Friday, May 13, 2022

පරසතුමල්

2022 මැයි 6දා - සිනමාවේදීන් සහ හෙළ රිදී තිරය සමූහයන්ට

ඇත්තම කිව්වොත් මං සිංහල සිනමා ලෝලියෙක් වුණේ 90 දශකයේ පුංචි එකෙක් හැටියට එවකට තිබුණු සීමිත රසවින්දන මාධ්‍ය කීපයෙන් ප්‍රධානම එකක් වුණ සිනමාවට ඇලුම් කරපු දෙමව්පියෝ හින්දා, එන එන චිත්‍රපටිය නරඹන්න මට තේරුණත් නැතත් මාවත් අරං ගිය හින්දා. ඒ ඇරෙන්න මාත් ගියේ වෙන මොකවත් නොතේරුණත් ඒ කාලේ සිනමාශාලාවල විතරක්ම තිබුණු අයිස්චොක් අල්ලසක් අනිවාර්යයෙන්ම ලැබෙන හින්දා. එකට දහයක් හරි ඒ වගේ අවස්ථාවක ඉල්ලුවානං ලැබෙනවා, කරදරකාරයෙක් නොවුණත්.

90 දශකය වෙද්දී මම හිතන්නේ ගාමිණී ෆොන්සේකා සුපුරුදු ප්‍රේමවන්තයාගේ චරිතයෙන් ටිකක් ඈත්වෙමින් ඉන්න ඇත්තේ. හැබැයි ඒ වෙද්දිත් තිරයේ මැවුණ ප්‍රතාපවත් පෞර්ෂයයක් කියලා මතකයක් තියෙනවා. ඒ ඇරුණම ඔහු මගේ තාත්තාගේ ප්‍රියතම රංගන ශිල්පියෙක්. තාත්තාට පොඩි විහිළුවක් වගේ කරන්න හිතුණම පස්සේ කාලෙක මම ගාමිණී ෆොන්සේකාගේ නැටුම් විලාශය එහෙම අනුකරණය කරලා පෙන්නනවා. ඒ කතාව කිව්වෙ ඔහුට කිසිම අපහාසයක් උපහාසයක් හැටියට නොවෙයි🙏 ගාමිණී ෆොන්සේකා කියන්නේ වෙනමම විදියක අපූර්ව පුරුෂ පෞර්ෂයයක්. ඒ පෞර්ෂත්වයට වීරයෙක්, පරිණත ප්‍රේමවන්තයෙක්, දැඩි මතධාරියෙක්, චණ්ඩියෙක්, දැඩි විනයවාදියෙක් මිසක් මල්ගස් වටේ සහ නිළිය වටේ නටන බොළඳ ප්‍රේමවන්තයෙක්ගේ භූමිකාව එහෙමටම ගැලපෙන්නේ නැහැ කියන එකයි මගේ පුද්ගලික මතය. ඔහු එහෙම චරිත රඟපාලා තියෙනවා, නමුත් ඒ ප්‍රේමවන්තයාගේ චරිතවලිනුත් ගාමිණී ෆොන්සේකා මතුවීම වළක්වන්න බෑ වගේ ගතියක් දැනෙනවා. ඒක ධනාත්මක සිතුවිල්ලක්. ඇත්තටම තරු ගුණය සහිත රංගන ශිල්පීන් ශිල්පිනියන්ට ආවේණික වූ ඉරියව් (signature moves) ගත්තහම ගාමිණී ෆොන්සේකාගේ හැසිරීම්, ඉරියව් කැපී පෙනෙන විශේෂයක් දක්වනවා කියලා හිතෙනවා. 

කොහොම වෙතත් ඒ වෙද්දි වර්ණ චිත්‍රපට යුගයට ඇවිත් තිබුණත් කලුසුදු චිත්‍රපටත් තිරගත වුණා, මට මතක හැටියට. ඒක නිසාම පරණ කලුසුදු චිත්‍රපටවලටත් මගේ ලොකු ආදරයක් තියෙනවා. 

