මම උපතින්ම සිංහල බෞද්ධයෙක්. ආගමික නැඹුරුව නම් අඩුයි කියලා නිතරම වැඩිහිටි හිතමිත්‍රාදීන්ගේ චෝදනාවලට ලක්වෙන කෙනෙක්. ඒ කියන්නේ පන්සල් යෑම නිරන්තරයෙන් නොකරන හින්දා. පන්සල් නොයන්න විශේෂ හේතුවක් නෑ, හුඟක් සෙනග ගැවසෙන තැන්වල නිස්කලංකව ආගමික වතාවත් කරන්න ඉඩ නැති බව නිසා යන්න මැලි කරනවා. ආමිස පූජාවත් හැකි අයුරින් කරනවා, ප්‍රතිපත්ති පූජාවෙ යෙදෙනවා. ඔක්කොම නැති වුණත් ගාථා සහ පිරිත් ගැන අවබෝධයක් තියෙනවා. මෙච්චර විස්තර කළේ මං නිරාගමික නැති බව පැහැදිලි කරන්න.
ලංකාවේ බෞද්ධ පූජ්‍ය පක්ෂය ගැන මට ලොකු අවබෝධයක් නෑ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාගේ නම් එහෙම මට මතක නෑ, මේ අසවල් පන්සලේ ස්වාමීන් වහන්සේ, අරම මෙහෙම බණ කියන ස්වාමීන් වහන්සේ වගේ කතන්දර මතක තියාගන්න තරම් මට ලොකු උනන්දුවක් ඇත්තටම නෑ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ මම බෞද්ධයෙක් වීම හෙළා දකින, නමට බෞද්ධයෙක් කියලා.
ලංකාවේ භික්ෂූන් වහන්සේලාට එල්ලවන ලොකුම චෝදනාව තමයි උන්වහන්සේලා දේශපාලනයට සම්බන්ධ වීම. ඒ ඇරුණම තමතමන්ගේ සුඛවිහරණය, තනතුරු තාන්න මාන්න සඳහා කැපවීම වගේ චෝදනාත් තියෙනවා.
මගේ අත්දැකීම සහ ඔය උඩ කිව්ව කතන්දරේ මට දැනෙන පේන හැටිය තමයි මේක.
මං වැරදි නම් නිවැරදි කරන්න.
සිංහල බෞද්ධ ජන සමාජයක් ඉන්න ලෝකේ එකම රට ශ්‍රී ලංකාව. ආසියාවේ රටවල් කීපයක බුදු දහම පැවතුණාට මම හිතන්නේ ප්‍රධාන මහායාන ථේරවාද වෙනස ඇරෙන්න තව යම් යම් වෙනස්කම් තියෙනවා. එහෙම බැලුවම ලංකාවේ පවතින බුදු දහම සහ සබැඳි සංස්කෘතිය මට පේන ආකාරයට නම් ශිෂ්ටාචාරමය, සංස්කෘතිකමය සහ ඓතිහාසික වටිනාකමක් සහිත දෙයක්. ඒක ආරක්ෂා කිරීමට අනෙක් හැම ආගමකම වගේ බෞද්ධ පූජ්‍ය පක්ෂයට විශාල වගකීමක් පැවරිලා තියෙනවා. එතකොට ඒ වගකීම හරියට ඉෂ්ඨ සිද්ධ වෙනවාද කියන විවාදාත්මක කාරණෙට අපි නිරායාසයෙන්ම එළඹෙනවා.
සියලු ආගමික පූජකවරුන් දේශපාලනය සමග සමීපව කටයුතු කරනවා. සමහරුන්ගේ ඒ බව පේන්නෙ නෑ, සමහරුන්ගේ පේනවා. හැම කෙනෙක්ම දේශපාලනික නිසා අපිට ඒකට විරුද්ධ වෙන්න සදාචාරාත්මක අයිතියක් නෑ.
එතකොට බෞද්ධ භික්ෂූවට විතරක් මේතරම් චෝදනා එල්ල වෙන්න තරම් වරදින්න ඇත්තේ කොතනින්ද?
