෝටම පොදු කාරණයක්නෙ. 

විමලෙගේ සහ පැට්ටාගේ චරිත රඟපාන රංගන ශිල්පීන් මම මීට කලින් දැකලා නැහැ. නමුත් ඔවුන්ගේ රඟපෑම් සෑහෙන්න තාත්විකයි. පැට්ටාගේ චරිතය කලින් රඟපෑ ශිල්පියාට වඩා දැන් ඉන්න පැට්ටාගේ රඟපෑමට මම කැමතියි. ඒ ඇරෙන්න මුලින් කතා නොකරන ගාණට තිබූ ඒ චරිතයට දෙබස් ටිකක් ලිවීම ගැන නම් තිර රචකයාට අනිවාර්යයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. අඩුපාඩුවකට මට පේන්නේ ඒ චරිතයට තව යමක් කරන්න ඉඩ තිබුණු අවස්ථා හරියට භාවිතා නොකිරීම තමයි. උදාහරණයකට සාරාගේ මරණය පැට්ටා හිතපිත් නැති ගලක් වගේ ගණන් නොගෙන සිටීම අතාත්විකයි කියලා හිතෙනවා. ඒ ගැන ඊට වඩා දෙයක් කරන්න තිබුණා. අනික අම්මා (දිල්හානි) සිරගතවීම, විහාන් රිමාන්ඩ් වීම ගැන කිසිම සඳහනක්, තැකීමක් නැතිව පැට්ටාගේ චරිතය ගලායාම ටිකක් අභව්‍යයි කියලා දැනෙනවා. 

කතාවේ වෙනමම ආරේක චරිතය ටිරෝන් (චතුර රාජපක්ෂ). ඒ රංගන ශිල්පියාත් මම දකින්නේ පළවෙනි වතාවට. වෙනත් නිර්මාණවල ඉඳලා ඇති සමහරවිට. තිර රචනයේදි ආතල්ම චරිත ගොඩ නැගීම මම හිතන්නේ ටිරෝන්. ධම්මපදය කිය කිය ගහගන්න, කටු අනෝදයි ටිකිරි මාරියි කන, සෑහෙන්න ක්‍රැක් ඒ වගේ චරිත ඉන්නවද නැද්ද කියලා වාදවිවාද මම කමෙන්ට්ස් අතර දැකලා තියෙනවා. හැබැයි එහෙම චරිතත් මේ සමාජයේ ඉන්නවා. ඒ චරිතයට කරන උපරිමය ඒ රංගන ශිල්පියා දුන්නා කියලත් මම විශ්වාස කරනවා. 'ඒක වෙනමම ආතල් එකක්'. බලලම තමයි තීරණය කරන්න ඕන. 

එතකොට උමයංගනා වික්‍රමසිංහ. කතා නොකරම බැරි තව චරිතයක්. නිර්මාණ නොකළ නිළියකගෙ චරිතය, සූසැට මායමින් නියම ප්‍රයෝජන ගන්නා හැටි මං හිතන්නේ උමයංගනාට වඩා හොඳ තේරීමක් ඒ චරිතයට නෑ. හැමෝම කෙටි කාලයක් වැජඹෙනකොට උමයංගනා තවම ගේම් එකේ රැඳිලා ඉන්නේ කොහොමද කියලා බලන්නම ඕන. ඒ චරිතයට අදාළ බැල්මේ ඉඳන් මවාගත් අහංකාරකම වෙනකල් හැම අඩුම කුඩුමක්ම නියම ගාණට උමයංගනා පියුමිගේ චරිතයට යොදනවා. 

ඊයේ අලුතෙන්ම පසන් රණවීර එනවා චරිතයකට. සිරිල් නිතරමසෆරිං ඔහුගේ මතක හිටින චරිතයක්. මේ චරිතයේ ප්‍රවිෂ්ඨය බලාපොරොත්තු සහගතයි. කොහොම වෙයිද ඉදිරියෙදි කියලා බලං ඉමු. 

නාට්‍යයේ සාර්ථකත්වයට තිර රචනය, අධ්‍යක්ෂණය වගේම රංගන ශිල්පීන් ශිල්පිනියන් තෝරාගැනීම ලොකුම හේතුවක්. ඒ ඒ චරිතවලට හරියටම හරි කෙනා තෝරා ගැනීම කරලා තියෙනවා වගේම සුලු කාලයකට සීමාවෙන චරිත භාරගැනීම ගැනත් ඒ ප්‍රවීණ සහ නවක සියලු දක්ෂයන්ට අනිවාර්යයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. 

තවම විකාශය වෙලා තියෙන්නේ කොටස් 75යි. Youtube එකේ සියලු කොටස් තියෙනවා බලන්න කැමති කෙනෙකුට. නැත්නම් සෙනසුරාදා සහ ඉරිදා රෑ 8:30ට ස්වර්ණවාහිනියේ විකාශය වෙනවා. 

~✒️ Aash Weerasinghe

Sunday, July 3, 2022

සුන්දර ලංකා සමාජය

ආයෙත් ආයෙමත් එකම අමනුස්සකම සයිබරය පුරා ගලාගෙන යනවා!
සතෙකුට වුණත් මරණාසන්න අවස්ථාවක වතුර පොදක් දෙන තරමට 'මිනිස්සු' හිටිය රටක් වෙන්න බෑ මේක. ඒකත් අර සමහරු කියනවා වගේ විකෘති කරලා ලියන ලද ඉතිහාසයකම විකෘති අසත්‍ය තොරතුරක් වෙන්න ඕන. 

