මගෙ පින්තූර ගොන්නෙ අහසයි මුහුදයි බව්වොයි ඇරුණම වැඩිපුර තියෙන්නේ ගස්! සමහර ගස් පින්තූර නොගත්තත් ඇහෙන් උරාගෙන හිතේ ඇඳගන්න ඒවා. මේක මහ මෝඩ කතාවක් වගේ සමහරුන්ට දැනෙන්න පුළුවන්, ඒත් ගස් කියන්නේ මට "මහ පුදුමයක්" දනවන එක දෙයක් (අහසයි මුහුදයි ඇරුණම). එක එක හැඩේට එක එක රටාවට අතුපතර විහිදපු මහා පතාක යෝධයෝ වගේ ගස් යට මිනිස්සු කියන්නේ කොච්චර නං අඟුටුමිට්ටොද කියලා පුදුම නොවී ඉන්න මට අමාරුයි.
මුහුද ගැන කිව්වම මේ කතාවත් මතක්වුණා. ව්‍යාපාරික හමුවකට ශැන්ග්‍රීලාවේ උඩක ඉන්න වෙලාවක අනෙක් පාර්ශවයේ ප්‍රමාදය ප්‍රයෝජනයට අරගනිමින් මං මුහුදේ පින්තූර ගත්තා. ගැඹුරු නිල්පාට තලාවක් වගේ ඇහේ උපරිම වපසරිය පුරා පැතිරිච්ච මහ මුහුද එක්ක බලද්දී ලංකාවේ ලොකුම බිල්ඩිමක් වුණත් කොයිතරම් නම් ශූන්‍යත්වයට ආසන්නද, ඒක මනුෂ්‍යයන්ව කොයිතරම් නිරහංකාර කරවන අත්දැකීමක්ද (Truly how humbling is this view) කියලා කිව්වම මගේ ප්‍රධානියා අවඥාවෙන් මා දිහා බැලුවා. 😁
ඉස්සර අපේ ආත්තම්මා කියනවා සමහර ගස් දැක්කම 'අනේ මට චිත්‍ර අඳින්න පුළුවන් වුණා නං' කියලා හිතෙනවලු. ඒක ඇත්තක් කියලා තේරුණේ මට ඉන් සෑහෙන්න කාලයකට පස්සෙ. සමහර කලාපීය ලක්ෂණ පෙන්වන ලස්සන ගස් තියෙනවා. අතුපතර විහිදපු යෝධ ගස් ලෝකෙන්ම හැංගිලා ඒත් අවුරුදු ගාණක ලෝක විපර්යාස බලාගෙන ඉන්න ඇති. එකම වර්ගයේ ගස් වුණත් වැවෙන හැදෙන හැඩ වෙනස්.
එහෙම ගහක් යට වාඩිවෙලා නිහඬ සංවාදයක් කරන්න තරම් ඉවසීමක්වත් ඉසිඹුවක්වත් අපිට ලැබෙයිද? මං හිතන්නේ එහෙම මිනිස් සංවාද අහන්න ලැබෙන, ඇත්තටම කිව්වොත් මිනිස් සංවාදයි සිතුවිලි තරංගවලිනුයි වැඩිපුරම පීඩාවට පත්වෙනවා ඇත්තේ බෝ ගස්! බෝගස් කොයිතරම් නම් මනුෂ්‍ය සිතුවිලි කන්දරාවක් දරාගන්නවා ඇතිද කියලා හිතෙන්න නං බෝගහක් ළග තනියම ඉඳලා බලන්න ඕන. මිනිස්සු කතා කරන වචන, ඒ මදිවාට ඒ වචන කතා කරන අස්සේ පසුබිමේ දුවන අන්නත අපරිමාණ දයාපරවශ, ඊර්ෂ්‍යාපරවශ, කරුණාපරවශ, ක්‍රෝධපරවශ, වේදනාපරවශ සංකීර්ණ සිතුවිලි ගංගාව දරාගන්න එකම බෝ ගහකට මහ බරක් වගේ දැනෙන්නේ නැතුව ඇතිද. තමන්ගෙන් කරන ඉල්ලීම්, කන්නලව්, ප්‍රාර්ථනා, දුක් අඳෝනා දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉඳීමම වෙහෙසකර නැති වෙන්න බැහැනෙ. මොහොතකට මට හිතුණා දැන හෝ නොදැන ගහක් වුණත් එහෙම පීඩාවට පත් කරන එක වරදක් කියලා. අනෙක් අතට අපි අපේ දුක්ඛ දෝමනස්ස ඔහේ විශ්වයට අතෑරලා සැහැල්ලු වෙන්න කරන උත්සාහයන් විනිශ්චය කරන්න පුළුවන් තැනක පෘථග්ජන මං නැහැ නේද කියන සිහි කැඳවීමත් ඒ එක්කම ආවා. ඒ මොකවුණත්, මනුෂ්‍යයෙක් හැටියට මගේ සිතුවිලි කන්දරාවෙන් කිසිම ගහක් පීඩාවට පත් නොකරන්න මං හිතුවා. පුළුවන් තරම් නිශ්ශබ්ද නිශ්චල සංවාදයක් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒක කොයිතරම් කාලෙකටද කියලා මම තාම දන්නේ නෑ.
බලමු 😊
~ තනියා
Aash Weerasinghe
#AW #thaniya #medusa #medusasjournal #lka
No comments:
Post a Comment