Thursday, October 31, 2013

හර්ද සූත්‍රය

අපේ නගා අද ගෙනාවා'හර්ද සූත්‍රය'.හවස ඉඳන් එක හුස්මට කියවලා දැන් ඉවරවුණා විතරයි.මුදිතත් පුන්සරාත් අතර දෝලනයවෙමින් පැයකීපයක් තිස්සේ හිතේ කැලඹෙන කම්පනයත් එක්කම මම ඇවිත් වාඩි වුණා බ්ලොග් පෝස්ටුවක් ලියන්න.


මම දිගටම මුදිතගේ කතාවේ පුන්සරාත් පුන්සරාගේ කතාවේ මුදිත ශූන්‍යවීමත් අතර සැරිසරමින් උන්නා.ඈ මේ මවන චරිත අතර මම, මම දන්නා ගැහැණු පිරිමි කොයිතරම් දෙනෙක්ගේ අංශුමාත්‍රයන් සටහන් වෙලාදා කියලා මම කියවමින්ම හිතන්නට ගත්තා. නමුත් මගේ සිතුවිලි යටපත් කරගෙන කතාව බලවත්ව නැගුණා.

මුදිතගේ සැහැල්ලු පාවෙන ජීවිතය තුළ මම පුන්සරා වෙච්චි කාලයක් මගේ මතකයට නැගුණා.වෙනසක් තිබුණා.මා දැන උන් මුදිත කතාවෙ මුදිත වාගේ ළාමක සුන්දර සිතුවිලි තිබූ කෙනෙකු නොවෙයි.පහසුවෙන් ස්ත්‍රීයකට ආකර්ෂණයවන නමුත් පුන්සරාට ගැඹුරු බැඳීමක් තිබුණු මුදිත කෙනෙක් මගේ කතාවේ හිටියේ නෑ.ඒක නිසා වෙනසක් තියෙනවා.ලොකු වෙනසක්..


පුන්සරා මං වගේ නෙවෙයි.නමුත් ඇගේ අංශු මාත්‍රයන් මට සමානයි සමහර අවස්ථාවල.නමුත් ඒ අංශුවල මං හැමතිස්සේම නෑ.ඒ තරම් අහිංසක වෙන්න මට බෑ.එහෙම වෙච්චි කාලයක් තිබ්බා.ඒත් ඒවා වෙනස්වුණා මංවත් නොහිතූ ඉක්මණට.ඒ අතින් පුන්සරා පුදුමාකාරයි, ඈ සෑහෙන අචල ජීවියෙක්, මා වාගේ චල නෑ. 

ඒ අතර විවිධාකාර මානසික තත්වයන් හර්ද සූත්‍රයේ ගැලපෙනවා.එහෙමට රසවත්ව කතාව ගලායන හැටි අපූරුයි.ලංකාවේ මොරටුවේ රත්නපුරයේ විතරක් නෙවෙයි මෙතෙක් පියවිව නුදුටු චීනයේ සහ අනෙකුත් රටවලවල පවා දර්ශන විචිත්‍රව මාවගන්නට ඒ ලියැවුණ රටාව කදිමයි.

ඒ අතර මට හිතෙනවා කුෂීට මේ පොත කියෙව්වාම කොහොම දැනේවිද කියලා.මා තරම් අශ්ව වේගෙන් කියවන්නේ නැති ඔහු මටත් වඩා සමහරවිට කතන්දරේ විඳීවි කියලා හිතිලා කීපසැරයක්ම කතා කළත් මට පොත විස්තර කරන්න බැරිවුණා.ඔහු ඉන්නේ මහන්සියෙන් අද.ඒ වගේ මොහොතක කතන්දර කියලා පලක් නෑ නෙව කාටවුණත්..

