Friday, May 13, 2022

පාස්පෝට් කන්තෝරුවේ සිස්ටම් ඩවුන් වීම

2022 මැයි 5දා

පහුගිය නොවැම්බරයේ මගේ අත්දැකීමත් ලියන්න හිතුනා. කෝවිඩ් නිසා අවුරුදු දෙකක් විතර කල් ඉකුත් වුණ ගමන් බලපත්‍රය තියං ඉඳලා බැරිම තැන පහුගිය නොවැම්බර් මාසේ මුල මාත් ගිහින් අලුත් අයදුම් පත්‍රය භාරදුන්නා එක් දින සේවාව සඳහා. ඒ වෙද්දිත් ලංකාවම රට යන තරමට එතන සෙනඟ!

මේ ගියේ සති ගණනකට කලින් වෙලාවක් වෙන්කරවගෙන,1919න් අවශ්‍ය ලියකියවිලි මොනවද කියලා පැහැදිලිව දැනගෙන. 

ප්‍රධාන දොරටුවෙදී ඇහුවා එක්‌දින සේවාවට කොහෙටද යන්න ඕන කියලා. කතාවක් නැතුව ඇඟිලි විහිදලා පෙන්නුවා තුන්වෙනි තට්ටුවට කියලා. ඔය කන්තෝරුවේ ගිය අය දන්නවා මහගිරිදඹේ වගේ. තට්ටු තුන නැග්ගා. කවුන්ටරේට ගියා. බුම්මගත්ත නෝනා කෙනෙක් වාඩිවෙලා ඉන්නවා. මං කිව්වා එක්දින සේවාවට අයදුම් පත්‍රය දෙන්න කියලා. 'ආ ඒක ගන්න ඕන පල්ලෙහායින්නේ' කියලා උච්ච ස්වරයෙන් ඇහුණා. ආයෙත් මහගිරිදඹේ බැහැලා පහළට ආවා. පහළින් අයදුම්පත්‍රයක් ඉල්ලගත්තා, පිරෙව්වා, මහගිරිදඹේ නැගං ගිහින් අර බුම්මන මහත්මියට නැතුව එහා පැත්තෙ ඉන්න මහත්මයගෙන් ටෝකන් එකක් අරං පෝලිමට එකතු වුණා.
ප්‍රින්ට් අවුට් එකක් ගන්න ඕන වෙලා ආයෙමත් මහගිරිදඹේ බැහැගෙන පහළට ආවා. ආයෙමත් උඩට ගිහින් පෝලිමේ හිටියා. 

 එක කවුන්ටරේකින් කලින් ගමන් බලපත්‍රය, උප්පැන්න සහතික, ඇතුළු සේරම පරීක්ෂා කරලා නැවත දුන්නා. ඊටපස්සේ ටෝකන් අංකය කතා කරනකං වාඩිවෙලා ඉඳලා ඇතුලේ කවුන්ටරේකට ගිහින් ලිපිලේඛන භාරදුන්නා. එතනදීත් සේරම නැවත පරීක්ෂා කරලා භාරගත්තා. ඊටපස්සේ ඇඟිලි සළකුණු ගන්න යැව්වා. ඒකත් දුන්නා. අන්තිමට ගෙවීම් කවුන්ටරේකට ගිහින් ගෙවීමත් කළා.

කොච්චර වෙලාවක් යාවිද ඇහුවම හවස් වෙනවා කිව්වා. එතන කට්ට කන්න අමාරුකමට ගෙදර ගියා. පැයකට දෙකකට පස්සේ කෝල් එකක් එනවා ඔරිජිනල් උප්පැන්න සහතිකය අරං එන්නලු! මං කිව්වා ඔරිජිනල් එක දුන්නා කියලා. නෑ ඔරිජිනල් එක ගේන්නකෝ කියලා ආයෙත් දැනුම් දීලා ඇමතුම විසන්ධි කළා.