මිනිස්සු හොඳට නරකට දෙකටම ප්‍රසිද්ධ වෙනවා. ඒත් ඒවා විවේචනය කරන්න, තීන්දු දෙන්න තරම් අපි ඒ මිනිස්සුන්ට වඩා ඉන්න ඉහළ තත්ත්වය මොකද්ද? ඇයි මේ විචාර දෙන, නඩු අහන, හෙණ ඉල්ලන 'දෙවිවරු', 'සාන්තුවරයෝ' රහසින්වත් පව් නොකළවුන්ද?

මනුස්සයෙක්ට විපතක් වුණාම ඒ මනුස්සයාගේ කුටුම්භය ගැන කුණු කතා ලියන තරමට පහළට වැටිච්ච, ඒ කතා රහ කරකර විඳින ඉහඳ පණුවෝ වගේ මිනිස්සු ඉන්න සමාජයකද අර බහුතරය ගිරි කඩාගෙන සිස්ටම් චේන්ජ් කරන්න යන්නේ? මේ කුණු කතා ලියන කියන උඩදාන බහුතරය දියණිවරු ඉන්න දෙමව්පියෝ! මානව සම්පත් කළමනාකරණයේ ඉඳන් නීතිය වෙනකල් සමාජය ගොඩනගන ක්ෂේත්‍රවල ඉන්න මිනිස්සු! කතා කළොත් ධර්ම ටෝක් දෙන මානුෂික ගල්කණු! කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉන්න ඊනියා වනිතාවාදීන්! උන්දැලත් එහෙම නං සෙස්සන් ගැන කවර කතාද!!

ජැක්සන්ගේ දේශපාලන භාවිතයට මම එකඟ නෑ. ඒත් අපි හැමෝටම වගේ ඒ මිනිහටත් දේශපාලන මතයක් දැරීමේ නිදහස සහ අයිතිය තියෙනවා. ඒක ඔහුම ඔහුට අවශ්‍ය විදියට ගිහින් ඔහුම තීරණය කරපු ගමනක්. හැබැයි උනන්දුව, දැනුම සහ දක්ෂකම අතින්, නිර්මාණකරුවෙක් විදිහට ජැක්සන් 'පොරක්'. පටන් ගත්ත තැන ඉඳන් කාලයත් එක්ක පරිණතවෙමින් කැපී පෙනෙන ගමනක් ආව මිනිහෙක්. තමන් කෙනෙකුගේ දේශපාලනයට අකමැති වූ පළියට 'පණ ඇදපං, මැරියං, හෙණ ගහපං' යනාදී අතිශය නූගත් ක්‍රෝධාත්මක අදහස් සයිබරයේ වපුරන මේ බහුතරයක් මිනිසුන්ට ඇත්තටම ජැක්සන් මුණගැහිලත් නැතුව ඇති! උන්දැ ඔවුන්ට පෞද්ගලිකවම කළ වරදකුත් නැතුව ඇති අහලා බැලුවොත්! ඒත් බනිනවා, අපහාස කරනවා, හෙණ ඉල්ලනවා, සාප කරනවා, මැරෙනකල් සතුටින් ඉපිලෙමින් බලං ඉන්නවා,කිරිබත් හදන්න රතිඤ්ඤා දාන්න බලං ඉන්නවා! 
ඔව් අර ප්‍රේමදාස මැරුණමත් ඒ මිනිහා දුන්න ජනසවියෙන්ම කිරිබත් කාපු උං ඉන්න රටක්නෙ මේක! 
මිනිස්සු ද හලෝ උඹලා?
කෝ උඹලා හදන්න හදන අර ලස්සන ලෝකේ? 
කෝ උඹලා හදන සුන්දර සමාජේ පදනම? 
මනුස්සකම නැතුවද උඹලා ඔය ඔක්කොම හදන්න යන්නේ? 
එහෙනං හදලා පෙන්නපල්ලා, මනුස්සකම නැතුව උඹලා හදන ලෝකේ ඔය කියන තරම්ම සුන්දර වෙයිද කියලා!

~✒️ Aash Weerasinghe 

#සුන්දරලංකා

Friday, July 1, 2022

ජන සිට ජඩට - මාධ්‍යයේ ගමන

මාධ්‍ය ආයතන විනාශවලට උල්පන්දම් දෙන එක තමයි ට්‍රෙන්ඩ් එක! හිතවත් මාධ්‍යවේදී මිත්‍රයන් තරහවෙන්න එපා. මට නං දැනෙන ඇත්ත ඕකයි. 

මං TV එකෙන් මිදුණේ 2001. ඊටපස්සේ බැලුවත් බැලුවේ ඉඳහිටලා, කරන්න දෙයක් ඇත්තේම නැත්නම්. ඒත් ඔතනින් එහා මෙහා යද්දී ඒකෙ යන විකට ජවනිකා මට පේනවා. බොහොම මෑතකදී තමයි දෙමව්පියන් එක්ක වාඩිවෙලා ප්‍රවෘත්ති TV එකෙන් බලන්න ගත්තේ. ඒකත් එතෙක් බැලුවේ YouTube එකෙන්. ඒ වෙලාවේ දෙමව්පියන් එක්ක වාඩිවෙලා Tv එකෙන් ප්‍රවෘත්ති බලන්න හිතුවෙත් මගේ පවුල සහ එයාලා වෙනුවෙන් වෙන් කරන කාලය ගැන හිතලා මිසක් රූපවාහිනියට නැත්නම් TV එකට ඇති ආකර්ෂණයක් හින්දා නෙවෙයි.

