Monday, May 26, 2014

ගල් මිනිසා

තවත් උදෑසනක් එළඹිලාය.තමාගේ පිරිවර සියොත් කැල ද පිබිද තටු ගසා මුව දෝවා දවස පටන් ගන්නට සැරසෙනු ඇයට පෙනිණි.පහළ මංමාවත් සංකීර්ණ අරමුණු කරා දිවයන ජනයාගෙනුත් දුම්දමමින් හඬ තලමින් ඇදෙන යකඩ යකුන්ගෙනුත් පිරෙන්නට පෙර දවස ඇරඹිය යුතුය.නැතිනම් දහවල වද්දී තටු ගසන්නට නොව සෙලවෙන්නට පවා නොහෙන තරම් අලසකමක් දැනෙයි.

ඇය අතු අගකට පැමිණ තටු සලා සූදානම් වූවාය.ඊයේ සවසත් හරි හැටි කෑමක් වැටී නැති කුස පුළුන් රොදක් වාගේ දැනෙයි.සියල්ලටම පෙර ඔහු බලන්නට යා යුතුය.ගතවූ රැයපුරා ඈ තම සිහින ඔහුගේ රුවින් පුරවාලූවාය.ඒත් හැබෑව වාගේම ඇගේ සිහිනද අවසානයේදී සිත රිදවූ බව මතකයට නැගී ඇගේ පියාසර වේගය මදක් බාලවිය.

"කමක් නෑ අදත් යනවා"

Friday, May 23, 2014

නුඹ..

නොගැයූ ගීයට පදවැල සැපයූ
අහිමි විජිතයයි නුඹ...
හදේ ස්වර තත් කඩා බිඳලූ
සොඳුරු වීණාව නුඹ...

පිපෙන්නට අරඇන්ඳ'මුත්
හදවිල නොපිපුණේ කිම?..
සිත පාරවා මල් මිලිනකොට
නෙත් කඳුළු උල්පත පිපුණේ නුඹ..

අඳුරු හදගැබ ඇඳුනු දේදුනු
දකින්නට නෙත් අන්ධවූ 'මුත්..
නොඇඳි සිතුවම කඳුළු බිඳු ගෙන
ඇඳෙන්නට පෙර බොඳකළේ නුඹ..



පසු සටහන:
හරියටම දශකයකට කලින් ලියූවක්.දශකයක් තුළ බොහෝ දේ වෙනස්වී තිබෙන බව අහම්බෙන් වාගේ මේ කවිය හමුවූවිට සිතුණා.සිතුම් පැතුම්, ආකල්ප, වචන... ඒ සේරටම වඩා හැඟීම් කොයිතරම්නම් ඉක්මණින් වෙනස්වෙනවද?..

නිර්මාණය සාර්ථකද කියලා දැන් නම් පොඩි කුකුසක් ඇතිවුණත් ඒ මොහොතේදී නම් ඒ වචනවල පෑරෙන රිදෙන ලොකු හැඟීමක් තිබුණ බව මතකයි.අතීත රිදුමක් නිකමට වාගේ ආවර්ජනය කෙරුණා..:)




Wednesday, May 21, 2014

සැලෝන් කතා - 2

සැලෝන් කතා ගොඩාක් මල්ලේ තිබුණට මොකෝ කියන්න වෙලාවක් ලැබුණේ නෑ නොවැ.. මම මේ කියන්න යන්නේ සැලෝන්වලත් ඉන්නේ නානාප්‍රකාර උදවිය කියලා හිතමිනුයි.

මගේ අද කතා නායිකාව, ප්‍රසිද්ධ සැලෝනයක හිටි ගෝලියක්.මෙයා හිටි තැන ලොක්කටත් පොඩ්ඩක් ගිනිපුක්ගාය තිබ්බ නිසා මෙයා වලියක් දාගෙන වගේ එතැනින් අහක්වෙලා තනියම සැලෝන් එකක් දාගත්තා.ලොක්කගේ තැන ඉන්ද්දෙදිත් මෙයාගේ වැඩ හොඳ නිසා ඔන්න දැන් මාත් ගියා මෙයාගේ අළුත් සැලෝන් එකට ඉතින්.

පළවෙනි දවසේ වැඩ ගොඩායි, කතා ගොඩායි, දුක ගොඩායි, සල්ලි එහෙම්මමයි.පළවෙනි දවසේ සෑහෙන වෙලාවක් ගතවුණේ ලොක්කගේ පතුරු අරින්න.දන්නේ නැද්ද ඉතින් ගෑණු උදවිය බහුතරයක් කතා කියන්න ගියාම හරි රසවත්නේ, නැද්ද මං අහන්නෙ? (බැඳපු උදවියට නම් ගෙදර ගෑණිගේ ඇර ඕන කෙනෙකුගේ කතා රසවත් ඇති මම හිතන්නේ)