අපි සමහර වෙලාවට නොහිතන මිනිස්සු නොහිතන වෙලාවල විවෘත වෙනවා. සමහරවිට නන්නාඳුනන කෙනෙකුට තමන්ගෙ සිතුවිලි හරි ප්‍රශ්නයක් හරි කීම වඩා හොඳයි කියන හැඟීමෙන් වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් මොකක් හරි විශ්වාසයක කම්පන තරංගයක් අල්ලා ගන්න හින්දා වෙන්නත් පුළුවන්. වාසි ප්‍රයෝජනයක් බලාගෙන කතා කිරීමකට වඩා මගෙ අත්දැකීම මිනිස්සු ඇහුම්කන්දෙන්නෙක් ඉස්සරහ තමන්ගෙ හිත නිදහස් කරගන්න උත්සහ කරනවා කියන එක. ලියනවා නම් පොතක් ලියන්න තරම් එහෙම අත්දැකීම් තියෙනවා.
ඊයේ ලඟ ගමනකට ටුකුවකට ගොඩ වැදුනෙ සුපුරුදු ඌබර් කාඩ් ද කෑෂ් ද ප්‍රශ්නෙ අනුව එකක් ප්‍රතික්ෂේප කළාට පස්සෙ. ඊළඟ රියැදුරු මහත්මයා ඒ ගැන ප්‍රශ්න නොකළත් මගෙ යුතුකමට ටුකුවට ගොඩ වෙද්දිම මම කිව්වා කාඩ් කියලා. 'ආ කමක් නෑ මිස්' කියලා හිනාවෙන් පිළිඅරන් මට පැහැදිලි කිරීමකුත් කළා කාඩ් සහ කෑෂ් අතර වෙනසක් නැතිකමත් රියැදුරන්ගෙ තියෙන අනවබෝධය සහ අනෙක් ප්‍රායෝගික ප්‍රශ්න ගැනත්. ඒක නෙවෙයි වැදගත් කතාව.
සාරාංශ කළාම මේ මනුස්සයගෙ කතාවෙ අන්තිම ටිකයි වැදගත්.
"අපි ජීවත්වෙන කාලය සීමිතයිනෙ මිස්, ඒ ටිකෙ හිත සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕන. ඕනෑම දෙයක් ලොකුවට හිතෙන් අල්ලගත්තමනෙ දුක වැඩි. උදහරණෙකට ආදරේ වැඩිවුණාම දුක වැඩිවෙනවා. මොකද ආදරේ හින්දනෙ ඒ කෙනා කරන කියන දේකින් හිත රිදෙන්නෙ. තමන්ට පුලුවන් දේ ඒ සීමාවෙ ඉඳන් තමයි කරන්න ඕන. කෙනෙකුට හානියක් හිත් රිදීමක් නොකරන තරමට තමන්ගෙ හිත සැහැල්ලුයි. ගෙයක් හැදුවත් මට පුලුවන් පර්චස් 6ක ගෙයක් හදන්න නම් මම පර්චස් 10-12කට අමාරුවෙන් උත්සහ කරල ස්ට්‍රෙස් වෙන එක තේරුමක් නෑ. බුදුහාමුදුරුවො කිව්ව පන්සිල් පහ රැක්කා නම් ඇති ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් හැටියට හොඳින් ජීවත් වෙන්න. අපි මැරෙනවා කියන එක දවස ගානෙ මෙනෙහි කරන්න ඕනත් නෑ, එතකොට කලකිරෙනවා මිසක් ජීවත් වෙන්න බැරිවෙනවා. මැරෙන බව දැනගෙන ජීවත් වුණාම හරි. අපි මැරිලා ගිහින් වෙන කොහෙ ඉපදෙයිද අපි දන්නෙ නෑනෙ මිස්. හැබැයි අපි ආදරෙ කළ අයට පසුතැවීමක් නැතිවෙන විදියට ජීවත් වුණාම ඉවරයි. උදාහරණෙකට මිස්, මගෙ නෝනා එක්ක මම තරහ වෙලා නින්දට ගිහින් නින්දෙදි මම මැරුණොත්, එයාට කොයිතරම් නම් පසුතැවීමක් ඇතිවෙයිද ජීවිත කාලෙම එයා මට අන්තිමට කිව්ව දේ හරි කරපු දේ හරි ගැන. ඒ වෙලාවෙදි එයාට හිතෙන්නෙ එයා කළ කී දේ වැරදියි කියලා මිසක් මම කළ කී දෙයක් ගැන නෙවෙයි, මනුස්ස ස්වභාවය ඒකයි. මම මැරිලා යන දිහාක යයි, ආයිත් සංසාරෙ එයාව හම්බවෙයිද හම්බුණත් අපි අඳුනගනීද කියලා කියන්න බෑනෙ. ඒක නිසා මිස්, ජීවත් වෙන කාලෙ කරුණාවෙන් මෛත්‍රියෙන් ආදරෙන් ජීවත් වෙන්න ඕන කියලා තමයි මට හිතෙන්නෙ".
