Saturday, May 16, 2015

ෂාජහන්ගේ කතාව

සබැඳිය..

නිශ්ශබ්දයි හැමතැනම...
මතක ඇති කාලෙක ඉඳන් මම ආසා කළේ නිහඬකමට..ඒත් මේ නිහඬකම වගේ එකකට නෙවෙයි...මේක මට නුහුරුයි..

ශෂී ඉන්නකොට ගෙදර නිශ්ශබ්ද නෑ..මම හැමදාම කළේ ඒ තොරතෝංචියක් නැති ගීතමය හඬ අහන් ඉන්න එක..අතීතේ, වර්තමානේ, අනාගතේ ඒ ඔක්කොම ගැන එකපාර කතා කරන්න පුළුවන්කමක් තිබ්බ මම දැනන් හිටිය එකම ගෑණි ශෂී..ලස්සනට නැලවිලි ස්වරයෙන් කතා කර කර ඉඳලා එක් සැරේම විප්ලවකාරියෙක් වෙන්න තිබ්බ මේ ගෑණිගේ හැකියාවට මට පුදුම නොවී ඉන්න බැරිවුණා..මුල් කාලේ මම ඒ පුදුමේ පිට දැම්මා "කොහෙන්ද ඔයාට ඔය වචන එන්නේ?"..සුදු රතු සීනි සුරුට්ටුවක් වගේ බීම බටේ අතෑරලා හීනි කට හැදුව තාලේට මම දැනගත්තා පොල්ලෙන් ගහන්නා වගේ "කටින්" කියන බව..එහෙම කියලා මහ හොර වැඩක් කළ පොඩි එකියෙක් වගේ හිනාවෙන බව...

කාලෙකට කලින් ශෂී කිව්වා එයා කොහෙදෝ මන්ද කියෙව්වා කියලා ගෑණියෙක්ට භද්‍රකාලි අම්මා වෙලා ලෝකේට පිහිට වෙන්න වගේම සොහොන්කාලි අම්මා වෙලා විනාශය ගේන්නත් පුළුවන් කියලා..එහෙම කිව්වේ අපි හවසක ඔහේ ඇවිදන් යන වෙලාවක..මම ඉතින් ඔළුව වනලා නිකං හිටියා..එයා කියන සමහර දේවල් ගැන මගේ ලොකු උනන්දුවක් නැතිවුණත් ඒ හඬ උස්පහත්වෙන, මුහුණේ භාවයන් වෙනස්වන හැටි බලා ඉන්න එක හරි අපූරු අත්දැකීමක් වුණා මට..මෙච්චර කාලෙකට නොලබපු..

මම ආදරේ කළේ ඒවටද නැත්නම් මේ අමුතු ගෑණිටද කියලා මට අදටත් තේරුම්ගන්න බෑ..

*********************************
අපේ විවාහය ගැන මටවත් ශෂීටවත් තිබ්බ උනන්දුව ඇත්තටම අපේ ගෙදරට තිබ්බේ නෑ..මම ඒ ගැන අමුතුවෙන් හිතුවෙත් නෑ..ශෂීට සාපේක්ෂව මම ගෙදරදි විවෘත වුණේ හරිම අඩුවෙන්..සමහරවිට ඒ කොල්ලෝ වයසින් වැඩෙනකොට ඇතිවෙන දුරස්ථකම වෙන්නැති..ඒ ගැන හිතන්න මීටකලින් උවමනාවක් වුණෙත් නෑ..

ඇත්ත කවුරු මොනවා කිව්වත් ශෂී හුඟක් ඉවසුවා තමයි..තරහා ගනී කියලා මට හිතුණ සමහර කාරණාවලදිත් එයා විවිධ තර්ක ගෙනත් ඒ සිද්ධි සාධාරණීකරණය කරන්න හැදුවා..මට සතුටු හිතුණා..මම තෝරගත්තේ හරිම ගෑණි කියන ආඩම්බරේ මට දැනුණා..ඒ ගෑණිගෙන් කවදාවත් මට වරදක් නොවෙන බව මම විශ්වාස කළා..
අන්තිමට..
ඒක පුරුද්දට ගියා..මං හිතුවේ ඉවසන එක ශෂී මං වෙනුවෙන් කළ යුතුම දෙයක් කියලා..කාලෙත් එක්ක මට අමතක වෙලා ගියා එයා කොච්චර තර්ක ගෙනාවත් හිත රිදීම් වැඩිවෙනවා මිසක් අඩු නොවෙන බව...කොහොමටත් වැඩිය කතා බහ නොකරන නිසා මුල් කාලේ වගේ සැනසිලි බස් කියන්න නලවන්න ඕනකමක් ඇතිවෙලා නැතිවෙලා ගියා..

