Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

Wednesday, October 16, 2024

පෙට්ටගම්

කාලි ලංකාද්වීපයෙන් පිට වුණේ ආයෙ කවදාවත් එහෙ පය තියන්න අදහසකින් නෙවෙයි.

ඒත් අවුරුදු ගාණකට පස්සේ මහ කන්ද සමතලා කරලා පාරක් හදන්න යන ආරංචියට කාලිට ආයෙම ඉන්සොම්නියාව ඉස්මුරුත්තාවට එන්න පටන් ගත්තා. නිදි පෙත්තෙන්වත් රතු වයින්වලින්වත් නින්ද කැන්ද ගන්න බැරුව දුක් විඳීමේ කෙළවරක කාලි තීරණය කළා ආයේ ලංකාද්වීපෙට ගිහින් එන්නම වෙන බව. 
එක්කො ඔය මොන මගුල වුණත් මොකද. කාලයෙ වැලිතලා පහුරුගගා තව මොනවා හොයන්නද මං දැන් එහෙ ගිහින් කියලා අහස් යාත්‍රාවෙදිත් කාලිට නොහිතුණාම නෙවෙයි. ඒත් ඉතින් මට බැහ් කියලා වලාකුළු හෝල්ට් එකකින් බැහැලා වෙන අහස් යාත්‍රාවකට නගින්නයෑ. 

රුද්‍ර කොහෙ ඉන්නවද උන්නද මලාද කියලවත් නොහොයපු කාලිට ටිකෙන් ටික ලංකාද්වීපෙ ලංවෙද්දි ගැහෙන ගතියක් දැනිලා තිබ්බෙ. මේ යන ගමන එකාතකට කමක් නැහැ, ඒත් ගංතුලානක්වත් නොදන්න සුසානයක වල දාපු රුද්‍රෙක් මොකට දැන් ඔලුවෙ යකා නටන්න ගත්තද කියලා කාලිට හිතාගන්න බැරුව ඉන්නකොට තමයි අහස්‍ යාත්‍රාව කටුනායකට සැපත්වෙලා මහ හුස්මක් හෙලුවේ. ඒක හරියට කාලි හෙලන්නම ඕන ඒත් එයා නොහෙලූ මදිපාඩුවට හෙලුව එකක් වගේ කාලිගෙ පපුවයි හිස් වෙලා ගියේ.

එදාම සේරම ඉවර කරලා ගියා නම් මේ කරදර නැහැනෙ. ජීවිත කාලෙන් බාගෙකට වඩා ලංකාද්වීපයට පණ ඇරලා ආදරේ කළ කාලි හුරුපුරුදු මූණුවර දාස් ගාණක් මැද්දෙ නාහෙට කෙලින් බලාගෙන, හදවත් පටි තදකරගෙන, ඇප් එකෙන් කැඳවගත් ඌබරයට තමන් ගෙනාව තනි පෙට්ටගම පටවගත්තා. මරණ පරීක්ෂණයක් ඉවර කරන්න තදියම් වෙච්ච මරණ පරීක්ෂකයෙක් වගේ ඉක්මණින් ආව කාරණෙ ඉෂ්ඨ කරන් යන්න නොඉවසිල්ලෙන් ඉන්න කාලිගෙ මහ සුසුම් සද්ද නිසා රියැදුරත් කීප විටක් කණ්ණාඩියට විමසුම් බැලුම් හෙලුවා. ලේ නෑයන්ට, හිත මිත්‍රයන්ට කිසිම දැනුම්දීමක් නැතුව ඇවිත් යන්න කාලි ආවෙ. පුළුවන් නම් මේ ගමනෙන්ම වැඩේ ඉවර කරන් ආපහු අදම යන්න පුලුවන් නම් කිසිම බැඳීමක් තව නෑනෙ කියලා කාලිට හිතුණෙ.

බැඳීමක්? එතකොට මේ තමන් තකහනියක් දුවන් ආවේ බැඳීමකටද! 

******

මහ කන්ද අද්දරට එද්දි රෑ වුණ නිසා කාලිට සිද්ධ වුණා ඒ අහලක නවතින්න. තානායමෙ සුහදශීලී ආචාරශීලි සේවයට පැහැදුණාට අනවශ්‍ය වංහුං කතා කපා හරින්න කාලි හැඟීම් විරහිත මූණෙන්, වචනෙන් දෙකෙන් සංවාද ඉඩ ඇහිරුවා.

පාන්දර නැගිටලා මහ කන්ද ලඟට යනකොට පුදුමෙකට වගේ කාලි බලාපොරොත්තු වෙච්ච විදියෙ ලබ්ඩබ් සද්ද දාන්න හදවත ඇහැරුණේ නෑ. එදා මේ මහ කන්ද ලඟින් ගියා වගේම නිශ්චල හදවත උණ්ඩි කරන් කාලි කැලේට ගිය දෙහි ගහ පාමුල වාඩිවුණා.

කාලිට මෙතනට එනවා කියලා හිතද්දිම මතක් වුණේ සූරිය කන්ද. සූරිය කන්දෙ සමූහ මිනීවලවල් හාරද්දි මස් එක්ක දියවෙලා ඇටකටු එක්ක එතිලා ඉතිරිවෙච්ච දිරච්ච රෙදි පටිවලින් තමන්ගෙ දරුවො අඳුනගන්න ආපු වයසක තාත්තලා ඇඬුව හැටි මතක්වෙලා කාලි බයවුණා, තමනුත් මහ කන්ද පාමුල කාලෙකට කලින් හිතේ දිරලා ඉතිරිවෙච්ච හැඟීම් තීරුවලට මතක ගලපගන්න ගිහින් වැලපෙයිද කියලා. හොඳ වෙලාවට හැමදාම සද්ද කරපු හදවත නිශ්චල වෙලා හිටියා.

*******

ඒ වෙද්දි අවුරුදු ගාණක් ගිනි අඟුරු උඩ නටලම කාලි හෙම්බත් වෙලා හිටියෙ. රටා ඇන්ඳ පතුල්වල ආප්ප පිපෙනවා වගේ දියපට්ට පිපුණේ.
අන්‍තිමේදි ගල් අඟුරු උඩ නැටුව තමන්ට දිය මත ඇවිදින්න ලැබුණයි කියලා හෙන සන්තෝසෙන් කාලි හිටියෙ.
ජීවිතේ අනිත්‍යයයිනෙ.

ඒක දම්පාටයි සකරමුටයි රෝස පාටයි රත්තරන් පාටයි කලවම් වෙච්ච හුරුබුහුටි පෙට්ටගමක්. රුද්‍ර එක්ක බීපු පළවෙනි කෝපි බිලේ ඉඳන් තෑගි දීපු ටොෆි කොළේ පවා සමරු හැටියට එකතු කරපු කාලිගෙ මතක පෙට්ටගම. දෙන්නම හිතං හිටියෙ ඒ මතක පෙට්ටගම පිරුණු වේගෙට තව පෙට්ටගම් එකතු කරන්න වේවි කියලා! 

ගිනි අඟුරු පෑගිල්ල ඉවර වෙලා දිය නැටුම පටන් ගත්තම කාලි කවදාවත් කාලි හැටියට හිටියෙ නෑ.
ඒක නහීනකමක් හැටියට මිනිස්සුන්ට හිතුණද දන්නෙත් නෑ.
පුරාවෘත්තයේ හැටියට නම් කාලිගේ විනාශකාරීත්වය නවත්තන්න බැරිවුණාම ඈව සන්සුන් කරන්න ශිව නැත්නම් රුද්‍ර කාලිගේ දෙපා මුලින් මතුවෙනවා. සමහර පින්තූරවල කාලි ශිවව පාගගෙන ඉන්නවා වගේ පේන්නෙ ඒ අවස්ථාව. හොඳට බැලුවොත් තමන්ගෙ පය පාමුල වැතිරුණු ශිව දිහා බලන කාලිගේ මූණේ තියෙන පුදුමය පේනවා.
මේ කාලිගේ කතාව නම් වෙනස්. විනාශකාරි වෙන්න හොඳටම පුළුවන්කම තිබිලත් නොවුණම රුද්‍රගෙ පපුවෙ නෙවෙයි කාලිගෙ පය තිබ්බේ, රුද්‍ර කාලිගෙ පපුවට පය තිබ්බා. 
කාලි කියන්නෙත් අහංකාර ගෑණියෙක්නෙ. ඒ වෙනකොට ආදරේ වෙර දාලා ඉවසීම අල්ලන් හිටියට කාලිගේ සීමාව පැනලා තිබ්බේ. 