මගෙ සුපුරුදු අසන්නාගෙ භූමිකාවෙ ඉඳන් හූමිටි තියමින් ඉඳලා අන්තිමටම මම ඇහුවා වයස කීයද කියලා, මොකද අවුරුදු 35-40ක්වත් කියන්න බැරිතරම් හින්දා. ඔහොම සංවාදයක් මම බලාපොත්තු වුණේවත් නැති හින්දා. අවුරුදු 50යිලු. 🫡
මේ එදිනෙදා අහම්බෙන් වෙන සංවාදවල හම්බවෙන මිනිස්සු ජීවිතෙ විවිධාකාර අත්දැකීම්වලින් පදම්
වෙච්ච මිනිස්සු. ඇත්තටම එහෙමද නැද්ද කියලා සහතික කරන්න තරම් බරපතලව හිතන්න හේතු නෑ. ඒත් සමහර වෙලාවට මෙහෙම අහම්බෙන් වෙන සංවාදවලට මට පුදුම නොවී ඉන්නත් අමාරුයි. එහෙම අන්දවන්න ලෑස්තිවෙන මිනිස්සු නෑ කියලා කියන්න බෑ තමයි ඒත් බහුතරයක් මිනිස්සු එහෙම කතා කළා කියලා කිසිම වාසි ප්‍රයෝජනයක් ලැබෙන්නෙත් නෑ. දවසකට දෙකකට කලින් හිතවතෙක් කිව්වා 'මාව කියවගන්න බෑ, විවෘත වෙන්නෙ නෑ' කියලා. එහෙම කියවගන්න බැරිද නැද්ද මම දන්නෙ නෑ. ඒක එහෙම නම් ඇයි මිනිස්සු හරිම ලේසියෙන් තමන් ගැන විවෘත වෙන්නෙ කියලා මම දන්නෙත් නෑ😁 උපදේශන සේවා කරන්නෙත් නැහැනෙ 😄
මට හිතෙනවා සමහරවිට අපි යම් මොහොතක අහන්න ඕන පණිවිඩයක් අහඹු කතාවල තියෙනවද කියලා. එහෙම හිතලා මම පොදු සමාවක් දුන්නා මෙතෙක් සමාව නොලැබූ හැමෝටම.😋 ගැල බර කරගෙන සංසාරෙ දඟලනවට වඩා ඒක හොඳයිනෙ.😇
~ Aash Weerasinghe | තනියා
#AW #thaniya #medusa #medusasjournal #lka
ධර්මය අවබෝධ කරගත් මිනිසෙක්.
ReplyDeleteහුග වෙලාවක් කල්පනා කරා ටුකුවට කියන්නෙ මොකක්ද කියල
ReplyDeleteපස්සෙ මීටර් උනේ😂😂