කතා පෙට්ටගමේ සමහර කතන්දර නොකී-නොලී ඒවා. සමහර ඒවා කියන්න-ලියන්න කලින් සෑහෙන්න හිතන්න ඕන ඒවා. සමහර ඒවා මං යද්දි අරං යන ඒවා.
මේක ටික කාලෙකට කලින් සිද්ධ වෙච්ච දෙයක්. ඒත් අලුයට ගිනිපුපුරක්. අලු පිහිනවද නැද්ද කියලා හිතමින් ඉඳලා ඔන්නොහෙ කමක් නෑ කියලා ලියනවා.
මොන තරාතිරමක හිටියත්, ළමයි හෙන වාතයිනේ, උං කෑගහනවා අඬනවා, කක්කා දානවා කියන ගෑණුන්ට පවා එක්තරා මොහොතක දරුවෙක් හැදීමේ ස්වාභාවික හීනය පේන්න පටන් ගන්නවා. ඕන චණ්ඩියෙකුට, 'අනේ දෙවියනේ මං පරක්කු වැඩියිද' කියලා එතෙක් කල් පේන පැත්ත පළාතක නොතිබ්බ බයක් ලෝකේ පෙරළගෙන හිතට එනවා. මේ කියන මොහොතේ මාත් හිටියේ ඒ බය දැනිලා.
අපි හවසක කයියක් ගහගෙන කන්න තැනකට යමින් හිටියේ. සාමාන්‍යයෙන් මට වඩා (වයසින්) පරිණත මිතුරියන් කීපදෙනෙක් එක්ක. ඔහොම වාහනේ ඇතුළේ පිස්සු කරමින් හිනාවෙමින් ඉන්න වෙලාවක මගෙ මේ බොහොම බෑරෑරුම් ප්‍රශ්නෙ එළියට පැන්නා.
"මං eggs freeze කරන්න ඕන. කවදහරි දවසක මට හිතුණොත් අපරාදේ දරුවෙක් හැදුවෙ නැත්තේ කියලා" ඌණපූරණයක් එක්කම මං මගේ ප්‍රශ්නේ වාහනේ බිමට අතෑරියා.
"පිස්සුද උඹ වගේ තව එකෙක් මේ ලෝකෙට ගේන්න!" කියලා එක කටකින් පනින පරක්කුවට මං තිගැස්සුණා. ඒක මහ බෝතල් කටු කතාවක්. වෙන වෙලාවක නං" අනේ මේ, හිට්ලර්ලා තමයි මේ ලෝකෙට ඕන" කියලා අනිත් අතට පොළොං පැනිල්ලක් පනින්න ඉඩ තිබ්බත් ඒ වෙලාවේ මං නිශ්ශබ්දව මගේ මෝඩකම ගැන තැවෙමින් ප්‍රශ්නෙ අහුලලා මල්ලෙ ඔබාගත්තා.
අපි ආයෙත් සාමාන්‍ය විහිළු කතාවට හැරුණා. මගෙ ප්‍රශ්නෙට ප්‍රශ්නෙකින් උත්තර දීපූ යාලුවා එක්ක මූණට මූණ බලාගෙන වාඩිවෙලා අපි කෑවා, බිව්වා, හිනාවුණා, වෙනදා වගේම පිංතූර ගත්තා. මූණේ ඉරියව්වකින්වත් වෙනසක් නොපෙන්නා කොයිතරම් සාමාන්‍ය විදිහට හිටියත් ඒ මුලු වෙලාවෙම ඒ බෝතල් කට්ට මගෙ හිත කපකපා ඇමිණිලා තිබ්බා. නෑ, කොහොමත් ටිකක් කට පාලනයක් නැති හින්දා කියන්න ඇත්තේ කියලා කිසි පැකිලීමක් නැතුවම මං සැකයේ වාසිය පිතිකරුට දුන්නා.
