Showing posts with label සංවේදනා. Show all posts
Showing posts with label සංවේදනා. Show all posts

Saturday, November 9, 2024

හිත නිවන කතා

මිනිස්සු කියන්නෙ අටෝරාසියක් හැඟීම් දැනීම් සිතුවිලි මනෝභාවයන්ගෙන් පිරිච්ච මහ සංකීර්ණ ජීවීන් කොටසක්නෙ. සමහර වෙලාවට මේ සංකීර්ණතා අමතක කරලා අපි, අපි ආදරේ කරන හරි අදහන හරි විශ්වාස කරන හරි නැත්නම් මොනහරිම හේතුවලින් සමීප වෙලා ඉන්න හරි මිනිස්සුන්ව කියවගන්න උත්සහ කරලා ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. ඈතින් හරි පිටතින් හරි බොහොම මටසිලිටිව පේන ගොඩක් පිළිමවල පොටි ගහලා වහගත්ත පිපිරුම් දෙදරුම් සිය දහස් ගාණක් තියෙන්න පුළුවන් කියන යථාර්තය අමතක කරලා පිටට පේන ප්‍රතිරූප විශ්වාස කරන්න දඟලලා හිත් අමාරු හදාගන්නවා. නරකම දේ ඒක නෙවෙයි. අනුන්ගෙ පිළිමවල පිපිරීම් තියෙන්න පුළුවන් වගේම තමන්ගේ පිළිමවලත් පිපිරීම් තියෙන බව අපි අමතක කරන එකයි. මම පරිපූර්ණ නැත්නම් මට ලෝකේ හැමෝම පරිපූර්ණවෙන්න ඕන කියලා අන්තවාදෙක ඉන්න සදාචාරාත්මක අයිතියක් නෑ. තමන්ට සීයට සීයක් ගැලපෙන හැටියට හිතන පතන ජීවත්වෙන මිනිස්සුන්ව බලාපොරොත්තුවෙන එක ප්‍රායෝගික නෑ. හැබැයි තමන් අකමැති දෙයක් හෝ විරුද්ධ දෙයක් ඉවසා දරාගෙන ඉන්න අවශ්‍යත් නෑ. ආදරයද යුතුකමද වගකීමද කියන මොනාකාරයකින්වත් කිසිමකෙනෙක් අවභාවිතා වියයුතු නැහැ.

මොන විදියක වුණත් මිනිස් සම්බන්ධතා හරිම සංකීර්ණයි. අපි බලාපොරොත්තුවෙන විදියටම හැම සම්බන්ධතාවක්ම පවතින්නෙ නෑ. එහෙම දෙයක් තමන්ට අමාරුම නම් එතන බලෙන් රැඳෙන්න ඕනත් නෑ. 

කිසිම මනුස්සයෙක් පරිපූර්ණ නෑ. ජීවිතෙ වැරදුණු, හිතා හෝ නොහිතා හෝ වැරදි කළ මිනිස්සුන්ව ඒවා මත පිහිටලම විනිශ්චය කරන්න තරම් දේවසභා මනුස්ස ලෝකේ තියෙන්නත් බැහැ. 
වැරදුණු තැන්වලින් ඉගෙනගෙන නැත්නම් ඒ මිනිස්සු කවුද කියන එක අඳුනගන්න සාධකයක් කරගෙන එතනින් ඈත්වෙනවා මිසක් හෝද හෝද මඩේ දාන්න කාගෙවත්ම කාලයක් ශ්‍රමයක් මානසික ඉඩක් වෙන්කරන්න අවශ්‍ය නෑ. ආදරේද නෑදෑහිතමිත්‍රකමද පාක්ෂිකත්වයද සහයෝගීතාවද අරකද මේකද කියන පිදුරුගස්වල එල්ලීගෙන අමාරුවෙන් සම්බන්ධතා නඩත්තු කරන්න ඕනත් නෑ. 

වැදගත්ම දේ තමන් කෙනෙකුට අකමැති වෙච්ච පමණින් ඔවුන්ට වෛර කරන්න හේතු හොයන්න මහන්සි වෙන්නෙ නැතුව අතෑරියම ඉවරයි, නිදහස්. විශ්වය ක්‍රියාත්මකවෙන හැටි අපි කාටවත්ම නිර්ණය කරන්න අමාරුයි. සමහරවිට, නරක කර්මයක් කියලා අපි හිතන සමහර මිනිස්සු, සිදුවීම් ඒ මොහොත තරණය කරන්න තිබ්බ විසඳුම්වලින් හොඳම එක කියලා විශ්වය තීරණය කරන්න ඇති. තියෙන නරක කර්මයත් ගෙවලා එතනින් එහා කතන්දරෙත් බැලන්ස් කරලා දෙන්න තිබ්බ හොඳම විදිහ ඒක වෙන්න ඇති. නැතිවුණ දේවල් වගේම ඒවා ඒ විදියටම සිද්ධවීමෙන් ලැබුණු දේවලුත් ඇති.

සමහරවිට, මේ ඔක්කොම කතා අපිම හදාගන්න හිත නිවන කතා වෙන්නත් ඇති. 

පහුගිය අවුරුදු කීපය ගත්තොත්, මම පුද්ගලයෙක් හැටියට මගේ හිතට එකඟ නැති, ගලපගන්න බැරි ගොඩක් දේවල්, සම්බන්ධතා, මිනිස්සු, සිදුවීම්, ස්ථාන සම්පූර්ණයෙන්ම අතෑරිය මනුස්සයෙක්. දැනටත් අතෑරමින් ඉන්න මනුස්සයෙක්. ඒක දුකක් කණගාටුවක් නැතුව කරන්න පුළුවන්මයි කියලා කියනවට වඩා ගොඩක් ඒවයෙ කළකිරීම් බරට ප්‍රත්‍යස්ථතා මාපාංක පනිනකල් වැඩිවෙන්න මංම ඉඩ දුන්නා කිව්වොත් හරි. ඒ අවස්ථාවල තීරණ ගත්තේ මංම නිසා ආයෙ දවසක හැරිලා බැලුවත් කිසිම හැඟීමක් දැනීමක් නැතුව උපේක්ෂාවෙන්, මගේ හැකි උපරිමයටත් එහා ශක්තියක් මං ඒ වෙනුවෙන් කැපකළා, වැයකළා කියන හෘද සාක්ෂිය මට ඉතුරුයි. ඒකට නිසි වටිනාකමක් ලැබුණද නැද්ද කියන එකත් නරක කර්ම ගෙවීමක් විදිහට අරන් ඒ සංසාර ණය ගනුදෙනු එතනින් ඉවරකිරීම හිතට නිදහස්. ඒ ඇතිනෙ.

~ Aash Weerasinghe | තනියා

#AW #thaniya #medusa #medusasjournal

Saturday, September 14, 2024

නොම්මර 17 සහ කොළඹ

හේමසිරි සෙල්ලප්පෙරුමගේ අධ්‍යක්ෂණයක් සහ ප්‍රීතිරාජ් වීරරත්නගේ නිෂ්පාදනයක් හැටියට නොම්මර 17 තිරගත වෙලා තියෙන්නෙ 1989දි. Youtube එකේ මේ වීඩියො එක දැක්කම මගේ default නොස්ටැල්ජියාව හෙවත් අතීතකාමය ඇහැරුණා.

විජයත් ෆ්‍රෙඩිත් දැන් ජීවතුන් අතර නෑ. ඒ දෙන්නා නටන රඟපාන පසුබිම් කොළඹත් දැන් එක්තරා විදියකින් මැරිලා ඉපදිච්ච නගරයක්. ඔය වීඩියෝව බැලුවොත් ඒ කාලෙ කොළඹ (සාපේක්ෂව) කොයිතරම් නම් අහිංසකද සරලද කියලා පෙනෙයි. ටොරිංටන් චතුරශ්‍රය, ගංගාරාමය සහ ගෝල්ෆේස් එක දැක්කම මොකද්ද මහා හිස්, පාළු හැඟීමක් දැනෙනවා. ඒ වටපිටාවෙම උස ගොඩනැගිලි කීයද තියෙන්නෙ? දේශීය ආදායම් බදු ගොඩනැගිල්ල, පිට්ටු බම්බුව (ලංකා බැංකුව), ටාජ් සමුද්‍රා, හිල්ටන්, මහ බැංකුව වගේ අතලොස්සක් බිල්ඩින් තියෙන එල්ෆ් වෑන්, ඩෙලිකා, පරණ ටොයොටා කාර් යන සුඛෝපභෝගී අටපට්ටම් වාහනවලින් පිරිලා නැති, මිනිස්සු අඩු, ඒ අහිංසක කොළඹට මං හරි ආදරෙයි. සමහරවිට ඒ කාලෙ හැටියට සංකීර්ණතා තියෙන්න ඇති. 1989 තිරගත කරන්න නම් මේක පටිගත කරන්න ඇත්තේ 86-88 කාලෙදී, ඒ කියන්නෙ භීෂණ කාලෙදි වෙන්න ඕන. තිරගත වෙද්දි විජය ඝාතනය වෙලා (1988 පෙබරවාරි 16). 

දැන් නාගර්‍ර්කරණයේ උපරිමයට ගිහින්, හැමදෙයක්ම සංකීර්ණවෙලා, මිනිස්සුන්ට පොළොවෙ පයගහල ඇවිදින්න බැරි තරම් ඔද්දල් වෙච්ච කොළඹ තිබ්බ සරල විදියට තිබ්බා නම් හොඳයි කියන එක සමහරවිට මහ ආත්මාර්ථකාමී හැඟීමක් වෙන්න ඇති. ඒත් මං කැමතියි "අසුරු සැණින් එක මොහොතකදි, කාලය නැවතී යළි ඇරඹී, විශ්වය අළුතින් බිහිවෙලා" ඒ අතීත කොළඹ සංචාරෙක යන්න. සෙනඟ අඩු ගෝල්ෆේස් එකේ සාපේක්ෂව නැවුම් මුහුදු හුළඟක් විඳින ගමන් පැත්තක නවත්තපු බරබර ගාන පරණ තාලේ අයිස්ක්‍රීම් ලොරියකින් රිදීපාට කොළේ ඔතපු රහම රහ අයිස්චොක් එකක් කන්න. හුළං පුරෝපු හාවොයි බෝලයි විකුණන වෙළෙන්ඳෝ කීපදෙනාගෙන් වැඩකට නැතුවත් බෝලයක් ගන්න. මට වඩා ලොකුවට පේන හින්දා ඒ තිබ්බ බිල්ඩින් ටිකේ ලොකුකම දිහා පුදුමෙන් බලන්න. සෙනඟ නොපිරුණු ගෝල්ෆේස් එකේ නිදහසේ හුස්මක් ගන්න. ඒ දවස්වල බලෙන් වගේ ඇවිද්දවපු හින්දත් නොතේරෙන වයස හින්දත් අහගන්න බැරිවුණ කොළඹ කතා ඇවිදිනගමන් තාත්තා අම්මගෙන් අහගන්න. අවුරුදු ගාණක් ඇතුළත විපරීත වෙයි කියලා දැන් දන්න හින්දා ඒ අහිංසක සරල කොළඹ ඇස්වලින් උරාගෙන හිතේ කොටාගන්න, උපරිමයෙන් විඳගන්න. 

මට තිබ්බා නම් කාල ත්වරණ යන්ත්‍රයක් සමහරවිට...

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #colombo #sinhalacinema 

https://youtu.be/zUE9Y4mPYKY?si=K98Xkfald6wCCFy2

Friday, September 13, 2024

තවලම්කරුවෝ

රූකාන්තගෙ සමහර සිංදුවලට හැඩතල මොනවා දාලා කවුරු කොහොම කිව්වත් අර මුල් ගීතයෙ තියෙන හැඩෙයි හැඟීමයි ගන්න බැරි ඒවත් තියෙනවා, මේකත් එහෙමයි. විවෘත, සරල, සතුටු හඬක් විදියට මතුපිටින් පේන රූකාන්ත ඇතුළේ නැලවෙන, නලවන, දුකක් නොවන දුකක් වගේ එකකුත් පෙනී නොපෙනී යන අවස්ථා තියෙනවා. හැබැයි, සිහේලි මේකට දීලා තියෙන හැඩය සහ රහ වෙනමම තලයක්! 

මොන හේතුවක් පදනම් කරගෙන මේක ලියැවුණත්, 'තාමත් ඔබ ඇත සුව නින්දේ, ඒකයි මා නොකියා යන්නේ' කියද්දි බොල්පිණි වෑහෙන වෙලාවල්වල අපි හැමෝම කප්පරකට කරලා ඇති සමුගැනීම්, සමුදීම් සහ සමු-උදුරා-ගැනීම් නිරායාසයෙන්ම නියෝජනය වෙනවා කියලා හිතෙනවා. ව්‍යංගාර්ථ ගත්තොත් තමතමන්ට දැනෙන හැඟෙන හැටියට කියවගන්න පුලුවන් තේරුම් ගොඩක් මේ පද පේළි ඇතුළේ තියෙනවා. 

ඒ හින්දා මට හිතෙනවා, මේකෙ සාමාන්‍ය ප්‍රේමයක සමුගැනීමකින් එහා ගිය ගැඹුරු අභිනිෂ්ක්‍රමණ කතාවක් කියවෙනවා කියලා. ඒ එක්කම මුල් කොටසෙදි මගෙ ඔලුවෙ මැවෙනවා කොහෙහරි කතා පොතක හරි ඉස්කෝලෙ පොතක හරි දැක්ක සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණයට කලින් ඇවිත් යසෝධරා දේවිය අළුත උපන් රාහුල කුමාරයා තුරුලු කරන් නිදා ඉන්න කුටියෙ දුහුල් තිරය මෑත් කරලා බලා හිටි පින්තූරයක්. 