දැන් ඔව්වායින් වැඩක් නෑ.
අන්තිම නැටුමෙන් පස්සෙ මේ පෙට්ටගමේ තිබ්බ සේරම රුද්‍රටම පවරලා ලංකාද්වීපයෙන් යන්නයි කාලිට ඕනවුණේ. ඒත් එතෙක් ලබ්ඩබ් ගෑව හදවත් ලබ්බ කීං හඬක් නොනගා නිශ්ශබ්ද වුණාම ඒක විශ්වීය පණිවිඩයක් හැටියට අරන්, කාලි නිහඬව සේරම මතක මහ කන්ද පාමුල වක ගැහිලා අමුතු හැඩේකට වැවිච්ච දෙහි ගහ පාමුල වලදාලා කාටවත්ම නොකියම (අහස්) නැව් නැංගා, ආයෙ නොඑන්නම.

******
කොහෙන්දෝ ආරංචිය ආව හිතමිත්‍රයන්ගෙ පණිවිඩ සහ ඇමතුම් කීපයක්ම නොදැක්කා වගේ නිහඬව කාලි පහුවදා ආපහු නැව් නැග්ගා.

මතක පෙට්ටගමේ හිටිය වීදුරු සිංහයාගෙ හදවත උඩින් මහ කන්ද පාරේ වාහන යන්න පටන් ගත්තද, නැත්නම් රුද්‍රගෙ සොහොනෙම සමාදානයේ සැතපුණාද, සාගර පත්ලක ගිලී නොපෙනී ගියාද, කාලි එක්කම නැව් නැග්ගද කියන එක කාලි එක්කම මිහිදන් වෙන්න නියමිත රහසක් වෙලා රහස් පෙට්ටගමේ තැන්පත් වුණා.

මහ කන්ද පාර ජනාකීර්ණ වුණා. ඉඳලා හිටලා කතා කරලා දුකසැප අහන හිතවත්තු අරුම පුදුම කතා කියන්න පටන් ගත්තා. මහ කන්ද පාරේ එක සැරේ පෙනී නොපෙනී යන සිංහයෙක් ඉන්නවයි කියලා කට්ටියක් කිව්වා. තව කට්ටියක් කිව්වා වැස්ස දවසට ඒ පාරේ වැහි බීරමට එහා ගිය මූසල පාටක් තියෙන හින්දා දන්න මිනිස්සු ඒ පාර මග අරිනවා කියලා. 
හොඳම කතාව වුණේ වීදුරු බිඳෙන හඬක් පාරෙන් ඇහෙනවා ඒත් ඒ කොහෙන්ද කියලා කාටවත්ම හිතාගන්න බෑ කියන එක. එදා නම් කාලි ඇහෙන් කඳුළු පනින ගාණට හිනාවුණා. සිංහයා වීදුරුවුණාට එච්චර සද්දෙට බිඳෙන්න හදවතක් නම් තිබ්බෙ නැති බව කාලිට වඩා හොඳට දන්නෙ කවුද. 

කාලි රහස් පෙට්ටගමට අඟුළු දාලා තව වයින් වීදුරුවක් වක්කර ගත්තා.

🖋️ Aash Weerasinghe | තනියා

#AW #thaniya #medusa #medusasjournal #lka

Friday, July 5, 2024

සංකා මරණ

අපි හිටියෙ 101වෙනි තට්ටුවෙ.
අපි කිව්වට එයා. මං ආවා ගියා.

ඉස්සෙල්ලම 101වෙනි තට්ටුවට ගියේ බොහොම ප්‍රේමණීය රමණීය, අදහගන්න බැරි ආදර රෝලර්කෝස්ටරේක නැගිලා හඳ එළියක නෑවි නෑවි අතිනත් පටලාගෙන, දෙන්නම ආදරෙන් මතින් මත්වෙලා හිටිය මොහොතක. බරපතල ආකර්ෂණේක ගිනිපුළිඟු වේගෙන් එයාගෙන් මට මගෙන් එයාට පනිමින් හිටිය මොහොතක.
ඊටපස්සෙ දිගටම මල්වැල් ලියවැල් එතිච්ච ප්‍රේම ඔංචිල්ලාවක තුරුල්වෙලා වෙලිලා පැටලිලා (ගැරඬි වගේ) 101 තට්ටුව දිව්‍ය විමානයක් කරගෙන අපි හිටියෙ.
කොණක තිබ්බ පුංචි වැලි ඔරලෝසුවේ වැලි හැලුණේ ඇහිපිය හෙලන්නත් කලින්! 

එහෙම හිටිය දිව්‍ය විමානෙ මල් ඔංචිල්ලාවෙන් බැල්කනි තාප්පෙට මාරුවුණේ කවදද කියලා මම දන්නෙ නෑ. 
හැබැයි වටපිටාව නිශ්ශබ්ද වෙමින් තිබ්බා.
හෘද වස්තු ලබ්බෙ ලබ් ඩබ් එක මටම වධයක් වෙන්න ඇහෙන්න ගත්තා.
වැලි ඔරලෝසුවේ වැලි අංශුව ගානෙ මන්දගාමීව හැලෙන්න ගත්තම මට ඒ සද්දෙයි වේගෙයි දරාගන්න බෑ කිව්වම එයා යක්සාවේශයකින් මාව තල්ලු කළා "පිස්සු ගෑණියෙක් ඕයි තමුසෙ!". 
"හහ්?" මම වචන ලොප්වෙලා බලන් හිටියා. මොකද්ද ඒ කිව්වෙ කියලා තේරුම් ගන්න බැරුව සිංහල චක්‍රවර්තී, සංවේදී කවිකාර, අතිරමණීය ප්‍රේමවන්ති අස්සේ හිටිය මාන්නක්කාර උගත් බුද්ධිමත් රූමත් අතිපණ්ඩිත කාලි ඉස්සර එයා ආදරෙන් ඉම්බ කට ඇරන් බලන් හිටියා. 
මගෙ රවුම් සිංහල කවි අස්සෙත් එයාට තියෙන ආදරෙ හෙව්ව ප්‍රේමවන්තයා, ජේත්තුකාර රැවුලා, පොඩි ළමයෙක් වගේ මගේ අතීත කතාවලට ඉරිසියාව වැපිරුව මකරා, ලොකු අයියෙක් වගේ මාව ගුලිකරන් තුරුල් කරන් ආදරෙ දුන්න මනුස්සයා මල යක්සයෙක් වගේ මාව තල්ලු කළා. 
මං ටක් ගාලා තූෂ්ණිම්භූත වෙච්ච කාලිව වහගත්තා. ආදරේදි රබර් වගේ ඇදෙන මගේ ඉවසීම එක මොහොතෙන් සුන්නද්දූලි කරලා, ආයෙ අනෙක් අතට මතක හිටින්න රිද්දලා, ආයේ ඇවිත් පාමුල වැටිලා ඇඬුවත් කිසිමදාක නාඳුනන මිනිහෙක් වගේ ඉන්න පුළුවන් තරම් රෞද්‍ර ඒ කාලිට මාත් බයයි. ඒ කාලිව මේ අවස්ථාවට ගෙන්නලා මොන මලයස්සයෙක් වුණත් මට ආදරේ කළා කියලා මං හිතුව, මං තාම ආදරේ කරන මිනිහට රිද්දන්න මං ඊට වඩා බයවුණා. කාලි වැඩියොත් ඒ ඔක්කොම ආයෙ කිසිදාක හදන්න බැරි තැනකට යන බව දන්න නිසා එහෙම අවධානමක් අරන් මේ ආදරේ අතාරින්න බෑ කියන හැඟීම දරුණුවට දැනෙන්න ගත්තා. ආදරේ කියන්නෙ ඒක වෙන්න ඇතිනෙ. 

