2022 අප්‍රේල් 2දා
පයිරොමේනියාව ආවේග පාලනය කරගැනීමට අසමත්වීමක් විදියටයි ගැනෙන්නේ. ගිනි තැබීම අන්තරාදායක බව දැනදැනත් ගින්න, තමන්ගෙ ආවේග පිටකිරීමේ මාධ්‍යයයක් විදිහට භාවිතා කරන්න තියෙන මානසික නැඹුරුව තමයි පයිරොමේනියාවේ ස්වභාවය.
අග්නි කාමුකත්වය හෙවත් පයිරොමේනියාවට මිනිස්සු මුලින්ම ගින්දර හොයාගත්ත දා දක්වා දිවෙන අතීතයක් තියෙනවා ඇති කියලා විශ්වාසයක් තියෙනවා. සමහරවිට පළමු ගිනි පුපුර එක්කම විශ්මයට පත්වෙන්නට ඇති මිනිස් චයිතසිකයෙ මොකක් හරි ආවේගයක් අවදිවීමක් වෙන්නත් පුළුවන්. ගින්දර දේවත්වයෙන් අදහන්නට ඇත්තේත් ඒක වෙන්න ඇති. එහෙම බැලුවොත් සමහරවිට ගින්දර කෙරෙහි අන්ධ භක්තියක් ඇති වන තරමට බලයක් මිනිස් සත්වයාට දැනෙන්නත් ඇති. පඨවි, ආපෝ සහ වායෝවලට වඩා වික්‍රමාන්විත, විනාශකාරී ප්‍රතිරූපයක් සාහිත්‍යමය වශයෙන් පවා තේජෝ ධාතුවට ලබාදෙන්නට ඇත්තේ ඒ නිසා වෙන්නත් පුළුවන්.
කොයිතරම් දියුණු වුණත් ඉතාම උසස් උගත් බුද්ධිමත් මිනිහා තුළ පවා තවම ප්‍රාථමික ජීවියාගෙ අංශුමාත්‍ර තියෙනවනෙ. තවමත් ආවේග පිටකිරීමේ මාධ්‍යයක් විදියට ගින්දර යොදාගන්නෙත් ඒ ආදි කාලයේ අවදි වුණු පයිරොමේනියා ලක්ෂණ නිසා වෙන්නත් පුළුවන්.
ලංකාවේ විතරක් නෙවෙයි ඕනෑම රටක ජනසමාජයක (බහුතර) ගිනි තැබීම ulimate offence එකක් හැටියට තවම ක්‍රියාත්මක වෙනවා. විරෝධතාවලදී පඹයන් පිළිස්සීම ගැනෙන්නේ ultimate destruction එකක් නැත්නම් පළිගැනීමක් හැටියට. රාමායණයේ හැටියට හනුමා වලිගෙට තිබ්බ ගින්නෙන් ලංකාපුරයම අවුලලා ගිහින් ඉන්දියාවට පනින්න කලින් වලිගේ මුහුදෙ ඔබලා නිවාගත්තා නං ඒකෙන් අදහස්වෙන්නෙත් විනාශයක් නොකර ඉන්න ඕනෑතරම් ඉඩප්‍රස්ථාව තිබිලත් පළිගැනීමේ චේතනාවෙන් විනාශයක් කළා කියන එක. නාසි කඳවුරුවල යුදෙව්වන් දහස්ගණන් ගෑස් කාමරවල දාලා මැරුණට පස්සෙත් අමානුෂික විදිහට ආදාහනාගාරවල පිච්චුවා කියන්නෙත් දැඩි පළිගැනීමේ චේතනාවක් ආවේගයක් ක්‍රියාත්මක කිරීමක්. මධ්‍යතන යුගයේ යුරෝපයේ අවිවාහක හා වැන්දඹුවන් ඇතුළු කාන්තාවන් මන්තරකාරියන් ලෙස සලකා ගිනිතබා මරා දැමෙන්නෙත් පයිරොමේනීය සමාජයක් විසින්. කලු ජූලිය වගේ අන්ධකාරයක මිනිසුන් පණපිටින් ගිනි තියන්නෙත් පයිරොමේනියාව දැඩිවෙච්ච මිනිස්සු. 88/89 භීෂණයෙදි දෙතිස් වධ දීලත් සෑහීමකට පත්නොවී ටයර් සෑයවල මිනිස්සු අලු කරන්නට ඇත්තෙත් ඒ මානසිකත්වයෙන්ම තමයි. ඒ වගේම ඒ කාලයේදී කරපු දේපල විනාශයත් සුළු පටු නැහැ. පැවති රජයෙන් පළිගන්න ලංගම බස්, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබීමෙන් කළ හානිය අදටත් ගණනය කරලා තියෙනවාද මම දන්නේ නැහැ. රෝහණ විජේවීර බොරැල්ල කනත්තේ ආදාහනය කරද්දී පණ තිබුණ බවක් කියැවනවනෙ, එතකොට ඒ තමයි මනුෂ්‍යයෙක්ට තවත් මනුෂ්‍යයෙක්ට එරෙහිව පත්වෙන්න පුළුවන් අන්තිමම අමනුෂ්‍යත්වය.
