Tuesday, October 11, 2022

මිනිස් පළිහ සහ ප්‍රබාකරන් පැටව්

"අපි හැමදෙයක්ම කරන්නේ දරුවන් වෙනුවෙන්, අනාගතය වෙනුවෙන්!" නිතරම ඇහෙන කතාවක්. හැබැයි මේක ඇත්තටම එහෙමද?
පහුගිය කාලේ ඇතිකරපු (ඇතිවෙච්ච කියන්න බැරිබව දැන් දැන් තේරුම් යන නිසා) අරගලේ අස්සෙ දරුවා තරම් අවභාවිත වුණ මිනිස් පළිහක් තවත් තිබ්බේ සිවිල් යුද්ධේ අන්තිම කාලේ ප්‍රභාකරන් විසින් සිවිල් වැසියන් අවභාවිත කළ අවස්ථාවේ වෙන්න ඕන.

අරගලේ පළවෙනි දවසේ මිරිහානට දරුවො කරපින්නාගෙන ඇවිත් ඉටිපන්දමක් පත්තු කළහම ඒක විහාරමහාදේවි කතාවක් කරගෙන, රූප අඹාගෙන හදාගෙන ජාත්‍යන්තරේ අවධානය ගන්න කරපු වෑයම සාර්ථක වුණ හින්දා ඊටපස්සේ ඉඳන් යන හැම එකටම දරුවො ඉස්සර කරන් යන්න විතරක් නෙවෙයි මේ වසංගත අස්සේ අලුත උපන් කිරිකැටියොත් කරපින්නාගෙන ඇවිත් මාධ්‍ය සංදර්ශන තියන්න තරම් රැඩිකල්වාදී දෙමව්පියන් ඉන්න රටක් මේක! හයක් හතරක් නොතේරෙන දරුවගේ අතට ජාතික කොඩිය දීලා තමන්ට අවශ්‍ය දේශපාලන කතාව කියවන ගිරව් හැටියට තමන්ගෙ දරුවා/දරුවො භාවිතා කරපු, දේශපාලන අතකොළු බවට පත් කරපු 'අතිමානුෂීය' දෙමව්පියන් ඉන්න රටක් මේක!
ඒ වගේ යුතු/අයුතු ජනරාශියක් අස්සෙ කඳුළුගෑස්, ගුටිබැට, අනතුරු රාශියක් සිදුවන බව දැනදැන ඊට ඇති ඉඩකඩ දැනදැන තමන්ගේ දරුවන්ව හිතාමතා අනතුරකට ලක් කරපු නූතනවාදී, අධිමානුෂීය, සර්වසාධාරණ පරම්පරාවක් ඉන්න රටක් මේක! 
මතක ඇතිනම් පොල්දූව හන්දියේ කඳුළු ගෑස් ප්‍රහාරයක් වෙලාවක තමන්ගේ දරුවට හුස්මගන්න බැරිවුණා කියලා ප්‍රචණ්ඩව හැසිරිච්ච තාත්තා. දරුවට ප්‍රථමාධාර දෙනවා වගේම ඔය ඇත්ත තේරුම් ගන්න තරම් අවබෝධයක් තිබ්බ ප්‍රායෝගික මිනිහෙක් එතන හිටියානම් දැනදැන දරුවාව අනතුරුදායක තැනකට ගෙනවිත් දරුවාගේ අනුමැතියකින් තොරව තමන්ගේ දේශපාලනයේ ආයුධයක් කරගත්ත ඒ තාත්තටත් ගැලපෙන ප්‍රථමාධාරේ දෙන්න තිබ්බා! හැබැයි ඉතින් එක ජාතියේ කපුටු රංචු අස්සේ මොණරු හොයාගන්න බෑනේ. ඔය එක සිදුවීමක් විතරයි. 

ඒත් ඉතින් අපි කතාකරන්නේ දරුවාගේ ආරක්ෂාව, අනාගත සුරක්ෂිතබාවය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ (වඩා විහිළු සහගත ලෙස) තවකෙකුට ඇති ස්වාධීන මතයක් දැරීමේ අයිතිය තහවුරු කිරීම වගේ ලොකු කතන්දර. එන්ජීඕමය තෘප්තියක් ගෙනදෙන 'ජාත්‍යන්තර කතන්දර'! 

දිනපතා පෙනී හෝ නොපෙනී දරුවන් සියගණනක් කායික, මානසික හිංසනයට, අතවරයට, අඩන්තේට්ටම්වලට, අවභාවිතයට ලක්වෙන රටක ඉතාමත් ප්‍රසිද්ධියේ, කෘත්‍රිමව නිර්මාණය කරන ලද නමුත් ඒ බව නොපෙන්වන "දේශපාලනික අරගලයක" දරුවා කියන බාලවයස්කාර ප්‍රාණියා තමන්ට හයක් හතරක් අවබෝධයක් නැති දේශපාලන න්‍යාය පත්‍රයක, තමන්ගේ අනුමැතියකින් තොරව පළිහක් විදිහට භාවිතා කෙරෙනවා, තමන්ගේම දෙමව්පියන් විසින්! එතකොට දරුවා තමන්ගේ බූදලයක්යැයි සලකන සාම්ප්‍රදායික මතය අභියෝගයට ලක්කරන නූතන දෙමව්පියනුත් තාම ඉන්නෙ ඒ හණමිටිය කරපින්නාගෙන නෙවෙයිද, සංකල්පමය වශයෙන් විතරක් නෙවෙයි භයානක විදිහට ප්‍රායෝගිකව? 

