ඒ හිතවතුනි, කොරෝනා කියා මාරයෙක් අප දෙස බලමින් තලු මරමින් ඉන්නා බවක සලකුණක්වත් නැති BC (Before Corona) යුගය. සකලසිරින් පිරි සිරි ලංකාවේ අප ඒ වෙද්දී මාස්ලෝගේ පිරමීඩයේ උඩට කිට්ටු කරමින් හිටි නිසා සුපර්මාර්කට්වල එහෙම නිබඳ ජනගඟක් ඒ කාලේ ගැවසුණා. නිකංම නෙවෙයි, තල්ලු කරගන්නට අමාරු තරම් ගැල පටවාගත් කරත්ත එකිනෙකා හා තරග කරමින්.
මමත් එහෙම ගැල් තරගයකට මූණදීමේ අවධානම අරගෙන හන්දියේ කීල්ස් කඩේට ගොඩවුණේ ගොම්මංවෙලාවේ ගෙදර යනගමන්. කොහොමත් එදා ටිකක් වැඩිපුර කෝපිත් බීලා, හොඳ වැඩකොටසක් ගැන පෙරනිමිති දැකලා, බොහොම තෘප්තිමත් සතුටු මානසිකත්වයක හිටියේ. ඉතින් අර ගැල තල්ලු කරාගෙන රාක්ක අතර සක්මන් කරද්දී මිත්‍රවරුනි මම දැක්කා මගේ පරණ මිතුරියක් ඉන්නවා. හරිම හැඩ ගෑණු ළමයෙක් මගේ ඒ මිතුරිය. අහල පහළම හිටියත් අපි බොහොම කාලෙකින් මුණගැහිලා තිබුණෙත් නෑ, සමාජ ජංජාලේ ඇරුණම. ඉතින්, මාත් අතක් ඔසවා 'හායිඊඊඊ' කියා ආචාර කළාම ඒ දැරිවිගෙත් අත එසවී මුහුණ කළඑළි වුණා. ඒ එක්කම එයාගේ ගැල ළග හිටි කාන්තාවක් මගේ හිසේ හිට දෙපතුල වෙනතුරු බලමින් 'කව්ද ඒ?' කියා කුටුකුටුවෙන් අහනවාත් මගේ තීක්ෂණ ඇසට අසුවුණා. මේ දැරිවිත් ඒ ගැල පසෙක දමා මා සිටි දෙසට නාරිගමනින් ඇදුණා එක ඇඟිල්ලක් කටේ ගසාගෙන. දැන් අපේ මේ ජවනිකාව දිග හැරෙන්නේ කීල්ස් ෆාමසිය පසුබිම් කරගෙන. ඒ දවස්වල කීල්ස් වන්දනා නොකර ගෙදර යන්නේම නැතිතරම් වත්කම් තිබූ නිසා කීල්ස් සේවක මණ්ඩලය මාව හොඳින්ම දන්නවා. ෆාමසියේ අන්කලුත් කණ්ණාඩි දෙක හදමින් කටත් බාගෙට ඇරගෙන මේ සිදුවීම බලා ඉන්නවා මට හොරැහින් පේනවා මිත්‍රවරුනි.
හැබැයි අර නාරිලතා ගමනින් එන ළමයා මගේ මිතුරිය වෙන්න බෑ කියලා අකුණක් කෙටුවා වගේ මට දැනීනොදැනී ගිහින් ලැජ්ජාවක සේයාවක් මගේ සුෂුම්නාව දිගේ ඩී එස් ගුණසේකර ගමනක් යනවා මට දැනුණා. මාත් ඉතින් දැන් මක්කොරන්ටද කියලා 'හායි, මම අර ඉස්සර වෑන් එකේ ගියේ' කියලා වැලීරියන් කඩුව එළියට ගත්තා. (ශ්‍රී ලංකාවේ මධ්‍යම පංතිය ලැජ්ජාවක් වෙච්චි ගමන් කඩුව අතට ගන්නවනේ, ඒක කෙමක්)
(අර වෑන් කතාව වෙනම ලියන්න ඕන එකක්)
එතකොට මේ දැරිවි මෙතුවක් කටේ ගසාගෙන හිටි ඇඟිල්ලෙන් තමන්ටම තට්ටු කරන් "mmm... me, xxxx" කියලා තමන්ගේ නම කිව්වා. ඔව්, අර පොඩි ළමයි තමන්ව අඳුන්නලා දෙන්නේ. අන්න එහෙම.