මාධ්‍ය සියල්ල පිළිබඳ පොදුවේ මට පැහැදීමක් නැහැ.
හේතු කීපයක්ම මත.
ඉන්දියානු මෙගා නාට්‍ය සිරසෙන් පටන් ගත්තම ඒක වසංගතයක් වගේ පැතිරිලා මං හිතන්නේ දශක දෙකක් විතර වෙලත් තාම ගැලවීමක් නෑ! මං ඉන්දීය සිනමා නිර්මාණ නොබලන කෙනෙක් නෙවෙයි. හොඳ ඒවා රසවත් ඒවා බලනවා,විඳිනවා. හැබැයි මෙලෝ රහක් නැති ඉන්දීය මෙගා නාටක මට අප්‍රසන්නයි. එකම මූණ කැමරා කෝණ දහයකින් විතර ළං කර කර ඈත් කරකර පෙන්නමින්, කතක් කතකලී නටන්නා වගේ ආලේපන තට්ටු ඇලවූ මුහුණුවල ඇසේ සිට නිකටේ මස්පිඬුව දක්වා චලනය මන්දගාමීව පෙන්නමින්, හෙට්ටිවීදියටම නැතිතරං අබරණ පළන්ඳගෙන ඉන්දියාවේම සාරි කඩ වැහෙන තරමට සාරි පෙරවාගෙන එකම ගෙයක් ඇතුළත පවුල් පිටින් ගේම් දෙන්නම ලෑස්ති වුණ ඒ බහුභූතයන් බලනවාට වඩා ප්‍රසන්න දේවල් මේ ලෝකේ තව තියෙනවා කරනවා නම් කරන්න! 
ඊටපස්සේ ගෙනාවා කොරියානු රැල්ල. ඒකත් ඒ වගේනෙ, වෙනසක් නෑ. ඔක්කොටම වඩා මට ඒ කතාවල ගැහැණු පිරිමි අතර වෙනසක් හොයාගන්න බෑ, සේරම එකම විදියට සුකොමළයි පියකරුයි. 
ලංකාවේ මෙගා ගහන්න ගත්තම ඒකයි අරවයි අතරත් වැඩි වෙනසක් නෑ. 
දෙරණ මම බලලම නෑ, ප්‍රවෘත්තිවත්. අවුරුද්දකින් විතර. එච්චරට ඒකේ යන නාට්‍ය මට අප්‍රසන්නයි! 
ITN තවම යම් තරමක standard එකක් තියාගෙන නාට්‍ය තෝරාගන්න බව පේනවා. ජාතික රූපවාහිනිය, සිරස බලන්නෙම නැති තරම්. 

ඊට පස්සේ පටන් ගන්නවා පත්තරේ කියවන්න. ස්වර්ණවාහිනියෙන් වෙන්න ඇති පටන්ගත්තේ හැබැයි ඔක්කොටම ඕන වෙනවා පාන්දර පත්තරේ කියවලා ඔස්තාද්ලා වගේ ඔපීනියන් දෙන්න. රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔක්කොම ඒක පටන් ගන්නවා. දෙරණේ චතුර ටිකක් හොඳට පටන් අරන් පස්සේ පස්සේ චොර කරගන්නකොට ස්වර්ණවාහිනියේ චමුදිත පටන්ගන්නවා. චමුදිත TNL එකෙන් බිහිවෙච්ච දක්ෂයෙක් බව ඇත්ත. ජනහඬෙන් චමුදිත කරළියට එද්දී තේරුණත් නොතේරුණත් තාත්තා එක්ක වාඩිවෙලා ජනහඬ ඇහුව නැරඹුව ඇටිකිත්තෙක් මම. හැබැයි දැන් උදේට චමුදිතගේ වැඩසටහන ඇහුවම (මට නං ඇහුණම) දවසම මුස්පේන්තුයි! ප්‍රශ්න තියෙනවා. රටට සහ පුද්ගලයන්ට විවිධාකාර ප්‍රශ්න තියෙනවා. හැබැයි චමුදිත ඇතුලු මේ බොහෝ දෙනා කරන්නේ පත්තර කියවන මුවාවෙන් ඒගොල්ලොන්ගේ පෞද්ගලික මත සහ ඒ ඒ මාධ්‍ය ආයතනවල න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන එක. පොඩි දේ ලොකු කරන්න, බරපතල දේ ලඝු කරන්න, ඇත්ත බොරු කරන්න, බොරු ඇත්ත කරන්න මේ අය පැකිලෙන්නේ නෑ! එහෙම කළොත් නේ අපි හම්බ කළොත් අපි කනවා වෙන්නේ. හැබැයි උදේ පාන්දර ඉඳන් මිනිසුන්ගේ ඔලු කුරුවල් කරන එක තමයි වැඩියත්ම වෙන්නේ! මොන ප්‍රශ්න තිබ්බත් බොහොම සුබවාදී ආකල්පයෙන් ප්‍රසන්නව දවස පටන් ගන්න මං නං කැමතියි, ඔබ කොහොමද දන්නේ නෑ. එහෙම මනුස්සයෙක්ට අර වගේ අඳෝනා, ක්‍රෝධයෙන් අසුබවාදී ආකල්පයෙන් පිරිච්ච දේවල් අහන්න වෙන එක තරම් මූසලකමක් තවත් නෑ! 