දවසක් ශෂී කියකියා හිටියා අලින්ගේ මතක ශක්තිය ගැන.එහෙම කියද්දි එයා කිව්වා කතාවක් තියෙනවා කියලා අලියෙක්ට කවුරු හරි වරදක් කළොත් ඌ ඒ පළිය ගන්නතුරු හක්කේ පොල් කෑල්ලක් හංගන් ඉන්නවා කියලා..එහෙම කියලා ඉවරවෙලා එයා ව්‍යංගයෙන් යමක් කියද්දි වගේ සුපුරුදු හිනාවෙන් කිව්වා එයත් අලියෙක් කියලා..හැබැයි ඒ වෙනකල් මම තේරුම් ගත්තේ නෑ ගෑණු කියන්නේ මතක ශක්තිය එච්චර ප්‍රබල වෙන්න පුළුවන් වගේම හිතේ මුල්ලක වෙනම පැසක ඔය සේරම ලොග් සටහන් රඳවගෙන ඉන්න පුළුවන් සත්ව විශේෂයක් බව..

ඔව් මට වැරදුණේ අන්න එතන තමයි..මං හිතන්නේ අපි පිරිමි හැමෝටම වැරදෙන තැන ඒකයි..

**********************************
මට කොච්චර වටිනවා වුණත් අපේ ගෙදර මිනිස්සු ශෂීව තේරුම් ගත්තේ නෑ..එයාලා දැක්කේ ශෂී වෙන ලෝකෙකින් ආවා වගේ..අම්මා හැමදාම කේන්දරයක් මත්තේ නැහුණා..තනියම මහ ගෙදර ගිහින් පැයක් වාඩිවෙලා හිටියොත් මගේ ඔළුවේ අවුරුද්දක කේන්දර කතා ගොඩ ගැහුණා..මම ඒවා ශෂීට කිව්වේ නෑ..ඒත් සමහර දේවල් ගැන ගෑණිට මහ පුදුම ඉවක් තිබ්බා..කොච්චර ප්‍රතික්ෂේප කළත් ඒ සමහර අනාවැකි මට හිතට එකඟව පුස් කියලා කියන්න බැරිකමක් තිබ්බා..මොකද ඇත්ත දැනන් හිටිය එකම කෙනා මම හින්දා..

අක්කා ඕනවට වඩා මගේ ජීවිතේට ඇඟිලි ගැහුවා..ඒ වුණාට එයාගේ ජීවිතේට ඇඟිල්ලක් ගහන්න තියා උපදෙසක් දෙන්නවත් අපිට පුළුවන්කමක් තිබ්බේ නෑ..! බඳින්න කලින් මට එව්ව උපදේශාත්මක ඊමේල් එකක් ශෂී දැකලා තිබ්බේ කසාදෙටත් කලින්..ඒත් එයා මගෙන් ඇහුවේ නෑ...දවස් ගාණකට පස්සේ හවසක අර සුපුරුදු ගීතමය ස්වරයෙන් අහද්දි මට දැනුණා ඊට යටින් තිබ්බ කළකිරීම..ඒත් ඊලඟ සතියේ අක්කාට යවන්න තිබ්බ කළමනා ටික ලක ලෑස්ති කරන්න ශෂී හුඟක් උදව් කළා..

දැන් තමයි මට තේරෙන්නේ ශෂී මුහුදක් වගේ වුණාට එයාගේ හිත වැල්ලක් නොවිච්ච බව..

****************************************
අපි දෙන්නා දෙන්නට දෙන්නගේ වාරුවෙන් යන්න පටන් ගත්ත ගමන උඩින් කණ කොකෙක් අඬන් ගියා වෙන්නැති..ශෂී වගේ ඕවා ගලපලා කියන්න මට තේරෙන්නේ නෑ...එයා නම් සාමාන්‍ය ජීවිතේ කතා කිව්වෙත් අමුතු උපමාවල්, අතීත කතා, නිධාන කතා, මිනිස් හැසිරීම්වල වෙනස්කම් වගේ හැඩතල ඔබ්බවලා..