දවස පුරා බිව් කෝපි මගේ දෑසින් වැගිරෙන්නට වගේ ආවා මිත්‍රවරුනි, මේ පණ්ඩිත මට වැරදුණා කියලා දැනිච්ච හැඟීමට!
කමක් නෑ ඉතින් වැරදීම දේව ගතියක්නේ. මම වහාම මනුස්සයෙක් හැටියට මගේ වරද නිවැරදි කරගත්තා බස බස ගාලා එළියට ගත්ත කඩුවෙන්ම 'සමාවෙන්න මම හිතුවේ මගේ යාලුවෙක් කියලා. ඔයා ඒ වගේමයි. ආයෙමත් සමාවෙන්න' කියලා. මිල්ටන් මහත්තයා පවා එහෙම කියලා තියෙනවනේ,
'තරහා වනු එපා අයදිමි මා සමා
ඔබ හා මා කතා කළේ
මාගේ යෙහෙළියකැයි සිතා
ඔබ ඈ වාගේමයි' කියලා!
ඉතින් මේ දැරිවි බොහොම සුන්දරව හිනාවෙලා 'ආ ඒකට කමක් නෑ' කියලා පිළිගත්තට මට බැල්මක් දීගෙන ටික වෙලාවක් බලා හිටියා ' ඇත්තටම ඔයා මාව දන්නේ නැද්ද ගෑණියේ' වගේ. ඒක නම් කමක් නෑ. ගැල පිටිපස්සේ හිටපු එයාගේ වැඩිහිටියා මා දිහා රවාගෙන හිටි හැටියට එතනින් ඉක්මනින් මාරුවීම හොඳ බව දැනිලා මම ගැල තල්ලු කරගෙන වෙනත් රාක්ක පේළියක් අස්සට වැදී සැඟවී ගියා.
ඒ අතර කීප සැරයක්ම මට ඒ දැරිවිව මුණ ගැහුණා. කොයිතරම් නම් සුරතල්ද කියනවා නම් තේකොළ රාක්කෙ උඩ තියෙන එකක් ගන්න උස මදිකමට මාලු කපමින් උන් කීල්ස් කාර්යමණ්ඩලය එක්කං එන්න තරම්. ඒකත් අර ඇඟිල්ල කටේ ගසාගෙන 'අනීඊඊ මේ අන්න අරක අරන් දෙන්නකෝඕඕ' කියලා. එහෙම කියද්දී කාටද මොන හිතකින් ද බෑ කියන්න පුළුවන් නේද?
ටික වෙලාවක් එහෙම ජවනිකා දිගැරෙද්දි මට ආයෙත් අකුණක් කෙටුවා වගේ මතක ඡායාවක් ආවා මේ දැරිවි ප්‍රසිද්ධ මාධ්‍යයේ දැක්කදෝ මන්දා කියලා!!
මම ගෙදර එනකොටත් ඒ දෙපළ කීල්ස් දොරටුව ළග හිටන් හිටියා, වැඩිහිටියා ඒ වනතුරුත් අචල රැවීමෙන්!
ගෙදර ඇවිත් ලයිව් ඇට් 55 දුන්නම මිත්‍රවරුනි හරියටම සාක්ෂාත් කරගත්තේ අනී මම වැරදිලා කතා කරලා තියෙන්නේ නිළියකට කියලා! 🤦♀️🤦♀️🤦♀️ කව්දෑ ඉතින් දන්නේ නේද. 🤷♀️🤷♀️🤷♀️
:
:
:
:
:
:
:
:
ප. ලි. ඈ කව්දැයි කියා විමසීමෙන් වළකින්න. කියන්නේ නෑ නෑ නෑ නෑමයි😜
~✒️ තනියා
#AW #thaniya #medusasjournal #බයිට්කතා
කවුද හැබෑට🤔
ReplyDeleteඅනී කියලා තමයිලු ප්‍රසිද්ධ
Deleteඅපේ තිලිනි අක්කද?
ReplyDeleteනෑඈඈඈ.. අනීඊඊඊ..
Delete