Friday, May 13, 2022

අරගලයට මගේ සත දෙක

2022 අප්‍රේල් 17දා

මේ සිද්ධ වෙන රැළිපෙරැළි දිහා මම බොහොම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා.
මීට අවුරුදු කීපයකට කලින් නං මගෙත් සාමාන්‍ය මානුෂික ආවේග අවදිවෙලා පිනුම් ගහලා ලේ කෝප වෙලා නටන්න ඉඩ තිබුණත් දැං විශේෂයෙන් මේ වගේ වෙලාවක මම මගේ අහිංසක ලේ ටික අනුන්ගේ කල්දේරම්වල ඩබල්බොයිල් කරවන්න ලෑස්ති නෑ!

මේක සංකීර්ණ කතාවක්. කොයිතරම් නිර්පාක්ෂික නිර්දේශපාලනික නිරාගමික සර්වාගමික වස්ත්‍ර පළන්ඳවන්න උත්සහ කළත් මේ කතන්දරේ සමහරු දන්නේ ටිකයි, සමහරු ගොඩක් දන්නවා, සමහරු දන්නේ තව කව්රු හරි කියපු දෙයක්, තව සමහරු තමන්ට හිතෙන දේ කියනවා, සමහරු බොරු ඇත්ත කරනවා ඇත්ත බොරු කරනවා, ඒ අතර විවිධාකාර හේතු උඩ ලකුණු දාගන්නත් කොටසක් ඉන්නවා. සමහර දේවල් දැක්කම ඒවයේ නොකියන නොදන්න කතා දන්න හින්දා මට හිනා යනවා. ඒත් ඉතින් අනුන්ගේ මත, විනෝදවලට අකුල් නොහෙලා නොදැක්කා සේ යනවා. තමතමන්ගේ නැණ පමණින් සහ අත්දැකීමෙන්නෙ ඉතින්.
ඇයි ඉතින් ඒ ගැන කතා නොකරන්නේ කියලා අහන මිනිස්සු ඉන්නවා. අහන්න සූදානම් නැති දේවල් පිළිගන්වන්න කාලය සහ ශ්‍රමය වැය කිරීමේ මට නං පලක් නැහැ. අනික හැඟීම්බර මිනිස්සුන්ගේ විචාරාත්මක බුද්ධිය ටිකක් ෂෝට් වෙන වෙලාවක්නෙ. 

පිටස්තර ලෝකෙක ඉඳන් මේ සියලු නාටක දිහා බලං ඉන්න මට හිතෙන දේ තමයි මේ.

සරලවම කිව්වොත් ආර්ථික අර්බුදයක් සමාජීය අර්බුදයක් බවට පත්වෙච්ච මොහොතක ඒක විවිධ පාර්ශව දේශපාලනීකරණය කරං ඉන්නවා. 

ජනතාවට ප්‍රශ්න පීඩන ආතති තියෙනවා ද? ඔව් අනිවාර්යයෙන්ම.
ඒ ප්‍රශ්න පීඩන ආතති මටත් දැනෙනවා.

ගෑස් නැද්ද? 
අපිටත් නෑ, ඉතා දුකසේ භූමිතෙල් ලිපක් සහ දර ලිපක් දල්වගෙන තමයි අපේ ගෙදරත් උයා පිහා ගන්නේ. ලිපට භූමිතෙල් හොයාගන්න ලේසි වුණෙත් නෑ. විදුලි ලිප් භාවිතා කරන්නත් බෑ මොකද විදුලි බිල දැනටත් දරාගන්න අමාරු හින්දා. 

ඩීසල්, පෙට්‍රල් නැද්ද?
 අපිටත් නෑ, අත්‍යාවශ්‍ය ගමනකට මිස එළියට බහින්නේ නැතුව කළමනාකරණය කරගන්නවා. පෝලිම්වල ඉන්නවා. 

කිරිපිටි නැද්ද? 
නෑ, මං වගේ අවේලාවෙත් තේ බොන්න පුරුදු වෙච්චි මනුස්සයෙක්ට මාස ගානකින් කිරි තේකක් බොන්න ලැබිලා නැති අමාරුව කුඩු සික් එක වගේ දැනෙනවා. 