ඊළගට සාම්ප්‍රදායික ප්‍රවෘත්ති කියවීමේ කලාව වෙනස්වීම. ජාතික නාලිකාව පවා මේසේ යටින් ප්‍රවෘත්ති නිවේදිකාවගේ කකුල් පෙන්වීමෙන් තරගයට අවතීර්ණ වුණා මහාචාර්ය ගංගානාත් දිසානායකගේ ධූර කාලයේදී. ඔය නාට්‍යානුසාරයෙන් ප්‍රවෘත්ති කියවීම පටන්ගත්තේ පෞද්ගලික මාධ්‍ය නාලිකානේ. ඊටපස්සේ ඒ කතන්දරේ ආටක නාටක තත්ත්වයට පත්වුණා බොහොම වේගයෙන්. කෙනෙක් අනතුරකින් හරි දිවිනසාගෙන හරි මළා නං අපේ මාධ්‍ය ඒක පොඩි පහේ වෙසක් නාට්‍යයක් කරගන්නවා ප්‍රවෘත්තිවලට ඔබන්න. ඒක වුණු තැන ඉඳන් මැරුණු මිනිහා ජීවිතේටවත් නොහිතන්නත් ඇති සිතුවිලි උපකල්පනය කරලා පසුබිම් කථන හදනවා මිනිහා වලෙන් නැගිටලා "මට එහෙම හිතුණේ නෑ ඕයි" කියන තරමට! ගෙදර වැලපෙන දෙමව්පියන්, දරුවන්, භාර්යාවන්, ස්වාමි පුරුෂයන් තව අඬවමින් ප්‍රශ්න කරනවා, ඔවුන්ගේ දුක අමුඅමුවේ ඒ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරමින් කිසිම හිරිකිතයක් නැතුව ලෝකේටම පෙන්නනවා! ආයෙමත් දවසක ඒ අවස්ථා දැක්කම ඒ මිනිස්සුන්ට දුකකට වඩා දැනෙනවා ඇත්තේ අමුම අමු ලැජ්ජාවක්!! 

කාන්තා වැඩසටහන් කියලා උදේ ඉඳන් එක එක හැඩැති ලලනාවො, දොස්තරලා, රූපලාවන්‍ය ශිල්පියෝ, කෝකියෝ ආදී එකී මෙකී නොකී හැමෝම ගෙන්නලා හැම නාලිකාවකම කාලේ කනවා. ඕවා බලන මිනිස්සු ඉන්නවා ඇති. හැබැයි බලාපොරොත්තු වන තරම් ප්‍රතිඵල තියෙනවද? 
ඒ කාලය විශේෂයෙන්ම, පාසැල් අධ්‍යාපනය අඩපණ වෙච්චි අවුරුදු දෙකක් තුනක් ඇති අපේ දරුවෝ වෙනුවෙන් වෙන් කළා නම් මොකද?? 

ඊටපස්සේ යනවා තරු එක්ක පිළිසඳරවල්. තරහවෙන්න එපා මෙහෙම කියනවට, ලංකාවේ 'තරු' නැහැ! හිටියා, දැං නැහැ. 
කව්රුහරි ඉතින් එකම සෙට් එක ගෙන්නනවා. ඒ යක්කු ඇවිත් රටම ඉස්සරහ කරන ඒවාට දකින අපිට ලැජ්ජ හිතෙනවා උන්දැලට නැතිවුණාට. පෙරේදා හවස කාපු එකේ ඉඳන් අන්තිමට රමණය කළ එක වෙනකල් ඕපාදූපයි මෝඩකමයි ලැජ්ජානැතිකමයි දෝරේ යවනවා! ඉස්සර ලංකාවට හිටියා ඇත්තටම හොඳ නිර්මාණ කරලා මතක හිටින රඟපෑම් කරලා තවම ප්‍රශංසාවට ලක්වන කලා ශිල්පීන් ශිල්පිනියන්. තරුත් හිටියා. හැබැයි තව අවුරුදු දහ පහළවකින් 'ප්‍රවීණ' ලේබලය නමට ඉස්සරහින් අලවගන්නෙ මේ නාලිකාවල චැට් වැඩසටහන්වලට ඇවිල්ලා බට්ටා පනින, ගුඩු පනින, ගොබ්බ කතා කියන, වැරදි වැරදි සිංදු කියන්න තටමන නලුනිලියෝ නේද කියලා මතක් වුණාම ලංකාවේ කලාව වලපල්ලට යෑම ගැන එච්චර පුදුමයක් දැනෙන්නෙත් නෑ. 

පරණ කලා ශිල්පීන් ශිල්පිනියන් බහුතරයක් අපි නොදැනම අවසන් ගමන් යනවා. සමහරු මැරුණද දන්නෙත් නෑ. අසරණවෙලා ඉන්නවා. අසනීපවෙලා ඉන්නවා. ඒවා ගැන කතාවක්වත් නෑ! මෙච්චර මාධ්‍ය දියුණු යුගයකත් මාධ්‍ය නාලිකාම හැටහුටාමාරක් තියෙන රටකත් ඒ වගේ මිනිස්සුන්ට නිසි ඇගයීමක්, අවධානයක් නෑ! දවස ගානේ අර තුට්ටු දෙකේ තොරොම්බල් කෑලි උඩදදා ඉන්නවා! 