එහෙම මං ඉපදෙන්න හිතන්නත් සෑහෙන්න කාලයකට කලින් තිරගත වුණු, ඒත් මං කැමතිම චිත්‍රපට අතර මුලින්ම තියෙන එකක් 'පරසතුමල්'. ගාමිණී ෆොන්සේකාගේම අධ්‍යක්ෂණයක් වුණ පරසතුමල් තිරගත වෙලා තියෙන්නේ 1966  වසරේ සැප්තැම්බර් 26වෙනිදා. සිංහල සිනමාවේ 140වන චිත්‍රපටය වන පරසතුමල් 1967 සරසවි සම්මාන උළෙලේත් 1968 වසරේ ස්වර්ණ සංඛ සම්මාන උළෙලේත් හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. ඒ වගේම 1967 වසරේ සරසවි සම්මාන උළෙලේදී හොඳම නලුවා (ගාමිණී ෆොන්සේකා),  හොඳම තිර රචනය (පී ඩී කේ සෙනෙවිරත්න), හොඳම කලා අධ්‍යක්ෂණය (ධර්මසේන හේමපාල), හොඳම ගායිකාව (සුජාතා අත්තනායක) යන සම්මානත් 1968 United Lanka Fans Society Awards Ceremonyහිදී හොඳම නිළිය (අනුලා කරුණාතිලක), හොඳම සහය නළුවා (ඩී ආර් නානායක්කාර), හොඳම සහය නිළිය (ශාන්ති ලේඛා), හොඳම නිෂ්පාදනය (චිත්‍රා බාලසූරිය), හොඳම තිර රචනය (පී ඩී කේ සෙනෙවිරත්න), හොඳම සිනමා කැමරාකරණය (සුමිත්ත අමරසිංහ) යන සම්මානත් දිනාගැනීමට සමත් වෙලා තියෙනවා. 

ධනවත් සෙල්ලක්කාර බොනී මහත්තයගේ චරිතයට ගාමිණී තරම් සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් රංගන ශිල්පියෙක් හිටියෙත් නෑ, ඉන්නෙත් නෑ කියන්න සිද්ධ වෙන තරමටම ගාමිණී සහ බොනී වෙන් කරන්න බැරි තරම් ඒ රංගනය ප්‍රබලයි. මනුෂ්‍යයෙක්ගේ වයස එක්ක සිද්ධ වෙන මානසික, කායික, අධ්‍යාත්මික වෙනස්කම් එක්කම ඔහු වටා සමාජයේ සිදුවන වෙනස අපූරුවට ගලපලා ඉදිරිපත් කරන තිර පිටපත අතිශය සාර්ථකයි. ඒකට උපරිම සහයෝගය කැමරාවෙන් ලැබෙන හින්දා පරසතුමල් අදටත් සිංහල සිනමාවේ අමරණීය සංධිස්ථානයක්.❤️

කැමරාව ගැන කිව්වොත් මං ආසම අවස්ථාව පහළ පින්තූරවල තියෙනවා, බොනී මහත්තයා පඩිපෙළේ උඩ හිටගෙන ඉන්න අවස්ථාව, ඔහුගේ යෝධ හෙවණැල්ල පිටුපස බිත්තිය මත පතිත වෙනවා. මං හිතන්නේ ඒ එක shot එකෙන්ම බොනී ගැන කියන්න තියෙන ගොඩක් දේවල් කතා කරලා ඉවරයි කියලා. අමුතු අපූරු පෞර්ෂයයක් තියෙන, මනුස්සකමයි යක්ෂකමයි එක වගේම පිහිටපු, ආදරේ නොකරන කරපු ආදරේ නොදිනපු සෙල්ලක්කාරයාගේ යෝධ ප්‍රතිරූපය ඒ එක අවස්ථාවෙන් පෙන්නනවා, ඇස්වලට කඳුළු එන්න තරම් ප්‍රබලව! 

ඒ ඇරෙන්න ඊළගට මට හුඟක් සංවේදීවම දැනෙන තැන තමයි ජීවිත කාලය පුරාම හෙට ඉර පායනවා කියන සුභවාදී දැක්මෙන් විනෝදයෙන් ජීවිතේ ගෙව්ව සුන්දර මිනිහා අවසන් මොහොතේ අහන 'හෙට ඉර පායයිද මැගී?' කියන ප්‍රශ්නය. තමන්ගේ කාලය අවසන් බවත්, හෙටක් ගැන ඇති බලාපොරොත්තුවක අවසානයත්, අවිනිශ්චිතබවත්, එක්තරා විදියක පශ්චාත්තාපයකුත් ඇතුළු හැඟීම් ගොන්නක් වචන හතරකට ලඝු කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි, ඒ වචන හතරට ප්‍රේක්ෂකයා සංවේදී කරවන්න තරම් පණපිහිටුවන එක කොහොමටත් ලේහි පහසු වැඩක් නොවෙයි. 