මං හිතුවෙම කොයි වෙලාවක හරි පියවි මනුස්ස ස්වභාවයට ඇවිල්ලා ඉස්සර වගේම තුරුල් කරන් ආදරෙන් නාවලා  මාව බැල්කනි තාප්පෙන් වඩාගෙන බිමට ගනීවි කියලා. තට්ටු 101ක් උඩ අහසේ වේගවත් හුළං පාරවල්වලට මෑකරලක් වගේ වැනෙද්දිත් ඒ මොහොත උදාවෙනකල් මම බලන් හිටියා. 
වේදනා කැක්කුම් නිවලා, එහෙම ඉන්න වැටවල් උඩින් වඩලා බිමට ගන්න වෙන මිනිස්සු නැත්තේ නෑ. ඒත් ඒ කැක්කුම් සේරම නස්නාලේපවලින් තාවකාලික සුව හොයන්න යන ජාතියේ නොවන අහංකාරකම හින්දා හිටිපියෙන්ම ඉඳපු මටනෙ මෙහෙම කළේ කියන ගින්න හුළං පාරට තවතවත් සැරෙන් ඇවිලෙන්න ගත්තා.
එක්කෝ මෙහෙම ඉන්නවට වඩා හොඳ නැද්ද වැටෙන එක?
තට්ටු 101ක් පහුකරන් වැටෙද්දි මොන වගේ දැනෙයිද?
ඒ වැටිල්ල නවත්තන්න පුළුවන් ජගතෙක් නම් මෙලොව නැතුවැති වගේ දේවල් හිතෙන්න පටන් අරන් තිබුණේ.

අන්තිම වතාවේ තමයි ඒක වුණේ.
මම බැල්කනියෙන් වැටුණා.
පුපුරු ගහන නියපොතු අගින් එල්ලිලා ඉන්න මම අන්තිම වාරුවත් ගනිමින් ඉන්නකොට සෙනසුරාදා පාන්දරක එයා තීරණය කරලා තිබ්බා මගෙ ඇඟිලි උඩ හිටගන්න. 
දැන් කොයිවෙලේක හරි සපත්තු අඩිවලට පෑගිලා හිරිවැටෙන ඇඟිලි වාරුව ලිහෙයි. වමත දිගේ හිරියක් ගිහින් ඒක පපුව රිද්දගෙනද හිරකරගෙනද පුච්චගෙනද කියන්න නොතේරෙන මොකද්දෝ එකක් වෙනවා කියද්දිත් ඒක කියලා වැඩක් නැති තැනක එයා හිටියෙ.

එතකොට..රමණීය මතක තට්ටුවක් මරණීය වෙයිද.
"පරම රමණී අපේ ආලේ...." රුක්මණීදේවි ග්‍රැමෆෝන් එකක් අස්සෙන් ඇහෙන්න ගත්තා.
මං වැටුණා. එයා හැරුණා.

"සදා කල් දුකට වී මූලේ
සමාජේ රුදුරු කාන්තාරේ
කොහේ අපි යනුද නොමතේරේ.." 
රුක්මණී නැවතුණා.

~ Aash Weerasinghe

Sunday, September 25, 2022

සඳරැස් වළල්ල

"මට ඕන ඔයාව අඳුනගන්න"

අහලා පුරුදු කතාවක් වෙනස් කටහඬකින් ඇහුණම ඒකේ ස්වර උච්ඡාවචනයවීමයි අර්ථ විවරණයයි විශ්ලේෂණය කරන්න මගේ මනස එරමිණියා ගොතාගෙන වාඩිවුණේ කොන්දට සැප කොට්ටයක් හේත්තු කරවගෙන ලකලෑස්ති වෙලා.

"ඉතින් ඔයා මාව අඳුනනවනේ" කටට ආපු සරදම් හිනාව බීම වීදුරුවෙන් මුවා කරගෙන පුළුවන් තරම් සාමාන්‍ය විදිහට කිව්වේ අනුන්ගේ පව් තවකෙක් පිටින් යවන්න අවශ්‍ය නෑ කියලා හිතුණ හින්දා.

"ඔව් අඳුනනවා. ඒත් ඊට වඩා ඔයා ගැන දැනගන්න මං කැමතියි"
ඉංග්‍රීසියෙන් ආදරේ කරාම දැනෙන්නේ නෑ කියලා එකඟතාවක හිටිය, අමතක කරලා දැම්ම අතීත කතාවක් නාලාගිරි වේගෙන් ඔලුවට කඩාවැදුණා. ඔව් ඒක ඇත්ත තමයි. සම්බන්ධතාවකදී ඉංග්‍රීසිය භාවිතා කරන්නේ මම පුද්ගලයන්ව අතේ දුරින් තියාගන්නකොට, ඒත් නැත්නම් තරහක් පිටකරනකොට කියලා සමහරු තේරුම් අරගත්ත තැනුත් තිබ්බා. සමහර දේවල් ඉංග්‍රීසියෙන් කිව්වම දැනෙනවා, සමහර දේවල් නෑ. ආදරේ නම් තමන්ගේ භාෂාවෙන් අහන එක තමා සුන්දර. ඒවුණාට මේ කතන්දරේ මව් භාෂාවෙන් නොවෙන එක හොඳයි, ඇලෙන්න තියෙන ඉඩ අඩු කරගන්න එකනේ අරමුණ.

"වචන හැමෝටම දෙන්න පුළුවන්, වඩා වැදගත් ක්‍රියාවනෙ" කියලා කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තරයක් මගෙ කටින් පැන්නා නොහිතාම. ඒ වෙලාවේ මට අනිකව පෙනුණත් මගෙ බැල්ම අරමුණක් නැතිව වෙන කොහෙද මාත් නොදන්නා තැනක තිබ්බේ. ඒත් අනිකා පුදුමයෙන් වගේ මා දිහා බැලුවා මිසක් ඒ කතාව දිගේ නොයා එයාගේ අතීත කතන්දරයක් කියන්න පටන් ගත්තා. අනිවාර්යයෙන්ම අර පළවෙනි කතාව වගේ මගේ අනිච්ඡානුග උත්තරෙත් එයත් ඕනෑතරම් අහලා ඇති.

ඒක ලස්සන අවන්හලක්. මුහුදේ හඬයි අවන්හලේ සංගීතේ හඬයි ද්වන්ධ සටනක ඉන්න අතරේ වුණත් මම නිශ්ශබ්දව ඔහුගේ නොස්ටැල්ජියාව අවදිකිරීම අහන් හිටියා. මිනිස්සු තමන් ආස දේ,තමන්ට වටිනා දේ ගැන කතා කරද්දි ඒ දිහා බලං ඉන්න එක වෙනමම මොකද්දෝ එකක්. සාමාන්‍යයෙන් බැරෑරුම් මුහුණින් ඉන්න මනුස්සයෙක් දිලිසෙන ඇස්වලින් හිනා වපුර වපුර පරණ ප්‍රේම කතාවක් කියද්දි අවුරුදු විස්සක් ආපස්සට ගිහින් අහිංසක සතුටක් ලබන ඒ ජීවියගෙ කණෙන් ඇදලා වර්තමානයට ගන්න තරම් ලොකු ආකර්ෂණයක් තාම ඇතිවෙලා නැති හින්දා සාමාන්‍යයෙන් ආදරේදී එන මගේ ඉරිසියාව ලා හිනාවක් ඇඳගෙන ආඩම්බර ලාලිත්‍යයෙන් පැත්තකට වුණා. මගෙන් කතන්දර බලාපොරොත්තු වෙන්නට ඇති නමුත් ඒකට ඉල්ලීමක්වත්, බලකිරීමක්වත් නොකෙරුණ හින්දා මාත් නිශ්ශබ්දව හිටියා. මගේ වාරේ ආවහම අවුරුදු ගාණක් පුරුදු පුහුණු කළ වඩා ආරක්ෂිත පියවරට කතාව හරවාගන්න හැටිත් මම දන්නවානේ.