කොච්චර ලස්සනට හිටියා වුණත් අපි අතරට බාහිර බලපෑම් එන්න එන්නම වැඩිවුණා..ශෂීගෙත් ඉවසීම කෙළවර වුණා..එයාගේ ඉවසිල්ල පතුලක් නැති උල්පතක් කියලා හිතාගෙන හිටි මගේ හිත කළකිරුණා..අපි සාමාන්‍ය කථාබහෙන් වාදවිවාදවලට ගියා, එතනිනුත් වෙනසකට වගේ තරහෙන් එකිනෙකාට බැණ අඬගහගන්න තැනට ගියා..එතනිනුත් නැවතීමක් නැතුව අත් පය උරුක් කරවාගන්න තැනට වැටුණේ නොදැනීමයි..හැමදාම ඇවිලෙන ගින්නට පිදුරු වැටුණා..මහන්තත්වය නිසා කොයිතරම් ප්‍රතික්ෂේප කළත් මම අපේ අයගේ ඒ වැරැදි දැනගෙන හිටියා..ඒත් හැදුණු සාම්ප්‍රදායේ හැටියට මම උඩුගං බලා පීනන්න දැනං හිටියේ නෑ..මම හිතුවේ කෙනෙක් වැරද්දක් කළාම ඒක අපි විතරක් තේරුම් අරන් හිටියම හරි කියලා..ඒකෙන් පවුලේ සම්බන්ධතා රැකෙයි කියලයි මම හැමදාම හිතුවේ..

අද මට අකමැත්තෙන් වුණත් පිළිගන්න වෙනවා..අම්මටයි අක්කටයි කවදාවත් ඉවරයක් තිබ්බේ නෑ..හැමදේකම හැමදාකම වැරදි දකිමින් අනවශ්‍ය විදියට හැමදේටම බලපෑම් කිරීමේ රේස් එක එයාලව කවදාවත් හති වැට්ටෙව්වේ නෑ...එයාලා තේරුම් ගත්තේ නෑ ඒක මගේ ජීවිතේට කරන්නේ හොඳක් නොවන බව..අනික් අතට ශෂීගේ තර්ක බිඳින්න ඇත්තටම හැකියාවක් තිබ්බේ නෑ..පිළිනොගත්තට ඒක ඇත්ත බව මගේ හිත කෑ ගගහා කිව්වා..ඒත් මම පිළිගත්තේ නෑ..මට ඕන වුණේ නෑ එයාට දිනුමක් දෙන්න..!

අපි දුරස් වුණා..එක්කෙනෙක් ගෙදර එද්දි අනිකා දොර ඇරලා ගිහින් තමන්ගේ වැඩක් පලක් කරගන්න තැනට ආවේ කොයි කාලේද කියලා හරියටම මට මතකක් නෑ..කුස්සියේ බැම්ම උඩ ඉඳගෙන ශෂී තේකක් හදන කල් දවසේ විස්තර කියෙව්ව, දෙන්නා එක්ක එකතුවෙලා රස කෑම හද හද බැලුව, එක එක දේවල් ගැන කතා කළ, ආදරේ කළ කාලේ ඉවරවෙලා තිබ්බා..

************************************
ශෂී ඇක්සිඩන්ට් වෙලා කියලා ආරංචිය එද්දි මම වැඩ..
මට හිතුණෙම ඒක බොරුවක් කියලා..අපේ අම්මා කිව්ව විදියටනම් කේන්දරකාරයෝ කියලා තියෙන්නේ ශෂීගෙන් මට මාරකයි කියලා..මම දන්නේ නෑ හැබැයි ඒ කතාව කොච්චර දුරට ඇත්තද කියලා..මොකද ඔය ප්‍රශ්නේ නිසාම අපි බැලුවම එහෙම කතාවක් කියවුණේ නැති හින්දා..අනික් අතට එහෙම කියවුණා නම් ශෂී කීයටවත් මේ කසාදෙට කැමති නොවෙන්නත් තිබ්බා..විශ්වාසයක් නිසාම නොවෙයි..නමුත් මම දැනගෙන හිටි ගෑණි ඒ වගේ අවධානමක් දරන්න මට ඉඩ නොතියන බව මං හොඳටම දැනගෙන හිටියා..

කොච්චර ඈත්කමක් තිබ්බත් ශෂී නැතිවෙයිද කියන බය කුළුගෙඩි පාරක් වගේ හිස් මුදුනටම වැදුණා..කවදාවත් නැතුව සුක්කානම උඩ මගේ අත් සීතල වෙලා වෙව්ලමින් පැටලුණා..

