Friday, May 13, 2022

හීන බලන අපි

2022 අප්‍රේල් 17දා

දේශපාලනිකව කිසිම කඳවුරකින් මම උපයා ගත්ත දෙයක් හෝ පෞද්ගලික ලාබ ප්‍රයෝජනයක් නෑ. නමුත් විවිධාකාර මට්ටමින් පැවති සහ පවතින රජයන් හෝ සමීපතමයන් සමගත් විවිධ මට්ටමේ නිලධාරීන් සමගත් කටයුතු කිරීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතුවල නිරත බහුතරයකට ලැබෙන අවස්ථාවක් මිස විශේෂ එකක් නෙවෙයි. 

සැබෑ ලෝකයේ සර්ව සාධාරණය සර්ව කාලීනව ක්‍රියාත්මක වෙන්නේ නෑ. පොඩි පෙට්ටි කඩේ ඉඳන් දැවැන්ත ව්‍යාපාර සමූහයන් දක්වා හැම ව්‍යාපාරයකම අරමුණ වාණිජ ලාභ! ඒ හැම කෙනෙක්ම ප්‍රමුඛත්වය දෙන්නේ යම් අවස්ථාවක් තමන්ට ලබාගන්නෙ කොහොමද ඒකෙන් උපරිම ලාභයක් අත්පත් කරගන්නේ කොහොමද කියන කාරණාවලට. 
ඒ වගේම ව්‍යාපාරික හෝ දේශපාලනික ලෝකවල වගේම බහුතරයක් සාමාන්‍ය ලෝකවලටත් 'there are no free lunches' කියන කතාව අදාළයි. ඒක සාමාජයෙ අන්තිම පහළ පුරුකෙ ඉඳන් ඉහළම පුරුක දක්වා දිවෙන සත්‍යයක්. 

උදාහරණයක් කිව්වොත් කුණු එකතු කිරීම නගර සභාව විසින් කළමනාකරණය කෙරෙන සේවක පිරිසකට පැවරුණු රාජකාරියක්. නමුත්, හැම කුණු එකතු කිරීමේ වාරයකදීම ඔවුන් අපෙන් මුදලක් බලාපොරොත්තු වෙනවා සහ ඉල්ලා සිටිනවා. අනිවාර්යයෙන්ම උත්සව කාලවලදී අපි මුදලක් දිය යුතුමයි, කැමැත්තෙන් හෝ අකමැත්තෙන්! අපිත් දෙනවා, ඇත්තටම දෙන්න සිද්ධ වෙනවා මොකද නොදුන්නොත් කුණු කසළ ටික නොගෙනම ඉන්නවා එහෙමත් නැත්නම් බාගෙට හලලා දාලා භාජන විසි කරලා දමලා යනවා. 
සාමාන්‍යයෙන් කුණු තැබීම කරන්න මට වෙලාවක් නෑ. හැබැයි ඒක කරන්නම සිද්ධ වුණ දවසක මට හොඳ අත්දැකීමක් ලැබුණා. කුණු දැමූ භාජන එළියේ තියලාත් කව්ද ගේට්ටුව කඩන්න හදන නිසාත් කෑගසන නිසාත් එළියට බැහැලා බලද්දී තේකක් බොන්න සල්ලි ඉල්ලනවා. පව් නේද කියලා රුපියල් 200ක් ගිහින් දුන්නමයි දකින්නේ කුණු ටික අරං නෑ, ට්‍රැක්ටරේ ලේන් එකේ එහා කෙළවරේ, ඒ කියන්නේ හිතාමතාම දාලා ගිහින්. හැබැයි සල්ලි ගත්ත ගමන් කුණු නොගත්තේ ඇයිද ඇහුවම කියන්නේ භාජනෙ එතන තිබුණේ නෑලු! ඒත් කුණු ගෙනිච්චද? නෑ! මටත් ප්‍රශ්නයක් නෑ. ඒ කුණු ටිකම ඊළග සතියේ ගෙනියද්දි තවත් නරක්වෙලා පණුවොත් ඇතිවෙලා තියෙන බව දන්නා නිසා එහෙමම තියෙන්න ඇරියා. 

