අහිංසක හිටියේ මම කලින් වැඩ කරපු කාර්යාලෙක. ඒක ඇත්ත නම නෙවෙයි. නමුත් ඇත්ත නම එක්ක ලිව්වොත් ඒ මනුස්සයගේ පෞද්ගලිකත්වයට අසාධාරණයක් වෙන්න ඉඩ තියෙන නිසා අපි අහිංසක කියමු.
අහිංසක එතන කාර්යාල කාර්ය සහායක. අවුරුදු හතළිහක විතර උස කලු මනුස්සයෙක්. නිතරම messenger bag එකක් කරේ දාගෙන අරහෙට මෙහෙට ඇවිදින්න තමයි එයාගෙ රාජකාරිය වුණේ. ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා අහිංසකගෙ වෙනසක් තිබ්බා. මොකක් හරි හේතුවකට ඇතිවුණු මානසික පීඩාවක් නිසා ඔහු ලේබල් වෙලා තිබ්බෙ 'අප්සෙට්' කියලා. ඔව් ඉතින් අපි ලේබල් කරන්න හුගක් කැමති සමාජයක්නෙ!
අහිංසක මෙසෙන්ජර් රස්සාවක් කළාට කොළඹ රාජකීයේ ඉගෙන ගත්තු, චතුරව ඉංග්‍රීසිය හසුරුවපු මනුස්සයෙක්. මම දන්නේ නෑ හැමෝම ඔහුට මානුෂිකව සැලකුවද නැද්ද කියලා. නමුත්, මනුස්සයෙක් හැටියට ඒ මනුස්සයා ගැන මට දැනුණ කම්පනය හින්දම බනින්න හිතෙන වෙලාවකවුණත් සෑහෙන්න ඉවසීමෙන් මානුෂිකව සැලකුව එක ගැන මම සතුටු වෙනවා, එදාටත් වඩා අද.
ඇයි අහිංසකට එහෙම වුණේ කියන එක ගැන කතන්දර ගොඩක්, එක එක අය කියලා තියෙනවා. එකක් සහෝදර සහෝදරියන් තුන්දෙනෙකුගෙ පවුලේ බාලයා වෙච්ච අහිංසකගෙ පාසැල් ගමන අතරතුර සිද්ධ වෙච්ච එයාගෙ තාත්තගේ මරණය නිසා ඔහු මානසිකව පීඩාවට පත්වුණා කියන එක. අනෙක් කාරණය සුපුරුදු ලෙස ප්‍රේම සම්බන්ධයක් බිඳවැටුණට පස්සෙ සිද්ධවෙච්ච දෙයක් කියන එක. ඔය කතන්දර දෙකෙන් කොයිකද ඇත්ත කියලා කියන්න දන්නෙ නෑ.
මම දන්න තරමින් අහිංසකට කොළඹට නුදුරින් ගෙයක් දොරක් පවා තිබ්බ කෙනෙක්. වැඩ නිසා සමහර දවසට රෑ වෙනකල් හිටියොත් තව කාවහරි එක්කන් යනගමන් අහිංසකවත් ගෙවල් කිට්ටුවට ඇරලවලා තියෙනවා. එහෙම දවසක "ma'am can you please give me two minutes, I'll get something for dinner and come" කියලා ළග කඩේකට දුවලා ගිහින් කෑම පාර්සලේකුත් අරං හනිහනිකට දුවගෙන එනවා. එතකොට මම ඇහුවම තමයි අහිංසක කිව්වේ එයා ගෙදර උඩ තට්ටුවේ ඉන්නවා, සහෝදරී එයාගෙ පවුල එක්ක පහළ ඉන්නවා කියලා. මේ කියන සහෝදරී කාර්යාලයේ සමහර පරණ කළමනාකාරවරු එක්ක කතාබහ කරලා තිබුණට මගෙ රාජකාරි කාලය ඇතුළත එහෙම කරන්න අවස්ථාවක් ලැබුණෙ නෑ.නමුත් අහලා තියෙන හැටියට පෞද්ගලික බැංකුවක ඉහළ තනතුරක් දැරූ කෙනෙක්. නමුත් ඒ සහෝදර සම්බන්ධය හෝ පුද්ගලයන් ගැන විනිශ්චය කරන්න තරම් මං ඒ ගැන දන්නේ නැහැ.