නෑ එහෙම වෙන්න බෑ..එහෙම වෙන්නෙත් නෑ...මට මග දිගටම මතක එහෙම හිතුවා කියලා විතරයි..මම යනකොටත් සර්ජරි එක පටන් අරන් තිබ්බා...පහුගිය අවුරුද්දකට දෙකකට නොහිතිච්ච හුඟක් දේවල් මට මතක් වෙන්න මෙතනටම එන්න වුණාද කියලා මට මා එක්කම තරහක් ඇතිවුණා..කවදාවත් දෙවියන්ගෙන් බුදුන්ගෙන් මුකුත් ඉල්ලපු නැති මං ඉල්ලුවේ වැරැද්ද නිවැරදි කරන්න මට අවස්ථාවක් දෙන්න කියලා විතරයි..එක අවස්ථාවක් ලැබුණා නම් මට ඇති..
මොකද මේ දෙගිඩියාව මගේ පිරිමි හිත විඩාවට පත්කෙරෙව්වේ හිතාගන්න බැරි ඉක්මණට..

*******************************************'
හත් දවසේ දානෙන් පස්සේ හැමෝම විසිරිලා ගිය ගෙදර මම එහා මෙහා ඇවිද්දා..ඊමේල්, ඇමතුම්, කෙටි පණිවිඩ, මල් වඩම්වල අමුණපු ශෝක පණිවිඩ, බැනර්, කොඩිවැල් අස්සේ මගේ ඔළුව තෝන්තුවෙලා වගේ..කොහොමටත් වැඩි කතා බහක් නැති නිසාද කොහෙද මාව සනසන්න ඉදිරිපත්වෙච්ච පිරිසට පොඩි ඉසිඹුවක් තිබ්බා වෙන්නැති..ශෝකෙන් ගල්ගැහිච්ච ආදරණීය ස්වාමි පුරුෂයාගේ භූමිකාව හොඳට රඟපෑවා කියලා මේ දැන් ශෂී පෙට්ටියෙන් නැගිටලා හිනාවේවී කියලා වෙලාවකට මට හිතුණා..ඒත් නැගිටින පාටක්වත් නොතිබිච්ච ඒ මූණ අමනුස්ස කළු නිල් පාටක් වෙලා ඔහේ තිබ්බා...ලස්සනට ඇඳගෙන මා එක්ක පෝරුවට නැගිච්ච ඒ මූණේ දිග පළලම තිබ්බ මේ මූණ ශෂී වෙන්න බෑ කියලමයි මගේ හිත කිව්වේ..

සමහරවිට මේ අර අම්මයි අක්කයි මන්තරයක් වගේ මැතිරුව 'කරුමේ' වෙන්න බැරිද?

***************************************
ෂාජහන්,
උඹේ ජුලියට් අද මළා..!
උඹ ඒකිට හදවපු
කිරිගරුඬ සොහොනේ
වළලා අමතක කරපන්..!
අඬන්න ඕනෑකමක් නෑ..
දැන් ජුලියට්ට 
කඳුළින් පණ දෙන්න බෑ..!
ඒත්..
ජුලියට් මරාගෙන උපන්න
සමනළියෙක් ඉඳිවී
හැබැයි යකඩ..
හිරකරගන්න හදන්න එපා 
උඹ ඈව..
ඈ ඉන්නෙ නෑ
ස්ථිරයි මට ඒක..!
ඈට පුළුවනි 
උඹ හැදූ ඔය සොහොන
මිසර පිරමීඩයක් කරන් ඉන්නට..
අමතක කරන්න එපා
ඒ බව..!

ශෂීගේ පොත්පත් ගොඩේ තිබ්බ අන්තිම ලියවිල්ල ඕක..කවදාවත් නැතුව එයා ඒකේ දිනේ දාලා අත්සන් කරලත් තිබ්බා...
හරියට එයා නැතිවෙච්ච දවස..!

යකඩ හරි කමක් නෑ ආයෙත් ආපස්සට ගිහින් මට මගේ ගෑණිව ගේන්න පුළුවන් නම්..

අවුරුදු ගාණක් ආදරේ කරලා බැඳගත්තු ගෑණිට එච්චර නොපනත්කම් වෙද්දි උඹ කොහෙද යකෝ හිටියේ කියලා මගේ හිත දත්මිටි කෑවා..උඹ මිනීමරුවෙක්..
ඔව් මම මිනීමරුවෙක්...!