හැබැයි ඒ කතාව දෙවෙනි කොටසෙදි 'තවත් නිවහනක ගිමන් නිවන තුරු ඔබ සිහියට එන්නේ' කියලා කුළුගෙඩි පාරක් දීලා බිඳලා ආයෙම තිත්ත යථාර්ථයකට අපිව වට්ටවනවා. සමහරවිට ඒ කියන්නේ නැවත ආත්මයක් ලබනවා නම් ඒ වනතුරු මතකයෙ ඉන්නවා හෝ මේ ජීවිතේ අවසානය වෙනතෙක් මතකයේ ඉන්නවා කියන එක වෙන්නත් පුළුවන්. ඒත් එහෙම අපි සමුගන්න, සුමුදුන්න, සමු-උදුරාගන්න හැම කෙනෙක්වම ජීවිතාන්තය තෙක් මතකයේ රඳවගන්නෙ, රැඳෙන්නෙ නැහැනෙ.

සංසාර සංකල්පය එක්ක ගත්තහම අපි ඔක්කොම තවලම්කාරයෝ කියන කතාව ඇත්තයි. හැබැයි හැම තවලම්කාරයෙක්ම නොකියා අභිනිෂ්ක්‍රමණ කරන්නෙ නෑ, ඇත්තම කිව්වොත් එක නිවහනක් හැර ගියාට ගිහිගෙය හැරයන්නෙ නෑනේ. 

සංසාර ගමන විශ්වාස කරන මනුස්සයෙක් හැටියට සංසාරේ තවලම්කාරයෙක් හැටියට මං මාව දැක්කට, ප්‍රේමය කියන විෂයෙදි තවලම්කාරයෙක් හැටියට කිසිම කෙනෙක්ව දකින්න කොයිතරම් අකමැතිවුණත් එහෙම දකින්න සිද්ධවෙන යථාර්ථයෙන් මිදෙන්න බැහැනෙ. හැබැයි ලෝකේ තවලම්කාරයොන්ගෙන් පිරිලා. ගැල එක්ක යන ගමන යන්න හිතා හෝ නොහිතා හෝ තවලම්කාර ජීවිත තෝරගෙන හෝ නොගෙන හෝ යන තවලම්කාරයො කොච්චර ඇතිද? 

මේ ජීවිතේ හරි සංසාරේ හරි තවලම්කාරයෙක් වෙන එක හරි ලේසියි. 
ඒත්, ඒ තවලම්කාරකමෙන් ගැලවෙන්න අමාරුයි.
සංසාරේ සෑහෙන්න දුෂ්කරයි, දුරයි, සංකීර්ණයි. ගැල බරයි.

මට ඕන නෑ තවලම්කාරයෙක් වෙන්න. ඒත් මම එක්තරා විදිහක තවලම්කාරයෙක්.

"තවලම්කරුවෝ කවරදාකදෝ එකම තැනක උන්නේ.."❤️

~ Aash Weerasinghe

#AW #thaniya #medusa 

https://youtu.be/wYuIehqgOow?si=PyRbZCduZV9-D0i9



Sunday, July 14, 2024

බෝතල් කටු

කතා පෙට්ටගමේ සමහර කතන්දර නොකී-නොලී ඒවා. සමහර ඒවා කියන්න-ලියන්න කලින් සෑහෙන්න හිතන්න ඕන ඒවා. සමහර ඒවා මං යද්දි අරං යන ඒවා.

මේක ටික කාලෙකට කලින් සිද්ධ වෙච්ච දෙයක්. ඒත් අලුයට ගිනිපුපුරක්. අලු පිහිනවද නැද්ද කියලා හිතමින් ඉඳලා ඔන්නොහෙ කමක් නෑ කියලා ලියනවා.

මොන තරාතිරමක හිටියත්, ළමයි හෙන වාතයිනේ, උං කෑගහනවා අඬනවා, කක්කා දානවා කියන ගෑණුන්ට පවා එක්තරා මොහොතක දරුවෙක් හැදීමේ ස්වාභාවික හීනය පේන්න පටන් ගන්නවා. ඕන චණ්ඩියෙකුට, 'අනේ දෙවියනේ මං පරක්කු වැඩියිද' කියලා එතෙක් කල් පේන පැත්ත පළාතක නොතිබ්බ බයක් ලෝකේ පෙරළගෙන හිතට එනවා. මේ කියන මොහොතේ මාත් හිටියේ ඒ බය දැනිලා.

අපි හවසක කයියක් ගහගෙන කන්න තැනකට යමින් හිටියේ. සාමාන්‍යයෙන් මට වඩා (වයසින්) පරිණත මිතුරියන් කීපදෙනෙක් එක්ක. ඔහොම වාහනේ ඇතුළේ පිස්සු කරමින් හිනාවෙමින් ඉන්න වෙලාවක මගෙ මේ බොහොම බෑරෑරුම් ප්‍රශ්නෙ එළියට පැන්නා. 
"මං eggs freeze කරන්න ඕන. කවදහරි දවසක මට හිතුණොත් අපරාදේ දරුවෙක් හැදුවෙ නැත්තේ කියලා" ඌණපූරණයක් එක්කම මං මගේ ප්‍රශ්නේ වාහනේ බිමට අතෑරියා. 
"පිස්සුද උඹ වගේ තව එකෙක් මේ ලෝකෙට ගේන්න!" කියලා එක කටකින් පනින පරක්කුවට මං තිගැස්සුණා. ඒක මහ බෝතල් කටු කතාවක්. වෙන වෙලාවක නං" අනේ මේ, හිට්ලර්ලා තමයි මේ ලෝකෙට ඕන" කියලා අනිත් අතට පොළොං පැනිල්ලක් පනින්න ඉඩ තිබ්බත් ඒ වෙලාවේ මං නිශ්ශබ්දව මගේ මෝඩකම ගැන තැවෙමින් ප්‍රශ්නෙ අහුලලා මල්ලෙ ඔබාගත්තා. 

අපි ආයෙත් සාමාන්‍ය විහිළු කතාවට හැරුණා. මගෙ ප්‍රශ්නෙට ප්‍රශ්නෙකින් උත්තර දීපූ යාලුවා එක්ක මූණට මූණ බලාගෙන වාඩිවෙලා අපි කෑවා, බිව්වා, හිනාවුණා, වෙනදා වගේම පිංතූර ගත්තා. මූණේ ඉරියව්වකින්වත් වෙනසක් නොපෙන්නා කොයිතරම් සාමාන්‍ය විදිහට හිටියත් ඒ මුලු වෙලාවෙම ඒ බෝතල් කට්ට මගෙ හිත කපකපා ඇමිණිලා තිබ්බා. නෑ, කොහොමත් ටිකක් කට පාලනයක් නැති හින්දා කියන්න ඇත්තේ කියලා කිසි පැකිලීමක් නැතුවම මං සැකයේ වාසිය පිතිකරුට දුන්නා. 
හැබැයි ඒ කැපිච්ච තුවාලෙ තාම තියෙනවා. එහෙමයි කියලා තරහක් වෙනස්වීමක් නෑ. සමහරවිට ඒක දැනෙන්න හේතුව සමාජ පීඩනය වෙන්නත් පුළුවන්. සමාජය හදං ඉන්න ස්ටීරියෝටයිප් අතික්‍රමණය කරලා උඩුගං යද්දි ජීව-ඔරලෝසුවල කටු කැරකෙන එක නතරවෙන්නෙ නෑනේ. උඩුගං යන යටිගං යන හැමෝටම එකම වේගෙන් ඒ කටු කැරකෙනවා. 

අනෙක් අතට කොහේ ගියත් නිරන්තරයෙන් ළමයි ආසක්තවෙන ජීවියෙක් හැටියට මේ බෝතල් කට්ට මට ටිකක් වැඩිපුර දැනෙනවා ඇති. ඕනෑම තරාතිරමක ඕනෑම දරුවෙකුට ආදරය දෙන්න පුළුවන් තරම්, සතෙක් වුණත් දරුවෙක් වගේ ආදරෙන් හදන මව්ගුණයක් එක්ක ඉපදිලා ඒකම ලොකුම අහිමිවීමක් වෙන එක තරම් පාපයක් තවත් තියෙන්න පුළුවන් ද. 

ඕවා ඉතින් කිව්වට කරන්න හොයන්න බලන්න වුණේ නෑ ඊට ටික කාලෙකට පස්සෙ තව හිතවතෙක් ඔය ගැන කියනකල්. තාමත් එහෙමයි, ඒත් කව්රු හරි ඒ ගැන අදහසක් තියෙනවා නම් ඒ ගැන බලන්න පොඩි තල්ලුවක් හැටියට ලැජ්ජාව පැත්තක තියලා මං මේ කතාව ලිව්වේ. තාක්ෂණය දවසින් දවස දියුණු වෙනවා තමයි. ඒත් අද කළ යුතු දේ අද කළාට කමක් නෑ. ලොකු වියදමක් නම් තමයි. ඒත් පසුතැවිල්ලකට වඩා දැන් ඒක දරා ගන්න එක හොඳ වෙන්නත් පුළුවන්. 

 සමහරවෙලාවට ගෑණුන්ට බෝතල් කටුවලින් අනින්න පුළුවන් ගෑණුන්ටමයි. එහෙම බෝතල් කටු ගෑණු නොවී හිටියොත් අඩුම ගානේ තව ගෑණියෙක්ට බයක් සැකක් තැවිල්ලක් නැතුව තමන්ගේ ගෝත්‍රයේ එකියකට විවෘත වෙන්න පුළුවන් වෙයි. ඒකම කොච්චර ලොකු සැනසීමක් ද කියලා තමන්ගෙ හිතින්ම අහලා බලන්නකො☺️ ඒ ඇති🙏

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Sunday, June 30, 2024

පිස්සු

"පිස්සු විකාර"
"පිස්සු නැත්නම් ශෝක්"
"පිස්සුවක්නෙ"
"තමුසෙට පිස්සුද ඕයි?"
"පිස්සු ගෑණියෙක්/ පිස්සු මිනිහෙක්/ පිස්සු යකෙක්/ පිස්සු %#$&@"

'පිස්සු' කියන වචනෙ තරම් ඇහෙන වචනයක් තව තියෙනවද?
'පිස්සු' කියන වචනෙ නැති මොකක් හරිම සංවාදයක් නැති දවසක් කාටහරිම මතක් කරගන්න පුළුවන්ද?
ඇත්තටම ඔය කියන තරම්ම පිස්සු ලෝකයක්ද මේක?

අපිට තේරුම් ගන්න බැරි යථාර්ථයක් තව කෙනෙක් දැක්කම අපි ඒකට පිස්සු කියන අවස්ථා නැද්ද?
අපි එකඟ නොවෙන දෙයක් හින්දා ඒක පිස්සුවක් කියලා හිතෙන අවස්ථා නැද්ද?

හැමෝටම පිස්සුවක් තියෙන්න බැරිද?
ක්ලේශවලින්ම උම්මත්තකභාවයට පත්වෙන මිනිස්සු ඉන්න පුළුවන්නෙ.
මහන්තත්වයෙන්, තණ්හාවෙන්, වෛරයෙන්, කාමයෙන්, රාගයෙන්, මෝහයෙන්, මුලාවෙන්, ආදරෙන් පිස්සු වැටෙන පෘථග්ජනයො නැද්ද?

ඒක එහෙම නම් ඒ පිස්සුවෙන් මිදෙන්න අපි මොනවද කරන්න ඕන?
මේ 'පිස්සු' ලෝකෙන් මිදෙන්න උත්සහ කරන එක.
මේ 'පිස්සු' ලෝකේ තවත් එක පිස්සුවක් නොවී ඈත් වෙන එක. (මොකද පිස්සුවක් නොවී මේකෙ රැඳෙන්න අමාරු තැනක් වෙලා නිසා)
නිහඬ නිශ්චල තැනකට අතුරුදහන් වෙන එක?
සමහරවිට..

~තනියා 
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Monday, April 15, 2024

කළු සුදු

මං හරිම කැමතියි කළු සුදු පින්තූරවලට. අළුපාට මිනිස්සු පාට පාටින් දකිනවට වඩා කළුවෙන් සහ සුදුවෙන් විතරක් දකිනකොට ඒකේ මොකද්ද මහ අමුතු සුන්දරත්වයක් මට දැනෙනවා. ඒවුණාට මං මෙතෙක් වැඩිපුරම අරං ඇත්තේ පාට පින්‍තූර. පින්තූරුකරණයට ආස වුණාට නිසි අධ්‍යයනයක් නැතුව ඇහේ හිතේ හුරුවට ජංගමයගෙන් ගන්න පින්තූරවුණත් මහ දෙයක් වගේ රස විඳින්න මට පුළුවන්. ඒවා අස්සට නානාප්‍රකාර ෆිල්ටර් දාලා තියෙන එව්වත් තියෙනවා, අත්දැකීම්වලින්නෙ අපි ඉගෙනගන්නේ. අනික සුන්දර සහ කලාත්මක වෙන්නෙ අමුවෙන්ම විතරයි කියලා නියමයක් නැහැනෙ. තමන්ට රිසි හැටියට සුන්දරත්වය දකින්න පුළුවන්, පෙන්නන්නත් පුළුවන්. අනුන්ට දුකක් කරදරයක් නොදී විඳින්නත් පුළුවන්. 

කළු සුදුවලට කොච්චර ආස වුණත් සමහර දේවල් ඒ හැටියෙන්ම විඳගන්න පාට ඕන. අහස් නිල, මුහුදු නිල, කෝපි පාට, දේදුන්න, බහින ඉර, හැන්දෑ අහස, කෙහෙල් දළුවල කොළපාට, රොබොරෝසියාවල රෝස පාට, කඳුවල තද කොළ පාට වගේ දේවල් විඳගන්න කළු සුදුවට අමාරුයි. පියවි ඇහැට පේන දැනෙන සුන්දරකම පින්තූරවලට කොටු කරගන්න එක මහ අපූර්වයකින් අහුරක් මිටකට ගන්නවා වගේ සුළුයි තමයි. ඒත් ඒ මිට ඇතුළේ පවා මෝහනය වෙන්න පුළුවන් ලස්සනක් කැටිකරගන්න ඇහැකටනේ පින්තූරුකරණය තියෙන්නේ. කළු-සුදුවට, වර්ණවට, පරණ තාලේ වගේ දුඹුරට කියන ඔය කොයිකත් නිසි තැන නිසි හැටියට යොදාගෙන ජීවිතේ පින්තූරවලට අල්ලගන්න එකත් දක්ෂකමක්. හරියට ජීවත්වෙනවා වගේම තමයි.

