(2024 දෙසැම්බර් 26 දින සිනමාවේදීන් සහ භාරත සිනමා රසික සංසදය සමූහයන්ට)
අපිට පේන, ඇහෙන, දැනෙන හැමදේම ඇත්ත නෙවෙයි. ලෝකයට විනිශ්චය කරන්න බැරි සංකීර්ණ කතා ගොඩක් සමහර එළියට පේන එක සිද්ධියක් ඇතුළෙ හැංගිලා තියෙන්න පුළුවන්. මිනිස්සුන්ට පුළුවන් මායාවල් මවන්න, මායාවල් කරන්න, ඒ වගේම මායාවල් මවාගෙන ජීවත්වෙන්න, හොඳට හෝ නරකට.
'දෝ පත්ති' නිවුන් සහෝදරියො දෙන්නෙක්ගෙ කතාවක්. ඉන්දියාව කියන්නෙ විශාල වෛවර්ණ සංස්කෘතියක්. ඒක අස්සේ මනුස්ස ප්‍රශ්න හැටපන් කෝටියක් විතර තියෙනවා. ස්ත්‍රීමූලික සමාජීය ප්‍රශ්න ඒකෙන් එකක් හෝ කීපයක්. විශේෂයෙන්ම ඉන්දියානු සමාජයේ අගතියට පත් කාන්තාව කියන්නෙ අරාබි නිසොල්ලාසය වගේ කතා එකතුවක්.
සුනිල් ආරියරත්න ලියලා නන්දා මාලිනි ගැයුවට 'ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය' නැති බව මිනිස්සුන්ට තේරෙන්න කාලයක් යන්න පුලුවන්. සමහර මිනිස්සුන්ට වැදගත් ආදරෙ, සමහර මිනිස්සුන්ට වැදගත් රාගය වෙන්න පුළුවන්. එකම හැඩේ නිවුන්නු දෙන්නෙක් අතරෙ වුණත් එහෙම බරපතල හැඟීම් වෙනසක් තියෙන්න පුළුවන්. ඔය දෙක අතර දෝලනය වෙලා ව්‍යාකූලත්වයක ඉන්න පුරුෂයෙක්ට හෝ ගැහැණියකට බැඳෙනවා කියන එකම මහා විශාල රතු කොඩියක්. සමහරවිට ඒක මානසික, වාචික හිංසනයක ඉඳලා ප්‍රචණ්ඩත්වයකින් ඉවරවෙන කතාවක් වෙන්න පුළුවන්.
සෞම්‍ය සෞම්‍යයාට වෙන්නේ ඒකයි.
සෞම්‍ය වුණත් මුරණ්ඩු වෙන්න පුළුවන් ගෑණුන්ට, ආදරේදි.
ආදරේ වරදවා කියවගෙන ඒක මත්තෙම නැහීගෙන එල්ලීගෙන සෞම්‍යා කාට මොකක් ඔප්පු කරන්න හදනවද කියලා ප්‍රේක්ෂකයාට හිතෙනවා.
තමන්ට අනවශ්‍ය තැනක තරඟකාරියෙක් වෙලා ශෛලී මොන බම්බුවක් කරනවද කියලා හිතෙන්නත් පුළුවන්.
ජීවිතේ විඳලා විඳලා නටන්න තියෙන හැම මගුලම නැටුවට විවාහයේදී අධි-සංවර, ඔලුව පාත් කරගත්ත, බයපක්ෂපාතී, සුවච කීකරු දාස භාර්‍යාවක් සෙවීමේ ආසියාතික (මූලිකවම ඉන්දියානු) පුරුෂ මානසිකත්වය දෲව්ගෙන් දකින්න ලැබෙනවා. කමක් නෑ, එහෙම භාර්‍යාවක් එක්ක හරි ආදරෙන් සමගියෙන් ඉන්න පුළුවන් නම් පෙර වැරදි අමතක කරන්න පුළුවන් වෙයි. ඒත් ඒ දාස භාර්‍යාවට සිද්ධ වෙනවා නම් stress ball එකක් හරි punching bag එකක් හරි වෙන්න? කතා කරන්නවත් නිදහසක් නැතුව, තමන්ගේ ආසාවල් හීන හැඟීම් ඔක්කොම පෙට්ටගමක දාලා වහලා ඒ පෙට්ටගම උඩ වාඩිවෙලා දුපට්ටාවෙන් හිස් වහන් දුපට්ටා කොණක් විකමින් කඳුළු හල හල විඳවන්න? මෙතනින් එහා සංකීර්ණ මනුස්ස ගනුදෙනු ගැන කතා කරන්නවත් දෙයක් නෑනෙ.