පුරුෂ ඇස්වල ආලෝක පුංජයන් දුවන හැටි නටන හැටි නොදැක නැතිවුණත් මේ මනුස්සයා ගැන නම් මට පුදුම නොවී ඉන්න බැරිවුණා. ප්‍රේමයෙන් උණුවෙලා වැගිරෙන මිනිස්සු වගේම ඔය ඇස්වල දුවන නානාප්‍රකාර තොරණ් ගණන් නොගෙන නොදැක්කා නොදැනුණා වගේ ඉඳීමේ "ලාදුරු කලාව" ප්‍රගුණ කරපු කෙනෙක් පුදුමයට පත්වීම කියන පුදුමය ඔඩුදුවන්න කලින් නතර කරගෙන මම කදිමට ලුණු තවරපු නිවිති කොළයක් ගෑරුප්පුවෙ ඔතාගත්තා.

"ඔයා වැඩිය කතා කරන්නේ නෑ නේද?"

"නෑනේ.."

"හ්ම්ම්.. ඒක තමයි."
ඒකත් මේ විශ්වයේ කීවතාවක් නම් ගෑණු මිනිස්සු අතර ඇතිවෙලා ඇති දෙබසක්ද කියලා ආයෙමත් හිනාවක් මතුවේගෙන ආවත් මෙච්චර දුකක් විඳලා ලස්සන හැන්ඳෑවක කතාබහක් කරන්නට කරපු ආරාධනාවට ඒ වගේ අවිනීතකමක් කරන්න තරම්ම මගේ හිත නරක්වෙලා තිබ්බේ නැති බව මම මටම මතක් කරගත්තා.

ටික වෙලාවකින් ඉබේම මම මගේ ආරක්ෂිත පියවරට සංවාදය හරවාගෙන තිබ්බ නිසා ඒ වෙද්දි දෙන්නම හරිහරියට ව්‍යාපාරික සංවාදයක් පටන් අරගෙන ඒ අතරම කෑමත් ඉවර කරලා තිබ්බේ. සෙනගත් තුනීවෙමින් සංගීතයත් ටිකක් තුනීවෙමින් තිබුණු හින්දා පේන මානේ මුහුද විතරක් ජයග්‍රහණය සමරමින් හිටියා.

"මං ආසයි මුහුදට, වෙරළට, බහින ඉරට" අනිකා කිව්වේ සපත්තු දෙක ගලවලා පුටුව යටින් තියන ගමන්.
මාත් කැමතිම වුණත් 'මාත්' කියන උත්තරේ කටින් එළියට නෑවිත් ආඩම්බරකමට මුලුගැන්නිලා හිනාවක් විතරක් එළියට තල්ලු කළා.

කිසිම සංවාදයක් නැතුවම අවන්හලේ ලී වැට හරියෙන්ම මුහුද පැත්තට හිටගත්තමයි ඒ වෙරළ තීරයේ ලස්සන පේන්නේ. නානාප්‍රකාර කහපාට විදුලි සැරසිලි පෙළක් තිබිලත් මුහුද තිබ්බේ අඳුරක. ලාවට සුදු පාට රළ විතරක් පේන තරම් අඳුරක. ඒත් වෙරළේ පිළිම දෙකක් වගේ හිටගෙන හිටිය අපිට උඩින් හඳ මුදුන් වෙලා, වටකුරුවට පායලා තිබ්බ හඳ වටේ විශාල රැස් වළල්ලක් ඇතිවෙලා තිබ්බේ. ඒක ඇත්තටම හරිම ලස්සනයි.
ඒ මොහොතේ හඳ එළියෙන් නෑවෙමින් පිළිම දෙකක් වගේ හිටගෙන මුහුද දිහා බලා ඉන්න ගැහැණියෙකුයි පිරිමියෙකුයි කොච්චර ප්‍රේමාන්විත, රෝමාන්තික දර්ශනයක් මවනවා වෙන්න පුළුවන් ද. එහෙම දෙයක් මම දැක්කා නම් අර අවන්හලේ පොල් අතු හෙවිලි කළ මේසෙකට වෙලා කවි කීයක් නම් ලියන්න තිබ්බද මෙලහකට.. අපරාදේ මං මේ ඉන්නේ ඉන්න ඕන තැන නෙවෙයිනෙ..
සාමාන්‍යයෙන් හැඟීම් දැනීම් තියෙන, වැරදි වැරදි හරි තවම ලබ්-ඩබ් ගාන හෘදය වස්තුවක් තියෙන මනුස්සයෙක් හැටියට මේ තියෙන සුන්දරත්වය නිසා හරි කවි කීයක් ලියවෙන්න තිබ්බද?..ඒත් ඒ ඔක්කොම නිකං ගල් ගැහිලා ගිහින් වගේ. හිතයි හදවතයි වෙන්කරන සන්ධියෙ මොකද්දෝ ලොකු ගුලියක් හිරවෙලා වගේ හිතත් වැඩ නොකරන හදවතත් වැඩ නොකරන මෙලෝ රෝමාන්තික ගතියක් නොදැනෙන ලෝකෙක හඳ එළියෙන් නෑවෙන ගෑණු ප්‍රතිමාව හිටියේ. පිරිමි ප්‍රතිමාව නං හඳ තරමටම ලස්සන ආලෝක කිරණ ඇස්වලින් නිකුත් කරනවා ගෑණු ප්‍රතිමාව නොදැක්කා නොවෙයි, නොදැක්කා වගේ හිටියා.

ඒ ඔක්කොම පැත්තක තියලා මං ආයෙත් සඳරැස් වළල්ල බලන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් තරුවලට පුදුමාකාර ආස මම මේතරම් ලස්සන සඳරැස් වළල්ලක් නම් දැක්කේ එවෙලේ තමයි.
බෙල්ල කැඩෙන්න තරම් නවාගෙන අහස බලන මාව දැක්කම අනිකාට හිනාගියා.

"ලස්සනයි නේද? දැක්කද අර රැස් වළල්ල?"

"හ්ම්ම්..ඔව්, ලස්සනයි"

"ආ.. මම ආසයි පින්තූර ගන්න" මම එකසැරේම බොහොම කලබලයෙන් කියලා දැම්මා. ඒ අර මාව අඳුනගන්න තරම් දෙයක් මම තාම කිව්වේ නෑ නේද කියන කල්පනාව හින්දා වෙන්න ඇති කියලා මං හිතන්නේ අනිකාටත් තේරෙන්න ඇති.
"ඉතින් දැනුත් ගන්න පිංතූර.. "

" නෑ.. කොච්චර පිංතූර ගත්තත් පියවි ඇහැට පේන හඳේවත් තරුවලවත් ලස්සන ඒ විදියටම පිංතූරවලට ගන්න බෑ.." මහ ලොකු කැමරාකරණ පිකාසෝ කෙනෙක් වගේ මම උත්තර දුන්නා.

අනිකා ඉස්ඉස්සෙල්ලාම ගෑණු ළමයෙක්ට කතා කරන්න ආව නවයෞවනයෙක් වගේ ලැජ්ජාවෙන් හිනාවෙවී මුහුදු වැලිවලට පයින් ගගහා මගේ කතාවට හූමිටි තිබ්බා. මාත් දිගටම හඳේ හැඩ බැලුවා. එතකොට තමයි අහන්න ඕනම කතාවක් මතක් වුණේ.
" ඇයි ඔයාට මට කතා කරන්න හිතුණේ?"