දේශපාලන වැඩසටහන්. 
හැම නාලිකාවකම දිනපතා තියෙනවා. මේ කතා කරන කතා කිරිල්ලේ හැටියට ලංකාව තියෙන්න ඕන මෙලහකට ලෝකයේ බලවත්ම රාජ්‍යය වෙලා. බලවත් කෙසේ වෙතත් දැන් එදා වේල ට්‍රැවල්ස්වත් නැති ගානට ගිහින් තියෙන්නේ. ඉස්සර දේශපාලන වැඩසටහනක් බලන්න ආසයි. පොඩ්ඩක් හරි වැදගත් දෙයක් කියැවෙනවා. සමහර වැඩසටහන්වලට දැන් ආරාධිතයා එනවා, අන්තිමට ආරාධිතයට වඩා කතා කරන්නේ නිවේදකයා/යෝ. අර එන මිනිහා බුකවං බලං ඉන්නවා. ඉඩක් හම්බුණොත් වචන කීපයක් කියනවා. ඒකත් වාක්‍යය ඉවර කරන්න කලින් නිවේදකයා හෝ නිවේදක රැළ බුරාගෙන පනිනවා! අන්තිමට ගෙන්නපු මිනිහගේ කාලයත් අපරාදේ, ප්‍රේක්ෂකයාගේ කාලයත් අපරාදේ. නාලිකාව නං දැන්වීම් ටික ගාණට මිම්මට දුවවලා ආදායම තිර කරගන්නවා. 

රියැලිටි වැඩසටහන්. රියැලිටි ආව කාලේ පට්ට. දැන් ඒකේ කාලේ ඉවරයි. ඒක තමයි මගේ මතය. දැන් අර වංශේ කබල් ගාන්න ඕන නිසා අදියර නවය දහය කිය කියා ඇදගෙන යනවා. මාත් රියැලිටි බලන්න පුරුදු වෙලා හිටියා. හැබැයි පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත මට මතක හිටින දක්ෂයෙක් දැකලා නෑ. ඒ වෙලාවට හොඳයි.
ඒ ඇරුණම ඉතින් ප්‍රාසාංගිකත්වය මිසක් ගායන දක්ෂතාවය දැන් රියැලිටිවල මැනෙනවාද කියන සාධාරණ සැකය මට තියෙනවා. 

මාධ්‍යවලින් මවන ප්‍රහසන එන්න එන්නම කෘත්‍රිම වීගෙන එනවා. පිරිමි ගැහැණුන්ට අඳිනවා, ගැහැණු පිරිමින්ට අඳිනවා. හිනා නොයන මෙලෝ රහක් නැති විහිළු දිහා ප්‍රේක්ෂකයෝ ඔහේ බලං ඉන්නවා. ඔච්චර නටන්නේ දඟලන්නේ නැතුව අපේ ගෙදර මිනිස්සුන්ව හරි හිනැස්සවීමට මට ඇති හැකියාව ගැන ඒ වගේ අවස්ථාවල මම නිහතමානීව ආඩම්බර වෙනවා 😂

තව අලුත් සෙල්ලමක් යනවා මොකද්ද මන්දා නාලිකාවක. පුංචි එවුන් දෙමව්පියන්ව ඉස්සරහ ඉන්ඳගෙන කතා කරවනවා. උං කියන එව්වද නැත්නං පිටපත ද මන්දා දෙපැත්ත කැපෙන කතාත් කියවෙනවා! අමු මෝඩ ගොබ්බ තකතීරු කතන්දර පොඩි උං ලව්වා ගිරව් වගේ කියවනවා. දෙමව්පියෝ හරි වීරකමක් වගේ හිකි හිකි ගගා හිනාවෙමින් ඒ දිහා බලං ඉන්නවා. මිනිස්සු ප්‍රසිද්ධිය වෙනුවෙන් කොයි තරම් විකාර අන්තවලට යනවද කියලා ලැජ්ජාවක් දැනිලා මාව ඇකිලිලා යනවා! 

ඒ ඇරෙන්න ප්‍රධාන වශයෙන් මාධ්‍ය නාලිකා බෙදාහරින තොරතුරුවල නිරවද්‍යතාව සහ සත්‍ය අසත්‍යතාව ගැන මට විවාදාත්මක මත තියෙනවා. කිසිම මාධ්‍ය නාලිකාවක් (රූපවාහිනී සහ ගුවන් විදුලි) සමබර නෑ. ඒ හැමෝම ව්‍යාපාර විදිහට තමන්ගේ මතය, දේශපාලනය අනුව තමයි මාධ්‍ය හසුරුවන්නේ. ඒක දිලිත් ජයවීරට විතරක් අදාළ නෑ. මහාරාජා, රෙනෝ, ශාන් පවා එහෙම තමයි. දැන් ඒක බරපතලයි. 
මම අප්‍රේල් 17 ලිව්ව කොටසක් මේ: "හීන සහ යථාර්ථය දෙකක්. ඔය දෙක අතර දෝලනය වෙමින් තමයි අපි පවතින්නේ.
සමහර රැළි ප්‍රායෝගික නෑ, හීනෙට බරයි යථාර්ථයට ටිකක් දුරයි. එහෙම රැළි උස්සලා දෙන අයම රැල්ල තමන්ට අවාසි වේගෙන එද්දි අනික් පැත්ත ගහනවා. ඒක ඒකාන්තයි." 
(https://tharuwehi.blogspot.com/2022/05/blog-post_83.html?m=0) 
මාධ්‍ය කාලෙන් කාලෙට එක එක රැළි උස්සලා දෙනවා. හැබැයි එයාලගේ ව්‍යාපාරයට, පැවැත්මට හෝ පසුබිම් දේශපාලනයට අනතුරක් වෙන තත්වයකට එද්දිම අනික් පැත්ත ගහනවා. නැත්නම් රැල්ල උස්සලා උස්සලා දීලා නොහිතුව විදිහට උස්සලා පොළොවේ ගහන්නත් පුළුවන්. 

