කාලි ලංකාද්වීපයෙන් පිට වුණේ ආයෙ කවදාවත් එහෙ පය තියන්න අදහසකින් නෙවෙයි.
ඒත් අවුරුදු ගාණකට පස්සේ මහ කන්ද සමතලා කරලා පාරක් හදන්න යන ආරංචියට කාලිට ආයෙම ඉන්සොම්නියාව ඉස්මුරුත්තාවට එන්න පටන් ගත්තා. නිදි පෙත්තෙන්වත් රතු වයින්වලින්වත් නින්ද කැන්ද ගන්න බැරුව දුක් විඳීමේ කෙළවරක කාලි තීරණය කළා ආයේ ලංකාද්වීපෙට ගිහින් එන්නම වෙන බව.
එක්කො ඔය මොන මගුල වුණත් මොකද. කාලයෙ වැලිතලා පහුරුගගා තව මොනවා හොයන්නද මං දැන් එහෙ ගිහින් කියලා අහස් යාත්‍රාවෙදිත් කාලිට නොහිතුණාම නෙවෙයි. ඒත් ඉතින් මට බැහ් කියලා වලාකුළු හෝල්ට් එකකින් බැහැලා වෙන අහස් යාත්‍රාවකට නගින්නයෑ.
රුද්‍ර කොහෙ ඉන්නවද උන්නද මලාද කියලවත් නොහොයපු කාලිට ටිකෙන් ටික ලංකාද්වීපෙ ලංවෙද්දි ගැහෙන ගතියක් දැනිලා තිබ්බෙ. මේ යන ගමන එකාතකට කමක් නැහැ, ඒත් ගංතුලානක්වත් නොදන්න සුසානයක වල දාපු රුද්‍රෙක් මොකට දැන් ඔලුවෙ යකා නටන්න ගත්තද කියලා කාලිට හිතාගන්න බැරුව ඉන්නකොට තමයි අහස් යාත්‍රාව කටුනායකට සැපත්වෙලා මහ හුස්මක් හෙලුවේ. ඒක හරියට කාලි හෙලන්නම ඕන ඒත් එයා නොහෙලූ මදිපාඩුවට හෙලුව එකක් වගේ කාලිගෙ පපුවයි හිස් වෙලා ගියේ.
එදාම සේරම ඉවර කරලා ගියා නම් මේ කරදර නැහැනෙ. ජීවිත කාලෙන් බාගෙකට වඩා ලංකාද්වීපයට පණ ඇරලා ආදරේ කළ කාලි හුරුපුරුදු මූණුවර දාස් ගාණක් මැද්දෙ නාහෙට කෙලින් බලාගෙන, හදවත් පටි තදකරගෙන, ඇප් එකෙන් කැඳවගත් ඌබරයට තමන් ගෙනාව තනි පෙට්ටගම පටවගත්තා. මරණ පරීක්ෂණයක් ඉවර කරන්න තදියම් වෙච්ච මරණ පරීක්ෂකයෙක් වගේ ඉක්මණින් ආව කාරණෙ ඉෂ්ඨ කරන් යන්න නොඉවසිල්ලෙන් ඉන්න කාලිගෙ මහ සුසුම් සද්ද නිසා රියැදුරත් කීප විටක් කණ්ණාඩියට විමසුම් බැලුම් හෙලුවා. ලේ නෑයන්ට, හිත මිත්‍රයන්ට කිසිම දැනුම්දීමක් නැතුව ඇවිත් යන්න කාලි ආවෙ. පුළුවන් නම් මේ ගමනෙන්ම වැඩේ ඉවර කරන් ආපහු අදම යන්න පුලුවන් නම් කිසිම බැඳීමක් තව නෑනෙ කියලා කාලිට හිතුණෙ.
බැඳීමක්? එතකොට මේ තමන් තකහනියක් දුවන් ආවේ බැඳීමකටද!
******
මහ කන්ද අද්දරට එද්දි රෑ වුණ නිසා කාලිට සිද්ධ වුණා ඒ අහලක නවතින්න. තානායමෙ සුහදශීලී ආචාරශීලි සේවයට පැහැදුණාට අනවශ්‍ය වංහුං කතා කපා හරින්න කාලි හැඟීම් විරහිත මූණෙන්, වචනෙන් දෙකෙන් සංවාද ඉඩ ඇහිරුවා.