සමහර වෙලාවට අපි එහෙම සුන්දර දේවල් අල්ලගන්නෙ, පින්තූරෙකට කැටිකරගන්නෙ අනුන් වෙනුවෙන්. මං හිතන්නෙ මනුස්සයෙක්ට ආදරේ දැනෙන චූටි දේවල් ඒ වගේ කියලා. තමන් සාමාන්‍යයෙන් එතරම් තැකීමක් නොකරන දෙයක් වුණත් අනිකා ආසාවෙන් රස විඳිනවා කියලා දන්නා හින්දා මොන පින්තූරුකරණ න්‍යායක්වත් නොදැන, ගන්න සමහර පින්තූර මාර රහයි ඇහැට, හිතට දෙකටම. පහළ තියෙන්නේ පින්තූරයක් ගන්නවත් නැගිටින්න උදාසීනවුණ, ඒත් ඇහෙන් හිතෙන් අහස උරාබොමින් හිටි මගේ සිතුවිලි කියවපු කෙනා මං වෙනුවෙන් ගත්ත එහෙම පින්තූරයක්. ඒ රෝස පාට වළාකුල තියෙන්නෙ දැන් මගේ හිතේ.😇💓

තාත්තත් ඒ වගේ. මං පින්තූර ගන්න ආසවෙයි කියලා හිතන සමහර දේවල් දැක්කම "අක්කී, ෆෝන් එක අරන් එන්න මෙන්න මේක ගන්න" කියලා මහ හදිස්සියක් වගේ උන්හිටිගමන් එහා කෙළවරේ ඉඳන් කෑගහන්නෙත්, මහ පාරවල් අයිනෙත් වාහනෙ නවත්තගෙන ඉවසීමෙන් ඉන්නෙත් ඒකයි කියලා මං දන්නවා.😇

ඇයි හදිස්සියෙම මෙහෙම කළු සුදු ගැන ලියන්න හිතුණේ කිව්වොත් ඒ නම් ඔය අනික් පින්තූරේ තියෙන කතාව දැකලා. කළු සුදුවලින් මිනිස්සුන්ගෙ ආත්ම අල්ලන්න පුළුවන්ද කියලා ලොකු තර්කවිතර්කවලට යන්න පුළුවන් ඇති. ඒත් මට හිතෙනවා අළු පාට මිනිස්සුන්ගේ ආත්ම කළු සුදු අස්සට ලඝු කරන්න හදන එක අපරාදේ කියලා. අපිට ඕන අළු පාට මිනිස්සුන්ට ඒ අයගේ අළු තීව්‍රතාව අපේ අළු තීව්‍රතාවලට ගලපගන්න ගමන් අපි ආස පාටින් ඒගොල්ලොන්ව දකින එක, අපිට ඒගොල්ලොන්ව පේන ලස්සන පාට එයාලටත් පෙන්නනන එක, සමහරවිට අපි එකිනෙකාට දැනෙන හැටිය පාට ගලපමින් පාට කරගන්නා එක. ආදරේ කියන්නේ ඒකට.❤️

~තනියා
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal

Sunday, December 24, 2023

ගස්

මගෙ පින්තූර ගොන්නෙ අහසයි මුහුදයි බව්වොයි ඇරුණම වැඩිපුර තියෙන්නේ ගස්! සමහර ගස් පින්තූර නොගත්තත් ඇහෙන් උරාගෙන හිතේ ඇඳගන්න ඒවා. මේක මහ මෝඩ කතාවක් වගේ සමහරුන්ට දැනෙන්න පුළුවන්, ඒත් ගස් කියන්නේ මට "මහ පුදුමයක්" දනවන එක දෙයක් (අහසයි මුහුදයි ඇරුණම). එක එක හැඩේට එක එක රටාවට අතුපතර විහිදපු මහා පතාක යෝධයෝ වගේ ගස් යට මිනිස්සු කියන්නේ කොච්චර නං අඟුටුමිට්ටොද කියලා පුදුම නොවී ඉන්න මට අමාරුයි.

මුහුද ගැන කිව්වම මේ කතාවත් මතක්වුණා. ව්‍යාපාරික හමුවකට ශැන්ග්‍රීලාවේ උඩක ඉන්න වෙලාවක අනෙක් පාර්ශවයේ ප්‍රමාදය ප්‍රයෝජනයට අරගනිමින් මං මුහුදේ පින්තූර ගත්තා. ගැඹුරු නිල්පාට තලාවක් වගේ ඇහේ උපරිම වපසරිය පුරා පැතිරිච්ච මහ මුහුද එක්ක බලද්දී ලංකාවේ ලොකුම බිල්ඩිමක් වුණත් කොයිතරම් නම් ශූන්‍යත්වයට ආසන්නද, ඒක මනුෂ්‍යයන්ව කොයිතරම් නිරහංකාර කරවන අත්දැකීමක්ද (Truly how humbling is this view) කියලා කිව්වම මගේ ප්‍රධානියා අවඥාවෙන් මා දිහා බැලුවා. 😁

ඉස්සර අපේ ආත්තම්මා කියනවා සමහර ගස් දැක්කම 'අනේ මට චිත්‍ර අඳින්න පුළුවන් වුණා නං' කියලා හිතෙනවලු. ඒක ඇත්තක් කියලා තේරුණේ මට ඉන් සෑහෙන්න කාලයකට පස්සෙ. සමහර කලාපීය ලක්ෂණ පෙන්වන ලස්සන ගස් තියෙනවා. අතුපතර විහිදපු යෝධ ගස් ලෝකෙන්ම හැංගිලා ඒත් අවුරුදු ගාණක ලෝක විපර්යාස බලාගෙන ඉන්න ඇති. එකම වර්ගයේ ගස් වුණත් වැවෙන හැදෙන හැඩ වෙනස්.

එහෙම ගහක් යට වාඩිවෙලා නිහඬ සංවාදයක් කරන්න තරම් ඉවසීමක්වත් ඉසිඹුවක්වත් අපිට ලැබෙයිද? මං හිතන්නේ එහෙම මිනිස් සංවාද අහන්න ලැබෙන, ඇත්තටම කිව්වොත් මිනිස් සංවාදයි සිතුවිලි තරංගවලිනුයි වැඩිපුරම පීඩාවට පත්වෙනවා ඇත්තේ බෝ ගස්! බෝගස් කොයිතරම් නම් මනුෂ්‍ය සිතුවිලි කන්දරාවක් දරාගන්නවා ඇතිද කියලා හිතෙන්න නං බෝගහක් ළග තනියම ඉඳලා බලන්න ඕන. මිනිස්සු කතා කරන වචන, ඒ මදිවාට ඒ වචන කතා කරන අස්සේ පසුබිමේ දුවන අන්නත අපරිමාණ දයාපරවශ, ඊර්ෂ්‍යාපරවශ, කරුණාපරවශ, ක්‍රෝධපරවශ, වේදනාපරවශ සංකීර්ණ සිතුවිලි ගංගාව දරාගන්න එකම බෝ ගහකට මහ බරක් වගේ දැනෙන්නේ නැතුව ඇතිද. තමන්ගෙන් කරන ඉල්ලීම්, කන්නලව්, ප්‍රාර්ථනා, දුක් අඳෝනා දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉඳීමම වෙහෙසකර නැති වෙන්න බැහැනෙ. මොහොතකට මට හිතුණා දැන හෝ නොදැන ගහක් වුණත් එහෙම පීඩාවට පත් කරන එක වරදක් කියලා. අනෙක් අතට අපි අපේ දුක්ඛ දෝමනස්ස ඔහේ විශ්වයට අතෑරලා සැහැල්ලු වෙන්න කරන උත්සාහයන් විනිශ්චය කරන්න පුළුවන් තැනක පෘථග්ජන මං නැහැ නේද කියන සිහි කැඳවීමත් ඒ එක්කම ආවා. ඒ මොකවුණත්, මනුෂ්‍යයෙක් හැටියට මගේ සිතුවිලි කන්දරාවෙන් කිසිම ගහක් පීඩාවට පත් නොකරන්න මං හිතුවා. පුළුවන් තරම් නිශ්ශබ්ද නිශ්චල සංවාදයක් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒක කොයිතරම් කාලෙකටද කියලා මම තාම දන්නේ නෑ. 
බලමු 😊

~ තනියා
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Saturday, April 1, 2023

සදාකාලික ඉලන්දාරියා

කලං කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්! කලං ගැන කියන හැම වෙලාවකම, ඔහුව දකින හැම වෙලාවකම මං ඕක කියනවා කියලා මගේ සමීපතමයො දන්නවා. කොටින්ම කලං මගේ ක්‍රෂ් එකක්❤️

කලංව මුලින්ම දැක්කේ කවද්ද මොන චිත්‍රපටයෙද කියලා මට මතක නෑ. හැබැයි සෑහෙන්න පොඩි කාලෙක වෙන්න ඕන. කලංගෙ චරිතයක්, නිර්මාණයක් ගැන ලොකු විචාර ලියන්න තරම් මම ඔහුගේ නිර්මාණ නරඹලා නෑ. 
හැබැයි..ඒ පළමු දැක්මේ ඉඳන් හිතේ කෙටිච්ච චරිතයක්!  චූටි මනුස්සයෙක් වුණාට මට දැනිච්ච ඔහුගේ පෞර්ෂත්වය මහ විශාලයි. ඔහුට තිබ්බේ පුයර බබෙක්ගෙ පෙනුමක් නෙවෙයි. වෙන මොකද්ද මහ ජේත්තුකාර කඩවසම් පෙනුමක්. දැන් වගේ මූණේ රැලි බොටොක්ස් නොකළ කාලෙක කලංගේ මූණේ රැල්ලක පවා මොකද්දෝ වෙනමාකාරයක ආකර්ෂණයක් තිබ්බා කියලා හිතෙනවා. අග්න්‍යාශය විකාගෙන දතකට පූට්ටු කරගෙන දෙන දෙබස් අභින නැතුව  හරිම සාමාන්‍ය තාත්විකබව මම දැකලා තියෙන සීමිත රංගන කීපයේ දැක්ක එක ලක්ෂණයක්. 

අද උදේ කලං ගියා කියලා දැක්කම මං ජංගමයා ඇහැට ළංකරලත් ආයෙ කියෙව්වා. මං හිතුවෙම වැරදීමක් කියලා. අවුරුදු 82ක් වෙලා යන්න ගියත් කලංගෙ මුණුපුරු පරම්පරාවක මටත් කලං මගේ පරම්පරාවේ එකෙක් වගේ. මෙයින් පස්සේ කොහේ ගියත් කලං කියන්නෙ අපේ සිනමාවේ සදාකාලික ඉලන්දාරියා❤️
සමහරවිට කොණ්ඩෙ අවුල් කරගෙන බෙල්බොටම් එකට යට කළ ස්ලිම්ෆිට් කමිසේ අත් නවාගෙන උඩ බොත්තම් දෙක තුනක් ඇරගෙන කලං එහෙත් ජේත්තුවට ඉන්නවා ඇති. 
සුබ ගමන් කලං අන්කල්💔💐

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

Thursday, March 30, 2023

ලොකු මාමා

පුංචිම කාලේ මං ලොකු මාමාට බයයි. එතකොට ඇටිකිත්තෙක් සයිස් මට අඩි හයක් උස, කලු, මූණ පුරා නේවි කට් රැවුල වවාගත්ත ලොකු මාමා පෙනුණෙ යෝධයෙක් වගේ. සාමාන්‍යයෙන් අපි එක්ක වැඩි කතාබහක් නැතිවුණාට ලොකු මාමා සීයා එක්ක කරපු සංවාදවල කව්රු කාව පරද්දනවද කියලා හිතාගන්න බැරිවිදිහෙ සමානකම් තිබ්බා. සීයාගෙ උසයි බුද්ධිමත්කමයි ආත්තම්මගේ හිනාවයි උරුම වෙලා තිබ්බා කියල මට හිතුණට ආත්තම්මා බොහොම ආඩම්බරෙන් කිව්වෙ ලොකු මාමා ආත්තම්මලගෙ ආරෙට ගිහින් කියලා. පහුකලෙක මොන දුරස්වීම් තිබ්බත් සීයටයි ආත්තම්මටයි තමන්ගෙ පළවෙනි දරුවා කියන ආදරේ කවදාවත් නැතිවුණේ නෑ කියලා තමා මේ පැත්තෙ ඉඳන් ඒ දිහා බලන් හිටිය මට දැනුණේ. ඒ ඈත්වීම් ආත්තම්මට වඩා දැනුණේ ඒ ගැන නිහඬව හිටිය සීයාට වෙන්නැති කියලත් හිතිච්ච වෙලාවල් තියෙනවා. 

ලොකු මාමා එක්ක මං එකඟ නොවිච්ච තැන් ඕනෑතරම් තිබුණා. නීතියට වැඩ කරන ගතිය, බුද්ධිමත්කම සහ ඒ පෞර්ෂයය ගත්තම මං අගය කරන පුරුෂ පෞර්ෂයයන් අතලොස්ස අතරින් ලොකු මාමත් ඉහළින්ම හිටියා. හැබැයි සමහර අවස්ථාවල එච්චර බුද්ධිමත් මනුස්සයෙක්ට පවා සමහර දේ දිහා පටු කෝණවලින් බලන්න පුළුවන් කියලත් මං ඉගෙන ගත්තා. රලු යෝධයෙක් වගේ පේන මනුස්සයෙක් ඇතුලෙත් නොහිතන දේවල්වලට රිදවෙන සංවේදී මනුස්සයෙක් ඉන්න බවත් මං දැනගත්තෙ ලොකු මාමගෙන්. ඒත් ඒ ගැන කතා කරන්න අපිට කවදාවත් අවස්ථාවක් ලැබුණේ නෑ. 