කිසිම රජයේ ආයතනයකින් කඩිමුඩියේ වැඩක් කරගන්න පුළුවන් ද? බෑ! 
අනිවාර්යයෙන්ම කාකස කෙනෙකුට කීයක් හරි අතමිට මොලවන්නම වෙනවා. එක්කෝ ගෙම්බර් බලමින් දෙකට තුනට නැවෙන්න වෙනවා. ඒත් නැත්නම් නිලධාරියෙකුට ගාණක් දෙන්න වෙනවා. ඒකත් තනිවම කන්න නෙමෙයි අරයට මෙයාට ආදි වශයෙන් දෙතුන් දෙනෙකුටම සෑහෙන්න දෙන්න ඕන ගතමනාවක්. 

රජයේ රෝහල්වලදී කොහොමද? 
සැලකීම බල්ලෙකුටවත් දරන්න බැරි කතාව ප්‍රසිද්ධ රහසක්නෙ. හැබැයි සාත්තු සේවක සේවිකාවන්ට කළ යුතු ගෙවීම්. රත්නප්‍රිය එහෙම ඒවා දන්නේ නැතුව ඇති! 
නේවාසික රෝගියෙකුට සැලකීම සහ අවධානය බොහෝ දුරට තීරණය වෙන්නේ සාත්තු සේවක සේවිකාවන්ට සහ හෙද හෙදියන්ට ලැබෙන තුටු පඬුරු මත. හැමෝම නෙවෙයි නමුත් බහුතරයක් එහෙමයි. එහෙම දරාගන්න බැරි දුප්පත් අහිංසක අසරණයෙක් ඉස්සරහ නම් ඔවුන්ගේ රැස් පිටකිරීම කොහොමද? 

ඊළගට ග්‍රාමසේවක රාළහාමිලා ගැන කතා කරමුද. අවංකවම රාජකාරිය ඉටු කරන මිනිස්සු වගේම පොඩි එකාට පුප්පලා මහ එකා ළග දණින් වැටිලා කොහෙන් කොහෙන් හරි තමන්ට ගතමනාවක් හොයාගන්න ග්‍රාමසේවකයන් ඉන්නවා. මොන සුදුසුකමක් හින්දා තනතුරු ලැබුණද කියලා හිතෙන, කතා කරන්න නොදන්න, ලිපි ගොනුවක් ගැන වගකීමක් නැති ග්‍රාමසේවකලා මට නම් මුණ ගැහිලා තියෙනවා. ඒ වෙලාවට මගේ ඇඟේ ලේ පයින්ට් කීපය නටාගෙන ඇවිත් එතුමන්ලා තුමියන්ලාගෙ මුහුණු කට ඔපමට්ටම් කරලා දෙන්න අවදිවන සිතුවිලි ආයාසයෙන් වළක්වාගෙනත් තියෙනවා. 

මේ කොටසක් විතරයි. 
ඊළගට අනාදිමත් කාලයක සිට අවම සුදුසුකම්වත් සපුරන්නෙ නැතිව රජයේ ආයතනවලට දේශපාලන පත්වීම් ගත්ත මිනිස්සු ඉන්නවා. අර සුප්‍රසිද්ධ උස නම් සිකියුරිටි මිටි නම් කම්කරු කතන්දරේ විහිළුවක් නෙවෙයි, එහෙම පත්වීම් අනුමත කරවන දේශපාලනඥයො වගේම එහෙම මොකක් හරි කරලා දෙන්න කියලා ඉල්ලන ඡන්ද දායකයනුත් ඉන්නවා. එක දේශපාලන පක්ෂයකට වැඩ කරලා පත්වීමක් අරං පහුවදා ඉඳං පිල් මාරු කරන මිනිස්සුත් ඉන්නවා. 

අතිකාල දීමනා සඳහා බොරු හේතු ඉදිරිපත් කරන, දරුවගේ ඉස්කෝලෙට අවශ්‍ය ප්‍රින්ට් අවුට්වල ඉඳලා තමන්ගෙ මේසෙ පිහදගන්න දෙන ඩස්ටරයෙ ඉඳන් හූරගෙන යන මිනිස්සු රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයෙම ඉන්නවා. 

