දැන් ඔය හයිලෙවල් පාරේ ඉඳන් රේමන්ඩ් පාරට හැරෙන තැන තුන්හුලස් ඉඩම ඉස්සර බන්දු අයියගෙ (අපිට බන්දු අන්කල්ගෙ) ගරාජ් එක. මේ ගැන බන්දු අන්කල්ගෙ මරණය කාලෙ මම ලියලා ඇති බ්ලොග් එකේ.
( https://tharuwehi.blogspot.com/2014/10/blog-post.html?m=0 )
බන්දු අයියගෙ ගරාජ් එක ඒ කාලේ කලා තිප්පොලක්. සෑහෙන්න කලාකාරයො ආගිය, විශේෂ වැඩකට නොවුණත් යමින් එමින් ගොඩවැදිලා ගිය තැනක්. අපේ තාත්තත් කලාකාරයෙක් නොවුණට ඒ හිතවත් පිරිසෙ කෙනෙක් වෙච්චි නිසා පැය ගණන් (වැඩකට නැතුවත්) ඔතන කට්ට කන්න සිද්ධවෙච්ච අවස්ථා අපිට තියෙනවා.
ඕක ඉස්සරහම තිබ්බේ ඇල්බට් අන්කල්ගෙ කඩේ. පෞද්ගලික ප්‍රවාහනයේ ඉස්කෝලෙ ගිහින් එද්දී සමහර වෙලාවට දවල් ඉස්කෝලෙ ඇරිලා රෑ වෙනකල් කන්න කටු සෙට්වෙන අවස්ථාත් තිබ්බා, අපේ පියාණන්ගේ වැඩ රාජකාරි අනුව. එහෙම දවසක පාන් කියාගන්න බැරිව හෙම්බත්වෙලා හිටිය මට ගරාජ් එක පැත්තට වාහනෙ හරවද්දි සංසාරයෙ දුක්ඛිතබව පැහැදිලි වේගෙන වගේ ආවා. ඒ බව නොදත් තාත්තා මොකද්දෝ ලොරි දුනු කතාවක් බලවන්න පටන් ගනිද්දී මට ඕනෑ වුණා තනියම ඇල්බට් අන්කල්ගෙ කඩේට පාර මාරුවෙලා මොනවහරි ගන්න. සාමාන්‍යයෙන් එහෙම තනියම යවන්නෙම නැතිවුණත් එවෙලේ සන්ග්ලාස් අන්කල් එක්ක කතාවකට සෙට්වෙලා හිටි තාත්තා අවසර දුන්නා එතුමාගේ අධීක්ෂණය යටතේ පාර පැනලා ගන්න දෙයක් අරං ඉක්මණට එන්න. අන්කල් එක්ක කතාකරමින් කඩේ පැත්තට මූණලාගෙන තාත්තා බලං ඉන්නවා මගේ ගමන මොනිටර් කරමින්. අවුරුදු 9ක් හෝ උපරිම 10ක් වෙන්න ඇති මට ඒ වෙද්දී. අර පටුපාර තනියම තරණය කිරීමත් නිදහසක් හැටියට ගත්තු මම මිටින් හැරි කුරුල්ලෙක් වගේ පියාඹලා ගිහින් චොක්ලට් එකක් ගත්තා, ඒ තටුවලින්ම හැරෙන තැපෑලෙන් ආපස්සට ගරාජ් එකට දුවන්න හැරුණා.
මහ සද්දෙන් බ්‍රේක් පාරක් වැදුණා!
පාරට පැනපු විදිහටම වටපිට නොබලා මම සිටි තැනටම දිව්වා!
ඒ සැණින් විශාල බැණුම් සද්දයක් සමග මගේ කණක් තදින් ආපස්සට කැරකැවුණා!
ගත්තු චොක්ලට් එකත් අතේ මිටි කරං කඳුළු පුරෝගෙන මම දඬුවම් දුන් පියාණෝ පිටිපස්සෙම හැංගුණා!
