Saturday, May 21, 2022

සුචරිත!

මං මෙහෙම කතාව පටන් ගන්නම්. කියවනවා නම් ඉවසීමෙන් සහ මධ්‍යස්ථව ඉඳන් කියවලා බලන්න🙏

අද මොක කළත් වුණත් මහින්ද රාජපක්‍ෂ කියන්නේ ලංකාවේ ජේ ආර් ජයවර්ධනට පසු ඇතිවෙච්ච වෙනමම තලයක දේශපාලන පෞර්ෂයයක්. ඒක මම පෞද්ගලිකව ඉතාමත් කැමති සහ අගය කරන, ආදරය කරන මනුෂ්‍ය පෞර්ෂයයක්. ඒක මගේ පුද්ගලික හැඟීම.🖐️ 

විරුද්ධවාදීන්ගේ දෝෂාරෝපණ කොයිතරම් තිබුණත් ඉතිහාසයේ බොහෝ අවස්ථාවල ඔහුගේ පෞර්ෂත්වය තුළින් පෙන්නුම් කෙරුණ Charisma එක, (මේකට සිංහල වචනය දෙන්නේ චමත්කාරය වුණාට ඒක මේ අදහසට ගැලපෙනවා අඩු නිසා මම ඉංග්‍රීසි වචනයම භාවිතා කරනවා) සම කළහැකි නායකයෙක් ලංකාව දැකලා නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒකට අභියෝග කළහැකි මට්ටමේ charisma එකක් සහිත දේශපාලන පෞර්ෂයයක් ආයෙමත් බිහිවෙන හැඩකුත් තවම මට නං පේන්න නෑ. ඒක නිසාම ඔහු වෙත ආකර්ෂණය වුණු පිරිසක් වගේම ඔහු වෙනත් පක්ෂයක සිටියත්, සහේතුකව හෝ අහේතුකව හෝ ඔහුට වෛර කරන පිරිසකුත් ඇතිවෙලා තියෙනවා. ඒ Charisma එකේ පාදම ලෙස ක්‍රියා කරන්නේ ඔහු තුළ තියෙන මුරණ්ඩුගතිය. ජේ ආර් තුළින් පළවුණ ඉහළ පැලැන්තිමය පැවැත්ම, දැඩි හික්මීම, බර කොට ඉංග්‍රීසි ඌරුවට කතා කරන වාග් විලාශය, පුද්ගලයෙක් ලෙස පිටතින් ඔහුගේ සංවේදනා කියවාගැනීමට අපහසුබව (stoicism) සහ ඔහුගේ ක්‍රියාකලාපය වෙනමම class එකක්. මම හිතන්නේ ලංකාවට ඒක එතරම් හුරු නැහැ. ඒත් එහෙමයි කියලා ජේ.ආර් වෙනස්වෙන්න උත්සාහ කරලත් නැහැ. ඔහු තමාගේ සැබෑ ස්වරූපය සමග එකඟව ජීවත්වෙලා තියෙනවා ලෝකයා මොනවා කීවත්, කළත්. එතකොට මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී ඔහුගෙන් පළවුණේ ලංකාවේ අපිට බොහොම හුරු පුරුදු යකාටවත් බය නැතිකමක්, ආත්මවිශ්වාසයක් සහ කාර්යශීලිබවක් සහිත ඔහුට උපතින්ම උරුම වෙලා තියෙන ගැමිකමක් එක්ක මුහුවෙච්ච නායකත්වයක්. ඒ වෙද්දි චන්ද්‍රිකා පමණක් නොවෙයි බහුතර පාරම්පරික ශ්‍රීලනිප සාමාජිකයන් අතර පවා ඔහුට මෙය කළ හැකිද යන්න ගැන යම් මතිමතාන්තර, ඝට්ටන සහ විරෝධතා තිබුණා. නමුත්, මහින්ද ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නා. නොදෙන්න අර ඇද්ද නාමයෝජනාව පවා දිනාගත්තා. මං හිතන්නේ අර ප්‍රසිද්ධ 'මේක මොළෙන් ගහන්න ඕන ගේම් එකක්' කියන tagline එකේ ජීවමාන සාක්ෂි දෙක ජේ ආර් සහ මහින්ද.