සෝම ස්වාමීන් වහන්සේ අපිට මතක ඇති කාලයක විශාල බෞද්ධ පුනරුදයක් ඇති කරන්න උත්සහ කළා. උන්වහන්සේගේ අකල් වියෝවෙන් පස්සේ ඒ මග යන්න උත්සාහ කළ භික්ෂුන් වහන්සේලාත් හිටියා. හැබැයි එක තැනක කොහේහරි ඒ අවංක වෑයම ලෞකික සැපසම්පත්වලට වේගයෙන් වැහෙන්න පටන්ගත්තා කියන එකයි මගේ විශ්වාසය. සෝම හිමියන්ගේ වෑයමෙන් පන්සලට ගෙන්න ගත්ත, එන්න පටන්ගත්ත තරුණ පරපුර විතරක් නෙවෙයි වැඩිහිටි බහුතරයක් පවා පන්සලෙන් ඈත්වෙන්න බලපෑවේ පැහැදිලිවම ලෝකෝත්තර සම්පත්තිය මග ඇරලා ලෞකික සම්පත්තිය පස්සේ හැල්මේ දුවන්නට පටන්ගත් බෞද්ධාගමික නායකයන්!
ඉවසන්න, දැං අනෙක් ආගමික නායකයන් අතරත් ශුද්ධවන්තයින් නෑ! මේ කතාව වැරදි තැනින් අල්ලාගන්න එපා. තව ඉවර නෑ.
ඊටපස්සේ උන්වහන්සේලාට ඇතිවුණා එකිනෙකා අතර තරගයක්. ලොකුම පන්සල, ලොකුම හයිකාර දායක සභාව, ලොකුම කඨින පිංකම, මිලාධිකම සැපපහසුම වාහනය, සංඝනායක පදවි තානාන්තර වගේ භෞතික දේවල් පස්සේ යන්න ගත්තට පස්සෙ සෝවාන් වුණ, රහත් වුණ, බුදුවුණ ස්වාමීන් වහන්සේලා හතු වගේ බිහිවෙන්න ගත්තා. ඒ අතර ජාති මාමක, දේශමාමක වෙනත් යටි අරමුණු සහ න්‍යාය පත්‍ර සහිත තව චීවරධාරීන් කොටසක් බිහි වෙන්න පටන්ගත්තා. එතකොට උන්වහන්සේලාට ඇතිවෙන්න ගත්ත වැඩ රාජකාරි කටයුතු එක්ක ගමේ පන්සලට සම්බන්ධ බෞද්ධාගමිකයො ටික ගැන බලන්න වෙලාවක් උවමනාවක් නැතිවෙන්න පටන් ගත්තා.
එහෙම නැති, තමන්ට කිසිම සුඛ විහරණයක් නැතිව, පන්සලේ තියෙන තේකොළ ටික පවා ගම්මුන්ට ගෙනියන්න ඉඩදීමෙන් ගිලන්පස ටිකක්වත් හදාගන්න විදිහක් නැතිවුණ ස්වාමීන් වහන්සේලා සහ වැසිකිළි කැසිකිළි පහසුකම්වත් හරියාකාරව නැති විහාරස්ථානත් මේ ලංකාවේ මම දැකලා තියෙනවා.
ගෙනියන දානෙ ටික පවා අහළ පහළ දුප්පත් දරුවන්ට පවුල්වලට පිරිනමපු ස්වාමින් වහන්සේලා මම දැකලා තියෙනවා.
මේ කතා කරන්නේ ශාසනාරූඨ ව්‍යාපාරික අරමුණු සහිත සුලුතරය ගැන. ඒ සුළුතරය නිසා වෙන හානිය උපරිම නිසා.
බණකට දානයකට වැඩියායින් පස්සේ තුවා, මුතුකුඩ, සේසත්, පිරිකර නෙවෙයි ලියුම් කවරයක් පිළිගන්වන්න උපාසක මහත්තයෝ කීමෙන්ම ඒ උපාසක ඇත්තන්ගේ හිත කඩලා, ශ්‍රද්ධාවට වෙඩි තියලා, කරන්න ගිය පුණ්‍ය කර්මය පාප කර්මයක් බවට පත්කරවන්න හේතු සාධක වෙන භික්ෂූන් වහන්සේලා ඉන්නවා.
ඇයි තරුණ පරම්පරාව පන්සලෙන් ඈත්වෙන්නේ?