ලැජ්ජාවනෙ! සන්ග්ලාස් අන්කල් විතරක්යැ දෙනෝදාහක් ඉස්සරහ මොන ලැජ්ජාවක් ද ඒ මට වුණේ. පොඩිහිටියන්ටත් ගෞරවනීය පුරවැසියන් විදිහට ජීවත්වීමට අයිතියක් ඇත, දඬුවම මානව හිමිකම් උල්ලංඝනයකි වගේ බෝඩ් උස්සන ඇත්තෝ ඒ කාලෙ නොහිටි නිසා මම පත්වූ අපහසුතාවය දැක්ක සන්ග්ලාස් අන්කල් හරිම කාරුණිකව ඔලුව අතගාලා මගෙ අතින් අල්ලන් හැංගිලා හිටිය පිය සෙවණැල්ලෙන් මෑත් කරලා කිව්වා "තාත්තා කලබලවුණානේ පුතේ ඔයා අර වාහනෙට අහුවෙනවනෙ තව ඩිංගෙන්. ඒකනේ එයා බනින්නෙ. හා දැන් එන්නකො අපි ඕක අමතක කරමු"
ඒ සන්ග්ලාස් අන්කල් තමයි නිහාල් නෙල්සන්!
නිහාල් අන්කල් හරිම නිරහංකාර මනුස්සයෙක් කියලා පුංචි එකෙක් හැටියට මට තේරුම් ගිය අවස්ථාව තමයි ඒක.
මම ඒ දවස්වල රූකාන්ත ෆෑන් කෙනෙක්. රූකගේ ඇක්ෂන් දාලා සිංදු කිව්වට නිහාල් අන්කල්ගෙ ඇක්ෂන් දාලා එයාගෙ සිංදු නොකිව්ව ගැන අද මට කණගාටුවක් දැනෙනවා.
අන්කල් ගිය තැනක ලස්සනට පිපුණු වනමල්ගල් අතර සුන්දර කාලයක් ගෙවාවි. එහෙ ඉඳන් ගයන සිංදුවක රහ බිංදුවක් මේ ලෝකේ පැත්තටත් එවන්න.
සුබගමන් සන්ග්ලාස් අන්කල්💔💐
~✒️ Aash Weerasinghe
#AW #thaniya #medusasjournal #medusa #lka
💔🌹🙏............
ReplyDelete😔🙏
Deleteනිහාල් නෙල්සන් ස්ටේජ් එකට නැඟලා, මයික් එක ගත්ත ගමන්, නිවේදකයවයි, බෑන්ඩ් එකයි, ප්‍රේක්ෂකයොයි, අනුගාහකයොයි ආදී සියලු දෙනා අමතලා අගය කරන හැටියෙන් ම පේනවා ඔහුගේ තියෙන වැදගත්කම සහ නිරහංකාරබව...
ReplyDeleteඒක ඇත්ත. මං හිතන්නේ ඒ ට්‍රෙන්ඩ් එක පටන්ගත්තේ එයා වෙන්න ඕන. හැබැයි අනිවාර්යයෙන්ම එහෙම ස්තූතියි කරද්දී කොච්චර සතුටු ඇතිද ඒ හැමෝටම
Deleteලස්සන මතකයක් , ඔබේ සටහන ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteස්තූතියි අනුරුද්ධ. සමාවෙන්න පමාවට. අදයි දැක්කෙ
Deleteමට මතක 1975-6 වගේ කාලේ, බොරලැස්සේ පල්ලියේ මංගල්ලෙට තිබ්බ සංගීතෙක, (ඒ කාලේ නං කිව්වේ මියුසිකල් ෂෝ කියලා අප්පා), කැහැටු, කපුටු කූඩු කොණ්ඩ කොල්ලෙක්, ස්ටේජ් එකේ අමුතු අමුතු කකුල් මාට්ටු දදා, මයික් එක උඩ විසි කරලා අල්ල අල්ල වැඩ දානවා (මයික් එක වයර් එකක තිබ්බේ හැබැයි). අපේ වයසට කිට්ටු වගේ පෙණුන එකෙක් මෙහෙම සෝබන දැමිල්ල ගැන කට්ටිය චුට්ටක් ඉරිසියාවෙන් කතා කලා මතකයි.
ReplyDeleteඒ තමයි මම නිහාල් නෙල්සන් දැක්ක මුල් දවස.
ස්තූතියි ලොකූ.පමාවට සමාවෙන්න.
Deleteඔව් නේද? එහෙම වේදිකාවේ දඟර නැටුම්වලට ප්‍රසිද්ධ එක්කෙනෙක් නිහාල් අන්කල්, අනිත් එක්කෙනා රූකාන්ත වෙන්න ඕන. ඒකෙත් අමුතු ගතියක් තියෙනවානෙ. ඉස්සර තිබ්බ සීමිත රසවින්දන මාධ්‍යවලින් එකක්නෙ මියුසිකල් ෂෝස්. මං හිතන්නේ ගොඩක් අය කලාකරුවන්ව අඳුනගන්නෙ දකින්න ඇත්තෙත් එහෙම වෙන්න ඕන වැඩිමනත්