ඔබට මතක ඇති නම් 2005 ජනාධිපතිවරණ රැළිවල වේදිකාවට ඔහු ගොඩ වූ ආකාරයටම ඔහු වෙත ආකර්ෂණය වූ පිරිස් හිටියා. සාම්ප්‍රදායික ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙක් හෝ ජාතික තලයේ නායකයෙක් තුළින් අපි දකින්න පුරුදු වෙලා හිටිය මවාගත් ගාම්භීර, බැරෑරුම්, තැන්පත් ගතිය යටකරගෙන ඔහු බොහොම නිදහස් නමුත් ක්‍රියාශීලි (එවකටත් තරුණයෙක් නොවුණත්) තරුණ vibe එකක් සමග පරිණතකම සමබර කරලා ජනතාවට පෙන්නුවා. සරලව කියනවා නම් අර මලානික අතිසාම්ප්‍රදායික ජනාධිපතිවරණයට වෙනමම ජීවයක් දීලා අවස්ථාවේ සහ තනතුරේ වැදගත්කම රකින අතරම අවස්ථාව rock කරලා ගත්තා වගේ හැඟීමක් ඒක. ඒකෙන් ඔහුගේ ප්‍රතිමල්ලවයා වුණ රනිල්ට වඩා මහින්ද නිරායාසයෙන්ම කැපී පෙනුණා. කෙටියෙන් කිව්වොත් මහින්ද තමන්ටම SWOT Analysis එකක් සාර්ථකව කරගෙන ඒකෙන් තිතටම ගේම ගැහුවා. 🎯

දැන් මෙන්න මේ කාරණයත් කියන්න ඕන. ලංකාවේ මේ තාක් පත්වුණු අපි දුටු-නුදුටු ජාතික නායකයන් හැමකෙනෙකුටම අනන්‍ය වූ ඇවතුම් පැවතුම්, ගති ලක්ෂණ, ආකර්ෂණීය දේවල් සහ විශේෂයෙන්ම හැමෝටම පොදු නමුත් තීව්‍රතාව වෙනස් මුරණ්ඩුකම තියෙනවා. ඒවා නැත්නම් ජාතික නායකයන් ලෙස ගොඩ නැගෙන්න බැහැනේ මේක චූටි දූපතක් වුණත්. උදාහරණයකට කියනවා නම් 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ හිනාවට සහ කතා විලාසයට ආකර්ෂණය වූ ජනතාවක් හිටියා. ඒ එක්කම චන්ද්‍රිකා තුළ රදළ මාන්නයත් එක්කම ගොඩ නැගුණු වෙනමම ආකාරයක මුරණ්ඩුකමක් තිබුණා. අර විරුද්ධ මතයක් ඇහුවම කට කොණ ඇද කරලා නගන මනස්කාන්ත හිනාවෙන් පෙනුණේ ඒකෙ අංශුමාත්‍රයක් විතරයි. ප්‍රේමදාස ගත්තොත් ඒක ඔහු විශ්වාස කළ ආකාරයට පංති භේදයෙන්, කුල භේදයෙන් පීඩාවට පත්වූ පොඩි මිනිහාගේ නැගීම කියන ආඩම්බර හැඟීම කලවම්වුණ වෙනමම අරගලකාරී, සමාජයේ මුදුන් පෙතට නගින්න සමත්වීම එක්ක මිශ්‍රවෙච්ච මුරණ්ඩුකමක්. අවාසනාවකට ඔහුගේ පුත්‍රයාට ඒ මුරණ්ඩුකම වෙනුවට උරුම වෙලා තියෙන්නේ පුහුමානයක්, මගේ අදහස අනුව ඔහුට ජාතික නායකයෙක් විදිහට ගොඩ නැගුණත් විශ්වාසය සහ පිළිගැනීම විචල්‍යවෙන්න ප්‍රධානතම හේතුව ඒකයි. 

