Friday, May 13, 2022

ඕල්වේස් බ්‍රේක්ඩවුන් (Always Breakdown)

2022 මැයි 13දා සිනමාවේදීන් සමූහයට 

ඕල්වේස් බ්‍රේක්ඩවුන් (Always Breakdown)

ලංකාවේ දේශපාලන ප්‍රහසනය කියන එක අතීතයේ පටන් කවිකොළවල ඉඳන්  නොයෙකුත් මාධ්‍ය යොදාගෙන නිර්මාණය වෙන්න ඇති. හැබැයි, සම්පූර්ණයෙන්ම දේශපාලන ප්‍රහසන ශානරය (political satire) යටතේ නිර්මාණය වුණු පළවෙනි රූපවාහිනී වැඩසටහන වෙන්න ඕන TNL නාලිකාවේ විකාශය වුණු 'ඕල්වේස් බ්‍රේක්ඩවුන්' (Always Breakdown) වැඩසටහන. 

ජාතික නාලිකා දෙක ප්‍රතාපවත් ගාම්භීර සාම්ප්‍රදායික මාධ්‍ය විදිහට පවතින කාලයේ ඉස්සෙල්ලම මට මතක හැටියට වෙනස් ආකාරයක මාධ්‍ය සම්ප්‍රදායක් හඳුන්වලා දුන්නේ TNL එක.

90 දශකයේ අගට කිට්ටුව වගේ ආරම්භ වුණු 'ඕල්වේස් බ්‍රේක්ඩවුන්' එවකට පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග රජය සහ රනිල් වික්‍රමසිංහ විපක්ෂය පාදක කරගෙන වෙනත් අන්වර්ථ නාම සහිතව නිර්මාණය කෙරුණක්. ඔවුන්ගේ සැබෑ ස්වරූපයට සමානව නිර්මාණය කර තිබූ මේ රූකඩවල  (muppets) නිර්මාපකයා ධම්මික කල්‍යාණප්‍රිය. තිර රචකයෙක් ලෙස දැන් ජනප්‍රිය සද්ධාමංගල සූරියබණ්ඩාරගේ අධ්‍යක්ෂණයක්. මුලින්ම මෙහි තිර රචකයා වී ඇත්තේ හරිත් ගුණවර්ධන බව කියැවෙන නමුත් යම් නීතිමය ගැටලුවකින් පසු සද්ධාමංගල විසින්ම තිර රචනයත් සිදුකළ බව තමයි කියැවෙන්නේ. 

 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග චරිතය පාදක කරගත් ඇනිබල් අක්කා,රනිල් වික්‍රමසිංහ චරිතයේ පාදක කරගත් ඇම්ඩන් ප්‍රධානව සයනයිඩ් (වේලුපිල්ලේ ප්‍රභාකරන්), ඔනරබල් ගොන්සන් (අලවාහීනි මාධ්‍යවේදී), ජිම් පප්පා (ජී එල් පීරිස්), බිංකොමාන්ඩෝ (අනුරුද්ධ රත්වත්තේ), කිරි බර්ටි (අනුර බණ්ඩාරනායක), ඇල්පේනියෝ, මුදලාලි, ගොබ්ස් යන චරිතත් අන්වර්ථ නාම මට හරියටම කියන්න මතක නැති තොණ්ඩමන්, මර්වින් සිල්වා, අෂ්රෆ්, මහින්ද රාජපක්‍ෂ යන දේශපාලන චරිතත් මීට ඇතුළත්. වර්තමාන පරම්පරා නරඹා නැතිවෙන්න පුළුවන් වුණත් ඒ කාලයේදී අතිශය ජනප්‍රිය වැඩසටහනක් වුණේ නිරායාසයෙන්ම. ඒකට ප්‍රධානම හේතුව වෙන්න ඇත්තේ පැවති දේශපාලන සහ සමාජීය තත්ත්ව, කැරළි, මර්ධන, හීෂණ යුගයකට පස්සේ දේශපාලන ප්‍රහසනයක් නිර්මාණයෙන් ගැනුණු නිර්භීත පියවර වෙන්න පුළුවන්. ඒ වගේම එහි තිබූ නැවුම් නිර්මාණශීලීත්වය, මධ්‍යස්ථ දේශපාලන යෙදීම ජනප්‍රියත්වය වැඩි කළා මිසක් අඩු කළේ නැහැ. මට මතක හැටියට එවකට සිටි ජනාධිපතිනිය චන්ද්‍රිකා පවා වැඩසටහන නැරඹන  බව කියා තිබුණා. සහෝදරයාගේ මාධ්‍ය නාලිකාව වුණත් ඇම්ඩන් චරිතය තුළින් රනිල් වික්‍රමසිංහ උපහාසයට පත් කිරීම සම්බන්ධයෙන් අනුකම්පාවක් නම් ලබලා තිබුණේ නෑ. 