තරුණ දක්ෂ ස්වාමීන් වහන්සේලා පන්සල්වල වැඩ ඉන්නවා. හැබැයි බහුතරයක් චීවරය දරන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර වීමෙන් පස්සේ සිවුරු හැරයන්න බලාගෙන. චීවරය දරාගෙන විශ්ව විද්‍යාල තුළ ක්‍රියාකාරී දේශපාලනය කටයුතුවල යෙදෙන කොයිතරම් පිරිසක් ඉන්නවද? සෑම ආගමික පූජකයෙකුටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය තියෙනවා. ඒ අයිතිය උදුරා ගන්න කාටවත් බෑ, උදුරා ගත යුතුත් නෑ. හැබැයි ඒ විශ්ව විද්‍යාල තුළ දේශපාලනය කරන, අරගල කරන, රැඩිකල් මතධාරී, සහෝදර සහෝදරියන් සමග උරෙනුර ගැටෙමින් කඳුළු ගෑස් කමින් යුක්තිය උදෙසා සටන් කරන තරුණ චීවරධාරීන් සහ උපදේශාත්මකව හෝ ක්‍රියාකාරීව ප්‍රධාන ධාරාවේ දේශපාලනයට සම්බන්ධව කටයුතු කරන වැඩිහිටි භික්ෂූන් වහන්සේලා අතර වෙනසක් මම දකින්නේ නැහැ.
රැල්ලට එන සටන් පාඨවලින් එකක්නෙ 'ගණගෙඩි' හෙළා දකින එක. දැන් මේ ගණගෙඩි කියා හැප්පෙන-වැරදි-පරම්පරාව සහ වැඩිහිටි සමාජවාදීන් කියන කණ්ඩායම් විසින් පරිභව කෙරෙන බෞද්ධ භික්ෂුවම, ඔවුන්ගේ දේශපාලන කඳවුරට කැපයි! ප්‍රතිවිරුද්ධ දේශපාලන මතයක් දරනවා නම් 'ගණගෙඩි' බවට පත්වෙනවා. මට ඒ වෙනසට හේතුවන සාධාරණ තර්කයක් පේන්නේ නැහැ. මම හිතන්නේ හොඳට හිතලා බැලුවොත් ඔබට වුණත් ඒ ලොජික් එක තේරුම් යන එකක් නැහැ.
එතකොට මේ වගේ අනවශ්‍ය අපහාසයකට ලක් කිරීම නිර්ලජ්ජිත වැඩක් වගේම අපහාසයට ලක්වන අයුරින් කටයුතු කිරීමත් නිර්ලජ්ජිතකමක්!
මහ කකුලුවන් ඇදේට යමින් පොඩි කකුලුවන්ට කෙලින් යන්න කියන්නත් බෑ, පොඩි කකුලුවන් ඇදේට යනගමන් මහ කකුලුවන්ට හිනාවෙන්නත් බැහැ.
මුස්ලිම් සහ කතෝලික/ක්‍රිස්තියානි පල්ලි දක්ෂිණාංශික දේශපාලනයට බර බව ප්‍රසිද්ධ රහසක්. ඕනෑම මැතිවරණයකදී බහුතර මුස්ලිම් සහ ක්‍රිස්තියානි/කතෝලික බැතිමතුන්ට පල්ලි විසින් යෝජනා කෙරෙන දේශපාලන දැක්ම සහ එකඟතාවය අනුව ඡන්දය භාවිත වෙන බවත් ප්‍රසිද්ධ රහසක්. ඉතාම සුළුතරයක් ඉන්නට පුළුවන් ඊට අනුගත නොවන.
බෞද්ධයන් අතර කතන්දරේ වෙනස්. බෞද්ධ උපාසක උපාසිකාවන් පන්සලට නතුත් නැහැ, පන්සල ඒ අයට නතුත් නැහැ. දේශපාලන එකඟතාවක් නෑ, ඡන්ද අයිතිය දෙපාර්ශවයම ස්වාධීනව භාවිතා කරනවා.
ඔව්, මේ ප්‍රකාශය ජාතිවාදී ආගම්වාදී කෝණයකින් ගන්න අයත් ඉඳිවි, නැත්නම් කාරණාව දිහා අවංකව සහ මධ්‍යස්ථව බලලා තේරුම් ගන්නා අයත් ඉඳිවි.
එතකොට එහෙම බලද්දී බෞද්ධ ජන සමාජය ඇතැම් විට අන්තවාදීව ලිබරල්!
ඕනෑම දෙයක් ඕනෑවට වඩා තිබීම විනාශයකට මුල පුරනවා වගේ තමයි අන්න ඒකත්.