එතකොට මේ නායකයන් සාමාන්‍ය මිනිස්සු, සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් මවන ලද හෝ සියුස්ගේ ශුක්‍රාණුවකින් ඉපිදවූ සුවිශේෂී කොටසක් නොවෙයි. එකම වෙනස ඔවුන්ගේ අරමුණු වෙනත් තලයක තිබුණා, ඔවුන් ඒ අරමුණු ජයග්‍රහණය කළා. ඔවුන් සාමාන්‍ය මිනිසුන් වීම නිසාම පරිපූර්ණ නැහැ. අඩුලුහුඬුකම් එමටයි. ඔබත් මමත් කැමතියි අපි පරිපූර්ණයි අතිවිශිෂ්ටයි කියලා විශ්වාස කරන්න, නමුත් ඇත්ත ඒක නොවන බව අපි අපිම දන්නවා. අපි කැමතියි අපි ආදරය කරන අය පරිපූර්ණයි, ඒ තමයි ලෝකයේ හොඳම තේරීම කියලා විශ්වාස කරන්න. නමුත්, ප්‍රායෝගිකව ඒක එහෙමම වෙන්නේ නැහැ හැමවෙලාවෙම, හැමදේකම. ඊට වඩා හොඳ වෙන්න පුළුවන් අය ඇති නමුත් අපේ තෝරාගැනීම්වලට හේතුවන දේ ඒවා තුළ නැතිවෙන්න පුළුවන්. ඕක තමයි නායකත්වයටත් පොදු සරල සත්‍යය. 
වැරදි තීරණ, වැරදි ක්‍රියා මාර්ග ඔවුන්ටත් පොදුයි, නමුත් ඒවයේ ඵලවිපාක ප්‍රබලයි සහ රටකටම පොදුයි. 

උදාහරණ කිව්වොත් සිරිමාවෝ මැතිණිය සිරිලක ස්වයංපෝෂිත කරවන්න උත්සහ කළා. ඒක සමහරවිට ක්‍රියාත්මක කළ වේගය වැඩි ඇති, මිනිස්සු පෝලිම්වල ඉන්න බැහැ,සලාක ක්‍රමයට කන්න බැහැ,  හාල් පොලු මිරිස් පොලු එක්ක බැහැ කියන අරගලයට යෑම නිසා ඒක වැරදි තීරණයක් විදිහට ඉතිහාසයේ හංවඩු ගැහුණා. ඇතැම් විට අද මැතිණියගේ ක්‍රමය හරි, අපරාදේ ඒක නොකළේ කියලා කියන අයම ඒ කාලයේදී ඊට විරුද්ධව නැගී සිටින්නට ඇති. මැතිණියට එරෙහිව වාසිය ලබාගන්න ජේ.ආර්ට ඒ නිසා ලේසිවෙන්න ඇති ඒ මොහොතේ competitive advantage එක ප්‍රබලව ඔහුට තිබුණ නිසා. ඊළගට ජේ ආර් විවෘත ආර්ථිකය සහ විධායකය හඳුන්වා දුන්නම ඒකෙත් හිතකර වගේම තවම අපි විඳින අහිතකර සහ ඇතැම් භයානක ප්‍රතිඵල තියෙනවා. ඒ ඇරෙන්න සිවිල් යුද්ධයක් ත්‍රස්තවාදයක් දක්වා පැතිරීම වළක්වා නොගැනීම සහ ත්‍රස්තවාදයක් පෝෂණය කිරීම කියන චෝදනාවලට ජේ ආර්, ප්‍රේමදාස සහ චන්ද්‍රිකා කියන ජනාධිපති තුන්කට්ටුවම ලක්වෙනවා. ලැබූ අවස්ථාවලින් නිසි ප්‍රයෝජන නොගැනීම, තත්ත්වය සුලුකොට තැකීම, නිසි තීරණ නොගැනීම වගේ හේතු ගොඩකුත් ඒ චෝදනා පිටුපස තියෙනවා. 