තව විශේෂත්වයක් තමයි ජනප්‍රිය වැඩසටහන් හෝ සිදුවීම් නිසා කාලෙන් කාලෙට අපේ ව්‍යවහාරට එකතුවෙන විවිධ වචන, වගන්ති අතරට ඕල්වේස් බ්‍රේක්ඩවුන් නිසා එකතු වූ දේ තවමත් විටින් විට මතුවෙමින් නැතිවෙමින් පවතින එක. ඒ අතර ඇනිබල්ගේ 'හායි මෙයාලා' සහ ඇම්ඩන්ගේ 'කැචයි හොඳේ' ප්‍රධානයි. ඒ වගේම ප්‍රසිද්ධ සිංදු වෙනත් වචන යොදලා නිර්මාණයට දායක කරගෙන තිබීම. ඒ වගේ සිංදු අතර 'ඇනී නමැති වන බඹරා', 'මගෙ කණ කෑවෝ, මගෙ කණ කෑවෝ ඇනියා කණ කෑවෝ' වගේ ඒවා තවමත් මතකයේ රැඳුණු ඒවා. 

මේ වැඩසටහනේ ශ්‍රම සහ නිර්මාණ දායකත්වය:
හඬ ගැන්වීම:
රවීන්ද්‍ර යසස් 
නාමල් බණ්ඩාර 
සරත් චන්ද්‍රසිරි 
සරත් කුලාංග
හිලේරියන් පෙරේරා 
සාලිය කුමාරසිරි 
ධම්මික කළ්‍යාණප්‍රිය
මාලතී කල්දේරා

රූකඩ මෙහෙයවීම:
රූපසිංහ කංකානම්ගේ
වී නිශාන්ත 
නන්දන දීප්ති කුමාර 
ජී දිසානායක 
නාමල් බණ්ඩාර 
ධම්මික කළ්‍යාණප්‍රිය
ලක්ෂ්මන් ප්‍රදීප් 

ඇඳුම් නිර්මාණය: අයිරාංගනී කුරේ

රූකඩ නිර්මාණය/ සහය අධ්‍යක්ෂණය: ධම්මික කළ්‍යාණප්‍රිය

ශබ්ද පරිපාලනය: ජයලත් ප්‍රනාන්දු 

කලා අධ්‍යක්ෂණය: 
ආරියදාස සිල්වා 
සෝමසිරි වලල්ලාවිට

සහය ආලෝකකරණය:
චාමින්ද ශ්‍රීලාල්
නිහාල් පෙරේරා 

නිෂ්පාදන කළමනාකරණය: සමන් වික්‍රමරත්න

සංගීතය: සරත් කුලාංග 

පටිගත කිරීම: භාරත ගුණතිලක 

කැමරාකරණය: 
චන්ද්‍රපාල අල්විස් 
දිනේෂ් ධර්මවර්ධන 

සංස්කරණය/දෘශ්‍ය සංකලනය:
නාලක දයානාත්

තිර රචනය: 
හරිත් ගුණවර්ධන (මුල් කාලය) 
සද්ධාමංගල සූරියබණ්ඩාර (පසුකාලීනව) 

විධායක නිෂ්පාදනය: ඉෂිණි වික්‍රමසිංහ 

අධ්‍යක්ෂණය: සද්ධාමංගල සූරියබණ්ඩාර 

ඕල්වේස් බ්‍රේක්ඩවුන් සම්බන්ධයෙන් කතා කරද්දී එහි තේමා ගීතය ගැන කතා නොකර කොහොමද. 
 