ඔය සේරම කරලා පව් සමාකරගන්න CSR (Corporate Social Responsibility) වැඩසටහන් කරනවා. (බලන්න මාධ්‍ය හැසිරීම එක්ක බැලුවම ඒ වචන තුනම කොයිතරම් නම් විහිළුවක් ද කියලා!). පෝයදාට පන්සල් ඒකාලෝක කරනවා. දාන බෙදනවා. ගංවතුරක් නියගයක් ආවම දාන මාන, පරිත්‍යාග කරනවා. 
ඒ එක මොහොතකට. 
හැබැයි ඒ මොහොතට බෑ අර ඉතිරි දවස් 364දී පැය 24පුරා කරන හානිය පියවන්න! 
ලංකාව අද පත්වෙලා ඉන්න තත්වයට දේශපාලකයෝ තරමටම සියලු මාධ්‍ය වගකියන්න ඕන. හැම ප්‍රශ්නයක්ම නිර්මාණය කිරීමේ සිට පෝෂණය කිරීම දක්වා මාධ්‍යවල භූමිකාව සුලුපටු නැහැ. ඊටපසුත් මාධ්‍ය සදාචාරය, මාධ්‍ය වගකීම, වගේ වැල්බයිලා ගයා ගෙන එද්දි ප්‍රේක්ෂකයා අතුල් පහර නොදීමේ ආනිශංස තමයි මේ රටක් හැටියට ලෝකයක් ඉදිරියේ පීචං වෙමින් අපි අද විඳවන්නේ! ජනප්‍රිය වෙන්න, නාලිකාවේ දර්ශක ඉහළ යවාගන්න ඕනෑම කුණු මල්ලක් දිග හැරීමේ මාධ්‍ය භාවිතය නවත්ත ගන්න තිබ්බා ප්‍රේක්ෂක කකුලුවොත් කෙළින් ගියා නං! 

එහෙම දවසක්... හීනයක්! 

~✒️ Aash Weerasinghe

#SLmedia #JournalismIsDead #mediaincrisis #responsiblemediaconsumption #lka #damagebymedia

Tuesday, June 28, 2022

කැබ් මාෆියාව

අපි මහ පුදුම ජාතියක්!

අර්බුදයක වුණත් ආතල් ගන්න වගේම කලදුටු කල වල ඉහගන්න දක්ෂ අපි තරං දසයෝ ලෝකේ වෙන ඉන්න බෑ. හරි ආඩම්බරයි.🇱🇰

ඉන්ධන නෑ. තිබ්බත් නැතත් පෝලිම් වැඩිවෙනවා මිසක් අඩුවක් නෑ. තියෙන එකාට තියෙනවා නැති එකාට ඇත්තේම නෑ. තියෙන එකා නැති එකාට ගිණි ගානට විකුණනවා. නැති එකා නැති කමට ගන්නවා. තියෙන එකා/අර්බුදය බිස්නස් එක කරගත්ත එකා කූඹින්ට වඩා කඩිසරව සෙට් පිටින් එක එක තැන්වල පෝලිමේ තියලා හරි තමන්ගේ තෙල් සංචිත තර කරගන්නවා. ලක්ෂ ගණංවල වාහනත් කෝටි ගණංවල වාහනත් එකම ඉරණමට මූණ දීලා ගරාජ්වල, මිදුල්වල අබාධිතවෙලා බලං ඉන්නවා.

එකම හොඳකට තියෙන්නේ අන්තිම දුප්පතාගේ ඉඳන් දාඩිය දාන්න තෙරපෙන්න අකමැති කෙරුමා වෙනකල් බහුතරයට පොදු ප්‍රවාහනයේ පිහිට පතන්න වෙලා තියෙන එක. 
 