පොතේ බොහොම විචිත්‍රව විස්තරවෙන පුන්සරාගේ නෑදෑයින් අතර ගොළු මම්මෙකුයි එක ඇසක් කණ නැන්දෙකුයි ඉන්නවා.ගොළු මම්මා එක තැනක කියනවා
"ප්‍රේමයට ස්වරයක් කතා කරන දිවක් අවශ්‍ය නැත.කතා කරන මිනිසුන්ද ප්‍රේමය ඉදිරියේ ගොළුවේනම් ගොළු අපට ප්‍රේම කරන්න ඉඩ නොදෙන මේ ගෙදර ඉන්නේ මළවුන්ය."කියලා.
ඒ අදහස කොච්චර තාත්විකද සහ සංවේදි කාරණයක්ද කියලා මට හිතුණා.ඇත්තටම එහෙම ආබාධිත දූවරුන්ට අවසානයේදි වෙන්නේ කොහේ හෝ අගුපිලක වැටිලා තමන්ගේ හිතේ මැවුණු දහසකුත් එකක් හීන තුරුළු කරන්ම මියයන්න නේද?පුංචි කාලේ එකට වැටීගෙන ඉන්න ඒත් ලොකුවෙලා පවුල් පන්සල් වෙලා වැඩිහිටියෝ වුණාට පස්සේ වස්තු තණ්හාවෙන් පිරිලා කුළල් කාගන්න හැමෝම පුන්සරාගේ පරිසරයේ සජීවිව මවලා තියෙනවා.එකෙක්ට එකෙක් නැති අමුතුම නෑ හිත මිතුරු කියා අපි බදාගන්නා මිනිස් ගොන්න ඇතුලේ පිරිච්ච විපරීත නාඩගම් එක් ජීවියෙක්ට සීමා නොවූ පොදු නාටකයක් බව පුන්සරාගේ කතාවේ පේනවා.

පුන්සරාට කොයිතරම් ඇතුළු හිතේ මොකද්දෝ ස්නේහ ගතියක් තිබ්බත් මුදිතට ඇයි බැරිවෙන්නේ ඈ ලඟම රැඳෙන්න?නෑ එහෙම නොරැඳුණු එකත් හොඳයි, මොකද එහෙම වුණානම් ඇගේ හිත තවත් රිදෙනවා, ඔය ගිය තරම් දුරක් යන්නත් බැරිවෙනවා.එහෙම බලද්දි ඒ අපි බොහෝ දෙනෙක්ගේ ජීවිතේ අණ්වීක්ෂීය පැතිකඩක් වාගේ නේද?ජීවිතයේ විශාල කම්පනයන් ඇතිකරන බැඳීම් සමහරවිට ජීවිතයට ආශිර්වාදයන් ගෙන එනවා.ඒ බැඳීම් තුළින් නෙවෙයි, නමුත් ඒව විවරණ දෙනවා ඔබට උචිත හොඳම දේට.පැලයක් වුණත් අපූරුවට පූදින්නේ හරි සාරවත් පොළොවකට වැටුණම.ඒ වගේ අපේ හිත්වලත් මල් පිපෙන්නේ හරි සාරවත් හිතකට බද්ධ වුණාම..

පුන්සරාටත් එහෙම සාරවත් හිතක් හම්බුණානම්...එහෙනම් කතන්දරේ වෙනස්වෙනවා.වෙන්වෙලා අවුරුදු විසි පහකට පස්සේ ආයෙත් මුණගැහීම අභව්‍ය නෑ..ඒත් ඒ වෙද්දිත් ඒ ස්නේහ ගතිය එහෙමටම ඉතුරුවීම පුදුමයක්.ඒත් සමහර මුදිතලා පුන්සරාලා තුළ එහෙම වෙන්නේ නෑ.හේතුව සංවේදනයේ විවිධත්වය.
සමහරවිටක මුදිත ඒ ස්ත්‍රීන් අතර සැරිසරන හිත විතරක්ම කරපින්නාගෙන හදිස්සියකටවත් දාගන්න නැංගුරමක් නැතුව උන්න නම්..එහෙනම් පුන්සරා සමාව දෙන්නේ කොහොමද?නෑ.. සමාවක් ලැබීමට සුදුසු නැති ඒත් සමාවක් නොදෙන්නට තරම්ම දරදඬු නැති ඔහු සමඟ රැඳීම පුන්සරාට දැනෙන්නේ නිදහසේ පාවෙන්නටම බලන නැවක් නිකන් වේල්ලක් බැඳපු ජලාශෙක බලෙන් සීමාකරවගන්න හදනවා වාගේ.ඒත් ආසියාතික ගැහැණු ඒ තරමටම පරාර්ථකාමීද?තමන් ආදරේ කරන පිරිමියා හෝ ගැහැණිය පාවෙමින් හිතු හිතූ තැන නවතිනවා බලන් දෑත් බැඳ ඉන්නට හැකි තරම් විවෘත මනසක් අපට නෑ..ඒ මොහොතකදි ඇතිවෙන තුවාලය මරණීය , පසුකලෙක නම් අතගා බලා විඳින්නට වුණත් හැකි රමණීය එකක්.එහෙම බලද්දි මුදිතගේ පිටමංවෙලා යද්දි පුන්සරාගේ හිත කොයිතරම් කැඩිල බිඳිලා තියෙන්නට ඇතිද කියා හිතා ගතහැකි..