අසනීපයෙන් ඉන්න බව ආරංචිවුණත් මහා අහංකාර මනුස්සයෙක් හින්දා කව්රුවත් තමන්ව බලන්න එනවට එයා අකමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. ඒ අකමැත්ත නොතකා එයාව බලන්න ගිය පවුලේ අයට පවා ඇයි ආවේ කියලා අහන්න මොන ලෙඩ ඇඳක හිටියත් ඒ අහංකාර කට ඇරුණා කියලා පස්සෙ ආරංචිවුණාම තරහ ගන්නවා වෙනුවට මට හිනාගියා. ඒ ලොකු මාමා කව්ද කියලා යම්තාක් දුරකට ඈත ඉන්න මට තේරුම් ගන්න පුළුවන් වෙච්ච හින්දා වෙන්න ඇති. ඒ වගේ ස්වාධීනත්වය අගය කරන, අම්මා තාත්තට පවා දෙවැනි වෙන්න අකමැති, කිසිකෙනෙකුට ඔලුව නවන්න අකමැති අහංකාර මිනිහෙක් තමන් ලෙඩකට දුකකට පැරදිලා ඉන්නවා කිසිකෙනෙකුට පෙන්නන්නවත් අනුකම්පාව ලබන්නවත් තියෙන අකමැත්ත මට තේරෙනවා. 

ඒත් ලොකු මාමගෙ මරණයේ ආරංචිය මං දැනගත්තේ දවස් ගාණක් පහුවෙලා. මට දැනෙන්නේ පුංචි කාලේ ඉඳන් දැක්ක මහ විශාල රූස්ස ගහක් එක සැරේම අතුරුදහන් වෙලා වගේ මහ හිස්කමක්. 

ගිහින් එන්න ලොකු මාමේ. මේ ආත්මයේ වගේම බුද්ධිමත්ව, හොඳ පෞර්ෂයයක් ඇතිව යහපත් නිදුක් නිරෝගී මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න. මේ ආත්මයේ මග හැරුණු ඇතැම් දේත් ධර්මයත් අවබෝධ කරගෙන අමා මහ නිවනට මග හදාගන්න. සංසාරේ කොතැන හරි හන්දියක මුණගැහුණොත් යහපත් පිරිවර ලබාගෙන, හොඳින් ඉන්නවා දකින්න ලැබෙන්න ඕන. 

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Saturday, March 25, 2023

නිදහසේ ලන්සුව

මේ දවස්වල දවල් එළියට බැස්සම පුදුම සනීපයක් දැනෙනවා. කට්ට තාර පාරෙන් දුම් නොනගින එකයි පුදුම. නානාප්‍රකාර නානාහැඩයෙ වාහනවල, ගොඩනැඟිලිවල දිලිසෙන හැම පෘෂ්ඨයකම වැදිලා ඉරේ දරුණු රැවිලි ඇස්වලට පනිනවා. ඒකෙන් ඇහැරෙන්න දතකන මිග්‍රේන් දුෂ්ටයාට බයවෙන මං අව් කණ්ණාඩි අස්සෙනුත් තදින් ඇස්පියා ගන්නවා. 

හෙවණකට ඉන්න ගහක් නැති සාංකාවක පාටක්වත් නැතුව මිනිස්සු ගිනිගහන මහපාරවල්වල ඇවිදිනවා. කිලෝමීටර් ගාණකට පස්සෙ හම්බුවෙන එක ගහක් යට චූටි දැල් කූඩුවක වටුකුරුල්ලො ගොඩක් පුරෝගෙන නිල් ඉරි සරමකට සුදු අත්දිග කමිසයක් ඇඳගත්ත මනුස්සයෙක් ඇන තියාගෙන ගිමන් අරිනවා. කූඩුවේ ඉන්න වටුකුරුල්ලො එකා පිට එකා වැටෙමින් නලියනවා, රස්නෙ දරාගන්න බැරිකමට වෙන්න ඇති.

ගහකොළක් පේන තෙක් මානෙක නැති යකඩ තහඩු කඩ කාමර පේලියක සුරතල් සතුන් විකිණීමට කියලා බෝඩ් එකක් ගහගෙන දැල් කූඩු එකපිට එක අඩුක් කරන් ඉන්නවා. ඒවයෙ කුරුල්ලෝ, බලුපැටව් පිරිලා. උන් හරිම අසහනයෙන් දිවවල් ඇදගෙන පීඩාවෙන්, රස්නෙන්, සමහරවිට බඩගින්නෙන් වේදනා විඳිනවා.

සමහරවිට අර මනුස්සයගෙන් මිලදී අරන් අපි අපේ අපලවලට කුරුල්ලෝ නිදහස් කරනවා. බෙල්ලන්විලට නිදහස් කළොත් ආයෙත් ඒ කුරුල්ලොම තව කව්රුහරි අල්ලගෙන කූඩු කරලා ආයෙ විකුණනවා ඇති.

අර කඩෙන් බලු පැටව් මිලදී අරන් ගිහින් කොහෙහරි හිරකරගෙන වර්ගයා බෝ කරවමින් තව කෙනෙක් ව්‍යාපාරයක් කරනවා ඇති. ඒ පැටවුන්ගේ ඊළග පරම්පරාවත් තව කඩේක යකඩ කූඩුවක හිරවෙලා තමන්ට ගැණුම්කාරයෙක් එනකල් දුක් විඳිනවා ඇති. ඒ දුක ඒත් ඉවර නොවෙන බව තේරුම් ගන්න තරම් හැකියාවක් ඒ අසරණයන්ට නැහැනෙ.

මහ තාප්පවලින් වටකරපු තැනක සුදු ජම්පර් ඇඳගත්ත මිනිස්සු මේ අව්කූටකේ නොයෙකුත් වැඩපල කරනවා. එක එක වැරදිවලට එක එක අච්චුවල මිනිස්සු එක පොදියට යකඩ කූඩුවලට ගාල්වෙනවා. වැරැදි කරන එකා යකඩ කූඩු දාහක් අස්සෙත් ඒ වැරැද්දම කරනවා. හැබැයි උන් කතා කරනවා. ඉල්ලීම් කරනවා. තර්ජන ගර්ජන කරනවා. තමන්ට ඕන දේ හොඳින් හරි නරකින් හරි දිනාගන්නවා. උන්ට කූඩුවෙන්නත් නිදහස්වෙන්නත් මිලක් තියෙනවා. 

නිදහස මටත් අර වටුකුරුල්ලටත් බලු පැටියටත් වැලිකඩ ගිය සුදාටත් එක වගේ. ඒත් අපි එක එක හිරකාරයට එක එක විදියට සලකනවා. එක එක හිරකාරයගෙ නිදහසට විවිධාකාර මිලක්, ක්‍රමවේදයක් හදනවා. අපි කව්ද? අපිට ඒ බලතල ලැබුණේ කොහොමද? කාගෙන්ද? 

මේ ආත්මාර්ථකාමී මිනිස්ගුලාවෙන් මිදුණු සැගවුණු නිදහස් දේශයක් ගැන ආරංචියක් ලැබෙන දවසක් ගැන මම ඇඟිලි ගනිමින් බලන් ඉන්නවා. 
එපා, එහෙ එන්න එපා🙏

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #freedomhasaprice

Monday, March 13, 2023

භූකම්පා

එක්තරා කාලෙක මං එයාට කවි ලිව්වා. මං කවි ලිව්ව පළවෙනි මිනිහා එයා නෙවෙයි තමයි. හැබැයි කවි කියලා මං මාවම ලිව්වේ එයාට විතරයි!

එච්චර තදබල ප්‍රේමයක් ඇතිවෙන්න තරම් මොකක්ද වුණේ කියලා මං අදටත් දන්නෙ නෑ. හැබැයි ඒ අධිසංඛ්‍යාත ප්‍රේමය මට මහ දරුණුවටම දැනුණා. ලෝකේ ලොකුම භූකම්පනයවත් සුනාමියවත් එක්ක සසඳලා ලඝු කරන්න බෑ වගේ ඒ ප්‍රේමයත් මට දැනුණේ. මං අනේක වාරයක් ඒකෙන් පැනලා දිව්වා. හිතෙන් විතරක්. ඉන්පස්සෙ හැබෑවටමත්. ඒත් දුවාගන්න බැරිව පොලා පනින යෝයෝ එකක් වගේ ආයෙත් කැරකිලා එයා ඉස්සරහ හිටගත්තා. ඒ හැම වතාවකම එක එක විදියට කවි ලියැවුණා. ඊටපස්සේ දවසක මම කවි ලියන එක නතර කළා. මට තවදුරටත් මාවම ලියන්න බැරි තැනක ඒ අධිසංඛ්‍යාත ප්‍රේමය මාව වලදැම්මා.

සාමාන්‍යයෙන් එහෙම වුණාම වගේ සුන්බුන් අස්සෙන් එළියට එන්න, උදව් ඉල්ලලා කෑගහන්න, අඩුම තරමේ කෙඳිරියක් නගන්නවත් උවමනාවක් නොකර මං සුන්බුන්වලට යටවෙන්න තීරණය කළා. ගොඩ ඇවිත් ආයෙත් කවි ලියන්න බලාපොරොත්තුවක් මට නැති හින්දා.. ආයෙත් කවදාවත් එහෙම අධිසංඛ්‍යාත ප්‍රේමයක් කෙසේ වෙතත් අල්පමාත්‍ර ප්‍රේමයක්වත් නොදැනෙන බව මම දැනගත්ත හින්දා..
ඒ ප්‍රේම භූකම්පනයට යටවීමෙන් මගෙ හෘදය කුඩුපට්ටම් වෙලා ගිහින් කියලා දැනගත්තේ (අවාසනාවකට) මාව කව්රුහරිම හොයාගත්ත හින්දා. ඒත් මට හම්බවෙන්න උවමනාවක් තිබ්බෙ නෑ. 'පණ තියෙනවා. ඒත් හෘද ස්පන්දනයක් නෑ' මහ කලබල ගොඩක් අස්සෙ කව්ද කියනවා මට ඇහුණා. 'තමුන් වෛද්‍යවරයෙක් නේද. මොන හතරබීරී බහුත කතාවක්ද අයිසේ ඒක' කියලා තව කව්ද මහ සද්දෙන් කියන්න ඇති, ඒත් මට ඇහුණේ ලාවට. ඉස්සර මං සීතල දරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. හැබැයි දැන් ඉන්න තැන සීතලයි වගේ පෙනුණා.

"හෘද ස්පන්දනයක් නැතුව පණ තියෙන්නෙ කොහොමද අනේ" නිල්පාට මුකවාඩම් මූණක් උඩින් ලස්සනට කාජල් තවරපු ඇස් දෙකක් විමසිල්ලෙන්ද බයෙන්ද කියලා හිතාගන්න බැරි බැල්මක් එක්ක මූණට එබුණා. 
'පුළුවන් ඇති. මේ ඉන්නෙ ඉතින්' මං කිව්වා. එයා ඇහුණේ නෑ වගේ යන්න ගියා.
~තනියා
Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Thursday, March 9, 2023

පෞද්ගලිකත්වයේ මරණය

කව්රු කොහොම හිතන් හිටියත් අපි කව්රුවත් අමරණීය නෑ. කාලයත් එක්ක ඕක තේරුම් අරගෙන ඉන්න මටත් කොයිවෙලේක හරි මොකක් හරි විදිහකට 'බග්!' ගාලා මළොත් මෙච්චර කල් කරපු කියපු දේවල්වලට මොකක් වේවිද කියලා හිතුණා.

එහෙම බග්! ගාලා ගිය දවසක ගල්ගැහිච්ච ඇඟිලි සලකුණු තියලා අන්ලොක් කරගන්න අමතක (වේවා!) වෙන්න පුළුවන් කතන්දර මා එක්කම වැලලිලා ගියොත් නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ වෙයිද? එක්කෝ එහෙම වෙන එක (වේවා!) වෙස්වලාගත් ආශිර්වාදයක් වේවිද?

භෞතික ලෝකෙට අඬබෙර නොගහා එකසැරේ වාෂ්ප වෙලා වගේ චුතවෙන්න පුළුවන් බලයක් මිනිස්සුන්ට තිබ්බා නම්...

නිකමට හිතුවොත් කෙනෙක් එහෙම චුත වෙද්දී එයාට සම්බන්ධ හැම සලකුණක්ම සටහනක්ම ඒ එක්කම මැකිලා අතුරුදහන්වෙලා යනවා නම් ලෝකේ කොච්චර සැහැල්ලු වෙයිද. මිනිස්සු මතකවලට වැඩි වටිනාකමක් සහ ගෞරවයක් දෙන්න ගනීවී, සමහරවිට.

පහුගිය කාලේ පුරාම දිවිනසාගත්ත විතරක් නෙවෙයි වෙන වෙන හේතුවලින් මැරුණු මිනිස්සුන්ව පවා මාධ්‍ය ප්‍රධානව හැමෝම ආයෙ ආයෙ මරමරා දානකොට ඒ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය අමුඅමුවේ කෙළෙසෙනකොට අපි හරි ඉහළින් කතාකරන සදාචාරේ කොහෙට චුතවෙලා ඉන්න ඇද්ද?

කව්ද අපේ චුත වීමේ අයිතිය අහුරගෙන ඉන්නේ? චුතවෙච්ච හැටියේ ඒ මිනිස්සුන්ගේ ජීවිත අවුස්සන්න අයිතියක් ලෝකයාට දෙන්නේ ඒ අහුරගෙන ඉන්න අයමද?

