Saturday, November 26, 2022

වැලි වගේ ගෑණු

ඉර හැරිලත් ගිනි රස්නෙ ගහන ඔය කාන්තාරෙ මැද්දෙදි මට සිංදු කීපයක්ම මතක් වුණා.

පළවෙනි එක ලියලා තියෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස්.. ඒ ගීතයේ ඉපදීම ගැන දයා ද අල්විස් හරිම ලස්සනට ලියලා තිබ්බා' එකෝමත් එක දවසක' පොතේ. දරුවෙක් එක්ක තනිවෙච්ච ගැහැණියකට ආදරේ කරන්න තරම් ලස්සන හිතක් තියෙන්න ඇති ප්‍රේම් වෙනස්වෙච්ච එකම පුදුමයක් තමයි..ඒකට ඉතින් වටපිටාවෙන් ආව උපදෙස්, විෂබීජත් හේතුවෙන්න ඇති. එච්චර සුන්දර දේවල් හිතන්න, කියන්න, ලියන්න පුළුවන්කම තිබ්බ හිතකට සමාජෙට අනුගත නොවී කෙළින් නැගිටින්න ශක්තියක් නොතිබ්බ එක අපරාදේ. සිංදුවටම නම් ඉස්සර ඉඳන්ම කැමතියි. ඒකෙ පසුබිම් කතාව දැනගත්තට පස්සෙ මැවිලා පේනවා ලේක්හවුස් පඩිපෙළ පාමුල නළදත් හිනාවකින් බලං ඉන්න ප්‍රේම්ව, දයාගේ අකුරුවලින් මැවිච්ච.

"කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී
හිමගිර මුදුනත සිටියද මහද ගිනි ගනී.. "

ඒ සුන්දර ප්‍රේම්ව අහිමිවෙච්චා නම් ඔහොම කිව්ව කීදෙනෙකුට කාලය එක්ක වෙනස්වෙන්න පුළුවන් වෙන්න ඇතිද කියන එක අතුරු කතාවක්..

අනෙක සිංදුවක කොටසක්..
"සුදුවැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ.."

හිත නිකංම නිවී සැනහී යන මොකද්දෝ එකක් ඒ වචනවල, හඬේ සහ මෙලඩියෙ තියෙනවා. මට හරියටම මතක නෑ ඒත් අවුරුදු ගාණකට කලින් මොකක් හරි වැඩසටහනක ඇහුවා මතකයි ඒ පදවලින් ඇත්තටම කියවෙන්නෙ වැස්සක් බලාපොරොත්තුවෙන් ඉන්න පරිසරය ගැනයි කියලා. ඒක එහෙමත් ගන්න පුළුවන්. ඒත් මං නං කැමති ඒක ආදරේ විඳින ගැහැණු චරිතයකින් කියවන්න..හැම ගෑණියෙක්ටම එහෙම 'ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව්ලොවක් වේ' කියන්න පුළුවන් දවසක් ජීවිතෙ කවදාහරිම උදාවෙන්න ඕන.. 'ඇත්තටම' එහෙම කියන්න පුළුවන් දවසක්.. 😇

මතක් වෙච්චි අනෙක නිරෝෂා විරාජිනී ගයන වාලුකා කතරේ.. මේ දවස්වල නම් සෑහෙන්න සංවාදයට ලක්වෙන කතාවක් නිරෝෂා ගයන්නෙ. වැඩේ ඉතින් මේ සතියෙ ඕමාන් රැල්ල ඊළග සතිය වෙද්දී තවත් රැල්ලකින් වැහිලා යාවිද කියන එකයි බය.

ඔය කතාවෙ පැති ගොඩක් තියෙන්න ඕන. ඒ කලාපයට ගෘහ සේවය සැපයීමම විවාදාත්මක කාරණාවක්. හැම දුකක්ම කෙළවර සැපක් කියන්නෙ හිත නිවන කතාවක් විතරයි කියලා හිතෙන කතන්දර අරාබි කලාපයේ ගෘහ සේවයට යන අපෙ රටේ මිනිස්සුන්ගෙන් ඕනෑතරම් ඇහිලම දැන් ඒක 'තවත් එක කතාවක්' වෙලා. කොහොමහරි ගොඩයන්න තියෙන සීමිත විසඳුම්වලින් එක විසඳුමක් වුණාම මොන දුක විඳින්න හරි කැපකිරීම් කරන්න හරි බලාගෙන ඒ අවස්ථාව ගන්න මිනිස්සු හරිම පව්. හැබැයි එහෙම යන මිනිස්සුන්ව එක එක වලවල්වලට ඇදලා දාන්නෙත් ඒ පංතියෙන්ම තමයි.