දැන් මේක සාධාරණීකරණය කරන්න උත්සහ කරන මිනිස්සු කියාවි දරුවා වෙනුවෙන් පෙනී සිටියේ, දරුවො වෙනුවෙනුයි මේවා කළේ, උන්ට අනාගතේ හදන්නයි මෙහෙම කළේ, උන් මේ ඉතිහාසය දැනගන්න ඕන හින්දයි ගෙනිච්චෙ වගේ බයිලාමය හේතු. දරුවාගේ අනාගතය හදන්න නම් දරුවා ඉස්සෙල්ලම ආරක්ෂිතව වැඩිහිටි වයසට අවතීර්ණ වෙන්න ඕන! තමන්ගේ වටාපිටාවේ සිද්ධවෙන දේ ගැන තාර්කිකව හිතාබලන්න හැකියාවක් තියෙන්න ඕන (අලුත උපන් දරුවන්ට, අතදරුවන්ට, බාලවයස්කාරයන්ට ඒ හැකියාව එනවා නම් ලෝක පුදුමයක් වෙන්න ඕන, සාමාන්‍ය දරුවන්ට එහෙම නෑ නමුත් මේ නූතනවාදී රැඩිකල්වාදී දෙමව්පියන්ගේ ජානමය විශේෂත්වයක් නිසා ඔවුන්ට දාව ඒ වගේ සුවිශේෂී දරුවො ඉපදිලාද දන්නෙ නෑ!). අඩුම තරමින් සිරීමක් නොවෙන තරමට දරුවන් 'මල්' වගේ සලකන දෙමව්පියන් මිනිස් ගුලාවක පෑගීමට, පොඩිවීමට, තෙරපීමට තමන්ගේ දරුවා ලක්කරාවිද කොයිතරම් අසාධාරණ අන්තිම සටනකදී වුණත්? දරුවො ඉන්න අයට පුළුවන් ඒක තමන්ගේ හෘද සාක්ෂියෙන් අහන්න! ජාතික එකෙන් අහන්න යන්න එපා, එයාලා හයහතරක් නොතේරෙන දරුවො ඉස්සරහදී දෙමව්පියන් කපා කොටා වෙඩි තියා මරාදැම්ම, පැහැරගෙන ගිය ත්‍රස්තවාදයක හිටපු බව අමතක වේවි! 

ලෝකේ සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම, ගැටුම්කාරී තත්ත්වයකදීම දරුවා වෙළඳ භාණ්ඩයක්, දේශපාලන අතකොලුවක්, ඉත්තෙක්, බූදලයක් බවට පත්වෙනවා. බොරුනම් මැදපෙරදිග කලාපයේ යුධ ආවරණය බලන්න! ඒක තමයි ගැහැණුන්ට වඩා අවධානය ගන්න තියෙන සාර්ථකම ක්‍රමය! 
වැඩේ තියෙන්නේ අද ලංකාව වගේ සුන්දර සාධාරණ සමාජයකත් ඒක එහෙම වෙන එකයි! බලන්න ඒකෙත් හැටි ඉතින් 😏

4 comments:

  1. උග්‍ර පොහොට්ටුවාදී තුමියක් එක්ක දේශපාලන අදහසකට එකඟ වෙන්න වීමත් irony එකක්. මිරිහානෙ සහ මැයි 9 වෙනකම් අරගලය මම නම් හිතන්නේ ජනතාව අතරින් ආපු එකක්. ඒ වුනාට මැයි 9 න් පස්සේ ඒක පෙරැට්ටෝ, ජවිපෙ සහ අන්තරේ ඒක ඩැහැ ගෙන ඉවරයි. දැන් වෙන්නේ වෙන දෙයක්. ඉන්ධන, කිරි පිටි, ගෑස්, විදුලිය නැති කාලෙ ජවිපෙට ලැබුණ ආකර්ෂණය ඊලඟ චන්දෙ වෙනකොට අඩු වෙලා යයි කියල ඒ අය බයයි. ඒ නිසා අරගලේ උණුසුම තියා ගන්න තමයි අර සැමරුම, මේ සැමරුම කියමින් සුමානෙකට සැරයක් පෙලපාලි එන්නේ. ළමයින්ව අරගෙන එන්නේ ඕනකමින් පොලිසිය මඟින් ප්‍රතිචාරයක් අරගෙන ඒකෙන් වාසි ගන්න.

    ReplyDelete
    Replies
    1. මං උග්‍ර පොහොට්ටුවෙක් නෙවෙයිනෙ.😂😜 එහෙම වෙලත් ප්‍රසිද්ධියේ එකඟවෙන්න තරම් ඉයන්ට හයිය කොන්දක් තියෙන එක ගැන මගේ ප්‍රණාමය පිළිගන්න ❤️ අරගලේ මුල ඉඳන්ම ඉඳන්ම පොලිටිකල් ගේම් එකක්. ඒ එක කොණක් පොහොට්ටුව පූදගෙන ආවේ. ඒක මං හිතන්නේ දැන් වෙද්දී මිනිස්සුන්ට පැහැදිලි වෙනවා ඇති.

      Delete
  2. මම ගානේ මැටිනිටි බ්‍රා එකක් උබට ...එල ද බ්‍රා වගේ පොස්ට් එකක් ලිව්වට

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචං. උඹ තාම එතනද වැඩ?

      Delete