ආයෙත් ලෑස්තිවෙලා තියෙන උප්පැන්න සහතික පිටපත් සේරම අරං ගිහින් මහගිරිදඹේ නැග්ගා.
'මොකද්ද ප්‍රශ්නෙ?'
'මිස් මේ පරණ උප්පැන්න සහතිකයක්. මේකට පාස්පෝට් එක දෙන්න බෑ, අලුත් උප්පැන්න සහතිකයක් ඕන'
(මැරිලා ආයෙත් උපදින්නද කියන්නේ කියලා හිතෙන් අහන ගමන්) 'අලුත් උප්පැන්නයක් කියන්නේ මොකද්ද?'
'මේ උප්පැන්න සහතිකවල දැන් දෙන්නේ වෙන ෆෝමැට් එකක්. ඒක නැති නිසා මේ පාස්පෝට් එක ප්‍රොසෙස් කරන්න බෑ'
(පුදුම කතාවක්නේ! ෆෝමැට් එක වෙනස් වුණා කියලා මම දන්නේ කොහොමද! කොයි ෆෝමැට් එකට ගැහුවත් ඔය නංගං ටිකම තමයි ඉතින් තියෙන්නේ)
'ඉතින් දැන් මට කලින් පාස්පෝට් එකක් තිබිලා තියෙනවානේ. ඒක හින්දා උප්පැන්න සහතික ෆෝමැට් එක වෙනස්වීම ලොකු ගැටලුවක් වෙන්න බැහැනේ. අනික කවුන්ටර් දෙකකින්ම පරීක්ෂා කරලනේ භාරගත්තේ'
පුලුවන් තරම් මධ්‍ය සප්තකයෙම රැඳෙන්න උත්සහ කරමින් මං කිව්වා.
'හරි, පොඩ්ඩක් එළියෙන් ඉන්නකො බලන්න'

තව පැය බාගයක් විතර වීදුරු කාමරෙන් එළියේ හිටගෙන හිටියා. මේ මොන රස්තියාදුවක්ද! තව කීප දෙනෙක් එතන ඒ විදියටම රැඳිලා ඉන්නවා. බැරිම තැන දොර ඇරගෙන ඇතුළට ගිහින් ඇහුවා මොකද්ද දැන් වෙන්නේ කියලා.
පොඩ්ඩක් ඉන්න, ලොක්කගෙන් අහලා එන්නං කියලා මගේ ෆයිල් එක අරං එළියට පැන්න මනුස්සයෙක් නොපෙනී යනකල් මං බලං හිටියා.
ටික වෙලාවකින් ඔන්න ඒ නිලධාරියා ආවා.
'මේක හදිස්සිද'
'අපොයි ඔව්' (නැත්තං රැපියල් 15,000ක් ගෙවලා එක්‌දින දානවැයි!) මං දැං මේ ෆ්ලයිට් එකට යන හදිස්සියෙන් කිව්වා.
'හරි, පොඩ්ඩක් ඉන්නකො'
වෙලාව ගෙවුණා.
මං ආයෙමත් වීදුරු දොරෙන් එබුණා 'හරිද මොකද වෙන්නේ?'
'හරි හරි, බොස් කිව්වා කලින් පාස්පෝට් තියෙන නිසත් හදිස්සි නිසත් දෙන්න කියලා'
'කීය වෙයිද?' (එතකොටත් හවස 4.30) 
'රෑ වෙයි' 
'නෑනෙ, ඕගොල්ලෝ දැන් වැඩ ඉවරනෙ' 
'අපෝ නෑ මිස්, මේ ඉන්න ඔක්කොගෙම පාස්පෝට් ටික අද දීලා තමයි යවන්නේ' 

මං හරි සන්තෝසෙන් එළියට බැහැලා සොබා සිරි අසිරිය විඳිමින් ඉන්නකොට රෑ අටට විතර එස්එම්එස් එකක් ආවා ඇවිත් පාස්පෝට් එක ගන්න කියලා.
මං යද්දිත් එතන සෙනග පිරිලා. පොලිස් නිලධාරියෙක් බොහොම කාරුණිකව මගෙන් ටෝකන් අංකය අහං කවුන්ටරේකින් ඇහුවම පොඩ්ඩක් ඉන්න කියලා කිව්වට ඒ පැත්ත බලලා මේ පැත්ත බලන්න කලින් පාස්පෝට් එක ලැබුණා!

