සයිබර් ආරක්ෂණය නැත්නම් cyber security වලදි ශ්‍රී ලංකාව ඉන්නේ අවබෝධය සහ භාවිතාව අතින් පහළ තැනක. Global Cyber Security index එක ගත්තම 2020 අපි ඉඳලා තියෙන්නේ 58.65ක සාමාන්‍යයක් එක්ක 83වෙනි ස්ථානයේ. මේ index එක මැනෙන්නේ රටක සයිබර් ආරක්ෂණය වෙනුවෙන් කරන වැඩ කොටස, ඒ ගැන අවබෝධය, නීති සම්පාදනය, තාක්ෂණික භාවිතාව, ධාරිතාවය, දැක්ම වගේ කාරණා කීපයක එකතුවකින්.
අවධානමේ බරපතලකම සරලව මෙහෙම කිව්වොත් 2023 අවුරුද්ද වෙද්දී ගෝලීය සයිබර් අපරාධකරුවන් විසින් දත්ත වාර්තා බිලියන 33ක් සොරාගෙන තියෙනවා. ඒක 2018 වසරට සාපේක්ෂව 175%ක වර්ධනයක්. දත්ත සොරකමේ(data breach) වාර්ෂික හානිය 2024 අවුරුද්ද වෙද්දී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5කට වඩා වැඩිවිය හැකිබවට ඇස්තමේන්තු කෙරෙනවා, දැනට පවතින්නේ වාර්ෂිකව ඇ. ඩොලර් ට්‍රිලියන 3ක හානියක්.
ලංකාවේ තවම සයිබර් ආරක්ෂණ පනත නිල වශයෙන් සම්මත වෙලා නැහැ. නමුත් සෑම රටකටම සයිබර් ආරක්ෂණ පනත් සහ කෙටුම්පත් කළ ක්‍රියාමාර්ග තිබීම ජාතික, ආර්ථික, සමාජීය සෑම අංශයකම ආරක්ෂාවේ අනිවාර්ය කොටසක්.
යුධ කාල සීමාවේ ආරක්ෂක අංශ සයිබර් ආරක්ෂණය පිළිබඳ යම් වැඩ කොටසක් කරලා තියෙනවා. නමුත් සයිබර් ආරක්ෂණය එතනින් එළියට ඇවිත් තාම ලංකාවේ සිස්ටම් එකට කාවැදිලා නැත්නම් පත්තියං වෙලා නෑ.
මේ කතාව ලියන්න හේතුව වුණේ අද ඩේලිමිරර් පළ කළ අවන්ත ආටිගලගෙ කාටූනයක්. කණගාටුදායක විදිහට අවන්ත සයිබර් ආරක්ෂණ පනත සමාජ මාධ්‍ය වාරණ උත්සහයක් හැටියට ලඝුකරලා දක්වලා තියෙනවා. ඒකේ සංවාදය දිහා බැලුවම සුපුරුදු පරිදි ලාංකිකයා ජනප්‍රිය මතයේ එල්ලීම නිසා දේශපාලනීකරණය කරන ලද අදහසකම එල්ලී ඉන්න බව පේනවා. කණගාටුව මේ බහුතරය පනත කියවා නැහැ!
සයිබර් ආරක්ෂණ පනතක වැදගත්කම ශ්‍රී ලංකා සිවිල් සමාජයට නොතේරීමට එක හේතුවක් සමාජ සහ අනෙකුත් මාධ්‍ය මගින් සෑම සියලු දෙයම දේශපාලනීකරණය කරන්නට දරන උත්සහය. අනෙක කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි යන්න අමතක කරන මහජනතාව. සාමාන්‍ය සමාජය වගේම ව්‍යාපාරික, වෘත්තීයවේදී සමාජයන්ටත් මේ කාලීන අවශ්‍යතාවය සහ වැදගත්කම තවම හරියටම අවබෝධ වෙලා නැහැ කියන එක කියන්නේ අත්දැකීමෙන්. ඒ වගේම මොකද්දෝ හේතුවකට සයිබර් ආරක්ෂණයට සම්බන්ධ වෘත්තීයවේදීන්ගේ තියෙන නිශ්ශබ්දතාවය. නිසි අවබෝධයක් සහිත කොටස නිහඬ නම්, දැනුවත් කිරීමක් සිද්ධ වෙන්නෙත් නැත්නම්, නොදැනුවත් කොටසට වැරදි තොරතුරු පතුරවන්න පහසුයි!
සයිබර් ආරක්ෂණය එක්ක එහි දිගුවන් ලෙස සයිබර් ත්‍රස්තවාදය වැළැක්වීම (cyber terrorism prevention) සහ සයිබර් අපරාධ වැළැක්වීම (cyber crime prevention) ක්‍රියාත්මක විය යුතුයි. නමුත්, ඒවා අනු අංශ. ලංකාවේ පදනමවත් හරිහැටි ක්‍රියාත්මක නොවී අනුඅංශ ගැන කතා කරන්න තවම වේලාසන වැඩියි.
සුපුරුදු ලෙස බහුතර ලාංකිකයා පරිභ්‍රමණය වන්නේ සමාජ මාධ්‍ය වටා නිසා, සයිබර් ආරක්ෂණයට පියවර කියූ සැණින් ඔවුන් එය ආදේශ කරගන්නේ තමන්ගේ කේන්ද්‍රීය ස්ථානයට. සමාජ මාධ්‍ය අවධානමට වඩා තමන්ගේ බැංකු ගිණුම්, වෛද්‍ය තොරතුරු, පෞද්ගලික තොරතුරුවලට තියෙන අවධානම ගැන ඔවුන්ට අවබෝධය අඩුයි. ඒවායෙන් විය හැකි හානිය සමාජ මාධ්‍ය ඇහිරීමකට, hack වීමකට වඩා දරුණුයි. "මේ වගේ සිදුවීම් වෙන්න පුළුවන් දියුණු රටවලට, ලංකාව නොදියුණු රටක්" වගේ තර්ක සයිබර් අවකාශයට අදාළ නෑ. අනෙක සමාජ මාධ්‍යවල පවා පෞද්ගලිකත්වය තර්ජනයකට ලක්වීම ලඝුකරලා සැලකිය හැකි කාරණාවක් නෙවෙයි. කොයිතරම් සයිබර් අපරාධ ප්‍රමාණයක් සමාජයේ අවධානමට ලක්නොවී සිද්ධවෙනවාද කියන එක සංවාද කළයුතුම මාතෘකාවක්.
කෙටියෙන් කියනවා නම් සයිබර් ආරක්ෂණය කියන්නේ සමාජ මාධ්‍ය වාරණයක් නෙවෙයි! සමාජ මාධ්‍යවල ප්‍රධාන අරමුණ ඉෂ්ඨ වෙන්නත් සයිබර් ආරක්ෂණය පදනමක් හැටියට අත්‍යාවශ්‍යයි.
කරුණු හරිහැටි හොයා නොබලා, නොදැනුවත්ව හරි සිතාමතාම හරි වැරදි තොරතුරු සමාජ ගතකිරීම රටටම, අපටම කරන හානියක්.
විශේෂයෙන්ම, උගත් බුද්ධිමත් ජනතාවක් හැටියට අවම වශයෙන් නීති සම්පාදනයකට විරුද්ධ වෙන්න කලින් ඊට අදාළ තොරතුරු කියවා බලන්න.
කොරහෙ කිඹුල්ලු ඉන්න පුළුවන්, හැබැයි හැම කොරහෙම නෙවෙයි!
~✍️ Aash Weerasinghe
#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow #cybersecurity #cybersecurityawareness