සංගීතයට, කලාවට ප්‍රිය මනුස්සයෙක් හැටියට ලංකාවේ රියැලිටි වැඩසටහන් සමහරක ප්‍රේක්ෂකයෙක් මාත්. කාලයක ඉඳන්. පහුගිය අවුරුද්දෙ ඉඳන් බැලුවෙ නම් Voice Sri Lanka විතරයි. Season 1 සහ Teens ගුණාත්මක භාවය අනුව මේ වතාවෙත් සෑහෙන බලාපොරොත්තු සහගතවයි වැඩසටහන බලන්න ගත්තේ.
පළවෙනි දවස බැලුවා.
දෙවැනි දවසත් බැලුවා.
තුන්වැනි, හතරවෙනි දවස බලද්දී තමා මා තුළ ජීවත්වන ක්‍රිෂ්ණා වස්දණ්ඩ පොළවේ ගහලා "මේ මොන මයන්නක්ද අයිසේ මේ!" කියලා අහලා චැනල් එක මාරු කළේ.
අන්තර්ජාතික සන්නාම බහුතරයක් තමන්ගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන කලාපයට අනුව සුළු සුළු වෙනස්කම් කරනවා. මෙහෙ මැක්ඩොනල්ඩ්ස්වල රයිස් ඇන්ඩ් කරි තියන එක තමයි ඕකට දෙන්න පුළුවන් සරලම උදාහරණය.
මට ඇත්තටම විශ්වාස නැහැ ස්වර්ණවාහිනියේ ලයිව් ඇට් එයිට් පිටපතට මරණගෙවල්වල ශෝකාලාප එකතුකරපු පිටපත් රචකයා දැන් සිරසට ගිහින් ද කියලා.
මේක දක්ෂකම් පෙන්නන තැනක්ද නැත්නම් කුලියට අඬන වේදිකාවක්ද? කොයිතරම් නම් විපිළිසර වුණාද කියනවා නම් ආයෙත් බැලුවා හිරු ස්ටාර්ද මේ කියලා!
හැම ගායකයෙක්ම ගායිකාවක්ම පිටිපස්සෙ මොකක් හරිම දුක කතාවක් තියෙනවා! ඒ මොකවත්ම නැත්නම් යාලුවා තරහාවුණා, අක්කා බැඳලා ගියා කියලා හරි වේදිකාවේ කඳුළක් නොහෙලපු කෙනෙක් හොයන එකට වඩා ලේසියෙන් කිසාකෝතමී නොමළ ගේකින් අබ හොයාගන්නවා, ෂුවර්!
මොකක්ද මේ විහිළුව???
තරගකාරයොත් අඬනවා, විනිශ්චයකාරයොත් අඬනවා, කියන්නේ නැති දේවල් විනිශ්චයකාරයෝ හාරහාර අහනවා, ඇහුවේ නැත්නම් තරගකාරයො කියනවා. ගම සමග පිළිසඳර හොඳා! 😅
හරි ඉතින් කලාකාරයෝ සංවේදී මිනිස්සු තමයි. හැබැයි ඕනෑම දෙයක් ඕනෑවට වඩා කරන්න ගියාම අවුල්. මීට වඩා මාකටිං ගේම් ගහන සිරසට හැම තරගකාරයටම දුක මාකට් කරන්න කියන්න වෙන තත්වයක් ඇතිවීම හොයලා බලන්න ඕන වැඩක්! එච්චරටම ඉච්ඡාභංගත්වයකට යන්න තරම් තරගයක් දෙන වෙන චැනල් එකක රියැලිටි තරගයක්වත් තියෙනවද? නැත්නම් ඕනෑවට වඩා කැටයම් දාන්න ගිහින් තොරණ බලියක් කරගන්න දත කනවද?
ඔය බොරුව සහ දුක මාකට් කිරීමේ කලාව හෙවත් yellow journalism පටන්ගත්තේ 1800 ගණන්වලදී ඇමරිකානු මුද්‍රිත මාධ්‍ය කියලා තමයි කියවෙන්නෙ. (හඳ ගමන වගේ වෙන්නත් පුළුවන්) හැබැයි සමහරවිට ඊට කලින් ඉඳන්ම තියෙන්න ඇති. ඒකනේ ඔය අපි අහලා තියෙන කවිකොළ, රජ කාලේ ප්‍රශස්ති ගායනා එහෙම ඔය ආරේට ගිහින් තියෙන්නේ. රාමායණය, මහ භාරතය (මහාවංශය, චූලවංශය අපේ අයට කොහොමත් වහකඳුරු නිසා ඒ උදාහරණ ඕනෑ නෑ) පවා හරියට බැලුවොත් yellow journalism ඡායාවල්!
මොකද්ද මේ yellow journalism කියනවා නං ඒකේ ලක්ෂණ ටිකක් කිව්වම වඩා පැහැදිලි වෙයි.
●කැපී පෙනෙන සිරස්තල, පිංතූර, ප්‍රස්ථාර අරවාමේවා. බොහෝ විට අන්තර්ගතයට හාත්පසින්ම වෙනස්, අවධානය ඉල්ලන සිරස්තල (ලංකාවේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය සහ Youtube යන්නෙත් මේ ආරේට)
●ලස්සනට කැටයම් දාලා, තලු මරලා, කෙන්ද කන්ද කරලා, ජනතාව කම්පනයට පත් කරලා, කුපිත කරවලා, කතාව රබර් කරලා කියන්න පුළුවන් පුද්ගලයන් යොදාගැනීම (චමුදිත, රංගන වගේ අපේ දේශීය නිෂ්පාදන ඇරුණම මෙහෙම කට්ටිය සමාජ මාධ්‍යවලත් අපමණයි!)