අර බස් ගිනිතැබීමේ කතාවේ යටගිය දවස කතාවක් මතක් වෙනවා. පාරේ ටයර් පුච්චන බස් ගිනි තියන කතා වැඩිහිටියන්ගෙන් ඇහුණ එවකට අවුරුදු දෙකක් විතර වුණ මගේ එක ඥාති සහෝදරයෙක් ගිනි හුළක් ගෙනත් තමන්ගේ සෙල්ලම් බසයක් ගිනි තියන්න ගියාලු. හැමෝම හිනාවෙවී කියන කතාවක්වුණත් සමහරවිට ඒකත් අර අපේ තියෙන ඩිෆෝල්ටමය පයිරොමේනියා මොහොතක අවදිවීමක් වෙන්නත් පුළුවන්.
තව කෙනෙක්ගෙ ජීවිතයක් දේපළක් ගිනි තබා විනාශ කිරීමේ පයිරොමේනියාව අපිට තවම අඩුවැඩි වශයෙන් තියෙනවා.
අරගල කරන්න ඕන, හැබැයි ඒවට ම්ලේච්ඡත්වය ගේන නොගෙනෙන එකත් අවධානය යොමු කරන්න ඕනම කාරණාවක්. තමන් සද්භාවයෙන් යන ගමනක් අස්සට තව කාගෙහරි කොන්ත්‍රාත් ඇමිණුනාම ඒ අන්තරායට තමනුත් පත්විය හැකි නිසයි අවධානයෙන් සිහි නුවණින් තීරණ ගන්න ඕන.
බොහොම ලස්සන පින්තූරයක් තියෙනවා පෙරේදා ඉඳන් සමාජ මාධ්‍යවල සංසරණය වෙන. කිරි දරුවෙක් උරේ හොවාගත්ත කාන්තාවක්. වීරමය ප්‍රතිරූපයක් දීලා කවි ගොතලා අපි ඒ අම්මව විහාර මහා දේවියක් කරලා ඉවරයි. මං අම්මෙක් නං නෙවෙයි. හැබැයි ඉස්සර වගේ දරුවන්ට හිතුමනාපේ වැලි සෙල්ලම් කරන්නවත් නොදී, මදුරුවෙක් වහන්නවත් නොදී ප්‍රවේසම් කරන වර්තමාන අම්මලා, ඔය පිංතූරය වීරත්වයෙන් සලකන අම්මලා තාත්තලා කවදාවත් දැනුවත්ව නම් කලබලයක් ඇතිවෙන්නට ඉඩක් තියෙන, තෙරපීමට හරි ලක්වෙලා තමන්ගෙ දරුවට සුළු හෝ අපහසුවක් කරදරයක් වෙයි කියලා සැක හිතෙන තැනකට යන එකක් නෑ. ඒ අම්මා යන්න ඇති සමහරවිට ඉවසගන්න බැරිකමට, දරුවා දාලා යන්න බැරිකමට. හැබැයි මේ වගේ ආවේගශීලී තැනක ඒ දරුවට මොනවහරි වුණානම් කවි ලියන අම්මලා කෙසේවෙතත් ඒ අම්මාට කොහොම දැනෙයිද?
දෙයක් වුණායින් පස්සේ අඬලා හැපිලා සාප කරලා සමාව ඉල්ලලා වරද නිවැරදි කරන්න බැහැ.
ඒ කතාව අතුරු කතාවක්.
ඔබ තුළත් පයිරොමේනියාව තියෙනවද කියලා හිතලා බලන්න. ඔබේ සමීපතමයන් සගයන් තුළත් තියෙනවා ද කියලා හිතලා බලන්න. මොකද අනික් හැම මානසික රෝගකටම වඩා ඒක භයානකයි! විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවක මිනිස් ජීවිත වගේම රටේ මිනිස්සුගෙ පෞද්ගලික දේපළ විතරක් නෙවෙයි අපි හැමෝම වියදම් දරන පොදු දේපළත් ආරක්ෂා කරන්න අපි හැමෝටම ලොකු වගකීමක් සහ යුතුකමක් තියෙන හින්දා!
කාව ආණ්ඩු මට්ටු කළත් ආපසු හරවන්න බැරි විනාශයන් නොකර ඉමු!
ඔබ පෙනී සිටින කඳවුර සහ නායකත්වය මොකක් වුණත් ඒ වගේ විනාශකාරි ප්‍රතිපත්තිවලට ඉඩ නොතබා ඉමු!
අවුරුදු හැත්තෑ හතරක් කෙරුණු විනාශය අපෙන් නැවැත්තුව දවසට අර දරුවා උරේ හොවාගෙන අරගලයට ගිය අම්මලාට ඇත්තටම සතුටු වෙන්න පුළුවන් වෙයි. 💐
No comments:
Post a Comment