අහිංසක අහිංසක වුණාට සමහර අවස්ථාවල හරිම ඉක්මණින් වෙනස්වෙන ගති, එක සැරේ වැඩ දමලා ගහලා යන ගති, නොකියා ගෙදර යන ගති වගේ ඒවා නිතරම තිබුණා. කොහොමත් සඳුදා සිකුරාදා වගේ වෙද්දී අවුල්. මං හිතන්නේ දවස ගානේ වැඩට එන රටාව කැඩෙන එක හින්දා වෙන්න ඇති සමහරවිට. එක දවසක් හදිසි වැදගත් ලියකියවිලි වගයක් එක්ක බෑග් එක පහළ ආරක්ෂක නිලධාරින්ගේ මේසයක් උඩ දාලා ගෙදර ගිහින් තිබ්බා. අහිංසක මට රපෝර්තු නොකළට පොඩි කීකරු ගතියක් තිබ්බ නිසා මං කතා කළාමත් අර තරම් සැරෙන් නොවුණට "I don't feel well, I went home" කියලා කිව්වට "No Ahinsaka, we need you here, please come back and help us" කිව්වම ආපහු ආව අවස්ථාත් තිබුණා. වැඩ අධිකම දවසක පාන්දර කතා කරලා "I can't come to work today ma'am, I don't have money for the bus" කියලා කිව්වම ලෝකෙම කරුණාව අමතකවෙන්න ආවත් (වෙන මනුස්සයෙක් කිව්වනම් ඔහොම) "No Ahinsaka, you come in a tuk, I'll pay for that" කියලා කොහොමහරි වැඩට ගෙන්න ගත්තා. සාමාන්‍යයෙන් එහෙම කිව්වම මනුස්සයෙක් උඩ පැනලා ත්‍රීවීල් එකක එන්න ඉඩ තිබ්බට ඒ මනුස්සයා එදත් ආවෙ බස් එකේ. එදා නාවා නම් වැඩ ගොඩක් අවුල්වෙන්නත් ඉඩ තිබ්බා.
කාර්යාලේ හැමෝම 'හා දැන් කඩේ වහමු' කියලා හිනා කතා ඉවර කරලා යනකල් අහිංසකත් පෙරහැරේ ඉන්න අලියා වගේ නොඉවසිල්ලෙන් එහෙට මෙහෙට වෙවී ඉන්නවා දොර ජනෙල් වහන්න බලාගෙන, එයාට කව්ද යනවා කියලා කියන්නේ කියලා බලාපොරොත්තුවක් නැතුව. පළවෙනිම දවසෙ එයාටත් අනිත් අයට වගේම යනවා කියලා කිව්වම ඒ පුදුමේ එවෙලෙම මූණෙන් පෙනුණා. පහුවදා උදේම දුවගෙන ඇවිත් මොනහරි කිව්වම තමයි මම දැනගත්තෙ අහිංසකට හොඳින් ඉංග්‍රීසි කතා කළහැකි බව. එදායින් පස්සෙ ඔහු එක්ක මගෙ සංවාද ඉතා කෙටිවුණත් ඉංග්‍රීසියෙන් කළේ මොකක්දෝ හේතුවකට ඔහු ඊට ප්‍රිය බවත් ඒක ඔහුට තමන් පිළිබඳව සන්තෝෂයක්/අභිමානයක් ගෙනදෙන කාරණාවක් බවත් මට තේරුම්ගිය නිසා.
තනතුර මොකක්වුණත් හැම කෙනෙකුටම ආත්මගරුත්වයක් තිබෙනවා. කාටවත් අයිතියක් නැහැ කෙනෙක් අඩු තනතුරක් හෝ සහයක තනතුරක් දැරූ පමණින් ඔවුන්ට අතපල්ලෙන් වැටුණු ලෙස සලකන්න. ඔය කතාවෙම තව පැත්තකුත් තියෙනවා. සමහර අවස්ථාවල එහෙම මානුෂිකව සලකන මිනිස්සුන්ගෙ කරේ නගින්න යන, ගසා කන්න හදන, නැත්නම් හොඳ මූණු පෙන්නගෙන අංචි අදින මිනිස්සුත් ඉන්නවා.
මම එතැනින් ඉවත්වූ පසුත් අහිංසක එතන හිටියාද නැද්ද මම හරියටම දන්නෙ නෑ. දැනට ටික දවසකට කලින් ආරංචියක් ලැබුණේ අවුරුද්දකට විතර කලින් අහිංසක මියගිහින් කියලා, මොළයෙ පිළිකාවකින් බවයි කියන්නෙ. ඒක මං හිතුවට වඩා ලොකු කම්පනයක්. යාලුමිත්‍ර සමාගමක සතුටු සාමීචියක් අතර දැනගත්ත ආරංචියෙ කම්පනය එවෙලේ නොපෙන්නා හිටියත් මම ගෙදර ඇවිල්ලත් හිතුවේ අයියෝ අසරණයා කියලා.