ඊළගට රතු විප්ලව.
ඉතාමත්ම සද්භාවයෙන් පටන්ගන්නට ඇති නමුත් අතරමගදී අරමුණු වෙනස්වුණු, විනාශකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණු රත්තන්ගේ කැරැළි දෙකකට ලංකාව මුහුණ දීලා තියෙනවා. මං පෞද්ගලිකවම එක කැරැල්ලක් අත්විඳිලා නෑ, අනික අත්විඳිලා තියෙනවා. එතකොට න්‍යායාත්මක සමාජවාදයක් මුල්කරගෙන බිහිවූ මේ විප්ලව දෙකේම ක්‍රියාත්මක කිරීමේදී ඇතිවූ ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් තිබූ බව පේනවා. ඒකට ප්‍රධානම හේතුව විදිහට මම විශ්වාස කරන්නේ එක පොදු න්‍යායාත්මක රාමුවක් වුණත් ඊට බුද්ධි සහ ශ්‍රම දායකත්වය සපයනු ලැබූ සාමාන්‍ය මනුෂ්‍ය එකතුවක තියෙන ආකල්ප, හැසිරීම්, ඇවතුම් පැවතුම් සහ පසුබිම් වෙනස්‌කම්. එකම අරමුණකට වුණත් යායුතුයි කියලා එකිනෙකා හිතන මාර්ග වෙනස්වෙනවා. මම කොළඹ යන පාරේම නෙවෙයි තව කෙනෙක් කොළඹ යනවා ඇත්තේ. එකම තැනකින් පිටත්වූ ගමනක් වුණත් ගමනාන්තයට මාර්ග ගොඩක් තියෙන්න පුළුවන්. 

ආයිත් අපි ලංකාවේ වර්තමානයට හැරුණොත් පසුගිය මාසයක කාලයක් තිස්සේ දේශපාලන පක්ෂ සහ විවිධ නායකත්ව නොනවතින කඹ ඇදීමක නිරතව ඉන්නවා. ආර්ථික අර්බුදයක ඉන්දැද්දි ඒක නිරායාසයෙන්ම සමාජ අර්බුදයක් බවට හැරෙනවා. එතනදී සමාජය තුළින් පවත්නා පාලනයට එරෙහිව යම් නැගිටීමක් සිදුවෙන එක වළක්වන්න බැහැ. කළහැකි එකම දෙය හැකි ඉක්මණින් හැකි උපරිමයෙන් තත්ත්වයට පිළියම් යෙදීම සහ පාලනය කිරීම. අවාසනාවකට ලංකාවේ මේක අවශ්‍ය වෙලාවේදී සිද්ධවුණේ නැහැ. තීරණ ගැනීම සහ ක්‍රියාත්මක වීම සිද්ධ වුණත් වුණේ ඉබිගමනින්. උදාහරණයකට ගත්තොත් ගෑස් ප්‍රශ්නය. ලිට්‍රෝ සභාපතිවරයා මාධ්‍ය කැඳවලා අතීත කතන්දර ගැන කතා කරලා ඔහුගේ පාලනාධිකාරිය යටතේ ඊනියා ගිවිසුම් ක්‍රියාත්මක වන්නට ඉඩනොදෙන බව ප්‍රකාශ කරලා ගෑස් කතාව මුලින්ම වෙන මානයකට ගෙනිච්චා. ගැලරියට අවශ්‍ය මාධ්‍ය සංදර්ශනය ලබා දුන්නා. නමුත්, එතනින් පසු දිගින් දිගටම පාරිභෝගිකයා ගෑස් හිඟයකට, මිල වැඩිවීමකට පමණක් නෙවෙයි ජීවිත සහ දේපළ අනතුරුවලට පවා මුහුණ දුන්නා. එතනදී සභාපතිවරයා ඇතුළු සමාගමටම වගවීමක් පැහැදිලිවම තිබෙනවා. නමුත්, ඒ කිසිත් නැතිව ඔහුව නැවත සේවයේ පිහිටුවීමම මම හිතන්නේ අගතියට පත් පාරිභෝගිකයා සමච්චලයට ලක් කිරීමක්. අද වනවිට ඔහු තම තනතුරින් ඉල්ලා අස්වෙලා, රැල්ලට රාජපක්‍ෂ කඳවුර මත තම පව් කද තබලා, ශුද්ධෝත්තමයෙක් ලෙස පව් සමා කරගෙන අපි එක්ක හිටගෙන ඉන්නවා. 