ඒ අතර අවංකවම සේවයේ නියුතු වෙන සත පහක පගාවක් අල්ලසක් නොගත්ත නිලධාරීන් නිලධාරීනියන් ඉන්නවා. බොහොම සුලුතරයක්. 💐

දැන් මෙච්චර හෑල්ලක් ලියාගෙන මම මොකාටද එන්න හදන්නේ නේද. 
මෙන්න මේකට. 

හීන සහ යථාර්ථය දෙකක්. ඔය දෙක අතර දෝලනය වෙමින් තමයි අපි පවතින්නේ.
සමහර රැළි ප්‍රායෝගික නෑ, හීනෙට බරයි යථාර්ථයට ටිකක් දුරයි. එහෙම රැළි උස්සලා දෙන අයම රැල්ල තමන්ට අවාසි වේගෙන එද්දි අනික් පැත්ත ගහනවා. ඒක ඒකාන්තයි. 

ඇයි මං එහෙම කියන්නේ. 
මේ මොහොතේ අරගලයක් කියලා එකක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඡන්දවලදී පක්ෂවලට අනුග්‍රාහකත්වය දක්වන කොටස ඔතනත් තිරයේ පිටිපස්සෙ ඉන්නවා. ඊළගට තමන්ගෙ හීන හැබෑ කරගන්න දඟලන පක්ෂ, පුද්ගලයන්, ඩයස්පෝරාවන්, ව්‍යාපාරිකයන්, බොනිකර තරු එහෙමත් ඉන්නවා. 
එතකොට මීයක් කඩලා අත ලෙවකන මිනිස්සු නැති බව පැහැදිලි කාරණයක්. 

අද රැල්ලට පාකරන සටන් පාඨ සමහරක් කොයිතරම් දුරට ප්‍රායෝගික ද නැද්ද කියන එක අපිත් දන්නවා. හැබැයි පිළිගන්නෙ නෑ, මාන්නය නිසා පිළිගන්න කැමතිත් නෑ. 

නිකමට හිතන්න. ඔතන ඇති ගණකාධිකාරීවරු, විගණකාධිකාරීවරු, සහයක තනතුරු දරන අය. ලංකාවේ ව්‍යාපාර 100%ක් අවංකද බදු ගෙවද්දී වත්කම් බැරකම් ප්‍රකාශ කරද්දී? සමහර ආයතන පොත් කට්ටල් දෙකක් හෝ කීපයක් පවත්වාගෙන යන්නේ නැද්ද මූල්‍ය කටයුතුවලදී? 

ආයතන කීයක් අල්ලස් ගෙවනවද? කප්පම් ගෙවනවද? තමන්ට අවශ්‍ය දේ දිනාගන්න වියදම් කරනවද? 
ඒවා ඇතිසැටියෙන්ම පොත්වල සටහන් වෙනවද?

ව්‍යාපාර කීයක් දේශපාලන පක්‍ෂ එකකට හෝ වැඩි ගණනකට මුදල් වියදම් කරනවද? 
විශේෂයෙන්ම මැතිවරණයකදී.

ඇයි? 
ඔය ව්‍යාපාරවල ඉන්නේ ලංකාවේ මිනිස්සු නෙවෙයි ද? 

