Monday, July 29, 2013

මගේ නොවන මගේම ආදරය...


ඉකිගසා හඬන අතීතයක..
කඳුළු එක්ක ගනුදෙනු කරනා..
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..


සමනළ සංධ්වනියේ ගීතයක්. අමරසිරි පීරිස් මහත්මයගේ හඬ එක්ක වචනවල බර අපූරුවට ගැලපිලා අපි හැමෝටම පොදු සත්‍යයක්වෙන විරහී වේදනාව හිත පතුලටම දනවනවා."මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා" කියද්දි උගුර හිරවෙන ගතියක් දැනෙන්නේ ඒ විරහවට හිත බැඳුන නිසා නෙවෙයි, හිත සූරා තුවාල කල විරහව ඒ වචන ටික තුළ ජීවමාන නිසා.

විරහවක් තියා ප්‍රේමයක්වත් අත්නොදැකපු කාලෙක විරහව සුන්දරයි කියලා හිතාගෙන, මවාගෙන මං කවි ලිව්වා.ඒත් ඇත්තටම විරහවෙන් අන්තෙකටම බැටකාල ඔත්පලවුණාම ඒ කවි හිත බිම වැටුණු කැඩපතක්වගේ සීසීකඩ විසිරිලා විරහව පෙරෙන මගේ ඇස්වල පිලිබිඹුව හතර අත මැව්වා.සිතනා තරම් සියළු දෙය නොවේ එතරම් මනරම් කියලා තමයි අද ඒ තුවාල පිරිමදිමින් අතීතයට එබෙද්දි හිතෙන්නේ.


'අතීතයට එබී බැලුවාට ආයිත් අතීතයට යන්න උත්සහ කරන්නට එපා' ය කියලා කතාවක් තියෙනවා.ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්තක්.මොකද අතීතයට එබෙනවා කියන්නේ හොඳ වුණ දරුණු තුවාල කැළලක් දිහා ඈත ඉඳන් බලන එකනම්, අතීතයට යන්න හදනවා කියන්නේ සමහරවිට තාමත් ඇතුළතින් සම්පූර්ණයෙන් සුව නොවුණ තුවාලයක් ස්වකැමැත්තෙන් දැතිරෝදයකට අසුකරවනවා වාගේ වැඩක්.විරහවට ප්‍රතිශක්තීකරණ එන්සයිම නිපදවෙන්නේ නැතිතරම්.

ඒත් ප්‍රේමයකට ප්‍රේමකරන්නත් බොහෝ කාලෙකට කලින් විරහවට ප්‍රේම කරපු මට, විරහවේ මොකද්දෝ කියාගන්න බැරි ලෙංගතුකමකුත් දැනෙනවා.ඒක මේ විදියකැයි කියලා විස්තරකරන්නට බැරි හැඟීමක්.විරහවක් දකින, ඇසෙන තැනක ඒ ලෙංගතුකම හිස ඔසවලා මාව හඳුනන බවට ඉඟි කරනවා.හිත තුවාල කළ කිසිවෙකුටවත් මතකයකටවත් නෙවෙයි, ඒ විරහවට විතරක් මම තාම ලෙංගතුයි.ඒ අද නරක හීනයක් වගේ දැනෙන දුෂ්කරකාලයක් තරණයට තරම් සවිමත් හිතක් මට තිබුණුබව දනවන නිසා.


2 comments:

  1. ලස්සනම හිතට වදින ගීතයක්

    ReplyDelete
    Replies
    1. ඔව් හොඳට හිතට වදින ගීතයක් :)

      Delete