"දන්නේ නෑ. මට හිතුණා කතා කරලා බලනවා කියලා අපිට ඉදිරි ගමනක් තියෙනවද කියලා."

"ඇයි ඉතින් මම? මට නං ඒකට හේතුවක් පේන්නේ නෑ" සාමාන්‍යයෙන් ගෑණු එහෙම කතා කියන්නේ තමන්ට ආස උත්තරේ අනිකගෙන් අහන්න වුණත් මම ඒ වෙලාවේ ඒ ප්‍රශ්නේ ඇහුවෙ නම් ඇත්තටම. පරණ කළකිරීමුත් අඳුරු මුහුදු මායිමේ පෙනීනොපෙනී යමින් තිබ්බා වගේ දැනුණ හින්දා. කොහොමටත් මොන උත්තරේ ආවත් මේ ගල් ගැහුණු හෘදය දියකරන්න ආයෙත් ඉතින් පුලුවන් වෙන සමතෙක් ඉන්න බෑ.

"හ්ම්ම්.. ඇයි ඔයා.. ඒක මම තාම දන්නේ නෑ. ඒකනේ ඔයාව අඳුනගන්න හදන්නේ. ඔයාට ආකර්ෂණයක් තියෙනවා. ඔයාගෙ පෞර්ෂයයට මම කැමතියි. ඔයා ලස්සනයි. හැබැයි ඒක හින්දමයි කියලා කියන්න මම කැමති නෑ. ජීවිත කාලෙම ඉන්න කෙනෙක් ගැන එච්චර ලේසියට තීරණය කරන්න බෑ.."
කපටි උත්තරයක් වගේ එකක් ආවා නේද කියලා මම හිතෙන් හිනාවෙන්න පටන්ගත්තා. ඒත් මූණෙන් හිනාවක් පළ නොකර බැරෑරුම් බැල්මෙන්ම හිටියා.

" හදිස්සියක් නෑ. අපි අපේ සංවාදය සාමාන්‍ය විදිහට පවත්වාගෙන ගිහින් බලමු වෙනසක් වේවිද කියලා.. වෙනසක් වුණොත් ඒක මගේ වාසනාවක්.. නැත්නම් ඉතින් සාමාන්‍ය විදිහටම යාලුකමක් තියෙයි.."

"හ්ම්ම්..."
මගේ ඔලුව ඇතුලේ එහෙම අදහසක් නැතිබව නොදන්නා අනිකාගේ සුබවාදී ආකල්පයට අගෞරවයක් නොකර ඉන්න තරම් පරිණතකමක් කාලය ලබාදීලා තිබීම කොච්චර නම් හොඳ ද කියලා ඒවෙලාවෙ නම් මට හිතුණේ ඇත්තටම. කාලය මොනවා කරාවිද කියලා අපි දන්නේ නෑ නේද කියන පුදුමය ඕනෑතරම් අත්විඳලා තියෙන හින්දා මම නිශ්ශබ්ද වුණා.

"අපි ආයෙත් දවසක මුණගැහෙනවනේ?"

"බලමු.."

අනිකා සුන්දර හිනාවක් ඉහලා රේල්පාරෙන් එතෙර වෙන්න අත පෑවා.

~තනියා

✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal





Tuesday, July 31, 2018

කුවේණි

මෙතන ඉඳන් ඈතට දිවෙන තද නිල් පාට මුහුදයි තඹ පාට වැල්ලයි ඊටත් උඩින් විසිරුණු සැහැල්ලු ලා නිල් අහසයි කුවේණි දකින්නේ අද ඊයෙක ඉඳන් නෙවෙයි..ඒත් ඒ මුහුදු නිලයි, අහස් නිලයි, තඹ පාටයි, ගස් ගොමුවේ කොළ පාටයි කවදාවත් ඈට එපා වුණේ නෑ.. කුවේණිට දැනෙන්නේ ඒ සේරම අයිති ඒත් අයිති කරගන්න බැරි, ලස්සන වුණත් වචන කරගන්න බැරි හීනයක් වගේ. ඈ සළුවක් වියන්න මෙතනම තෝරගන්න හේතුවත් ඒකමයි. ඒක තමන්ගේ තැනක්ය කියන්න හිමිකමක් නොපවරවාම කුවේණි ලියාගෙන හිටියා. සළුව වියන්නම විතරක් නෙවෙයි කුවේණි මෙතනට එන්නේ, එතනට තියෙන මිදෙන්න බැරි ලෙන්ගතුකමක් හින්දා. ඇයි කියලා නිශ්චිත හේතුවක් නැති බැඳීමක් ඈට මෙතනට තියෙනවා. තනිවෙන්න හිතුණම, හිත රිදුණම, සතුටක් ඇතිවුණාම ඒ කොයි හැඟීමත් බෙදාගන්න ඇයට මතක්වෙන්නේ මෙතන.

ජීවිතේ හිමින් ගලනකොටත් සුනාමියක් වගේ වියරු වෙනකොටත් ඈ මෙතන මෙහෙම වාඩිවෙලා සළුව වියනවා හරියට තමන්ගේ වටේ රාක්ෂයෝ කැරකෙන බවක් නොදන්නවා වගේ. 

ඇත්තටම කුවේණිට සළුවක් වියන්න ලොකු ආසාවක්වත් හීනයක්වත් තිබ්බේ නැහැ. සමවයසේ කෙල්ලෝ සළු වියන්න හීන දැක්කේ වැඩිවිය පත්වෙන්නත් කලින් ඉඳන් වුණත් කුවේණිට ඒ ගැන කිසිම විශේෂත්වයක් තිබ්බේ නෑ. හැබැයි හිත පිරෙන්න ආදරේ කරන්න නම් කුවේණිගේ හිතේ ලොකු හීනයක් තිබ්බා. සමහරවෙලාවට සළු වියමන යටපත් කරගෙන ඇගේ හිත අතීතයේ කිමිදෙන වෙලාවල් තියෙනවා. ඒත් එහෙම ආදරයක් හමුවුණාද කියන ප්‍රශ්නාර්ථයෙන් ඈ ඒ හීනවලින් මිදිලා ආයිත් සළුව වියන්න පටන් ගන්නවා.

කුවේණි දැනගෙන හිටියා මේ ලෝකේ වියපු කිසිම සළුවක් සර්වසම්පූර්ණ නැහැ කියලා. අණ්ඩ දාගෙන වියපු සළු පැත්තකින් නවලා තියන් නිරුවතින් උන්නු උන් අතරේ තමන් වියාගත්ත සළුව ඇඳන් ඇවිදින්න තරම් හයියක් කුවේණිට තිබ්බා. ඒත් ඒ ගමන තමන්ගේ ආත්ම අභිමානයට විතරක්ම වෙන ගමනක් බව කුවේණි තේරුම් අරන් හිටියා.

ඇත්ත කොයිතරම් තිත්ත වුණත්  තමන්ගේ වියමනට ලකුණු දෙන්නවත් ඒක අනෙක් වියමන් එක්ක සන්සන්දනය කරන්නවත් කුවේණි උත්සහ කරන්නේ නැහැ.. හිත කලකිරවගෙන අතෑරලා දාන්න බැරි තැනකට තමන්ව ගෙනාපු සළුවක් තියෙන ඕනම කෙනෙක් තමන් වගේ හිතනවා ඇති කියලා චරිත සහතික දෙන්න කුවේණිට බැහැ. සමහරවිට එහෙම අතෑරලා දාලා අළුත් සළු වියන්න ගත්තු මිනිස්සු ජීවිතේ සුන්දරයි කියනවත් ලෝකේ නිරුවතින් ඇවිදින අනික් උන් ඒවට හිනාවෙනවත් කුවේණි දැකලා තියෙනවා.

