Tuesday, October 25, 2022

ප්‍රතිලෝමව සමානුපාතිකයි!

ධනය ඇති තැන මොළය නැත, 
මොළය ඇති තැන බලය නැත, 
ධනයද බලයද දෙකම ඇති තැන මොළයද මිනිස්කමද යන දෙකම නැත!

බහුතර අලුත් සල්ලිකාරයන්ට සහ ඔවුන්ගේ ඊළඟ පරම්පරාවටමොළේ  නෑ, මනුස්සකමත් නෑ, සල්ලාලකමයි බේබදුකමයි තකතීරුකමයි තමයි තියෙන්නේ. ඕක තමයි ලංකාවේ සාමාන්‍ය තත්ත්වය. ඉතාමත්ම කලාතුරකින් එහෙම නොවිච්ච තැන් තියෙනවා, ඒ සමහරවිට පවුලේ හැදියාව අනුව. ලංකාවේ ඕනතරම් උදාහරණ තියෙනවා.

ලංකා සමාජයේ බහුතරය දුවන්නේ සල්ලි දිහා බලාගෙන. බුද්ධිමත්කම දිහා බලන් දුවන්නේ දේශපාලනේදී වාසිගන්න හදන විකල්ප බලවේග විතරයි, ඒකත් නමට! 😅
එතකොට සල්ලි නැතත් තියෙන බව නොපෙන්නුවොත් සමාජෙන් කොන්වෙන නිසා සකල ශ්‍රී ලාංකිකයාට ඕන සුද්දෙක්ගේ වැසිකිළි කැසිකිළි හෝදලා හරි සල්ලි ඇතිබව පෙන්වන්න! නැත්නම් කුඩු විකුණලා, හොර අරක්කු පෙරලා, සූදූ පිටි/බූරු පිටි කරවලා, ගණිකා නිවාස කරවලා හරි සල්ලි හොයන්න! තියෙන බව රඟදක්වන්න. ඒ වගේ සමහර නයි කතා අහන් ඉන්නකොට මුචලින්දලාගේ කිරිකිත්තලත් පරාදවෙලා පෙනේ පාත් කරගෙන හැංගෙනවා, කැළණි ගඟේ😅 ඒ සල්ලි ආවේ කොහොමද, ඒවා කලුද සුදුද කියලා කිසිම කෙනෙක් හොයන්නේ නෑ. මොකද සල්ලි පස්සෙ නිරායාසයෙන්ම බලයක් අපේ සමාජයම හදලා දීලා තියෙනවා. 

මිනිසුන්ට අමතක වෙන දෙයක් තමයි බලෙන් පුම්බලා පෙන්නන්න හදන හුගක් දේවල් ඇත්තටම නැතිබව. ඒ එක්කම මුල පටන් තිබ්බ මිනිසුන්ට ඒක අතිශය සාමාන්‍යකරණය වෙලා විශේෂයෙන් කියන්න, රඟන්න, නටන්න අවශ්‍යතාවක් නැතිවෙන බව. අනෙක සල්ලිවලට වැදගත්කම ගන්න බැරිබව. 

දැන් මේ යාලට පැනලා ඩෙගා නටපු පිරිසෙත් මට පේන්නේ ඔය සංසිද්ධියම තමයි. ලංකාවේ ධනය, බලය එක්ක මුග්ධකම අනුලෝමව සමානුපාතිකයි. වාහන භාවිතාව ඒකේ එක කියැවීමක් (parameter එකක්). නිකමට තමන්ගේ අත්දැකීම්වලින් බලන්න. නන්නත්තාර වෙලා හිටපු මනුස්සයෙක්ට එක සැරේ සල්ලි ලැබෙනවා. එතකොට ඒ මනුස්සයා ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? ඉගෙනගෙන නැත්නම් ඉගෙනීමක් කරන්න පටන්ගන්න එකද නැත්නම් වාහනයක් ගන්න එකද? ලංකාවේ වාහන මාකට් එකේ පර්යේෂණයක් කරලා බැලුවා නං අධිසුඛෝපභෝගී වාහන සමහරක්, ජනප්‍රියවම Prado, Montero, Range Rover, Defender ගන්න පාරිභෝගිකයන්ගේ පසුබිම ගැන, මේ කතාව තහවුරු කරගන්න පුළුවන් වෙයි. Jeep/SUV වර්ගයට පට්ට ආස මිනිස්සු ඉන්නවා, ඒක passion එකක් කරගත්ත මිනිස්සු ඉන්නවා. මේ කතා කරන්නේ ඒ අතලොස්ස ගැන නෙවෙයි. වාහනෙන් හැකියාව, තරාතිරම පෙන්නන්න පුළුවන් කියලා අන්ධ විශ්වාසයකින් සහ ආකල්පයකින් වාහන ගන්න මිනිස්සු බහුතරය ගැන. නිකමට ඔය විලාසිතා මන්දිර, සුපිරි වෙළෙඳසල් වගේ තැන්වල වාහන නැවතුමක් නිරීක්ෂණය කරන්න. බොහෝ අවස්ථාවල වාහනය දැක්කම හිමිකරු සහ මගීන් ගැන කරන උපකල්පන හරියටම හරියන අවස්ථා තියෙනවා. ලංකාවේ අපි අපිට හැංගිලා ගැහුවට මූණට මූණ අභියෝග කරන්න එහෙම බය ජනසමාජයක් නිසා ඔය වගේ පර්යේෂණ කරලා නැතුව ඇති. ඔන්න සමාජ විද්‍යාර්ථීන්ට කරනවා නං කරන්න වැඩක්😉

