මේක සෑහෙන්න පරණ කතාවක්.
ඒ දවස්වල මං ගියා කාර්යාල ප්‍රවාහන සේවාවක. හිමිකරු/රියැදුරු සාන්ත. සාන්තගේ වෑන් එකේ හිටියේ කාන්තා පාර්ශවය විතරයි. වෙලාවටම ආවට ගියාට සාන්ත ගියේ මහ දුර පාරවල්වලින්. කොටින්ම එක වාහනයක් විතරක් යන්න පුළුවන් විදිහේ දහ අට වංගු, පටු පාරවල්වල යන්න තමයි සාන්ත ආසම. ඒ වෑන් එකේ අන්තිම සීට් එකේ වාඩිවෙලා ඔලුව කෙලින් තියාගෙන ඉස්සරහ බලං ගියොත් අනිවාර්යයෙන්ම කැරකැවිල්ල හැදෙනවා! (ආ මේ ආසන වෙන් කිරීම කරන්නෙත් එයාම තමයි). මාව ගෙදර ළගින් ගන්න හරි දාන්න හරි කොයිතරම් පුළුවන් වුණත් සාන්ත නෙවෙයි ඒකට කැමති. හැබැයි ඉඳලා හිටලා ආ මිස්ව මං ගෙදර ළගින් දාන්නංකො කියලා ඒ පාරේ යන දවසුත් තියෙනවා මොකද මං තමයි අන්තිමටම වෑන් එකෙන් බහින්නේ සමහර දවසට.
මිනිහ පොඩ්ඩක් අහිංසක වගේ පෙනුණට සමහරවෙලාවට හෙන භයානකයි! අපි ඔය එන අතුරු පාරවල් අස්සෙදි තියෙනවා රේල්පාරක් හරහා එන්න. ඒක කොහොමත් පාරට වඩා තරමක් උස කණ්ඩියක්. එතන රේල් ගේට්ටුවක්වත් සිග්නල් ලයිට් එකක්වත් නෑ. ඒ හරියේ තියෙන පොඩි ගෙවල් පේලිවල මිනිස්සු තමයි අත්දැකීම් මත කෝච්චි යන එන වෙලාව බලලා සිග්නල් එක දෙන්නේ, ඒකත් ඉතින් හැමෝමම නෙවෙයි. මොකෝ ඉතින් ඒ මිනිස්සුන්ටත් වෙන වැඩ නැතුවයැ!
සාන්ත කොච්චර ට්‍රැක්ද කියනවා නං හැමදාම අර ජරබර ගාන වෑන් එක හිමීට රේල්පාර තියෙන කණ්ඩිය උඩට නග්ගලා කිසීඊඊඊම කලබලයක් නැතිව හිමීඊඊට වටපිට බලලා හරීඊඊම හිමීඊඊඊට තමයි රේල්පාර හරහා එන්නේ. පළවෙනි දවස් කීපයේ මාත් බලං හිටියා ඉතින් මේ මරාගෙන මැරෙන මෙහෙයුම් සැලසුම දිහා. මළාට කමක් නෑ ඒත් කෝච්චියට වැදිලා ඇද්දිලා ගිහින් දහදුක් විඳලා මැරෙන්නේ මොකටද? අනික නොමැරී ඉතුරු උනොත් එහෙම!
සාන්ත ටික දවසක් යද්දී මාත් එක්ක පොඩ්ඩක් ෂේප් වෙලා හිටියේ. කොටින්ම ඉන්දියානු තාලෙට නැන්දම්මා දුං අල්ලලා තිලක තියලා ලේලිව ගෙට වඩම්මනවා වගේ තමා සාන්තත්. හෝ ගාලා කියෙව්වට මට එහෙම කියවන්න ආසාවක් නැති නිසා සමහර වෙලාවට අන්තිම සීට් එකේ කොණට වෙලා මං බොරුවට නිදි. මොන! මේ මනුස්සයා සෙනග ටිකක් අඩුවෙච්ච වෙලේ ඉඳන් අර ඉස්සරහ කොණේ ඉඳගෙන "මීඊඊඊඊඊස්ස්... මීඊඊඊඊඊඊඊස්ස්ස්..."කියලා කෑගගහ මොකක් හරි කතාවක් කියනවා. මට ඉතින් පුදුම දයාවක් ඇතිවෙනවා මේ පාන් කියාගන්න බැරි මහන්සියෙන් ගෙදර යන සිහියෙන් ඉන්දැද්දි ඔය බයිලා අහන්න වුණාම.