Wednesday, November 2, 2016

සළු - 1වෙනි කොටස

නේක වර්ණ කොණ්ඩ, මුහුණු පේන තරමට දිලිසෙන කළු සපත්තු, දිලිසෙන රිදි රත්‍රන් මුහුවෙච්ච අබරණ, කසුකුසු කතාවල්, විලවුන් සුවඳ, ඇරෙන පි‍යෙන තද රතු තොල්, බැරෑඬි පිරිමි හඬවල්.,සියුම් සිලිං හඬක් නගමින් එකිනෙක ගැටෙන වීදුරු, පහන් එළිය වැදී දිලිසෙන රන් පැහැ දියර...

හැමදෙනෙක්ම කාර්යබහුලයි...කතා කරන්න, හිනාවෙන්න, හොරැහින් එකිනෙකාගේ ඇඳුම් ආයිත්තම් මැනගන්න, හිනාවක් වශියක් ඉහිරන්න, ඇස් කොණකින් ඉඟියක් කරන්න..
ඒත් ඔය හැමදේම සුපුරුදුයි..හිස නොහරවාම පිටුපසින් එල්ලවෙන සරාගී ආරාධනාවක් මැනගන්න තරම් දැන් මගේ ඉඳුරන් ප්‍රවීණයි..මට තියෙන්නේ බන්දේසියක පාවෙන ෂැම්පේන් බඳුනක නටුවෙන් අල්ලා නෙලාගන්න ගමන් අතිශය සාමාන්‍ය ආකාරයට ඒ පැත්තට හැරෙන්න විතරයි..සමහරවිට ආරාධනාව තිගැස්සෙන්නත් පුළුවන්...ඒත් නැත්නම්, සුවපහසු යහනක උඩ හෙට උදේ රවී මුණගැහෙන්නත් පුළුවන්..

අද එහෙම ආරාධනාවක සංඥාවක් ආවේ හරිම කලබලේකින්..තාම සාදය පටන් ගත්තා විතරයි...එහෙම කියන්න පුළුවන් පාවෙන බන්දේසි එක්ක සුදු කළු ඇඳි ඡායාවල් මට තාම පේන හින්දා...සාමාන්‍යයෙන් ඒවා අපිට පෙනිය යුතු නැහැ..

"හායි" ඇගේ රළු නමුත් සරාගි හඬ මට පිටුපසින් ඇහෙන්නේ රහසක් වගේ..බෙල්ලේ පිටුපස රෝම රොද කෙළින් සිටුවන්න ඒ රහසට පුළුවන් බව ලොවෙන් වසන් කරන කබායට මම ස්තූතිවන්ත වෙන්න ඕන..දිගටි ඇඟිලි සහිත රවුම් අත්ලක් රතු වයින් බඳුනක බඳ මගෙ තරම් තදින් බදාගෙන ඉන්න බව නොහැරීම වුණත් මට දැනෙනවා..ඈ එක්ක දොඩමළු වෙන කෙස් පැහි හිසේ කණ්ණාඩියෙන් පිටිපස තියෙන ගිලිච්චි ඇස් මේ දැන් ගැඹුරු ගවුම් කරෙන් ඇතුළට පැන්න සද්දේ මට ඇහුණේ වෙඩිල්ලක් වගේ...දිගටි අතැඟිලි අල්ලා සොලවන ගමන් දුඹුරු පැහැ කැරළි කොණ්ඩයක් ඇගේ කළු කැරළි කොණ්ඩය යටින් යන්තමින් පේන සියුම් කන්පෙත්තට මෙරූන් පාට තොල් පෙති තියද්දි ඇගෙන් පනිනා රළු මන්ද්‍ර ස්වරයේ හිනාවට තිගැස්සෙන කලින් පැන්න ඇස් දෙක තව ටිකක් පහළට රූටලා යන්නැති කියලා හිතෙනකොට නම් මට හිතෙන්නෙම ෂැම්පේන් නටුව කඩලා ඒ ඇස් ගෙඩි දෙක නටුවේ අමුණන්න...



"ඔයා මහා ඉරිසියාකර රෝමියෝ කෙනෙක්" අර රහස් හඬ මගෙ ඝන කණ්පෙතිවල ඇතිල්ලි ඇතිල්ලි ඔච්චම් කරනකොට මට ඉවසන්න පුළුවන්ද? 
ඉවසන්න..? 
තවත්?..

Sunday, February 21, 2016

පොදු පුරුෂ ප්‍රේමය

ඉර මුදුන් වෙලා ආපහු හැරිලත් පැය දෙක තුනක් ගෙවිලා තිබ්බා..සහන්‍යා ඒක පරක්කුවක් විදියට දැක්කේ නෑ..කොයියම්ම වෙලාවක වුණත් සුපුරුදු ආපන ශාලාවේ සුපුරුදු තැන ඈ වෙනුවෙන් තිබුණා..බෝඩ් ගහල වෙන් නොකලට..

කොළඹ දාහය මැද්දේ, කෘතිම නුවර එළියක වැඩ කරනවට වඩා සහන්‍යා ආසම වුණේ මෙතැනට..වාර්නිෂ් පාට බොකුටු සැප පුටු හබල පෙති පාට කුෂන්වලින් පුරෝලා ලස්සන මුහුදු නිලක් ගත්ත හුරුබුහුටි කුෂන් කොට්ට විසුරුවලා තිබ්බ මේ ආපනශාලාව පැයක් දෙකක් උදුරගත්තට පාඩු නැතිවෙන තරම්...කොහොමත් ලොකු වීදුරු ජනේලවලින් පේන අහසයි මුහුදයි අතරේ ඉඳන් කෑම කන අතරේ වැඩ කරන්න සහන්‍යා කැමතියි..හැමදාම එන නිසා කවුරුවත් වධ කරන්න ආවෙත් නැහැ..

සහන්‍යාට ඕන වුණේ අහසයි මුහුදයි අතරේ හිටි බැල්ම ආයෙමත් පරිගණක තිරයට ගේන්න..ඒත් ඒ ගේන අතරේ වීදුරුවෙන් තමන්ට මොකක් හරි පුරුදු ඡායාවක් පෙනුණද කියලා හිතිච්ච නිසා ඈ ආයෙමත් හැරිලා බැලුවා..

හුරු පුරුදු ඡායාවක් තමයි..හුඟක් හුරු පුරුදු ඡායාවක්..හැබැයි නුහුරු ඡායාවක් එක්ක...
වේගයෙන් ආව මුහුදු රැල්ලක් කළුගල් පරයේ වැදුණේ නෑහෙන දුරකදි වුණත් ඒ සද්දේ සහන්‍යාගේ කන්වලට දැනුණා..

-----------------------------------------------------

Friday, October 2, 2015

වීදුරු මාංචු

මට චිත්‍රපටි පිස්සුවක් තිබ්බා තමයි.හොලිවුඩ් බොලිවුඩ් ඔය කොයි වුඩ් බැලුවත් තිරයේ පතිතවෙන දැවැන්ත වීරයා දිහා අනික් උන් වගේම මමයි ඉලන්දාරියයි බලන් හිටියේ හක්ක බිම වදිද්දි.වීරයා හද්ද කළුවරකත් අව්කණ්ණාඩි දාගෙන ඉඳලා මතුවෙද්දි, ඇඟේ මයිල් කෙලින් වෙන මියුසික් කෑල්ලක් එක්ක හැප්පුණොත් විසිවෙන තරම් අයෝමය උරිස් වනාගෙන ඉස්සරහට එද්දි හැම කොල්ලෙක්ම වගේ මොහොතකට අන්න අරම වෙයන් කියලා හිතුණේ නෑ කියන්න බෑ.අපිට නම් මේ ජීවිතේට ඇඟිල්ලකින්වත් අල්ලන්න බැරිවෙයි කියලා හිතෙන තරම් පට්ට ලස්සන ඒත් බාගෙට වගේ ඇඳගත්තු සුරංගනාවියෙක් බේරගන්න කොල්ලා කන කට්ට දැක්කම ගමේ කාස්ටකේට පිච්චිච්ච කෙල්ලෝ අතරේ හරි එහෙම වීරයෙක් වෙන්න ඉලන්දාරි හිතේ ආසාවක් ඇතිවෙන්න බැරිද?ඕවා හැම කොල්ලටම හිතුණට අපි අපිවත් ප්‍රසිද්ධියේ කතා නොකළේ පොඩි හීනමානයක් වගේ ගතියකුත් නිසාය කියලා අපිට නොතේරුණාමත් නෙවෙයි..ඒත් මගේ හීනවලවත් ඉලන්දාරියගේ හීනවලවත්  හංසමාලි එක්ක වීරයෙක් වෙන දර්ශන තිබ්බේ නැත්තේ නෑ..