ඔව් මම මිනීමරුවෙක්...!


27 comments:

  1. මමත් ගෑනු ගැන පෝස්ට් එකක් දැම්ම. ඊට පස්සෙ බ්ලොග් සහජීවනය යටතේ හදුන්වාදෙන්න බ්ලොග් 4 ක් බොහොම අමාරුවෙන් හොයා ගත්ත. මේක 5 වෙනි එකට නියමෙට ගැලපෙනව

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ම.ම.
      දැන් මේ එහේ ගොහින් ආවේ.:) මට හිතුණා කලින් කතාව දෙපැත්තක් නොදැන බැලන්ස්වෙන එකක් නෑ කියලා..මටත් කියන්න ඕන වුණේ මෙහෙම අවස්තාවක වෙන්න ඉඩ තියෙන දේවල් ගැන.ලඟදි යාළුවෙක් කිව්ව කතාවකුත් ප්‍රස්තුත වුණා.ස්වාමි පුරුෂයාගේ ඈත්කම නිසා අවුරුදු 20කට කලින් හිටි පෙම්වතා එක්ක නැවත සම්බන්ධයක් ගොඩ නගා ගත්තු කාන්තාවක් ගැන..දුකකුත් තරහකුත් දෙකම මිශ්‍ර හැඟීමක් ඇතිවුණා ඒ කතාවට..

      Delete
  2. හෂි අන්තිමට ලියපු කවිය නං එළ..

    ReplyDelete
    Replies
    1. ශෂී..දේශ්ගේ හෂී නෙවෙයි..හැක් හැක්..
      ඇති යන්තම් එහෙමවත් හොඳක් දැකලා..:P

      Delete
    2. සිප්ට එක වැදිල නෑ බබෝ... හොද කියල ලමයි හදාගන්න බෑ. ඒකයි නරකම හොයන්නේ.. හැක්

      Delete
    3. ඔව් නේ..ශෂීගේ කතාව තරම් මේක වැදෙන්නේ නෑ කියලා මටත් හිතුණා..ඇත්තනේ ගෑණු කියන කතා වගේයැ පිරිමි කියන කතා..සරලයි සුගමයි මෙලෝ රහක් නෑ..හැක් හැක් හැක්..

      Delete
  3. පිරිමියා වඩාත් අසරණ වෙන සදාකල් නිම නොවෙන සංවේදී ගැටුමින් මිදෙන්න පිරිමියා ගොඩක් වෙලාවට හිරි වැටීම තෝරගන්නවා.ඒත් ඒක විසඳුම නෙමෙයි.
    බොනිකර තරුව නියමෙට අමුතු අමුතු හැඟීම් මතු කරලා...
    හිටු... මම අද යනව මගෙ කෙල්ලව බලන්න.
    කාලෙකින් හම්බුනේ නෑ.
    ජයවේවා..!!!!

    ReplyDelete
    Replies
    1. ග්ර්ර්ර්ර් ....!!
      ටෝ මට ආයෙත් බොනිකර තරුව කිව්වොත් මම ටෝව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගස් ලබ්බක් කොරනවා ඕං!වැඩිය ඕන නෑ උඹ ඉන්න මර්සි ඒරියා එකේ ඩයල් එකකට කන්ට්‍රැක්ට් එකක් දෙන්නයි තියෙන්නේ..බුහාහාහාහා!!
      අර උඹේ මාකටින් ස්ලෝගන් එක තියෙන්නේ ගස් ලබු ඇට ගනින්න එන්න කියලා තමා කියන්න වෙන්නේ එතකොට..හැක් හැක් හැක්...හූ හූ හූ!!

      සීරියස් කතාව:
      ඔව් බං..අමුතු හැඟීම මතුවුණ තරමට අපි නොහිතන කෝණවලින් සමහර දේවල් දිහා බැලෙනවා.සමහරවෙලාවට එහෙම වුණාම අළුතෙන් හිතන්න ගත්තම පොරොවෙන් නැතුව නියපොත්තෙන් කඩාගන්න ලේසි දේවල්..එළ! කෙල්ල බලන යන්න තරම් හිතුණා නම් මම ඒක කොම්ප්ලිමන්ට් එකක් විදියට ගන්නම් මචෝ..ජය වේවා!