හැබැයි ඒ කැපිච්ච තුවාලෙ තාම තියෙනවා. එහෙමයි කියලා තරහක් වෙනස්වීමක් නෑ. සමහරවිට ඒක දැනෙන්න හේතුව සමාජ පීඩනය වෙන්නත් පුළුවන්. සමාජය හදං ඉන්න ස්ටීරියෝටයිප් අතික්‍රමණය කරලා උඩුගං යද්දි ජීව-ඔරලෝසුවල කටු කැරකෙන එක නතරවෙන්නෙ නෑනේ. උඩුගං යන යටිගං යන හැමෝටම එකම වේගෙන් ඒ කටු කැරකෙනවා.
අනෙක් අතට කොහේ ගියත් නිරන්තරයෙන් ළමයි ආසක්තවෙන ජීවියෙක් හැටියට මේ බෝතල් කට්ට මට ටිකක් වැඩිපුර දැනෙනවා ඇති. ඕනෑම තරාතිරමක ඕනෑම දරුවෙකුට ආදරය දෙන්න පුළුවන් තරම්, සතෙක් වුණත් දරුවෙක් වගේ ආදරෙන් හදන මව්ගුණයක් එක්ක ඉපදිලා ඒකම ලොකුම අහිමිවීමක් වෙන එක තරම් පාපයක් තවත් තියෙන්න පුළුවන් ද.
ඕවා ඉතින් කිව්වට කරන්න හොයන්න බලන්න වුණේ නෑ ඊට ටික කාලෙකට පස්සෙ තව හිතවතෙක් ඔය ගැන කියනකල්. තාමත් එහෙමයි, ඒත් කව්රු හරි ඒ ගැන අදහසක් තියෙනවා නම් ඒ ගැන බලන්න පොඩි තල්ලුවක් හැටියට ලැජ්ජාව පැත්තක තියලා මං මේ කතාව ලිව්වේ. තාක්ෂණය දවසින් දවස දියුණු වෙනවා තමයි. ඒත් අද කළ යුතු දේ අද කළාට කමක් නෑ. ලොකු වියදමක් නම් තමයි. ඒත් පසුතැවිල්ලකට වඩා දැන් ඒක දරා ගන්න එක හොඳ වෙන්නත් පුළුවන්.
සමහරවෙලාවට ගෑණුන්ට බෝතල් කටුවලින් අනින්න පුළුවන් ගෑණුන්ටමයි. එහෙම බෝතල් කටු ගෑණු නොවී හිටියොත් අඩුම ගානේ තව ගෑණියෙක්ට බයක් සැකක් තැවිල්ලක් නැතුව තමන්ගේ ගෝත්‍රයේ එකියකට විවෘත වෙන්න පුළුවන් වෙයි. ඒකම කොච්චර ලොකු සැනසීමක් ද කියලා තමන්ගෙ හිතින්ම අහලා බලන්නකො☺️ ඒ ඇති🙏
~ Aash Weerasinghe
#AW #thaniya #medusa #medusasjournal #lka
හුඟක් වෙලාවට අපට ඈතින් සිටින කෙනෙක් කියන ඇනුම්පදයකට වැඩිය ළඟින්ම ඉන්න කෙනෙකුගෙන් කියවෙන පුංචි ඇනුමක් තදට දැනෙනවා. වඩාත්ම දැනෙන දෙය තමයි මේක ඇත්තටම කිව්වද විහිළුවක් ද කළේ කියලා හිතාගන්න බැරි එක.