පාන්දර නැගිටලා මහ කන්ද ලඟට යනකොට පුදුමෙකට වගේ කාලි බලාපොරොත්තු වෙච්ච විදියෙ ලබ්ඩබ් සද්ද දාන්න හදවත ඇහැරුණේ නෑ. එදා මේ මහ කන්ද ලඟින් ගියා වගේම නිශ්චල හදවත උණ්ඩි කරන් කාලි කැලේට ගිය දෙහි ගහ පාමුල වාඩිවුණා.
කාලිට මෙතනට එනවා කියලා හිතද්දිම මතක් වුණේ සූරිය කන්ද. සූරිය කන්දෙ සමූහ මිනීවලවල් හාරද්දි මස් එක්ක දියවෙලා ඇටකටු එක්ක එතිලා ඉතිරිවෙච්ච දිරච්ච රෙදි පටිවලින් තමන්ගෙ දරුවො අඳුනගන්න ආපු වයසක තාත්තලා ඇඬුව හැටි මතක්වෙලා කාලි බයවුණා, තමනුත් මහ කන්ද පාමුල කාලෙකට කලින් හිතේ දිරලා ඉතිරිවෙච්ච හැඟීම් තීරුවලට මතක ගලපගන්න ගිහින් වැලපෙයිද කියලා. හොඳ වෙලාවට හැමදාම සද්ද කරපු හදවත නිශ්චල වෙලා හිටියා.
*******
ඒ වෙද්දි අවුරුදු ගාණක් ගිනි අඟුරු උඩ නටලම කාලි හෙම්බත් වෙලා හිටියෙ. රටා ඇන්ඳ පතුල්වල ආප්ප පිපෙනවා වගේ දියපට්ට පිපුණේ.
අන්‍තිමේදි ගල් අඟුරු උඩ නැටුව තමන්ට දිය මත ඇවිදින්න ලැබුණයි කියලා හෙන සන්තෝසෙන් කාලි හිටියෙ.
ජීවිතේ අනිත්‍යයයිනෙ.
ඒක දම්පාටයි සකරමුටයි රෝස පාටයි රත්තරන් පාටයි කලවම් වෙච්ච හුරුබුහුටි පෙට්ටගමක්. රුද්‍ර එක්ක බීපු පළවෙනි කෝපි බිලේ ඉඳන් තෑගි දීපු ටොෆි කොළේ පවා සමරු හැටියට එකතු කරපු කාලිගෙ මතක පෙට්ටගම. දෙන්නම හිතං හිටියෙ ඒ මතක පෙට්ටගම පිරුණු වේගෙට තව පෙට්ටගම් එකතු කරන්න වේවි කියලා!
ගිනි අඟුරු පෑගිල්ල ඉවර වෙලා දිය නැටුම පටන් ගත්තම කාලි කවදාවත් කාලි හැටියට හිටියෙ නෑ.
ඒක නහීනකමක් හැටියට මිනිස්සුන්ට හිතුණද දන්නෙත් නෑ.
පුරාවෘත්තයේ හැටියට නම් කාලිගේ විනාශකාරීත්වය නවත්තන්න බැරිවුණාම ඈව සන්සුන් කරන්න ශිව නැත්නම් රුද්‍ර කාලිගේ දෙපා මුලින් මතුවෙනවා. සමහර පින්තූරවල කාලි ශිවව පාගගෙන ඉන්නවා වගේ පේන්නෙ ඒ අවස්ථාව. හොඳට බැලුවොත් තමන්ගෙ පය පාමුල වැතිරුණු ශිව දිහා බලන කාලිගේ මූණේ තියෙන පුදුමය පේනවා.
මේ කාලිගේ කතාව නම් වෙනස්. විනාශකාරි වෙන්න හොඳටම පුළුවන්කම තිබිලත් නොවුණම රුද්‍රගෙ පපුවෙ නෙවෙයි කාලිගෙ පය තිබ්බේ, රුද්‍ර කාලිගෙ පපුවට පය තිබ්බා.
කාලි කියන්නෙත් අහංකාර ගෑණියෙක්නෙ. ඒ වෙනකොට ආදරේ වෙර දාලා ඉවසීම අල්ලන් හිටියට කාලිගේ සීමාව පැනලා තිබ්බේ.
දැන් ඔව්වායින් වැඩක් නෑ.
