Sunday, July 7, 2024

ලලයි ලිලයි ලයි - පසු සටහනක්

මාසෙකට විතර කලින් ලලයි ලිලයි ලයි ගැන සිනමාවේදීන් සමූහයට ලිව්වා.
https://www.facebook.com/share/p/9Yu66hWrPWFBoB4B/?mibextid=K35XfP
ඒ කතාවේ vibe එකට කැමැත්තක් ඇතිවුණ හින්දා. දැන් සීසන් 1 ඉවරවෙලා සීසන් 2ත් පටන් අරන් තියෙන වෙලාවේ එදා ලිව්වෙ නැති වෙනමම පැතිකඩක් ගැන ලියන්න හිතුණා. 

නිර්මාණයට පසුබිම් වෙන්නෙ නොනිල වශයෙන් අපි හැමෝම හිරේ විලංගුවේ වට්ටපු, එක්ටැම් ගෙවල්වලට හිර කෙරුණු කොවිඩ් වසංගත සමයනෙ. ඇත්තටම කොවිඩ් කාලෙ අපිට මොකද වුණේ? සාමාන්‍ය දින චරියාව සම්පූර්ණයෙන්ම කණපිට ගැහුණානෙ අපි හැමෝගෙම. 
ගෙවල් දොරවල් හදාගෙන ඒවයෙ මකුළුදැලක් කඩන්න වෙලාවක් නෑ කිව්ව මිනිස්සුන්ට ගෙවල් දොරවල් එපා වෙන තරමට කාලයක් ගෙදර ඉන්න වුණා. හැමදාම පාන්දර රස්සාවට දුවලා නැහිල නැහිලා රෑ ජාමේ ගෙදර එනවා කියලා හූල්ලපු මිනිස්සුන්ට ගේට්ටුව ලඟට ඇරෙන්න කොහෙටවත්ම නොයා ගෙදර ඉන්න සිද්ද වුණා. දරුපවුල් එක්ක කාලය ගතකරන්න වෙලාවක් ඉසිඹුවක් නෑ කියල වැලපුණු මිනිස්සුන්ට නයි මුගටි වගේ වෙන තරමට පවුල එක්ක ජීවත් වෙන්න කාලය ලැබුණා. හැමදේකම සුපිරිම දේවල් හෙව්ව මිනිස්සුන්ටත් එළවළු, මාලු, පාන් වෑන් එනකල් බලන් ඉඳලා ලැබෙන දෙයක් කාලා තියෙන දෙයක් අරන් ජීවත් වෙන්න සිද්ද වුණා. ජේත්තුවට ඇඳපැළඳගෙන වාහනවලින් එළියට බැහැපු මිනිස්සුන්ට කලිසම් කොටෙයි ටීෂර්ට් එකයි ඇඳගෙන ජේත්තුවට ඇඳපු ඇඳුම් පැලඳුම් අල්මාරි මුල්ලකට කරගෙන නවත්තපු වාහන දවස් කීපෙකට සැරයක් ස්ටාට් කරලා නැගලා බලලා හූල්ල හූල්ල ඉන්න සිද්ද වුණා. අනන්ත වැඩ රාජකාරිවලට ඔළුව වෙහෙසලා මොළෙන් වැඩගත්ත මිනිස්සුන්ට මොළේ අධික්‍රියාකාරීත්වය මන්දගාමී වෙන එක දරාගන්න බැරිවුණා. නිදහස් කුරුල්ලො වගේ හිතුණු වෙලාවක එළියට බැහැලා යාළුවො මුණගැහිලා හිටිය සමාජ ආශ්‍රය සීමිතවීම හැමෝටම දැනෙන්න ගත්තා. විවේකයයි නිස්කලංකෙයි වහකදුරු වෙන්න ගත්තා. සම්බන්ධකම් දුරස් වුණා, ආදරේ ඈත්වුණා. සමහර ආදර කතාවලට වැරදුණා. සමහරුන්ට හරි ගියා (උදාර කුමාරයට, රවීන්ට, ජිම්ට, තනුෂ්කාට, රන්සරණිට, සුකුමාලට, රාධිකාට, මහසෙන්ට වගේම)
දවසේ කුලීවැඩක් කරලා රෝල ගහලා දිව්වොත් විතරක් හරි හම්බ කරගත්ත මිනිස්සුන්ට එක වේලකින් ඊලඟ වේලට මොකද කරන්නෙ කියලා හිතලම මහන්සි දැනුණා. දිවි නසාගන්න තැනට වැටුණා. 
තව නානාප්‍රකාර සමාජීය ගැටලු ගොඩක් ඇතිවුණා. සේරම කියන්න ගියොත් ලැයිස්තුව දිගයි.

එතකොට තිබ්බේ කායිකව විඳවන වසංගතයක් විතරක්ම නෙවෙයි. මේ හෙණ ගැහුවා වගේ වෙච්ච හිරවීම ඇතුළේ මුළු ලෝකෙම වෙලාගත්ත මානසික වසංගතයකුත් තිබ්බා. ඉච්ඡභංගත්වය, ආතතිය, විශාදය වගේ මහ සංකූලතා ගොඩක් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ම බොහෝදෙනෙක් තුළ ඇතිවුණා. ඒ වගේ වෙලාවක ධනුෂ්ක වගේ තරුණ මනසකට ඒ වගෙ බලපෑමක් අනිවාර්‍යෙන්ම වෙන්න පුළුවන්. කතන්දරේ වැදගත්කම මෑතකාලීනව මානසික සෞඛ්‍යය කියන දේ ගැන එක එක කතිකාවත් ඇතිවුණත් මානසික ලෙඩක් හෝ ලෙඩෙක් කියන එක තාම අපේ සමාජයට අවරගණයේ කාරණාවක්, ලැජ්ජාවට හේතුවක්, හංගන්න ඕන දෙයක් මිසක් කොලෙස්ටරෝල්, හයිබ්ලඩ් ප්‍රෙෂර්, ඩයබිටික් වගේ යනයන තැන පම්පෝරි ගහන්න හේතුවෙන පොෂ් ලෙඩක් නොවීම. එහෙව් කාරණාවක් ගැන නිර්මාණයක් තුළින් මෙච්චර සාර්ථකව කතා කිරීම අතින් නම් ලලයි ලිලයි ලයි දිනලා ඉවරයි. 