ඕල්වේස් බ්‍රේක්ඩවුන් ඕල්වේස්//
ඕල්වේස් බ්‍රේක්ඩවුන් අපේ ගම තමයි
හැමදාමත් සාටර් වී ඉන්නේ අපි සැමා

අනේ නෝනා කරුණාකර මේ අහන්ඩකෝ
මටත් ටිකක් වාඩිවෙන්න පුටුව දෙන්ඩකෝ
බණ ටෝකිං මෙන්න මෙයා රට ඉල්ලනවා
වට් නොන්සන් ඒක අපට කන්න තියනවා

දාහත් වසරක් කාලා අපේ දුන්නට
දෙන්නෙම නෑ විස්සක් යනකං රට තොපට
ඇදවුණු රට අපි ඉඳගෙන කෙලින් කරනවා
ඊටපස්සේ කෑලි කපලා සුද්දට දෙනවා

ආ එයා මෙයා කොයා වුණත් රජා මං තමා
ඒ කන්දෙත් මේ කන්දෙත් මගේ අණ තමා
අනංමනං ටෝක් බෝක් දාන්නේ කව්ද
මල්ලි ඉතුරු වෙච්ච පරණ ටයර් ඕන කාටද

ඔක්කොමල්ලා මෙතන ඇවිත් බයිලා ගහනවා 
අම්මාපල්ලා මං බෝම්බෙ පත්තු කරනවා

ඕල්වේස් බ්‍රේක්ඩවුන් ඕල්වේස්//
ඕල්වේස් බ්‍රේක්ඩවුන් අපේ ගම තමයි
හැමදාමත් සාටර් වී ඉන්නේ අපි සැමා

අහලම බලන්න:

අවුරුදු ගානක් ගිහිල්ලත් සිංදුවේ වචන තාම අපිට වලංගුයි. 🙄

ඕල්වේස් බ්‍රේක්ඩවුන් කොටස් කීපයක් youtube නාලිකාවේ තිබෙනවා. 
බලන්න කැමති කෙනෙකුට: https://youtu.be/xgchEqGnXLY

සම්පූර්ණ පිටපතක් තියෙනවද දන්නේ නෑ, නමුත් ටොරානා ළගත් ඇති කියලා හිතනවා. TNL නාලිකාවට වෙනත් බාධාවක් නැත්නම් නැවත විකාශයක් කරන්න පුළුවන් නම් වටිනවා. 

අවුරුදු විස්සකට කිට්ටු වෙලා, යූටියුබ් මාධ්‍යකරණය ප්‍රචලිත වෙලා, හාස්‍යය ප්‍රහසනය සාමාන්‍ය ජීවිතයේ විශාල කොටසක් වෙලා, ඇනිමේෂන් වැනි දෘෂ්‍ය මාධ්‍ය ප්‍රගතීන් සිදුවෙලා, විවිධාකාර මට්ටමින් ප්‍රහසනයන් නිර්මාණය වෙන යුගයකට ඇවිල්ලත් තාම අදට සාපේක්ෂව අඩු සම්පත් ප්‍රමාණයක් සහ තාක්ෂණයක් යොදාගෙන නිර්මාණය වුණු ඕල්වේස් බ්‍රේක්ඩවුන් වැන්නකට තරඟයක් දිය හැකි මට්ටමේ නිර්මාණයක් බිහිනොවීම අපි ආපහු හිතන්න ඕන කාරණාවක්.

2 comments:

  1. මට හොඳට මතක වැඩසටහනක්

    ReplyDelete
    Replies
    1. ඉයන්, කාලෙකින්. අපි සමකාලීනයො වෙන්න ඇති

      Delete