      Delete
  4. පලවෙනි කොටස කියෙව්වත් අගමුල පටලවුණු නිසා කොමෙන්ටුවක් දැම්මේ නැත. මේ කොටසින් සියලුම දෝස නිවාරණය විය. කතාව සුපිරිය. ආයෙමත් මුල සිට කියවමි. (ගෑණු උදවිය හා අලියාගේ පළිගැනීමේ සමානකම ගැන ලියා තියෙන දේ නම් ගජ ඇත්තය. අප විසින් සිතා හෝ බොහෝ විට අත්වැරැද්දකින් සිදුකරන ලද සියලුම වැරදි ඔවුන්ගේ මතකයේ ගබඩා වී ඇත්තේ මහා පුදුමාකාර ලෙසටය. බයානකම දේ ඔවුන් ඒවා බාවිතයට ගන්නා වෙලාවන්ය. මාරය)

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වෙල්කම් රොටියා..
      රොටියාත් වලේ වැටුණු සංගමයේ සාමාජිකයෙක් හැටියට ඕවා ඇත්ත බව ආයේ නොදන්නවා වෙන්ට බැහැ නොවැ..
      අනිවාර්යෙන් ඔය මතකය ගෑණු අධ්‍යාපනයට යොදවනවා නම් Phd ගහන්නේ පුංචි කාලේම..තැන්කූ මචෝ කතාව දැන් පැහැදිලිනම් එච්චරයි..:)

      Delete
  5. අන්තිමේ තිබුන කවියනම් පට්ට..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කතාව වැදිලා නෑ..:D

      Delete
  6. 'විවාහය කියන්නේ තුන්මංහන්දියක්.. හරි පාර හොයා ගත්තොත් හරි.. නැත්නම් වරදිනවා' කියන මතයේ තමයි අපේ ගොඩක් විවාහකයෝ ඉන්නේ.. ඉතින් හැම තිස්සෙම උත්සාහ කරන්නේ එක පාරක් තෝරගන්න.. ඒත් තෝර නොගත්තු පාර අමතක කරන්න බැරුව ලතවෙනවා.. විවාහ බැඳුම් මීට වඩා විනිවිද වෙන්නෝනෙ කියලයි මගේ හැඟීම.. හරියට හොඳින් එකි පෙහෙලි කල පිට්ටනියක් වගේ..
    උඹේ කතාවට වැඩිය අන්ඩරදෙමලයක්ද මංදා මං කියුවේ.. උඹට කියන්න.. මොකුත් හරියට ගොනු කරල හිතා ගන්න බැරුව.. හිතට එන දේ කියා ගන්න බැරුව මං මෙහෙම අසරණ වුනේ නෑ කාලෙකින්.. හිතුනොත් ඊ-මේල් එකක් දාන්නම්..

    ReplyDelete
    Replies
    1. කමී වෙල්කම් ටු තනිතරුව..
      අපි එකිනෙකාගේ සංවේදනා දේහලීය අගයන් වෙනස්. ඒක නිසා තමයි උඹට සංවේදී වෙන්නෙත් දේශ්ට නොවැදෙන්නෙත්..සමහරවිට මේක ආයෙත් කියවද්දි මටත් හිතුණා සාර්ථක මදි කියලා..

      මටත් කියන්න ඕන වුණේ ඒක මචං..විවාහයක් කියන්නේ අතිශය පෞද්ගලික ගනුදෙනුවක්..ඒක ගනුදෙනුව කරන උන් දෙන්නා විසින් හදාගතයුතු වෙනමම රාමුවක්...ඒ රාමුවට අනික් උන් මූණු ඔබන්න ආවම වෙන්නේ එතන රාමුවක් හැලිලා රැස්වීමක් වෙන එක..අද විවාහය කියන නාට්‍යය හරිම සංකීර්ණයි..බලන් ඉන්න එවුන්ට ආතල්..රඟපාන එක ලේසි නෑ..මෙගාවල වගේ දවස ගාණේ පිටපත වෙනස් වෙන්න පුළුවන් වගේම නළු නිළියෝ ඉවත්වෙලා වෙන උන් ආදේශ වෙන්න තියෙන අවස්ථාත් උපරිමයි..මිදි යුෂට පසුවදනක් විදියට මේක ලිව්වේ..සමාවෙයන් උඹව ඒ වගේ සංකීර්ණ අවස්ථාවකට ගෙනාවට..ඊයක් එවනවා නම් thanitharuwa18@yahoo.com

      Delete
    2. අදද වෙල්කම් කියන්න මතක් උනේ..හැක්.. ටියුබ් ලයිට්. ඔය ඊ ලිපිනයත් මං ගාව තියෙනවා.. ඇයි ප්‍රොෆයිල් එකේ දාල තියෙනව නේද? මේල් කරන්න ලොකු කතාවක් තියෙනවා.. හිතල හිතල හිතුව ඇති කියල හිතුනම දාන්නම් මේල් එකක්..

