ඉස්සර අපේ ආත්තම්මලගෙ ගෙදර අල්මාරි ලාච්චු, කබඩ් අහුමුලු කියන්නේ සම්පත් ආකර. මට හොයන්න දහසක් සුකුරුත්තං තියෙනවා, කරන්න දහසක් දේවල් තියෙනවා. බැරිම වුණොත් මාල අමුණනන්න තරම් එක එක ජාතියේ ලස්සන බොත්තම් හරි තියෙනවා.
එහෙම දවසක සුපුරුදු සම්පත් ගවේෂණය කරද්දී මිත්‍රෝරුනි මට හම්බුණා ඉත්තෑකූරූ!
එකක් දෙකක් නෙවෙයි, තොගයක්!
එයින් කූරක් අරං ගිහින් වැඩක හිටි ආත්තම්මගෙන් ඇහුවම ඉත්තෑකූරූ කියලා මිසක් යටගිය දවස බරණැස් නුවර කතන්දරේ එවෙලේ අහන්න ලැබුණේ නෑ.
ඉත්තෑකූරක් හරි නිකං තියෙනවා බලන්න බැරි ඉත්තෑවෙක් හිටියා ඒ දවස්වල මට😂
ඉතින් මං මේ ඉත්තෑකූරූවලින් කරන්න ව්‍යාපෘතියක් ගැන හිතමින් චොක්ලට් එකකටමත් වග කිව්වා. ආයෙත් වටයක් ගහලා බලනකොට මෙන්න ඊට එහා ලාච්චුවක තියෙනවා ලස්සන පාට ලොකු ඉටිපන්දම් වගයක්. හරි, ඒ මහ දවාලේ කැටයම් ශිල්පයේ කෙල පැමිණි අපේ මුතුන් මිත්තන් ආවේශවීම නිසා මම තීරණය කළා ඊළග ව්‍යාපෘතිය ඉත්තෑ කූරුවලින් ඉටිපන්දම් කැටයම් කිරීම කියලා.
දැන් හොඳට බරසාර මූණකින් සාලේ මැද්දේ වාඩිවෙලා මම කැටයම් වැඩේ පටන් ගත්තා. ඒත් වැඩිවෙලාවක් යන්න කලින් එදා ටොරින්ටන් චතුරස්‍රයේ තැඹිලි කරත්තකාරයෙක් විදිහට ආපු මරාගෙන මැරෙන කොටියෙක් බෝම්බයක් පුපුරුවගෙන කියලා ඔන්න ටීවි එකේ ඒ මගුල පෙන්නන්න ගත්තා කියන්නකො. ලංකාදීපේ මුල්පිටුවේ බාබුගේ ඔලු කෑල්ල දැක්ක දවසේ ඉඳන් මගෙ මිනී ඔලු භීතිකාව වැඩිවෙලා තිබ්බේ. භීතිකාව පටන් ගත්තේ නං භීෂණ කාලේ. ඉතින් අච්චර වැදගත් ව්‍යාපෘතියක හිටිය මං දඩස් ගාලා ඇස් වහගත්තත් ඒ වෙද්දීත් තැඹිලි කරත්ත කාරයාගේ කකුල් කෑල්ලක් දැකලා ඉවරයි! අතේ තිබ්බ ඉත්තෑකූර ඉටිපන්දම අස්සෙන් ලිස්සලා ගියා, ඇඟිල්ලක ඇනුණා, ලේ පැන්නා..
නෑ නෑ.. නින්දට වැටුණේ නෑ..
ඒ සැණින් චොක්ලට් පාටට වමනෙ ගියා.!
මං දන්නෑ ඒක ඉත්තෑකූරුවල විසක්ද නැත්නම් කොටියගෙ මස්කෑලි දැක්ක අපුලද කියලා.. ඉතින් එතැනින් ව්‍යාපෘතිය ඉවර වුණා..
ඉත්තෑවා කියන්නෙ අහිංසක සතෙක් වෙන්නැති. හැබැයි උන් කොළඹත් ඉන්නවා! කටු ගොඩ විහිදං මහ පාන්දරවල අවතාර වගේ ඇවිද ඇවිද වලවල් හාරනවා, පොල් තැඹිලි එහෙම බිමක තිබ්බොත් ඒවත් හිල් කරනවා.
ඉත්තෑ කතන්දරේ මතක් වුණේ මේ දවස්වල මාකයියට මොකෙද්දෝ ඉත්තෑවෙක් වැහිලා දිගට හරහට ඉත්තෑ වීඩියෝ, පොස්ට් ෆේස්බුක් ෆීඩ් එකට එන නිසා.
කාටහරි පුළුවන් නං එයාව ඒ ඉත්තෑවගෙන් ගලවගන්න, ප්ලීස්🙏🤪
~✍️ Aash Weerasinghe
No comments:
Post a Comment