ටික කලක් යනකොට අහම්බෙන් සෙට් වෙච්ච වුඩ්වල වෙනමම වීරයෝ වීරවරියෝ සෙට් එකක් නිසා හීනවලින් එළියට බැහැලා ඇත්ත ලෝකේ විඳින්න පුළුවන් දේවලුත් තියෙනවා කියලා අපි දැනගෙන වැඩිකාලයක් නෑ..වීරවරියෝ නැතුවත් අපට වීරයෝ වෙන්න වෙනම මාර්ගයක් පෑදිලා තියෙද්දි ආයේ මොකට ගැලරිවල විසිල් ගහන්න යනවද කියලා හිතලා අපි 'වැල' වගේ බලන්න ගත්තේ එච්චරටම රහ නිසා..ඩොංගල් රීලෝඩ් කරන් බාගෙන වටේ හැමෝටමත් දීගෙන බැලුවට ඒවයෙන් ඉගෙන ගත්තුවා හංසමාලිටවත් කරන්න නම් හිතේ බයක් තිබ්බා.. 

Friday, June 19, 2015

තණ්හා ආශා

කාස්ටකේට ඉර අව්ව..

ඉස්කෝලේ ඇරිලා වෙලේ පාරෙන් ආවේ අම්මාගෙන් කයි බත් කටක් කවෝගෙනම යන්න.බැත නැවිලා, හංසයොත් නැවිලා..රටාවට කපාගෙන කපාගෙන යන ගොයම් බරෙන් මිදුණම කෙතකට වුණත් නිස්කාංසුවක් ඇති නේද?

"ආ..මොකෝ පුතේ?" කොරටුවේ ගෙදර නැන්දා කාටත් කරුණාවයි.මම හිනාවෙලා කර දික් කරකර හෙව්වේ අම්මව..

"උඹ අම්මවද හොයන්නේ? අම්මා ගෙදර ගියා පුතේ..හිටිං ඒකිගේ කයි බත් පංගුව ඔතලා දෙන්න" නැන්දා දඩිබිඩියේ අනික් පැත්තේ නියරට ගොඩ උණා..

"ඇයි නැන්දේ අම්මා..හදිස්සියේම..ගෙදර?" මට අහේතුක බයක් දැනුණා.ගොයම් කැපිල්ලෙන් ලැබෙන වී මල්ල ගැන අම්මා හිටියේ සෑහෙන්න බලාපොරොත්තු පුරවන්..එහෙම එකේ ආ පයින් ගෙදර ගියේ..

"හදිස්සියක්ම නෙවෙයි කොලුවෝ..උඹලගේ ගහේ තව වැල වරක හැදෙන්න ඉඩ තියෙනවායි කියන්නේ" කොහොමත් බෝක්කු කටක් තිබ්බ හාමිනා නැන්දගේ කතාවට අනික් නැවිච්ච හංසයෝ සමහරක් නැවිලාමත් අනික් උන් ඉද්ද ගැහුවා හේ කෙලින් වෙලත් කැකිරි පලන්න තියාගත්ත හැටියට නම් මට හිතුණෙම උන්දැගේ බොල්ලෑව බඩට යන්න අනින්න..!

"මොනවද බං මේ කිරි සප්පයන්ට කියන නොසණ්ඩාල කතා..ආ පුතේ අරන් පලයන් මේක..අම්මට කියපන් ගොයම් කැපිල්ලට නාවට කමක් නෑ වී ඩිංගක් එවන්න ඇහැකියි කියලා" කොරටුවේ ගෙදර නැන්දා අන්තිමට ටික කිව්වේ නම් හඬ හොඳටම බාල කරලා..උන්දැ එහෙමයි..

Saturday, May 16, 2015

ෂාජහන්ගේ කතාව

සබැඳිය..

නිශ්ශබ්දයි හැමතැනම...
මතක ඇති කාලෙක ඉඳන් මම ආසා කළේ නිහඬකමට..ඒත් මේ නිහඬකම වගේ එකකට නෙවෙයි...මේක මට නුහුරුයි..

ශෂී ඉන්නකොට ගෙදර නිශ්ශබ්ද නෑ..මම හැමදාම කළේ ඒ තොරතෝංචියක් නැති ගීතමය හඬ අහන් ඉන්න එක..අතීතේ, වර්තමානේ, අනාගතේ ඒ ඔක්කොම ගැන එකපාර කතා කරන්න පුළුවන්කමක් තිබ්බ මම දැනන් හිටිය එකම ගෑණි ශෂී..ලස්සනට නැලවිලි ස්වරයෙන් කතා කර කර ඉඳලා එක් සැරේම විප්ලවකාරියෙක් වෙන්න තිබ්බ මේ ගෑණිගේ හැකියාවට මට පුදුම නොවී ඉන්න බැරිවුණා..මුල් කාලේ මම ඒ පුදුමේ පිට දැම්මා "කොහෙන්ද ඔයාට ඔය වචන එන්නේ?"..සුදු රතු සීනි සුරුට්ටුවක් වගේ බීම බටේ අතෑරලා හීනි කට හැදුව තාලේට මම දැනගත්තා පොල්ලෙන් ගහන්නා වගේ "කටින්" කියන බව..එහෙම කියලා මහ හොර වැඩක් කළ පොඩි එකියෙක් වගේ හිනාවෙන බව...

කාලෙකට කලින් ශෂී කිව්වා එයා කොහෙදෝ මන්ද කියෙව්වා කියලා ගෑණියෙක්ට භද්‍රකාලි අම්මා වෙලා ලෝකේට පිහිට වෙන්න වගේම සොහොන්කාලි අම්මා වෙලා විනාශය ගේන්නත් පුළුවන් කියලා..එහෙම කිව්වේ අපි හවසක ඔහේ ඇවිදන් යන වෙලාවක..මම ඉතින් ඔළුව වනලා නිකං හිටියා..එයා කියන සමහර දේවල් ගැන මගේ ලොකු උනන්දුවක් නැතිවුණත් ඒ හඬ උස්පහත්වෙන, මුහුණේ භාවයන් වෙනස්වන හැටි බලා ඉන්න එක හරි අපූරු අත්දැකීමක් වුණා මට..මෙච්චර කාලෙකට නොලබපු..

මම ආදරේ කළේ ඒවටද නැත්නම් මේ අමුතු ගෑණිටද කියලා මට අදටත් තේරුම්ගන්න බෑ..

Friday, May 1, 2015

මිදි යුෂ

කටහඬවල්..සැර ස්ප්‍රීතු ගඳ...දිගු කොරිඩෝවක පසුවන විදුලි ලාම්පු...
තිරස්ව වේගයෙන් ඇදීගෙන මම මේ යන්නේ කොහේටද?
වේගයෙන් ඇදෙන රෝදයක හඬ එක්ක අඩවන් ඇස්වලට එබෙන තවත් ඇස් දෙකක්...මං දකින්නේ අවිනිශ්චිතත්වය ද? කණගාටුව ද? තැවිල්ලක් ද? සිතුවිලි තේරුම් බේරුම් කරගන්නට නොහැකි තරමේ විඩාවක් දැනෙන්නේ ඇයි..? 