ඉතින් අර රේල්පාරේ මැද ඉඳන් කරන මරාගෙන මැරෙන සැලසුම ගැන මං ඔහොම කෑගහන සාන්තට කිව්වා මෙහෙම!
" (අහිංසක, බැරෑරුම් මූණකින්) සාන්ත, ඇයි ඔයා අර රේල්පාරේ නවත්තගෙන කල්පනා කරන්නේ? අපිව මරන හැටිද?"
"අනේඒඒ මීඊඊඊස්ස් මං කාට එහෙම කළත් මිස්ට එහෙම අනතුරක් වෙන්න දෙනවද? ඉතින් එහෙම තමා වාහනේ එලවන්නෙ කලබලයක් නෑනේ"
"හැබැයි කොයි වෙලාවක හරි කෝච්චියක් ඇවිල්ලා හැපිලා අපි මැරුණොත් සාන්තට තමයි අපේ දරුපවුල් බලාගන්න වෙන්නෙ ඔන්න. ඒක හරිම භයානකයි නේද" (මං මේ බොහොම කරුණාවෙන් යාප්පුවෙන් අහන්නේ මොකද මිනිහට ටිකක් ට්‍රැක් නිසා ආයෙ වාහනෙ හරවං ගිහින් මාත් එක්කම රේල්පාරේ නවත්තලා ආවොත් එහෙම!)
" දැන් මිස් වෑන් එකෙන් අයින් වෙනවද ඉතින්? අනේ මිස් එහෙම වුණොත් මං මිස්ට පේන්නම බේරේ වැවට පනිනවා! (හෑඈඈ! මොන මගුලක්ද මේ!!😳)
"පිස්සුද! ඒ මොකටද ඒ!! අනේ සාන්ත පොඩ්ඩක් කල්පනාවෙන් ඔය රේල්පාර හරහා යන්න, අපිව මරන්නේ නැතුව. අන්න එච්චරයි ඕන" කියාගෙන මම දඩිබිඩියේ වාහනෙන් බැහැගත්තා.
ඊටපස්සේ දවසක උදෙයි හවසයි දෙකේම මෙන්න මේ මනුස්සයා මාව පෙනි පෙනි දාලා ගියානේ! මං කෝල් කළාම ආන්සර් කරන්නෙත් නැහැ. පස්සෙ යාලුවෙක්ගේ ෆෝන් එක දීලා ඇයි ඇහුවම කියනවා 'මිස් පහුගිය දවස් ටිකේම මාත් එක්ක වචනයක්වත් කතා කළේ නෑනෙ. ඒක නිසා මගෙ හිත රිදුණා, මං දාලා ගියා!"ලු.🤦♀️🤷♀️
එතනින්ම ඒ වටවන්දනා ගමන නිමවුණා මිත්‍රවරුනි.
හැබැයි මං මාරක දෙකකින් බේරුණා මං හිතන්නේ😂
~✍️ Aash Weerasinghe
#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow
මෙයා මේ කෝච්චි පාර ගැන හිත හිත ඉන්න වෙලාවේ සාන්ත මිස් ට ක්‍රෂ් වෙලානේ ඉඳලා තියෙන්නේ :D
ReplyDeleteතව ඩිංගෙන් ක්‍රෂ් කරස් තමා😂😂😂 අම්මෝ මාරාන්තික ගමනක් ඒක
Deleteපාසැල් හෝ කාර්යාල වෑන් ගැන මට පුද්ගලික අත්දැකීමක් නැති වුණත් මගේ බිරිද සහ කාර්යාල හිතවතියන්ගෙන් බොහෝ කතා අහල තියෙනවා. හෙමින් සහ අමතර දුර යන එක ගැන ගැන ඇහුවමයි. සමහරු කිව්වෙ ගෙවල් වලට එන්න බැහැ ප්‍රධාන පාර හරි මංසන්ධියකට එන්න කිව්වා කියලයි. අමතක වෙලා දාල ගියපු ඒවත් එමටයි. සමහර වෙලාවට පරක්කු වෙන අයගේ නිදහසට කාරනේත් ඔෆිස් වෑන් එකම තමයි.
ReplyDeleteඔව් අනුරුද්ධ. මාත් ඒකමයි කල්පනා කළේ ඔච්චර වටවන්දනාවක් යන්නෙ මොකටද කියලා. මිනිහා ඉතින් හේතු පාඨ හැටපන්දාහක් විතර කියලා අර පාරේම යනව
Delete