ඒක තමයි ඇත්ත. හැබැයි අපි ඉල්ලනවා දේශපාලනඥයන්ගෙ ඉඳන් සම්පූර්ණ විගණනයක් කරන්න. කෝටිපති දේශපාලනඥයන් කීපදෙනකුව අපි නම් කරනවා, හැබැයි නම් නොකරන දැන් සහය දෙන පිරිසෙ ඉන්න අය ශුද්ධවන්තයොද? ඔවුන්ගෙත් පවුල් ඥාති හිත මිත්‍රාදීන්ගෙ නම්වලින් ලෝකය පුරා සහ ලංකාවේ දේපල තියෙනවා. අනුර කුමාර වත්කම් විගණනයට ලෑස්ති ද? ටිල්වින්? විජේවීරගේ ගේ හදන්න එකතු කළ මුදල් මංකොල්ලකෑමක් ගැන විජේවීර බිරිඳගෙන්ම චෝදනාවක් එල්ල වුණානේ? ඒකට මොකද වුණේ? අයර්ලන්තයේ සහ ඉන්දියාවේ දේපල නැද්ද? 
වැටුප පක්ෂෙට බැරකරලා ඔවුන් ජීවත් වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න. දරුවො ජාත්‍යන්තර පාසැල්වල විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න හැටි, දේපල හම්බකරගන්නා හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකද හැමෝම කැමතියි ඒ වගේ දියුණුවෙන්න!
අනික විගණනයකට වමෙන් ගහන්නත් ඔය කට්ටිය දන්නවා. 

ඊළගට දේශපාලනික සරණාගතයන් විදිහට පෙනී හිටලා හම්බ කරගත් සහ හම්බකරගන්නා පිරිස? 
ඩයස්පෝරාවෙන් පෝෂණය වෙන උතුරේ දේශපාලන පක්‍ෂ සහ පිරිස? 
යුද්ධය සහ විප්ලව හේතු කරගෙන සරණාගතයන් ලෙස පෙනී සිටිමින් වෙනත් රටවල ස්ථිර පදිංචිය ලබාගත් අය සහ පවුල්? 
මූල්‍යාධාර ගසා කෑ එන්ජීඕ කෑඳැත්තන්? 

මට දැනෙන සරල සත්‍යය මේකයි. 
දේශපාලනඥයන්ගේ මූල්‍ය විගණනයකට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කිසිම දේශපාලනඥයෙක් ඉඩ තියන්නේ නෑ. දැං රැල්ලට හුරේ දාලා හා කිව්වට ඒක තමයි ඇත්ත. ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව  අනිවාර්යයෙන්ම ඒක කෙරෙන්න දෙන්නේ නෑ. හැමෝගෙම කිල්ලෝටවල තියෙන හුණු ටික එළියට දාන්න ඔය කව්රුත් ඉඩක් දෙන්නේ නෑ. හැබැයි ඉතින් සටන් පාඨ ආතල්. ඒක හින්දා එහාට දීපු අතින්ම මෙහාටත් දීලා ගේම් එකේ තමන්ට පාලනයක් තියාගන්නවා. මාධ්‍ය ආයතනත් එච්චරයි. පැය 24 කට්ට කකා ඕවා වාර්තා කරන්නේ ජනතාවට ඇති ආදරයකට නෙවෙයි, තමන්ගේ ආදායම් මාර්ගය තර කරගන්න සහ බෝට්ටුව කොයි අත පෙරලුණත් දේශපාලනිකව තමන්ට පාලනයක්, බලයක් ලබාගන්න. 

දැන් දැන් සමහර ප්‍රසිද්ධ සහ ප්‍රසිද්ධ වෙන්න බලාගෙන පුද්ගලයන් රැල්ලට කියන කතාවක්නේ මං අතන හිටියා, මෙතන හිටියා, අහවල් දවසේ අර ව්‍යාපාරවල අරම වුණා හැබැයි මං පස්සෙ පව් හෝදගෙන හොඳ ළමයෙක් වුණා. මේ වගේ වැල් බයිලා අහද්දී දකිද්දී මට නම් හිනා යනවා. කිසිම කෙනෙක් තමන්ට මිලියන ගාණක නෙවෙයි ටාගට් ගහන්න අවශ්‍ය තරමේ බිස්නස් එකක් හරි එනවා නම් ඒක දිනාගන්න මහන්සි නොවී අර Once upon a time in Colombo එකේ ටිරාන් වගේ භාවනා කරගෙන ධම්මපදය කිය කිය ඉන්නේ නෑ. (ටිරානුත් ඉතින් උපාසක බළලෙක්නෙ) ඒක ඉතින් අපි හැමෝටම තේරෙන සරල කාරණාවක්.