දවසක මේ ප්‍රොෆයිල් සේරම එක්ක චුතවෙන්න මට බැරිවුණොත් එහෙම කුණු හොයන්න ලෑස්ති නැති මිනිස්සු ඉඳීද?
පරණ ලිවිලිවලට මරණ පරීක්ෂකවරු කීදාහක් ඉදිරිපත් වෙයිද?
පරණ පිංතූර කිසිම අවසරයක් නැතුවම කීතැනක සංසරණය වෙන්න ගනීද?
මාත් නොදන්නා කතා කීදාහක් අලුතින් උපදීවිද?
අලු පාට මාව ඊටපස්සේ ඇස් නිලංකාර වෙන තරම් සුදු චරිතයක් කෙරෙයිද? නැත්නම් ජීවිතේට නොහිතන තරම් කට්ට-කලු චරිතයක් කෙරෙයිද?
ජීවත්වෙද්දි වෛර කරපු, වල කපපු, අංචි ඇදපු මිනිස්සු පවා කොහෙදෝ මන්දා හංගන් හිටි ආදර කරුණාවල් එළියට ඇදගෙන වැලපෙයිද?
කොටින්ම චුතවුණේ මංමද කියලා ඒ නාටක බලාගෙන හිටියොත් මටම හිතෙන තරමට අධිනාටක තත්ත්වයක් ඇතිවේවිද?

ජීවත් වෙන මිනිස්සුන්ට විතරක් නෙවෙයි පෞද්ගලිකත්වයක් තියෙන්නේ. ඒ අයිතිය මැරෙන/මැරිච්ච මිනිසුන්ටත් තියෙනවා කියලා අමතක කරන ලෝකෙක අපි ජීවත් වෙන්නේ. අසාධාරණ විදිහට විනිශ්චය වෙන්නේ ජීවත්වෙන මිනිස්සුන්වයි කියලා අපි හැමදාම තර්ක විතර්ක කළාට ඇත්තටම ඊට වඩා දහස්ගුණයක අමානුෂික, අසාධාරණ විනිශ්චයකට ලක්වෙන්නේ මියගිය මිනිස්සු. 'ඇත්ත ඕක නෙවෙයි යකුනේ' කියලවත් 'මට මැරිලවත් මගෙ පාඩුවෙ ඉන්න දීපල්ලා' කියලවත් 'උඹලට වෙන වැඩ නැද්ද යකුනේ' කියලවත් කියාගන්න බැරිතරම් ඈතකට ගිය මිනිස්සු. ආයෙ පණ ආවොත් දහස්වතාවක් පණ අතාරින්න හිතෙනවා ඇති මේ විකාර දැක්කොත් මැරිච්ච මිනිස්සුන්ට!

ජීවත් වෙන උන්ව මැනලා විනිශ්චය කරලම මහන්සි නැද්ද අප්පා උඹලට,
මැරිච්ච මිනිසුන්ටවත් සැනසීමේ ඉන්න නොදෙන්නේ?

~✍️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #PrivacyMatters #PrivacyProtection #HumanRightsViolations #humanrights #humanity

Wednesday, February 1, 2023

ප්‍රාර්ථනා

 පහන් පත්තු කරන අතර සමහරු ප්‍රාර්ථනා මුමුණනවා, සමහරු හිතෙන් හිතනවා, සමහරු මහ හඬින් කියනවා. පෞද්ගලිකව මම කැමතියි කෙනෙක් තව කෙනෙකුට අවහිරයක්, බාධාවක් නොවෙන විදිහට ආගමික වතාවත් කරනවට. 

පහන්වැට එහා පැත්තෙ සුදුම ඇඳගත්ත, උස ගෑණු කෙනෙක් හයියෙන් හයියෙන් කතා කරනවා. මං මුලින්ම හිතුවේ ප්‍රාර්ථනාවක් කියලා. ඊටපස්සේ හිතුවේ handsfree එකක් ගහගෙන දුරකථන ඇමතුමක වෙන්නැති කියලා. අංකයක් කියනවා, වෙල්ලප්පුලි කියලා නමක් කියනවා. කාටද වැඩට කෙනෙක් හොයන විස්තරයක් කියනවා,ඒ කෙනාට යට ඇඳුම් හෝදන්න වෙන කතාවක් කියලා අසාමාන්‍ය විදිහට හිනාවෙනවා. හරිම කලබලෙන් පහන් වැටෙන් පහන් වැටට මාරුවෙනවා. මං හිටි පහන් වැට එහා පැත්තෙ හිටගෙන මට මුහුණ ලාගෙනත් අර ඒක පුද්ගල සංවාදය දිගටම කරන නිසා පහන්වැට අතරෙන් මාත් විමසුම් බැල්මක් පා කළා. දැඩි මූණක තියෙන ලාවට සුද මතුවේගෙන ආ ඇස්වලින් දැක්කත් නොදැක්කා සේ හිටගෙන හරිම වේගයෙන් පහන් පිළිවෙල වෙනස් කරනවා. එතකොට තමයි මං දැක්කේ ඈ පහන් දල්වලා නෑ, හැබැයි වේගයෙන් එහාමෙහා ඇවිදිමින් පහන් එහෙන් මෙහාට ගේනවා, මෙහෙන් එහාට ගෙනියනවා.

සමහරු ඈත ඉඳන් බලං ඉන්නවා. සමහරු නොදැක්කා සේ මග හරිනවා.
අත් කකුල් කපා දැම්මට මිනීනොමරා ඉඳීද කියලා ආයෙත් මගේ ඉස්සරහින් හිටගෙන ඈ හිනාවෙනවා. එහා පහන් වැටට දුවමින් ඇත්තටම ආදරේ කළේ කියලත් කියනවා. කාවද මරන්න ඕනේ කියලත් අහනවා.

ටික වෙලාවකට පස්සෙ අත් දෙකෙන් පැන් කළ දෙකක් එල්ලගෙන බෝධීන් වහන්සේ ඉදිරිපිට හිටගෙනත් ඒ සංවාදයම කරගෙන යනවා මං දැක්කා.

ජීවිත දිහා ඈත ඉඳන් බැලුවම හරි පුදුමයි නේද? නොමැරෙන මිනිස්සු හැටියට ජීවත් වෙන එකේ තේරුමක් තියෙනවද?

මිනිස්සු ඇත්තටම හරි දුර්වලයි. ඒත් ඒවා එක එක ජාතියේ යකඩ ආවරණ දාලා වහගන්න හදනවා. යකඩ හිල්වෙච්ච, දිරාගිය දවසක අන්ත අසරණ වෙනවා. 

වෙන මොනව කියන්නද තේරෙන්නේ නෑ. 

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #mentalhealthmatters

Saturday, January 21, 2023

දම්පාට අකුණු


පහුගිය දවස්වල කාලගුණ විපර්යාස වෙන අතරේ මහ රෑ සිංදුවක් අහගෙන ඇඳ උඩ එරමිණියා ගොතාගෙන වාඩිවෙලා ඉන්දැද්දි එක දිගට අකුණු වැලක් පුපුරගෙන පුපුරගෙන ගියා ඇස් ඉස්සරහම වගේ. 
දම් පාටට!

අකුණු පුපුරනවා දැකලා නැති නොවන නමුත් එහෙම දම්පාට අකුණු නං දැක්කමයි.

මීට මාස ගාණකට කලින් ගමේ ඉන්න වෙලාවක මහ රෑ නිල්-කහ ගිනිබෝලමය අකුණුවැලක් පුපුරලා ගෙදර ලයිට්, වත්තෙ පොල්ගහක්, ටවුමේ කඩවල ලයිට්, මහජන බැංකුවේ බෝඩ්එක ආදි සෑහෙන කොටසක් පුච්චගෙන ගියා. ලාවට අකුණු කොටකොට ගොරවගොරව එද්දිත් කාටවත් අපරාධයක් නොකිරීම ගැන අධිතක්සේරුවෙන් අධිවිශ්වාසයෙන් යුතුව හෙඩ්ෆෝන් කණේ ඔබාගෙන ජංගමයයි ලැප්ටොප් එකයි බදාගෙන ඉන්න ලොකුදුවත් අකුණුප්‍රාප්තවුණාද කියලා බයවෙච්ච තාත්තා මහ කලුවරේ ෆෝන් එකක ලයිට් එකක්වත් නැතුව පැයට හැතැප්ම එකසිය ගාණක වේගෙන් මාව හොයාගෙන දුවගෙන ආවේ ගමටම ඇහෙන්න කෑගහගෙන😬

ඒ ඇවිත් එහෙම නොවිච්ච සැනසීමෙන් ඔලුව අතගාලා ගියා කියලද හිතන්නේ? 😂 
නෑ! හෙඩ්ෆෝන් නිසා කණ බීරිවෙනවය, අකුණු ගහන අස්සේ ෆෝන් ලැප්ටොප් බදන් ඉන්නවය, වගේ බැණුම් කෝටියක් පිරිනමන්න ඒ අව් අස්සෙත් තාත්තා අමතක කළේ නෑ😂

ඉඳලා හිටලා සොබාදහම පේන අකුණු වගේම නොපෙනෙන අකුණුත් එවන්න පසුබට වෙන්නේ නෑ. එතකොට අර විශ්වාසය, අධිතක්සේරුව, කළ පින්පව් අදාළම නැහැ.

අන්න එහෙම අකුණුවලින් තමයි නරුමයො බිහිවෙන්නෙ!
ඔය පහළ ඉන්න කෙනා වගේ දම්පාට නරුමයෝ!

ආ හා හා!✋කලබලවෙන්න එපා. 
එයාලට එහෙම වුණේ අකුණු ගහලා නෙවෙයි. මං ඒක දන්නවා.😁 
 ඒවුණාට මොකද්ද මන්දා හේතුවකට 'නරුමයා' කියන වචනෙ මට දැනෙන්නේ දම්පාටට! ඒක හින්දා මං හිතන්නේ නරුමයො දම්පාටයි. 

හැබැයි minionsලට වුණා වගේම සමහර නරුමයෝ සදාකාලිකව දම්පාටටම ඉන්නවා. සමහර නරුමයෝ අවස්ථාව අනුව විතරක් පාට මාරු කරනවා. සමහර නරුමයෝ කහයි දමුයි අතර හිතාගන්න බැරි වේගයෙන් මාරුවෙනවා. 💜

නරුමයො පේන කණ්ණාඩිත් තියෙනවා. ඒවා ලස්සනයි😁

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka

Friday, January 6, 2023

කවි වගේ පින්තූර..

නැගී සිටගත්විට
මගේ ඡායාව ඔබ තුළ පැතිරෙනු දකිමි. 
කිසිවෙකු ගල්කැටකින් දමා ගසා
අප අතර නිහඬ බව බිඳිනතුරු
ඔබ මා නොදැක මා වෙතද
මා ඔබ නොදැක ඔබ වෙතද
සියුම් හුයකින් බැඳී ඇතැයි මට සිතේ..
ඔබගෙ ගැඹුර මටද
මගේ පැතිරීම ඔබටද
දරාගත නොහැකි තැනකදී 
අපි අප වෙත කඩා වැටී බැඳී ගිලී
සැනසෙමුද?
~තනියා 

තුන්වැනි ඇහෙන් දක්ෂකම් පාන මිත්‍රයෙක්ගෙ  ඉන්ස්ටග්‍රෑමෙ පිංතූරයක් දැක්කා. ඒ පිංතූරේ කොච්චර බරපතල විදියට මගෙ හිතට වැදුණද කියනව නං
"කොහොම පටන්ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ" කියන එකේ අන්තිම අර්ථයෙන්ම අසරණවෙලා මං ඒ පිංතූරේ හැම ලකුණක්ම ඇහේ හිතේ කොටා ගත්තා! 

ඒ හිතුවිල්ල බර හින්දම කමෙන්ටුවකුත් කෙටුවා මේ පිංතූරෙම කවියක් වගේ දැනෙන්නේ කියලා. ඒක ඇත්තටම කියාගන්නත් බැරි දරාගන්නත් බැරි ලියාගන්නත් බැරි කවියක්! 
ඒක හින්දා මේ පද ටික ලිව්වේ. ඒත් ඒ පිංතූරේ ගැඹුරට සාධාරණයක් කරන්න තරම් මගෙ වචන සුහුරු නෑ වගේ දැනෙනවා. 

අර අතුපතර විහිදගෙන පැතිරිලා ඉන්න ගහයි අරම  වැතිරිලා ඉන්න ගහේ ඡායාවයි  එකක් ද දෙකක්ද කියලා හිතාගන්න බැරි ඒ නිශ්චලතාව කොයි මොහොතක හරි බිඳෙයි කියලා බයකුත් දැනෙනවා. ඒ නිශ්චලතාව වෙන බාධාවකින් දිය රැළි නැගිලා නොබිඳී, දවසක ගහටයි ඡායාවටයිම දරාගන්න බැරි තැනකදි එකිනෙකා වෙත ඇදවැටිලා බිඳෙනවට මං කැමතියි. 

මෙහෙම පිංතූර හිතට හරි බරයි, මිත්‍රයා! 

~✏️ Aash Weerasinghe

Photo credit: Lakmal Madhuranga 
සටහන: මේ පිංතූරෙට ඇතිවෙච්ච ලෝබකම හින්දම ලිව්ව සටහනට සාධාරණයක් කරන්න පිංතූරේ පළ කරන්න අවසර දුන්නට බොහොම ස්තූතියි🙏
කරුණාකරලා කව්රුවත් පිංතූරේ මෙතැනින් උස්සන්න නම් එපා. ඡායාරූපයේ මුල් අයිතිය ආරක්ෂා කරන්න🙏 එච්චරයි.

#AW #thaniya #medusa #medusasjournal

Wednesday, December 14, 2022

සන්ග්ලාස් අන්කල්

දැන් ඔය හයිලෙවල් පාරේ ඉඳන් රේමන්ඩ් පාරට හැරෙන තැන තුන්හුලස් ඉඩම ඉස්සර බන්දු අයියගෙ (අපිට බන්දු අන්කල්ගෙ) ගරාජ් එක. මේ ගැන බන්දු අන්කල්ගෙ මරණය කාලෙ මම ලියලා ඇති බ්ලොග් එකේ.

( https://tharuwehi.blogspot.com/2014/10/blog-post.html?m=0 )

බන්දු අයියගෙ ගරාජ් එක ඒ කාලේ කලා තිප්පොලක්. සෑහෙන්න කලාකාරයො ආගිය, විශේෂ වැඩකට නොවුණත් යමින් එමින් ගොඩවැදිලා ගිය තැනක්. අපේ තාත්තත් කලාකාරයෙක් නොවුණට ඒ හිතවත් පිරිසෙ කෙනෙක් වෙච්චි නිසා පැය ගණන් (වැඩකට නැතුවත්) ඔතන කට්ට කන්න සිද්ධවෙච්ච අවස්ථා අපිට තියෙනවා.