එකම ආයතනයක එක එක අවස්ථාවල හම්බවෙන නිලධාරීන්ගේ විදියට අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ!

ගමන් බලපත්‍ර, හැඳුනුම්පත්, උප්පැන්න සහතික වගේ පුද්ගලික ලියකියවිලි නිකුත් කිරීම සෙල්ලමක් නෙවෙයි. ඒක හරි.
විශේෂයෙන්ම, ව්‍යාජ ලේඛන හදන රටක.
එතකොට ඒ අනුගමනය කෙරෙන ක්‍රියාපටිපාටියේ අවශ්‍යතා ඇති. ප්‍රශ්නය තියෙන්නේ ඒ සංකීර්ණ ක්‍රියාවලිය සරල කරගන්න විදියක් ඇත්තේම නැද්ද කියන එකයි.

ජාතික හැඳුනුම්පත් සහ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඩිජිටල්කරණය කළානම් මේ කටයුත්ත මීට වඩා පහසු කරගන්න තිබුණා (e-passport, e-NIC) . අනවශ්‍ය කාල නාස්තිය, සම්පත් නාස්තිය අවම කරගන්න තිබ්බා.
හැබැයි ඒක සිද්ද වෙන්නත් ගියා කීපවතාවක්ම. අවාසනාවකට නිලධාරීවාදයට යටත්වීම නිසා අතරමගින් ලොප් වෙනවා. දන්න අය ඒ ගැන දන්නවා. නොදන්න අයට ඒ ගැන හොයලා බලන්න පුළුවන් (හැබැයි බයිලා චක්‍රවර්තී සියල්ල දන්නා ලෙස රඟපාන නලු නිලියන්ගෙන් නෙවෙයි, ඇත්තටම ඒ ගැන දැනුවත් වෘත්තීයවේදීන්ගෙන්). සදාචාරාත්මක නොවන නිසා ඒ ගැන මීට වඩා ලියන්න බලාපොරොත්තුවක් නැහැ. 

දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන කණගාටුයි. කලින් දවසේ එන්න එපා කියලා කලින්ම දැනුවත් කළා. අද සිස්ටම් ඩවුන් කියලා නිව්ස් ඇලර්ට් ඇවිත් තියෙනවා උදේ 6:57ට. මේ එන ඇලර්ට් තොගයෙ හැටියට හැමෝම ඕක ආවත් බලන්නේ නැතුව ඇති. සමහරුන්ට එහෙම දැනගන්න විදිහක් ඇත්තෙත් නැතුව ඇති. සමහරවිට දැනගද්දි එන්න පිටත් වෙලත් ඉවර ඇති. ඒත් නැත්නම් කීයට හරි හරියයි කියලා සුභවාදීව බාරගන්නත් ඇති. නැත්නම් යන්න හදිස්සිම අයත් ඇති. 

එහෙම බැලුවම හැමෝම පීඩීතයො, හිතා හරි නොහිතා හරි තව කොටසක් පීඩකයෝ. 

හැබැයි ඉතින් පාස්පෝට් ගහන්නේ ගෝඨාභය හින්දා එයා ගියා නං නොඉල්ලපු අයටත් පට්පට් ගාලා පාස්පෝට් ලැබෙන්න තිබ්බා! 😂

#srilankatoday
#immigrationdepartment

No comments:

Post a Comment