නිලධාරීවාදයක් පැහැදිලිව ඕනෑම ආයතනයක, ඕනෑම රජයක් යටතේ ක්‍රියාත්මක වෙනවා. අවාසනාවකට රාජපක්ෂ රෙජීමය 2015න් පැහැදිලි පාඩමක් ඉගෙන ගත්තේ නැතිබවට ඔවුන් 2019 නොවැම්බරයේ බලයට පැමිණීමෙන් පසු සිදුකළ ඇතැම් පත්වීම් සහ ගනු ලැබූ තීරණ සාක්ෂියි. එයින් සිද්ධවුණේ හැටනම ලක්ෂයක ප්‍රාර්ථනා බිඳ දැමීම විතරක්ම නෙමෙයි, ඒක හැටනම ලක්ෂය තුළට අනායාසයෙන් ආ පාවුණු ඡන්දවල විශ්වාසය අභියෝගයට ලක් කිරීමත් සිද්ධ වුණා. ඒ ඇරෙන්න භයානකම තත්ත්වය තමයි ඒ වැරදි තීරණ දේශීය හා විදේශීය රාජපක්ෂ විරෝධී කණ්ඩායම්වලට සපයන ලද උත්තේජනය!  

ඒක කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව වගේම දේශීය හා විදේශීය විපක්ෂ කණ්ඩායම්වලට නියමම උත්ප්‍රේරකයක් වුණා. නිලධාරීන් වේවා, ජනපති වේවා, මන්ත්‍රී මැතිඇමතිවරු වේවා ගන්නා සෑම පියවරක්ම ඒ වගේ තත්ත්වයක් යටතේ තීරණාත්මකයි. ඒ එක්කම තවත් වරද්දවන්න යෙදෙන උපක්‍රමත් ඒ හා සමානුපාතිකව වැඩිවෙනවා. නමුත්, අන්න එතනදී බොහොම සාධාරණ ප්‍රශ්නයක් පැන නඟිනවා. ඒ ජාත්‍යන්තර බලවේග පරාජය කරමින් දේශීය දේශපාලනය සමබර කරමින් බහුතරය තමා වෙත පවත්වාගනිමින් කිසිදාක අවසන් කළ නොහැකි බව පුනපුනා ප්‍රකාශ කෙරුණ තිස් අවුරුදු යුද්ධයක් වසර තුනක් ඇතුළත ඉවර කළ පිරිසක් ඒ තරම්ම අඳබාල විය හැකිද කියන එක. ඒකට පිළිතුර මට හැඟෙන විදිහට අසීමාන්තික විශ්වාසය.

කොහොම නමුත් දැන් විශාල වරදක් සිදුවී අවසන්.
මහින්ද රාජපක්‍ෂ ගැන කතාව පටන් ගත් කොටස කොහොමද මෙතනට අදාළ වෙන්නේ කියලා කියන්නම්. 
ගෝඨාභය රාජපක්‍ෂ ජනපති වීමට විතරක් නොවෙයි මහින්ද වටා මේ තාක් කලක් හිටි සහ තවම සිටින, විශේෂයෙන්ම ජාතික තලයේ දේශපාලනඥයන් බහුතරය මහින්ද  රාජපක්ෂගේ දේශපාලන පෞර්ෂයය මත යැපුණු සහ යැපෙන පරපෝෂිතයෝ. මිනිස්සු පාඩමක් ඉගැන්වීමේ අටියෙන් 2015 ඡන්ද බලය ක්‍රියාත්මක කළත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන්නත් කලින්ම ඒ ඡන්ද බලය ගැන පසුතැවෙන්න පටන් ගත්තේ බහුතරයක් ඒ වෙද්දීත් මහින්ද රාජපක්‍ෂට ආදරය කළ නිසා. විරුද්ධවාදීන් කොයිතරම් කතන්දර කීවත් පසුදා ඉඳන් යාහැකි හැමදෙනාම මැදමුලනට ඇදුණේ, ඔහු ජනේලයකට නැග කතා කරන්නට තරම් සෙනගක් පැරදුණු ඔහු වටාත් රැඳුණේ ඔහුට මිනිසුන් තුළවූ ආදරය සහ ගෞරවය නිසා. අප්පච්චි කතාව විරුද්ධවාදීන්ගේ කොයිතරම් උපහාසයට අපහාසයට ලක්වුණත් අදටත් ඔහු තුළින් පළවෙන පිය පෞර්ෂයට මිනිස්සු ආදරය, ගෞරවය කරනවා. ඔය කොයිතරම් කතන්දර කීවත්, මහාමාන්‍ය ඩී එස් සේනානායකන්ට වඩා එජාප ගැති, රෝහණ විජේවීරට වඩා ජවිපෙට ගැති, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකට වඩා ශ්‍රීලනිප ගැති, උදේ හවා රාජපක්ෂ විරෝධී ලෙස හැසිරෙන වුන් පවා ඒ පෞර්ෂයය ඉදිරියේ මෙලෙක්වන අවස්ථා මා සියැසින් දැක බලාගෙන තියෙනවා. මට වඩා ඒ බව අත්දැකි පිරිසක් ඇති. මහින්ද සුළඟින් උත්ථානය වුණේ මහින්ද රාජපක්ෂ විතරක්ම නෙවෙයි, ඔහු වටා සිටි පිරිස වගේම වාසි අත, සුළං අත බලලා හෙමින් හෙමින් මහින්ද සුළඟට එකතුවුණු සියලු දෙනා තම කරමත තබාගෙනයි 2015 මහින්ද රාජපක්‍ෂ උත්ථානය වුණේ. 