හාල්, ආහාර ද්‍රව්‍ය ගණංද? 
ඔව්, ගෙදර මිනිස්සුන්ට අමතරව සුරතල් සතුන් ඉන්න ගෙවල් ළග පාරේ ඉන්න අසරණ සත්තු පෝලිමක් දෙවේලක් කෑම බලාපොරොත්තුවෙන් ගේට්ටුව ළග හර්තාල් කරන ගෙදරක් හැටියට හාල් මාලු අත්‍යවශ්‍ය ආහාර.  ඒවායේ මිල උච්චාවචනය අපිට දැනෙනවද? ඔව් බොහොම පැහැදිලිවම දැනෙනවා. 

බෙහෙත්හේත් ගණංද? 
ඔව්. සමහර බෙහෙත් වර්ග පහුගිය වතාවට වඩා ඊළග වතාවේ දෙගුණයක් මිලයි. බෙහෙත් වලින්ම ජීවත් කරවන විශ්‍රාමික වැඩිහිටියන් මගේ පවුලේත් ඉන්නවා. ඔවුන්ට විශ්‍රාම වැටුපෙන් මේ වියදම පියවා ගන්න කොච්චර අමාරුද කියලා පැහැදිලිවම දැනෙනවා. ආහාරපාන ගන්න අපහසු සස්ටජන් කිරි ටිකකින්, ඕට්ස් ටිකකින් ජීවත්වෙන රෝගී වැඩිහිටියන් මගේ පවුලෙත් ඉන්නවා. පහුගිය සතිය වෙනකල් 1800-1900ට ගන්න පුළුවන් වූ සස්ටජන් තොග අද ගොඩක් තැන්වල නෑ, මොකද 2400-2500 හැටියට මිල වෙනස් වෙන්න නියමිත හින්දා. අනිත් දේවලුත් එහෙමයි. 

කරන්ට් නැද්ද? නෑ, අපිටත් නෑ. වැඩ කරගන්න අපහසුයි, රස්නෙයි, කරදරයි ඔව් ඒ හැමදේම මටත් දැනෙනවා. කරන්ට් තියෙන වෙලාවට ලැප්ටොප් එක ෆුල් චාර්ජ් කරලා කරන්ට් නැතිවෙලාවට මොබයිල් හොට් ස්පොට් දාගෙන ලැග් වෙවී ඩ්‍රොප් වෙවී වැඩ කරගන්නෙ. පොඩ්ඩක් නම්‍යශීලී වෙලාවල් නිසා පුලුවන් වෙලාවෙදී වැඩිපුර වැඩ කොටසක් ඉවර කරගන්නවා. 

එතකොට මේ ප්‍රශ්න විසඳන්න රජය බැඳිලා ඉන්නවද? ඔව්. රට වැසියන් පක්ෂව හෝ විපක්ෂව ජන්දය පාවිච්චි කරලා රජයක් පත් කරවන්නේ පරිපාලනය හරියට කරගන්නනෙ! 

එතකොට අපි හැම කෙනෙක්ම වගේ රජයකත් වැරදි තීරණ ගන්නවද? ඔව්, මොකද ඔය රජය කියන්නෙත් අපි වගේම මිනිස්සු කොටසක් මිසක් වෙන ග්‍රහලෝකයකින් ගෙනත් දාපු පිටසක්වල ජීවීන් කොටසක් නෙවෙයිනෙ. 
එතකොට ඒ වැරදි අවබෝධ කරගන්න බැරිද? පුළුවන්, සාමාන්‍ය මනුස්සයෙක්ට නං වැරදි අවබෝධ කරගන්න සමහරවිට කාලයක් යනවා, සමහරවිට එහෙම වෙන්නේම නෑ, සමහරවිට වුණත් පිළිගන්නෙ නෑ. හැබැයි රජයක් කියන්නේ ඒ වගේ සාමාන්‍ය මිනිස්සු එකතුවක් නිසා එතනදි ඔය හේතු බයිලා විතරයි.

