කව්රු කොහොම හිතන් හිටියත් අපි කව්රුවත් අමරණීය නෑ. කාලයත් එක්ක ඕක තේරුම් අරගෙන ඉන්න මටත් කොයිවෙලේක හරි මොකක් හරි විදිහකට 'බග්!' ගාලා මළොත් මෙච්චර කල් කරපු කියපු දේවල්වලට මොකක් වේවිද කියලා හිතුණා.
එහෙම බග්! ගාලා ගිය දවසක ගල්ගැහිච්ච ඇඟිලි සලකුණු තියලා අන්ලොක් කරගන්න අමතක (වේවා!) වෙන්න පුළුවන් කතන්දර මා එක්කම වැලලිලා ගියොත් නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ වෙයිද? එක්කෝ එහෙම වෙන එක (වේවා!) වෙස්වලාගත් ආශිර්වාදයක් වේවිද?
භෞතික ලෝකෙට අඬබෙර නොගහා එකසැරේ වාෂ්ප වෙලා වගේ චුතවෙන්න පුළුවන් බලයක් මිනිස්සුන්ට තිබ්බා නම්...
නිකමට හිතුවොත් කෙනෙක් එහෙම චුත වෙද්දී එයාට සම්බන්ධ හැම සලකුණක්ම සටහනක්ම ඒ එක්කම මැකිලා අතුරුදහන්වෙලා යනවා නම් ලෝකේ කොච්චර සැහැල්ලු වෙයිද. මිනිස්සු මතකවලට වැඩි වටිනාකමක් සහ ගෞරවයක් දෙන්න ගනීවී, සමහරවිට.
පහුගිය කාලේ පුරාම දිවිනසාගත්ත විතරක් නෙවෙයි වෙන වෙන හේතුවලින් මැරුණු මිනිස්සුන්ව පවා මාධ්‍ය ප්‍රධානව හැමෝම ආයෙ ආයෙ මරමරා දානකොට ඒ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය අමුඅමුවේ කෙළෙසෙනකොට අපි හරි ඉහළින් කතාකරන සදාචාරේ කොහෙට චුතවෙලා ඉන්න ඇද්ද?
කව්ද අපේ චුත වීමේ අයිතිය අහුරගෙන ඉන්නේ? චුතවෙච්ච හැටියේ ඒ මිනිස්සුන්ගේ ජීවිත අවුස්සන්න අයිතියක් ලෝකයාට දෙන්නේ ඒ අහුරගෙන ඉන්න අයමද?
දවසක මේ ප්‍රොෆයිල් සේරම එක්ක චුතවෙන්න මට බැරිවුණොත් එහෙම කුණු හොයන්න ලෑස්ති නැති මිනිස්සු ඉඳීද?
පරණ ලිවිලිවලට මරණ පරීක්ෂකවරු කීදාහක් ඉදිරිපත් වෙයිද?
පරණ පිංතූර කිසිම අවසරයක් නැතුවම කීතැනක සංසරණය වෙන්න ගනීද?
මාත් නොදන්නා කතා කීදාහක් අලුතින් උපදීවිද?
අලු පාට මාව ඊටපස්සේ ඇස් නිලංකාර වෙන තරම් සුදු චරිතයක් කෙරෙයිද? නැත්නම් ජීවිතේට නොහිතන තරම් කට්ට-කලු චරිතයක් කෙරෙයිද?
ජීවත්වෙද්දි වෛර කරපු, වල කපපු, අංචි ඇදපු මිනිස්සු පවා කොහෙදෝ මන්දා හංගන් හිටි ආදර කරුණාවල් එළියට ඇදගෙන වැලපෙයිද?
කොටින්ම චුතවුණේ මංමද කියලා ඒ නාටක බලාගෙන හිටියොත් මටම හිතෙන තරමට අධිනාටක තත්ත්වයක් ඇතිවේවිද?
ජීවත් වෙන මිනිස්සුන්ට විතරක් නෙවෙයි පෞද්ගලිකත්වයක් තියෙන්නේ. ඒ අයිතිය මැරෙන/මැරිච්ච මිනිසුන්ටත් තියෙනවා කියලා අමතක කරන ලෝකෙක අපි ජීවත් වෙන්නේ. අසාධාරණ විදිහට විනිශ්චය වෙන්නේ ජීවත්වෙන මිනිස්සුන්වයි කියලා අපි හැමදාම තර්ක විතර්ක කළාට ඇත්තටම ඊට වඩා දහස්ගුණයක අමානුෂික, අසාධාරණ විනිශ්චයකට ලක්වෙන්නේ මියගිය මිනිස්සු. 'ඇත්ත ඕක නෙවෙයි යකුනේ' කියලවත් 'මට මැරිලවත් මගෙ පාඩුවෙ ඉන්න දීපල්ලා' කියලවත් 'උඹලට වෙන වැඩ නැද්ද යකුනේ' කියලවත් කියාගන්න බැරිතරම් ඈතකට ගිය මිනිස්සු. ආයෙ පණ ආවොත් දහස්වතාවක් පණ අතාරින්න හිතෙනවා ඇති මේ විකාර දැක්කොත් මැරිච්ච මිනිස්සුන්ට!
ජීවත් වෙන උන්ව මැනලා විනිශ්චය කරලම මහන්සි නැද්ද අප්පා උඹලට,
මැරිච්ච මිනිසුන්ටවත් සැනසීමේ ඉන්න නොදෙන්නේ?
~✍️ Aash Weerasinghe
#AW #thaniya #medusa #medusasjournal #lka #PrivacyMatters #PrivacyProtection #HumanRightsViolations #humanrights #humanity
No comments:
Post a Comment