ඔබ වඩාත් ප්‍රවේශම් වියයුත්තේ සමීපතමයාගෙන් සහ අතිශය පක්ෂපාතීත්වය පෙන්වන්නාගෙන් බව අමතක කිරීම තමයි ඔහුට වැරදුණු බරපතලම තැන! එවන් සමහරකුගේ වෙස්මුහුණු ගැලවෙමින් ගලවමින් ඇතිවූ අරගලය එක්තරා විදියක වෙස්වළාගත් ආශිර්වාදයක්. නමුත්, ඒ ආශිර්වාදයම නැවත බූමරංගයක් කොට ජන ප්‍රසාදය අප්‍රසාදයක් බවට පරිවර්තනය කිරීමේ උත්සාහයන් ව්‍යර්ථ කරන්න නොහැකි වීම අවාසනාවක්. මැයි 9වෙනිදා වෙන්නේ ඒක. 

සමහරවිට මේක සැලසුම් කළා වෙන්න පුළුවන්, නොකළා වෙන්නත් පුළුවන්. හරියටම ඇත්ත දන්නේ ඊට සම්බන්ධ පුද්ගලයන් පමණයි. එතනදී අර වලහා හාවා බවට කරන පාපෝච්චාරණය ගැන මගේ එතරම් ලොකු විශ්වාසයක් නැහැ. මරණ බයට පුළුවන් යක්ෂයෙක් දෙවියෙක් කරන්නත් දෙවියෙක් යක්ෂයෙක් කරන්නත් වචන විතරක්ම පාවිච්චි කරලා. 

අරලියගහ මන්දිරය ඉදිරිපිට පිරිසට පහරදීම වැරදියි. ඒ කියූ පළියට ඒ විරෝධතාවයට මගේ එකඟවීමක් නැහැ. එතැන ක්‍රියාත්මක වූ සැබෑ බලවේග සම්බන්ධයෙන් කිසිදු පැහැදීමකුත් නැහැ. අනික් අතට ඒ පහරදීම සිද්ධ කරන්නේ අර මම මෙතෙක් කිව් මහින්ද රාජපක්ෂ පෞර්ෂයට ආදරය කරන පිරිසකගේ ආවේගශීලී තීරණයක් මත. නමුත් ඒ ඉන්නේ සම්පූර්ණයෙන්ම කායිකව ශක්තිමත්ම පිරිසකුත් නොවන බව වීඩියෝ දර්ශනවලින් පැහැදිලියි. එහෙනම් ඒ ආවේගශීලී වුණත් ආක්‍රමණය කෙරෙන්නේ මොරාල් එකට වැඩිබරක් දීලා. බේරේ ගිල්වන පිරිස අතරත් අපි දකිනවා අපේ මව්වරුන්ගේ වයස්වල කාන්තාවන්, පියවරුන්ගේ වයස්වල පිරිමින්. එතකොට මෙහෙම පිරිසක් ආපිට එන බව දැනදැනම ගෝල්ෆේස් කරා යන ගමන හැකියාවට වඩා ආවේගයට යන ගමනක් කියන එකයි මේ සිදුවීම දිහා බලාගෙන ඉන්න කොට මට දැනෙන දේ. බොහොම සුලු වේලාවක් ඇතුළත ප්‍රතිප්‍රහාර ලැබෙනවා. විශේෂත්වය තමයි ප්‍රහාරය අසංවිධානාත්මක වීමත් ප්‍රතිප්‍රහාරය ඊට වඩා සංවිධානාත්මකවීමත්. සූර පප්පා උදාහරණය සම්බන්ධයෙන් 100%ක් එකඟයි. පප්පලා එක්ක හැප්පෙන්න බැරිබව දැන දැනත්, තමන්ගේ සීමා ගැන පැහැදිලිව දැනදැනත් තමයි රෝමන්වරු යුද්ධෙට යන්නේ. පප්පලා පොල් අඩිවලින් ඉවර කරන්නේ රෝමන්වරු තනිකරම කන බව දැනදැනම යන ගේම් එකක්. 