චිත්‍රපටය බොහොම සරලයි වගේ පෙනුණට අන්තිමට කියන කාරණා ටික වැදගත්. ලෝකෙම අවුරුදු 15ත් 49ත් අතර ගැහැණුන්ගෙන් තුනෙන් එකක් ආදර හෝ විවාහ සම්බන්ධතාවලදි ශාරීරික හෝ ලිංගික හිංසනයට ලක්වන බව (මානසික හිංසනය මීට වඩා සෑහෙන්න වැඩි ඇති) සහ බහුතර ගෘහස්ථ හිංසනයන් නීතිය හමුවට නොයන බව. ඒ වගේ හිංසාමය සම්බන්ධතාවල ඉඳලා එළියට එන්න තරම් නිර්භීත වෙන්නෙ අතලොස්සයි. දරුවන්, ආර්ථික ගැටළු, සමාජීය ගැටළු, ආරක්ෂාව, ලෝක ලැජ්ජාව වගේ කාරණා ගොඩක් එහෙම ගෑණුන්ව ඒ තැන්වලම හිර කරලා තියන්න හේතුවෙනවා. දික්කසාද ගැහැණු දිහා වපරැහින් බලන්නත් කාම ඇහෙන් බලන්නත් ලෝකයා දක්ෂයි. ඒ වගේම ගිනිපෙනෙලිවලින් බැට කෑමෙන් පස්සෙ කණාමැදිරියොන්ට බයවෙන එක ස්වභාවික බව දන්න ලෝකයාට පුළුවන් මායාවල් මවන්න. හැබැයි කොයිතරම් කාලෙකටද කියලා කියන්න අමාරුයි. සමහරවිට ලෝකය ආයෙමත් ඒ චක්‍රයේම යන්න පුලුවන්. මෙහෙම තැන්වලින්, පරපීඩක සම්බන්ධතා සහ විවාහයන්ගෙන් ගෑණු මුදවන්න දඟලනවට වඩා මනුෂ්‍ය සම්බන්ධතා වඩා විශ්වාසනීය, ආදරණීය සහ සුවපත් කරවන්න පියවර ගන්න එක හොඳයි. මොකද ලෝකෙ සංකීර්ණවෙලා තියෙන තරමට ගලවාගැනීමේ හමුදාවලුත් හති වැටෙන්න පුළුවන්.
චිත්‍රපටය ගැන කතා කලොත්, ඉන්ස්පෙක්ටර් විද්‍යා ජෝති වර්මාගෙ ප්‍රවිශ්ඨයේ ඉඳන්ම අධිරංගන ගතියක් දැනෙනවා. ක්‍රිටිගේ ද්විත්ව රංගනය හොඳටම හොඳයි. කතා සංකල්පය බොහොම හොඳයි. කතාව ගලායාම නම් තරමක් ඕලාරිකයි. දෲව්ගේ චරිතයට තව යමක් කළ හැකිව තිබ්බා කියාත් හිතෙනවා.
අර කලින් කිව්වා වගේ ඉන්දියානු සමාජයේ අගතියට පත් ස්ත්‍රීය කියන සංකල්පය ඇතිපදම් පට්ට ගහන නිසාමදෝ මන්දා iMDb Score එක 6.5/10. Twist එකක් තියෙන නිසා මේ විෂය ගැන උනන්දු කෙනෙක්ට බැලුවට පාඩුවක් වෙන එකකුත් නෑ.
ලෝකේ ආදරේ කියන්නෙ සීඝ්‍රයෙන් ක්ෂයවෙමින් යන හැඟීමක්. ඒ හැඟීම ඇතිවෙන තැනක් වෙලාවක් ගැන අනාවැකි කියන්න බෑ. ඉබේ ඇතිවෙලා ඉබේ ලැබෙන දෙයක් නම් බොහොම වාසනාවන්තයි. මුතු හදවනවා වගේ බලෙන් පැලකරලා හදාගන්න බැරි නිසා අගේ වැඩියි. හැබැයි, ඒක වරදවා කියවගෙන ජීවිතේම අපායක් කරගන්න අවශ්‍ය නෑ, ඒක පාර්ශ්වික ආදර වගේම ඒක පාර්ශ්වික විවාහත් වෙනුවෙන් කැපවුණා කියලා ලෝකයා කවදාවත් කාටවත් සම්මාන දෙන්නෙ නෑ, ඕනනම් අවස්ථාවක් බලලා ප්‍රයෝජන ගන්න උත්සහ කළොත් මිසක්. කවදහරි වටිනාකමක් ලැබෙයි කියලා හිතාගෙන එහෙම තැන්වල රැඳිලා විඳවන්න එපා. නිර්මාණය කොහොමවෙතත් ගන්න තියෙන පණිවිඩේ ඒකයි.
~ Aash Weerasinghe
සරල ඉන්දියානු චිත්‍රපටයක උනත් තියන ලක්ෂණයක් තමයි සමාජයට වැදගත් සමාජයීය ප්‍රශ්නයක් කතාව තුළින් ඉදිරිපත් කිරීම
ReplyDelete