ඉස්සර අපිට තිබුණේ ත්‍රීවීල් මාෆියාවක්. දැං ඒ මාෆියාව දරුණු අන්තයකට යනගමන්ම සමස්‌ත කැබ් රථ ව්‍යාපාරයම දරුණු මාෆියාවක් බවට පත්වෙලා ඉවරයි. කොටින්ම Pickme සහ Uber ප්‍රමුඛ කැබ් ව්‍යාපාර ඉන්නේ ෂයිලොක්ගෙනුත් එහා තැනක! 
ඊයේ රෑ මම කිලෝමීටර් 20ක විතර දුරක් යන්න, පැය තුනක් තිස්සේ, ජංගම දුරකථන දෙකක ඇප් තුනක් ට්‍රයි කළා. එක්කෝ ටුක් එකක්, එක්කෝ කාර් එකක් ගන්න. ඒ පැය තුන ඇතුළත මිල නැගීම සාමාන්‍ය මිලේ සිට රුපියල් 1000-1500ක වෙනසක්! ටුක් සහ කාර් අතර මිල වෙනස රුපියල් 50ක් 100ක් තරම්! ඊළගට ඇප් ඕන් කරන් ඉන්න කැබ් (ටුක්/කාර්) එක request එකක්වත් ගන්නෙ නෑ. සමහරු ගන්නවා, අරං කෝල් කරනවා. කොහෙටද යන්නේ, කීදෙනෙක් යනවද, පෙන්නන ගාණ කීයද, රෑට කාලද බීලද නෑවද යනාදී නානාවිධ ප්‍රශ්න කෝටියක් කෙළවර 'ආ දැං එන්න බෑ. පෙට්‍රල් නෑනෙ ළග තියෙන එකක් ගන්න' කියනවා. ළග තියෙන්නේ මන්නයක් ඒක ගත්තට කමක් නැද්ද කියලා අහන්න හිතිලා ඒත් කට වහං ආයිත් මුල ඉඳන් ට්‍රයි කරනවා.

ඊළගට Uber කාර් එකක් තව hire එකක ඉන්න ගමන් මගෙ request එක ගත්තා. ඒ ගමන ඉවර කරලා මං හිටි තැනට එන්න ඇප් එකේ පෙන්නුව වෙලාව විනාඩි 22ක්. මිල 2105ක්. මම වාහනයක් හම්බවීමේ සැනසීම විඳිමින් බලං ඉන්නකොට විනාඩි 15කට විතර පස්සේ ආවා කෝල් එකක්.
"කොහෙටද යන්න ඕන" (ඇප් එක පැහැදිලිව යන ප්‍රදේශය දක්වනවා මගෙ දැනුමේ හැටියට)
"(උත්තරේ)"
"කීයක් පෙන්නනවද"
"(නුරුස්නාව ඉවසා දරාගෙන) 2105යි."
"ආ වැඩිපුර පන්සීයක් දෙන්නකො"
"දැනට මේ පෙන්නන ගාණත් සාමාන්‍ය මිලට වඩා වැඩියි, ඉතින් ඇයි වැඩිපුර ගෙවන්න ඕන"
"නෑ මේ පෙට්‍රල් ප්‍රශ්නනෙ"
" (ඇයි දැන් මම 500ක් වැඩිපුර දුන්නම ලංකාවට ජෙට්වලින් පෙට්‍රල් අදීද නැත්නම් මම ක්‍රිස්තුස් වහන්සේ රොටි මැව්වා වගේ පෙට්‍රල් මවයිද කියලා හිතෙන් බණින ගමන්) නෑ තව වැඩිපුර නං දෙන්න බෑ මිස්ටර්. ඕන නං hire එක කැන්සල් කරලා ඒ ගාන ඔයාට කෙලින්ම දෙන්නං එතකොට commission කැපෙන ප්‍රශ්නයක් නෑනේ.
(ඔය cancel කිරිලි, commission කැපෙන අඳෝනා ඒවත් කැබ් මාෆියාවෙන්ම ඉගෙනගත්තුවා තමයි)
"නෑ නෑ දැං කොහොමත් commission කැපෙන්නෙ නං නෑ. ඒක නවත්තලා තියෙන්නේ. හැබැයි එහෙම කැන්සල් කරලා ගියාම මට ඒ යන පැත්තෙන් අලුත් hire එකක් වදින්නේ නෑ"
"ආ ඒකත් එහෙමද. නෑ එහෙනම් කමක් නෑ මම වෙන කැබ් එකක් ගන්නං"
"නෑ නෑ 500ක් දෙන්න බැයිද කියන්නකො ඔයාට"
(මගේ උත්තරය සිටි ස්ථානයට නොගැලපෙන නිසා ගිලගෙන, ඇමතුම විසන්ධි කළා)

Uber එකේ 2105ක් පෙන්නද්දි pickme ඒ වර්ගයේම කාර් එකක් 2800ක් ටුක් එකක් 2400ක්! ඔය ඇප් දෙකේ මිල උච්චාවචනය වෙනමම තරඟයක්!

ඊටපස්සේ pickme tuk එකක් අමාරුවෙන් වගේ දිනාගෙන ගෙදර එන්නේ රුපියල් 1800කට 2000ක් ගෙවලා!

මම හිත හදාගත්තා ඒ රෑ කියලා.
නෑ උදේ දවලුත් එහෙමම තමයි!
එකම request එකක්වත් ගන්නෙ නෑ. ගත්තත් ආයිත් අර සංවාදයම තමයි සිද්ධවෙන්නේ.

⚠️ඔතන තියෙන වැදගත්ම ප්‍රශ්නය, පෙට්‍රල් ප්‍රශ්න නං අහවල් කාරණයක් උදෙසා ද ඇප් ඕන් කරං එන එන request එක accept කරන්නේ කියන එක! 
අනික hire එක කැන්සල්කරලා සම්පූර්ණ මුදල ගන්න හරි වැඩිපුර මුදල් ලබා ගන්න හරි මේ අදාළ ආයතන ඉඩදෙන්නේ ඇයි කියන එක! මේවා පැමිණිලි වෙන්නේ නැද්ද? ට්‍රැක් වෙන්නේ නැද්ද? කොහේද පාරිභෝගික අයිතීන්, පාරිභෝගික ආරක්ෂාව? 