●ඕනෑම කුණු කතාවක් පළවෙනියෙන්ම ඉදිරිපත් කිරීමට ඇති තරගකාරීත්වය (සියලුම විද්‍යුත් මාධ්‍යවල අරගලයේ හැසිරීම එක උදාහරණයක්)
●Jingoism (දැඩි දේශානුරාගය සහ ජාත්‍යාලය (අපේ වීරවංශ ලොක්කා වගේ විදේශ ප්‍රතිපත්ති ගේම කෝල් කිරීමට භාවිතා කිරීම එක උදාහරණයක්) හෝ සංවේදී විෂයයන් සහ ඊට අනුබද්ධ දේ (දේශීය, සංස්කෘතික, ආගමික, පාරම්පරික ආදි) දැඩි ලෙස ගැරහීමට ලක් කිරීම (ලංකාවේ ජනප්‍රිය වෙන්න මේක කොයිතරම් නම් ලේසි ක්‍රමයක් ද කියලා සමාජ මාධ්‍ය භාවිතය දිහා බැලුවම පැහැදිලි වෙනවා)
●ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය චරිතවල 'කුණු කතා' හාරැවිස්සීම සහ ලුණු ඇඹුල් එක්කර ලිවීම/කීම/නිෂ්පාදනය (ලංකාවේ බහුතර youtube නාලිකා)
●බහුතර මතය, ජනප්‍රිය මතයට පෝර දැමීම සහ ඒ වෙනුවෙන් අවස්ථානුකූලව පෙනී සිටීම (අරගලය කාලවකවානුව තුළ සියලු විද්‍යුත් මාධ්‍යවල හැසිරීම)
● නොවටිනා සිදුවීම් හෝ චරිත ප්‍රසිද්ධ කරවීම සඳහා කටයුතු කිරීම (ලංකාවේ අපට තේරෙන භාෂාවෙන් නම් කබ්බෝ ෆෝම් කිරීම)
ඔය කාරණා ටික අරන් බැලුවම මම හිතන්නේ සුද්දටත් yellow journalism උගන්නන්න පුළුවන් මට්ටමක අපි ඉන්නවා දැන්. සමහරවිට ඒගොල්ලොන්ටවුණත් සාධාරණ ඊර්ෂ්‍යාවක් වුණත් ඇතිවෙන්න බැරි නෑ අපේ වැඩ දැක්කම. අන්න එදාට තමයි සුද්දා වුණත් අලුතෙන් දෙයක් අඳුන්වල දෙන්න කලින් දෙසැරයක් හිතන්න පෙළඹෙන්නේ😂
සිරසේ මේ වතාවේ න්‍යාය පත්‍රය මොකක්ද කියලා මම දන්නේ නෑ. ඔය රටාවට Voice Global අනුමැතියක් තියෙනවා ද දන්නෙත් නෑ.
(සමහරවිට high context index එකේ උඩම ඉන්න පුළුවන් ඉන්දියාවේ තත්ත්වයත් මෙහෙම වෙන්න පුළුවන්. Voice India බලලා නෑ. නමුත් ඉන්දියාවේ වුණා කියලා ලංකාවේත් ඒක එහෙම වුණාට කමක් නෑ කියලා සාධාරණීකරණ තර්කයක් ගේන්න තරම් අපි ඉන්දියාවේ දූපතක් නෙවෙයිනේ)
මේ ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක් හැටියට සිංදුවක් අහලා දක්ෂකමක් බලලා සතුටු වෙන්න තියෙන අවස්ථාවක් මළ අඳෝනාවක්, අඬෝවැඩියාවක් කරලා, කොහොමත් ආතතියෙන් ඉන්න මිනිස්සු තව ආතතියට පත් කරවන්න එපා ඉතින්! මොකද ප්‍රශ්න ඕන නම් මිනිස්සුන්ට තමතමන්ගේ එව්වයි තමන්ගේ වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගේ එව්වයි හොඳටම ඇති අඬ අඬා රසවිඳින්න. ඒත් නැත්නම් කඩේ ගිහින් ආවත් ඇඬෙන තත්ත්වයකනේ අපි ඉන්නේ.
සිරස උත්සහ කරන්නේ හැමෝටම ප්‍රශ්න තියෙනවා බ්‍රෝ කියලා මිනිස්සුන්ගේ හිත සනසවන්න හෝ දුක සාමාන්‍යකරණය කරන්න වගේ සද් අරමුණක් ක්‍රියාත්මක කරවීම වෙන්න බෑ කියලා පෙරවැරදි නිසා හිතෙනවා. හැබැයි මේක මෙහෙම මාර ප්‍රශ්න ගොඩක් තියෙන රටක් කියලා මිනිස්සුන්ගේ ඔලු තව කුරුවල් කරන්න වක්‍රාකාරව උත්සහකිරීමක් වෙන්න නම් සෑහෙන ඉඩක් තියෙනවා.
මේ යන විදියට අන්තිමේදී ලංකාවේ මාධ්‍ය කලාව කහ-කහ මාධ්‍ය කරයිද කියලත් සාධාරණ සැකයක් ඇතිවේගෙන එනවා!
~✒️ Aash Weerasinghe
#AW #thaniya #medusasjournal #lka #realityshow #YellowJournalism
අපි මක්ක කරමුද ඉතින්🤔
ReplyDeleteදැන් ඉතින් වෙන කුමක් කරන්නද! 😅 බලං ඉන්නවා මිසක්
Delete