ReplyDeleteA hug to you Aash. Here is something I try to live by. It is part of a prayer, but not being religious, I just use it as a bit of wisdom
ReplyDelete"Grant me the serenity to accept the things I cannot change, the courage to change the things I can, and the wisdom to know the difference'
සමහර ප්‍රශ්න වලට උත්තර එන්න ඕන තමන්ගෙන්මයි. ඒවාට වෙන අයගෙන් උත්තර හෙව්වොත් ලැබෙන්නේ වීදුරු කටු වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වීදුරු කටු ගේන අය ජීවිතේ තියාගන්නවාද නැද්ද කියලා තීරණය කරන්න පුළුවනුත් තමන්ට තමයි. සමහර යාළුවො උඩ බිම නොබලා විහිලු කරනවා, ඒවායින් රිදෙන බව නොදැන. ඒ යාලුවා එක්ක තනියම පොඩි කතාවක් දාලා මෙහෙම දේකින් මගේ හිත රිදුණා කියලා කිව්වොත් සමහරවිට එයාට ඒ කතාව මතකවත් නැතිවෙන්න පුළුවන්.
බොහෝ වෙලාවට බෝතල් කටු ලෙසින් ඇනී හිත් රිදවන්නෙ නොහිතා කියන වචන. ඒ නිසාම තමයි අපි කටින් පිටවෙන වචන නිස්සද්දතාවට වඩා ලස්සනද කියන එක ගැන සවිඥානක වෙන්න ඕන!
ReplyDeleteනීලා වික්‍රමසිංහගේ ගීතයක් මතක් වුනා ... ඒ ගීතය බර වැඩයි මෙතැනට
ReplyDeleteරුදු වදන් කටු ඇනී හීරුණු සමණල තටු වල....
ReplyDeleteමුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක...
ඈත් වෙන්න ඕන තැන් වලින් ඈත් නොවී ඉන්නෙකම බරක්. බෝතල් කටු කතාවට වුණත් මට කියන්න තියෙන්නෙ එච්චරයි.
අපි අපිමයි නේ.. ඒක වෙනස් වෙන්නෑනේ. ඉතිං අනුන්ගෙන් අපි කවුද කියල් හොයන්න ගියාම අපිට හම්බෙන්නෙ බෝතල් කටු උත්තර 😓😓
මම සමහර වෙලාවට නොහිතා එහෙම කතා කෙලින්ම කියන අවස්ථා තියනවා. ලියන අවස්ථාත් තියනවා. මට තරමක්දුරට ඔටිසම් සහ ADHD තිබුන නිසා - තියෙන නිසා වෙන්නත් පුළුවන් එහෙම වෙන්නේ. එයාගේ පැත්තෙනුත් හිතන්න. කටට එන දෙයක් කීව වෙන් පුළුවන්. පිරිමි අතරේ නම් ඕවගේ දේවල් හරියට කියවෙනවා. අපි ගණන් ගන්නේ නැහැ.
ReplyDeleteඔයාට එහම egg freeze කරන්න හිතෙනවනම් කරන්න. ඒක හොඳ lovely අදහසක්. මම දරුවන්ට පට්ට ආදරෙයි. ජේමිස් බණ්ඩා එක්ක තරහත් ඒකයි . 😀
අපි කාගෙත් යම් තරමක අන්තර්වර්තික (Introvert) ගතිගුණ තියනවා නේ ද?
ReplyDeleteමාව හැමදාම පුදුම කරවන දෙයක් තමයි මේ කෙනෙක්ගේ වචනයක්, කිසිම කෙනිත්තිල්ලක්, සීරිල්ලක්, පහර දීමක්, වෙඩි තැබිල්ලක් මුකුත්ම නැතුව, සමහර විට බොහෝම සාවධානව නිසංසලේ කියපු වචනයක් නිසා, හැදෙන, අතින් අල්ලන්න බැරි, බෙහෙත් දාන්න, ප්ලාස්ටර් අලවන්න, තීන්ත ගාල වහන්න බැරි තුවාල.....!
ඔය වගේ බොතල් කටු මගේ හිතෙත් සැහෙන්න ඇනිල තියනවා. පුදුමේ කියන්නේ ඒවා කවදාවත් ගැලවෙන්නේ න. සැරින් සැරේ පැරේනවා
ReplyDelete