"පේෂන්ට්ව තියටර් 1 එකට දාන්න.."

"ඩොක්ට..පේෂන්ට් රෙඩි.." 

පරඬැල් පතක් මෙන් දුබලව වැනෙන මගේ ගත ඔවුනට අවැසි ලෙස හසුරුවා ගන්නා හැටි..මට අයිති නැති මම..

"සිහිය තියෙනවා.."

"දැන් හරි යයි.."

ගිණිකන වැටෙන එළිය මගේ අඩවන් ඇස්වලට නොදැනුණාවත් ද? 

**************************************
ලේ...මගේ ලේ...
කොළ පාට පොරෝනාවල...
රිදී පාට මුවහත් තල මස් කපාගෙන යන හැටි...ඒ රිදී පාට දෝවාගෙන උතුරන රතු පාට ලේ..
ඒත්..මම ඔයතරම් නිශ්චලව වැතිරිලා ඉන්නේ කොහොමද?
නිල් පාට ලෝගුවල නිල් මුකවාඩම්වලින් උඩ රැඳිච්ච කල්පනාකාරී බැල්ම සැරින් සැරේට තිරයකට යොමුවෙන හැටි...

ඒ වැතිරිලා ඉන්න මං දිහා කොහොමද මම මෙහෙම බලන් ඉන්නේ?
රික්තයක වගේ...කිසි හඬක් නෑසී..
නිශ්ශබ්දතාවය බර වැඩියි..

නැහැ...මට මෙතැන ඉන්න බැහැ..මම යන්න ඕන..

Monday, February 2, 2015

සුළඟේ පාවී

සාමාන්‍ය පෙළ ඉවර වෙලා හුස්මක් ගත්තේ මාසයයි..උසස්පෙළට පංති පටන් අරගන්නවා...
අද...ඔව් 2002 පෙබරවාරි 02 වෙනිදා...

"ඇයි යකෝ, මැත්ස් කරන්නේ කොල්ලෝ විතරමද? කෝ අපිට ආසාවට බලාගන්න කෙල්ලෙක් නැද්ද?" කොටා අම්බානක දෙස් තිය තියා දීගජන්තුවෝ වගේ ඉන්න කොලු පවුරෙන් එහාට එබෙනවා..හරියට පේනවා වගේ..

"මචං සිරාවටම දයාගේ පංතියට කෙල්ලෝ නැද්ද?" 

"අනේ මන්දා.."

පාරේ ඉඳන් නගින පඩිපෙළ පිරෙන්න කොල්ලෝ..පාරේ ඉඳන් බැලුවම කණ්ඩියක් වගේ තියෙන මිදුල් කෑල්ලේ නම් කෙල්ලෝ වගයක් ඉන්නවා පේනවා...අම්මලා වගේකුත් ඉන්නවා...කෙල්ලොයි අම්මලයි වෙන්කරලා අඳුරගන්න බෑ වෙලාවකට..එච්චරට හැඩයි දූලා..! පාරේ ඉඳන් පඩිපෙළ නැගලා ඔය කණ්ඩියේ තියෙන මිදුල කෑල්ලෙන් යන්න තියෙන ඔෆීසිය ඇතුළට ගිහිං තමයි අළුත් පංතියට බැඳෙන්න ඕන...අපේ පංතිය විතරක් නෙවෙයි තව පංති කීපයක්ම පටන් ගන්නවා වගේ...

ටික වෙලාවක් වටේටම ඇහැ දාගෙන ඉන්නකොට ඔන්න කෙල්ලෝ එකා දෙකා පඩිපෙළ නැගන් ඔෆීසියට පැත්තට යනවා...අන්න එතකොට අපිටත් සෑහෙන්න වැඩ තිබුණා..කාඩ් මාක් නොකළට කාඩ් කොයි වගේද බලන්න එපැයි..

ජබ්බයක් වගේ සුදුම සුදු සුද්දියෙක් වගේ කෙල්ලෙක්, කණ්නාඩි දාපු කෙට්ටු කෙල්ලෙක්, දත් හරහට කම්බි ගැහුව කෙල්ලෙක්, කොණ්ඩේ දිග නැට්ටුක්කාරියෙක්, පුංචි කොණ්ඩ කුරුච්චක් බැඳගත්තු පොෂ් පාට කෙල්ලෙක්..ආපු වෙලාවේ ඉඳන් කොල්ලෝ එක්ක හිනාවෙන කෙල්ලෙක්...හ්ම්ම්...එච්චරයිද අපේ පංතියට ඉතුරු..? 
නෑ, තව එකෙක් ඉන්නවා ඇස් දෙක බිම දිගේ ඇදන් යන සුදු කෙට්ටු කෙල්ලෙක්...

Thursday, August 7, 2014

මගේ දෝතට නෑවිත් නුඹ...

විද්‍යාල මාවතේ මහ රූස්ස ගස් අතරෙන් ඇවිදන් යන්න මම පුදුම තරම් ආසයි.මැයි මල් පිපෙන කාලෙට මල් පාවඩ එලාගෙන මං එනතුරු බලං ඉන්නේ ඒ යෝධ ගස් පෙළ..

මගේ හිතේ ඒ හා සමානව මල් පිපිලා..ඒත් බලං හිටියට මගේ හිතේ මල් වැස්සක් වැටෙන්න හේතුවක් නෑ...තාම කවුරුවත් ඒ පාරෙන් ඇවිල්ලා නැති නිසා...

අද ඒ ගස් මල් වරලා..ඒත් මගේ හිතේ මල් පිපිලා..
පොදයක් වැටුණා වුණත් තෙමුණා කියලා අවුලක් නෑ...බය තියෙන්නේ අළුතෙන් ලියලා බෑග් මල්ලට ඔබාගත්තු නාට්‍ය අත්පිටපත ගැන විතරයි...ඒත් කමක් නෑ...අළුතෙන් ලියන්න මට සේරම මතකයි...

ඒ යෝධ හෙවණේ වැස්සේ සීතල සුවඳ එක්ක කැලතුණු තව මොකද්දෝ මහ අමුතු සුවඳක් තියෙනවා..මම නැවතිලා ලොකූ හුස්මකින් ඒ සුවඳ මට අයිති කරගන්නවා...ඒත් සුවඳ රැඳෙන්නේ නෑ...

Monday, May 26, 2014

ගල් මිනිසා

තවත් උදෑසනක් එළඹිලාය.තමාගේ පිරිවර සියොත් කැල ද පිබිද තටු ගසා මුව දෝවා දවස පටන් ගන්නට සැරසෙනු ඇයට පෙනිණි.පහළ මංමාවත් සංකීර්ණ අරමුණු කරා දිවයන ජනයාගෙනුත් දුම්දමමින් හඬ තලමින් ඇදෙන යකඩ යකුන්ගෙනුත් පිරෙන්නට පෙර දවස ඇරඹිය යුතුය.නැතිනම් දහවල වද්දී තටු ගසන්නට නොව සෙලවෙන්නට පවා නොහෙන තරම් අලසකමක් දැනෙයි.

ඇය අතු අගකට පැමිණ තටු සලා සූදානම් වූවාය.ඊයේ සවසත් හරි හැටි කෑමක් වැටී නැති කුස පුළුන් රොදක් වාගේ දැනෙයි.සියල්ලටම පෙර ඔහු බලන්නට යා යුතුය.ගතවූ රැයපුරා ඈ තම සිහින ඔහුගේ රුවින් පුරවාලූවාය.ඒත් හැබෑව වාගේම ඇගේ සිහිනද අවසානයේදී සිත රිදවූ බව මතකයට නැගී ඇගේ පියාසර වේගය මදක් බාලවිය.

"කමක් නෑ අදත් යනවා"