දේශපාලනිකව ක්‍රියාත්මක වීම උන්වහන්සේලාගේ කැමැත්ත සහ අයිතිය. නමුත් මේ යන හැටියට ඒ හා සමානවම වැදගත්කමක් ඈත්වෙන බෞද්ධයන් රැකගන්නා වැඩ පිළිවෙළකට දීම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා ඉවරයි. වෙනත් කිසිම ආගමක තරුණ පරම්පරාවවත් කිසිසේත්ම වැඩිහිටි පරම්පරාව ආගමික ස්ථානයෙන් ඈත්වීමක් හෝ ආගමික නායකයන් නුරුස්නා තත්ත්වයට පත්වීමක් වෙලා නැහැ. හරාම් වන දුම් සහ සුරා පානයෙ යෙදෙන, මුස්ලිම් ආගමික නීතිරාමුවට අනුගතවීම වර්ජනය කරන මුස්ලිම් තරුණයා පවා සිකුරාදා පල්ලි යෑම අතහැර නෑ. ඉතාමත්ම කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන්. ඉතාම රැඩිකල්වාදී තරුණයා පවා ඉරිදා දේව මෙහෙයට සහභාගි වීම හෝ පල්ලිය ආශ්‍රිත සුබ සාධන කටයුත්තක් මග හරින්නේ නෑ. ඒත් බහුතර බෞද්ධ තරුණයාට පන්සිල් පද පහවත් කියාගන්න දන්නේ නෑ. ඒ තත්ත්වයට පත් කරවන්න ප්‍රධානතම වරද වෙලා තියෙන්නේ පන්සලෙන් සහ පවුලෙන්ම තමයි.
කුමන ආගමක හෝ වේවා දැඩි සමාජවාදී, මාක්ස්වාදී, ලෙනින්වාදී, ට්‍රොට්ස්කිවාදී, නැක්සල්වාදී ආදි එකීමෙකීනොකී දේශපාලන නිකායවල්වලට අදාළ පුද්ගලයන් ඉන්න පුළුවන්. නමුත් ඒ හැම නිකායකටම වඩා ඔවුන්ට තවම ඔවුන්ගේ ආගම වැදගත්. ඒ හැම නිකායක්ම තමන්ටත් වඩා ඉහළින් තබා සලකන බහුතරය අවාසනාවකට සිංහල බෞද්ධ. සහජීවනය සංහිඳියාව අවශ්‍යයි. නමුත් අසීමාන්තිකව ධ්‍රැවීකරණය වීමත් අනවශ්‍යයි. සහජීවනය සහ සංහිඳියාව ඌයියාවීමට ඇති ඉඩක් ගැන අනවශ්‍ය බියක් ඇතිකරවා ගැනීමෙන් මේ තත්ත්වයට පිළියම් කරන්න බෑ. ඒක බෞද්ධයන් වගේම භික්ෂූන් වහන්සේලාත් තේරුම් ගත යුතු සහ ක්‍රියාත්මක විය යුතු තත්ත්වයක්.
ගරුතර සංඝයා වහන්ස,
අඩුම තරමින් තමන්ගේ පන්සල අවට ප්‍රදේශවාසීන් අඳුනගැනීමෙන් පටන්ගන්න. හැමදාම එන අය නෙවෙයි නොඑන අය ගැන හොයන්න. තමන්ගේ ආවාසය සහ පන්සල විශාල කිරීමට උනන්දු වනවා වගේම අසරණ දායකයන්ට, ප්‍රදේශවාසීන්ට පුළුවන් උපකාරයක් කරන්න. තමන්ට බැරි නම් යමක් කළ හැකි දායකයෙකුගෙන් උපකාරයක් ලබාදෙන්න මැදිහත් වෙන්න. ලොකුම පූජා වට්ටිය සහ පඬුරු අරන් එන අයව වගේම හිස් අතින් එන බෞද්ධයවත් පිළිගන්න, කතා කරන්න, ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු ගැන අවබෝධයක් ගන්න. කළහැකි සහ කළයුතු අනුශාසනාවක් කරන්න.
පිංකම් නාමයෙන් විවිධ පුද්ගලයන්ගේ දායකත්වය ලෝකෙට අඬබෙර ගහමින් කරන ලංසු පොළවල් නවත්තන්න. ඒ වගේ ලංසුපොළවල්වලට සහය දෙන දායකයන්ටත් ඒ ගැන වගකීමක් තියෙනවා.
සමහරවිට එතනින් පටන් ගත්තොත් පොඩි බලාපොරොත්තුවක්වත් තියාගන්න පුළුවන් වේවි.
සටහන තිබ්බේ ජාති ආගම් බේදවලට නෙවෙයි, බුද්ධියෙන් හිතන්න පුළුවන් මිනිස්සුන්ට.
No comments:
Post a Comment