බුකිය කළඹවමින් පහුගිය දවස්වල පැතිරුණු විහිළුවනෙ ත්‍රීවීල් සංගම් ඉන්ධන ප්‍රතිඅපනයට සූදානම් කියන එක😂 මේ සිද්ධවෙන දේවල් දිහා බැලුවම නම් ඒකත් නොවෙන්නත් බැරි නෑ වගේ හැඟීමක් එනවා. ලීටරයකට ත්‍රීවීල්, පොඩි කාර් කරන කිලෝමීටර් ගාණ බැලුවම මේක ගිණිකෑමක් නෙවෙයි නං මොකද්ද කියලා තමයි අහන්න වෙන්නේ! ඔව් දවසකට ඒ වගේ හයර් හතරක් පහක් ගිහින් අර වගේ කැන්සල් කරවගෙන සම්පූර්ණ මුදලම තමන් අතට අරං හරි හෙට්ටු කරලා වැඩිපුර මුදලක් කඩාගෙන හරි බැලුවම හොඳටම කරලා තියෙන්නේ ඒගොල්ලො තමයි! එතකොට පෙට්‍රල් පෝලිමේ දවස් තුනක් නෙවෙයි සතියක් බූරු ගගහා හිටියත් ලොකු අවුලක් නෑනේ.

තව ඔය වගේම ත්‍රීවීල් "කාරයෙක්" ඉන්න ලොකේෂන් එකට මීටර් සීයක් ඉස්සරහට එන්නේ නැතුව නවත්තගෙන ලොකු කයිවාරු ගහන්න ගත්තා ඊට දවස් කීපයකට කලින්. ඒ වෙලාවෙත් මහන්සිය වැඩිකමට ඉවසීමෙන් කතා කළා. ඒ උත්සහ කළෙත් වැඩිපුර ගාණක් කපාගන්න! අන්තිමට මිනිහම හයර් එක කැන්සල් කරලා මට විරුද්ධව පැමිණිල්ලකුත් දාලා ආවට පස්සේ මං ප්‍රතික්ෂේප කළා කියලා! පුදුම නාටක මේ මාෆියාවේ වෙන්නේ! විශේෂයෙන්ම මේ දවස්වල. 

පොදු ප්‍රවාහනය ගැන ආයෙත් කතා කරන කාලෙක රුපියල් 30ට 40ට ඔය දුරම ගෙනියන දුම්රිය සේවය බලන්න. සුද්දගේ කාලේ ඉඳන් ක්‍රියාත්මක වෙලත් තවම කිසිම රජයක් කිසිම කළමණාකාරීත්වයක් යටතේ දියුණු කරලා නැහැ. යන්තම් අටවාගෙන යාමක්නෙ තියන්නේ (සාමාන්‍ය සේවය). ඒ වගේම ඉතින් අපේ මිනිස්සුන්ටත් නිකං දෙයක් ලැබුණම ඒත විනාශ කරනකල් නින්දක් නැති නිසා අලුත්ම දුම්රිය මැදිරිවලට පවා කරලා තියෙන විනාශ නිමක් නැහැ. මේක මගෙ රටේ දෙයක් මම පහසුවෙන් යන්නේ මේක නිසා කියලා හැඟීමක් ඇත්තේම නැහැ! ඒවා තමයි එක අතකට දැන් මේ ලංකාවටම සාපයක් වෙලා විඳවන්නේ! 

බස් ගැන කතා නොකර ඉමු. ඔක්කොම ඉවසන්න පුලුවන් අර උදේම කහඹිලියා කැඳ බීලා බස් එකට නගින රියදුරු මහත්මයගේ නොනවතින තිරිංගගායයි කොන්දොස්තර මහත්මයගෙ කරින් කරට පැන නටන වන්නම්ගායයි නැත්නම් මීට වඩා ටිකක් සුවපහසුවෙන්න තිබ්බා. 

මං මේ ටික අර්බුදය පටන්ගන්නකොටත් කිව්වා. අනුන් හදන්න කලින් තමන් හැදෙන්න ඕන කියලා. ඒ කිව්වම ගොඩක් සුද්ධෝදන පරම්පරාවේ අයට ඌයියා වුණා. 
අද දේශපාලනය මාෆියාවක් තමයි! හැබැයි ඒ මාෆියාවට ඇඟිල්ල උරුක් කරන මහජනතාව අතර ක්‍රියාත්මක මාෆියාව ඊට වෙනස් නැහැ! හැබැයි අන්තිමේදී උනුත් එකයි මුනුත් එකයි කියලා හැමෝම බැටේ දීලා තියෙන්නේ අපි අපිටම තමයි. කලුකඩ මාෆියාවේ ඉඳන් හැම කලදුටු කල වල ඉහගැනීමකම ගොදුරු වෙලා ඉන්නේ අපි අපිම තමයි. 
තේරෙයි, කල් යයි!!

✒️ Aash Weerasinghe

Uber PickMe Consumer Affairs Authority 

#අපේඅර්බුද #ලංකාමාතාකොයිබටද #අපේමාෆියා #uber #pickme #ceylonrailways #publictransortSL #lka