අන්තිම නැටුමෙන් පස්සෙ මේ පෙට්ටගමේ තිබ්බ සේරම රුද්‍රටම පවරලා ලංකාද්වීපයෙන් යන්නයි කාලිට ඕනවුණේ. ඒත් එතෙක් ලබ්ඩබ් ගෑව හදවත් ලබ්බ කීං හඬක් නොනගා නිශ්ශබ්ද වුණාම ඒක විශ්වීය පණිවිඩයක් හැටියට අරන්, කාලි නිහඬව සේරම මතක මහ කන්ද පාමුල වක ගැහිලා අමුතු හැඩේකට වැවිච්ච දෙහි ගහ පාමුල වලදාලා කාටවත්ම නොකියම (අහස්) නැව් නැංගා, ආයෙ නොඑන්නම.
******
කොහෙන්දෝ ආරංචිය ආව හිතමිත්‍රයන්ගෙ පණිවිඩ සහ ඇමතුම් කීපයක්ම නොදැක්කා වගේ නිහඬව කාලි පහුවදා ආපහු නැව් නැග්ගා.
මතක පෙට්ටගමේ හිටිය වීදුරු සිංහයාගෙ හදවත උඩින් මහ කන්ද පාරේ වාහන යන්න පටන් ගත්තද, නැත්නම් රුද්‍රගෙ සොහොනෙම සමාදානයේ සැතපුණාද, සාගර පත්ලක ගිලී නොපෙනී ගියාද, කාලි එක්කම නැව් නැග්ගද කියන එක කාලි එක්කම මිහිදන් වෙන්න නියමිත රහසක් වෙලා රහස් පෙට්ටගමේ තැන්පත් වුණා.
මහ කන්ද පාර ජනාකීර්ණ වුණා. ඉඳලා හිටලා කතා කරලා දුකසැප අහන හිතවත්තු අරුම පුදුම කතා කියන්න පටන් ගත්තා. මහ කන්ද පාරේ එක සැරේ පෙනී නොපෙනී යන සිංහයෙක් ඉන්නවයි කියලා කට්ටියක් කිව්වා. තව කට්ටියක් කිව්වා වැස්ස දවසට ඒ පාරේ වැහි බීරමට එහා ගිය මූසල පාටක් තියෙන හින්දා දන්න මිනිස්සු ඒ පාර මග අරිනවා කියලා.
හොඳම කතාව වුණේ වීදුරු බිඳෙන හඬක් පාරෙන් ඇහෙනවා ඒත් ඒ කොහෙන්ද කියලා කාටවත්ම හිතාගන්න බෑ කියන එක. එදා නම් කාලි ඇහෙන් කඳුළු පනින ගාණට හිනාවුණා. සිංහයා වීදුරුවුණාට එච්චර සද්දෙට බිඳෙන්න හදවතක් නම් තිබ්බෙ නැති බව කාලිට වඩා හොඳට දන්නෙ කවුද.
කාලි රහස් පෙට්ටගමට අඟුළු දාලා තව වයින් වීදුරුවක් වක්කර ගත්තා.
🖋️ Aash Weerasinghe | තනියා
#AW #thaniya #medusa #medusasjournal #lka
කාලෙකට කලින් යාලුවෙක් ඔයාගෙ සයිට් එක දුන්නා. සමහර ඒවා බලනකොට කලකට කලින් ගොඩක් ආදරය කරපු කෙනෙක් මතක් උනා. ඔයාගෙ සමහර වචන වෙන්න ඇති. එයත් එක්කම වැලලිලා යන අපේ මතක, ඒ වගේ කතාවක්. එයත් මට බැදීමක, ආදරයක තේරුම වචන වලට එහා ගිහින් පෙන්නපු කෙනෙක්. ලගදී බැලුව "ඉට් එන්ඩ්ස් විත් අස්" චිත්‍රපටිය පුරා මට එයාගේ වචන ඇහුනා. ඔයාගේ කතා ඇතුලෙන් කොහෙන්ද තැනක ඒ අතීතය මතු වෙනවා. ආපහු හැරෙන්න මම ආව දුර වැඩියි. දුක වැඩි වෙලාවක, අද කතා කලත් කලත් , ඒ දයාව වෙනස් නොවී තියෙනව. මගේ වැරැද්දට හේතුව තේරුම් ගත්තා. නිහඩවම මට යන්න දුන්නා. ඔයාගේ කතා ලස්සනයි . දිගටම ලියන්න.
ReplyDelete