      Delete
    3. ඔව් පොඩ්ඩක් ටියුබ් ලයිට් නම් තමයි.හික් හික්..
      හරි එහෙනම් උඹ හිතලා හිතලා හිතලා හිතලා....ඊයක් එවපන්..:)

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. දශකයකටත් වඩා ආදරය කරලා නොගැලපීම් පවා ගලපාගෙන විවාහ වුනු යුවලක්... විවාහයෙන් පසු තමයි ඇයට ඔහුව තේරෙන්නෙ. ඔහුගෙ පියා සැර පරුශයෙක්. මවට නිසි ආදරයකින්, ගෞරවයකින් සලකා නැහැ. ඔහුගෙ ළමාව පිරිලා තිබිලා තියෙන්නෙ දෙමව්පිය ගැටුම් වලින්.එම නිස පුතා හැඩ ගැසී ඇත්තේත් එවන් දේවලින්.
    වැඩි කල් නොගොස් බිරිඳට පරුශ වචන වලින් සංග්‍රහය අරඹලා,අත පය විසි කරන්නත් ඔහු පසු බට වෙන්නෙ නැහැ.ඔහු සිතන්නේ තර්ක කරන්න එන ගැහැණුන්ට නිසි දඬුවම එය කියලායි. ළමා වියේ පාඩම් ඒ.
    නිවාඩු දවසක් ආපු ගමන් බිරිඳව ගෙදර තට්ට තනියම දමලා මිතුරන් සමග දවස් ගනන් විනෝද ගමන් යනවා.එහෙම නැත්නම් ඔහුගෙ රෙදි සූදානම් කරගෙන තමන්ගේ මහ ගෙදර යන්න ඉදිරිපත් වෙනවා, තනියම.
    අනන්ත සිත් රිදීම්,මදි පුංචි කම් සමනය කරගන්න ඇයත් කලහ,අඬ දබර කරගත්තා.එහෙත් අවසානයේදි තේරුනා, මේ ඉන්නේ අසංවේදී මිනිහෙක් කියලා. දරුවෙක් නැති ගෙදර, ඒකට ප්‍රති කර්ම හොයන්නවත් උනන්දු නොවුනු සැමියෙක්.තව කල් තිබේ,දවස තවම තරුණයි, සේ සිතා සිටි මිනිසෙක්... අන්තිමේදි ඇයට තේරුණා.විවාහය කඩා ගන්න තරම් හයියක් ඇයට නැහැ. ඒ අවමානයට ඇය බිය වුණා.
    අඬ දබර වත් නවතීවි නේද කියල, මගෙ ඇහැට වත් නොපෙනී ඉන්න ඇත්නම් මේවා කියලා, රස්සාවේ පිට දාලා, ඇය ඈතකට ගියා. අම්මා,තාත්තාබලාගෙන දැන් ඉන්නවා. කසදය ටෙලිෆෝන් කෝල් වලින් තමයි ගැට ගැහිල තියෙන්නෙ,ලෝක ලැජ්ජාවට.
    මෙච්චර හරියක් වෙලත් අර මිනිහ තවම අස්ංවේදියි.
    මිනිහෙක් ඇත්තෙත් නෑති,නැත්තෙත් නැත් තත්වෙක ඉන්න ඇය සමාජ, සහ රැකියා ජීවිතය තුල අපහසුතාවට පත් වෙනවා නිතරම.

    මම මේ කිව්වේ ඇත්ත කතාවක්.අඩුගානෙ ශශී නම් මැරුනාවත්.. ඒත් මේ අසරන ගැහැනිය...?