දැන් කෙනෙක් කියාවි, ඔච්චරටම් හිතට ගන්න ඕණෑද මේ මවාපු චරිත?අනේ නෑ..ඒත් මොහොතකට ඔය අහංකාරය අයින් කරලා කිමිදිලා බලන්න, මේ මනු සත්තු පිරුණු ලෝකේ අපි හැමෝටම පොදුවෙන අවස්ථා තියෙනවා.අපි හැමෝම යම් මොහොතක අත් විඳපු අත් දැකපු විවිධ අවස්ථා, අපේ හැඟීම්, අපේ සිතුවිලි, අපේ දුක් සතුටු සිතුම්..හැමදෙයක්ම අපිටම ලියන්න බෑ.ඒව කාගෙන් හරිම ලියවෙනවා..අපි එතකොට ඒ අනුන්ගේ තුවාල දිහා බලමින් නිරායාසයෙන් අත යන අපේ තුවාල කැළලි පිරිමදිනවා.දුක්වෙනවා, සතුටුවෙනවා.සමහරවිටක සැනසෙනවා.

අවසානය ප්‍රශ්නාර්ථයකින් ඉවරවෙන කතන්දරේ මං උන්නානම් අවසානය එහෙම වෙන්නේ නෑ.හේතුව ඒ තරම් ගෑණියෙක්ගේ විශ්වාසය ගැන හැඟීමක් නැති මුදිත කෙනෙක්ට මගේ හිතේ ඉඩ කොහෙත්ම නැතිවෙන බව මම දන්නා නිසා.අනික පුන්සරාට වාගේ තනිව ලෝකය දකින්න සිතුවිලි තිබුණත්, ඇයට මුණ නොගැසුණු වසන්තය මට මුණ ගැසුණු නිසයි.ඈ ජීවිත කාලය පුරාම පිපෙන්න කැමැත්තෙන් නමුත් බලාපොරොත්තුවෙන් උන්නේ වැරදිමෙන් වසන්තයක් වෙච්චි සිසිරයක නම්, මම වැරදීමකින් සිසිරයකට පය ගහන්න ගොහින් අවසාන මොහොතේ ගොඩ ඇවිත් වසන්තයකට පාවෙලා ගිය පුන්සරාගේ වෙනත් ආත්මයක්..

හර්ද සූත්‍රය තව චූට්ටක් දිගට ලියවුණානම්..අර අන්තිමටම මොකද වුණේ කියලා හිතාගන්න බැරි තැනක නතර නොවී.ඒත් ජීවිතේ එහෙම වෙන්නේ නෑ.සමහර දේවල් ප්‍රශ්නාර්ථයක්ම වෙන එකත් ආශිර්වාදයක් වගේ තමයි.

6 comments:

  1. කියවලා ඉවර වෙලා ලියන්න දෙයක් තියනවා කියන්නෙ ඒ නිර්මාණය හිතට තදින් දැනුණා කියන එක. ලස්සණ යි ඔබේ අදහස්.

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර නිර්මාණ එහෙම තදට හිතට වදිනවා.පුද්ගලයාගේ සංවේදීතාවය අනුව.
      ස්තූතියි දිලිනි.වචනයත් ලොකු ශක්තියක්.:)

      Delete
  2. ජීවිතෙත් වෙලාවකට හිතා ගන්න බැරි විදියට අතරමග නවතිද්දි කතාවක් හිතාගන්න බැරි තැනක නතර වෙන එක අහන්නත් දෙයක් ද? මටත් පොත හොයාගෙන කියවන්න හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් සිඟිති හොයලාහරි කියවන්න වටිනවා.සාමාන්‍යයෙන් මම සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ පොත්වලට හරි කැමතියි ඇය ලියන රටාව සහ ලියන්න පාදක කරගන්නා තේමාවන් නිසා.මේකත් ඒ රසවත් පොත් ගොන්නෙන් එකක්.තවත් රසවත් වෙලා තියෙන්නේ සුනේත්‍රා-සමන් සුසංයෝගය නිසා වෙන්න ඕන.:)

      Delete
  3. හොයාගෙන කියවන්න ඕනෙ. කියවන්න වෙලාව හොයාගන්න එක අමාරුයි පොත හොයාගන්නවට වඩා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත බස්සි.පොත් කියවන්න කොච්චර පෙරේතවුණත් එන්න එන්න අපිට ඒකට වැයකරන්න පුළුවන් කාලය අඩුවේගෙන යනවා කාර්යබහුලකම නිසාම.:(

      Delete