හරි ඒ කතන්දරේ පැත්තක තියමුකෝ. 
දැන් මේ වාහන 35 කාගේද? නීති කඩාගෙන කඩාගෙන ගිහින් නීතියේ දෙවඟනට වස්ත්‍ර ඉල්ලේ කරන්න තරම් හයිකාරයෝ නැතිකරපු, ගිනිතියපු, මරපු, ගෙදර යවපු රටේ මේ කව්ද මොනවද කරන්නේ? නම්ගම්, හැඳුනුම්පත් අංක, වාහන අංක තියෙනවා නම් ඇයි ඒවා මාධ්‍යවලින් ප්‍රසිද්ධ නොකෙරෙන්නේ, ප්‍රියමාලිගේ ලැයිස්තුවකුත් සංසරණය වෙච්ච සමාජ මාධ්‍යවලත් තාම නම් නෑ මේ ලැයිස්තුව. ඇයි? 
වනජීවීන් සංරක්ෂණය, පරිසර සංරක්ෂණය ගැන දැඩි උනන්දුවක් දක්වපු/දක්වන ඔක්සිජන් දේශපාලන බලවේගත් තාම නිහඬයි. ඇයි?
කාගෙ හුණුද මේ කිල්ලෝටේ ඇත්තේ? 
මේකත් නිකංම යටපත් වෙලා යාවිද? 
යාල එක්ක ආත්මයෙන්ම බැඳිච්ච සජිත් ප්‍රේමදාසත් නිශ්ශබ්දයි. ඇයි? 
මේකත් රාජපක්ෂලාගේ වැඩක්ද? එහෙනම් අරගලය අසාර්ථක වුණාද? 

එතකොට යාලට සරණක් ඇත්තටම නැද්ද? 
 
~✒️ Aash Weerasinghe

#justiceforyala #lka

https://youtu.be/ZgYIFcLuma4

4 comments:

  1. Replies
    1. අන්න අර බැලුම්ගල පෝස්ට් එකේ කමෙන්ට්ස් බැලුවනං කොච්චර ක්ලාසි ඩයල් ටිකක්ද කියලා බලාගන්න පුළුවන්. යාලුවො යාලුවො ටැග් කරගෙනත් එක්ක එච්චර ඇඟ පුරාම මොළේ😅

      Delete
  2. මේ වගේ දේවල් හිතන එක මනසට පීඩාකාරි නැත්ද? අපිට පාලනයක් නැති දේවල් වෙනස්කරන්න හිතන එක/හදන එක මටනම් හරිම අමාරුයි. ඒ වෙනුවට සමාජයේ අමාරුවෙන් ඉන්න කෙනෙකුට හැකි පමණින් පිහිටක් වෙන එක සිතට හරිම සැනසිලිදායකයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. අපි හැමෝම පාලනයක් නැති දේවල් වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැද්ද? කරලම නැද්ද? 😉
      මේක එහෙම උත්සහයකට වඩා විවේචනයක් සිදුවූ දේ ගැන. සිදුවීම අසාධාරණයක් කතා කළ නොහැකි කොටසකට. ඒ නිසා. කතා කරන්න පුළුවන් අය වෙනුවෙන් විවේචන කිරීම නවත්තලා තියෙන්නේ. ඒවා ගැන දැන් හොයන්නෙවත් නෑ😁

      Delete