ඔය එළියට ඇදෙන්නෙ ඒ වගේ එක උදාහරණයක් විතරයි. අනෙක ඉතින් ළිඳට වැටිච්ච මිනිහා ගොඩ එන්න උත්සහ කරන්නෙත් ළිං කටෙන්ම මිසක් ගැඹුරට කිමිදිලා ළිං බිත්තියකින් උමං කටින්න තරම් හයිහත්තියක් බලාපොරොත්තු වෙන්න බෑ.
ඔන්න එහෙම හාරන උමගක් මහ කාන්තාරෙකට හැරවෙන එකක් නෑ කියලා සහතිකයක් කොහෙවත් දීලා තියෙනවා නම් කමක් නෑ.

අපේ මිනිස්සු පව් කියලා ගෘහ සේවිකා චක්‍රය දිගින් දිගටම කැරකෙනවා අපි බලං ඉමු. ශනිදා වාසනාවේ පිංපොං බෝල ඇහිලෙනවා වගේ පුරුෂාධිපත්‍යයේ ආසාවලුයි ධනපති වර්ගයක අමානුෂිකත්වයයි දෑඟිලි විහිදලා එයින් එක එක ගෑණු උස්සලා කබලෙන් ලිපට අතාරින හැටි බලලා ගණං හිලව් ලියලිය ඉමු.

වෙන මොනව කරන්නද ඉතින් නේ?

~✒️ Aash Weerasinghe

#AW #thaniya #medusasjournal #lka #women

4 comments:

  1. හරිම ලස්සන සටහනක්. ඔබ කියූ එකෝමත් එක දවසක වගේම එකෝමත් එක දවසකට පස්සේ දයා ද අල්විස් මහත්මියගේ පොත් දෙකේම ප්‍රේමකීර් ති ගේ ගී රැසකට මුල්වුණු සිදුවීම් සදහන් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ 😊
      ඔව් මම තාම කියවලා තියෙන්නෙ එකෝමත් එක දවසක විතරයි. දුවකගෙ කඳුළුත් හරිම ලස්සනයි. අනෙක ගන්න ඕන මතක් කළ එක හොඳයි ☺️

      Delete
  2. අද මැද පෙරදිග දුක් විඳින අය සහ ත්‍රිරෝද රථවල කාලය වැය කරන අය වෙන රටක ඉපදිලා හිටියානම් ඉංජිනේරු වගේ වෘත්තියක ඉන්න අය වෙන්න පුලුවන්. බුද්ධි පරීක්ෂණ 5 ශිෂ්‍යත්වයට සීමා කරලා, කටපාඩම් විභාග වලින් සරසවියට තෝරාගන්නා සහ සිසුණය ක්‍රමයක් සමඟ මුදල් ගෙවන විශ්ව විද්‍යාල නොමැති කමින් දෙමව්පියන්ට මුදල් නැතිනම් සාමාන්‍ය සහ උසස් පෙලින් එහා අධ්‍යාපනය ලැබීමට අවස්ථා නැති රටක ඉපදීම තමයි ඔවුන්ගේ පාපය. මේ ජීවිතයේදී අපිට කරන්න පුලුවන් ලොකුම පින්කමක් තමයි ඒ වගේ යන්න තියෙන ළමයෙක්ට උසස් අධ්‍යාපනයක් ලබා ගන්න මඟ පෙන්වීම සහ පහසුකම් සපයන එක.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඕකේ සමාජ ආකල්පමය පැත්තකුත් තියෙනවා හැදෙන්න. පහසුකම් විතරක් තිබ්බට මදි. විශේෂයෙන්ම ලංකාවේ ටෙක් එකකට ගිහින් මිකැනිකල් ඉගෙනගන්නව කිව්වම මිනිස්සු ගනන් ගන්නෙ නෑ. හැබැයි ඉගෙනගත්තොත් අපතෙ යන්නෙ නෑ මොකද ඒ ක්ෂේත්‍රයෙ හිඟයක් පවතින නිසා. මේක දීර්ඝ කතාවක් උත්තරේකින් ලියන්න අමාරුයි

      Delete