පරසතුමල් ගැන කතා කරද්දී අමතක කරන්නම බැරි එහි එන ගීත. 'පරවුණු මල්වල සුවඳ අතීතේ - පරසතු මල් ළඟ විසිර ගියාවේ ' කියන වචන පේළියට ආදරේ කරන්න ගනිද්දි ඒ චිත්‍රපට ගීතයක් ද කියලවත් ඇත්තටම මම දැනගෙන හිටියෙ නෑ, ඒ වගේ දෙයක් තේරෙන ලොකු වයසකදිත් නෙවෙයි ඒ පදපෙළට ආදරෙන් බැඳුණේ. ❤️

පරවුණු මල් වල සුවඳ අතීතේ   
පරසතු මල් ළඟ විසිර ගියාවේ 
දුවගෙ මුවින් එන කැකුළු සිනාවේ 
එළිය මැදින් හෙට දවස උදාවේ 

අතට වළලු මම කොහෙන් සොයම් දෝ 
පයට ගිගිරි මම කොහෙන් සොයම් දෝ 
ඉණට හවඩි මම කොහෙන් සොයම්​ දෝ 
දුවට මවක මිස පියකු කොයින් දෝ 

දාවල ගෙවිලා අඳුර ගලනවා 
ඈත ලොවට නිදි දෑස පියෙනවා 
හීතල පාළුව හියුඩු පිපෙනවා 
ඒ අතරින් දුව දොරට වඩිනවා

ගායනය: විශාරද සුජාතා අත්තනායක 
ගී පද: මහගම සේකර සහ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ 
තනුව සහ සංගීත අධ්‍යක්ෂණය: ලයනල් අල්ගම 


අනෙක් එතරම් කතා බහට ලක්නොවෙන ඒත් කලින් ගීතය තරම්ම රසවත් අනික 'සඳකත් පිණිදිය දියවී ගලනා' ගීතය.

සඳකත් පිණිදිය දියවී ගලනා
සීතල කඳු අතරේ
හද ගොලුවී ඉකිබිඳ 
ඔබ හඬනා හඬ
මා සවනේ පෑරේ

නිසංසලේ රෑ අහසේ
නිසංසලේ රෑ ඝන බොල් අහසේ 
මිලාන වූ තරු එළියේ 
ඔබේ නුවන් මිණි පහන් නැගී
ඇවිලේ මා දෑසේ.. //

සුසුම් හෙලන තුරුලතා ලපල්ලේ
සිහිල් සුළඟ හා වෙලී
මගේ කවුලු දොර තුළින් එබී
ඔබ සොයා ඇදේ

ගායනය: ඩබ්ලිව් ඩී අමරදේවයන් 
ගී පද: මහගමසේකර 
තනුව සහ සංගීත අධ්‍යක්ෂණය: ලයනල් අල්ගම 

ඒ වචන❤️ ඒවා වචන නෙවෙයි. විරහවේ හැඟීම් හූරන කිණිසිතුඩු❤️ 

මට හරියටම කියන්න අමාරුයි පරසතුමල්වල සම්පූර්ණ සංරක්ෂිත පිටපත් තියෙනවාද කියන එක නම්. මීට අවුරුදු කීපයකට කලින් ටොරානා ළග තිබිලා ගත්ත පිටපතක් තමයි මාත් බැලුවේ. රසිකයෙක් ළග හරි තියෙනවා නම් ආදරෙන් ඉල්ලන්න තියෙන්නේ වගකිවයුතු තැනකට දීලා ඒ පිටපත් ආරක්ෂා කරන්න, එයින් පිටපත් ගන්න පියවරක් ගන්න කියලා. මුලින්ම මේ චිත්‍රපටය බැලුව ප්‍රේක්ෂකයන් තමයි දන්නේ දැනට තියෙන පිටපත් සම්පූර්ණ ද නැද්ද කියන එක. 

අවසානයට කියන්න තියෙන්නේ බලලා නැත්නම් මේ චිත්‍රපටය සොයාගෙන බලන්න. ඒ පැය දෙක කොච්චර වටිනවද කියලා දැනෙයි. ❤️😇

No comments:

Post a Comment