එතකොට ඒකට ආපිට ආව ගේම් එක ඔය කට්ටිය ඔප්පු කරන්න උත්සාහ කරන වර්ගයේ අසාධාරණයකට එරෙහිව නැගී සිටීමක් නං නෙවෙයි. ඒවා මේ උදේ හවා සිප්පි බබාලා වීරයෝ කරමින් නටන මගෝඩි මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ගේ ගොංපාට්, (සමාජ මාධ්‍ය ජාලා ඇතුලුව) 

අවස්ථාව එළැඹුණ හැටියේ මිනිසුන්ගේ සැඟවුණු ම්ලේච්ඡත්වය අමුඅමුවේ එළියට ආව එකයි ඔතන වුණේ. 
අමරකීර්ති අතුකෝරළ ඝාතනය ඒකේ උපරිමම අවස්ථාව. නිරායුධ තනි මිනිහෙකුට පිරිසක් වටකරලා පහර දීම සහ අමානුෂික ලෙස නිරුවත  කර පහරදී මරා දැමීම තවමත් සාධාරණීකරණය කරන ම්ලේච්ඡයෝ ඉන්නවා. හැබැයි මේ බහුතරය හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ආරයේ පරමාදර්ශී චරිත ලෙස රඟන අය! සිලාකොට් ප්‍රියන්තගේ ඝාතනය හෙලා දැක්ක, ඒවෙලේ කිඹුල් කඳුළු හෙලූ අය, සැමට ජීවත්වීමට සුදුසු ලෝකයක් නිර්මාණය කිරීම ගැන වැදි බණ වදාරන අය, ප්‍රසිද්ධ මාධ්‍යයක හෝ සමාජ මාධ්‍යවල දරුවෙකුගේ හෝ සතෙකුගේ හෝ මනුස්සයෙකුගේ දුකක් කඳුළක් දැක්කොත් ඒ වෙනුවෙන් කවි ගී ලියා වැලලෙන අය! 
හැබැයි කාට හරි මරපං, ගහපං, ගිනි තියපං කියන්න සිරුරේ සියලු දොරටු විවර කළා ඉතාමත්ම අප්‍රසන්න විදිහට! මොනවවුණත් ගොඩක් පිරුවට යට ඉන්න ගෝත්‍රිකයෝ සේරගේම වස්ත්‍ර ගියා අරගල හුළගේ උඩුගම! උන්ගේ වස්ත්‍රවල පය පැටලිලා තව උං ගියා වැලිගම! දේපල ගියා ගිනිගම! 