බැසිල් උන්නැහෙගෙ පත්වීම වැරදිද? 
ඔව්. ජන අප්‍රසාදයට පළවෙනි හේතුව ඒකනෙ. 
එතකොට උන්නැහේ කලින්ම අයින් වුණා නම් ප්‍රශ්න විසඳෙනවද? 
යම්තාක් දුරකට ඔව්. ජන අප්‍රසාදය ඔඩු නුදුවන්න ඉඩ තිබ්බා. හැබැයි ආර්ථික ප්‍රශ්නය ඉවර වෙන්නේ නෑ. ඒකට නිසි පුද්ගලයන් නිසි වෙලාවට නිසි වගකීම් දරන්න පත්කරවන්න ඕන. හැබැයි ඒක වුණේ නෑ. 
දැන් වෙන බවක් පේනවා. ඒකට මිනිස්සු නැගිටිනකල් හිටිය එක පැහැදිලිවම රජයේ වරදක්. නාහෙට උඩින් වතුර දානකල් භාවනා කළා වගේ වැඩක්. 
හැබැයි, ප්‍රමාද වෙලා හරි ඒ පියවර ගත්තා නං මං හිතන්නේ අපිටත් යුතුකමක් තියෙනවා ලණු ගිලීම සහ අපේ දාඩිය මහන්සියෙන් ප්‍රශ්නවල පිහිටෙන් රජුන් තනන්න වලිකනවට වඩා මේ වෙලාවේ ආර්ථිකය ස්ථාවර කරගන්න පුළුවන් උදව්වක් දෙන්න. රට අස්ථාවර වුණොත් දේශපාලනඥයෝ විතරක් නෙවෙයි ගිලෙන බෝට්ටුවෙන් ඉස්සෙල්ලම පනින්නේ. ව්‍යාපාරිකයෝ, ක්‍රිකට් ක්‍රීඩකයෝ, ආගමික නායකයෝ, සමාජ ක්‍රියාකාරීන්, සමහරක් නලුනිලියෝ පවා පනිනවා. සමහරු දැනටත් එහෙම වෙන රටවල ඉඳන්නෙ මෙහෙ අරගල කරවන්නේ! 
ඒක මං හිතන්නේ අපේ හැඟීම්බර ඔලුවලට මේ වෙලාවේ දැනෙන්නේ නෑ. අපි හිතන්නේ කුවේණිගේ සාපේ හැටියට ලංකාව දෙකඩවෙලා ඉන්දියන් සාගරේ ගිලිලා යද්දිත් ජැක් රෝස්ට කළා වගේ එයාලා අපිව ලෑල්ලක නග්ගලා එයාලා දිවි පුදලා ගිලිලා යයි කියලා😅

 මේ වෙලාවේ වීරයෝ ගොඩක් බිහිවෙලා ඉන්නවා. වීරයා මැට්ටෙන් ද කාඩ්බෝඩ් එකෙන්ද මාංශයෙන්ද වැඩක් නෑ. ආසියාතික අපි හරි ආසයි වීරයන්ට. ඒකෙනුත් ලංකාව දුවන්නේ තනිකරම වීර මානසිකත්වයක් උඩ. හොරෙක්, මිනීමරුවෙක්, ස්ත්‍රී දූෂකයෙක්, පාතාලයෙක්, එන්ජීඕ කාක්කෙක් හරි කමක් නෑ බෝඩ් එකකුයි මෙගා ෆෝන් එකකුයි අරං රැල්ලට එකතු වෙච්චා නං අන්න වීරයෙක්! 
තව ටික දවසකින් ගෝඨාභය උන්නැහේ බෝඩ් එකක් උස්සං ඔතනට වැඩියත් එච්චරයි! 😅

වීරයෝ බිහිවෙන්නේ රටවල් හදන්නම විතරක් නෙවෙයි. රටවල් නසන්නෙත් වීරයෝ. ප්‍රභාකරනුත් යම් කොටසකට වීරයෙක්. හැබැයි කළ විනාශය කොහොමද. 
හිට්ලරුත් වීරයෙක්. හැබැයි විනාශය? 
විජේවීර වීරයෙක් කොටසකට. හැබැයි විප්ලවයක නාමයෙන් වුණ විනාශය? 

පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරන්න. 
ඇත්තටම ප්‍රශ්න තියෙන මිනිස්සු අනුන්ගේ ගේම්වල දරදිය අදින එකයි දැං වෙන්නේ,දැනුවත්ව හෝ නොදැනුවත්ව. 
ඇත්තටම ප්‍රශ්නය විසඳගන්න ඕන නං පුළුවන් හැටියට විරෝධය දක්වන්න හැබැයි ලණු නොකා. 
ඒ අතර තමන්ට කරන්න පුළුවන් දේවල් ටික කරන්න. ඔය කොයි අරගලෙත් අන්තිමට තමන්ට ඉතුරුවෙන්නේ තමන් විතරයි. 

තව ලියන්න තියෙනවා. ඒක වෙනම ලියන්නම්.

No comments:

Post a Comment