ඕක ඉස්සරහම තිබ්බේ ඇල්බට් අන්කල්ගෙ කඩේ. පෞද්ගලික ප්‍රවාහනයේ ඉස්කෝලෙ ගිහින් එද්දී සමහර වෙලාවට දවල් ඉස්කෝලෙ ඇරිලා රෑ වෙනකල් කන්න කටු සෙට්වෙන අවස්ථාත් තිබ්බා, අපේ පියාණන්ගේ වැඩ රාජකාරි අනුව. එහෙම දවසක පාන් කියාගන්න බැරිව හෙම්බත්වෙලා හිටිය මට ගරාජ් එක පැත්තට වාහනෙ හරවද්දි සංසාරයෙ දුක්ඛිතබව පැහැදිලි වේගෙන වගේ ආවා. ඒ බව නොදත් තාත්තා මොකද්දෝ ලොරි දුනු කතාවක් බලවන්න පටන් ගනිද්දී මට ඕනෑ වුණා තනියම ඇල්බට් අන්කල්ගෙ කඩේට පාර මාරුවෙලා මොනවහරි ගන්න. සාමාන්‍යයෙන් එහෙම තනියම යවන්නෙම නැතිවුණත් එවෙලේ සන්ග්ලාස් අන්කල් එක්ක කතාවකට සෙට්වෙලා හිටි තාත්තා අවසර දුන්නා එතුමාගේ අධීක්ෂණය යටතේ පාර පැනලා ගන්න දෙයක් අරං ඉක්මණට එන්න. අන්කල් එක්ක කතාකරමින් කඩේ පැත්තට මූණලාගෙන තාත්තා බලං ඉන්නවා මගේ ගමන මොනිටර් කරමින්. අවුරුදු 9ක් හෝ උපරිම 10ක් වෙන්න ඇති මට ඒ වෙද්දී. අර පටුපාර තනියම තරණය කිරීමත් නිදහසක් හැටියට ගත්තු මම මිටින් හැරි කුරුල්ලෙක් වගේ පියාඹලා ගිහින් චොක්ලට් එකක් ගත්තා, ඒ තටුවලින්ම හැරෙන තැපෑලෙන් ආපස්සට ගරාජ් එකට දුවන්න හැරුණා.

මහ සද්දෙන් බ්‍රේක් පාරක් වැදුණා!
පාරට පැනපු විදිහටම වටපිට නොබලා මම සිටි තැනටම දිව්වා!
ඒ සැණින් විශාල බැණුම් සද්දයක් සමග මගේ කණක් තදින් ආපස්සට කැරකැවුණා!

ගත්තු චොක්ලට් එකත් අතේ මිටි කරං කඳුළු පුරෝගෙන මම දඬුවම් දුන් පියාණෝ පිටිපස්සෙම හැංගුණා!

ලැජ්ජාවනෙ! සන්ග්ලාස් අන්කල් විතරක්යැ දෙනෝදාහක් ඉස්සරහ මොන ලැජ්ජාවක් ද ඒ මට වුණේ. පොඩිහිටියන්ටත් ගෞරවනීය පුරවැසියන් විදිහට ජීවත්වීමට අයිතියක් ඇත, දඬුවම මානව හිමිකම් උල්ලංඝනයකි වගේ බෝඩ් උස්සන ඇත්තෝ ඒ කාලෙ නොහිටි නිසා මම පත්වූ අපහසුතාවය දැක්ක සන්ග්ලාස් අන්කල් හරිම කාරුණිකව ඔලුව අතගාලා මගෙ අතින් අල්ලන් හැංගිලා හිටිය පිය සෙවණැල්ලෙන් මෑත් කරලා කිව්වා "තාත්තා කලබලවුණානේ පුතේ ඔයා අර වාහනෙට අහුවෙනවනෙ තව ඩිංගෙන්. ඒකනේ එයා බනින්නෙ. හා දැන් එන්නකො අපි ඕක අමතක කරමු"

ඒ සන්ග්ලාස් අන්කල් තමයි නිහාල් නෙල්සන්!
නිහාල් අන්කල් හරිම නිරහංකාර මනුස්සයෙක් කියලා පුංචි එකෙක් හැටියට මට තේරුම් ගිය අවස්ථාව තමයි ඒක.

මම ඒ දවස්වල රූකාන්ත ෆෑන් කෙනෙක්. රූකගේ ඇක්ෂන් දාලා සිංදු කිව්වට නිහාල් අන්කල්ගෙ ඇක්ෂන් දාලා එයාගෙ සිංදු නොකිව්ව ගැන අද මට කණගාටුවක් දැනෙනවා.

අන්කල් ගිය තැනක ලස්සනට පිපුණු වනමල්ගල් අතර සුන්දර කාලයක් ගෙවාවි.  එහෙ ඉඳන් ගයන සිංදුවක රහ බිංදුවක් මේ ලෝකේ පැත්තටත් එවන්න.
සුබගමන් සන්ග්ලාස් අන්කල්💔💐

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #medusa #lka

Friday, December 2, 2022

අහිංසක

අහිංසක හිටියේ මම කලින් වැඩ කරපු කාර්යාලෙක. ඒක ඇත්ත නම නෙවෙයි. නමුත් ඇත්ත නම එක්ක ලිව්වොත් ඒ මනුස්සයගේ පෞද්ගලිකත්වයට  අසාධාරණයක් වෙන්න ඉඩ තියෙන නිසා අපි අහිංසක කියමු.

අහිංසක එතන කාර්යාල කාර්ය සහායක. අවුරුදු හතළිහක විතර උස කලු මනුස්සයෙක්. නිතරම messenger bag එකක් කරේ දාගෙන අරහෙට මෙහෙට ඇවිදින්න තමයි එයාගෙ රාජකාරිය වුණේ. ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා අහිංසකගෙ වෙනසක් තිබ්බා. මොකක් හරි හේතුවකට ඇතිවුණු මානසික පීඩාවක් නිසා ඔහු ලේබල් වෙලා තිබ්බෙ 'අප්සෙට්' කියලා. ඔව් ඉතින් අපි ලේබල් කරන්න හුගක් කැමති සමාජයක්නෙ!

අහිංසක මෙසෙන්ජර් රස්සාවක් කළාට කොළඹ රාජකීයේ ඉගෙන ගත්තු, චතුරව ඉංග්‍රීසිය හසුරුවපු මනුස්සයෙක්. මම දන්නේ නෑ හැමෝම ඔහුට මානුෂිකව සැලකුවද නැද්ද කියලා. නමුත්, මනුස්සයෙක් හැටියට ඒ මනුස්සයා ගැන මට දැනුණ කම්පනය හින්දම බනින්න හිතෙන වෙලාවකවුණත් සෑහෙන්න ඉවසීමෙන් මානුෂිකව සැලකුව එක ගැන මම සතුටු වෙනවා, එදාටත් වඩා අද.

ඇයි අහිංසකට එහෙම වුණේ කියන එක ගැන කතන්දර ගොඩක්, එක එක අය කියලා තියෙනවා. එකක් සහෝදර සහෝදරියන් තුන්දෙනෙකුගෙ පවුලේ බාලයා වෙච්ච අහිංසකගෙ පාසැල් ගමන අතරතුර සිද්ධ වෙච්ච එයාගෙ තාත්තගේ මරණය නිසා ඔහු මානසිකව පීඩාවට පත්වුණා කියන එක. අනෙක් කාරණය සුපුරුදු ලෙස ප්‍රේම සම්බන්ධයක් බිඳවැටුණට පස්සෙ සිද්ධවෙච්ච දෙයක් කියන එක. ඔය කතන්දර දෙකෙන් කොයිකද ඇත්ත කියලා කියන්න දන්නෙ නෑ.

මම දන්න තරමින් අහිංසකට කොළඹට නුදුරින් ගෙයක් දොරක් පවා තිබ්බ කෙනෙක්. වැඩ නිසා සමහර දවසට රෑ වෙනකල් හිටියොත් තව කාවහරි එක්කන් යනගමන් අහිංසකවත් ගෙවල් කිට්ටුවට ඇරලවලා තියෙනවා. එහෙම දවසක "ma'am can you please give me two minutes, I'll get something for dinner and come" කියලා ළග කඩේකට දුවලා ගිහින් කෑම පාර්සලේකුත් අරං හනිහනිකට දුවගෙන එනවා. එතකොට මම ඇහුවම තමයි අහිංසක කිව්වේ එයා ගෙදර උඩ තට්ටුවේ ඉන්නවා, සහෝදරී එයාගෙ පවුල එක්ක පහළ ඉන්නවා කියලා. මේ කියන සහෝදරී කාර්යාලයේ සමහර පරණ කළමනාකාරවරු එක්ක කතාබහ කරලා තිබුණට මගෙ රාජකාරි කාලය ඇතුළත එහෙම කරන්න අවස්ථාවක් ලැබුණෙ නෑ.නමුත් අහලා තියෙන හැටියට පෞද්ගලික බැංකුවක ඉහළ තනතුරක් දැරූ කෙනෙක්. නමුත් ඒ සහෝදර සම්බන්ධය හෝ පුද්ගලයන් ගැන විනිශ්චය කරන්න තරම් මං ඒ ගැන දන්නේ නැහැ.

අහිංසක අහිංසක වුණාට සමහර අවස්ථාවල හරිම ඉක්මණින් වෙනස්වෙන ගති, එක සැරේ වැඩ දමලා ගහලා යන ගති, නොකියා ගෙදර යන ගති වගේ ඒවා නිතරම තිබුණා. කොහොමත් සඳුදා සිකුරාදා වගේ වෙද්දී අවුල්. මං හිතන්නේ දවස ගානේ වැඩට එන රටාව කැඩෙන එක හින්දා වෙන්න ඇති සමහරවිට. එක දවසක් හදිසි වැදගත් ලියකියවිලි වගයක් එක්ක බෑග් එක පහළ ආරක්ෂක නිලධාරින්ගේ මේසයක් උඩ දාලා ගෙදර ගිහින් තිබ්බා. අහිංසක මට රපෝර්තු නොකළට පොඩි කීකරු ගතියක් තිබ්බ නිසා මං කතා කළාමත් අර තරම් සැරෙන් නොවුණට "I don't feel well, I went home" කියලා කිව්වට "No Ahinsaka, we need you here, please come back and help us" කිව්වම ආපහු ආව අවස්ථාත් තිබුණා. වැඩ අධිකම දවසක පාන්දර කතා කරලා "I can't come to work today ma'am, I don't have money for the bus" කියලා කිව්වම ලෝකෙම කරුණාව අමතකවෙන්න ආවත් (වෙන මනුස්සයෙක් කිව්වනම් ඔහොම) "No Ahinsaka, you come in a tuk, I'll pay for that" කියලා කොහොමහරි වැඩට ගෙන්න ගත්තා. සාමාන්‍යයෙන් එහෙම කිව්වම මනුස්සයෙක් උඩ පැනලා ත්‍රීවීල් එකක එන්න ඉඩ තිබ්බට ඒ මනුස්සයා එදත් ආවෙ බස් එකේ. එදා නාවා නම් වැඩ ගොඩක් අවුල්වෙන්නත් ඉඩ තිබ්බා.

කාර්යාලේ හැමෝම 'හා දැන් කඩේ වහමු' කියලා හිනා කතා ඉවර කරලා යනකල් අහිංසකත් පෙරහැරේ ඉන්න අලියා වගේ නොඉවසිල්ලෙන් එහෙට මෙහෙට වෙවී ඉන්නවා දොර ජනෙල් වහන්න බලාගෙන, එයාට කව්ද යනවා කියලා කියන්නේ කියලා බලාපොරොත්තුවක් නැතුව. පළවෙනිම දවසෙ එයාටත් අනිත් අයට වගේම යනවා කියලා කිව්වම ඒ පුදුමේ එවෙලෙම මූණෙන් පෙනුණා. පහුවදා උදේම දුවගෙන ඇවිත් මොනහරි කිව්වම තමයි මම දැනගත්තෙ අහිංසකට හොඳින් ඉංග්‍රීසි කතා කළහැකි බව. එදායින් පස්සෙ ඔහු එක්ක මගෙ සංවාද ඉතා කෙටිවුණත් ඉංග්‍රීසියෙන් කළේ මොකක්දෝ හේතුවකට ඔහු ඊට ප්‍රිය බවත් ඒක ඔහුට තමන් පිළිබඳව සන්තෝෂයක්/අභිමානයක් ගෙනදෙන කාරණාවක් බවත් මට තේරුම්ගිය නිසා.
තනතුර මොකක්වුණත් හැම කෙනෙකුටම ආත්මගරුත්වයක් තිබෙනවා. කාටවත් අයිතියක් නැහැ කෙනෙක් අඩු තනතුරක් හෝ සහයක තනතුරක් දැරූ පමණින් ඔවුන්ට අතපල්ලෙන් වැටුණු ලෙස සලකන්න. ඔය කතාවෙම තව පැත්තකුත් තියෙනවා. සමහර අවස්ථාවල එහෙම මානුෂිකව සලකන මිනිස්සුන්ගෙ කරේ නගින්න යන, ගසා කන්න හදන, නැත්නම් හොඳ මූණු පෙන්නගෙන අංචි අදින මිනිස්සුත් ඉන්නවා.

මම එතැනින් ඉවත්වූ පසුත් අහිංසක එතන හිටියාද නැද්ද මම හරියටම දන්නෙ නෑ. දැනට ටික දවසකට කලින් ආරංචියක් ලැබුණේ අවුරුද්දකට විතර කලින් අහිංසක මියගිහින් කියලා, මොළයෙ පිළිකාවකින් බවයි කියන්නෙ. ඒක මං හිතුවට වඩා ලොකු කම්පනයක්. යාලුමිත්‍ර සමාගමක සතුටු සාමීචියක් අතර දැනගත්ත ආරංචියෙ කම්පනය එවෙලේ නොපෙන්නා හිටියත් මම ගෙදර ඇවිල්ලත් හිතුවේ අයියෝ අසරණයා කියලා.