ඔව්, ඔය කොල්ලකෑව, ගිනි තිබ්බ දේපලවල අසාධාරණ ඉපැයීම් තියෙන්නත් ඇති, දුක් මහන්සියෙන් කළ සාධාරණ ඉපැයීම් තියෙන්නත් ඇති. ඒ මොක වුණත් 'කිසිම' මිනිහෙකුට අයිතියක් නෑ තව මිනිහෙකුගේ ජීවිතයක් අර තරම් අමානුෂික විදිහට උදුරගන්න, විශේෂයෙන්ම නිරායුධ තනි මිනිහෙකුගේ. 'කිසිම' මිනිහෙකුට අයිතියක් නෑ වෙනකෙකුට අයත් දේ පැහැර ගන්න, මංකොල්ලකන්න, ගිනි තියන්න හෝ විනාශ කරන්න! 
ඒවා තනිකරම ඇරියස්! කපන්න බැරිකමට මෙතෙක් කල් ඉම්බ අත්! විශේෂයෙන්ම ගම්වල ඔය සිදුවූ දේවල්. 
මොනවා වුණත් ඒ මිනිස්සු කාලයක් තිස්සේ ජීවත් වුණ, අපි හැමෝම වගේම ජීවිතවල විවිධ මතක එකතු කළ ගෙවල්! ඒ ගෙවල් ඇතුළෙත් තියෙන්න ඇති ඉස්සෙල්ලම ආදරේ කළ මතක, ඉස්සෙල්ලම තුරුල්වුණ සිපගත්ත මතක, කෝඩුකාර පවුල්වල මතක, මංගලෝත්සවවල මතක, පවුල්වලට දරුවන් එකතු වන්නට යන බවට ලැබුණු සුබාරංචිවල මතක, කිරිදරුවන්ගේ හිනාවල මුල් දණගෑම්වල ඉඳුල් කටගෑම් අකුරු කියවීම්වල මතක, ආදරණීයයන්ගේ සමුගැනීම්වල මතක. ඔබට මට ඇති ජීවිතවල අතිශය හැඟීම්බර මතක දරාගත්ත තැන් වෙන්න ඕන කුහක රොත්තක් විසින් විනාශ කෙරෙන්නේ. ප්‍රසිද්ධියේ පිළිගන්න අවශ්‍ය නෑ. හැබැයි තමන්ගේ හිතට තට්ටු කරලා අහන්න මං දුක්මහන්සියෙන් හදාගත් ගෙදරට විනාශයක් වුණා නම් මට මොනව දැනෙයිද කියලා. එහෙම නැතුව ඒ අපරාධ සාධාරණීකරණය කරන්න අම්බ තර්ක කඳු පිටින් ගෙනාවට වැඩක් නෑ, එතකොට උඹලා උංට වඩා සත්තු වෙලා ඉවරයි. 

රාම රාවණා යුද්ධෙදි රාවණගෙ හී අවසන්වුණාම රාම කිව්වලු නිරායුධ සතුරෙක්ව මං කවදාවත් මරන්නේ නෑ, ගිහින් විවේක අරං හෙට එන්න සටන් කරමු කියලා. අවුරුදු හතළිස් හතරක රාජ්‍යත්වයක් අවසන් කරලා එළාර මරා දැම්මට දුටුගැමුණු එළාර සොහොන ළගින් ගරුබුහුමන් දක්වා යන්න නියම කරාලු. අද ඔක්කොම කතා කරන්නේ ඉතිහාසයේ වූ වැරදි නිවැරැදි කරන හැටි. එළාර මැරුව එක වැරදියි, දෙන්නට සහයෝගෙන් රාජ්‍යය විචාරන්න තිබ්බා වගේ බොළඳ තර්ක ගේන උගත්, ශිෂ්ට, සදාචාර සම්පන්න, ධාර්මික, අධිමානුෂික, අධිසංවේදී  බොරු සුචරිතවාදියොන්ගෙ ගෝත්‍රික ම්ලේච්ඡ මුහුණු දැන් නිරාවරණය වෙලා ඉවරයි. 

සමහර වෙලාවට කලු වලාවල රිදී ඉරි පේනවා. මේකත් ඒ වගේ. මොකද මේ ගැලවිච්ච වෙස් මූණූ මරණ මංචකය වෙනකල් තද කරකර බැන්ඳත් ඇත්ත මූණේ කැත ලෝකේ දැකලා මතකේ රැඳිලා ඉවරයි! 

ඉතින් ආයුබෝවන් සුචරිතනි බොරූ!

~ Aash Weerasinghe  

#AW #hypocrisy #humanitychallenge #srilankanpolitics #SriLanka #betterworld

No comments:

Post a Comment