Wednesday, July 20, 2022

පොලිටිකල් ගේම් ද? කලටිපොල් ගේම්ද?

එදා වගේම අදත් මම කියන්නේ අරගලය කියන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක්. 

අරගලේ සැලසුම් කරද්දී, පටන් ගනිද්දී මොන විසඳුමත් අවසානයට කැරකිලා එන්නේ ව්‍යවස්ථාවට කියන එක දැනගෙන හිටියේ නැද්ද කියලා අරගලේ කැඳවුම්කාරයන්ගෙන්/දෘශ්‍ය සහ අදෘශ්‍යමාන නායකයන්ගෙන් අහන්න. 
ඒ වෙලාවේ හැමෝම වැඩ කළේ හැඟීම්වලට වහල්වෙලා. ඒ වගේ ඇසිය යුතු ප්‍රශ්නවලදී විචාර බුද්ධිය එතැනින්ම වහලා දැම්මා නේද "ඉස්සෙල්ලා ගෝඨාභය යවන්න ඕන, ඊටපස්සේ වෙන දේ එතකොට බලාගමු, ආ අන්න තැරි දාර බයි ප්‍රශ්නයක් අහනවා කට්ටිය, අන්න බයියෝ" වගේ උත්තරවලින්. ඒ උත්තර පටන්ගන්න ඇත්තේ කොතනින් කියලද ඔහෙලට හිතෙන්නෙ? 

දේශපාලන ඔස්තාද්ලා, සුපතල නීතීවේදියෝ එකතුව දේශපාලනිකව 'අධි-සවිඥානික' ජනතා නායකයන්ගේ මූලිකත්වයෙන් සිදුකෙරුණ අරගලයක අවසාන විසඳුම ව්‍යවස්ථාවට පිටින් ගේන්න බැරිබව දැන නොහිටින්න පුළුවන්ද? 
ලොකුම එකේ සද්දෙන් ඒ ජනාධිපති එලවගත්තට, සද්දෙටයි තගටයි එළියේ ඉඳන් ව්‍යවස්ථාව සහ නීතිය වෙනස් කරන්න බැරිබව දැනගෙන හිටියේම නැතුව ඇතිද? 
කවි ගී ගයපු 'ජනතා පරමාධිපත්‍යය' ඇත්තටම රකින්න තිබ්බා නම් මැතිවරණය තමයි අවිය බව ඒ උදවිය දැනගෙන හිටියේම නැතුව ඇතිද?
ජනතාවට නොලැබෙන මැතිවරණයක් ඊළගට යන්නේ කොතනටද කියලා දැනගෙන නොඉන්නම ඇතිද?

එහෙනම් කව්රු හරි ලස්සනට හැමෝවම ඇන්ඳුවා කියලා ඔහෙලට හිතෙන්නේ නැද්ද? ඇන්ඳීම කෙසේ වෙතත් හැඟීමෙන් විචාර බුද්ධිය වහගෙන රැල්ලෙ ගහගෙන ගිහින් තමන්ම ලස්සනට ඇඳගත්තා කියලා ඔහෙලට හිතෙන්නේ නැද්ද?

ඔහෙලට ගල් පතුරු දෙකක් දීලා ගින්න අවුලගෙන ඒකෙන් සීතල මකාගන්න හදපු පිරිසක්, ඒ ගින්න මදිවුණාම කරකියා ගන්න දෙයක් නැතිව තමන්ම එළියට බැහැලා ගල් පතුරු අතුල්ලන්න ගත්තා ඔහෙලා දැක්කද? 
හැංගිලා බැන්ඳ වෙස්මූණු නටන්නත් කලින්ම ගැලවුණා දැක්කෙ නැද්ද? 
දැන් ඒ වෙස්මූණු ආයෙම බැඳගන්න ඔහෙලවම බිල්ලට දෙන්න හදනවා තවම ඔහෙලට පෙනුණෙ නැද්ද? 
ඔහෙලා පිටින් දාලා, තමන් වෙනුවෙන් කරන දේවල්වල සුජාතභාවය ඔප්පු කරන්න දත කනවා ඔහෙලා තාම දැක්කෙ නැද්ද? 

දේශපාලනේ තෙම්පරාදු වෙච්ච මිනිස්සු හෙවත් මහල්ලෝ එක්ක ගේම් එච්චර සරල නැහැ පුතා. තමන්ගේ ප්‍රසිද්ධිය පාවිච්චි කරලා හරි අද ඊයේ දේශපාලනය හදාරන්න අරං පොතක් දෙකක් කියවලා ජාත්‍යන්තර දේශපාලනය ගැන අබ ඇටයක් දැනගෙන හරි කාගෙහරි සට්ටෑඹිකමක ප්‍රතිඵලයක් හැටියට හරි විකල්ප කඳවුරුවල ලකා ගැහීම නිසා හරි ඇඟේ/කටේ හයියෙන් හරි 'අපි තමයි මචං කෙරුමො' කියලා අධිමානයෙන්, අධිතක්සේරුවෙන් අරගොල්ලෝ එක්ක හැප්පෙන්න බෑ. ඒ මොළ තරුණ නෑ හැබැයි මෝරලා!  ඔහෙලත් එතනට යයි දවසක.. හැබැයි ඊනියා හීනවලින් බිමට බැහැලා සිහියෙන් සහ විවෘත මනසින් ලෝකය දකින්න පුළුවන් වුණොත්. 

අන්තිමට සමහරු හොරෙන් හොරෙන් පටන්ගත්ත ගේම්වල බොක්ක ඇදලා කව්රු කව්ද කියලා නිර්වස්ත්‍රම කරලා දැම්මනේ! 
ඔව්වා මතක තියාගන්න ආයෙත් රැලි දැක්කම අමුඩ ගහන්න කලින් මතක් කරගන්න. 

ජෙහාන්ගෙ ගේම් විතරක් දැකලා ඒ මත ඔක්කොම තීරණය කරගන්නත් එපා ඉතින්😉

පොලිටිකල් ගේම් කියලා හිතං කලටිපොල් ගේම් ගහන්නත් එපා😂

~✍️ Aash Weerasinghe

#AW #lka #අරගලේපසුකතා #නිර්පාක්ෂිකඅරගල #සිරිලංකන්පොලිටික්ස් #PresidentialElections2022

2 comments:

  1. ඔව්. අරගලය පටන්ගත්තේ ගෝඨාට විරුද්ධව, සහ පසුව මයිනාට විරුද්ධව. ඒ කාලයේ ජවිපෙට ඒක නායකත්වයක් නැති අරමුණක් නැති අරගලයක්. මැයි 9 පහරදීමෙන් අරගලයේ අගය ඔවුන් තේරුම් අරගෙන එය හයිජැක් කරලා. අද ගෝටා ගෝ විතරක් මදි. රනිලුත් ගෝ වෙන්න ඕන. අනුර කම් වෙන්නත් ඕන.

    ReplyDelete
    Replies
    1. අනුර කම් වෙන්න ඉතින් කියන කිසිම අවස්ථාවක් ගන්නෙ නෑ නේද? අනික අරගලය මුල ඉඳන් එක එක පාර්ශව සියඹලා ගෙනත් තිබ්බා. දැන් ඔය මරාගන්නෙ ඒකනෙ

      Delete