එක අතකට අහිංසක වගේ මිනිස්සු ඉක්මණ් ගමන් යන එක ඒ මිනිස්සුන්ට යහපතක් කියලා හිතලා හිත හදාගන්න උත්සාහ කරලා තමයි මේ සටහන ලියන්න හිතුවෙ. තමන්ගෙ වටා කොයිතරම් දේපල තිබ්බත්, ඥාති හිතවතුන් හිටියත් අහිංසක වගේ මිනිස්සු අසරණ වුණාම ඒක එක පැත්තකින් අනෙක් අයට කරදරයක්, අනෙක් අතට ඉල්ලමක්. ඒ වගේ තනිවෙච්ච, අසරණවෙච්ච මිනිස්සු හරිම ලේසියට තව කාගෙහරි ඉත්තො වෙනවා, රැවටීමට සූරාකෑමට ලක්වෙනවා. ඇත්ත හිතවත්කම් බොරු හිතවත්කම් වෙන්කරලා අඳුනගන්නත් බැරි එහෙම මිනිස්සු සාමාන්‍ය තනිවෙන මිනිස්සුන්ටත් වඩා අසාධාරණයට, අතවරයට ලක්වෙනවා.
ඉතින් එහෙම විඳවනවට වඩා එක අතකට හොඳ නැද්ද ඉක්මනින් ඒ කර්මය ඉවර කරගන්න එක.
ඉතින් අහිංසක, පරක්කු වෙලා දැනගත්තත් ඔබට සුබ ගමන්. ජීවත්ව හිටි කාලෙ ඔබව තවත් පීඩාවට පත් නොකර මානුෂිකව සලකන්න ඇති අතලොස්සකින් එකෙක් වීමම මට ලොකු සතුටක්.
ඔබේ සසර ගමන කෙටිවේවා. එතෙක් නිදුක් නිරෝගී සුවපත් යහපත් මිනිස් ආත්මභාවයන් ලබා සසර ගමන නිමා කිරීමට අවැසි විවරණ ලැබේවා.
~✒️ Aash Weerasinghe
#AW #thaniya #medusasjournal #lka
කියවලා සෑහෙන වෙලා කල්පනා කළා මොනව ලියන්නද කියලා.
ReplyDeleteගනේමුල්ල ස්ටේෂන් එකේ හිඟන්නෙක් උන්නා ජෝන් අම්බලවානර් කියලා. මතක් වුණේ එයා ගැන. අහිංසක පොඩි මිස් එකක් තිබුණු මනුස්සයෙක්. ඔය වගේ ම හොඳට ඉගෙන ගත්ත...
ඔව්. එහෙම අසරණ වෙච්ච කොටසකුත් අපි අතරම ඉන්නවා. අවාසනාවකට හොඳට ඉන්න පුළුවන් පසුබිම් තියාගෙනත් කර්මානුරූපව අසරණවෙච්ච මිනිස්සු
Deleteහරිම සංවේදී සටහනක්. අපි එදිනෙදා එකට වැඩකරන අය ගැන අපි දන්නේ කොයිතරම් අඩුවෙන්ද ? විශේෂයෙන් ඒ බව දැනෙන්නෙ අපි වගේ පිට රටක ඉන්න කොටයි. ඒත් ප්‍රශ්න ගැටළු මැද්දෙ අමාරුවෙන් වැඩට එන අය ගැන අප කරන තක්සේරු සහ නිගමන කොයි තරම් සාධාරණ ද ? විශේෂයෙන්ම කොවිඩ් වසංගතයෙන් පස්සෙ මිනිසුන්ට ඇතිව තිබෙන මානසික ගැටළු එක්ක මේ තත්වය වැඩිවෙලා. ඔබ වගේ හිතන අය අඩුයි. ඒත් අමාරුවෙන් හරි අපි අනෙකා ගැන මීට වඩා සංවේදීව හිතනවා නම් හොදයි.
ReplyDeleteඅනිවාර්යයෙන්ම. කොවිඩ්වලින වුණ පැහැදිලි සෞඛ්‍ය තර්ජනයට අමතරව නොපෙනෙන, වක්‍රාකාරව සිදුවූ මානසික රෝග, මානසික සෞඛ්‍ය තර්ජනය සෑහෙන්න වැඩියි. ඒක බහුතරයකගෙ පෞර්ෂයයන් පවා උඩුයටිකුරු කළ තත්ත්වයක්. ඊට අමතරව මේ වගේ හොඳ පසුබිමක් තිබිලත් මානසිකව පීඩාවට ලක්වීමෙන් අසරණ වෙච්ච මිනිස්සු ගැන මට හරිම කණගාටුයි. එහෙම කොච්චර ඇතිද
Delete