හැබැයි අද වගේ පරම්පරාවක ධනුෂ්ක දඹගොල්ල වගේ කියවීමක් තියෙන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද කියන එක නම් සැක සහිතයි. ඒකයි මම කලින් ලිපියේ කිව්වේ අද පරම්පරාවෙ එකෙක් වුණාට උදාර කුමරුවගේ කටින් එන්නෙ අපේ පරම්පරාවක එකෙක්ගෙ කතා කියලා. ඒක රචකයගේ දක්ෂකම! අනෙක් අතට මේ චරිතය හින්දා අනේ එහෙම උන් බිහිවෙනවා නම් කියලා ෆැන්ටසිමය බලාපොරොත්තුවක් අපි තුළ ඇතිවෙනවා. අඩුමගානේ මේ චරිතෙට ආසාවක් ඇතිවෙලා හරි ටික්ටොක්වල ලෝකෙට විහිළු සපයන්නෙ නැතුව, කියවන්න (පොත්පත්, සාහිත්‍යය), තමන්ගෙ නිර්මාණශීලිත්වයන් අඳුනගන්න, නිර්මාණශීලිත්වයන් වැඩිදියුණු කරගන්න කාටහරිම හිතුණොත් නිර්මාණය ආයෙත් වතාවක් දිනුම්. අපිට එහෙම උන් දැකීමේ දොළදුකක් තියෙනවා, මේ නිර්මාණයේ රචකයට සහ අධ්‍යක්ෂකටත් එහෙම වෙන්න ඇති සමහරවිට. 

මිනිස්සු මානසික ලෙඩවලට බයයි. ඒක නිසා හැංගෙනවා. අතාරිනවා. හැබැයි රදළ පරම්පරා දෙකක අන්තිම පුරුක වෙච්ච උදාර කුමාරයගේ පවුල සහ යාළු මිත්‍රයො එයාව අතාරින්නෙ නෑ. සාමාන්‍යයෙන් හිත්පිත් නෑ කියන රදළයන්ටත් සංවේදී තැන් තියෙනවා කියලා උදාර කුමාරයම එක තැනක කියනවා. හැබැයි සාමාන්‍ය මිනිස්සු එහෙමද? මිලා පිස්සෙක් හින්දා තමන්ට අනුකම්පා කරනවා කියලා පහුගිය කොටසක ධනුෂ්ක කියනවා. අනුකම්පාවයි ආදරෙයි වෙනස් තේරුම් ගන්න තරම් මොළයක් තියෙන ධනුෂ්ක පිස්සෙක් කියලා හංවඩු ගැහුවා නම්, එච්චර නිර්මාණශීලිව හිතන්න පුළුවන් තලයක ඉන්න ඒ වගෙ මිනිස්සු කීදෙනෙක් අපි පිස්සො කියලා හංවඩු ගහලා ඇතිද? ඇනිකට් එක උඩ මිලාගෙයි ධනුෂ්කගෙයි අන්තිමට විකාශය වෙච්ච සංවාදය අපිට හිතන්න ගොඩක් දේවල් ඉතිරිකරනවා. ධනුෂ්කට තමන්ගේ තරුණ ජවය සහ නිර්මාණශීලිත්වය යොමුකරන්න focal point එකක් හොයාගන්න බැරුව ඉන්නෙ. මිලා ඒක අඳුනගන්නවා. ධනුෂ්කට ඒක ආදරෙන් බැඳෙන්න කාරණාවක්, තමන්ව තේරුම්ගන්න පුළුවන් වෙච්ච එකම මිලාව දේවදූතියක් කරගන්න හේතුවක්. ආදරේ කොයිවෙලේ කොහොම ඇතිවෙනවද කියලා නොදන්න ත්‍රස්තවාදයක්. උදාර කුමාරයත් ඒකෙ ගොදුරක්. මානසික ලෙඩෙක් කිව්වත් ධනුෂ්කට තමුන් ගැන කියවීමක්, අවබෝධයක් (self awareness) තියෙනවා. ඒත් නිරෝගි කියන මිලාට එයාගෙ සිතුවිලි, හැඟීම් ගැන නිශ්චිත අවබෝධයක් නෑ කියලා හිතෙනවා. එතකොට අර වගේ මනුස්සයෙක් තවත් ආගාධයට වැටෙනවා ඒ පැටළුම ලිහන්න උත්සහා කරමින්. මනුස්ස සම්බන්ධතා හරිම සංකීර්ණයි, ලස්සනයි, දුකයි, සැනසීමයි. හරියට තේරුම් ගන්න පුළුවන් වෙච්ච දවසක. 

කතන්දරේ කොහොමවෙයිද කියලා බලන් ඉන්නවා. නිර්මාණයට දායක වුණ/ වෙන හැමෝටම සුභ පැතුම්.
ගුණේ නැති අඩුව නම් ප්‍රේක්ෂක අපටත් දැනෙනවා. යහපත් මනුෂ්‍ය ආත්මයක් ලබා ධර්මය අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට ලැබේවා කියලා ගුණේට ප්‍රාර්ථනා කරනවා.

~ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal

No comments:

Post a Comment