එක අතකට අහිංසක වගේ මිනිස්සු ඉක්මණ් ගමන් යන එක ඒ මිනිස්සුන්ට යහපතක් කියලා හිතලා හිත හදාගන්න උත්සාහ කරලා තමයි මේ සටහන ලියන්න හිතුවෙ. තමන්ගෙ වටා කොයිතරම් දේපල තිබ්බත්, ඥාති හිතවතුන් හිටියත් අහිංසක වගේ මිනිස්සු අසරණ වුණාම ඒක එක පැත්තකින් අනෙක් අයට කරදරයක්, අනෙක් අතට ඉල්ලමක්. ඒ වගේ තනිවෙච්ච, අසරණවෙච්ච මිනිස්සු හරිම ලේසියට තව කාගෙහරි ඉත්තො වෙනවා, රැවටීමට සූරාකෑමට ලක්වෙනවා. ඇත්ත හිතවත්කම් බොරු හිතවත්කම් වෙන්කරලා අඳුනගන්නත් බැරි එහෙම මිනිස්සු සාමාන්‍ය තනිවෙන මිනිස්සුන්ටත් වඩා අසාධාරණයට, අතවරයට ලක්වෙනවා.
ඉතින් එහෙම විඳවනවට වඩා එක අතකට හොඳ නැද්ද ඉක්මනින් ඒ කර්මය ඉවර කරගන්න එක.

ඉතින් අහිංසක, පරක්කු වෙලා දැනගත්තත් ඔබට සුබ ගමන්. ජීවත්ව හිටි කාලෙ ඔබව තවත් පීඩාවට පත් නොකර මානුෂිකව සලකන්න ඇති අතලොස්සකින් එකෙක් වීමම මට ලොකු සතුටක්.
ඔබේ සසර ගමන කෙටිවේවා. එතෙක් නිදුක් නිරෝගී සුවපත් යහපත් මිනිස් ආත්මභාවයන් ලබා සසර ගමන නිමා කිරීමට අවැසි විවරණ ලැබේවා.

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #lka

Wednesday, November 9, 2022

ගුණේ අන්කල්

 හුනස්නෙන් නැගිට්ටවෙන තරම් කම්පනයක් ගෙනාව ඒ ආරංචිය ආවේ සඳුදා උදේ. ගුණේ අංකල්ගේ මරණය ගැන. 

ගුණදාස රාළහාමි මුලු ජීවිත කාලයම අචල හිතවත්කමින් සහ පක්ෂපාතීත්වයෙන් අපේ තාත්තා ඇතුළු පවුලේ අය එක්ක රැඳිච්ච, අලුත් ලෝකයට අරුමයක් වෙන 'අවංක හිතවත්කම' කියන එකට හොඳම උදාහරණයක් වෙච්ච, ඒ වඳවී යන ජීවී කුලකයේ සුන්දර මනුස්සයෙක්. කෙටිකාලීන හිතවත්කම්, වාසි ලාබ ප්‍රයෝජන ගැන අරමුණු, පරාජයේදී පසුබෑමේදී දාලා යන මිනිස්සු අතර ගුණේ අංකල් වගේ මිනිස්සු අතලොස්සයි අලුත් ලෝකේ ඉතුරුවෙලා ඉන්නේ. එහෙම එකේ ඒ වගේ කෙනෙක් ගියා කියන එක වෙනමම කණගාටුවක් ගේන කාරණාවක්.

ගුණේ අංකල් දැඩි එජාප පාක්ෂිකයෙක්. සීයාගේ කාලයේ ඉඳන්ම නොවෙනස්ව තාත්තලා එක්ක රැඳිච්ච හොඳම හිතවතෙක්. ඥාතීත්වයකුත් තියෙනවා අපේ තාත්තගේ මව් පාර්ශවයෙන්. පක්ෂ මතිමතාන්තර වෙනස්වුණාට පස්සේ වුණත්, මතවාද විරෝධතා අතර වුණත් කවදාවත් හිතවත්කම් අත්නොහැර කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් පෙනී හිටිය දුර්ලභ ගණයේ ජීවියෙක්. 

ෂොට් එකක් දාලා, විහිළුවක් කරගෙන හිටිය අහිංසක මනුස්සයා මාස දෙකකට විතර කලින් මුණගැහුණු වෙලාවෙත් සාමාන්‍ය හොඳ ශරීර සෞඛ්‍යයෙන් හිටියා. ගුණේ අංකල් නැතිවෙලා තියෙන්නේ හදිසියේ ඇතිවුණු හෘදයාබාධයකින්, තනියම හිටිය වෙලාවක. ඒ මොහොතේ අංකල්ට මොනවා හිතුණද මොනවා දැනුණද කියලා හිතද්දිත් ඒක හරිම සංවේදීව දැනෙනවා. ගෙදර එන්න ප්‍රමාද නිසා හොයද්දි තමයි පවුලේ අය දැනගෙන තියෙන්නේ. ඒ කතාව අහද්දිත් දැනෙන කම්පනය වචන කරන්න අමාරුයි. 

ගුණේ අංකල් අන්තිමට හම්බවෙච්ච වෙලාවෙත් නංගිට විහිළු කරමින් කිව්වම රුසියාවෙන් වොඩ්කා බෝතලයක් ඕන කියලා එයා ඒක දෙන්න යන්න බලං හිටියා අංකල්ව හම්බවෙලා. ඒත් අංකල් ඔක්කොටම කලින් හරි ඉක්මණ් ගමනක් ගිහින්, ඇවිත් යන්න කියන්න බැරි. 

හරි දුකයි ගුණේ අංකල්. තාත්තා මේ ආරංචිය කියද්දිත් කිව්වේ 'ඉන්නම ඕන මිනිහෙක්' කියලා. ඇත්තටම ඉන්නම ඕන මිනිහෙක් අංකල්. හරිම දුකෙන් වුණත් ප්‍රාර්ථනා කරන්නේ පුළුවන් නම් මේ සංසාර ගමනේ කොහෙදි හරි ආයෙ මුණ ගැහෙමු. ඒත් පුලුවන් ඉක්මණින් මේ ඝෝර කඨෝර සංසාරයෙන් මිදෙන්න, එතෙර වෙන්න ලැබේවා, නිවනට ශාන්තියට පත්වේවා. එතෙක් එළඹෙන සෑම ආත්මයකම යහපත් නිදුක් නිරෝගී මනුස්සභාවයන් ලබා සුගතිගාමී වේවා! 
එතෙක් සුබ ගමන්! 🌼

~ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #lka

Sunday, October 2, 2022

දර්ශනයෙන් වියැකි දර්ශන්

2022 ඔක්තෝබර් 2දා සිනමාවේදීන් සහ හෙළ රිදී තිරය සමූහයන්ට. 

මැරිච්ච මිනිසුන්ට තරම් ජීවත්වෙන මිනිස්සුන්ට මල් ලැබෙන්නේ නෑ! මැරුණට පස්සේ ලැබෙන ආදරෙන් කළඳක් ජීවත්වෙද්දි ලැබෙන්නේ නෑ!

දර්ශන් ගිහින්. 
මහා රලු ගොරෝසු කටහඬකින් කැඩි කැඩි සිංහල කතා කරපු දර්ශන් යන්න ගිහින්. ලස්සන සුකොමළ කඩවසම් වීරයො පහුකරගෙන ගමනක් යන්න හිටිය රලු පෙනුමැති දර්ශන් යන්නම ගිහින්.
දැන් හැමෝම දර්ශන්ට ආදරෙයි. හැමෝටම දර්ශන් පොරක්,අතිවිශිෂ්ට රංගධරයෙක්, සුපිරි චරිතයක්. ඒත් ඒ ආදරේ, ප්‍රශංසා, වර්ණනාවලින් දශම ගාණක් වෙන්නැති දර්ශන් ජීවත්වෙද්දි විඳින්න ඇත්තේ! ඇයි ඒක එහෙම වෙන්නේ? ඇයි අපිට ඒක වෙනස් කරන්න බැරිද?
අවුරුදු 41ක් කියන්නේ මැරෙන්න වයසක් නෙවෙයි. එතකොට දර්ශන්ගෙ රලු හඬ පිටිපස්සෙ හැංගිච්ච රහසුත් ඒකට හේතු වෙන්න ඇති. අපරාදේ.

අපි ආස චරිත මැරුණම ඒගොල්ලො සදා අමරණීයයි කියලා අපි බැනර් ගහනවා. එයාලට පේන්නේ නෑ.
පෙට්ටි බදාගෙන, සිහිසුන් වෙනකල් එතෙක් කල් ජීවත් වෙච්චි මනුස්සයට නොකිව්ව ආදරේ කියකියා වැලපෙනවා. මිනියට ඇහෙන්නේ, පේන්නේ, දැනෙන්නේ නෑ.
ඉන්නකල් නින්දා අපහාස කරන මිනිස්සු මැරුණට පස්සේ අවසන් ගෞරව දක්වනවා. මිනියට සතුටක් දැනෙන්නේ නෑ.
ඉන්නකල් කරපු කිසිම හොඳක් නොදැක්ක මිනිස්සු මරණ ගෙදර ගුණකථන කරනවා. ඒ මැරුණේ මිනිහෙක් නෙවෙයි දෙවියෙක් තරමට ගුණ වයනවා. මිනියට ඇහෙන්නේ නෑ.
ටික දවසක් යද්දී අපිට ඒ ඔක්කොම අමතක වෙනවා. පළවෙනි දවසේ වල වටකරන මල්වඩම්, දුක්මූණු ටික ටික වාෂ්පවෙලා අතීතෙට එකතුවෙනවා. ඉඳලා හිටලා දවසක කොහෙහරි කව්රු හරි අහවලා මැරුණනේ, අපරාදේ කියනවා. තව කෙනෙකුට එහෙම දෙයක් වෙච්ච බවක්වත් නිච්චි නැතුව යනවා. 

ආයෙමත් තව කව්රු හරි යන්න යනකල් අපි ජීවත් වෙන්න ආදරේ කරන අයව කැපකරනවා. කාලය නෑ, කාලය නෑ කියලා එහාට මෙහාට දුවනවා. 
ආයෙත් කව්රු හරි ගිය දවසට එයාලට ආදරේ පානවා, වැලපෙනවා, කම්පාවෙනවා. 
ඕක තමයි අපි අපිට දෙන වටිනාකම. 

දවසක අපි හැමෝම ඔය ගමන යනවා. හැබැයි ඒ යන්න ඉස්සර වගේ වයස විතරක්ම බලපාන්නේ නෑ. අපිට අපි මුණගැහුණම ගණන් නොගෙන ඉන්න පුරුදු වෙලා නිසා ඔය වගේ දෙයක් වුණාම කම්පාව වැඩියෙන් දැනෙනවා. 
එහෙම නොවෙන්න අපිට බැරිද අද අපි අනෙකාව දකින අන්තිම මොහොත වෙන්නත් පුළුවන් කියලා ඔලුවේ තියාගෙන ජීවත් වෙන්න. සමහරවිට එතකොට අර අපි අර රාමු කරන්න හදන ලෝකේ ඊටවඩා ලස්සනට ඉබේම හැදෙන්න පුළුවන් නේද? 

දර්ශන්ලා හැමතැනකම ඉන්නවා. යන්න දීලා ගියායින් පස්සෙ මොනව කළත් ආපහු හරවන්න බැරි යාත්‍රාවකට ගොඩවදිනකල් පසුතැවීමට හේතු හදානොගෙන ඉන්න බලමු. 
දුකයි දර්ශන්❤️
ඔයා මෙහෙ ඉන්න ඕන මිනිහෙක්. කමක් නෑ එතෙරවෙන්න. ආයෙමත් මේ චක්‍රයේ කොටසක් නොවී ඉක්මණට එතෙර වෙන්න. 
සුබ ගමන්.💐

~✒️ Aash Weerasinghe

ඉලක්කං වයස!

200 ඔක්තෝබර් 2දා සිනමාවේදීන් සහ භාරත සිනමා රසික සංසදය සමූහයන්ට. 

Sharmaji Namkeen (2022)
IMDb 7.6/10
Genre: Drama

"Today's generation has become very smart and practical. For them every relationship is like a ladder, which they climb to get ahead in life. And when the ladder becomes useless they just throw it awa..."

"Last scene of the film 'Baghban'. They should make it compulsory in schools and colleges. It's a life lesson."

"How do you guys do it all day? I'm losing my mind. How much do I walk around and watch TV? It's been six weeks and the story if the TV show is also stuck at the same point."

"Sharma, you need to throw your watch in the gutter. This is how retired life is. Slow and long. You'll get used to it."

"I don't want to man. Is it a compulsion?"

"Mr. Sharma, What's the issue here? The government must have put some thought in deciding the retirement age, right?"

"Does the brain stop functioning at 58? Amitabh Bachchan is still acting, he's 78. And do the big industrialists sit at home after 58? Nonsense."

අවුරුදු 31ක් එකම ආයතනයක, ආසාවෙන් අවංකව වැඩ කරපු මනුස්සයෙක්ට පුළුවන් ද විශ්‍රාමය ලේසියෙන් දරාගන්න? මුළු දවසම නිකමෙක් වගේ එක තැනකට වෙලා ඉන්න? පොඩි පොඩි අමාරුකම් ඇඟට දැනුණට, බඩ වැඩිහරියක් වේලීමයි බුරුබුරු ගෑමයි කියන අන්ත දෙක බදාගෙන හිටියට, දණිස් පොල්කටු ටිකක් ක්රීං ක්රීං ගෑවට හිතේ හයිය එහෙමම තියෙන මුලු ජීවිත කාලයම ක්‍රියාශීලි වෙච්චි මනුස්සයෙක්ට පුළුවන් ද එහෙම ලේසියෙන් සෙටියක දවසම වාඩිවෙලා නානාප්‍රකාර ටීවී වැඩසටහන් බලමින් කාලෙ කන්න?

