Wednesday, November 25, 2015

නුඹට ලියා තබන වග නම්...

නික්මෙන්නට මොහොතක් තබා මම ලියමි.
නුඹ නොදන්නා මගේ සිතුවිලි, මහළු නොවූ මගේ ප්‍රේමය ලියා තබනට නිසි කල එළඹ ඇතැයි සිතන මොහොතක මම ලියන්නට ගනිමි.නුඹට වදන් කොට කිව නොහැකි වූ, මගේ හිත මා සමග දොඩමළු වූ අනේකවිධ සිතුවිලි මම අකුරු කොට තබමි, යම් මතුදාක නුඹට කියවා දැනගනු හැකිවනු පිණිස..

ප්‍රේමයක හැඩතලක් දකින්නට පෙර නුඹ මට හමුවුණෙහිය.ප්‍රේමයක රස හඳුනන්නට පෙර නුඹ මගේ හිත දිග්විජය කළෙහිය.ප්‍රේමයක බර විඳින්නට පෙර නුඹ එහි අතුපතර විහිදා නැගී සිටියෙහිය.ඉතින්, මම කුළුදුලේ නුඹට ප්‍රේම කළෙමි.

Saturday, November 21, 2015

Amygdala...!

Amygdala...!
උඹට බැහැ ආයෙම
ප්‍රේම සාගරේකට
මාව තල්ලු කර දමන්න..
ගිලෙනවා දැක දැක
මහ හඬින් හිනැහෙන්න...
හිනැහෙහී විරහවක්
ඈත සිට පෙන්වන්න...
Amygdala...!
උඹට බැහැ ආයෙම
කටුකම්බි කඩාගෙන
හදවතට වදින්න...
ඇස් කෙවෙනි දැවෙනකල්
දුක කොනිති ගහන්න...
අතරමං වෙනකල්
හිත ඔහේ කරකන්න..
කෙටියෙන්ම Amygdala
උඹට බැහැ මාව
උඹෙ පදේට නටවන්න
තවත්නම් කොහෙත්ම...!



Note: The amygdala is the part of our brain that handles emotions.


Friday, November 13, 2015

තනියා සහ සංගීත උණ

අපි හැමෝටම එක එක වර්ගයේ උණ තියෙන බව මම මුල් කාලෙත් කතා කරලා තියෙන දෙයක්නේ..දැන් ඔය උණෙත් එක එක වර්ග අපේ ජීවිත වැලඳගන්නේ විවිධාකාර විදියටයි..තනියාටත් ඔය කියමන එහෙම් පිටින්ම වලංගුයි මොකද ඒකාත් පෘථග්ජනයි.ඉතින් ඔහොම තිබුණු/තියෙන එක උණක් තමයි සංගීත උණ.

ඔය සංගීත උණට මූලිකම හේතුව තනියාගේ මව් පාර්ශවයෙන් ආව සංගීත ආභාෂය.තනියාගේ තියෙන නාහෙට නාහන හිතුවක්කාරකම කොච්චර තද වුණත් සංගීතය විඳින සංවේදී එකෙකුත් ඔය හිතුවක්කාර සරීර කූඩුව අස්සෙම කොහේහරි ඉන්නවා..තනියාගේ සීයා තමයි ඔය සංගීත පිස්සුවේ මුදුන් මුල.වෘත්තීයෙන් ඉන්ජෙක් වුණාට මොකද සංගීත හා ලේඛන කලා පිස්සුව තදටම තිබ්බ කෙනෙක් තනියගේ සීයා.පුංචි කාලේ ඉඳන්ම මව් පාර්ශවයේ පවුලේ කට්ටිය එකතුවුණහම සීයා ඕගන් එක ගහමින් සිංදු කියන එකත් අනික් කට්ටියත් බොහොම උද්‍යෝගයෙන් යුතුව ඕකට එකතුවීමත් මගේ පුංචි කාලේ බොහොම මිහිරිම මතකවලින් එකක්..ඒ වගේම සීයාගේ මල්ලිත් අපූරු වගේම බොහොම දක්ෂ කලාකාමියෙක් (ඔහු ගැන වෙනමම දවසක ලියන්නට ඕනා)..ඉතින් ඔය සංගීත සාගරේ ආභාෂය නිසාම තනියාත් පුංචි කාලේ හිතුවා ගායිකාවක් වෙන්න..සීයලා ගයන්නේ ක්ලැසික්ස්, සීටීගේ, සුනිල් ශාන්තලාගේ සිංදු වුණාට තනියා ඒවත් කියන අතරේ උපරිමේටම රස වින්දේ රූකාන්තගේ සිංදු..දැන් කාලේ ස්ටාර්ලටත් වඩා මම හිතන්නේ රූකාන්ත ජනප්‍රිය තලේක හිටි කාලයක්නෙ 90 දශකය කියන්නේ..එතකොට ඉතින් අර උඩ පැන පැන ගිටාර් එක ගගහා අරහෙට මෙහෙට ඇඹරිලා සිංදු කියන අතිශය ප්‍රාසාංගික කලාව තනියාගේ බොක්කට, අග්න්‍යාශයට හිටං ජීර්ණය වෙලා තිබ්බ නිසා ඉස්ඉස්සෙල්ලාම රූකාගේ සිංදු වගයක් පත්තරේක දැකලා ඒ ටික ලියලා දෙන්න කියලා අම්මට කනිපින්දම් කියනකොට තනියා නර්සරියේ..! ආයේ මොනවද ඒ ටික දිහා බලන් වචනවල තේරුම්වත් නොදැන තමයි රූකා වගේම ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම් කළේ..! :D