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගයාත්‍රි..
      අතලොස්සක් ඇරුණම හුඟක් පවුල්වලට එල්ලවෙන බාහිර බලපෑම් වැඩියි..හැබැයි දෙන්නා ශක්තිමත් සහ විවෘත නම් ඒවාට මූණ දෙන්න පුළුවන්.මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමිගතිත් පවුලවුල් වෙන්න හේතුවක් අනිවාර්යෙන්ම.එක්කෝ ගෑණි වෙනස් වෙන්න කැමති නෑ, එක්කෝ මිනිහා වෙනස් වෙන්න කැමති නෑ..ඒත් නැත්නම් පුතා අපේ, ලේලි පිට, අයියා/මල්ලි අපේ, නෑනා පිට වගේ ආත්මාර්ථයෙන් අන්ධ වුණ මිනිස්සු නිසාත් ප්‍රශ්න ඇතිවෙනවා..සමහරුන්ට නම් ගිනිදීමෙන් ලැබෙන පල ප්‍රයෝජනයකුත් නැහැ ඒත් දෙන්න දෙන්න ආසයි..මානසික ලෙඩ්ඩු!

      ඔබ කිව්වත් වගේ මැරි මැරි ජීවත්වීම අසරණයි එක පාර මැරිලා යනවට වඩා..

      Delete
  9. එතකොට උබේ හක්කෙත් පොල් කෑලි තියෙනවද?

    කතාව නම් සුපිරියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මකසි :)
      ඔව් මගේ හක්කෙත් පොල්කෑලි තියන් ඉන්නේ..වෙලාව ආවම ඇක්ටිව් වෙනවා..හික් හික් හික්..:D

      Delete
  10. සමහර වෙලාවට නැති කරුම ඇතිකරනවා ඔය විදිහේ මිත්‍යා දෘෂ්ටික අදහස් වලින්. සමහරවිට උඹේ නෑයෝ සතුටුවෙන්න ඇති සශී ගේ මරණේ නිසා. එහෙම වෙනවා. කවිය නියමයි. කොහොමත් මං ආස මේ වාක්‍යයට "ශෝකෙන් ගල්ගැහිච්ච ආදරණීය ස්වාමි පුරුෂයාගේ භූමිකාව හොඳට රඟපෑවා කියලා මේ දැන් ශෂී පෙට්ටියෙන් නැගිටලා හිනාවේවී කියලා වෙලාවකට මට හිතුණා."

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඉවාන්..ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියනවලු නේ..!
      ඕවායෙන් පිස්සු වැටිච්ච මිනිස්සුත් ඉන්නවා..මැදි මාවතේ ගමන් කරන තරමට ඇඟට ගුණයි හිතට හොඳයි..
      තැන්කූ මචෝ..කවිය නම් ඔහේ ලියලා දැම්මේ..මාත් ආසම ඒ වාක්‍යයට තමයි..මම හිතන්නේ උඹෙයි මගෙයි නාට්‍ය පිස්සුව නිසා වෙන්න ඇති ඕක ඔළුවට වැදුණේ..:D

      Delete
  11. ඇඟ සීතල වෙලා ගියා යකූ!

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්..
      මට ඉතින් උත්තරයක් ආවා ඒක ප්‍රසිද්ධියේ කියන්න බෑ බං..හික් හික්..

      Delete
  12. විවාහ වෙන දවසේ වැඩිහිටියෝ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන ආකාරය ගැන මනාල යුවලට නොයෙකුත් අවවාද දෙනවා. නමුත් ඒ අවවාදවලින් වැඩි හරිය දෙන්න ඕනේ සමීපතම ඥාතීන්ට බව තේරෙන්නේ පස්සෙයි. මම මේ දැන් FB එකේ share කලා මෙහෙම කතාවක්. Relationships never die a natural death. They are Murdered by ego, ignorance, attitude, etc etc...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.
      බහුතරයක් විවාහ ජීවිතවලට කණකොකා හඬන්නේ සමීපතමයන්ගේ පටු ක්‍රියාවන් සහ ආකල්ප නිසා.ඉස්සර සියළුම දරුවන් විවාහ වූ පසුත් එක ගෙදර ජීවත් වූ යුගයක් තිබ්බා කියන එක අද සංකීර්ණ ලෝකයේ නිකන් හිතළුවක් වගේ නේද?මිනිසා එන්න එන්නම සංකීර්ණත්වයෙන් සංකීර්ණත්වයට යනවා ඔහුගේ සමාජ සම්බන්ධතා හා පුද්ගල සම්බන්ධතාත් එක්කම..

      hmm..true that. These days external forces do not kill a relationship directly. Instead they nurture one party's ego and attitude with negativity as much as possible. So the blame will never fall on them as the killer would be someone else. :)

      Delete