ඒ වගේම ව්‍යාපාරයක් හෝ ව්‍යාපෘතියක් කියන්නේ වෙනමම කතාවක්. ඒකට සම්බන්ධ වෙන පාර්ශව අතර සම්මුතීන් ඇතිවෙනවා. පාරිභෝගික විශ්වාසය අතිශය වැදගත් වැඩේ වුණත් නැතත්. එහෙම සම්මුතියක් ඇතිවෙන්නෙත් එක්තරා තත්ත්වයකට ගියායින් පස්සේ. කව්රු හරි දැන් කියනවා නං "අනෙ බලඥකෝ අර ඩීල් එකේ අරයා මෙහෙම කළා මං නං එපා කිව්වා එතනින් එළියට ආවට පස්සෙ මං නං ආයෙ ඒ වැඩේ එහෙම වෙන්න ඉඩ දුන්නේ නෑ' කියලා අන්න එහෙම උන්දැලගෙන් පරිස්සම් වෙන්න ඕන. මොකද ඒ වගේ උන්දැලා මොක කරන්න ගියත් එච්චරයි! ව්‍යාපාර සදාචාරයක් (business ethicality) කියලා දෙයක් ගෑවිලාවත් නෑ. එහෙම මිනිස්සු මට නං පාන් කාලක් විකුණගෙන ආවත් මං පෞද්ගලිකවම පිළිගන්නෙත් නෑ. මට වඩා භයානක විදිහට හිතන මිනිස්සු ඒ වගේ උන්දලාට එයාලගෙම කසාය දෙන්නත් ඉඩ තියෙනවා. මොකද රැලි සේරම ඉවරවුණ දවසක අපි හැමෝම ආයෙත් අපේ පරණ පුරුදු ජීවිකාව කරගෙන යන්න ඕනනෙ. 

අනික වියත් මගවල් අටවාගෙන ළංවෙච්ච වෘත්තීයවේදීන් අතර ව්‍යාපාරිකයො හිටියා. ඒ බහුතරය බලාපොරොත්තු වුණේ අපි බලාපොරොත්තු වුණු ඩිජිටල් පිබිදීමේ වැඩි ව්‍යාපෘති කොටසක් තමතමන් සතු කරගන්න. ඒක කරගන්න බැරිවුණාම එළියට ඇවිත් දැන් ඉතසිතින් අරගලයට දායකත්වය දෙන මිනිස්සු දන්නෝ දන්නවා. 
ඊළගට විවිධ තනතුරු ලාභ බලාපොරොත්තුවෙන් ගිහින් ඒවා නොලැබුණාම හරි ලැබිලා තමන්ට අවශ්‍ය දේ කරගන්න බැරිවුණාම හරි දැන් සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින අයත් ඉන්නවා. 

සාරාංශයක් වශයෙන් කතන්දරේ මෙච්චරයි. 
කිසිම කෙනෙක් පාරිශුද්ධ නෑ! 
සර්ව කාලීනව අවංකත් නෑ! 
තනිකර සුදු මිනිස්සු නෑ වගේම තනිකර කලු මිනිස්සුත් නෑ. 
අපි හැමෝම හිතට අවංකව කල්පනා කළොත් ගොඩක් කතන්දර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවන්න බැරිබව තේරෙයි. 
හැබැයි කල්යයි! 

මේක විශාල වපසරියක විහිදිච්ච දැලක් මිත්‍රවරුනි. ඒ දැලේ එක එක තන්තුවට දායකවන අපි නොදන්න බොහෝ අය ඉන්නවා. දන්න නමූත් දායකත්වය නොපෙන්වන බොහෝ අයත් ඉන්නවා. අපි ඒක නොදැන දැල මැද කරණං ගහනවා. කමක් නෑ, කරණම ඉවරවෙනකල් බලං ඉන්න කොටස වගේම කරණම ගස්සලා විනෝද වන කොටසත් අපි දිහා බලං ඉන්නවා! 
කරණම් ගහන්නේ නැති මං වගේ උං දැලට නොපැටලී බලං ඉන්නවා.


No comments:

Post a Comment