ශර්මා මහත්තයත් හිතුවෙ එහෙමයි. ඒත් ශර්මා මහත්තයාට ඕන දේවල්, ආස දේවල් කරන්න බැරිවිදියට පවුලයි සමාජයයි බයිලා අකෘති හදාගෙන ඒවට අනුගත වෙලා ජීවත් වෙන්න උත්සාහ කරමින් හිටියේ. වැන්දඹු තාත්තෙක් හැටියට වෙනදා දරුවන්ට කෑම හදලා කවලා පොවලා ඉස්කෝලෙ යවලා වැඩට ගිහින් ඇවිත් ආයෙත් උයලා කවලා පොවලා work-life balance එක තියාගත්ත ශර්මා මහත්තයාට පුළුවන් ද උදේට උයලා පිහලා දරුවො වැඩට/ඉස්කෝලෙට යවලා ආයේ හවස උන් එනකල් ගෙදරට වෙලා බුකවගෙන ඉන්න?

අපි හැමෝම වැඩ කරද්දි, කාර්යබහුල වෙද්දී හිතනවා අයියෝ මේ කරුමේ ඉවර වෙලා නිදහසේ ඉන්නේ කවද්ද කියලා. ඒ කරුමේ ඉවරවුණාම අයියෝ මේ කම්මැලිකම ඉවසගන්නේ කොහොමද කියලා තැවෙනවා. මම බොහොම ළගින් දැකලා තියෙනවා අපේ සීයාගේ විශ්‍රාම ජීවිතය ගෙවිච්ච හැටි. වැඩි කතාබහක් නැති මහා ආඩම්බරකාරයෙක් වුණ සීයා අන්තිම කාලේ ගෙදරට හැරෙන මහ පාරේ තිබ්බ වින්කලයක පවා නැවතිලා රටතොට ගැන පැය ගණන් කතාවක් දාගෙන ඉඳලා එන්න පටන් ගත්තම අපි ඉතින් හොඳටම හිනාවුණා. සීයට දවස ගෙවාගන්න ඕන වුණේ වැඩ, වැඩ, වැඩ! . විශ්‍රාම ගියත් පරණ පුරුද්දටම පාන්දර ඇහැරගෙන, අපිවත් කෑගහලා ඇහැරවලා, බුදුන් වැඳලා, තේ බීලා, මිදුල් අතුගාලා, දවසෙ පත්තර බලලා (ඒ දවස්වල පත්තර බිල ලයිට් බිල වගේ. සේරම පත්තර එනවා), ලිපි මොනවහරි ලියලා, හවස් වෙද්දි බොරුවට කඩේ යනවා. ඒ ගිහින් එද්දි කැඩිච්ච පාරවල්, බෝක්කු අරක මේක ගැන වෙච්චි කතා අනුව ඒවට ලියුම් ලියන්න, පරණ මිත්‍රයන්ට කතා කරලා වැඩ කරවගන්න වගේ සමාජ සේවා වැඩත් හොයන් එනවා. අපි ඕපයක් කිව්වත් අපිට රැව්ව ගෙරෙව්ව සීයා එහෙම වෙලාවක අහන්න ලැබිච්ච ඕපත් ඉතින් හවස තේ බොනගමන් කියලා අම්මගෙයි ආත්තම්මගෙයි හිනාවට ලක්වෙනවා. ඒ වැඩ මුකුත්ම නැත්නම් දෝණි, ඒ කිව්වේ අපේ අම්මා එක්ක කුමන්ත්‍රණය කරලා රහස් මන්ත්‍රණ කරලා වත්තේ තියෙන ගහක් කප්පවලා, මොකක්හරි වෙනසක් කරවලා ආත්තම්මව අවුස්සගෙන බැණුම් අහනවා. ඊටපස්සේ රෑට ඕගන් එක ගහමින් සිංදුවක් කියලා එහෙම නිදාගන්න යනවා.(සීයාගෙ පුතාලා එහෙම අමද්‍යප නොවුණට සීයා සම්පූර්ණයෙන්ම අමද්‍යප කෙනෙක්, මැරෙනකල්ම ඒ ප්‍රතිපත්තිය කඩ නොකළ) ඒ එක්කම ඉතින් ඕන එකයි එපා එකයි හැම එකම ප්‍රශ්න කරනවා. මට ඉස්සර තරහත් යනවා. දැන් ටිකක් තාත්තාත් ඒ වගේ වේගෙන එනවා දැක්කම මම ගෙදර හිනාවෙනවා  "වීරසිංහ මහත්තයත් දැන් බස්නායක මහත්තයා වගේ වේගෙන එන්නේ" කියලා.❤️

ශර්මා මහත්තයත් ඒ වගේ තමයි. ඒකාකාරී බව නැතිකරගන්න නොකළ දෙයක් නෑ. සූම්බාත් කළා නෙව, හරි ගියේ නෑ ඉතින්. ඒ මදිවට තියෙන තරමක් ෆේස්බුක්, වට්ස්ඇප් ආදී නානාප්‍රකාර මාධ්‍යජාලාවලත් සැරිසරනවා. ඒවයේ ඕපදූපත් බලනවා. බොරුවලටත් ඇත්ත කියලා රැවටෙනවා. මතකනේ අර රැට්ටගෙ තාත්තා ටික්ටොක් කරන්න ගත්තා? අන්න ඒ වගේ. ටික්ටොක් විතරයි මෙයත් නොකළේ! 
පස්සේ තමයි අමුතු වැඩක් සෙට්වෙන්නේ. මොකද ශර්මා මහත්තයාට පුළුවන් පුදුම රහට කෑම හදන්න. ඒ කෑම ඉවිල්ල දැක්කත් රසනහර පිනා යනවා. බොරුනම් බලන්නකො. 

ඇත්තටම ඔය සමාජ මාධ්‍යවල ගැහැණුන්ට වඩා අතවරයට, අපහාස උපහාසයට ලක්වෙන්නේ වැඩිහිටියන්! ඒ ඇයි කියනවා නම් ඔවුන්ට සමාජ මාධ්‍ය සංස්කෘතිය අලුත්. පරණ පරම්පරාවල යාලුමිත්‍රකම්, හිතවත්කම් තිබ්බේ ෆොටෝවලට දාන හාට් රියැක්ට්ස්වල නෙවෙයි. ඒවා දීර්ඝකාලීනව පැවතුණෙත් ඒක හින්දමයි කියලයි මට නම් හිතෙන්නේ. මොකද අනවශ්‍ය ඇලීම්-ගැලීම් නැහැනෙ. අනික ඒ හිතමිත්‍රකම්වල දැන් ඒවයට වඩා අවංකකමක් තිබ්බා කියලා මට හිතෙනවා. දැන් සමාජ මාධ්‍යවල පවතින බහුතර මිනිස් සම්බන්ධතා මැනෙන්නේ පිංතූරවලට පෝස්ට්වලට දාන ලයික්, රියැක්ට්ස්වලින්, කමෙන්ට්ස්වලින්. ඊළගට එතන අනවශ්‍ය තරමට පෞද්ගලිකත්වය ප්‍රකාශවීම නිසා නැති ප්‍රශ්න. මිනිස්සු මිනිසුන්ව මනින්නේ ඒ මනුස්සයගේ ෆෙස්බුක් වෝල් එකෙනුයි ඉන්ස්ටග්‍රම් අකවුන්ට් එකෙනුයි. මං හිතන්නේ සකරෙට වැරදුණේම හාහා සහ හාට් රියැක්ෂන්ස් බුකියට එකතු කිරීම හින්දා කියලා. පවුල් කැඩෙන්න වගේම හාහා නිසා හිතවත්කම් නැත්තට නැතිකරන්න පුළුවන් දැලිපිහියක්නෙ එයා ඔය ආසියාතික වඳුරන්ට දීලා තියෙන්නේ😅
එතකොට පරණ පරම්පරාවේ නොදැනුවත්කම සහ සමාජ මාධ්‍ය පරිශීලනයේ තියෙන අඬුලුහුඬුකම් අලුත් පරම්පරාවල්වලට කුරිරු විනෝදයක්. එතනදි සහකම්පනය කියලා දෙයක් හරිම කණගාටුදායක විදිහට නැත්තටම නැතිවෙනවා. 
හැබැයි ඔය අතර වේගයෙන් අලුත් දේ ඉගෙනගන්නා වැඩිහිටියනුත් ඉන්නවා. 

විශ්‍රාම යෑමේ වයස ගැන කියනවා නම් ලංකාවේත් දැනට ක්‍රියාත්මක 55 සීමාව ගැන මම පෞද්ගලිකවම ලොකු සතුටක් නැහැ. කෙනෙකුට හැකියාව, ශක්තිය තියෙන තරම් කාලයක් වැඩ කරන්නට දීමේ ගැටලුවක් තිබිය යුතු නෑ කියලා මම හිතනවා. මොකද මුලු ජීවිත කාලයම වැඩ කරන්න හුරුවූ කෙනෙකුට ඒ නැවතීම නිසා ලැබෙන මානසික සහනයට වඩා අසහනය වැඩියි. ඒ බහුතර විශ්‍රාමිකයන්ට වෙන්නේ අර්ථසාධකෙන් එහෙම ලැබෙන සොච්චම් මුදල අරගෙන පරාජිතයෙක් වගේ ගෙදර යන්න. ඒ මුදලත් ඊටපස්සේ (බහුතරයක) ඩැහැගන්න බලන් ඉන්න දරුවන්ට බෙදන්න. එහෙම නොකළම උන් එකිනෙකා කුළල් කාගන්නා හැටි බලං සෝ සන්තාපයට පත්වෙන්න. ඊටපස්සේ ලෙඩදුකකට ගන්න තියෙන සල්ලියෙන් දරුවන්ට සලකන්න, ගෙවල් දොරවල්වල අඩුපාඩු පිළියම් කරන්න, ඉගෙන ගන්න දරුවන්ට යුතුකම් කරන්න, දීගතල යන දරුවන්ට දෑවැදි හදන්න. රජයෙ සේවකයන්ට තියෙන විශ්‍රාම වැටුප් සහනයවත් (ඒක මහලොකු දෙයක් නොවුණට) නැති පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයන්ට ඔය ටික කළායින් පස්සෙ වෙන්නෙ හිඟා නොකා හිඟා කන්න. ඒ අස්සෙ දරුවන්ගෙ දරුවො බලාගන්න, ඉස්කෝලේ එක්කන් යන්න, පංති ගෙනියන්න, කඩේ පොලේ යන්න, බිල් ගෙවන්න යන්න ආදි අටෝරාසියක කම්කරු වැඩ මොන ඉහළ පුටුවකින් විශ්‍රාම ගියත් උරුමයි. ඒ අතරට ශර්මා මහත්තයට වගේ දරුවන්ට ලැජ්ජාවක් නොවී ජීවත්වෙන්න, හැසිරෙන්න, තීරණ ගන්න වගේ දණ්ඩ නීති සංග්‍රහයකටත් කොන්දේසි විරහිතව යටත්වීම අනිවාර්යයි. 

මා දන්නා තරමින් බොහෝ බටහිර රටවල් අනිවාර්යයෙන්ම විශ්‍රාමයෑමක් නිර්දේශ කරන්නේ සමහර සාධක මත. නැත්නම් වැඩ කළ හැකි තත්වයේ සෞඛ්‍ය සම්පන්න කෙනෙකුට අවුරුදු 70වනතුරුත් වැඩ කරන්නට ඉඩ තියෙනවා (ඇතැම් ක්ෂේත්‍ර හැර). ඒක ඒ ආයතනමම විය යුතු නැහැ. වැඩිහිටියන් එකම තනතුරුවල රැඳීම නිසා ඊළග පරම්පරාවලට අසාධාරණයක් වීම මාත් පිළිගන්නවා. එතනදී නිසි කාලයෙදි නිසි තීරණ ගැනීමට පරම්පරා දෙකටම වගකීම් සහ යුතුකම් තියෙනවා වගේම එසේ ඉවත්වන වැඩිහිටි පරම්පරාවට නිසි ගෞරවය ලබාදෙන්නත් ගෞරවණීය පුරවැසියන් ලෙස ජීවත්වීමට ඉඩදීමටත් අපි හැමෝටම යුතුකමක් තියෙනවා. අපි හැමදෙනාම ජාති, ජරා, ව්‍යාධි, මරණ අනිවාර්යයෙන්ම දවසක අත්විඳිනවා. සුරක්ෂිත, සුරූපී, ධනවත්ම පුද්ගලයාට පවා ඒ අනිත්‍යයට මුහුණ දෙන්නට සිද්ධවෙනවා. ඒක අවබෝධ කරනොගෙන නොමැරෙන මිනිස්සු හැටියට වැඩිහිටියන් වගේම තරුණ පරම්පරාවත් ජීවත්වෙන්න උත්සහ කිරීම නම් විහිළුවක්. 

ශර්මා ජීගේ කතාව බලන්න. 
චිත්‍රපටය ගැන සුවිශේෂීම කාරණාව තමයි මේක රිෂී කපූර්ගේ අන්තිම චිත්‍රපටය. රූගත කිරීම් අතරතුර තමයි ඔහු රෝගාතුරව අපෙන් සමුගන්නෙ. ඒක නිසා ශර්මා මහත්තුරු දෙන්නෙක් චිත්‍රපටයේ ඉන්නවා. ඒ පරේශ් රාවල් ඒ අභියෝගය බාරගත්ත හින්දා. ටිකක් අමුතුයි වගේ මුලදි දැනුණට පස්සේ ඒකත් ව්‍යංග්‍යර්ථයක් වගේ දැනෙන්න පටන්ගන්නවා. හිතලා නොකළ දෙයක් වුණත් එකම චිත්‍රපටයේ එකම චරිතය පුද්ගලයන් දෙදෙනෙකු විසින් රඟදැක්වීම බහුතර විශ්‍රාමිකයා නියෝජනයක් හැටියට දැනෙනවා. 

තිරපිටපත Suprathik Sen සහ Hithesh Bhatia. Hitheshගේම අධ්‍යක්‍ෂණයක්. Amazon Prime Video බෙදාහැරීමක්. 

~✒️ Aash Weerasinghe